Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරු සොයමු

බයිබලයේ අනාවැකි සඳහන් වෙනවාද?

බයිබලයේ අනාවැකි සඳහන් වෙනවාද?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට උපකාරවත් වන බයිබල් පදද මෙහි සඳහන් කර තිබෙනවා. මෙම ලිපියේ සඳහන් තොරතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. බයිබලයේ අනාවැකි සඳහන් වෙනවාද?

අනාගතය ගැන නිවැරදිවම පැවසීමට හැකියාව තිබෙන්නේ යෙහෝවා දෙවිට පමණයි. (ආමොස් 3:7) ඔහු පැවසූ අනාවැකි බයිබලයේ සඳහන් වී තිබෙනවා. උදාහරණයකට මෙසියස් හෙවත් ක්‍රිස්තුස් ගැන සඳහන් අනාවැකි කිහිපයක් සලකා බලන්න. ඔහු පැමිණෙන්නේ ආබ්‍රහම්ගේ පෙළපතින් බවත් ඔහු අනාගතයේදී මුළු පොළොවම පාලනය කරමින් කීකරු මිනිසුන්ට අසනීපවලින් තොර පරිපූර්ණ ජීවිතයක් ලබා දෙන බවත් බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 22:18; යෙසායා 53:4, 5) ඒ වගේම ඔහු ඉපදෙන්නේ බෙත්ලෙහෙම් නගරයේ කියාත් එහි සඳහන් වෙනවා.—මීකා 5:2 කියවන්න.

ක්‍රිස්තුස් ගැන සඳහන් සෑම අනාවැකියක්ම අදාළ වෙන්නේ යේසුස්ටයි. ඔහු කන්‍යාවකගෙන් උපත ලබන බවත් මිනිසුන් ඔහුට අපහාස කරන බවත් ඔහු ඉපදීමට අවුරුදු 700කට කලින් පවසා තිබුණා. බොහෝදෙනෙකු වෙනුවෙන් ඔහු ජීවිතය පූජා කරන බවත් ධනවතුන් අතරේ ඔහුව තැන්පත් කරන බවත් අනාවැකිවල සඳහන් වුණා. (යෙසායා 7:14; 53:3, 9, 12) ඔහු බූරුවෙකු පිට නැඟ යෙරුසලමට පැමිණෙන බවත් රිදී කාසි 30කට ඔහුව පාවා දෙන බවත් අවුරුදු 500කට කලින්ම පවසා තිබුණා. සෑම අනාවැකියක්ම ඒ අයුරින් ඉටු වුණා.—සෙකරියා 9:9; 11:12 කියවන්න.

2. නිශ්චිත දවසක ඉටු වන බව සඳහන් අනාවැකි බයිබලයේ තිබෙනවාද?

යේසුස් මෙසියස් ලෙස පෙනී සිටින්නේ කවදාද කියා එය සිදු වීමට වසර 500කට කලින් බයිබලයේ සඳහන් කර තිබෙනවා. එය සඳහන් කර තිබෙන්නේ සති 69ක් ඇතුළත් අනාවැකියක් ලෙසයි. සෑම සතියකින්ම වසර හතක් නියෝජනය වුණා. ඒ අනුව සති 69ට අවුරුදු 483ක් අයත් වෙනවා. (69x7=483) එම කාලය ඇරඹුණේ කවදා සිටද? නෙහෙමියා යෙරුසලම් නගරය නැවත ගොඩනැඟීමට පටන්ගත් කාලයේදී එය ඇරඹුණා. ඒ ක්‍රිස්තු පූර්ව 455 කියා ඉතිහාස තොරතුරුවලින් පැහැදිලි වෙනවා. (නෙහෙමියා 2:1-5) එතැන් සිට වසර 483කට පසුව එනම් ක්‍රිස්තු වර්ෂ 29දී යේසුස් බව්තීස්ම වූ විට ඔහු මෙසියස් බවට පත් වුණා.—දානියෙල් 9:25 කියවන්න.

3. වර්තමානයේ ඉටු වන අනාවැකි ගැන බයිබලයේ සඳහන් වෙනවාද?

වර්තමානයේ ඉටු වන අනාවැකි ගැන යේසුස් සඳහන් කළා. දෙවිට කීකරු වෙන මිනිසුන්ට ඉමහත් සහනයක් ගෙන දෙන දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ඊට ඇතුළත්. ලොව පුරාම සිදු වෙන දුෂ්ටකම් එම රාජ්‍යය මගින් නැති කර දැමීමට නියමිතයි.—මතෙව් 24:14, 21, 22 කියවන්න.

දුෂ්ට සමාජයේ අවසානය ළං වන විට සිදු වන දේවල් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ කාලයේදී ලොව පුරා යුද්ධ, ආහාර හිඟකම්, භූමිකම්පා සහ වසංගත බහුලව සිදු වන බවත් පොළොව විනාශ කර දමන මිනිසුන්ට අත් වන විනාශය ගැනත් එහි සඳහන් වෙනවා. (ලූක් 21:11; එළිදරව් 11:18) ඊට අමතරව මිනිසුන් සදාචාර ප්‍රමිති සුළු කොට තකන බවත් එහි සඳහන් වෙනවා. මෙවැනි වාතාවරණයක් මැද යේසුස්ගේ අනුගාමිකයන් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය සියලු ජාතීන්ට ප්‍රකාශ කරන බවත් යේසුස් සඳහන් කළා.—මතෙව් 24:3, 7, 8; 2 තිමෝති 3:1-5.

4. අනාගතයේදී ඉටු වන අනාවැකි මොනවාද?

දෙවිට කීකරුව ජීවත් වෙන මිනිසුන්ට අනාගතයේදී ආශීර්වාද රැසක් භුක්ති විඳිය හැකියි. යේසුස් තමන්ගේ හවුල් පාලකයන් සමඟ වසර 1,000ක් පුරා පොළොව පාලනය කරනවා. මිය ගොස් සිටින අය ඒ කාලයේදී නැවත නැඟිටුවනු ලබන අතර සදාකාල ජීවනයට උරුමකම් කීමට ඔවුන්ටද අවස්ථාවක් ලැබෙනවා. ඒ කාලයේදී කිසිම කෙනෙක් දුක් විඳින්නේවත් අසනීප වෙන්නේවත් මිය යන්නේවත් නැහැ.—එළිදරව් 5:10; 20:6, 12; 21:4, 5 කියවන්න.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 23 සිට 25 දක්වා සහ 198 සිට 201 දක්වා පිටු බලන්න.