Skip to content

පටුනට යන්න

අනුකරණය කිරීමට වටිනා ආදර්ශ

නිර්භීත කාන්තාවක්

නිර්භීත කාන්තාවක්

අහෂ්වේරොෂ් රජු ළඟට එස්තර් කිට්ටු වන විට ඇගේ හද ගැස්ම වැඩි වෙනවා. පර්සියාවේ ෂූෂන් රජවාසලේ මහත් නිහඬතාවක් ඇති වෙනවා. එය මොන තරම්ද කියනවා නම් ඇසෙන්නේ එස්තර් බිසවගේ අඩි ශබ්දය හා ඇගේ රාජකීය ඇඳුමේ ආභරණවල ශබ්දය පමණයි. රජමාලිගාවේ තිබෙන කුලුනුවල හා කැටයම් කළ සිවිලිමේ අලංකාරය බලමින් ඒවාට අවධානය දෙනවා වෙනුවට ඇය බලා සිටින්නේ රජු දෙසයි. ඇගේ ජීවිතය රඳා පවතින්නේ රජු ඊළඟට කිරීමට නියමිත දේ මතයි.

තමා වෙතට පැමිණෙන එස්තර් බිසව දෙස උනන්දුවෙන් බලා සිටින රජු ඈ දෙසට ඔහුගේ රන් යෂ්ටිය දිගු කරනවා. රජුගේ ආරාධනයක් නොමැතිව ඔහුව හමු වීමට පැමිණීම මරණ දඬුවම ලැබිය හැකි වරදක් නිසා බිසවට ඒ අවස්ථාවේදී මහත් සහනයක් දැනෙන්න ඇති. එස්තර්, රජු ළඟට පැමිණ රන් යෂ්ටියේ ඉහළ කෙළවරට අත තැබුවා.—එස්තර් 5:1, 2. *

පැරණි වාර්තාවලින් පැහැදිලි වන්නේ පර්සියාවේ රජවරු ඉතා මිල අධික වස්ත්‍රවලින් සැරසී සිටි බවයි. අහෂ්වේරොෂ් රජුද ඉතා ධනවත් මෙන්ම බලවත් රජ කෙනෙක්. එවැනි ප්‍රතාපවත් රජ කෙනෙක් තමන් දෙස ඉතා කාරුණිකව බලන ආකාරය එස්තර් දුටුවා. ඇත්තෙන්ම ඔහු ඇයට ආදරේ කළා. ඒ බව අඟවමින් ඔහු ඇයට මෙසේ පැවසුවා. “මගේ බිසව එස්තර්, ඔබට අවශ්‍ය කුමක්ද? ඒ දේ මට කියන්න. ඔබ මගේ රාජධානියෙන් භාගයක් ඉල්ලුවත් මම එය ඔබට දෙනවා.”—එස්තර් 5:3.

ඇය රජු ඉදිරියට පැමිණෙන්නේ තමන්ගේ සෙනඟව කූට කුමන්ත්‍රණයකින් ගලවාගැනීමටයි. ඇය තුළ තිබෙන දැඩි විශ්වාසය හා ඇගේ නිර්භීතකම ඉන් මනාව පැහැදිලි වෙනවා. ඇගේ සෙනඟව ගලවාගැනීමට ඇය මේ දක්වා කළ දේ සාර්ථක වුණත් තව කිරීමට බොහෝ දේ තිබෙනවා. තම ජාතියට අයත් සෙනඟව සමූල ඝාතනය කිරීම සඳහා හාමාන් කපටි ලෙස රජුව රවටා ඇති බව ඔහුට ඒත්තුගන්වන්න ඇයට සිදු වෙනවා. ඇය එය කරන්නේ කොහොමද සහ ඉන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද කියා දැන් අපි බලමු.

කතා කිරීමට කාලය එන තුරු ඇය බලා සිටියා

රජමාලිගාවේ සිටින සියලුදෙනා ඉදිරියේ එස්තර් ඇගේ චෝදනාව ඉදිරිපත් කරයිද? ඇය එසේ කළා නම් එය රජුට අගෞරවයක් වීමට ඉඩ තිබූ අතර හාමාන්ද තර්ක කරමින් නිදහසට හේතු ඉදිරිපත් කිරීමට ඉඩ තිබුණා. ඒ වෙනුවට ඇය බයිබලයේ සඳහන් මේ උපදෙසට අනුව ක්‍රියා කළ බව පවසන්න පුළුවන්. ‘සෑම දෙයකටම නියමිත කාලයක් ඇත. නිහඬව සිටීමට කාලයක්ද කතා කිරීමට කාලයක්ද ඇත.’ (දේශනාකාරයා 3:1, 7) එස්තර්ව හදා වඩා ගත් මොර්දෙකයි ඇයට කුඩා කාලයේ සිට එවැනි ප්‍රතිපත්ති ඉගැන්වූ බවට සැකයක් නැහැ. “කතා කිරීමට කාලයක්” එන තුරු බලා සිටීම මොන තරම් වැදගත්ද කියා එස්තර් අවබෝධ කරගෙන සිටියා.

