Skip to content

පටුනට යන්න

දෙවිගේ නාමය නිවැරදිව භාවිත කිරීමට වෙහෙසුණු අල්ෆොන්සෝ දේ තාමෝරා

දෙවිගේ නාමය නිවැරදිව භාවිත කිරීමට වෙහෙසුණු අල්ෆොන්සෝ දේ තාමෝරා

දෙවිගේ නාමය නිවැරදිව භාවිත කිරීමට වෙහෙසුණු අල්ෆොන්සෝ දේ තාමෝරා

ස්පාඤ්ඤයේ රජු වූ ෆර්ඩිනන්ඩ් සහ ඉසබෙලා බිසව 1492දී මෙම ආඥාව නිකුත් කළා. “යුදෙව් ස්ත්‍රීන්, පුරුෂයන්, ඔවුන්ගේ දරුවන්, මෙහෙකරුවන්, මෙහෙකාරියන් ඇතුළු සියලුම යුදෙව්වන් මේ වසරේ ජූලි මාසය අවසන් වෙද්දී මේ රටෙන් සහ අපගේ පාලනය යටතේ පවතින සියලුම ප්‍රදේශවලින් පිට විය යුතුයි. ඔවුන් නැවත පැමිණීමට උත්සාහ කළොත් භයානක ප්‍රතිඵලවලට මුහුණ දීමට ඔවුන්ට සිදු වෙයි.”

එම නියෝගය යටතේ ස්පාඤ්ඤයේ ජීවත් වන සියලුම යුදෙව්වන්ට තේරීමක් කළ යුතු වුණා. එනම් තමන්ගේ ආගම අත්හරිනවාද නැත්නම් රටෙන් පිට වෙනවාද යන තේරීමයි. තමන්ගේ මුතුන්මිත්තන් සෑමදෙනාම ජීවත් වූයේ ස්පාඤ්ඤයේ නිසා යුදෙව් ආගමේ ගුරුවරයෙක් වූ හ්වාන් දේ තාමෝරා කතෝලික ආගම වැලඳගෙන ස්පාඤ්ඤයේම සිටීමට තීරණය කළා. පසුව තාමෝරා ඔහුගේ පුතා වූ අල්ෆොන්සෝව හෙබ්‍රෙව් භාෂාව උගන්වන පාසැලකට ඇතුල් කළා. අල්ෆොන්සෝ ග්‍රීක, ලතින් සහ ඇරමයික භාෂා පිළිබඳ හසළ දැනුමක් ලබාගත්තා. අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු ඔහු සලමන්කා විශ්වවිද්‍යාලයේ හෙබ්‍රෙව් භාෂාව ඉගැන්නුවා. ඔහු සතු භාෂා දැනුම යුරෝපය පුරා සිටි බයිබල් විශාරදයන්ට ප්‍රයෝජනවත් වුණා.

වර්ෂ 1512දී අලුතෙන් පිහිටෙවූ අල්කලා දේ හෙනාරෙස් විශ්වවිද්‍යාලයේ හෙබ්‍රෙව් භාෂා අධ්‍යයන අංශයේ ප්‍රධානියා ලෙස අල්ෆොන්සෝ දේ තාමෝරාව පත් කළා. ඔහු එවකට ප්‍රසිද්ධ විශාරදයෙක්ව සිටි නිසා කාදිනල්වරයෙක් වූ හිමෙනෙත් දේ තිස්නෙරොස්, භාෂා කිහිපයක් ඇතුළත් බයිබලයක් සකස් කිරීමට ඔහුගේ උපකාරය පැතුවා. එකම පිටුවේ භාෂා කිහිපයක් ඇතුළත් කර සකස් කර තිබූ වෙළුම් හයකින් යුත් එම බයිබලයේ හෙබ්‍රෙව්, ග්‍රීක සහ ලතින් භාෂාද ඇරමයික භාෂාවෙන් සමහර කොටස්ද ඇතුළත් වුණා. *

