Skip to content

පටුනට යන්න

සැබෑ ක්‍රිස්තියානීන් දේවවචනයට මුල් තැන දෙයි

සැබෑ ක්‍රිස්තියානීන් දේවවචනයට මුල් තැන දෙයි

“ඔබ පවසන දේ සත්‍යයයි.”—යොහ. 17:17.

1. සාක්ෂිකරුවන් සමඟ කළ පළමු සාකච්ඡාව ඔබේ සිතට කාවැදුණේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ මුල් වතාවට කතා කළ බොහෝදෙනෙකුගේ මතකයේ තිබෙන්නේ තමන් ඇසූ සෑම ප්‍රශ්නයකටම බයිබලයෙන් පිළිතුරු ලැබුණු බවයි. සමහරවිට ඔබේ අද්දැකීමත් එය වෙන්න පුළුවන්. පොළොව සඳහා දෙවිගේ අරමුණ, මරණයෙන් පසුව සිදු වන දේ සහ මිය ගිය අය පිළිබඳව ඇති බලාපොරොත්තුව ගැන බයිබලයෙන් පැහැදිලි කළ විට ඔබ හුඟක් සතුටු වෙන්න ඇති.

2. බයිබලය ඉතා ප්‍රයෝජනවත් පොතක් ලෙස ඔබ සලකන්නේ ඇයි?

2 දිගටම බයිබලය අධ්‍යයනය කරන විට ඔබට තවත් වැදගත් කරුණක් වැටහෙන්න ඇති. එනම් අපේ ජීවිතයට හොඳම මඟ පෙන්වීම් ලබා දෙන එකම පොත බයිබලය බවයි. එම මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් සතුටින් පිරි සාර්ථක ජීවිතයක් ගත කළ හැකි බව ඔබ දැනටමත් අද්දකිනවා ඇති. (ගීතාවලිය 1:1-3 කියවන්න.) දෙවිගේ සේවකයන් බයිබලය සලකන්නේ ‘මිනිසුන්ගෙන් ලැබුණු දෙයක් ලෙස නොව දෙවිගෙන් ලැබුණු පණිවිඩයක් ලෙසයි.’ (1 තෙස. 2:13) එසේනම් බයිබලය දේවවචනය ලෙස සලකා එහි මඟ පෙන්වීම් පිළිගත් අය හා නොපිළිගත් අය අතර ඇති වෙනස දැන් අපි සලකා බලමු.

බරපතළ ප්‍රශ්නයක් විසඳූ ආකාරය

3. මුල් සියවසේදී සභාව තුළ මතු වූ ගැටලුව මොකක්ද? එය එතරම් බරපතළ එකක් වුණේ ඇයි?

3 මුල් සියවසේදී ක්‍රිස්තියානි සභාවේ විශාල ගැටලුවක් මතු වුණා. එය සිදු වුණේ යුදෙව්වෙක් නොවූ කොර්නේලියස් ක්‍රිස්තියානියෙක් වී වසර 13කට පසුවයි. ඔහු යුදෙව් නීතියට අනුව චර්මච්ඡේදනය වී තිබුණේ නැහැ. ඔහුගෙන් පසුව යුදෙව් නොවන තවත් බොහෝදෙනෙක් ක්‍රිස්තියානීන් බවට පත් වුණා. මතු වූ ගැටලුව වුණේ එවැනි අය බව්තීස්ම වීමට පෙර චර්මච්ඡේදනය විය යුතුද නැද්ද යන්නයි. ඔවුන් යුදෙව් ආගම අත්හැරීම නිසා ඔවුන්ට සමාජයෙන් බොහෝ පීඩා එල්ල වුණා. ඔවුන්ගේ නිවෙස්වලට සමහර යුදෙව්වන් ඇතුල් වුණේවත් නැහැ. එවැනි තත්වයක් යටතේ ඔවුන් චර්මච්ඡේදනය නොකළ කෙනෙකුව තමාගේ සහෝදරයෙකු ලෙස පිළිගත්තා නම් ඊටත් වඩා පීඩාවලට මුහුණ දීමට සිදු වන බව ඔවුන් දැනගෙන සිටියා. ඒ වගේම යුදෙව් සමාජයෙන් කොන් වීමටත් එය හේතුවක් වුණා.—ගලා. 2:11-14.

4. ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමට රැස් වුණේ කවුද? ඒ සම්බන්ධයෙන් මතු වන ප්‍රශ්න මොනවාද?

