Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

දුම්කොළ වගා කළ කෙනෙක් එය නතර කිරීමට පෙලඹුණේ ඇයි? මත්පැන්වලට ඇබ්බැහි වී සිටි කාන්තාවක් ජීවිතය වෙනස් කරගත්තේ කොහොමද? ඒ ගැන ඔවුන් පවසන දේවල් අපි දැන් බලමු.

‘ලොකු පවුලකට එකතු වෙන්න ලැබීම ගැන මට හරි සතුටුයි’—ඩීනෝ අලි

උපත ලැබූ වසර: 1949

රට: ඕස්ට්‍රේලියාව

අතීතයේදී: දුම්කොළ වගා කළ කෙනෙක්

මගේ අතීතය: ඇල්බේනියාවේ ජීවත් වුණු මගේ අම්මයි තාත්තයි 1939දී ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ තියෙන පුංචි නගරයක් වන මරීබාවල පදිංචියට ගියා. ඉතාලියෙන්, සර්බියාවෙන්, බොස්නියාවෙන් සහ ග්‍රීසියෙන් ආව අය එහේ පදිංචි වෙලා හිටියා. විවිධ සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතීන් ඒ නගරයේ තිබුණා. දුම්කොළ වගාවට ඒ නගරය හරිම ප්‍රසිද්ධයි. මගේ දෙමාපියනුත් දුම්කොළ වගා කළා.

මට අක්කයි අයියලා දෙන්නෙකුයි ඉන්නවා. මම ඉපදිලා අවුරුද්දකට විතර පස්සේ මගේ තාත්තා හෘදයාබාධයක් නිසා මැරුණා. ටික කාලෙකට පස්සේ අම්මා තව කෙනෙක් එක්ක විවාහ වුණා. එයත් දුම්කොළ වගා කරන කෙනෙක්. කාලයක් යද්දී අපේ පවුලට තවත් දරුවෝ හතරදෙනෙක් එකතු වුණා. අපි හැමෝම ජීවත් වුණේ එකට.

මම ටිකක් ලොකු වුණාට පස්සේ ගෙදරින් ගියා. අවුරුදු 20දී මම සිමී එක්ක විවාහ වුණා. මම වගේම එයත් ඉස්ලාම් භක්තිකයෙක් නිසා අපි විවාහ වුණේ මුස්ලිම් පල්ලියකයි. මගේ නෑදෑයෝ හැමෝම ඉස්ලාම් භක්තිකයන්. මම කුරානයත් මොහොමඩ් නබීතුමාගේ අතීතය ගැන ලියවිලා තිබුණු පොතකුත් කියෙව්වා. ඒ කාලේදීම මම බයිබලයත් කියෙව්වා. බයිබලයේ සඳහන් වෙලා තියෙන අනාගතවක්තෘවරුන් ගැන කුරානයෙත් සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා ඒ අය ජීවත් වුණු කාල වකවානු ගැන බයිබලයෙන් දැනගන්න මට පුළුවන් වුණා.

දවසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අපේ ගෙදරට ආවා. එදා ඉඳලා දිගටම එයාලගේ සඟරා පොත් පත් අපිට ගෙනත් දුන්නා. අපි දෙන්නම හරිම ආසාවෙන් ඒවා කියෙව්වා. සමහර අවස්ථාවලදී මම සාක්ෂිකරුවන් එක්ක විවිධ ආගමික විෂයන් ගැන තර්ක කළා. ඒ හැම අවස්ථාවකදීම එයාලා ඒ තොරතුරු මට පැහැදිලි කරලා දුන්නේ බයිබලයෙන්. ඒක මගේ හිතට තදින් බලපෑවා.

ඒ අයත් එක්ක බයිබලයේ තියෙන දේවල් පිළිවෙළට ඉගෙනගන්න කියලත් ඒ අයගේ රැස්වීම්වලට එන්න කියලත් සාක්ෂිකරුවන් මට ආරාධනා කළා. හැබැයි මම ඒකට කැමති වුණේ නැහැ. මම හුඟක් ආසාවෙන් හිටියේ මගේම කියලා දුම්කොළ වගාවක් පටන්ගන්නයි. ඒ වගේම දරුවෝ ගොඩක් හදාගන්නත් මට ලොකු ආසාවක් තිබුණා. අපිට දරුවෝ පස්දෙනෙක් ලැබුණා. ඒ ගැන මට හරිම සතුටුයි. හැබැයි මට කවදාවත් මගේම කියලා දුම්කොළ වගාවක් පටන්ගන්න ලැබුණේ නැහැ.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව අවුරුදු නවයක් තිස්සේ ආශ්‍රය කළත් ඒ අයගේ විශ්වාසයන් සම්පූර්ණයෙන්ම පිළිගත්තේ නැහැ. හැබැයි ඒ අය දුන්න පොත් පත් මම හරිම ආසාවෙන් කියෙව්වා. අපි හැම ඉරිදාවකම ඒ වෙනුවෙන් වෙලාවකුත් වෙන් කළා. අපිට ලැබුණු හැම සඟරාවක්ම අපි එකතු කළා.

