Skip to content

පටුනට යන්න

‘ඔබේම නුවණෙහි රඳා නොසිටින්න’

‘ඔබේම නුවණෙහි රඳා නොසිටින්න’

‘ඔබේම නුවණෙහි රඳා නොසිටින්න’

“ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න.”—හිතෝ. 3:5.

1, 2. (අ) අප මුහුණ දෙන සමහර තත්වයන් මොනවාද? (ආ) එවැනි අවස්ථාවලදී අප කළ යුත්තේ කුමක්ද? ඒ ඇයි?

සින්තියාගේ වැඩපොළේ කිහිපදෙනෙකුව අස් කළා. * තමාටත් රැකියාව අහිමි වෙයිදෝ කියා ඇය බියෙන් සිටිනවා. එවැනි අසීරු තත්වයකට පත් වුණොත් ඇය තම ජීවිතය ගැට ගසාගන්නේ කොහොමද? පැමලා නම් සහෝදරියට සාක්ෂිකරුවන් අඩු ප්‍රදේශයකට ගොස් සේවය කරන්න ලොකු ආශාවක් තිබෙනවා. ඇය මොන වගේ තීරණයක් ගනියිද? සැමුවෙල්ගේ ප්‍රශ්නය ඊට වඩා වෙනස්. ඔහු කුඩා කාලයේදී කාමුක දර්ශන බැලීමට පුරුදු වී සිටියා. ඒ පුරුද්ද අත්හැරියත් දැන් 20 ගණන්වල සිටින ඔහුට ඒ වැරදි පෙලඹීම විටින් විට මතු වෙනවා. ඊට විරුද්ධව සටන් කරන්න ඔහුට පුළුවන් කොහොමද?

2 ඔබටත් විවිධ අසීරු තත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. වැදගත් තීරණ ගන්නත් සිදු වෙනවා. නැත්නම් වැරදි පෙලඹීම්වලට එරෙහිව සටන් කරන්නත් සිදු වෙනවා. එවැනි අවස්ථාවලදී ඔබ රඳා සිටින්නේ ඔබේම නුවණෙහිද? නැත්නම් යෙහෝවා දෙවිව විශ්වාස කරමින් ‘ඔබේ සියලු බර ඔහුට භාර දෙනවාද?’ (ගීතා. 55:22) දෙවි ගැන බයිබලයේ පවසන්නේ ‘ඔහුගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ අයැදීම් වෙතටත් යොමු වී තිබේ’ කියායි. (ගීතා. 34:15) අපේම නුවණෙහි රඳා සිටිනවා වෙනුවට අපේ මුළු හදවතින් යෙහෝවා දෙවිව විශ්වාස කිරීම අත්‍යවශ්‍යයි.—හිතෝ. 3:5.

3. (අ) මුළු හදවතින්ම දෙවිව විශ්වාස කිරීමට ඇතුළත් වන්නේ කුමක්ද? (ආ) සමහරු තමාගේම නුවණෙහි රඳා සිටින්නේ කුමන හේතු නිසාද?

3 මුළු හදවතින්ම දෙවිව විශ්වාස කිරීමට ඇතුළත් වන්නේ කුමක්ද? ඔහු අපෙන් බලාපොරොත්තු වන දේ එලෙසම කිරීම ඊට ඇතුළත්. ඒ සඳහා ඔහුගේ උපකාරය හා මඟ පෙන්වීම් ඉල්ලා නිතිපතා යාච්ඤා කළ යුතුයි. එසේ කිරීමට තරම් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් බොහෝදෙනෙකුට නැහැ. ලින්ගේ අද්දැකීමත් එයයි. “තාත්තායි මායි අතර කිසිම බැඳීමක් තිබුණේ නැහැ. අම්මගේ සෙනෙහස මට ලැබුණෙත් නැහැ. ඒ හින්දා පුංචි කාලෙ ඉඳලම කාගෙවත් උදව්වක් උපකාරයක් නැතුව තනියම දේවල් කරන්න මම පුරුදු වුණා” කියා ඇය පවසනවා. ඒ නිසා වෙන කෙනෙකුව විශ්වාස කරන්න ඇයට පහසු වුණේ නැහැ. තවත් සමහර අය විශේෂ හැකියාවක් නිසා හෝ අත් කරගත් සාර්ථකත්වයක් නිසා හෝ තමන්ගේම නුවණෙහි රඳා සිටිනවා. උදාහරණයකට කාලයක් පුරා සේවය කරන බොහෝ අද්දැකීම් ඇති වැඩිමහල්ලෙකු සභාවේ යම් කාරණා හසුරුවන විට යාච්ඤා නොකර ඔහුගේම අද්දැකීම් මත රඳා සිටින්න ඉඩ තිබෙනවා.