4 “ඒ කාරණය ගැන සාකච්ඡා කිරීමට” නියෝජිතයන් සහ වැඩිමහල්ලන් ක්‍රිස්තු වර්ෂ 49දී යෙරුසලමේ රැස් වුණා. (ක්‍රියා 15:6) ඔවුන් චර්මච්ඡේදනය වූ යුදෙව්වන්. එම සාකච්ඡාව වාදවිවාදවලින් පිරි, කිසි වැදගැම්මකට නැති එකක් වුණාද? නැහැ. එය පදනම් වී තිබුණේ දේවවචනය මතයි. එහි සිටි සෑම කෙනෙක්ම තමන්ගේ අදහස් විවෘතව ප්‍රකාශ කළා. නමුත් ඔවුන් ඒ ප්‍රශ්නය විසඳුවේ කොහොමද? ඔවුන්ගේ තීරණයට පෞද්ගලික අදහස් හෝ යුදෙව් සමාජය තුළ තිබූ පටු ආකල්ප බලපෑමක් වුණාද? තීරණයක් ගැනීම සඳහා යෙරුසලමේ හටගෙන තිබූ පීඩා තරමක් අඩු වන තෙක් ඔවුන් බලා සිටියාද? නැත්නම් අවසන් තීරණයක් ගත යුතු නිසා අන් අයගේ කැමැත්තට අනුව වැරදි තීරණයක් ගැනීමට ඉඩ දුන්නාද?

5. පල්ලි නායකයන් පවත්වන සම්මේලනවලට වඩා යෙරුසලමේ පැවැත්වූ සාකච්ඡාව වෙනස් වුණේ කොහොමද?

5 ප්‍රශ්න විසඳීමට පල්ලි නායකයන් සාමාන්‍යයෙන් සම්මේලන පවත්වනවා. එහිදී බොහෝවිට සිදු වෙන්නේ අවසන් තීරණයක් ගත යුතු නිසා අන් අයගේ කැමැත්තට අනුව වැරදි තීරණයක් ගැනීමට වුණත් ඉඩ දීමයි. තවත් අය තමන්ගේ තීරණය සම්මත කරගැනීමට තමන් වෙනුවෙන් ඡන්දය ලබා දෙන්න කියා සෙසු පූජකයන්ගෙන් ඉල්ලා සිටිනවා. නමුත් එදා යෙරුසලමේ පැවති සාකච්ඡාව ඊට හාත්පසින්ම වෙනස්. ඔවුන්ට විවිධ අදහස් තිබුණත් අවසන් තීරණය ගත්තේ සියලුදෙනාගේ එකඟතාව මතයි. ඊට හේතුව ඔවුන් සියලුදෙනාම ශුද්ධ ලියවිල්ලට මුල් තැන දී එහි මඟ පෙන්වීම් ලබාගැනීමයි.—ගීතාවලිය 119:97-101 කියවන්න.

6, 7. චර්මච්ඡේදනය පිළිබඳ ප්‍රශ්නය විසඳාගැනීමට ශුද්ධ ලියවිල්ල උපකාර වුණේ කොහොමද?

6 එම ප්‍රශ්නය විසඳාගැනීමට ඔවුන්ට උපකාරවත් වුණේ ආමොස් 9:11, 12හි ඇති තොරතුරුයි. එම වදන් ක්‍රියා 15:16, 17හි මෙසේ උපුටා දක්වා තිබෙනවා. “මම නැවත පැමිණ බිඳ වැටී ඇති දාවිත්ගේ ගෘහය නැවත ගොඩනඟන්නෙමි. නටබුන් වී ඇති එය නැවත ඉදි කර ස්ථිර කරන්නෙමි. මා එසේ කරන්නේ ඉතුරු වූ සියලුදෙනා සියලු ජාතීන්වල මිනිසුන් සමඟ එකතු වී යෙහෝවා දෙවිට ළං වී ඔහුගේ මඟ පෙන්වීම් පතන පිණිසය. මේ මිනිසුන් මාගේ නාමය දරන සෙනඟකි. මෙසේ පවසන්නේ මේ සියලු දේ සිදු කරන යෙහෝවා දෙවිය.”

