Skip to content

පටුනට යන්න

අවදියෙන් සිටීමට කදිම ආදර්ශ

අවදියෙන් සිටීමට කදිම ආදර්ශ

“මා සමඟ අවදියෙන් සිටින්න.”—මතෙ. 26:38.

1-3. යේසුස්ගේ ගෝලයන් අසමත් වුණේ කුමක් කිරීමටද? සූදානමින් නොසිටීම ගැන ඔවුන් අවංකවම කනගාටු වූ බව අපි දන්නේ කොහොමද?

මිහි පිට සිටි අන්තිම රාත්‍රියේදී යේසුස් සිටියේ විශාල පීඩනයකින්. ඒ නිසා නිස්කලංක තැනකට ගොස් යාච්ඤා කිරීමට ඔහුට අවශ්‍ය වුණා. ඔහු පේතෘස්, යාකොබ් හා යොහන් සමඟ ගෙත්සෙමන උයනට ගියා.—මතෙ. 26:36; යොහ. 18:1, 2.

2 උයන ඇතුළට ගොස් “මෙහි නැවතී මා සමඟ අවදියෙන් සිටින්න” කියා ඔවුන්ට පවසා යේසුස් මදක් ඉදිරියට ගොස් තනිවම යාච්ඤා කළා. ඔහු පැමිණි විට ඔවුන් නිදා සිටිනවා දැක ‘අවදිව සිටින්න’ කියා පවසා නැවත යාච්ඤා කිරීමට ගියා. ඔහු තව දෙවතාවක්ම පැමිණියත් ඔවුන් නිදා සිටියා. එදා රාත්‍රියේදී සිදු වීමට තිබූ ඉතා වැදගත් සිදුවීම්වලට ඔවුන් තම මනස සූදානම් කරගෙන නොසිටි නිසා ඒවාට මුහුණ දීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. අවසානයේදී ඔවුන් යේසුස්ව අත්හැර පලා ගියා.—මතෙ. 26:38, 41, 56.

3 සූදානමින් නොසිටීම ගැන ඔවුන් අවංකවම කනගාටු වුණා. ඒ නිසා වරද නිවැරදි කරගැනීමට ඔවුන් ඉක්මනින්ම පියවර ගත්තා. එතැන් පටන් ඔවුන් අවදිව සිටීම සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක් තැබූ බව ක්‍රියා පොතෙන් පැහැදිලි වෙනවා. ඔවුන්ගේ ආදර්ශය මුල් සියවසේ සිටි අනික් ක්‍රිස්තියානීන්ටත් මහත් දිරිගැන්වීමක් වුණා. වෙන කවරදාටත් වඩා මේ කාලයේදී අවදිව සිටීම අත්‍යවශ්‍යයි. (මතෙ. 24:42) ඒ නිසා අවදිව සිටීම ගැන යේසුස්ගේ ගෝලයන්ගෙන් ඉගෙනගත හැකි වැදගත් පාඩම් තුනක් අපි දැන් ක්‍රියා පොතෙන් සලකා බලමු.

මඟ පෙන්වීම්වලට කීකරු වුණා

4, 5. පාවුල් සහ ඔහු සමඟ සිටි අනික් අයට ලැබුණු මඟ පෙන්වීම මොකක්ද?

4 ශුභාරංචිය ප්‍රකාශ කළ යුතු ප්‍රදේශ ගැන ලැබුණ මඟ පෙන්වීම්වලට යේසුස්ගේ ගෝලයන් කීකරු වුණා. ඉගෙනගත හැකි පළමු පාඩම එයයි. පාවුල් සහ අනික් අනුගාමිකයන්ට යේසුස් දුන් මඟ පෙන්වීම් හා ඔවුන් ඒවාට කීකරු වූ ආකාරය ගැන ක්‍රියා පොතේ සඳහන් වෙනවා. (ක්‍රියා 2:33) ඔවුන් ගිය ගමන ගැන දැන් අපි බලමු.—ක්‍රියා 16:6-10 කියවන්න.

