Skip to content

පටුනට යන්න

පිය පුතු බැඳීම රැකගන්න

පිය පුතු බැඳීම රැකගන්න

පිය පුතු බැඳීම රැකගන්න

“තාත්තේ ඔයා කොහොමද මෙච්චර දේවල් දන්නේ” කියා කවදා හෝ ඔබේ පුතා ඔබෙන් අසා තිබෙනවාද? එසේනම් එවැනි අවස්ථාවක පියෙක් ලෙස ඔබට සතුටක් මෙන්ම පුංචි ආඩම්බරයකුත් දැනෙන්න ඇති. ඔබ දුන් මඟ පෙන්වීම් ඔහු අදාළ කරගන්නවා දකිද්දී ඔබට ඊටත් වඩා ලොකු සතුටක් දැනෙයි. *හිතෝපදේශ 23:15, 24.

නමුත් ඔබේ පුතා ලොකු මහත් වෙද්දී ඔබ සමඟ තිබුණු බැඳීම දුර්වල වෙලා කියා ඔබට හැඟෙනවාද? එසේනම් කුඩා කාලයේ සිට වැඩිහිටියෙක් වෙන තෙක් ඔහු සමඟ සමීප බැඳීමක් පවත්වාගන්න ඔබට පුළුවන් කොහොමද? ඒ ගැන සලකා බලන්න පෙර පියවරුන් මුහුණ දෙන අභියෝග කිහිපයක් ගැන අපි බලමු.

අභියෝග තුනක්

1. කාලය දීම: පියවරුන් රැකියාවල නියැලෙන නිසා දවසෙන් වැඩි හරියක් ඔවුන් සිටින්නේ නිවසෙන් පිටයි. තවත් අය වැඩි කාලයක් නිවසේ සිටියත් දරුවන් සමඟ ගත කරන්නේ ඉතාමත් සීමිත කාලයක්. ප්‍රංශයේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වුණේ පියවරුන් තම දරුවන් සමඟ ගත කරන්නේ දිනකට මිනිත්තු 12කටත් වඩා අඩු කාලයක් බවයි.

මේ ගැන කල්පනා කරන්න: ඔබ ඔබේ පුතා සමඟ කොපමණ කාලයක් ගත කරනවාද? ඊළඟ සතිය තුළදී සෑම දිනකම ඔබ ඔබේ පුතා සමඟ කොපමණ කාලයක් ගත කළාද කියා සටහන් කරගන්න. සතිය අවසානයේදී ඔහු වෙනුවෙන් වැය කර තිබෙන කාලය ගැන බලන විට සමහරවිට ඔබ පුදුම වේවි.

2. හොඳ ආදර්ශයක් තැබීම: සමහර අයට තම පියවරුන් සමඟ කිසිම සම්බන්ධයක් තිබී නැති තරම්. ප්‍රංශයේ වෙසෙන ජීන් මරේ පැවසූ දේ බලන්න. “තාත්තයි මායි අතර ලොකු බැඳීමක් තිබුණේ නැහැ. ඒකේ ප්‍රතිඵල මම අද අද්දකිනවා. මගේ පුතාලා එක්කත් වැදගත් කාරණා කතාබහ කරන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ.” තවත් අයට තම පියා ගැන හොඳ අවබෝධයක් තිබුණත් ඔවුනොවුන් අතර කිට්ටු සම්බන්ධයක් තිබී නැහැ. ඒ ගැන පිලිප් මෙසේ පැවසුවා. “මගේ තාත්තා මට ආදරය කළත් ඒක පෙන්නන්න එයා දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මගේ පුතාට මගේ ආදරේ පෙන්නන්න මට හරි අමාරු වුණා.”

මේ ගැන කල්පනා කරන්න: ඔබේ පියා සමඟ ඔබට තිබුණු බැඳීම ඔබ ඔබේ පුතාට සලකන ආකාරයට බලපා තිබෙනවාද? ඔබේ පියාගේ හොඳ හෝ නරක පුරුදු ඔබත් එලෙසම අනුගමනය කරනවා කියා ඔබට සිතෙනවාද?