7 එම බයිබල් පදවල චර්මච්ඡේදනය ගැන සඳහන් වී නැහැ කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් එදා සිටි යුදෙව්වන් එම පද තේරුම්ගත්තේ කොහොමද? චර්මච්ඡේදනය වූ වෙනත් ජාතිකයෙකුව යුදෙව් ක්‍රිස්තියානීන් සැලකුවේ තමාගේම සහෝදරයෙක් ලෙසයි. (නික්. 12:48, 49) උදාහරණයකට පැරණි අනුවාදයේ එස්තර් 8:17හි “දේශයේ ජනයන්ගෙන් බොහෝදෙනෙක් යුදෙව්වෝ වුණෝය” කියා පවසන්නේ ඒ නිසයි. ක්‍රියා 15:17හි සඳහන් ‘ඉතුරු වූ සියලුදෙනාට’ අයත් වුණේ යුදෙව් ක්‍රිස්තියානීන් සහ චර්මච්ඡේදනය වී ක්‍රිස්තියානීන් බවට පත් වූ වෙනත් ජාතිකයනුයි. ඔවුන්, “සියලු ජාතීන්වල මිනිසුන් සමඟ එකතු වී” දෙවිට නමස්කාර කරන බව එහි තවදුරටත් සඳහන් වෙනවා. සියලු ජාතීන්වල මිනිසුන් යන්නෙන් අදහස් වන්නේ චර්මච්ඡේදනය නොවූ අයයි. ඒ අනුව දෙවිට නමස්කාර කිරීම සඳහා වෙනත් ජාතිකයෙකු චර්මච්ඡේදනය වීම අවශ්‍ය නැහැ කියා තීරණය කිරීමට ඔවුන්ට හැකි වුණා.

8. චර්මච්ඡේදනය පිළිබඳව ගත් තීරණයට එකඟව ක්‍රියා කිරීමට ධෛර්යය අවශ්‍ය වුණේ ඇයි?

8 යෙරුසලමේ රැස් වූ පිරිසට “ඒකමතික” තීරණයක් ගැනීමට හැකි වුණේ ශුද්ධ ලියවිලිවලින් සහ දෙවිගේ බලයෙන් මඟ පෙන්වීම් ලැබුණු නිසයි. (ක්‍රියා 15:25) එම තීරණය නිසා යුදෙව් ක්‍රිස්තියානීන් මුහුණ දුන් පීඩා තව තවත් වැඩි වුණත් විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් ශුද්ධ ලියවිල්ල මත ගත් තීරණයට එකඟව කටයුතු කිරීමට ධෛර්යය වඩවාගත්තා.—ක්‍රියා 16:4, 5.

වෙනස ඉතා පැහැදිලියි

9. සත්‍යය නමස්කාරය දූෂ්‍ය වූ එක් ආකාරයක් සඳහන් කරන්න. විකෘති කර ඉගැන්වූ වැදගත් ඉගැන්වීම මොකක්ද?

9 යේසුස්ගේ මුල් අනුගාමිකයන්ගේ මරණයෙන් පසු ක්‍රිස්තියානි සභාව තුළට බොරු ගුරුවරුන් පැමිණෙන බව පාවුල් පැවසුවා. (2 තෙසලෝනික 2:3, 7 කියවන්න.) ඒ අය අතර සභාවේ මූලිකත්වය ගෙන කටයුතු කරන සමහර අයද සිටින බව ඔහු සඳහන් කළා. (2 තිමෝ. 4:3) එදා සිටි වැඩිමහල්ලන්ට ඔහු ඒ ගැන අනතුරු ඇඟෙව්වේ මෙසේයි. “ඔබට උගන්වා ඇති හැම දෙයක්ම ඔබ අතරම සිටින සමහරුන් විකෘති කර පෙන්වයි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ගෝලයන්ව ඔවුන්ගේ පසුපස රැගෙන යෑමයි.” (ක්‍රියා 20:30) ක්‍රිස්තියානි සභාව තුළට බොරු ඉගැන්වීම් ඈඳාගත් ආකාරය ගැන එක් විශ්වකෝෂයක සඳහන් වුණේ මෙසේයි. “කලින් ග්‍රීක දර්ශනවාදය ඉගෙනගෙන තිබූ සමහර ක්‍රිස්තියානීන් තම ආගම ගැන අන් අයට ඉගැන්වීමට දර්ශනවාදී අදහස් යොදාගත්තා. උගත් අයව ක්‍රිස්තියානීන් කරගැනීම සඳහා එය හොඳම ක්‍රමයයි කියා ඔවුන් සිතුවා.” (The New Encyclopædia Britannica) උදාහරණයකට යේසුස් දෙවිගේ පුත්‍රයා බව බයිබලයේ සඳහන් වුණත් ග්‍රීක දර්ශනවාදී අදහස්වලට ඇල්මක් දැක්වූ අය ඉගැන්වූයේ යේසුස් දෙවි කියායි. එමගින් ඔවුන් බයිබලයේ ඇති වැදගත් ඉගැන්වීමක් විකෘති කළා.