5 පාවුල්, සීලස් හා තිමෝති ලිස්ත්‍රාවෙන් පිට වී “ආසියා පළාතට” යෑම සඳහා මහාමාර්ගයකට පිවිසුණා. ඔවුන්ට අවශ්‍ය වුණේ එහි ජනාකීර්ණම ප්‍රදේශයට ගොස් ශුභාරංචිය දේශනා කිරීමටයි. නමුත් ඔවුන්ට එහි යන්න බැරි වුණා. ඒ වෙනුවට ඔවුන් “ෆ්‍රිජිය සහ ගලාතිය ප්‍රදේශය මැදින්” ගියා. ඊට හේතුව ගැන ක්‍රියා පොතේ සඳහන් වෙන්නේ මෙසේයි. “ආසියා පළාතට ගොස් ශුභාරංචිය ගැන කතා නොකරන ලෙස දෙවි තම බලය මාර්ගයෙන් ඔවුන්ට මඟ පෙන්වා තිබීමය.” (ක්‍රියා 16:6) එම මඟ පෙන්වීම ලැබුණේ කොහොමද කියා බයිබලයේ පවසා නැහැ. නමුත් යේසුස් දෙවිගේ බලය මාර්ගයෙන් ශුභාරංචිය ප්‍රකාශ කළ යුතු ප්‍රදේශවලට යන්න ඔවුන්ට මඟ පෙන්වූ බව පැහැදිලියි.

6, 7. (අ) පාවුල් සහ ඔහු සමඟ සිටි අය බිතිනියට ළං වුණාම සිදු වුණේ මොකක්ද? (ආ) ඊළඟට ඔවුන් ගත් තීරණය හා එහි ප්‍රතිඵලය මොකක්ද?

6 ඔවුන් තිදෙනා ඊළඟට කළේ මොකක්ද? ‘ඔවුන් මිසියාවට ගොස් එතැන් සිට බිතිනියට යන්න උත්සාහ කළා. එවිටද යේසුස් දෙවිගේ බලය මාර්ගයෙන් එතැනට නොයන ලෙස මඟ පෙන්නුවා.’ (ක්‍රියා 16:7) ආසියා පළාතට යන්න එපා කියූ නිසා ඔවුන් බිතිනියට යන්න තීරණය කළා. නමුත් බිතිනියට ළං වුණාම එහෙට යන්න එපා කියා යේසුස් ඔවුන්ට දැනුම් දුන්නා. එය ඔවුන්ට විශාල ප්‍රශ්නයක් වෙන්න ඇති. ජනයාට ප්‍රකාශ කළ යුත්තේ මොනවාද සහ එය කළ යුත්තේ කොහොමද කියා ඔවුන් දැන සිටියත් ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ කොහේද කියා ඔවුන් දැන සිටියේ නැහැ. දැරූ වෑයම සාර්ථක නොවූ නිසා ඔවුන් සාක්ෂි දැරීම නතර කළාද? කොහෙත්ම නැහැ.

7 ඔවුන් ඊළඟට ‘මිසියාව පසු කර ත්‍රෝවසට ගිය’ බව ක්‍රියා 16:8හි පවසනවා. ඔවුන්ට ඒ සඳහා බටහිර දෙසට කිලෝමීටර් 563ක් පයින් ගමන් කිරීමට සිදු වුණා. ඒ වගේම නගර කිහිපයක්ම පසු කරගෙන යන්නත් සිදු වුණා. ජනයා ගැවසෙන තැන් සොයා ගිය ඔවුන් ගත් මේ තීරණය තරමක් අසාමාන්‍යයි කියා ඔබට සිතෙනවා විය හැකියි. නමුත් ඔවුන් ත්‍රෝවසට පැමිණි විට සිදු වූ දේ ක්‍රියා 16:9හි විස්තර කරන හැටි බලන්න. “පාවුල්ට එදින රාත්‍රියේදී දර්ශනයක් පෙනිණ. ඔහු දුටුවේ මැසිඩෝනියානු මිනිසෙකු, ‘මැසිඩෝනියාවට ඇවිත් අපට උපකාර කරන්න’ කියා ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටි ආකාරයයි.” ශුභාරංචිය ප්‍රකාශ කළ යුත්තේ කොහේද කියා එවිට ඔවුන් තේරුම්ගත්තා. මොහොතක්වත් පමා නොවී ඔවුන් මැසිඩෝනියාව බලා පිටත් වුණා.