එම කාර්යය විශාල ව්‍යාපෘතියක් හා සමානයි. ඒ ගැන බයිබල් විශාරදයෙක් වන මරියානෝ රෙබිල්යා මෙසේ පවසනවා. “එම ව්‍යාපෘතියට හවුල් වූ තිදෙනාගෙන් ප්‍රසිද්ධම පුද්ගලයා වෙන්නේ අල්ෆොන්සෝ දේ තාමෝරායි. ඔහු ව්‍යාකරණ පිළිබඳ ප්‍රවීණයෙක් මෙන්ම දාර්ශනිකයෙක්. ලතින්, ග්‍රීක සහ හෙබ්‍රෙව් භාෂා පිළිබඳ විශාරදයෙක්. ඊට අමතරව යුදෙව්වන්ගේ ආගමික ග්‍රන්ථයක් වන තල්මුඩය ගැනද ඔහුට හොඳ දැනුමක් තිබුණා.” බයිබලය නිවැරදිව පරිවර්තනය කිරීමට නම් එහි මුල් භාෂා පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතු බව තාමෝරා තේරුම්ගෙන සිටියා. අල්ෆොන්සෝ නිසා 16වෙනි ශතවර්ෂයේ මුල් කාලයේදී බොහෝදෙනා බයිබලය ගවේෂණය කිරීමට පෙලඹුණා.

තාමෝරා ජීවත් වුණේ බයිබලය හා සම්බන්ධ අධ්‍යයනයන් සිදු කිරීමට අපහසු කාලයකයි. ඒ කාලයේදී ස්පාඤ්ඤයේ කතෝලික සභාවට විරුද්ධව ක්‍රියා කළ අයට දැඩි දඬුවම් ලබා දුන්නා. කතෝලික පල්ලිය අවසර දී තිබුණේ ලතින් වල්ගේට් බයිබලය භාවිත කිරීමට පමණයි. ඒ වන විටත් එම බයිබලයේ බොහෝ අඩුපාඩු තිබෙන බව කතෝලික විශාරදයන් විසින් පෙන්වා දී තිබුණා. දහසයවෙනි ශතවර්ෂයේ මුල්භාගයේදී අල්ෆොන්සෝ සහ තවත් කිහිපදෙනෙක් ඒ සම්බන්ධයෙන් යමක් කළ යුතු බව තේරුම්ගත්තා.

‘ගැලවීම සඳහා පරිවර්තනය කිරීම අත්‍යවශ්‍යයි’

පරණ ගිවිසුම ලෙස බොහෝදෙනා අතර ප්‍රසිද්ධ බයිබලයේ මුල් පොත් 39 මෙන්ම එහි ලතින් පරිවර්තනය තාමෝරා සංස්කරණය කළා. එය ඉතා විශිෂ්ට දෙයක් ලෙස සැලකිය හැකියි. ඔහු බලාපොරොත්තු වුණේ බොහෝ භාෂා ඇතුළත් කර සකස් කරන බයිබලයට මෙම සංස්කරණය ප්‍රයෝජනවත් වෙයි කියායි. ඔහු කළ උත්පත්ති පොතේ එක් අත්පිටපතක් ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නුවර එල් එස්කෝරියාල් පුස්තකාලයේ දැකගත හැකියි. එහි සෑම හෙබ්‍රෙව් වචනයක් ළඟම ඊට අදාළ ලතින් වචනය ඇතුළත් කර තිබෙනවා.

එහි පෙරවදනෙහි මෙසේ සඳහන් වෙනවා. ‘ජනයාගේ ගැලවීම රඳා පවතින්නේ ශුද්ධ ලියවිලි අනික් භාෂාවලට පරිවර්තනය කිරීම මතයි. සෑම හෙබ්‍රෙව් වචනයකටම අදාළ ලතින් වචනය යෙදීම අත්‍යවශ්‍ය බව අපට සිතුණා.’ තාමෝරා හෙබ්‍රෙව් භාෂාව පිළිබඳ විශාරදයෙක් නිසා එවැනි කාර්යයක් කිරීමට ඔහුට ඕනෑ තරම් සුදුසුකම් තිබුණා.

“මට කිසි සැනසීමක් නැහැ”

දහසයවන ශතවර්ෂයේදී තාමෝරා වැනි විශාරදයන්ට ඔවුන්ගේ කාර්යය කරගෙන යෑමට ස්පාඤ්ඤය සුදුසුම ස්ථානයක් වුණා. ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වුණා. “එහි මුස්ලිම්වරුන් සහ යුදෙව්වරුන් බොහෝදෙනෙක් සිටියා. බටහිර යුරෝපයේ බොහෝ ජාතීන් සහ බොහෝ ආගම් තිබූ එකම රට වූයේ ස්පාඤ්ඤයයි. ඒ නිසා ස්පාඤ්ඤයේ කලාවට, ආගමට, සාහිත්‍යයට සහ ගෘහ නිර්මාණ ශිල්පයට මෙම තත්වය විශාල බලපෑමක් වුණා.”—The Encyclopædia Britannica.