4. මේ ලිපියෙන් අපි සලකා බලන්නේ මොනවාද?

4 යෙහෝවා දෙවිගේ උපකාර ඉල්ලා යාච්ඤා කරන විට ඒ යාච්ඤාවලට එකඟව අපි ක්‍රියා කරයි කියා ඔහු බලාපොරොත්තු වෙනවා. යම් අසීරු තත්වයකට මුහුණ දෙන විට යෙහෝවා දෙවිට භාර දිය යුත්තේ කුමන කාරණාද කියාත් අපි කළ යුත්තේ කුමක්ද කියාත් හඳුනාගන්නේ කොහොමද? අපි තීරණ ගන්නා විට සැලකිලිමත් විය යුත්තේ කුමන කාරණා ගැනද? වැරදි පෙලඹීම්වලට එරෙහිව සටන් කරන විට අපි යාච්ඤා කළ යුත්තේ ඇයි? මේ ප්‍රශ්නවලට පිළිතුරු බයිබලයේ සඳහන් චරිත ඇසුරෙන් සලකා බලමු.

අසීරු තත්වයන්ට මුහුණ දෙන විට

5, 6. සෙනකෙරිබ් රජ යෙරුසලම අල්ලාගැනීමට පැමිණි විට හෙසකියා කළේ කුමක්ද?

5 හෙසකියා රජ ‘දෙවි කෙරෙහි තම විශ්වාසය තැබුවා. ඔහු යෙහෝවා දෙවිව අත් නොහැර දිගටම ඔහුට නමස්කාර කළා. මෝසෙස් මාර්ගයෙන් දෙවි දුන් ආඥා ඔහු දිගටම පිළිපැද්දා.’ (2 රාජා. 18:5, 6) ඒ බව පැහැදිලි වෙන්නේ මෙම සිද්ධියෙන්. ඇසිරියාවේ සෙනකෙරිබ් රජු ඔහුගේ බලවත් හමුදාව සමඟ යෙරුසලම අත් පත් කරගන්න සූදානම් වුණා. ඊට පෙර ඔහු ජනයාව බිය වද්දා ඔවුන්ටත් යෙහෝවා දෙවිටත් නින්දා කිරීමට රබ්ෂාකේව එව්වා. එවැනි ඉතා අසීරු තත්වයකට මුහුණ දුන් හෙසකියා රජු කළේ කුමක්ද? ඔහු දේවමාලිගාවට ගොස් මෙසේ යාච්ඤා කළා. “අනේ යෙහෝවා දෙවියනි, ඇසිරියාවේ රජුගේ අතින් අපව බේරාගන්න. එවිට යෙහෝවා නම් වූ ඔබ පමණක් සැබෑ දෙවි බව පොළොවේ සියලු රජවරුන් දැනගනීවි.”—2 රාජා. 19:14-19.