8, 9. පාවුල් සම්බන්ධ සිද්ධියෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 ඉහත සිදුවීමෙන් අපි ඉගෙනගන්නේ කුමක්ද? ආසියාවට නොයන ලෙස පාවුල් සහ අනික් අයට මඟ පෙන්වීම් ලැබුණේ ඔවුන් ආසියාව බලා පිටත් වූ පසුවයි. ඒ වගේම බිතිනියට නොයන ලෙස යේසුස් ඔවුන්ට පැවසුවේ ඔවුන් බිතිනියට ආසන්න වූ පසුවයි. ඊට අමතරව ඔවුන්ට මැසිඩෝනියාවට යන්න කියා යේසුස් කිව්වේ ඔවුන් ත්‍රෝවසට පැමිණි පසුවයි. එලෙස ක්‍රිස්තියානි සභාවේ හිස වන යේසුස් දේවසේවය වැඩි කිරීමට අපටත් අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙනවා. (කොලො. 1:18) ඔබ සමහරවිට පුරෝගාමි සේවය ආරම්භ කිරීම ගැන හෝ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට වැඩි අවශ්‍යතාවක් තිබෙන ප්‍රදේශයක පදිංචි වීම ගැන හෝ කල්පනා කරනවා විය හැකියි. නමුත් ඒ සඳහා යේසුස් දෙවිගේ බලය මාර්ගයෙන් ඔබට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන්නේ ඔබ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත්තොත් පමණයි. එය මෙම උදාහරණයෙන් තවදුරටත් පැහැදිලි කරගමු. ඔබට ඔබේ වාහනය වම් පැත්තට හරවන්න අවශ්‍යයි කියා සිතන්න. එසේ කළ හැක්කේ වාහනය ගමන් කරනවා නම් පමණයි. ඒ හා සමානව අපගේ සේවය වැඩි කිරීමට යේසුස් අපට මඟ පෙන්වන්නේ අප ඒ වෙනුවෙන් මුල් පියවර ගෙන තිබෙනවා නම් පමණයි.

9 නමුත් ඔබේ වෑයමට සාර්ථක ප්‍රතිඵල ලැබී නැත්නම් දෙවිගේ උපකාරය ලැබෙන්නේ නැහැ කියා සිතමින් ඔබ දරන වෑයම නතර කරනවාද? පාවුල්ගේ වෑයමට ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිඵල ක්ෂණිකව නොලැබුණත් ඔහු තම වෑයම අත්හැරියේ නැති බව මතක තබාගන්න. ඔහු දිගටම වෑයම් කළ නිසා අන්තිමේදී සාර්ථක ප්‍රතිඵල ලැබුණා. ඒ හා සමානව ඔබත් දිගටම වෑයම් කළොත් “සේවය කිරීම සඳහා විශාල ප්‍රස්තාවක්” ඔබට විවෘත විය හැකියි.—1 කොරි. 16:9.

යාච්ඤාව අතපසු කළේ නැහැ

10. අවදිව සිටීම සඳහා නොකඩවා යාච්ඤා කිරීම අවශ්‍ය ඇයි?

10 අවදිව සිටීම සඳහා මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් නොකඩවා යාච්ඤා කළා. ඉගෙනගත හැකි දෙවෙනි පාඩම එයයි. (1 පේතෘ. 4:7) යාච්ඤාව සෝදිසියෙන් සිටීමට එසේත් නැත්නම් අවදිව සිටීමට මහඟු උපකාරයක්. ගෙත්සෙමන උයනේදී යේසුස්ව අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු තම ගෝලයන්ට පැවසුවේ ‘අවදිව සිට නොකඩවා යාච්ඤා කරන්න’ කියායි.—මතෙ. 26:41.

11, 12. හෙරොද් ක්‍රිස්තියානීන්ට පීඩා කළේ ඇයි? ඒ සඳහා ඔහු කළේ මොකක්ද?