එස්තර්, රජුට මෙසේ පැවසුවා. “රජතුමනි, ඔබ මගේ ආරාධනාව පිළිගැනීමට කැමති නම් මම ඔබ වෙනුවෙන් සූදානම් කර තිබෙන භෝජන සංග්‍රහයට හාමාන් සමඟ පැමිණෙන්න කියා ඉල්ලා සිටිනවා.” (එස්තර් 5:4) රජු ඊට එකඟ වුණා. ඒ වගේම හාමාන්ටත් ඊට සහභාගි වෙන්න කියා රජු පැවසුවා. ඒ අවස්ථාවේදී එස්තර් ඉතා බුද්ධිමත්ව කතා කළා. ඇය ඇගේ ස්වාමිපුරුෂයාගේ ගෞරවය ආරක්ෂා කරමින් ඇගේ හිතට වධ දෙන කාරණය රජුට පැවසීමට සුදුසු අවස්ථාවක් උදා කරගත්තා.

එස්තර් යුහුසුලුව ක්‍රියා කරමින් තම ස්වාමිපුරුෂයා කැමති ආකාරයට එම භෝජන සංග්‍රහය පිළියෙල කළා. ඔවුන්ව සතුටු කිරීමේ අරමුණින් ඇය ඉස්තරම් වර්ගයේ වයින්ද ඊට ඇතුළත් කළා. (ගීතාවලිය 104:15) අහෂ්වේරොෂ් රජු භෝජන සංග්‍රහය භුක්ති විඳිමින් ප්‍රීතියෙන් සිටි අවස්ථාවේදී එස්තර්ට පැවසීමට තිබෙන්නේ කුමක්ද කියා ඇගෙන් ඇසුවා. තමන්ගේ සිතේ තිබෙන දේ ගැන රජුට පැවසීමට සුදුසුම අවස්ථාව මෙයයි කියා එස්තර් සිතුවාද? නැහැ.

ඒ වෙනුවට ඊළඟ දවසේදීත් භෝජන සංග්‍රහයකට පැමිණෙන ලෙස ඇය රජුට සහ හාමාන්ට ආරාධනා කළා. (එස්තර් 5:7, 8) එස්තර් එවැනි දෙයක් කළේ ඇයි? තමන් රජුට පැවසීමට යන දේ මොන තරම් බරපතළ කාරණයක්ද කියා ඇය දැන සිටියා. ඒ නිසා ඇය ඊට සුදුසුම අවස්ථාව එන තුරු බලා සිටියා. තම ස්වාමිපුරුෂයාට තමන් මොන තරම් ගරු කරනවාද කියා ඒත්තුගැන්වීමට එස්තර් එම කාලය ප්‍රයෝජනයට ගත්තා.

එස්තර්ට තම සෙනඟව බේරාගැනීමට දැඩි උවමනාවක් තිබූ අතර ඒ ගැන රජුට පැවසීම හදිසි කාරණයක් බව ඇය දැන සිටියා. ඒ වුණත් නියමිත කාලය එන තුරු ඇය ඉවසිලිවන්තව බලා සිටියා. ඇගේ ආදර්ශයෙන් අපට බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්. උදාහරණයකට බලධාරියෙකුට යම් කාරණයක් පැවසිය යුතුයි කියා ඔබට හැඟුණා කියා සිතන්න. එවැනි අවස්ථාවකදී ඒ සඳහා සුදුසුම කාලය පැමිණෙන තුරු බලා සිටීම ඉතා වැදගත්. හිතෝපදේශ 25:15හි පවසන්නේ “ඉවසීමෙන් හමුදාපතියෙකුගේ සිත පවා දිනාගත හැක. මෘදු වූ වදන්වලින් ඇටකටු පවා බිඳිය හැක” කියායි. අපි කතා කිරීමට සුදුසු කාලය එන තුරු බලා සිටිමින් කාරුණිකව කතා කළොත් දැඩි විරුද්ධවාදිකම් පෑ අය පවා වෙනස් වීමට ඉඩ තිබෙනවා. එස්තර් ඉවසීමෙන් හා බුද්ධිමත්ව ක්‍රියා කළ නිසා ලැබුණු ප්‍රතිඵල මොනවාද කියා දැන් අපි බලමු.