ස්පාඤ්ඤයේ යුදෙව්වන් බොහෝදෙනෙක් සිටි නිසා හෙබ්‍රෙව් බයිබල් අත්පිටපත් බොහොමයක් එහි තිබුණා. යුදෙව් පිටපත් කරන්නන් ඒවා පිටපත් කරගෙන නමස්කාරය සඳහා රැස් වෙන ස්ථානවල ප්‍රසිද්ධියේ කියෙව්වා. එම අත්පිටපත් සම්බන්ධයෙන් එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “එම අත්පිටපත් සහ ඒවා යොදාගෙන පරිවර්තනය කළ ස්පාඤ්ඤ හා පෘතුගීසි භාෂාවෙන් ඇති පංච පුස්තකය යුදෙව් විශාරදයන් සැලකුවේ ඉතා නිවැරදි පරිවර්තන ලෙසයි.”—The Earliest Editions of the Hebrew Bible.

බයිබලය ගැන හදාරන අයට මුලදී ස්පාඤ්ඤයෙන් කිසිම විරුද්ධවාදිකමක් ඇති නොවුණත් පසු කාලයේදී පීඩා ආරම්භ වෙන්න පටන්ගත්තා. ස්පාඤ්ඤයේ ෆර්ඩිනන්ඩ් රජුගේ සහ ඉසබෙලා බිසව යටතේ සිටි කතෝලික හමුදාව 1492දී අවසන් මුස්ලිම් ජනාවාසයත් ඉවත් කර දැම්මා. මෙම ලිපියේ මුලින් සඳහන් කළ නියෝගය නිකුත් කළේද එම වසරේදීමයි. ඒ හා සමානව තවත් නියෝගයක් නිසා වසර දහයකට පසු සියලුම මුස්ලිම්වරුන්ව ස්පාඤ්ඤයෙන් පිටුවහල් කළා. ඉන්පසු කතෝලික ආගම ස්පාඤ්ඤයේ රාජ්‍ය ආගම බවට පත් වුණා. වෙන කිසිම ආගමක් ඇදහීමට අවසර තිබුණේ නැහැ.

මෙම තත්වය බයිබලය පරිවර්තනය කිරීමේ කාර්යයට බලපෑවේ කොහොමද? තාමෝරාට සිදු වූ දේ සලකා බැලීමෙන් ඊට පිළිතුරු සොයාගත හැකියි. යුදෙව්වෙකු වූ තාමෝරා කතෝලික ආගම වැලඳගෙන තිබුණත් ස්පාඤ්ඤ බලධාරීන් ඔහුට කිසි සැලකිල්ලක් දැක්වූයේ නැහැ. කතෝලික ආගම වැලඳගත් යුදෙව්වන්ව බොහෝ භාෂාවලින් යුත් බයිබලයක් සකස් කිරීමට හවුල් කරගැනීම ගැන සමහරුන් කාදිනල් තිස්නෙරොස්ටද දොස් පැවරුවා. එවැනි වාතාවරණයක් යටතේ තාමෝරාට බොහෝ කරදරවලට මුහුණ දීමට සිදු වුණා. මැඩ්‍රිඩ් විශ්වවිද්‍යාලයේ තිබෙන ඔහුගේ එක් ලියවිල්ලක ඔහු මෙසේ සඳහන් කර තිබෙනවා. ‘මගේ යාළුවෝ මාව අත්හැරලා. ඔවුන් මට වෛර කරනවා. ඔවුන් මාව සලකන්නේ සතුරෙක් විදිහටයි. මට කිසි සැනසීමක් නැහැ.’

ටොලෙඩෝවල අග්‍රබිෂොප්වරයා වූ හ්වාන් තබේරා, තාමෝරාගේ ප්‍රධාන සතුරෙක් ලෙස ක්‍රියා කළා. පසුව ඔහු කතෝලික සභාවට විරුද්ධව ක්‍රියා කරන අයව විභාග කරන කොමිසමේ ප්‍රධානියා ලෙසත් ක්‍රියා කළා. තබේරා ඇති කළ ප්‍රශ්න නිසා තාමෝරා මොන තරම් කලකිරීමකට පත් වුණාද කියනවා නම් ඔහු ඒ ගැන පාප්වරයාටත් දැනුම් දුන්නා. ඒ සම්බන්ධයෙන් ඔහු ලියූ ලිපියේ මෙවැනි දෙයක් සඳහන් වෙනවා. ‘ශුද්ධෝත්තමයාණන්ගෙන් අප බැගෑපත්ව ඉල්ලා සිටින්නේ අපේ සතුරෙක් වන ටොලෙඩෝවල අග්‍රබිෂොප්වරයා වූ හ්වාන් තබේරාගෙන් අපව ගලවාගන්නා ලෙසයි. හැමදාම ඔහු අපට විවිධ හිරිහැර කරනවා. අපිට ඒක හරිම කරදරයක්. ඔහුට අපව පෙනෙන්නේ මරන්න රැගෙන යන සතුන් ලෙසයි. ඔබ තුමා අපගේ ආයාචනය ගැන සලකා බැලුවොත් යාහ්වේ * ඔබගේ පාද කිසිවකට පැටලෙන්න ඉඩ නොදී ඔබව ආරක්ෂා කරයි.’—හිතෝපදේශ 3:23.

