Skip to content

පටුනට යන්න

ආබ්‍රහම් නිර්භීත මිනිසෙක්

ආබ්‍රහම් නිර්භීත මිනිසෙක්

ආබ්‍රහම් නිර්භීත මිනිසෙක්

කානාන් දේශයට යෑම සඳහා තම පවුලේ අය ඇතුළු සේවක සේවිකාවන් සූදානම් වන අයුරු ආබ්‍රහම් බලා සිටියා. (උත්පත්ති 12:1-5) මෙතරම් කාලයක් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කළා හා සමානව අනාගතයේදීත් ඒ දේම කිරීමට තමන්ට හැකි වෙයිද කියා ඔහු කල්පනා කරන්න ඇති. සරුසාර තණබිම්, සාරවත් පසක් සහ ඇති තරම් ජලය තිබූ ඌර් දේශයේදී නම් තම පවුලේ අයගේ අවශ්‍යතා ඉටු කිරීම ඔහුට අපහසු වුණේ නැහැ. ‘කානාන් දේශයට ගිය පසු අසනීප වුණොත් නැත්නම් මිය ගියොත් තමන් යටතේ සිටින අයට මොනවා වෙයිද’ කියා ආබ්‍රහම් ඕනෑවට වඩා කල්පනා කළා නම් ඔහු කෙදිනකවත් කානාන් දේශයට යයි කියා සිතන්න බැහැ. ඒ වෙනුවට ඔහු යෙහෝවා දෙවි පැවසූ දෙයට කීකරු වුණා. ඒ සඳහා ඔහුට කොතරම් නිර්භීතකමක් අවශ්‍ය වන්න ඇද්ද!

නිර්භීත කෙනෙක්: වැඩි දෙනෙක් වැරදි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන අවස්ථාවලදී පවා නිවැරදි දේ කිරීමට නිර්භීත කෙනෙක් පසුබට වෙන්නේ නැහැ. ඇතැම් අවස්ථාවලදී නිර්භීත කෙනෙකුටත් යම් දේවල් ගැන භයක් දැනිය හැකියි. නමුත් එවැනි අවස්ථාවලදී පවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබන ඔහු හරි දේ කිරීමට මැළි වෙන්නේ නැහැ.

ආබ්‍රහම් නිර්භීතකම පෙන්වූ ආකාර: තමන් අවට සිටි සියලුදෙනා පාහේ දෙවි අකමැති දේවල් කළත් ආබ්‍රහම් දිගටම දෙවිගේ කැමැත්ත කළා. ඔහු හැදී වැඩුණේ බොරු දෙවිවරුන්ට නමස්කාර කළ මිනිසුන්ගෙන් පිරුණු නගරයකයි. එවැනි වාතාවරණයකදී වුණත් ‘මහෝත්තම දෙවි වන යෙහෝවාට’ පමණක් නමස්කාර කිරීමට ඔහු පසුබට වුණේ නැහැ.—උත්පත්ති 14:21, 22.

ආබ්‍රහම් මුල් තැන දුන්නේ යෙහෝවා දෙවිට කළ නමස්කාරයටයි. සැප පහසු ජීවිතයක් ගත කරමින් සිටි ඔහුට ඌර් නගරයෙන් පිට වී කාන්තාර ප්‍රදේශයකට යන්න කියා දෙවි පැවසූ විට ඔහු ඊට කීකරු වුණා. තමන්ගේත් පවුලේ අයගේත් අවශ්‍යතා දෙවි බලාගන්නා බවට නිසැකකමක් ඔහු තුළ තිබුණා. කෙසේවෙතත් ඌර් නගරයේ ගත කළ සැප පහසු ජීවිතය ගැන සමහර අවස්ථාවලදී ඔහුට මතක් වෙන්න ඇති. නමුත් තමන්ට අවශ්‍ය දේවල් ලබා දීමට යෙහෝවා දෙවිට හැකි බව ඔහු අමතක කළේ නැහැ. යෙහෝවා දෙවි මත සම්පූර්ණයෙන්ම රඳා සිටි ඔහු නිර්භයව දෙවි පැවසූ දේවල් ඉටු කළා.