ඉවසීමේ ප්‍රතිඵල

භෝජන සංග්‍රහයෙන් පසු හාමාන් “ඉතා ප්‍රීතියෙන්” රජමාලිගාවෙන් පිටව ගියා. ඔහු සිතුවේ කලින්ටත් වඩා රජුගේ හා බිසවගේ ප්‍රසාදය තමන්ට දැන් ලැබී තිබෙනවා කියායි. ඔහු මාලිගාවේ දොරටුව අසලට පැමිණි විට ඔහුට මොර්දෙකයිව මුණගැසුණා. නමුත් මොර්දෙකයි ඔහුට ආචාර කළේ නැහැ. සාමාන්‍යයෙන් මොර්දෙකයි අන් අයට ගෞරව කරන කෙනෙක්. නමුත් ඔහු හාමාන්ට ගෞරව නොකළේ එය ඔහුගේ හෘදය සාක්ෂියට විරුද්ධ දෙයක් වූ නිසා හා දෙවි සමඟ තිබෙන ඔහුගේ බැඳීමට එය බලපෑ නිසයි. මොර්දෙකයි තමන්ට ගෞරව නොකරන බව හාමාන් දුටු විට ඔහු තුළ “මහත් කෝපයක්” ඇති වුණා.—එස්තර් 5:9.

මේ සිදුවීම හාමාන් තම පවුලේ අයට හා මිතුරන්ට පැවසූ විට ඔවුන් යෝජනා කළේ අඩි 72ක් පමණ උස කණුවක් සාදා මොර්දෙකයිව එහි එල්ලා මරන්න රජුගෙන් අවසර ඉල්ලන්න කියායි. හාමාන් ඊට කැමති වුණා.—එස්තර් 5:12-14.

මේ අතරතුර රජමාලිගාවේ තරමක අසාමාන්‍ය දෙයක් සිදු වුණා. අහෂ්වේරොෂ් රජුට එදින රාත්‍රියේදී නින්ද ගියේ නැහැ. ඒ නිසා රජු රජවරුන්ගේ ඉතිහාසය ගැන වාර්තා කර ඇති ලියවිල්ල තමන්ට ඇසෙන ලෙස කියවන්න කියා සේවකයන්ට අණ කළා. රජුව මරා දැමීමට කුමන්ත්‍රණයක් සිදු වූ බව එම ලියවිල්ලෙහි සඳහන් වී තිබුණා. එම සිද්ධිය රජුට මතක් වුණා. එම කුමන්ත්‍රණය හෙළි කළ මොර්දෙකයිට ඒ සඳහා ස්තුතිය පළ කිරීමට කළේ කුමක්ද කියා රජු සේවකයන්ගෙන් ඇසුවා. ඒ සඳහා කිසි දෙයක් කළේ නැති බව සේවකයන් රජුට පැවසුවා.—එස්තර් 6:1-3.

එවිට කලබල වූ රජු තමන් මොර්දෙකයි වෙනුවෙන් යමක් කළ යුතු බව තේරුම්ගත්තා. මොර්දෙකයිව මරා දැමීමට රජුගෙන් අවසර ඉල්ලීම සඳහා එදා උදෑසනම හාමාන් රජමාලිගාවට පැමිණ සිටියා. ඒ ගැන රජුට පැවසීමට පෙර රජුගේ අනුග්‍රහය ලැබූ කෙනෙකුට ගෞරව කළ යුත්තේ කෙසේද කියා රජු හාමාන්ගෙන් ඇසුවා. රජු කතා කරන්නේ තමන් ගැන කියා සිතූ හාමාන් ගෞරවය ලබාගැනීමට තිබෙන අධික ආශාව නිසා මෙවැනි යෝජනාවක් කළා. එම තැනැත්තාව රාජකීය වස්ත්‍රවලින් සරසා ඔහුව රජුගේ අශ්වයා පිට හිඳවා නුවරේ ප්‍රධාන මංසන්ධි වටා ගෙන යන්න. ඒ වගේම ඔහුට ප්‍රශංසා කරමින් ඔහු පෙරටුව පිරිසක්ව යවන්න. නමුත් රජුගේ ගෞරවය ලැබෙන්නේ මොර්දෙකයිට කියා හාමාන් දැනගත් විට ඔහුගේ මුහුණ මැලවුණු ආකාරය ඔබට සිතාගත හැකිද? ඒ විතරක් නොව මොර්දෙකයිව ප්‍රශංසාවට පත් කරමින් ඔහු ඉදිරියෙන් ගමන් කරන්න කියා රජු හාමාන්ට පැවසූ විට ඔහු මොන තරම් අපහසුතාවට පත් වෙන්න ඇද්ද!—එස්තර් 6:4-10.

කිසිවක් කරකියාගත නොහැකි වූ හාමාන් අකමැත්තෙන් රජු පැවසූ දේ ඉටු කර ඉක්මනින්ම තම නිවසට ගියා. නමුත් එහිදී ඔහු බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වුණා. මොර්දෙකයිට විරුද්ධව හාමාන් ගෙනයන සටනින් හාමාන් පරදින බව ඔහුගේ භාර්යාව සහ මිත්‍රයන් ඔහුට පැවසුවා.—එස්තර් 6:12, 13.