තාමෝරාගෙන් ලැබුණු දායාදය

පීඩා මැද තාමෝරා ඔහුගේ කාර්යය දිගටම කරගෙන ගියා. ඒ නිසා බයිබලය හදාරන බොහෝදෙනෙකුට ඉන් ප්‍රයෝජන ගත හැකි වුණා. ඔහු බයිබලය පරිවර්තනය නොකළත් හෙබ්‍රෙව් ලියවිලි තේරුම්ගත හැකි ආකාරයට වඩාත් සරල ලෙස එම භාෂාවෙන්ම ඉදිරිපත් කළා. ඒ නිසා එම තොරතුරු යොදාගෙන හොඳ පරිවර්තනයක් බිහි කිරීමට පරිවර්තකයෙකුට හැකි වුණා. තාමෝරා කළ කාර්යය මොන තරම් විශිෂ්ටද!

වර්ෂ 1522දී ප්‍රකාශයට පත් කළ බොහෝ භාෂාවලින් යුත් බයිබලයේ හෙබ්‍රෙව් භාෂාවෙන් ඇති කොටසට ප්‍රධාන දායකත්වය දුන්නේ තාමෝරායි. (එම බයිබලයේ හෙබ්‍රෙව් වචනවල අදහසත් ව්‍යාකරණත් පැහැදිලි කර ඇත්තේ ඔහුයි. එයත් පරිවර්තකයන්ට බොහෝ සේ ප්‍රයෝජනවත් වුණා.) අලුත් ගිවිසුම ලෙස හඳුන්වන බයිබලයේ ග්‍රීක භාෂාවෙන් ලියූ කොටස සම්බන්ධයෙන් එවැනිම කාර්යයක් තාමෝරාගේ කාලයේ සිටි කෙනෙක් වූ ඉරැස්මස් විසින් සිදු කළා. මෙම බයිබලය ප්‍රකාශයට පත් කළ පසු එය යොදාගෙන වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීමට පරිවර්තකයන්ට පහසු වුණා. විලියම් ටින්ඩේල් ඉංග්‍රීසි භාෂාවට බයිබලය පරිවර්තනය කිරීමේදී බොහෝ භාෂාවලින් යුත් එම බයිබලයේ හෙබ්‍රෙව් භාෂාවෙන් ඇති කොටස ප්‍රයෝජනයට ගත්තා.

වර්තමානයේදී බොහෝදෙනෙකුට තමන්ගේ භාෂාවෙන් බයිබලය ලබාගත හැකි වී තිබෙන්නේ තාමෝරා වැනි අය ඔවුන්ගේ ජීවිත කාලයම කැප කර ශුද්ධ ලියවිලි පිළිබඳ දැනුම ලබාගත් නිසයි. තාමෝරා තේරුම්ගෙන සිටියා හා සමානව මිනිසුන්ගේ ගැලවීම රඳා පවතින්නේ දෙවිගේ වචනය වන බයිබලයේ ඇති දේ තේරුම්ගෙන ඒවා ජීවිතයට අදාළ කරගන්නවා නම් පමණයි. (යොහන් 17:3) කෙනෙකුට එසේ කළ හැකි වන්නේ තේරුම්ගැනීමට පහසු ආකාරයට පරිවර්තනය කළ බයිබලයක් තමන්ගේම භාෂාවෙන් තිබෙනවා නම් පමණයි.

[පාදසටහන්වල]

^ 4 ඡේ. එම බයිබලය ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට 2004 අප්‍රියෙල් 15 මුරටැඹ කලාපයේ 28-31 පිටු බලන්න.

