Skip to content

පටුනට යන්න

වර්ෂ 2012දී පොළොව විනාශ වෙයිද?

වර්ෂ 2012දී පොළොව විනාශ වෙයිද?

පාඨකයන් අසයි

වර්ෂ 2012දී පොළොව විනාශ වෙයිද?

▪ “වර්ෂ 2012 දෙසැම්බර් 21වෙනි දින පොළොව විනාශ වන බව සිතන විශාල පිරිසක් ප්‍රංශයේ එක් ගමක එකතු වුණා. මායාවරුන්ගේ දිනදර්ශනයට අනුව එදින වසර 5,125ක යුගයක් අවසන් වෙනවා කියා ඔවුන් විශ්වාස කරනවා.”—BBC පුවතක්.

සමහර ආගමික නායකයන් පවා පොළොව විනාශ වෙන බව පවසනවා. ඒ වගේම තමන් විද්‍යාඥයන්යයි පවසාගන්නා අයද අනාවැකි පවසන සමහර අයද පොළොව විනාශ වෙන බව පවසනවා. නමුත් කවුරු කෙසේ පැවසුවත් පොළොව නම් කවදාවත් විනාශ වෙන්නේ නැහැ. එය 2012දීවත් වෙන කිසිම දිනකවත් විනාශ වෙන්නේ නැහැ.

බයිබලයේ ඒ ගැන මෙසේ සහතික කර තිබෙනවා. “පරම්පරාවක් පහව යයි. තවත් පරම්පරාවක් බිහි වෙයි. එහෙත් පොළොව සදහටම පවතියි.” (දේශනාකාරයා 1:4) ඒ වගේම යෙසායා 45:18හි මෙසේ සඳහන් වෙනවා. ‘යෙහෝවා දෙවි පොළොව නිර්මාණය කර එය ස්ථිර ලෙස පිහිටෙව්වේය. ඔහු පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහාය. ඔහු ඔබට මෙසේ පවසයි. “මා යෙහෝවා දෙවිය. මට සමාන කිසිවෙක් නැත.”’

පියෙක් සෑහෙන කාලයක් වැය කර තම පුතාට හෝ දුවට සෙල්ලම් කරන්න යමක් සාදා දුන්නා කියා සිතන්න. දරුවා ආසාවෙන් සෙල්ලම් කරන අතරතුර පියා එය විනාශ කර දමයි කියා සිතිය හැකිද? ඔහු එසේ කළොත් එය දුෂ්ට ක්‍රියාවක් බව ඔබ පවසනවාට කිසිම සැකයක් නැහැ. ප්‍රේමණීය පියෙක් වන යෙහෝවා දෙවිද පොළොව නිර්මාණය කළේ මිනිසුන්ට සන්තෝෂයෙන් ජීවත් වීමට අවශ්‍ය සියලු දේ ඇතුවයි. දෙවි මුල් යුවළව නිර්මාණය කර ඔවුන්ට මෙසේ පැවසුවා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.” අවසානයේදී ‘දෙවි තමා සෑදූ සියල්ල දෙස බැලූ බවත් ඒ සියල්ල ඉතා හොඳින් සාදා තිබුණු බව ඔහු දුටු බවත්’ බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 1:27, 28, 31) දෙවි පොළොව නිර්මාණය කළේ සදාකාලයටම පවතින්නයි. ඔහු කිසි දිනක එය විනාශ වීමට ඉඩ දෙන්නේ නැහැ. දෙවි ලබා දෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරන බවට ඔහුම මෙසේ සහතික කර තිබෙනවා. “එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත. මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය. මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.”—යෙසායා 55:11.

කෙසේවෙතත් යෙහෝවා දෙවි ‘පොළොව විනාශ කරන අයව නම් විනාශ කර දමනවා.’ (එළිදරව් 11:18) බයිබලයේ මෙසේද සඳහන් වෙනවා. “ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අය දිගු කල් ජීවත් වන්නෝය. පොළොව මත බේරී ජීවත් වන්නේ නිර්දෝෂ අයයි. නමුත් දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය. ද්‍රෝහිකම් කරන්නන්වද පොළොවෙන් උදුරා දමනු ලබන්නේය.”—හිතෝපදේශ 2:21, 22.

එය සිදු වන දිනය කිසිම කෙනෙක් දන්නේ නැහැ. යේසුස් ඒ ගැන මෙසේ පැවසුවා. ‘ඒ දවස හෝ වේලාව කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයේ සිටින දේවදූතයන්වත් පුත්‍රයාවත් එය දන්නේ නැහැ. ඒ ගැන දන්නේ පියාණන් පමණයි.’ (මාක් 13:32) ඒ නිසා දුෂ්ට මිනිසුන්ව දෙවි විනාශ කර දමන්නේ කවදාද කියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උපකල්පනය කරන්නේ නැහැ. යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් නියමිත දවසේදී එය සිදු කරන බව ඔවුන් දන්නවා. ඒ වගේම එය ඉතා ළඟදීම සිදු වන බවත් ඔවුන් තේරුම්ගෙන සිටිනවා.—මාක් 13:4-8, 33; 2 තිමෝති 3:1.

ඔවුන් වැඩි අවධානයක් දෙන්නේ දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය සියලුදෙනාටම ප්‍රකාශ කරන්නයි. එම රාජ්‍යය මගින් ධර්මිෂ්ඨ මිනිසුන්ට සදාකල් ජීවත් වීමට හැකි වන ලෙස මේ පොළොව පාරාදීසයක් බවට පත් කරනවා.—ගීතාවලිය 37:29.

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Image Science and Analysis Laboratory, NASA-Johnson Space Center