එස්තර් ඉවසිලිවන්තව ක්‍රියා කළ නිසා ඇයට බොහෝ ප්‍රයෝජන ලැබුණා. ඒ කාලය තුළ හාමාන් තමන්ට තිබූ ගෞරවය තවත් වැඩි කරගැනීමට උත්සාහ කළ නිසා ඔහුට හිමිව තිබූ ගෞරවයත් අහිමි වුණා. එවැනි දෙයකට පසුබිම සැකසුණේ රජුට නින්ද නොගිය නිසා පැරණි වාර්තා කියවීමට අවස්ථාව ගත් නිසයි. එවැනි දෙයක් සිදු වීමට සැලැස්වූයේ යෙහෝවා දෙවි විය නොහැකිද? (හිතෝපදේශ 21:1) ‘ඉවසිල්ලෙන් බලා සිටින්න’ කියා බයිබලයේ ඇති උපදෙස පිළිපැදීම මොන තරම් ප්‍රයෝජනවත්ද කියා ඉහත සඳහන් සිද්ධියෙන් පැහැදිලි වෙනවා. (මීකා 7:7) දෙවි කාරණාවලට මැදිහත් වන තුරු බලා සිටීමෙන් ලැබෙන ප්‍රතිඵල අප ඊට ලබා දෙන විසඳුමට වඩා බොහෝ සෙයින් ප්‍රයෝජනවත්.

ඇය නිර්භීතව කතා කළා

රජුගේ ඉවසීම මොන තරම්ද කියා පරීක්ෂා කර බලන්න එස්තර්ට අවශ්‍ය වුණේ නැහැ. භෝජන සංග්‍රහය පැවැත්වූ දෙවන දවසේදී තම හිතට වධ දෙන කාරණාව රජුට පැවසීමට ඇය තීරණය කළා. එය පැවසීමට ඇයට අවස්ථාවක් ලැබෙයිද? ඔව්. ඇයට ඒ සඳහා අවස්ථාවක් ලැබුණා. එස්තර්ගේ ඉල්ලීම කුමක්ද කියා රජු ඇගෙන් නැවත වතාවක් ඇසුවා. (එස්තර් 7:2) තමන්ට කතා කිරීමට සුදුසුම කාලය පැමිණ තිබෙන බව එස්තර් වටහාගත්තා.

මෙම වචන පැවසීමට පෙර ඇය කෙටි නිහඬ යාච්ඤාවක් කළ බවට සැකයක් නැහැ. “රජතුමනි, මා ඔබේ කරුණාව දිනාගෙන තිබේ නම් මගේ ඉල්ලීම ඉටු කර දෙන්න. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මගේ ජීවිතයද මගේ සෙනඟගේ ජීවිතද බේරා දෙන ලෙසයි.” (එස්තර් 7:3) රජු දෙන ඕනෑම තීරණයකට ඇය ගරු කරන බව ඇය පැවසූ ඒ දෙයින් පැහැදිලි වෙනවා. රජුට අගෞරව කළ ඔහුගේ පළමු බිසව වූ වෂ්ටීට වඩා එස්තර් මොන තරම් වෙනස්ද! (එස්තර් 1:10-12) ඇය ඒ අවස්ථාවේදී හාමාන්ව විශ්වාස කිරීම ගැන රජුට දෝෂාරෝපණය කළේ නැහැ. ඒ වෙනුවට ඇය බැගෑපත්ව ඉල්ලා සිටියේ තමන්ව ආරක්ෂා කර දෙන්න කියායි.

එම ඉල්ලීමෙන් රජුගේ හිත උණු වී ගියා. තමන්ගේ ආදරණීය බිරිඳව මරා දමන්න උත්සාහ කරන්නේ කවුද කියා ඔහු සිතන්න ඇති. එස්තර් තවදුරටත් රජුට මෙසේ පැවසුවා. “මාවත් මගේ සෙනඟවත් විකුණා තිබෙනවා. එසේ කර තිබෙන්නේ අපව සම්පූර්ණයෙන්ම විනාශ කර මරා දැමීමටයි. අපිව දාසකමට විකුණුවා නම් මට නිහඬව ඉන්න තිබුණා. නමුත් මේ මහා විපත සිදු වුණොත් ඉන් රජතුමාට මහත් පාඩුවක් සිදු වෙනවා. ඒ නිසා ඊට ඉඩ නොදිය යුතුයි.” (එස්තර් 7:4) එස්තර් කෙටියෙන් ඇගේ ඉල්ලීම රජුට පැවසුවා. තමන් එම ඉල්ලීම කරන්නේ තම ජාතියම නැති කර දැමීමට කර තිබෙන කුමන්ත්‍රණය නිසා බව ඇය රජුට පැවසුවා. මෙය සුළු දෙයක් නොව සමූල ඝාතනයක් නිසා එය නොසලකා නොහරින ලෙස ඇය රජුට පැවසුවා.