6 හෙසකියා රජු යෙහෝවා දෙවිගෙන් උපකාර පැතුවා පමණක් නොව තමාගේ පැත්තෙන් කළ යුතු දේවලුත් කළා. උදාහරණයකට රබ්ෂාකේ නින්දා කරමින් ඇසූ දේවලට පිළිතුරු නොදෙන ලෙස ඔහු දේවමාලිගාවට යෑමට පෙර ජනයාට අණ කළා. යෙසායාගෙන් උපදෙස් ලබාගැනීමට පිරිසක්ද යැව්වා. (2 රාජා. 18:36; 19:1, 2) හෙසකියා තමාගේම නුවණෙහි රඳා සිටියේවත් ඊජිප්තුව වැනි වෙනත් රාජ්‍යයකින් උපකාර පැතුවේවත් නැහැ. ඒ වෙනුවට යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තැබුවා. ඒ ගැන සතුටු වූ දෙවි ඔහුට ආශීර්වාද කරමින් දේවදූතයෙකුව එවා ඇසිරියානු හමුදාවේ සෙබළුන් 1,85,000ක් විනාශ කර දැමුවා.—2 රාජා. 19:35, 36.

7. හන්නාගේ හා යෝනාගේ යාච්ඤා අපට සහනයක් වන්නේ කුමන ආකාරයෙන්ද?

7 තවත් අද්දැකීම් දෙකක් සලකා බලමු. එල්කානාගේ බිරිඳ වූ හන්නා දරුවෙකු නැති නිසා දුකෙන් පසු වුණා. නමුත් ඇය තමන් සිටි තත්වය ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කරමින් ඔහු මත රඳා සිටියා. (1 සාමු. 1:9-11, 18) එමෙන්ම යෝනා දෙවිට අකීකරු වූ අවස්ථාවේදී යෝනාව විශාල මාළුවෙක් ගිලගත්තා. ඒ අසීරු අවස්ථාවේදී ඔහු මෙසේ යාච්ඤා කළා. “මගේ දුකේදී මම යෙහෝවා දෙවිට හඬගැසුවෙමි. ඔහු මට පිළිතුරු දුන්නේය. මිනී වළේ සිට උපකාරය ඉල්ලා මම කෑගැසුවෙමි. ඔබ මට කන් දුන්නෙහිය.” (යෝනා 2:1, 2, 10) අසීරු තත්වයන්ට මුහුණ දෙද්දී දෙවිට යාච්ඤා කර ඔහුගේ උපකාර ලබාගන්න අපටත් පුළුවන්. එය මොන තරම් සහනයක්ද!—ගීතාවලිය 55:1, 16 කියවන්න.

8, 9. හෙසකියා, හන්නා සහ යෝනා යාච්ඤා කරද්දී වැදගත් දෙය ලෙස සැලකුවේ කුමක්ද? ඔවුන්ගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

8 අපි අසීරුතාවලට මුහුණ දෙන විට යාච්ඤා කළ යුත්තේ කුමක් ගැනද කියා තේරුම්ගැනීමට හෙසකියා, හන්නා හා යෝනා කළ යාච්ඤා අපට උපකාරවත් වෙනවා. ඔවුන් යාච්ඤා කළේ ඔවුන්ට පෞද්ගලිකව මුහුණ දීමට සිදු වූ අසීරුතා ගැන වුණත් ඔවුන් තමන් ගැන හා තමන්ගේ ගැටලුව ගැන පමණක් අවධානය යොමු කළේ නැහැ. ඔවුන් වඩා වැදගත් දේ ලෙස සැලකුවේ දෙවිගේ නාමය ගෞරවයට පත් කිරීම, සැබෑ නමස්කාරයට අත හිත දීම හා දෙවිගේ කැමැත්ත කිරීම යන දේවලුයි. උදාහරණයකට හෙසකියා දෙවිගේ නාමයට ඇති විය හැකි අගෞරවය ගැන දුක් වුණා. හන්නා තම පුතුට කොතරම් ආදරේ කළත් පූර්ණකාලීනව දෙවිට සේවය කිරීමට ඔහුව කැප කරනවා කියා දෙවිට පොරොන්දු වුණා. යෝනා “ඔබට පොරොන්දු වූ සියල්ල එලෙසම ඉටු කරන්නෙමි” කියා පැවසුවා.—යෝනා 2:9.