අපට ගත හැකි පාඩම්: දුෂ්ට ලෝකයක ජීවත් වන අපත් ආබ්‍රහම් මෙන් නිර්භීතව ක්‍රියා කිරීමට උත්සාහ කරමු. යෙහෝවා දෙවිට නමස්කාර කරන විට අපගේම පවුලේ අය හෝ කිට්ටු මිතුරන් ඊට විරුද්ධ විය හැකියි. (යොහන් 15:20) එවැනි අවස්ථාවලදී පවා දිගටම දෙවිට කීකරු වීමට නිර්භීතකම අවශ්‍යයි. ඒ වගේම දෙවි ගැන ඉගෙනගෙන තිබෙන තොරතුරු සම්බන්ධයෙන් අපට නිසැකකමක්ද තිබිය යුතුයි. එවිට අන් අය අපේ විශ්වාසයන්වලට විරුද්ධ වන විටදී පවා මෘදුකමින් ක්‍රියා කරන්න අපට හැකි වෙනවා.—1 පේතෘස් 3:15.

දෙවි කෙරෙහි විශ්වාසය තබන අයගේ අවශ්‍යතා ඉටු කරන බවට ඔහු දී තිබෙන පොරොන්දුව ගැන අපට නිසැක විය හැකියි. අප එය විශ්වාස කරනවා නම් අපගේ ඕනෑ එපාකම්වලට මුල් තැන දෙනවා වෙනුවට දෙවිගේ කැමැත්ත කිරීම සඳහා මුල් තැන දීමට අප පෙලඹෙනවා. (මතෙව් 6:33) එසේ ක්‍රියා කළ එක් පවුලකගේ අද්දැකීමක් සලකා බලමු.

කුඩා දරුවන් දෙදෙනෙක් සිටින ඩග් සහ බෙකී ශුභාරංචිය ප්‍රකාශ කිරීමට වැඩි අවශ්‍යතාවක් තිබෙන රටකට ගොස් සේවය කිරීමට තීරණය කළා. ඒ දේ කිරීමට කලින් ඔවුන් ඊට දෙවිගේ බලයේ උපකාරය ඉල්ලා යාච්ඤා කළා. ඒ ගැන ඩග් මෙසේ පවසනවා. “පොඩි ළමයි දෙන්නෙක් එක්ක නොදන්න රටකට යන එක ලේසි වුණේ නැහැ. හැබැයි අපි මේ තීරණය ගන්න කලින් ආබ්‍රහම්ගෙත් සාරාගෙත් ආදර්ශය ගැන කතා වුණා. ඒ දෙන්නට දෙවි කෙරෙහි මොන තරම් විශ්වාසයක් තිබුණාද කියලත් දෙවි ඒ අයව කොතරම් හොඳින් රැකබලා ගත්තාද කියලත් අපිට මතක් වුණා. ඒ නිසා අපිටත් භය වෙන්නේ නැතුව වෙන රටකට යන්න ඒක උදව්වක් වුණා.”

ඔවුන් ගත් එම තීරණය ගැන ඩග් මෙසේ පවසනවා. “අපි හුඟක් ආශීර්වාද අද්දැක්කා. අපි මෙහේ ගත කරන්නේ හරිම සරල ජීවිතයක්. ඒ නිසා පවුලක් විදිහට එකට කාලය ගත කරන්නත් දේශනා සේවයේ යන්නත් දරුවන් එක්ක සෙල්ලම් කරන්නත් අපිට දැන් වෙලාව තියෙනවා. ඇත්තටම අපි අද්දකින සතුට වචනවලින් විස්තර කරන්න බැහැ.”

අප සියලුදෙනාටම එවන් වෙනසක් කිරීමට නොහැකි බව ඇත්තයි. නමුත් ආබ්‍රහම් මෙන් අපත් දෙවිගේ කැමැත්තට මුල් තැන දෙනවා නම් දෙවි අපව රැකබලා ගන්නා බවට නිසැක විය හැකියි. අප එසේ කරනවා නම් “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි” කියා නිර්භීතව පැවසීමට අපටත් හැකියි.—හෙබ්‍රෙව් 13:5, 6.

