Skip to content

පටුනට යන්න

“මං වගේ කෙනෙක් කොහොමද දේශනා කරන්නේ?”

“මං වගේ කෙනෙක් කොහොමද දේශනා කරන්නේ?”

“මං වගේ කෙනෙක් කොහොමද දේශනා කරන්නේ?”

ලොව පුරා සිටින අපේ සමහර සහෝදර සහෝදරියන් දරුණු රෝගවලින් පෙළුණත් දේශනා සේවයේ හවුල් වෙනවා. ලිතුවේනියාවේ අගනුවර වන විල්නියස්වල සිටින සහෝදරී ඩාලියා ඊට හොඳ උදාහරණයක්.

ඇයට වයස අවුරුදු 35ක් පමණ වෙනවා. උපතින්ම ඇයට මොළයේ යම් ආබාධයක් ඇති වුණා. ඒ නිසා ඇය අංශභාග රෝගියෙකු මෙන් වුණා. ඇගේ කතාවත් අපැහැදිලියි. ඩාලියා කියන දේ හොඳින්ම තේරෙන්නේ ඇගේ පවුලේ අයට විතරයි. ඇයව බලා කියා ගන්නේ ඇගේ මව වන ගාලිනායි. ඩාලියා කටුක ජීවිතයක් ගත කළත් ඒ ගැන ලත වෙවී ඉන්නේ නැහැ. එසේ සිටින්න ඇයට හැකි වී තිබෙන්නේ කොහොමද?

ගාලිනා මෙසේ පවසනවා. “මගේ ඥාති සහෝදරියක් 1999දී අපිව බලන්න ආවා. එයාගේ නම ඇපලෝනියා. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් නිසා බයිබලය ගැන හොඳට දන්නවා කියලා අපිට තේරුණා. ඩාලියා එයාගෙන් ප්‍රශ්න ගොඩක් ඇහැව්වා. වැඩි දවසක් යන්න කලින් ඩාලියා එයත් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඩාලියා කියන දේ පැහැදිලි කරන්න ඕන හින්දා මමත් ඉඳලා හිටලා පාඩමට සහභාගි වුණා. ඩාලියා ඉගෙනගන්න දේවල් එයාට හුඟක් ප්‍රයෝජන වෙන බව මම දැක්කා. ඒ නිසා මමත් බයිබලය පාඩම් කරන්න තීරණය කළා.”

බයිබලයේ තිබෙන සත්‍යය තේරුම්ගනිද්දී ඩාලියා එක දෙයක් ගැන නිතර නිතර හිතන්න පටන්ගත්තා. අන්තිමේදී ඇය අපලෝනියාගෙන් මෙසේ ඇසුවා. “මං වගේ කෙනෙක් කොහොමද දේශනා කරන්නේ?” (මතෙ. 28:19, 20) ඇපලෝනියා ඇයව සනසවමින් “භය වෙන්න එපා දුවේ. යෙහෝවා දෙවි අනිවාර්යෙන්ම ඔයාට උදව් කරයි” කියා පැවසුවා. ඇත්තෙන්ම දෙවි ඇයට උපකාර කළා.

ක්‍රම කිහිපයකින්ම ශුභාරංචිය ප්‍රකාශ කරන්න ඩාලියාට පුළුවන්. ඇය ලිපි මාර්ගයෙන් සාක්ෂි දරනවා. ඩාලියා ඇගේ අදහස් පවසන විට සහෝදරියන් ඒවා ඇතුළත් කර ලිපි ලියා දෙනවා. එපමණක් නොව ඇය ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩ යැවීමෙනුත් සාක්ෂි දරනවා. කාලගුණය හොඳ දවස්වලදී සභාවේ සමහර අය ඇයව උද්‍යානයේ හෝ වීදියේ සේවය සඳහා රැගෙන යනවා.

ඩාලියා සහ ඇගේ මව 2004 නොවැම්බර් මාසයේදී බව්තීස්ම වුණා. වර්ෂ 2008 සැප්තැම්බර් මාසයේදී විල්නියස් නගරයේ පෝලන්ත භාෂාව කතා කරන කණ්ඩායමක් පිහිටෙව්වා. ප්‍රචාරකයන්ගේ අවශ්‍යතාව තිබූ නිසා ඩාලියා හා ඇගේ මව ඔවුන්ට එකතු වුණා. ඩාලියා මෙසේ පවසනවා. “සමහර මාසවල මට දේවසේවයේ යන්න බැරි වෙද්දී හරිම දුකයි. ඒත් යාච්ඤා කළාම මාත් එක්ක සේවයේ යන්න යෙහෝවා දෙවි කාව හරි එවනවා.” ඇගේ තත්වය ගැන ඇයට හැඟෙන්නේ කොහොමද? ඇය පවසන්නේ මෙයයි. “මගේ ඇඟපත පණ නැහැ තමයි. ඒත් කල්පනා ශක්තිය නැති වෙලා නෑ. ඒ නිසා යෙහෝවා දෙවි ගැන අනිත් අයට කියන්න මට පුළුවන්. ඒක මට ලොකු සතුටක්.”