9 අපි යාච්ඤා කරන්නේ කුමන චේතනාවෙන්ද කියා අපත් සිතා බැලිය යුතුයි. අපි යාච්ඤා කරන්නේ අපේ ගැටලුව ගැනම විතරද? නැත්නම් දෙවි ගැනත් ඔහුගේ අරමුණ ගැනත් අපි යාච්ඤා කරනවාද? අපි යාච්ඤා කරන විට යෙහෝවා දෙවි අපේ එකම පාලකයා බවත් ඔහුගේ නමට ඇති වූ කැළැල ඉවත් කරන දවස එන තුරු ආශාවෙන් සිටින බවත් සඳහන් කිරීමට අමතක නොකරමු. එසේ කරනවා නම් බලාපොරොත්තු වන විසඳුම අපට ඒ මොහොතේම නොලැබුණත් අපි දුක් වෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී දෙවි ගැටලුව ඉවත් නොකළත් ඊට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා.—යෙසායා 40:29; ෆිලිප්පි 4:13 කියවන්න.

තීරණ ගැනීමට සිදු වන විට

10, 11. අමාරු තීරණයක් ගැනීමට සිදු වූ විට යෙහෝෂපාට් කළේ කුමක්ද?

10 වැදගත් තීරණයක් ගන්න සිදු වන විට ඔබ කරන්නේ කුමක්ද? මුලින්ම ඔබ කැමති දේ කිරීමට තීරණය ගෙන ඉන්පසු එයට ආශීර්වාද කරන්න කියා දෙවිගෙන් ඉල්ලනවද? යූදාහි යෙහෝෂපාට් රජු එසේ කළේ නැහැ. වරක් මෝවබ්වරු හා අම්මොන්වරු යූදා දේශයට විරුද්ධව සටන් කිරීමට පැමිණි විට ඔවුන්ට විරුද්ධව සටන් කිරීමට තරම් බලවත් හමුදාවක් යෙහෝෂපාට් සතු වුණේ නැහැ. ඔහු කළේ කුමක්ද?

11 බියට පත් වූ ඔහු ‘මහත් ඕනෑකමින් යුතුව යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවා.’ එපමණක් නොව නිරාහාරව සිටින්න කියාත් ඔහු සෙනඟට අණ කළා. පසුව සෙනඟ රැස් කළ ඔහු මෙසේ යාච්ඤා කළා. “අපේ දෙවියනි, ඔබ අප වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේ නැද්ද? අපට විරුද්ධව පැමිණෙන මෙම විශාල සමූහයට එරෙහිව සිටින්න අපිට කිසිම ශක්තියක් නැහැ. කළ යුත්තේ කුමක්ද කියාවත් අප දන්නේ නැහැ. ඒ නිසා අප උපකාර පතා බලා සිටින්නේ ඔබ දෙසයි.” දෙවි ඒ යාච්ඤාවට සවන් දී යූදා සෙනඟ වෙනුවෙන් සටන් කර ඔවුන්ව ගලවාගත්තා. (2 ලේක. 20:3-12, 17) දෙවි සමඟ තිබෙන බැඳීමට තර්ජනයක් විය හැකි කාරණා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අපටත් සිදු වන විට අපේම නුවණෙහි රඳා නොසිට අපි යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබමු.

12, 13. තීරණ ගන්නා විට දාවිත්ගේ ආදර්ශයෙන් ඉගෙනගන්න පුළුවන් කුමක්ද?

12 අනික් අතට අප යම් ගැටලු සාර්ථකව විසඳගෙනත් ඇති. ඒ නිසා ඊට සමාන ගැටලුවකට මුහුණ දෙන විට එය පහසුවෙන් විසඳාගත හැකියි කියා අප සිතන්න ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවක දාවිත් කළ දේ බලමු. අමලෙක්වරුන් ෂික්ලග් නුවරට පහර දී දාවිත්ගේ භාර්යාවන්, දූ පුතුන් හා සෙනඟව පැහැරගෙන ගිය අවස්ථාවේදී දාවිත් දෙවිගෙන් මෙසේ ඇසුවා. “මම මේ කොල්ලකරුවන්ව ලුහුබැඳ යන්නද? . . . යන්න. ඔබට නිසැකවම ඔවුන්ව අල්ලාගැනීමට හැකි වන්නේය. ඔවුන් පැහැරගෙන ගිය සෙනඟවද ඔබට නිදහස් කරගැනීමට හැකි වනු ඇත” කියා යෙහෝවා දෙවි පැවසුවා. දාවිත් දෙවි කී ලෙස කර සෙනඟව නිදහස් කරගත්තා.—1 සාමු. 30:7-9, 18-20.

