Skip to content

පටුනට යන්න

ආබ්‍රහම් ප්‍රේමණීය මිනිසෙක්

ආබ්‍රහම් ප්‍රේමණීය මිනිසෙක්

ආබ්‍රහම් ප්‍රේමණීය මිනිසෙක්

තමන් ආදරය කළ තමන්ගේ බිරිඳ මිය ගිය අවස්ථාවේදී ආබ්‍රහම්ට දැනුණු වේදනාව තවත් සඟවාගෙන සිටීමට ඔහුට හැකි වුණේ නැහැ. ඔහු තම ආදරණීය බිරිඳ ඉදිරියේ හඬා වැලපුණා. (උත්පත්ති 23:1, 2) ඔවුන් දෙදෙනා එකට කාලය ගත කළ සොඳුරු අවස්ථා ඒ වෙලාවේදී ඔහුට මතක් වෙන්න ඇති. ඒ අවස්ථාවේදී කඳුළු සැලූ නිසා ඔහු දුර්වල කෙනෙක් කියා ඇඟවුණේ නැහැ. ඒ වෙනුවට ඔහු තුළ තිබූ ප්‍රේමය ඉන් හෙළි වුණා.

ප්‍රේමණීය කෙනෙක්: ප්‍රේමණීය කෙනෙක් අන් අය ගැන අවංකවම සැලකිලිමත් වෙනවා. එවැනි කෙනෙක් අන් අය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න සූදානම්.

ආබ්‍රහම් ප්‍රේමය පෙන්වූ ආකාර: ආබ්‍රහම් තම පවුලේ අයට බොහෝ සේ ප්‍රේම කළා. ඔහු ඉතා කාර්යබහුල කෙනෙක් වූ බවට කිසිම සැකයක් නැහැ. ඒ වුණත් ඔහු පවුලේ අයගේ අවශ්‍යතා සැපයූ අතර යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට ඔවුන්ට උපකාර කළා. එය යෙහෝවා දෙවිද හොඳින්ම දුටුවා. (උත්පත්ති 18:19) ඒ වගේම ඔහු පවුලේ අයට කොතරම් ප්‍රේම කරනවාද කියාත් දෙවි දැක්කා. දෙවි, ඊසාක් ගැන ආබ්‍රහම් සමඟ කතා කළ අවස්ථාවකදී ‘ඔබ බොහෝ සෙයින් ආදරේ කරන ඔබේ පුත්‍රයා’ කියා සඳහන් කළේ ඒ නිසයි.—උත්පත්ති 22:2.

සාරා මිය ගිය අවස්ථාවේදී ඔහු වැලපුණු ආකාරයෙන්ද ඔහු තුළ තිබූ ප්‍රේමය දැකගත හැකියි. ඔහු නිර්භීත මිනිසෙක් වුණත් දැඩි වේදනාවක් දැනුණු අවස්ථාවේදී ඔහු කඳුළු සැලුවා. ඔහු නිර්භීත කෙනෙක් පමණක් නොව මෘදු කෙනෙක් බවත් ඉන් පැහැදිලි වෙනවා.

ආබ්‍රහම් ජීවත් වූ ආකාරයෙන් ඔහු යෙහෝවා දෙවිට සැබවින්ම ප්‍රේම කළ බව පැහැදිලිව දැකගත හැකි වුණා. බයිබලයේ සඳහන් වෙන්නේ “දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය” කියායි. (1 යොහන් 5:3) ආබ්‍රහම් ඒ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්.

දෙවි යම් දේවල් කරන්න කියා කියූ සැණින් ආබ්‍රහම් ඊට කීකරු වුණා. (උත්පත්ති 12:4; 17:22, 23; 21:12-14; 22:1-3) ඒවා කිරීමට පහසු වුණත් අපහසු වුණත් ඔහු ඒ දේවල් කළා. ඇතැම් අවස්ථාවලදී දෙවි යමක් කරන්න කියන්නේ ඇයි කියා ඔහු දැන සිටියේ නැහැ. ඒ වුණත් ඔහු ඊට කැමැත්තෙන්ම කීකරු වුණා. දෙවිගේ ආඥා පිළිපැදීමෙන් ඔහුට සැබවින්ම ප්‍රේම කරන බව පෙන්වීමට හැකි බව ආබ්‍රහම් තේරුම්ගෙන සිටියා.

අපට ගත හැකි පාඩම්: ආබ්‍රහම් මෙන් අපේ පවුලේ අය ඇතුළු අන් අය ගැන අවංක සැලකිල්ලක් දැක්වීමට අපටත් හැකියි. අප යම් පීඩනයකින් සිටින අවස්ථාවලදී පවා පවුලේ අය ඇතුළු අන් අය වෙනුවෙන් කළ යුතු දේවල් ඉටු කිරීමට වගබලා ගනිමු.

මුළු හදවතින්ම යෙහෝවා දෙවිට ප්‍රේම කිරීම ඉතා වැදගත්. එසේ කිරීමෙන් අපිට බොහෝ ප්‍රයෝජන ලැබිය හැකියි. උදාහරණයකට අපගේ සිතුවිලි, කතාබහ සහ හැසිරීම වඩාත් යහපත් කරගැනීමට එය අපට උපකාරවත් වෙනවා.—1 පේතෘස් 1:14-16.

දෙවි දී තිබෙන ආඥා පිළිපැදීමට අසීරු අවස්ථාවන්ද උදා විය හැකියි. නමුත් එවැනි අවස්ථාවලදී පවා අප දෙවිට කීකරු වෙනවා නම් දෙවි ඔහුගේ මිතුරා වූ ආබ්‍රහම්ට උපකාර කළා හා සමානව අපටත් උපකාර කරන බවට සැකයක් නැහැ. (යෙසායා 41:8) එවැනි අවස්ථාවලදී ‘දෙවි, අපව ස්ථිර කර ශක්තිමත් කරන’ බව බයිබලයේ සහතික කර තිබෙනවා. (1 පේතෘස් 5:10) ඒ ගැන අප සතුටු විය යුතු නැද්ද!

[11වන පිටුවේ කොටුව]

පුරුෂයන් කඳුළු සැලීම

පුරුෂයන් කඳුළු සැලීම ඔවුන්ට ලැජ්ජාවක් කියා බොහෝ අය සිතනවා. නිර්භීත මිනිසෙකු වූ ආබ්‍රහම්ද කඳුළු සැලූ අවස්ථාවන් තිබූ බව දැනගැනීමෙන් ඔවුන් පුදුම වේවි. ඔහුට අමතරව යෝසෙප්, දාවිත්, පේතෘස්, එෆීස සභාවේ සිටි මූලිකත්වය ගෙන ක්‍රියා කළ පුරුෂයන් මෙන්ම යේසුස්ද කඳුළු සැලූ බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 50:1; 2 සාමුවෙල් 18:33; ලූක් 22:61, 62; යොහන් 11:35; ක්‍රියා 20:36-38) ඒ අනුව පුරුෂයන් කඳුළු සැලීම ලැජ්ජාවට හේතුවක් නොවන බව පැහැදිලියි.