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබන කෙනෙක් හරි දේ කිරීමට මැළි වෙන්නේ නැහැ

[8වන පිටුවේ කොටුව/පින්තූරය]

ආදර්ශවත් බිරිඳක්

ආබ්‍රහම් හා සමානව ඔහුගේ බිරිඳ වූ සාරාද දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තැබුවා. ඇයගෙන් අපට බොහෝ දේවල් ඉගෙනගත හැකියි. දෙවිට ගරුබිය දක්වන ස්ත්‍රීන්ට ඇය කදිම ආදර්ශයක්. (යෙසායා 51:1, 2; හෙබ්‍රෙව් 11:11; 1 පේතෘස් 3:3-6) බයිබලය තුළ සාරා ගැන සඳහන්ව තිබෙන්නේ තොරතුරු ස්වල්පයක් පමණයි. නමුත් ඇය කොතරම් යහපත් ජීවිතයක් ගත කළාද කියා අපට එම තොරතුරුවලින් තේරුම්ගත හැකියි.

ඌර් නගරයෙන් පිටත් වෙන්න කියා දෙවි පැවසූ දේ ආබ්‍රහම් ඇයට පැවසූ විට ඇය ක්‍රියා කළ ආකාරය බලන්න. ඒ අවස්ථාවේදී දෙවි එසේ පැවසුවේ ඇයි කියා ඇය කල්පනා කරන්න ඇති. ඒ වගේම එම ප්‍රදේශයට ගොස් තම පවුලේ අවශ්‍යතා ඉටු කරගැනීමට හැකි වෙයිද කියාත් ඇය කල්පනා කරන්න ඇති. තමන් ආදරය කළ තම දෙමාපියන් ඇතුළු පවුලේ අයගෙන් සහ හිතමිතුරන්ගෙන් සමුගෙන නන්නාඳුනන ප්‍රදේශයකට යෑමට සිදු වීම ගැන ඇයට දුකක් දැනෙන්නත් ඇති. නමුත් ඒ කිසිම දෙයක් නිසා දෙවි පැවසූ දෙය ඉටු කිරීමට ඇය අදිමදි කළේ නැහැ. ඇය දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබා දෙවිට කීකරු වුණා.—ක්‍රියා 7:2, 3.

ඇයව ආදර්ශවත් බිරිඳක් ලෙසත් හැඳින්විය හැකියි. ඇය කිසිම විටෙක පවුලේ මූලිකත්වය තමන් අතට ගෙන කටයුතු කිරීමට උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට පවුලේ මූලිකයා වූ ආබ්‍රහම්ට පූර්ණ සහයෝගය දුන්නා. ඇය යහපත් ගතිගුණවලින් පිරි ස්ත්‍රියක් බව ඇය ජීවත් වූ ආකාරයෙන් පැහැදිලි වුණා.—1 පේතෘස් 3:1-6.

අද සිටින භාර්යාවන්ට ඇය තැබූ කදිම ආදර්ශය අනුගමනය කළ හැකියි. වසර 30ක් පුරා සන්තෝෂවත් විවාහ ජීවිතයක් ගත කරන ජිල් මෙසේ පවසනවා. “ඕනම දෙයක් ගැන මට හැඟෙන විදිහ මම මගේ මහත්තයාට කියන්න ඕනේ කියලා සාරාගේ ආදර්ශයෙන් ඉගෙනගත්තා. ඒ වගේම පවුලේ කාරණා ගැන තීරණ ගන්න අයිතිය තියෙන්නේ මහත්තයාට නිසා එයා යම් තීරණයක් ගත්තට පස්සේ ඒක සාර්ථක කරගන්න මම මගේ උපරිමයෙන් සහයෝගය දෙනවා.”

සාරා ඉතා රූමත් කාන්තාවක් වුණත් ඇය ඒ ගැන උඩඟු වුණේ නැහැ. (උත්පත්ති 12:10-13) ඒ වෙනුවට ඇය සෑම අවස්ථාවකදීම ආබ්‍රහම්ට කීකරු වුණා. යුවළක් ලෙස දෙවිට විශ්වාසවන්තව සිටීම, නිහතමානීව ක්‍රියා කිරීම සහ ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් ආබ්‍රහම් සහ සාරා කදිම ආදර්ශයක් නොවේද!