කෙනෙකුට යම් කාරණාවක් ඒත්තුගන්වන ආකාරයෙන් පවසන්නේ කෙසේද කියා එස්තර්ගෙන් අපට ඉගෙනගත හැකියි. බැරෑරුම් කාරණාවක් ඔබට කිට්ටු කෙනෙකුට හෝ උසස් නිලධාරියෙකුට පවසන්න තිබෙනවා නම් ඉවසිලිවන්තව, ගෞරවාන්විතව සහ කෙටියෙන් එය පැවසීම වඩාත් සුදුසු වෙනවා.—හිතෝපදේශ 16:21, 23.

එස්තර් පැවසූ දෙය රජුට ඇසුණු විට ඔහු ඇගෙන් මෙසේ ඇසුවා. “එවැනි දෙයක් කරන්න තරම් එඩිතර වූ පුද්ගලයා කවුද? දැන් ඔහු කොහේද සිටින්නේ?” එස්තර් තම ඇඟිල්ල දිගු කරමින් මෙසේ පැවසුවා. “ඒ සතුරා වෙන කවුරුත් නෙවෙයි මේ දුෂ්ට හාමාන්.” එම වචන රජමාලිගාව පුරා දෝංකාර දෙන විට හාමාන් භයෙන් වෙවුලන්න ඇති. තමන් දැඩිව විශ්වාස කළ තමන්ගේ උපදේශක තමන්ව රවටා තම බිසවව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කර ඇති බව දැනගත් විට රජුගේ මුහුණ කෝපයෙන් රතු වුණා. පසුව ඔහු සන්සුන් වීම සඳහා මාලිගාවේ උයනට ගියා.—එස්තර් 7:5-7.

තමන්ගේ කූට උපක්‍රමය හෙළි වූ පසු හාමාන් බැගෑපත්ව බිසව ඉදිරියේ වැඳ වැටෙනවා. උයනේ සිට නැවත පැමිණෙන රජු මෙය දුටු විට හාමාන් තම බිසවව දූෂණය කරන්න හදනවා කියා ඔහුට චෝදනා කළා. එම චෝදනාව හාමාන්ට මරණ දණ්ඩනය ලැබීම සඳහා ප්‍රමාණවත් වුණා. සේවකයන් පැමිණ හාමාන්ගේ මුහුණ වසා ඔහුව පිටතට රැගෙන ගියා. මොර්දෙකයිව එල්ලා දැමීමට හාමාන් විශාල කණුවක් සෑදූ බව රජුගේ එක් සේවකයෙක් රජුට පැවසුවා. හාමාන්ව එම කණුවේ එල්ලා මරා දමන්න කියා රජු අණ කළා.—එස්තර් 7:8-10.

අසාධාරණ ලොවක ජීවත් වන අපටත් සාධාරණය ඉටු නොවන බව හැඟෙන්න පුළුවන්. එවැනි තත්වයකට මුහුණ දුන් එස්තර් ඇගේ බලාපොරොත්තු නැති කරගත්තේවත් දෙවි කෙරෙහි තිබූ විශ්වාසය නැති කරගත්තේවත් නැහැ. අවස්ථාව උදා වූ විට ඇය නිර්භීතව සත්‍ය වෙනුවෙන් කතා කළ අතර ඇය යෙහෝවා දෙවි කැමති විදිහට දේවල් සිදු වීමට ඉඩ දුන්නා. යෙහෝවා දෙවි වෙනස් වී නැති නිසා අපත් ඒ දේම කරමු. හාමාන්ට කළා හා සමානව දුෂ්ට සහ කපටි ලෙස ක්‍රියා කරන අයට ඔහු නිසි දඬුවම් ලබා දෙනවා.—ගීතාවලිය 7:11-16.

ඇය දෙවිගේ සෙනඟ ගැන සිතුවා

මොර්දෙකයි කියන්නේ කවුද කියා රජු දැනගත්තා. තමන්ව මරන්න කළ කුමන්ත්‍රණයෙන් තමන්ව බේරාගත් පුද්ගලයා පමණක් නොව ඔහු පියෙකු මෙන් එස්තර්ව හදා වඩා ගත් බවත් රජු දැනගත්තා. රජු තම අගමැති ලෙස මොර්දෙකයිව පත් කළා. හාමාන්ගේ නිවස හා ඔහු සතු ධනය රජු තම බිසවට දුන්නා. ඇය ඒවා මොර්දෙකයිට භාර දුන්නා.—එස්තර් 8:1, 2.