3. සමාජයේ බලපෑම: දරුවන්ව හදා වඩා ගැනීමේදී පියෙකුට ලොකු වගකීමක් නැහැ කියා ඇතැම් අය සිතනවා. බටහිර යුරෝපයේ වෙසෙන ලූකා පැවසූ දේ බලන්න. “මම හැදී වැඩුණු සමාජයේ හිටිය අය හිතුවේ දරුවන්ව හදා වඩා ගන්න එක බිරිඳගේ වගකීමක් කියලයි.” තවත් අය සිතන්නේ පියවරුන්ට තිබෙන්නේ දරුවන්ව හික්මවීමේ වගකීම පමණක් කියායි. උදාහරණයකට, අප්‍රිකානු රටක වෙසෙන ජෝජ් මෙසේ පැවසුවා. “අපේ සංස්කෘතියට අනුව තාත්තලා දරුවන් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. එහෙම කළොත් තාත්තලට තියෙන ගෞරවය නැති වෙයි කියලා ඒ අය හිතනවා. මමත් ඒ වගේ පසුබිමක හැදුණු නිසා මගේ පුතා එක්ක කාලය ගත කරන එක මට ලොකු අභියෝගයක් වුණා.”

මේ ගැන කල්පනා කරන්න: ඔබ ජීවත් වන සමාජයේ පියවරුන්ට තිබෙන වගකීම කුමක්ද? ඔවුන් සිතන්නේ දරුවන්ව හදා වඩා ගැනීම මවකගේ වගකීමක් කියාද? පියවරුන් දරුවන්ට ආදරයෙන් සලකමින් ඔවුන් සමඟ කාලය ගත කරනවාද?

ඉහත සලකා බැලූ අභියෝගවලට ඔබත් මුහුණ දෙනවාද? එසේනම් ඉන් ජය ගත හැක්කේ කෙසේද? ඒ සඳහා පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කර බලන්න.

කුඩා කාලයේ සිටම පුහුණු කරන්න

සාමාන්‍යයෙන් පුතෙක් තම පියාව අනුකරණය කිරීමට නැඹුරුවන්නේ සහජයෙන්මයි. පියාව අනුකරණය කරන්න ඔහුට තිබෙන ඒ ආශාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? එමෙන්ම දරුවා සමඟ එකට කාලය ගත කිරීම සඳහා ඔබට කාලය සොයාගන්න පුළුවන් කොහොමද?

හැකි අවස්ථාවලදී ගෙදරදොරේ වැඩ සඳහා ඔබේ පුතාව හවුල් කරගන්න. උදාහරණයකට, ඔබ නිවස අතුගානවා නම් පුතාටත් පුංචි කොස්සක් දෙන්න. ඔබ වත්තේ වැඩ කරනවා නම් පුංචි සවලක් දී ඔහුවත් හවුල් කරගන්න. පියා සමඟ හවුල් වී වැඩ කිරීමට පුතා ආශාවක් දක්වන බවට සැකයක් නැහැ. සමහරවිට පුතාව වැඩට හවුල් කරගැනීම නිසා ඔබ කරන වැඩය නිම කිරීමට වැඩිපුර කාලයක් ගත විය හැකියි. ඒ වුණත් එකට වැඩ කිරීමෙන් දෙදෙනා අතර තිබෙන බැඳීම තවත් ශක්තිමත් වෙන අතර ඔහුට පුහුණුවක් ලබා දීමටත් හැකි වෙනවා. තම දරුවන්ව එදිනෙදා වැඩකටයුතුවලට හවුල් කරගන්න අතරතුරේදී ඔවුන් සමඟ හොඳින් අදහස් හුවමාරු කරගන්න කියාත් ඔවුන්ට උගන්වන්න කියාත් බයිබලයේ පියවරුන්ට දිරිගන්වා තිබෙනවා. (ද්විතීය කතාව 6:6-9) එම උපදෙස අදටත් අදාළයි කියා ඔබට සිතෙන්නේ නැද්ද?

