Skip to content

පටුනට යන්න

පාඨකයන් අසයි

ඊසාක්ව පූජා කරන්න කියා දෙවි ආබ්‍රහම්ගෙන් ඉල්ලා සිටියේ ඇයි?

ඊසාක්ව පූජා කරන්න කියා දෙවි ආබ්‍රහම්ගෙන් ඉල්ලා සිටියේ ඇයි?

▪ තම එකම පුත්‍රයා වන ඊසාක්ව පූජාවක් ලෙස ඔප්පු කරන්න කියා දෙවි ආබ්‍රහම්ට පැවසූ බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 22:2) දෙවි එසේ පැවසුවේ ඇයි කියා බයිබලය කියවන සමහර අයට තේරුම්ගැනීමට අපහසු වී තිබෙනවා. මහාචාර්යවරියක් වන කැරල් තමන්ගේ අද්දැකීම මෙසේ පැවසුවා. “මම පොඩි කාලේ මේ කතන්දරය අහපු මුල්ම දවසේ මට කේන්ති ගියා. මේ වගේ දෙයක් කරන්න කියලා ඉල්ලන්න තරම් දෙවි දුෂ්ට කෙනෙක්ද කියලා මට හිතුණා.” එවැනි ප්‍රශ්න මතු විය හැකි වුණත් අප මෙහිදී වැදගත් කාරණා කිහිපයක් මතක තබාගත යුතුයි. දෙවි එසේ ඉල්ලා සිටියේ ඇයි කියා තේරුම්ගැනීමට ඒවා අපට උපකාරවත් වෙනවා.

ආබ්‍රහම් ඊසාක්ව පූජා කරන්න සූදානම් වූ විට දෙවි එය වැළැක්වූ බව අප මතක තබාගත යුතුයි. ඒ වගේම දෙවි එවැනි ඉල්ලීමක් වෙන කිසි කෙනෙකුගෙන් ඉල්ලා නැහැ. දෙවි කැමති වන්නේ දරුවන් ඇතුළු තමන්ට නමස්කාර කරන සියලුදෙනා සැමදාම සන්තෝෂයෙන් ජීවත් වෙනවා දකින්නයි.

අප මතක තබාගත යුතු තවත් කාරණයක් තිබෙනවා. ඊසාක්ව පූජා කරන්න කියා ආබ්‍රහම්ට පැවසීමට දෙවිට විශේෂ හේතුවක් තිබුණා. ආබ්‍රහම්ගේ කාලයෙන් ශතවර්ෂ ගණනාවකට පසු තම එකම පුත්‍රයා * වන යේසුස්ව මිනිස් වර්ගයා වෙනුවෙන් පූජා කිරීමට සිදු වන බව දෙවි දැන සිටියා. (මතෙව් 20:28) තම පුත්‍රයාව අප වෙනුවෙන් පූජා කරන විට තමාට මොන තරම් වේදනාවක් දැනෙනවාද කියා අපට අවබෝධ කර දෙන්න දෙවිට අවශ්‍ය වුණා. දෙවි ආබ්‍රහම් මාර්ගයෙන් පෙන්නුවේ ඔහු අනාගතයේදී සිදු කරන්න යන දෙයයි.

යෙහෝවා දෙවි, ඊසාක්ව පූජා කරන්න කියා ආබ්‍රහම්ට පැවසූ අවස්ථාවේදී ඔහු කියූ දෙයින් අපට යමක් ඉගෙනගත හැකියි. දෙවි ඔහුට පැවසුවේ ‘ඔබ බොහෝ සෙයින් ආදරේ කරන ඔබේ එකම පුත්‍රයා වන ඊසාක්ව දවන පූජාවක් ලෙස ඔප්පු කරන්න’ කියායි. (උත්පත්ති 22:2) යෙහෝවා දෙවි යේසුස්ට බොහෝ සේ ආදරේ කළ නිසා පියෙක් සහ පුත්‍රයෙක් අතර මොන තරම් බැඳීමක් තිබෙනවාද කියා දෙවි දැන සිටියා. “ඔබ බොහෝ සෙයින් ආදරේ කරන ඔබේ එකම පුත්‍රයා වන ඊසාක්” කියා දෙවි ආබ්‍රහම්ට පැවසුවේ ඒ නිසයි. යෙහෝවා දෙවි යේසුස්ට මොන තරම් ආදරේද කියනවා නම් යේසුස් පොළොවේ සිටි කාලයේදී දෙවතාවක්ම “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි” කියා යේසුස්ට පැවසුවා.—මාක් 1:11; 9:7.

දෙවි ආබ්‍රහම්ගෙන් කළේ ඉල්ලීමක්. එය ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කිරීමට හේතුවක් ලෙස එක් විශාරදයෙක් මෙවැනි අදහසක් පළ කළා. “ඊසාක්ව පූජා කිරීම ආබ්‍රහම්ට මොන තරම් වේදනාවක්ද කියා දෙවි දැන සිටියා.” ඇත්තටම දෙවි එම ඉල්ලීම කරද්දී ආබ්‍රහම්ට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද! අනික් අතට තම පුත්‍රයා වූ යේසුස් දුක් විඳ මිය යනවා දකින විට දෙවිට මොන තරම් වේදනාවක් ඇති වෙන්න ඇද්ද! ඒ වගේ වේදනාවක් දෙවි ඊට කලින් අද්දැක තිබුණේ නැහැ. ඒ වගේම ඉදිරියේදී එවැනි වේදනාවක් අද්දකියි කියා සිතන්නත් බැහැ.

ආබ්‍රහම්, ඊසාක්ව පූජා කරන්න යන විටම යෙහෝවා දෙවි ඔහුව වැළැක්වුවා. එසේ කිරීමෙන් පියෙකුට දැනෙන්න පුළුවන් දරුණුතම වේදනාව අද්දකින්න දෙවි ආබ්‍රහම්ට ඉඩ දුන්නේ නැහැ. නමුත් දෙවි “අප සියල්ලන් උදෙසා ඔහුගේ පුත්‍රයාව” පූජා කළා. (රෝම 8:32) එවැනි දැඩි වේදනාවක් විඳින්න දෙවි කැමති වුණේ ඇයි? ඒ, අපට සදාකාල “ජීවනය ලබාගැනීම” සඳහායි. (1 යොහන් 4:9) දෙවි අපට මොන තරම් ප්‍රේම කරනවාද කියා ඉන් පැහැදිලියි. දෙවිට ප්‍රේම කිරීමට එය අපට හොඳ හේතුවක් සපයන්නේ නැද්ද! *

[පාදසටහන්වල]

^ 5 ඡේ. යෙහෝවා දෙවි යේසුස්ව නිර්මාණය කළේ දේවදූතයෙකු ලෙසයි. යේසුස්ව නිර්මාණය කළේ දෙවි නිසා යේසුස්ගේ පියා දෙවි බව පවසන්න පුළුවන්.

^ 8 ඡේ. අපට සදාකාල ජීවනය ලබාගැනීම සඳහා යේසුස්ට මිය යෑමට සිදු වුණේ ඇයි සහ යේසුස්ගේ ජීවිත පූජාව අපට මොන තරම් වටිනවාද කියා පෙන්වන්න පුළුවන් කොහොමද? ඒ ගැන දැනගැනීමට බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ පස්වන පරිච්ඡේදය බලන්න.