තමාට හා මොර්දෙකයිට දැන් කිසි බියක් නැතුව ජීවත් විය හැකියි කියා සිතා එස්තර්ට සතුටු විය හැකිද? බැහැ. සියලුම යුදෙව්වන්ව මරා දමන්න කියා රජු පැනවූ නියෝගය දැනුම් දීමට පණිවිඩකරුවන් අධිරාජ්‍යය පුරාම පිටත්ව ගොස් අවසන්. හාමාන් දාදු දමා යුදෙව්වන්ව සමූල ඝාතනය කිරීමට සුදුසු දිනය දැනගෙන තිබුණා. බොහෝදුරට එය ජ්‍යෝතිඃ ශාස්ත්‍රයට සම්බන්ධ ක්‍රමයක් විය හැකියි. (එස්තර් 9:24-26) එම දිනය උදා වීමට මාස කිහිපයක් තිබුණත් එය ඉක්මනින් උදා වන බව සියලුදෙනාම දැන සිටියා. සිදු වීමට යන භයානක විනාශය නතර කිරීමට ක්‍රමයක් තිබෙනවාද?

එස්තර් තම ජීවිතය පරදුවට තබා නැවත වතාවක් ආරාධනයක් නැතුව රජුව හමු වීමට යනවා. ඇය මොන තරම් පරාර්ථකාමීද කියා ඒ සියල්ලෙන් හොඳට පැහැදිලි වෙනවා. රජු පැනවූ නියෝගය අවලංගු කරන්න කියා ඇය රජුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියා. නමුත් පර්සියාවේ නිතීයට අනුව රජු පැනවූ නියෝගයක් අවලංගු කළ නොහැකියි. (දානියෙල් 6:12, 15) ඊට පිළියමක් ලෙස අලුත් ආඥාවක් නිකුත් කරන්න කියා රජු එස්තර්ට හා මොර්දෙකයිට අවසර දුන්නා. තමන්ගේ ජීවිත රැකගැනීම සඳහා සංවිධානය වීමට යුදෙව්වන්ට රජු අවසර දී ඇති බව සඳහන් එම ලියවිල්ලද අධිරාජ්‍යය පුරා අස්සක් මුල්ලක් නෑර ප්‍රසිද්ධ කළා. යුදෙව්වන්ට එම ආරංචිය ඇසුණු විට ඔවුන් මහත් සේ ප්‍රීති වුණා. (එස්තර් 8:3-16) අධිරාජ්‍යය පුරාම සිටින යුදෙව්වන් තමන්ව මරා දැමීමට පැමිණෙන අයට එරෙහිව ක්‍රියා කිරීමට සේනාවක් ලෙස සංවිධානය වන ආකාරය ඔබට සිතින් මවාගත හැකිද? “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ” උපකාරය යුදෙව්වන්ට ලැබෙයිද?—1 සාමුවෙල් 17:45.

නියමිත දිනය උදා වූ විට යුදෙව්වන් ඊට සූදානමින් සිටියා. තමන්ගේ අලුත් අගමැති මොර්දෙකයි නිසා බොහෝ පර්සියානු නිලධාරීන්ද යුදෙව්වන්ට සහාය දැක්වුවා. තම සෙනඟට නැවත කිසි අනතුරක් කළ නොහැකි වන ලෙස ඔවුන්ගේ සතුරන්ට අන්ත පරාජයක් අත් කර දීමට දෙවි පියවර ගත්තා. *එස්තර් 9:1-6.

හාමාන්ගේ පුතුන් දහදෙනා නිසා මොර්දෙකයිගේ ජීවිතය තිබුණේ අනතුරේ. ඒ නිසා ඔහු ඒ අයවත් මරා දැමුවා. (එස්තර් 9:7-10) මුල සිටම දෙවිගේ සෙනඟට සතුරුකම් කළ අමලෙක්වරුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතුයි කියා පවසා තිබූ අනාවැකියද ඉහත සිදුවීමත් සමඟ සම්පූර්ණයෙන් ඉටු වුණා. (ද්විතීය කතාව 25:17-19) අමලෙක්වරුන්ගෙන් පැවත ආ අවසන් පරම්පරාව හාමාන්ගේ පුත්‍රයන් විය යුතුයි.

යුද්ධය හා සම්බන්ධ නියෝග වෙනස් කිරීම වැනි බාරදූර කාර්යයන් කිරීමට තරුණ එස්තර්ට සිදු වුණා. එය පහසු කාර්යයක් නොවෙයි. නමුත් එය යෙහෝවා දෙවිගේ කැමැත්තට එකඟ නිසා එය අනිවාර්යයෙන් සිදු වෙනවා. දෙවිගේ කැමැත්ත වුණේ මිනිස් වර්ගයාව පාපයෙන් හා මරණයෙන් ගලවාගන්නා තැනැත්තා ඊශ්‍රායෙල් ජාතියෙන් පැමිණීමයි. ඒ නිසා එම ජාතිය ආරක්ෂා කළ යුතු වුණා. (උත්පත්ති 22:18) නමුත් අද දින සිටින දෙවිගේ සේවකයන් යුද්ධවලට හවුල් වෙන්නේ නැහැ. ඊට හේතුව තමන්ව ගලවාගැනීමට පැමිණි තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් යුද්ධවලට හවුල් නොවන්න කියා පවසා තිබීමයි.—මතෙව් 26:52.