13 ඉන් ටික කලකට පසු පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරුන්ට පහර දුන්නා. කළ යුත්තේ කුමක්ද කියා දාවිත් නැවත වරක් දෙවිගෙන් විමසුවා. දෙවි පැහැදිලිව පැවසුවේ “ගොස් ඔවුන්ට පහර දෙන්න. මම ඔවුන්ව ඔබට යටත් කර දෙන්නෙමි” කියායි. (2 සාමු. 5:18, 19) තවත් ටික කලකට පසු පිලිස්තිවරු නැවතත් සටනට පැමිණියා. දාවිත් මේ අවස්ථාවේදී කළේ කුමක්ද? ‘කලින් අවස්ථා දෙකේදීම සාර්ථක වුණානේ. මේ වතාවේදීත් කරන්න ඕන මොකක්ද කියලා මං දන්නවා’ කියා සිතන්නත් තනි තීරණයක් ගෙන සටනට යන්නත් දාවිත්ට ඉඩ කඩ තිබුණා. නමුත් ඔහු තමාගේ අද්දැකීම් මත හෝ නුවණ මත රඳා සිටියේ නැහැ. ඔහු නැවත වතාවක් දෙවිට යාච්ඤා කළා. මේ වතාවේදී දෙවිගෙන් ලැබුණේ වෙනස් පිළිතුරක්. මෙවරත් දෙවිගේ මඟ පෙන්වීම් පැතීම ගැන දාවිත් මොන තරම් සතුටු වෙන්න ඇද්ද? (2 සාමු. 5:22, 23) අපේ අද්දැකීම් හෝ නුවණ නිසා සමහර ගැටලු විසඳන එක එතරම් අමාරු නැහැ කියා අපට සිතෙන්න පුළුවන්. නමුත් එසේ නොකර දාවිත්ගේ ආදර්ශය අනුගමනය කරමු.—යෙරෙමියා 10:23 කියවන්න.

14. යොෂුවා සහ ගිබියොන්වරුන්ගේ සිද්ධියෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

14 අපි හැමෝම අසම්පූර්ණ අය නිසා අපට කොතරම් අද්දැකීම් තිබුණත් තීරණ ගන්නා විට යෙහෝවා දෙවිගෙන් මඟ පෙන්වීම් පැතීමට අමතක නොකළ යුතුයි. විශේෂයෙන්ම වැඩිමහල්ලන් එය මතක තබාගත යුතුයි. එසේ නොකළ පිරිසක් ගැන අපි දැන් සලකා බලමු. දුර ඈතක සිට පැමිණෙන බව අඟවමින් ගිබියොන්වරු යොෂුවා හා ඊශ්‍රායෙල් වැඩිමහල්ලන් වෙත පැමිණ තමන් සමඟ සටන් නොකරන ලෙස ඉල්ලා සිටි අවස්ථාව ඔබට මතකද? ඒ අවස්ථාවේදී යොෂුවා සහ ඔහු සමඟ සිටි වැඩිමහල්ලන් ගිබියොන්වරුන්ට විරුද්ධව සටන් නොකිරීමට ගිවිසුමක් ඇති කරගත්තා. නමුත් ඊට පෙර ඒ ගැන දෙවිගෙන් විමසුවේ නැහැ. යෙහෝවා දෙවි එම ගිවිසුම අවලංගු නොකළත් ඒ සිද්ධිය බයිබලයේ වාර්තා කළේ යොෂුවා හා වැඩිමහල්ලන් ඔහුගෙන් නොඅසා ගත් තීරණය ගැන අපිට දැනුම් දීමටයි. ඉන් අපි ඉගෙනගන්නා පාඩම නම් තීරණයක් ගැනීමට පෙර සෑමවිටම දෙවිගෙන් මඟ පෙන්වීම් පැතිය යුතු බවයි.—යොෂු. 9:3-6, 14, 15.