ඔබේ පුතා කැමති ක්‍රීඩාවක ඔහු සමඟ නියැලෙන්නත් ඔබට පුළුවන්. එසේ කිරීමෙන් සතුටක් ලැබෙනවාට අමතරව බොහෝ ප්‍රයෝජනද ලැබෙනවා. පියවරුන් දරුවන් සමඟ ක්‍රීඩාවල නියැලෙන විට එම දරුවන් අභියෝග ජය ගන්න පුරුදු වෙන බව එක් සමීක්ෂණයකින් හෙළි වුණා.

“පියෙක් තම පුතා සමඟ සෙල්ලම් කරන්න කාලය ගත කරන විට පුතා අදිමදි කරන්නේ නැතුව පියා සමඟ අදහස් හුවමාරු කිරීමට පෙලඹෙනවා” කියා සමාජ විද්‍යාඥයෙක් වූ මිෂෙල් ෆීස් පැවසුවා. සෙල්ලම් කරන අතරතුර පුතාට ආදරේ කරන බව වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන් පෙන්වීමට පියාට අවස්ථාව ලැබෙනවා. එසේ කිරීමෙන් අන් අයට ආදරේ කරන්න තම දරුවන්ට ඉගැන්වීමටද ඔහුට හැකි වෙනවා. ජර්මනියේ වෙසෙන පියෙක් වන ඔන්ඩ්‍රේ මෙසේ පැවසුවා. “පුතා පොඩි කාලෙදී මම හැමතිස්සේම එයත් එක්ක සෙල්ලම් කළා. එයාව ආදරයෙන් බදාගත්තා. ඒ නිසා එයත් ආදරේ පෙන්නන්න ඉගෙනගත්තා.”

පියෙක් තම පුතුට ආදරේ කරන බව පෙන්වීමට රාත්‍රියේ නින්දට යන වෙලාවත් යොදාගත හැකියි. හැකි සෑම අවස්ථාවකම පුතාට කතන්දරයක් කියා දෙන්න. ඒ වගේම පුතා යම් දේවල් ගැන ආසාවෙන් පවසන විට ඊට සවන් දෙන්න. ඔබ එසේ කරනවා නම් පුතා ලොකු මහත් වූ විටත් අදිමදි නොකර ඔබ සමඟ කතා කරයි.

පුතා කැමති දේවල් ගැන හිතන්න

සමහර යෞවනයන් පියවරුන් සමඟ කතා කිරීමට අදිමදි කරනවා. ඒ නිසා ඔබ අසන සමහර ප්‍රශ්නවලට පුතා පිළිතුරු දීමට අදිමදි කරනවා නම් ඔහු ඔබ සමඟ කිසිම දෙයක් ගැන කතා කිරීමට කැමති නැහැ කියා හිතන්න එපා. ඒ වෙනුවට ඒ සඳහා වෙනස් ක්‍රමයක් යොදාගන්න. එසේ කිරීමෙන් ඔහු ඔබ සමඟ ආශාවෙන් කතා කිරීමට පෙලඹෙයි.

ප්‍රංශයේ වෙසෙන සාක්ගේ පුතා ඔහු සමඟ එතරම් කතා කළේ නැහැ. නමුත් ඔහු පුතාට කතා කරන්න කියා බල කරනවා වෙනුවට වෙනස් ක්‍රමයක් යොදාගත්තා. පුතා පාපන්දු ක්‍රීඩාවට කැමති නිසා ඔහු පුතා සමඟ එම ක්‍රීඩාවේ නියැලුණා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “අපි සෙල්ලම් කරලා ඉවර වුණාට පස්සේ බිම ඉඳගෙන ටිකක් විවේක ගත්තා. ඒ වගේ වෙලාවට පුතා එයාගේ හිතේ තියෙන හැම දෙයක්ම වගේ මාත් එක්ක කතා කළා. මාත් එක්ක නිදහසේ කතා කරන්න හොඳම වෙලාව ඒක කියලා එයාට දැනෙන්න ඇති. එහෙම කෙරුව නිසා අපි දෙන්නා අතර සමීප බැඳීමක් ඇති වුණා.”