11 යේසුස් ඉහත සඳහන් දේ පවසන විට පේතෘස්ද එතැන සිටියා. උනන්දුවෙන් යාච්ඤා කිරීම මොන තරම් වැදගත්ද කියා පසුව ඔහුම අද්දැක්කා. (ක්‍රියා 12:1-6 කියවන්න.) යුදෙව්වන්ගේ සිත් දිනාගැනීම සඳහා හෙරොද් ක්‍රිස්තියානීන්ට පීඩා කළ බව ක්‍රියා 12වෙනි පරිච්ඡේදයේ මුල් ඡේදවල සඳහන් වෙනවා. යාකොබ් යේසුස්ගේ නියෝජිතයෙක් බවත් ඔහු යේසුස්ව ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළ බවත් දැන සිටි හෙරොද් යාකොබ්ව ‘මරා දැමුවා.’ (ක්‍රියා 12:2) සහෝදර සහෝදරියන් යාකොබ්ට බොහෝ සේ ප්‍රේම කළ නිසා ඔහුගේ මරණය ගැන ඔවුන් ගොඩක් දුක් වුණා.

12 ‘තමා කළ දෙයින් යුදෙව්වන් සතුටු වූ බව දුටු හෙරෝද්, පේතෘස්වද අත්අඩංගුවට ගත්තා.’ (ක්‍රියා 12:3) පේතෘස් සහ යේසුස්ගේ තවත් නියෝජිතයන් කිහිපදෙනෙකුව කලින් වතාවක සිරගෙයි දැමුවත් ඔවුන් ආශ්චර්යවත් ලෙස නිදහස් වූ බව හෙරොද් දැන සිටියා විය හැකියි. (ක්‍රියා 5:17-20) ඒ නිසා ඔහු මේ අවස්ථාවේදී නැවත එවැන්නක් සිදු නොවීමට පියවර ගත්තා. ඔහු පේතෘස්ව මුර කිරීම සඳහා ‘හේවායන් හතරදෙනෙකුගෙන් යුත් මුර කණ්ඩායම් හතරක් යෙදෙව්වා.’ ඔහුගේ අරමුණ වුණේ ‘පාස්කු උත්සවයෙන් පසුව පේතෘස්ව ජනතාව ඉදිරියට ගෙන ඒමයි.’ (ක්‍රියා 12:4) මේ ගැන සිතන්න. පේතෘස්ව දම්වැලකින් බැඳ ඔහු අසල මුරකරුවන් දෙදෙනෙකුව සිටුවා තිබුණා. ඊට අමතරව මුරකරුවන් 16දෙනෙක් මාරුවෙන් මාරුවට ඔහුව මුර කළා. හෙරොද්ගේ අරමුණ වුණේ පාස්කුවෙන් පසු පේතෘස්ව ඝාතනය කර යුදෙව්වන්ගේ සිත දිනාගැනීමයි. අසරණව සිටි අනික් සහෝදරයන් කළේ මොකක්ද?

13, 14. (අ) පේතෘස් සිරභාරයේ සිටියදී සභාවේ අය කළේ මොකක්ද? (ආ) ඉන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

13 ‘පේතෘස් සිරභාරයේ සිටියදී සභාව ඔහු වෙනුවෙන් මහත් උනන්දුවෙන් දෙවිට යාච්ඤා කරමින් සිටියා.’ (ක්‍රියා 12:5) යාකොබ්ව ඝාතනය කර තිබූ නිසා ඔවුන් දුක් වුණත් අධෛර්යය වුණේ නැහැ. යාච්ඤා කිරීමෙන් පලක් නැහැ කියා සිතුවෙත් නැහැ. විශ්වාසවන්ත සේවකයන් දෙවිගේ කැමැත්තට එකඟව යාච්ඤා කරන විට දෙවි ඇහුම්කන් දී ඒවාට පිළිතුරු දෙන බව ඔවුන් දැන සිටියා.—හෙබ්‍රෙ. 13:18, 19; යාකො. 5:16.