10. පල්ලි නායකයන්ට යේසුස් කවුද යන්න ගැන සොයාගැනීමට හැකියාව තිබුණේ කොහෙන්ද?

10 පල්ලි නායකයන් සම්මේලනවලදී එම ඉගැන්වීම ගැන වාද කළා. යේසුස් පිළිබඳව සත්‍යය කුමක්ද කියා බයිබලයෙන් පහසුවෙන්ම සොයාගැනීමට අවස්ථාව තිබුණත් ඔවුන් දෙවිගේ වචනය සැලකුවේ එතරම් වැදගත් දෙයක් ලෙස නොවෙයි. සමහර අවස්ථාවලදී සම්මේලන පටන්ගැනීමටත් පෙර ඔවුන් එම ඉගැන්වීම ගැන තීරණයක් ගෙන තිබුණා. එය වෙනස් කිරීමට කිසිවෙකුට හැකි වුණේ නැහැ. එවැනි සම්මේලනවලදී බයිබලය ගැන සඳහන් කළේ ඉතා කලාතුරකිනුයි.

11. පල්ලි නායකයන් තීරණ ගන්නා විට ඔවුන් මුල් තැන දුන්නේ කුමකටද? ඒ ඇයි?

11 පල්ලි නායකයන්ගේ සාකච්ඡාවලදී ඔවුන් බයිබලයට මුල් තැන නොදුන්නේ ඇයි? බයිබල් විශාරද චාල්ස් ෆ්‍රීමන් පවසන්නේ ඔවුන්ගේ පෞද්ගලික අදහස්වලට බයිබලයේ අදහස් පටහැනි වූ බවයි. දෙවි තමන්ට වඩා උසස් බව යේසුස්ම පැවසූ දේ සුවිශේෂ වාර්තාවල සඳහන් වෙනවා. එම සත්‍යය පිළිගැනීමට පල්ලි නායකයන් කැමති වුණේ නැහැ. තම මතයේ එල්බගෙන සිටි නිසා ඔවුන් කළේ පල්ලියේ සම්ප්‍රදායන් සහ එහි නායකයන්ගේ මත සුවිශේෂ වාර්තාවලට වඩා උසස් කොට සැලකීමයි. අද දින පවා බොහෝ පූජකයන් බයිබලයේ ඇති අදහස්වලට වඩා සභා පියවරුන් ලෙස හඳුන්වන අයගේ අදහස් උසස් කොට සලකනවා. තීරණ ගන්නා විට ඔවුන් ඒවාට මුල් තැන දෙන්නේ ඒ නිසයි. ඔබ කවදා හෝ ත්‍රිත්වය විශ්වාස කරන කෙනෙක් සමඟ කතා කර තිබෙනවා නම් ඔබට ඒ බව වැටහී ඇති.

12. රෝම පාලකයා පල්ලියට බලපෑම් කළේ කොහොමද?

12 පල්ලිවල පැවැත්වූ බොහෝ සාකච්ඡාවලට බලපෑම් කළ රෝම පාලකයන් උත්සාහ කළේ තමන්ට වාසි වන ආකාරයෙන් තීරණ ගැනීමට පූජකයන්ව පෙලඹවීමටයි. උදාහරණයකට නයිසියා නගරයේ පැවැත්වූ පල්ලි සම්මේලනය ගැන මහාචාර්යය රිචඩ් ඊ. රූබන්ස්ටයින් පවසන දේ බලන්න. “රජය පල්ලිවලින් බලෙන් පවරාගෙන තිබූ සෑම දෙයක්ම හා බිෂොප්වරුන්ට අහිමි කර තිබූ සියලු තනතුරු රෝමයේ පාලකයා වූ කොන්ස්ටන්ටයින් ඔවුන්ට නැවත ලබා දුන්නා. ඔවුන්ව ධනවතුන් කළා. ඒ සියල්ල අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළදී කිරීමට ඔහුට හැකි වුණා. ඊට අමතරව වෙනත් දෙවිවරුන්ව ඇදහූ පූජකයන් භුක්ති විඳි වරප්‍රසාද හා ගරු නම්බුද ඔවුන්ට ලබා දුන්නා. නයිසියා සම්මේලනයේදී ගත් තීරණවලට බොහෝ සේ බලපෑම් කරන්න කොන්ස්ටන්ටයින්ට හැකි වුණේ ඒ හේතු නිසයි.” චාල්ස් ෆ්‍රීමන්ද එම අදහසට මෙසේ එකඟ වුණා. “කොන්ස්ටන්ටයින් මේ ආකාරයෙන් බිෂොප්වරුන්ට සැලකූ නිසා පල්ලියේ වැඩකටයුතුවලට බලපෑම් කිරීමට පමණක් නොව එහි ඉගැන්වූ දේවල් තම වාසියට හරවාගන්න පවා ඔහුට හැකි වුණා.”—යාකොබ් 4:4 කියවන්න.