^ 15 ඡේ. මෙහි සඳහන් වෙන්නේ තාමෝරාගේ ආයාචනයේ ස්පාඤ්ඤ පරිවර්තනයේ අදහසයි. එහි දෙවිගේ නම යාහ්වේ ලෙස යොදා තිබෙනවා. නමුත් තාමෝරා ලතින් භාෂාවෙන් පාප්වරයාට ලියූ ආයාචනයේ ඒ නම කෙසේ සඳහන් කළාද කියා ස්ථිරව පැවසිය නොහැකියි. කෙසේවෙතත් තාමෝරා එහිදී දෙවිව පදවි නාමයකින් හඳුන්වනවා වෙනුවට දෙවිව පෞද්ගලික නමින් හඳුන්වා තිබීම විශේෂ දෙයක්. ඔහු දෙවිගේ නම භාවිත කළ ආකාරය දැනගැනීමට 19වෙනි පිටුවේ ඇති “දෙවිගේ නම පරිවර්තනය කිරීම” යන කොටුව බලන්න.

[19වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දෙවිගේ නම පරිවර්තනය කිරීම

හෙබ්‍රෙව් භාෂාව පිළිබඳව හසළ දැනුමක් තිබූ අල්ෆොන්සෝ දේ තාමෝරා වැනි කෙනෙක් හෙබ්‍රෙව් භාෂාවෙන් ඇති දෙවිගේ නම එම භාෂාවෙන්ම උච්චාරණය කළ ආකාරය දැනගැනීම ඉතා වැදගත්. පින්තූරයේ පෙනෙන්නේ හෙබ්‍රෙව් සහ ලතින් යන භාෂා දෙකෙන්ම ඇති බයිබලයක උත්පත්ති පොතේ කොටසක්. එහි තීරුවක දෙවිගේ නම “jehovah” (එනම්, යෙහෝවා) ලෙස සඳහන් කර තිබෙනවා.

දෙවිගේ නම එලෙස උච්චාරණය කිරීම තාමෝරා අනුමත කළ බව ඉන් පැහැදිලි වෙනවා. දහසයවෙනි ශතවර්ෂයේදී බයිබලය යුරෝපානු රටවල ඇති භාෂාවලට පරිවර්තනය කරන විට දෙවිගේ නම මුල් භාෂාවෙන් උච්චාරණය කළ ආකාරයෙන්ම හෝ ඊට සමාන ආකාරයකින් භාවිත කළා. විලියම් ටින්ඩේල් (1530දී ඉංග්‍රීසි භාෂාවෙන් කළ පරිවර්තනය), සෙබාස්තියන් මූන්ස්ටර් (1534දී ලතින් භාෂාවෙන් කළ පරිවර්තනය), පියේ රොබේ ඔලිවාටාන් (1535දී ප්‍රංශ භාෂාවෙන් කළ පරිවර්තනය) සහ කාසියෝදෝරෝ දේ රේනා (1569දී ස්පාඤ්ඤ භාෂාවෙන් කළ පරිවර්තනය) වැනි අය ඊට උදාහරණ ලෙස සඳහන් කළ හැකියි.

දහසයවෙනි ශතවර්ෂයේ සිටි බයිබල් විශාරදයන්ගෙන් දෙවිගේ නමට වැඩි අවධානයක් දුන් අය අතර තාමෝරා කැපීපෙනෙනවා. යුදෙව්වන් බොරු හේතූන් මත දෙවිගේ නම උච්චාරණය කිරීම නතර කළ නිසා ඊට වැඩි අවධානයක් ලැබුණේ නැහැ. යුදෙව්වන්ගේ එම අදහස පිළිගත් බයිබල් පරිවර්තකයන් ඔවුන්ගේ පරිවර්තනවල දෙවිගේ නම වෙනුවට “ස්වාමීන්” හෝ “දෙවි” කියා සඳහන් කළා. ජෙරොම්ගේ ලතින් වල්ගේට් පරිවර්තනය ඊට හොඳ උදාහරණයක්.

[පින්තූරය]

තාමෝරා, හෙබ්‍රෙව් භාෂාවෙන් ඇති දෙවිගේ නම “jehovah” (එනම්, යෙහෝවා) ලෙස සඳහන් කර ඇත

[18වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1492දී නිකුත් කළ ආඥාව

[හිමිකම් විස්තර]

Decree: Courtesy of the Archivo Histórico Provincial, Ávila, Spain

[18වන පිටුවේ පින්තූරය]

අල්කලා දේ හෙනාරෙස් විශ්වවිද්‍යාලය

[21වන පිටුවේ පින්තූරය]

සෑම හෙබ්‍රෙව් වචනයක් ළඟම ඊට අදාළ ලතින් වචනය ඇතුළත් කර ඇති තාමෝරාගේ බයිබලය