වැරදි පෙලඹීම්වලට එරෙහිව සටන් කරන විට

15. වැරදි පෙලඹීම්වලට එරෙහිව සටන් කිරීමට යාච්ඤා කිරීම අවශ්‍ය ඇයි?

15 අපි සියල්ලෝම පාපය උරුම කරගෙන සිටින නිසා වැරදි පෙලඹීම් ඇති වෙනවා. ඊට එරෙහිව සටන් කළ යුතු වුණත් එය පහසු දෙයක් නොවෙයි. (රෝම 7:21-25) එම සටන ජය ගැනීමට නම් යාච්ඤා කළ යුතුයි කියා යේසුස් පැවසුවා. (ලූක් 22:40 කියවන්න.) ඒ වගේම වැරදි ආශාවන් නිතර ඇති විය හැකි නිසා “නොකඩවාම” යාච්ඤා කළ යුතුයි. එසේ කරන විට යෙහෝවා දෙවි “අදිමදි නොකර සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙන” බවට පොරොන්දු වී තිබෙනවා. (යාකො. 1:5) කළ හැකි තවත් දෙයක් ගැන යාකොබ් පැවසුවා. වැරදි පෙලඹීම්වලට එරෙහිව සටන් කිරීමට වෑයම් කරන කෙනෙක් “වැඩිමහල්ලන්ව කැඳවිය යුතුයි. එවිට යෙහෝවා දෙවිගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කරමින් ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීමට ඔවුන්ට පුළුවන. විශ්වාසයකින් යුතුව ඉදිරිපත් කරන යාච්ඤාව මගින් අසනීපයෙන් සිටින පුද්ගලයා සනීප” වෙයි.—යාකො. 5:14, 15.

16, 17. වැරදි පෙලඹීමකට එරෙහිව සටන් කරන විට අපි යාච්ඤා කළ යුත්තේ කුමන අවස්ථාවේද?

16 වැරදි පෙලඹීම් ඇති වන විට අප යාච්ඤා නොකළොත් ඉන් ජය ගැනීමට හැකි වෙන්නේ නැහැ. නමුත් යාච්ඤා කළ යුත්තේ කුමන අවස්ථාවේදීද කියා තේරුම්ගැනීම වැදගත්. හිතෝපදේශ 7:6-23හි සඳහන් තරුණයාට සිදු වූ දේ ගැන සිතා බලන්න. සවස් වරුවේ අඳුර වැටෙන යාමයේ ඔහු වීථියක ඇවිදගෙන ගියේ එහි ගණිකාවක් සිටින බව දැන දැනමයි. ඇය ඒ තරුණයාට චාටු බස් දොඩා ඇගේ නිවසට කැඳවාගෙන ගියා. ඔහු ඇය පසුපස ගියේ මරන්න ගෙන යන ගොනෙකු වගෙයි. ඒ වෙලාවේ ඔහු තුළ ඇති වූ වැරදි ආශාව ඉවත් කරගැනීමට තරම් ධෛර්යයක් ඔහුට තිබුණේ නැහැ. බයිබලයේ ඔහුව හඳුන්වන්නේ “අඥානයෙකු” නැතහොත් හොඳ විනිශ්චයක් කිරීමට නොහැකි තරුණයෙකු ලෙසයි. සමහරවිට ඔහු වැරදි ආශාවන් සමඟ පොරබදමින් සිටි කෙනෙකු වූවා විය හැකියි. (හිතෝ. 7:7) ඔහු යාච්ඤා කළ යුතුව තිබුණේ කුමන අවස්ථාවේද? අඩුම තරමින් ගණිකාව ඔහු සමඟ කතා කරමින් සිටි අවස්ථාවේදීවත් යාච්ඤා කළා නම් හොඳයි. නමුත් ඔහු යාච්ඤා කළ යුතු වූ සුදුසුම අවස්ථාව වූයේ ගණිකාව සිටින වීථියේ ගමන් කිරීමට සිතුවිල්ල පහළ වූ විටයි.