කෙසේවෙතත් අද දින සිටින දෙවිගේ සේවකයන් වෙනස් ආකාරයක යුද්ධයක නියැලෙමින් සිටිනවා. එනම්, තමන්ට දෙවි සමඟ තිබෙන බැඳීම කඩා දමන්න සාතන් ගන්නා උත්සාහයන්ට එරෙහිව ඔවුන් යුද්ධ කරනවා. (2 කොරින්ති 10:3, 4) එසේනම් අපිත් එස්තර් මෙන් ධෛර්යයෙන් යුතුව ක්‍රියා කරමු. දෙවිගේ සෙනඟට උපකාර කිරීමට නොපැකිලි ඉදිරිපත් වෙමු. ඉවසිලිවන්තව හා බුද්ධිමත්ව ක්‍රියා කරමු.

[පාදසටහන්වල]

^ 4 ඡේ. මොර්දෙකයි විසින් එස්තර්ව හදා වඩා ගත් බවත් පසුව පර්සියාවේ රජු වූ අහෂ්වේරොෂ් ඇයව තම බිසව කරගත් බවත් කලින් කලාපයක පළ වූ ලිපියෙන් අප දැනගත්තා. ඒ වගේම රජුගේ උපදේශකයෙක් වන හාමාන් මොර්දෙකයිගේ ජාතියට අයත් යුදෙව්වන්ව සමූල ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් දියත් කළ බවත් අප දැනගත්තා. තමන්ගේ සෙනඟ වෙනුවෙන් ඉදිරිපත් වී රජුට ඒ ගැන පවසන්න කියා මොර්දෙකයි, එස්තර්ගෙන් ඉල්ලා සිටියා.—2011 ඔක්තෝබර් 1 මුරටැඹ කලාපයේ පළ වූ “ඇය දෙවිගේ සෙනඟව බේරාගත්තා” යන මාතෘකාවෙන් යුත් ලිපිය බලන්න.

^ 32 ඡේ. යුදෙව්වන්ට ඔවුන්ගේ සතුරන්ව සම්පූර්ණයෙන්ම පරාජය කිරීම සඳහා වැඩිපුර දවසක් රජු ඔවුන්ට ලබා දුන්නා. (එස්තර් 9:12-14) යුදෙව්වන් ලැබූ ජයග්‍රහණය සිහි කිරීමට ඔවුන් අද දක්වා එම දිනය සමරනවා. ඔවුන් එම උත්සවය හඳුන්වන්නේ පූරීම් යන නමිනුයි. එම නමින් එය හඳුන්වන්නේ හාමාන් දාදු දමා එම දිනය තීරණය කළ නිසයි.

[28වන පිටුවේ කොටුව]

ප්‍රශ්න කිහිපයක්

යෙහෝවා දෙවිට නමස්කාර නොකළ කෙනෙකු සමඟ විවාහ වෙන්න මොර්දෙකයි එස්තර්ට ඉඩ දුන්නේ ඇයි?

මොර්දෙකයි අවස්ථාවාදියෙක් බවත් එස්තර්ව රජුට විවාහ කර දී තමන්ට නම්බුව ලබාගැනීමට මොර්දෙකයි උත්සාහ කළ බවත් සමහර විශාරදයන් පවසනවා. නමුත් මොර්දෙකයි දෙවිට භක්තිවන්තව සිටි යුදෙව්වෙක් නිසා ඔහු කොහෙත්ම එම විවාහයට තම අනුග්‍රහය නොදෙන බව ස්ථිරයි. (ද්විතීය කතාව 7:3) ඉපැරණි යුදෙව් කතන්දරවල සඳහන් ආකාරයට එම විවාහය නතර කිරීමට මොර්දෙකයි උත්සාහ කර තිබෙනවා. නමුත් තමාවම දෙවි කෙනෙක් ලෙස සලකන ඉතා බලවත් අධිරාජ්‍යයෙකුට එරෙහි වීමට විදේශිකයන් දෙදෙනෙක් වන මොර්දෙකයි සහ එස්තර්ට හැකියාවක් නැති බව හොඳටම පැහැදිලියි. කොහොමවුණත් යෙහෝවා දෙවි එස්තර් මාර්ගයෙන් තම සෙනඟව ආරක්ෂා කිරීමට පියවර ගත්තා.—එස්තර් 4:14.

යෙහෝවා යන දෙවිගේ නම එස්තර් පොතේ දක්නට නැත්තේ ඇයි?