14 එම සහෝදර සහෝදරියන් කළ දෙයින් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අප ගැන පමණක් නොව අන් අය ගැනත් යාච්ඤා කිරීම අපට අවදිව සිටීමට උපකාරයක් බව ඉන් ඉගෙනගත හැකියි. (එෆී. 6:18) ප්‍රශ්න ගැටලු මැද සිටින සමහර සහෝදර සහෝදරියන්ව ඔබ දන්නවාද? සමහරවිට ඔවුන් විරුද්ධවාදිකම්වලට මුහුණ දී හෝ ස්වාභාවික විපත්වලට ගොදුරු වී හෝ ඇති. තවත් සමහරුන් ශුභාරංචිය ප්‍රකාශ කිරීම තහනම් කළ රටවල ජීවත් වෙනවා ඇති. එවැනි අය වෙනුවෙන් උනන්දුවෙන් යාච්ඤා කිරීම ඉතා වැදගත්. ඊට අමතරව පවුල් ප්‍රශ්න තිබෙන, අධෛර්යය වී සිටින හෝ අසනීපයෙන් සිටින අය ගැනද ඔබ දන්නවා ඇති. සමහරවිට ඒ ගැන ඔබ හැර වෙන කිසි කෙනෙක් නොදන්නවාද විය හැකියි. යෙහෝවා දෙවි ‘යාච්ඤා අසන තැනැත්තාණන්’ නිසා ඔහුට යාච්ඤා කරන විට එවැනි අයගේ නම් සඳහන් කරමින් යාච්ඤා කිරීම මොන තරම් වැදගත්ද!—ගීතා. 65:2.

15, 16. (අ) දේවදූතයා පේතෘස්ව සිරගෙයින් මුදාගත්තේ කොහොමද? (පින්තූරය බලන්න.) (ආ) ඒ ගැන කල්පනා කිරීම අපට ශක්තියක් වන්නේ ඇයි?

15 සිරභාරයේ සිටි පේතෘස්ට සිදු වූ දේ දැන් අපි බලමු. රාත්‍රියේ ඔහු නිදා සිටි අවස්ථාවේදී පුදුම දෙයක් සිදු වුණා. (ක්‍රියා 12:7-11 කියවන්න.) හදිසියේම දීප්තිමත් ආලෝකයක් සිරකුටිය පුරාම පැතිරුණා. ඒ එක්කම දේවදූතයෙක් පෙනී සිටියා. ඔහු පේතෘස්ව අවදි කළා. එවිට පේතෘස්ගේ අත්වලට දමා තිබූ දම්වැල් ගැලවී වැටුණා. ඉන්පසු දේවදූතයා පේතෘස් සමඟ මුරකරුවන් පසු කර යකඩ දොරටුව අසලට පැමිණියා. ඒ එක්කම එම දොරටුව විවෘත වුණා. ඔවුන් ඉන් පිට වූ පසු දේවදූතයා නොපෙනී ගියා. පේතෘස් සිරගෙයින් නිදහස් වුණා.

16 තම සේවකයන්ව ගලවාගැනීමට යෙහෝවා දෙවිට හැකි ආකාරය ගැන කල්පනා කරන විට ඔහු කෙරෙහි අපට තිබෙන විශ්වාසය තවත් වැඩි වෙනවා. දෙවි අද අපව ආශ්චර්යවත් ආකාරයකින් ගලවාගන්නේ නැති බව ඇත්තයි. නමුත් අපට අවශ්‍ය උපකාර ලබා දීමට ඔහුට හැකි බව අප තදින් විශ්වාස කරනවා. (2 ලේක. 16:9) අපට මුහුණ දීමට සිදු වන ඕනෑම පීඩාවක් දරාගන්න අවශ්‍ය ශක්තිය දෙවි අපට ලබා දෙනවා. (2 කොරි. 4:7; 2 පේතෘ. 2:9) අප මිය ගියත් අපව නැවත නැඟිටුවීමට අවශ්‍ය බලය දෙවි යේසුස්ට ලබා දෙනවා. (යොහ. 5:28, 29) එය ඉතාම ළඟදී සිදු වීමට නියමිතයි. දෙවිගේ පොරොන්දු කෙරෙහි අප විශ්වාසය තබන විට පීඩා දරාගැනීමට අපට විශාල ශක්තියක් ලැබෙනවා.

බාධක මැද දේශනා කළා

17. උද්‍යෝගයෙන් දේශනා කළ අය අතරින් පාවුල් කදිම ආදර්ශයක් වන්නේ ඇයි?