ඔබේ පුතා ක්‍රීඩාවලට කැමති නැත්නම් කුමක් කළ හැකිද? ඔන්ඩ්‍රේ පවසන දේ සලකා බලන්න. “අපි රෑට හාන්සි පුටු එළියේ තියාගෙන තේ එකක් බොන ගමන් අහසේ තරු දිහා බලාගෙන ඒවා නිර්මාණය කළ දෙවි ගැන කතා වුණා. ඒ විතරක් නෙවෙයි අපි අපේ ජීවිත ගැනත් එදිනෙදා මුහුණ දුන් දේවල් ගැනත් කතා කළේ ඒ වෙලාවටයි.”—යෙසායා 40:25, 26.

පුතා ආස කරන දේවල් කරන්න ඔබ තුළ ආසාවක් නැත්නම් කළ යුත්තේ කුමක්ද? එවැනි අවස්ථාවල ඔබ ගැනම පමණක් සිතීමෙන් වළකින්න. (ෆිලිප්පි 2:4) දකුණු අප්‍රිකාවේ වෙසෙන ඉයන් මෙසේ පැවසුවා. “මම ක්‍රීඩාවලට හුඟක් කැමතියි. හැබැයි පුතා උනන්දු වුණේ ගුවන් යානා ගැනයි පරිගණක ගැනයි. ඒ නිසා මමත් ඒ දේවල් ගැන උනන්දු වුණා. ගුවන් යානා සංදර්ශන නරඹන්න මම පුතාව එක්කගෙන ගියා. එහෙම කරපු නිසා පුතා හැම දෙයක් ගැනම මාත් එක්ක කතා කරන්න පටන්ගත්තා.”

ආත්ම විශ්වාසයක් ඇති කරන්න

ඔබේ පුතා මුල් වතාවට තනිවම යම් දෙයක් කර ඉමහත් ආශාවකින් “තාත්ති මේක දිහා බලන්නකෝ” කියා ඔබට පවසා තිබෙනවාද? නහඹර වියට පැමිණ සිටින ඔබේ පුතා ඔහුගේ දක්ෂතා ඔබ අගය කරයි කියා බලාපොරොත්තුවෙන් තවමත් ඔහුගේ දක්ෂතා ගැන ඔබට පවසනවාද? සමහරවිට එසේ නොවන්න පුළුවන්. නමුත් අවබෝධයෙන් ක්‍රියා කරන වැඩිහිටියෙක් වීම සඳහා ඔහුගේ දක්ෂතා අගය කිරීම වැදගත්.

විශ්වයේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි තම පුත්‍රයා වූ යේසුස් සමඟ ක්‍රියා කළ ආකාරය අපට ආදර්ශයට ගත හැකියි. යේසුස් පොළොව මත සිටි කාලයේදී විශේෂ කාර්යයක් කිරීමට ආසන්නව සිටි විට “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි” කියා අන් අයටත් ඇසෙන සේ දෙවි පැවසුවා. (මතෙව් 3:17; 5:48) ඔබේ පුතාට අවශ්‍ය හික්මවීම් ලබා දීමටත් ඉගැන්වීමටත් වගකීම තිබෙන්නේ ඔබට බව ඇත්තයි. (එෆීස 6:4) ඒ වුණත් ඔහුව අගය කිරීමත් ඉතා වැදගත්.