සමහරවිට එම පොත මුලින්ම තිබුණේ පර්සියාවේ අනිකුත් රාජකීය ලියවිලි අතරේ විය හැකියි. පසුව එය යෙරුසලමට ගෙන යන්න ඇති. බොරු දෙවිවරුන්ට නමස්කාර කළ අය යෙහෝවා යන දෙවිගේ නම එම පොතේ තිබෙනවා දුටුවා නම් එය විනාශ කිරීමට ඉඩ තිබුණා. කොහොමවුණත් එම පොතේ සඳහන් තොරතුරුවලින් පැහැදිලි වෙන්නේ අහෂ්වේරොෂ් රජුගේ කාලයේදී සිදු වූ සිද්ධියට යෙහෝවා දෙවි මැදිහත් වූ බවයි. මෙහිදී සැලකිල්ලට ගත යුතු තවත් කාරණයක් තිබෙනවා. හෙබ්‍රෙව් භාෂාවෙන් ඇති එස්තර් පොතේ මුල් ලියවිල්ලේ, සමහර ඡේදවල වචන හතරක මුල් අකුර ලොකු කර ලියා තිබෙනවා. එසේ ලියා තිබෙන්නේ දෙවිගේ නමට අදාළ හෙබ්‍රෙව් අක්ෂර හතරයි. කොහොමවුණත් එස්තර් පොත ලිවීමට මොර්දෙකයිට දෙවිගේ බලයේ මඟ පෙන්වීම ලැබුණු බව නම් ස්ථිරයි.

එස්තර් පොතේ සඳහන් තොරතුරු නිවැරදිද?

සමහර විශාරදයන් පවසන්නේ එස්තර් පොතේ සඳහන් තොරතුරු වැරදි බවයි. කෙසේවෙතත් පර්සියානු රජු ගැන, ගෘහ නිර්මාණ ශිල්පය ගැන හා චාරිත්‍ර වාරිත්‍ර ගැන බොහෝ තොරතුරු එස්තර් පොතේ ඇතුළත් කර තිබෙන බව තවත් විශාරදයන් පවසනවා. බයිබලයට අමතරව එස්තර් බිසව ගැන සඳහන් වාර්තා වෙනත් ස්ථානයකින් හමු වී නැහැ. සාමාන්‍යයෙන් විවිධ හේතූන් නිසා රජ පවුලට අයිති සමහර අය ගැන ලිඛිත වාර්තා තබාගන්නේ නැහැ. කොහොමවුණත් මොර්දෙකයි යන නම ඇති කෙනෙක් ෂූෂන් මාලිගාවේ සිටි බව සඳහන් වාර්තා සොයාගෙන තිබෙනවා. මොර්දෙකයි එස්තර් පොත ලියා තිබෙන්නේ එහි සඳහන් දේවල් සිදු වූ කාලයේදීම බව එම වාර්තාවලින් පැහැදිලි වෙනවා.

[29වන පිටුවේ කොටුව]

අනාවැකියක් ඉටු වුණා

එස්තර් සහ මොර්දෙකයි බයිබලයේ සඳහන් අනාවැකියක් ඉටු කළා. ඊට අවුරුදු 1,200කට පමණ පෙර යෙහෝවා දෙවි යාකොබ්ගේ එක් පුතෙකු සම්බන්ධයෙන් මෙම අනාවැකිය පැවසුවා. “බෙන්ජමින් වෘකයෙකු මෙන් ගොදුර ඉරා දමන්නේය. ඔහු උදේ ගොදුර කන්නේය. සවස කොල්ලය බෙදාගන්නේය.” (උත්පත්ති 49:27) එම අනාවැකියේ “උදේ” කියා සඳහන් කරන්නේ ඊශ්‍රායෙල්වරුන්ගේ ඉතිහාසයේ මුල් කාලයටයි. ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ගේ පළමු රජව තෝරාගත්තා. සාවුල් යන නමින් හැඳින්වූ ඔහු බෙන්ජමින්වරුන්ගෙන් පැවත එන කෙනෙක්. ඒ වගේම ඒ කාලයේදී බෙන්ජමින්වරුන්ගෙන් පැවත එන දක්ෂ යුධ භටයන් සිටියා. එම අනාවැකියේ “සවස” කියා සඳහන් කරන්නේ ඊශ්‍රායෙල් ඉතිහාසයේ රජවරුන්ගේ පාලනය අවසන් වූ කාලයටයි. නමුත් ඒ කාලයේදී එස්තර් හා මොර්දෙකයි යෙහෝවා දෙවිගේ සතුරන්ට එරෙහිව ක්‍රියා කර ජය ගත්තා. ඔවුන් දෙදෙනාට හාමාන්ගේ වස්තුව ලැබුණා. ඒ අනුව ඉහත අනාවැකියේ සඳහන් ලෙස ඔවුන් කොල්ලය බෙදාගත්තා කියා පැවසිය හැකියි.

[25වන පිටුවේ පින්තූරය]

එස්තර්, රජුගේ කරුණාව අයැද සිටියා

[26, 27වන පිටුවේ පින්තූරය]

එස්තර් නිර්භීතව හාමාන්ගේ කුමන්ත්‍රණය හෙළි කළා

[28, 29වන පිටුවේ පින්තූරය]

එස්තර් සහ මොර්දෙකයි යුදෙව්වන්ව බේරාගැනීමට ක්‍රියා කළා