Skip to content

පටුනට යන්න

දෙවි දී තිබෙන නීති පිළිපැදීම වැදගත්ද?

දෙවි දී තිබෙන නීති පිළිපැදීම වැදගත්ද?

බයිබලයෙන් පිළිතුරු සොයමු

දෙවි දී තිබෙන නීති පිළිපැදීම වැදගත්ද?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට අදාළ පිළිතුරු බයිබලයෙන් සොයාගත හැකි ආකාරය මෙහි පෙන්වා දෙනවා. එම පිළිතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. දෙවි දී තිබෙන නීති පිළිපැදිය යුත්තේ ඇයි?

ඊට ප්‍රධාන හේතුව නම් දෙවි අපගේ නිර්මාතෘ වීමයි. යේසුස් පවා සෑම අවස්ථාවකදීම දෙවිගේ නීති පිළිපැද්දා. (යොහන් 6:38; එළිදරව් 4:11) අපත් දෙවිගේ නීති පිළිපදිනවා නම් අප ඇත්තටම දෙවිට ප්‍රේම කරන බව පෙන්විය හැකියි.—1 යොහන් 5:3 කියවන්න.

දෙවි දී තිබෙන සෑම නීතියක්ම අපට ප්‍රයෝජනවත්. ඒවා පිළිපැදීමෙන් දැන් ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට හැකි වන අතර අනාගතයේදී බොහෝ ආශීර්වාද අත් කරගැනීමටත් හැකි වෙනවා.—ගීතාවලිය 19:7, 11; යෙසායා 48:17, 18 කියවන්න.

2. දෙවි දී තිබෙන නීති පිළිපැදීම නිරෝගී සෞඛ්‍යයකට දායක වන්නේ කොහොමද?

උදාහරණයකට, බේබදුකම ගැන දෙවි දී තිබෙන නීතිය පිළිපැදීමෙන් විවිධ රෝගවලින් හා අනතුරුවලින් ආරක්ෂා වීමට හැකි වෙනවා. අධික ලෙස මත්පැන් පානය කරන කෙනෙක් ඊට ඇබ්බැහි වෙනවා. එවැනි කෙනෙක් අඥාන ලෙස ක්‍රියා කිරීමටද පෙලඹෙනවා. (හිතෝපදේශ 23:20, 29, 30) සීමාව ඉක්මවා මත්පැන් පානය කරන්න එපා කියා දෙවි පවසා තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි.—ගීතාවලිය 104:15; 1 කොරින්ති 6:10 කියවන්න.

ඊර්ෂ්‍යාව, ඉක්මන් කෝපය ඇතුළු නරක ගතිගුණවලින් වැළකී සිටින්න කියාත් දෙවි පවසා තිබෙනවා. දෙවිගේ ආඥාවලට අප කීකරු වන තරමටම අපට නිරෝගී සෞඛ්‍යයක් ඇතුව සිටීමට හැකි වෙනවා.—හිතෝපදේශ 14:30; 22:24, 25 කියවන්න.

3. දෙවි දී තිබෙන නීති පිළිපැදීම අපට ආරක්ෂාවක් වන්නේ කොහොමද?

විවාහයෙන් පිටත ලිංගික ඇසුර දෙවි තහනම් කර තිබෙනවා. (හෙබ්‍රෙව් 13:4) එම නීතිය පිළිපදින යුවළයන්ට හා ඔවුන්ගේ දරුවන්ට සුරක්ෂිත බවක් හැඟෙනවා. නමුත් විවාහයෙන් පිටත ලිංගික ක්‍රියාවල නියැලෙන අයට විවිධ ලෙඩ රෝග, දික්කසාදය, ප්‍රචණ්ඩත්වය, මානසික පීඩනය සහ තනිවම දරුවන්ව හදා වඩා ගැනීමට සිදු වීම වැනි තත්වයන් අද්දැකීමට සිදු වෙනවා.—හිතෝපදේශ 5:1-9 කියවන්න.

විවාහයෙන් පිටත ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට තුඩුදිය හැකි දේවලින් වැළකී සිටිනවා නම් දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය රැකගැනීමට හැකි වෙනවා. ඒ වගේම අන් අයට අප අතින් සිදු විය හැකි හානි වළක්වාගැනීමටත් හැකි වෙනවා.—1 තෙසලෝනික 4:3-6 කියවන්න.

4. ජීවිතය වටිනා දෙයක් ලෙස සැලකීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

ජීවිතය දෙවිගෙන් ලැබී තිබෙන ත්‍යාගයක් ලෙස සලකන අය දුම්පානය ඇතුළු ශරීරයට අහිතකර පුරුදුවලින් වැළකී සිටිනවා. (2 කොරින්ති 7:1) ගර්භාෂයක් තුළ වැඩෙමින් තිබෙන කලලයක් පවා දෙවිට වටිනවා. (නික්මයාම 21:22, 23) ඒ නිසා හිතාමතාම ගබ්සාවක් සිදු කිරීම සුදුසු නැහැ. ජීවිතය වටිනා දෙයක් ලෙස සලකන අය රැකියා ස්ථානයේදී, නිවසේදී, වාහනයක් පදවන විටදී වැනි ඕනෑම අවස්ථාවකදී ආරක්ෂිත පියවරයන් අනුගමනය කරනවා. (ද්විතීය කතාව 22:8) ඊට අමතරව ජීවිතය අනතුරේ හෙළන කිසිම ක්‍රීඩාවකද ඔවුන් නියැලෙන්නේ නැහැ.—ගීතාවලිය 36:9 කියවන්න.

5. රුධිරය වටිනා දෙයක් ලෙස සැලකීම අපට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද?

රුධිරයෙන් ජීවිතය නියෝජනය වන නිසා අපි එය වටිනා දෙයක් ලෙස සැලකිය යුතුයි. (උත්පත්ති 9:3, 4) යෙහෝවා දෙවි රුධිරය ජීවිතය හා සමාන වටිනා දෙයක් ලෙස සලකන නිසා අපට බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. උදාහරණයකට කෙනෙක් අතින් වරදක් සිදු වූ විට ඔහු ඒ ගැන අවංකව පසුතැවිලි වී ඒ වෙනුවෙන් සතෙකුගේ රුධිරය පූජා කළ විට දෙවිගෙන් සමාව ලබාගැනීමට අවස්ථාව ලැබුණා.—ලෙවී කතාව 17:11-13; හෙබ්‍රෙව් 9:22 කියවන්න.

අතීතයේදී කළ එම සත්ව පූජාවලින් නියෝජනය වූයේ යේසුස්ගේ ජීවිත පූජාවයි. (හෙබ්‍රෙව් 9:12) යේසුස් වැගිරවූ රුධිරය නිසා අපේ පව්වලට සමාව ලබාගැනීමටත් අනාගතයේදී සදාකාල ජීවිතය උරුම කරගැනීමටත් අපට අවස්ථාව ලැබෙනවා.—මතෙව් 26:28; යොහන් 3:16 කියවන්න.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 12වන සහ 13වන පරිච්ඡේද බලන්න.