13. බයිබලයේ සඳහන් පැහැදිලි සත්‍යය පල්ලි නායකයන් පිළි නොගත්තේ ඇයි?

13 යේසුස් දෙවිගේ පුත්‍රයා යන සත්‍යය පල්ලි නායකයන් පිළි නොගත්තත් පොදු ජනයාගෙන් බොහෝදෙනෙක් එය පිළිගත්තා. ඊට හේතුව ඔවුන් ශුද්ධ ලියවිල්ලෙන් කියවා තිබූ දේ පැහැදිලිව තේරුම්ගෙන තිබීමයි. නමුත් පල්ලි නායකයන් බයිබලය ප්‍රතික්ෂේප කළේ රෝම පාලකයාගෙන් ලැබෙන ධනය සහ බලය කෙරෙහි ඔවුන්ට තිබූ කෑදරකම නිසයි. වෙළෙඳුන් සහ මෙහෙකරුවන් වැනි සාමාන්‍ය අය ආගම ගැන සාකච්ඡා කිරීම ඒ කාලයේ සිටි පූජකයෙකු වූ ග්‍රෙගරි දැඩි ලෙස හෙළාදැක්කා. පුත්‍රයාණන්ට වඩා පියාණන් උසස් බවත් යේසුස්ව දෙවි විසින් නිර්මාණය කළ බවත් පොදු ජනයා පැහැදිලිව තේරුම්ගෙන තිබීම ගැන එම පූජකයා සතුටු වුණේ නැහැ. නමුත් ග්‍රෙගරි හා අනික් පූජකයන් සාමාන්‍ය ජනයාට ඇහුම්කන් දී ශුද්ධ ලියවිල්ලෙන් එම සත්‍යයන් අධ්‍යයනය කළා නම් මොන තරම් හොඳද!

කිරිඳි සහ තිරිඟු එකට වැඩෙයි

14. පළමු සියවසේ සිට සෑම කාලයකදීම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් පොළොව මත සිටි බව අප දන්නේ කොහොමද?

14 පළමු සියවසේ සිට සෑම කාලයකදීම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් කිහිපදෙනෙක් හෝ පොළොවේ සිට ඇති බව යේසුස් පැවසූ උපමාවකින් අපට තේරුම්ගත හැකියි. ඔහු ඔවුන්ව සමාන කළේ “කිරිඳි” අතර වැඩෙන ‘තිරිඟුවලටයි.’ (මතෙ. 13:30) ඔවුන් කවුද කියා නිශ්චිතව කියන්න අපිට බැහැ. නමුත් සෑම කාලයකම දෙවිගේ වචනය වෙනුවෙන් නැඟී සිටි, පල්ලියේ බොරු ඉගැන්වීම්වලට විරුද්ධව නිර්භීතව කතා කළ අය සිටියා. ඒ සෑම කෙනෙක්ම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වුණාද නැද්ද කියා අපට ස්ථිරව කියන්න බැහැ. නමුත් ඔවුන්ගෙන් කිහිපදෙනෙක් ගැන දැන් අපි සලකා බලමු.

15, 16. දෙවිගේ වචනය වෙනුවෙන් නිර්භීතව කතා කළ සමහර අය කවුද?