17 යේසුස්ගේ නියෝජිතයන් බාධක මැද දිගටම ශුභාරංචිය ප්‍රකාශ කළා. ඉගෙනගත හැකි තුන්වෙනි පාඩම එයයි. අවදිව සිටීම සඳහා ශුභාරංචිය උද්‍යෝගයෙන් ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍යයි. පාවුල් ඊට කදිම ආදර්ශයක්. ඔහු වෙහෙස මහන්සිය නොබලා සාක්ෂි දරුවා. බොහෝ ප්‍රදේශවලට ගොස් සභා ගණනාවක්ම පිහිටෙව්වා. විවිධ බාධකවලට මුහුණ දුන්නත් ඉතා උද්‍යෝගයෙන් සේවය කළා.—2 කොරි. 11:23-29.

18. නිවාස අඩස්සියේ සිටියදීත් පාවුල් දිගටම දේශනා කළේ කොහොමද?

18 ක්‍රියා පොතේ පාවුල් ගැන අවසන් වතාවට සඳහන් සිද්ධිය දැන් බලමු. ඒ වන විට ඔහුව රෝමයේ නිවාස අඩස්සියේ රඳවා තිබූ අතර ඔහුගේ අත් දෙකට දම්වැල් දමා තිබුණා. ඒ වුණත් ඔහු දේශනා කිරීම නතර කළේ නැහැ. ඒ සඳහා ඔහු සුදුසු අවස්ථාවන් සොයාගත්තා. (ක්‍රියා 28:17, 23, 24 කියවන්න.) ඉන් දින තුනකට පසු ‘යුදෙව්වරුන්ගේ ප්‍රධානීන්ට පණිවිඩයක් යවා, ඇවිත් තමාව හමු වන්න කියා පාවුල් ඉල්ලා සිටියා.’ ඔහු එසේ කළේ ඔවුන්ට දේශනා කිරීමට අවස්ථාවක් සලසාගැනීමටයි. ඉන්පසු ඔවුන් යළිත් වතාවක් පාවුල්ව හමු වීමට පැමිණියා. ඒ අවස්ථාවේදී පාවුල් ඔවුන්ට ශුභාරංචිය ගැන තවත් හොඳින් පැහැදිලි කළා. ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “ඔවුහු ඔහු සමඟ කතාබහ කිරීමට දවසක් නියම කරගත් අතර නියමිත දවසේ ඔහු නවාතැන් ගත් ස්ථානයට විශාල පිරිසක් පැමිණියෝය. එදින ඔහු උදෑසන සිට සවස දක්වාම දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක් ඔවුන්ට ලබා දුන්නේය. මෝසෙස්ට දෙන ලද නීතියේ සඳහන් දේවල්ද අනාගතවක්තෘවරුන් ලියූ දේවල්ද යොදාගත් ඔහු, යේසුස් ගැන ඉතා පැහැදිලි තර්ක ඉදිරිපත් කළේය.”—ක්‍රියා 28:23.

19, 20. (අ) සිතට කාවදින ආකාරයෙන් කතා කරන්න පාවුල්ට හැකි වුණේ ඇයි? (ආ) පාවුල් පැවසූ දේවල් සමහරු පිළි නොගත් විට ඔහු ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද?

19 පාවුල් දේශනා කළ ආකාරය මිනිසුන්ගේ සිත්වලට එතරම් තදින් බලපෑවේ ඇයි? ඊට බලපෑ කරුණු හතරක් ක්‍රියා 28:23හි සඳහන් වෙනවා. (1) ඔහු දෙවිගේ රාජ්‍යය ගැන සහ යේසුස් ගැන අවධාරණය කළා. (2) ඔහු “පැහැදිලි සාක්ෂි” ඉදිරිපත් කළා. (3) ඔහු ශුද්ධ ලියවිල්ල යොදාගත්තා. (4) ඔහු වෙහෙස මහන්සිය නොබලා “උදෑසන සිට සවස දක්වාම” සාක්ෂි දැරුවා. නමුත් අවසානයේදී ‘ඔහු පැවසූ දේවල් සමහරුන් විශ්වාස කළ අතර තවත් අය ඒ දේවල් විශ්වාස කිරීමට කැමැත්තක් දැක්වූයේ නැහැ’ කියා බයිබලයේ වාර්තා වෙනවා.—ක්‍රියා 28:24.