අගය කරන්න සහ ආදරය පෙන්වන්න සමහර අයට ලෙහෙසි නැහැ. සමහරවිට ඔවුන් හැදී වැඩී තිබෙන්නේ ඔවුන්ව අගය කරනවා වෙනුවට වැරදි ගැන පමණක් කතා කරන දෙමාපියන් යටතේ විය හැකියි. ඔබත් එවැනි කෙනෙක් නම් ඔබේ පුතාට ඒ ආකාරයෙන් නොසැලකීම සඳහා ඔබට වෑයමක් දරන්න සිදු වෙනවා. ගෙදරදොරේ වැඩ කිරීම සඳහා තම පුතාවත් හවුල් කරගත් ලූකා පැවසූ මේ දේත් සලකා බලන්න. “සමහර වෙලාවට මං මගේ පුතාට වැඩක් භාර දීලා ඒක තනියම කරන්න කියලත් එයාට උදව් ඕන වුණොත් මම එන්නම් කියලත් කියනවා. හුඟක් වෙලාවට මම භාර දෙන වැඩේ එයා තනියම කරනවා. ඒ වගේ වෙලාවට මම එයාව අගය කළා. ඒ වගේම යම් වැඩක් එයා හිතුව විදිහටම කරගන්න බැරි වුණ අවස්ථාවලදීත් එයා ඒ වෙනුවෙන් දැරුව වෑයම මම අගය කළා. ඒ වගේ දේවල් නිසා එයාගේ ආත්ම විශ්වාසය වැඩි වුණා.”

දරුවාගේ ඉලක්ක කරා ළඟා වී ඔහුගේ බලාපොරොත්තු ඉටු කරගන්න ඔහුට උපකාර කරන්න. එසේ කිරීමෙන් ඔහුගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට ඔබට පුළුවන්. නමුත් ඔබ බලාපොරොත්තු වන වේගයෙන්ම ඔහු ඔහුගේ ඉලක්ක කරා ළඟා වෙන්නේ නැත්නම් තත්වය කුමක්ද? එසේත් නැත්නම් ඔබේ පුතා වැඩිහිටියෙක් වූ පසු යම් ක්ෂේත්‍රයකින් දියුණුවක් ලබයි කියා ඔබ සිතුවත් ඔහු ආශා කරන්නේ වෙන ක්ෂේත්‍රයකින් දියුණුවක් ලබන්න නම් කළ හැක්කේ කුමක්ද? එවැනි අවස්ථාවලදී ඔබ බලාපොරොත්තු වන දේ ගැන යම් වෙනසක් කිරීමට ඔබට සිදු වෙනවා. ඔබේ පුතා ඔබ සමඟ කතා කරන විට හොඳින් සවන් දෙන්න. ඔහු දියුණුවක් ලබා තිබෙන දේවල් අගය කරන්න. ඔහු කිරීමට අසමත් වූ දේවල් සාර්ථක කරගන්න ඔහුව දිරිගන්වන්න. එසේ කිරීමෙන් ඔහුගේ ඉලක්ක කරා ළඟා වීමට ඔහුට උපකාර කරන්න ඔබට පුළුවන්. කලින් අදහස් දැක්වූ සාක් පැවසූ දේ බලන්න. “ඉලක්ක තියාගෙන වැඩ කරන්න මම මගේ පුතාට උදව් කළා. හැබැයි කිසිම වෙලාවක මම කැමති ඉලක්ක එයාට දුන්නේ නැහැ. ඒ වගේම පුතා කැමති ඉලක්කය කරා ළඟා වෙන්න පුතාට යම් කාලයක් යයි කියලත් මම මතක තියාගත්තා.”

ඔබත් ඔබේ පුතාත් අතර කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීම සෑමවිටම පහසු දෙයක් නොවුණත් ඔබ ඒ සඳහා වෑයම් කරනවා නම් ඔබේ පුතා ඔබව ඔහුගේ කිට්ටු මිත්‍රයෙකු සේ සලකයි. තමන්ට උපකාර කරන කෙනෙක් සමඟ මිත්‍රත්වයක් පවත්වාගැනීමට ඕනෑම කෙනෙක් නිරායාසයෙන්ම පෙලඹෙනවා.

[පාදසටහන]

^ 2 ඡේ. මෙම ලිපියේ මූලික අවධානය දී තිබෙන්නේ පියෙක් සහ පුතෙක් අතර තිබිය යුතු බැඳීම ගැන වුණත් පියෙක් සහ දියණියක් අතර තිබෙන බැඳීමටත් මෙහි ඇති ප්‍රතිපත්ති අදාළ කරගත හැකියි.