15 ප්‍රංශයේ ජීවත් වූ අගරදගුරු ඇගොබාඩ් එවැනි කෙනෙක්. ඔහු ජීවත් වුණේ ක්‍රි.ව. 779-840 දක්වා කාලයේයි. රූපවලට නමස්කාර කිරීම, ශුද්ධවන්තයන්ට පල්ලි කැප කිරීම සහ පල්ලියේ පැවති නමස්කාර පිළිවෙත් යනාදියට එරෙහිව ඔහු හඬ නැඟුවා. ක්ලෝඩියස් නම් බිෂොප්වරයාත් සිටියේ ඒ කාලයේමයි. ඔහු පල්ලියේ සම්ප්‍රදායන් ප්‍රතික්ෂේප කළ කෙනෙක්. ශුද්ධවන්තයන්ට යාච්ඤා කිරීම සහ රූපවලට නමස්කාර කිරීම ඔහුද හෙළාදුටුවා. ප්‍රධාන පූජකයෙක් වූ බෙරෙන්ජේරියස් ජීවත් වුණේ 11වන සියවසෙයි. සත්ප්‍රසාද ගන්නා විට භාවිත කරන පූපය හා වයින් ආශ්චර්යවත් ලෙස යේසුස්ගේ ශරීරය හා රුධිරය බවට හැරෙනවා යන ඉගැන්වීමට ඔහු විරෝධය පෑවා. පල්ලියේ සම්ප්‍රදායන්ට වඩා බයිබලයේ ඇති අදහස්වලට මුල් තැන දිය යුතු බවද ඔහු ඉගැන්නුවා. මේ හේතු නිසා ඔහුව පල්ලියෙන් නෙරපා දැමුවා.

16 බයිබලයේ ඉගැන්වීම්වලට මුල් තැන දුන් තවත් දෙදෙනෙක් නම් 12වන සියවසේදී ප්‍රංශයේ බ්‍රී නගරයේ ජීවත් වූ පීටර් සහ ලෝසන් නගරයේ ජීවත් වූ හෙන්රි යන පූජකයනුයි. කතෝලික පල්ලියේ සිදු කළ ළදරු බව්තීස්මය, වයින් හා පූප යේසුස්ගේ රුධිරය හා ශරීරය බවට හැරෙනවා යන ඉගැන්වීම, මිය ගිය අය වෙනුවෙන් යාච්ඤා කිරීම සහ කුරුසයට නමස්කාර කිරීම බයිබලයට පටහැනි බව විශ්වාස කළ නිසා පීටර්, පූජක පදවියෙන් ඉවත් වුණා. එම ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළ නිසා 1140දී ඔහුව අමු අමුවේ පුලුස්සා දැමුවා. හෙන්රි නම් පූජකයා පල්ලියේ සිදු කළ වැරදි වත්පිළිවෙත් සහ නමස්කාර ක්‍රම හෙළාදුටු නිසා ඔහුව 1148දී ජීවිතාන්තය දක්වා සිරගත කළා.

17. වොල්ඩෝ සහ ඔහුගේ අනුගාමිකයන් කළ වැදගත් කාර්යය මොකක්ද?

17 බයිබලයේ සඳහන් සත්‍යය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් පෙරළියක් ඇති කළ පුද්ගලයෙක් වන වොල්ඩෝ ඉපදුණෙත් ඒ කාලයෙදිමයි. * ඔහු පූජකයෙක් නොවුණත් ඔහුට දෙවිගේ වචනය කෙරෙහි කොතරම් ඇල්මක් තිබුණාද කියනවා නම් ප්‍රංශයේ පොදු ජනයා කතා කළ භාෂාවට බයිබලය පරිවර්තනය කිරීම සඳහා ඔහු තමා සතු ධන සම්පත් වැය කළා. තමාගේම භාෂාවෙන් බයිබලය කියවීමට හැකි වීම නිසා සතුටු වූ සමහරු වොල්ඩෝගේ අඩි පාරේ යමින් තමන්ගේ ධන සම්පත් අත්හැර බයිබලය ගැන අන් අයට ඉගැන්වීමට ජීවිත කාලයම කැප කළා. ඒ ගැන පල්ලි නායකයන් කෝපයට පත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 1184දී පාප්වරයා විසින් වොල්ඩෝගේ අනුගාමිකයන්ව පල්ලියෙන් නෙරපුවා. ඔවුන්ගේ නිවෙස්වලිනුත් ඔවුන්ව පන්නා දැමුවා. නමුත් එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් ගිය ගිය තැන්වලත් සත්‍යය ව්‍යාප්ත වීමයි. ඒ නිසා කාලයත් සමඟ යුරෝපයේ බොහෝ ප්‍රදේශවල වොල්ඩෝගේ, පීටර්ගේ සහ හෙන්රිගේ අනුගාමිකයන් බිහි වෙන්න පටන්ගත්තා. ඉන්පසු කාලවලදී ජෝන් වයික්ලිෆ් (1330-1384දී පමණ), විලියම් ටින්ඩේල් (1494-1536දී පමණ), හෙන්රි ගෲ (1781-1862) සහ ජෝර්ජ් ස්ටෝර්ස් (1796-1879) වැනි අයද බයිබලයේ සඳහන් සත්‍යය වෙනුවෙන් නිර්භීතව කතා කළා.