20 හැමෝම ශුභාරංචියට ඇහුම්කන් දුන්නේ නැහැ කියා පාවුල් අධෛර්යය වුණාද? නැහැ. ක්‍රියා 28:30, 31හි පවසන්නේ මෙයයි. “පාවුල් තමාටම කියා කුලියට ගත් නිවසක අවුරුදු දෙකක්ම වාසය කළේය. තමාව හමු වීමට පැමිණි සියලුදෙනාව සාදරයෙන් පිළිගත් ඔහු, නිර්භීතව හා මහත් උද්‍යෝගයකින් දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරමින්ද ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව දේවල් උගන්වමින්ද කාලය ගත කළේය. ඒ සඳහා ඔහුට කිසිම බාධාවක් තිබුණේ නැත.” ඒ දිරිගන්වන අදහස සමඟින් ක්‍රියා පොත අවසන් වෙනවා.

21. පාවුල් නිවාස අඩස්සියේ සිටියදී ක්‍රියා කළ ආකාරයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

21 පාවුල්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය ගැන කතා කිරීමට නොහැකි වූ නිසා ඔහු අධෛර්යය වී ශුභාරංචිය ගැන කතා කිරීම නතර කළාද? නැහැ. ඔහුව බැලීමට පැමිණි සියලුදෙනාටම ඔහු දේශනා කළා. ඒ හා සමානව අද සිටින සාක්ෂිකරුවන්ද ඔවුන්ගේ විශ්වාසයන් නිසා සිරගත වී සිටියත් අන් අයට දේශනා කිරීම නතර කර නැහැ. ඔවුන් හැකි උපරිමයෙන් අන් අයට ශුභාරංචිය ගැන පවසනවා. අපේ සමහර මහලු සහෝදරයන් නිවෙස්වලටම කොටු වී සිටිනවා. තවත් අය යම් හේතු නිසා මහලු නිවාසවල ජීවත් වෙනවා. ඔවුන්ද තමන්ව බැලීමට පැමිණෙන අමුත්තන්, වෛද්‍යවරුන් ඇතුළු සියලුදෙනාටම හැකි උපරිමයෙන් සාක්ෂි දරනවා. ඔවුන්ගේ කදිම ආදර්ශය අපි අගය කළ යුතුයි.

22. (අ) ක්‍රියා පොතෙන් ප්‍රයෝජන ගැනීමට උපකාරවත් වන ප්‍රකාශනය කුමක්ද? (කොටුව බලන්න.) (ආ) ඔබේ අධිෂ්ඨානය මොකක්ද?

22 අවදිව සිටීම එසේත් නැත්නම් සෝදිසියෙන් සිටීම මොන තරම් වැදගත්ද කියා මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් සහ යේසුස්ගේ නියෝජිතයන් ගැන ක්‍රියා පොතේ සඳහන් වාර්තාව කියවීමෙන් අපට පැහැදිලි වෙනවා. අප සියලුදෙනාම බලා සිටින්නේ මේ දුෂ්ට සමාජය අවසන් වන තුරුයි. එතෙක් මුල් ක්‍රිස්තියානීන් මෙන් නොබියව උද්‍යෝගයෙන් දේශනා කරමු. දේවරාජ්‍යය ගැන සාක්ෂියක් දැරීමට ලැබී තිබෙන ප්‍රස්තාව මොන තරම් විශිෂ්ටද!—ක්‍රියා 28:23.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ කොටුව]

‘ක්‍රියා පොත කීප වතාවක්ම කියවලා තිබුණත් . . . ’

“දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක්” දෙමු නමැති පොත කියෙවූ පසු එක් සංචාරක සේවකයෙක් මෙසේ පැවසුවා. “ක්‍රියා පොත මම කීප වතාවක්ම කියවලා තියෙනවා. හැබැයි මේ පොත කියවද්දී මට හරියට දැනුණේ මමත් ඒ මුල් ගෝලයන් එක්කම ගමන් කරනවා වගෙයි. ඊට කලින් ක්‍රියා පොත කියවද්දී මට කවදාවත් ඒ වගේ හිතිලා තිබුණේ නැහැ.”

[12වන පිටුවේ පින්තූරය]

ඉබේ විවෘත වූ විශාල යකඩ දොරටුව හරහා පේතෘස්ව ගෙන ගියේ දේවදූතයෙක්