Skip to content

පටුනට යන්න

දෙවිට ළං වෙන්න

“යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි”

“යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි”

“මගේ අතින් අල්ලගන්න” කියා පාර මාරු වීමට කලින් පියෙක් තම පුතාට පවසනවා සමහරවිට ඔබ අසා ඇති. පියාගේ අතින් අල්ලාගෙන සිටින විට දරුවාට කිසි භයක් දැනෙන්නේ නැහැ. තමාට කිසි අනතුරක් සිදු වෙන්නේ නැහැ, තමා ආරක්ෂාකාරීයි කියා දරුවාට දැනෙනවා. ජීවිතයේ ප්‍රශ්න ගැටලු මැද ඔබව සුරක්ෂිතව රැගෙන යෑමට කෙනෙක් සිටියා නම් කොතරම් හොඳද කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? එසේනම් යෙසායා 41:10 සහ 13 කියවා බැලීම ඔබට සහනයක් වේවි.

යෙහෝවා දෙවි එහි සඳහන් දේ පැවසුවේ ඊශ්‍රායෙල්වරුන්ටයි. දෙවි ඔවුන්ව සැලකුවේ තමන්ගේ “විශේෂ සෙනඟ” ලෙසයි. (නික්මයාම 19:5) කෙසේවෙතත් ඔවුන්ට ජීවත් වීමට සිදු වුණේ සතුරු ජාතීන් අතරේයි. නමුත් ඔවුන්ට භයෙන් ජීවත් වීමට සිදු වුණාද? නැහැ. යෙහෝවා දෙවි ඉහත වචන පවසමින් ඔවුන්ව ආරක්ෂා කරන බවට සහතිකයක් දුන්නා. අපි දැන් ඒ ගැන බලද්දී ඉන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද කියා සොයා බලමු.—රෝම 15:4.

“භය නොවන්න” කියා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවා. (යෙසායා 41:10) එය නිකම්ම වචන ටිකක් පමණක් නොවෙයි. “මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි” කියා පැවසීමෙන් දෙවි එසේ පැවසීමට හේතුව සඳහන් කළා. හරියට පියෙක් තම පුතා අසලම සිට ඔහුට උපකාර කරනවා හා සමානව දෙවිද අප අසලම සිට අපට උපකාර කරනවා. එය දැන සිටීම අපට මොන තරම් සහනයක්ද!

“කලබල නොවන්න” කියාත් දෙවි ඔහුගේ සෙනඟට පැවසුවා. “කලබල” කියා පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් ක්‍රියා පදයට, තමන්ට හානි කිරීමට කවුරුන් හෝ පැමිණෙයිද යන බිය නිසා ඉතා සෝදිසියෙන් වටපිට බැලීම යන අදහසත් ගැබ්ව තිබෙනවා. නමුත් තමාගේ සෙනඟට කලබල වීමට හෝ බිය වීමට අවශ්‍ය නැති බව පැවසූ දෙවි ඊට හේතුව ලෙස මෙම සහතිකය දුන්නා. “ඔබේ දෙවි මමය.” යෙහෝවා දෙවි ‘මහෝත්තම දෙවි සහ සියලු බලැති දෙවි’ නිසා ඔහුට වඩා බලවත් කෙනෙක් මේ මුළු විශ්වයේම නැහැ. ඒ නිසා දෙවිගේ සෙනඟට බිය වීමට කිසිම හේතුවක් නැහැ.—ගීතාවලිය 91:1.

දෙවි ඔහුගේ සෙනඟට මෙම පොරොන්දුව දුන්නා. “ධර්මිෂ්ඨකම නමැති මාගේ දකුණතින් ඔබව තදින් අල්ලාගන්නෙමි.” ඒ වගේම යෙසායා 41:13හි දෙවි නැවතත් මෙසේ පවසනවා. “යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි.” ඒ වචන කියවද්දී ඔබගේ මනසේ මැවෙන්නේ මොන වගේ චිත්‍රයක්ද? එක් පොතක මෙසේ සඳහන් වුණා. “එම පද දෙක කියවන විට පියෙක් දරුවෙකුගේ අතින් අල්ලාගෙන සිටින අවස්ථාවක් මනසට නැඟෙනවා. පියා දරුවාගේ අතින් අල්ලනවා පමණක් නොව දරුවාව තමා ළඟින්ම තියාගන්නවා. කුමන තත්වයට මුහුණ දුන්නත් දරුවාව තමාගෙන් වෙන් කරන්න පියා ඉඩ දෙන්නේ නැහැ.” යෙහෝවා දෙවිද අපව කවදාවත් ඔහුගෙන් වෙන් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ජීවිතයේ අප මුහුණ දෙන දුෂ්කරම අවස්ථාවලදීත් දෙවි අප ළඟ සිටිමින් අපට උපකාර කරනවා.—හෙබ්‍රෙව් 13:5, 6.

යෙසායා පොතේ සඳහන් එම වචනවලින් දෙවිගේ සෙනඟට අද දින පවා මහත් සහනයක් ලබාගත හැකියි. ‘ඉතා අසීරු, අනතුරු සහිත කාලයක’ ජීවත් වන අපට නිතරම විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වෙනවා. (2 තිමෝති 3:1) නමුත් අප තනිවම ඊට මුහුණ දිය යුතු නැහැ. අපට උපකාර කිරීමට දෙවි කැමැත්තෙන් සිටිනවා. දෙවි අපට උපකාර කරමින් අපව නිවැරදි මාර්ගයේ රැගෙන යන බවට වූ දැඩි විශ්වාසය අපට තිබෙනවා. ඒ නිසා කීකරු දරුවන් මෙන් අපි ඔහුගේ අත තදින් අල්ලාගනිමු.—ගීතාවලිය 63:7, 8.

ජනවාරි මාසයට නියමිත බයිබල් කියවීම:

යෙසායා 24වෙනි පරිච්ඡේදයේ සිට 42වෙනි පරිච්ඡේදය දක්වා