17 අදත් ක්‍රිස්තියානි පුරුෂයෙක් කාමුක දර්ශන නොබලා සිටීමට වෑයමක් දරනවා විය හැකියි. නමුත් අන්තර්ජාලයේ කාමුක දර්ශන හෝ කාමුක වීඩියෝ දර්ශන තිබෙනවා කියා දන්නා වෙබ් අඩවියකට ඔහු පිවිසුණොත් කුමක් විය හැකිද? එවැනි අවස්ථාවක ඔහු සිටින්නේ ඉහත සඳහන් තරුණයා සිටි තත්වයේමයි. ඔහු සූදානම් වන්නේ ඉතාම අනතුරු සහිත මාවතක පියමං කරන්නයි. කාමුක දර්ශන නැරඹීමට ආශාවක් ඇති කෙනෙක් අන්තර්ජාලයට පිවිසීමට පෙර යාච්ඤා කළ යුතුයි.

18, 19. (අ) වැරදි පෙලඹීම්වලට එරෙහිව සිටීම අමාරු ඇයි? නමුත් ඉන් ජය ගත හැක්කේ කෙසේද? (ආ) ඔබේ අධිෂ්ඨානය කුමක්ද?

18 වැරදි පෙලඹීම්වලට එරෙහි වීම හෝ නරක පුරුදු අත්හැරීම පහසු දෙයක් නොවෙයි. ඊට හේතුව ගැන පාවුල් පැවසුවේ මෙසේයි. “පව්කාර ආශාවන් දෙවිගේ බලයට විරුද්ධව ක්‍රියා කරන ආකාරයටම දෙවිගේ බලයද පව්කාර ආශාවන්ට විරුද්ධව ක්‍රියා කරයි.” (ගලා. 5:17) ඒ නිසා පව්කාර ආශාවන් ජය ගැනීමට නම් එවැනි සිතුවිලි හෝ පෙලඹීම් අපේ සිතට රිංගාගත් අවස්ථාවේදීම මහත් ඕනෑකමින් දෙවිට යාච්ඤා කළ යුතුයි. ඒ සමඟ අවශ්‍ය පියවරද ගත යුතුයි. වැරදි පෙලඹීම් ඕනෑම කෙනෙකු තුළ ඇති විය හැකියි. (1 කොරි. 10:13) නමුත් දෙවිගේ උපකාරය ඇතුව වැරදි ආශාවන් පරාජය කර ඔහුට විශ්වාසවන්තව සිටින්න අපි සැමට හැකියි.

19 අපි අසීරු තත්වයන්ට මුහුණ දෙන විට, අපිට වැදගත් තීරණ ගන්න සිදු වෙන විට හෝ වැරදි පෙලඹීම්වලට එරෙහිව සටන් කරන්න සිදු වන විට යාච්ඤාව අපට ඉමහත් උපකාරයක්. අපි යාච්ඤා කරන විට ඉන් පෙන්වන්නේ යෙහෝවා දෙවි කෙරෙහි වූ අපේ විශ්වාසයයි. දෙවිගේ බලය මගින් අපිට මඟ පෙන්වීමත් ශක්තියත් දෙන්න කියා නොකඩවා දෙවිගෙන් ඉල්ලමු. (ලූක් 11:9-13) අපේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරමු.

[පාදසටහන]

^ 1 ඡේ. නම් වෙනස් කර ඇත.

ඔබට මතකද?

• යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් හෙසකියා, හන්නා සහ යෝනාගෙන් ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• තීරණ ගන්නා විට දාවිත්ගේ හා යොෂුවාගේ ආදර්ශ අපට උපකාර වෙන්නේ කොහොමද?

• යාච්ඤා කිරීමට සුදුසු අවස්ථාව තේරුම්ගැනීම වැදගත් ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

වැරදි පෙලඹීම්වලට එරෙහිව සිටීමට යාච්ඤා කළ යුත්තේ කුමන අවස්ථාවේද?