‘දෙවිගේ පණිවිඩය බැඳ තැබීමට නුපුළුවන’

18. සත්‍යය සොයමින් සිටි කණ්ඩායමක් බයිබලය අධ්‍යයනය කළේ කොහොමද? ඔවුන් අනුගමනය කළේ කාවද?

18 බොහෝදෙනෙක් බයිබලයේ ඇති සත්‍යය ව්‍යාප්ත වීම නතර කිරීමට උත්සාහ කළත් එය නතර කිරීමට කිසිවෙකුට පුළුවන් වුණේ නැහැ. “දෙවිගේ පණිවිඩය බැඳ තැබීමට කිසිවෙකුට නුපුළුවන” කියා බයිබලයේ සඳහන් වී තිබෙන්නේ ඒ නිසයි. (2 තිමෝ. 2:9) වර්ෂ 1870දී සත්‍යය සොයමින් සිටි කුඩා කණ්ඩායමක් බයිබලයේ ඇති සත්‍යය පිළිබඳව ගවේෂණය කිරීමට පටන්ගත්තා. ඔවුන් එය කළේ කොහොමද? මුලින්ම එක් විෂයක් ගැන කෙනෙක් ප්‍රශ්නයක් ඇසුවා. ඉන්පසුව ඔවුන් ඒ ගැන සාකච්ඡා කළා. ඊළඟ පියවර ලෙස එම විෂයට අදාළ සියලුම බයිබල් පද අධ්‍යයනය කළා. ඒවා එකිනෙකට සම්බන්ධ වන ආකාරය ඔවුන් තේරුම්ගත් පසු නිගමනය සටහන් කරගත්තා. බයිබලය අධ්‍යයනය කිරීමට එය ඉතා සාර්ථක ක්‍රමයක් වුණා. ඔවුන් අනුගමනය කළේ එදා යෙරුසලමේ රැස් වූ වැඩිමහල්ලන් අධ්‍යයනය කළ ආකාරයයි. ඒ අනුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ එම මුල් සාමාජිකයන් තම විශ්වාසයන් සම්පූර්ණයෙන්ම පදනම් කරගත්තේ බයිබලයේ සඳහන් ඉගැන්වීම් මතයි.

19. මේ වසරේ වාර්ෂික පදය මොකක්ද? එම වාර්ෂික පදය සුදුසු ඇයි?

19 අපේ විශ්වාසයන්ට පදනමත් බයිබලයයි. පාලක මණ්ඩලය 2012 වාර්ෂික පදය ලෙස “ඔබ පවසන දේ සත්‍යයයි” යන යේසුස්ගේ වචන යොදාගෙන තිබෙන්නේ ඒ නිසයි. (යොහ. 17:17) දෙවිගේ අනුමැතිය ලබන්න කැමති සෑමදෙනාම දෙවි පවසන දේට එකඟව ජීවත් විය යුතුයි. එසේ කිරීමට අප සියලුදෙනාම අදිටන් කරගනිමු.

[පාදසටහන]

^ 17 ඡේ. ඔහුව පීටර් වොල්ඩෝ කියා හැඳින්නුවත් ඔහුගේ මුල් නම පීටර් කියා ස්ථිරවම කිව නොහැකියි.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

2012 වසරේ වාර්ෂික පදය: “ඔබ පවසන දේ සත්‍යයයි.”—යොහන් 17:17

[7වන පිටුවේ පින්තූරය]

වොල්ඩෝ

[7වන පිටුවේ පින්තූරය]

වයික්ලිෆ්

[7වන පිටුවේ පින්තූරය]

ටින්ඩේල්

[7වන පිටුවේ පින්තූරය]

ගෲ

[7වන පිටුවේ පින්තූරය]

ස්ටෝර්ස්