යේසුස් ගැලවුම්කරු බව පිළිගන්න කියලා පූජකයෙක් මට බල කළා. එයා සිමීගේ මල්ලිවයි මගේ මල්ලි කෙනෙක්වයි එයාගේ ආගමට හරවාගත්තා. තවත් ආගම්වලට අයිති අය මාව ඒ ආගම්වලට බඳවගන්න හැදුවා. තවත් අය සාක්ෂිකරුවන්ගේ වැරදි ගැන ලියලා තිබුණු පොත් මට දුන්නා. එයාලගේ ඉගැන්වීම් ගැන මම අහපු ප්‍රශ්නවලට බයිබලයෙන් උත්තර දෙන්න එයාලට බැරි වුණා.

ඒ හේතු නිසා මම බයිබලය ගැන තවත් ගැඹුරින් හොයන්න පටන්ගත්තා. සාක්ෂිකරුවන් මට දීලා තිබුණු සඟරා පොත් පත් ඒ දේ කරන්න මට ලොකු උදව්වක් වුණා. අන්තිමේදී බයිබලයේ තියෙන තොරතුරු මගේ ජීවිතයට අදාළ කරගන්න ඕනේ කියලා මම තීරණය කළා.

මම සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන තොරතුරු ඉගෙනගන්න පටන්ගන්න කලින් එයාලගේ රැස්වීම්වලට ගියා. මුලදී නම් මට ටිකක් ලැජ්ජ හිතුණා. හැබැයි එතැනට ගියාට පස්සේ මට හුඟක් යාළුවෝ හම්බ වුණා. ඒ වගේම ජීවිතයට වැදගත් තොරතුරු මම එහේදී ඉගෙනගත්තා. අන්තිමේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න මම තීරණය කළා. මම 1981දී දෙවිට කැප වෙලා බව්තීස්ම වුණා.

මම ගත්ත තීරණයට සිමී විරුද්ධ වුණේ නැහැ. ඒත් මම රැවටිලාද කියලා එයා විටින් විට මගෙන් ඇහුවා. හැබැයි මම බව්තීස්ම වෙනවා බලන්න එයත් ආවා. මම බයිබලයෙන් ඉගෙනගත්ත තොරතුරු එයාට කියලා දුන්නා. අවුරුද්දකට විතර පස්සේ සිමී කිව්වා එයත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වෙන්න කැමතියි කියලා. ඒ වෙලාවේ මට හිතාගන්න බැරි තරම් සතුටක් දැනුණා. සිමී 1982දී බව්තීස්ම වුණා.

අපේ ජීවිතයේ වෙනස්කම් කරගන්න එක එච්චර ලේසි වුණේ නැහැ. දුම්කොළ වගා කරන එක බයිබල් ප්‍රතිපත්තිවලට විරුද්ධයි කියලා දැනගත්තාම මම ඒක නතර කළා. (2 කොරින්ති 7:1; යාකොබ් 2:8) ඊටපස්සේ හරිහමං රස්සාවක් හොයාගන්න එකත් ලේසි වුණේ නැහැ. අපේ සමහර නෑදෑයෝ අපිව ආශ්‍රය කරන එක නතර කළා. හැබැයි අපි දිගටම ඒ අයට ආදරයෙන් සැලකුවා. ඒ නිසා කාලයක් යද්දී එයාලා කලින් වගේ අපිව ආශ්‍රය කරන්න පටන්ගත්තා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: ආර්ථික ප්‍රශ්න, පවුලේ අයගේ විරුද්ධවාදිකම්, ලැජ්ජාව මේ හැම දේකටම සාර්ථකව මුහුණ දෙන්න යෙහෝවා දෙවි මට උදව් කළා. දැන් මම සභාවේ වගකීම් දරන කෙනෙක්. හැබැයි මම ටිකක් ලැජ්ජ කෙනෙක් නිසා කතාවක් දෙන කොට වචන පැටලෙනවා. ඒ නිසා මට උදව් කරන්න කියලා මම දිගටම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. දෙවිගේ උපකාරය නිසා ලැබෙන පැවරුම් හොඳින් ඉටු කරන්න මට දැන් පුළුවන්.

මායි සිමීයි අතර තියෙන බැඳීම දැන් හුඟක් ශක්තිමත් වෙලා කියලා දැනෙනවා. අපි අපේ දරුවන්ට බයිබලයේ තියෙන මඟ පෙන්වීම් කියලා දෙන්න ලොකු උත්සාහයක් දැරුවා. (ද්විතීය කතාව 6:6-9) මගේ ලොකු පුතායි එයාගේ නෝනයි දැන් අවශ්‍යතාව තියෙන රටකට ගිහින් ශුභාරංචිය දේශනා කරනවා.

අපි සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගත්ත මුල් කාලේදී සිද්ධ වුණ දෙයක් මට අද වගේ මතකයි. අපි එතැනට ගිහිල්ලා වාහනය නතර කළාම ඕස්ට්‍රේලියාවෙන්, ඇල්බේනියාවෙන්, ක්‍රොඒෂියාවෙන් ඇවිත් හිටිය අය වගේම ඕස්ට්‍රේලියාවේ ආදිවාසීනුත් එතැන ඉන්නවා අපි දැක්කා. ලෝකෙ පුරාම විසිරිලා ඉන්න පවුලක සාමාජිකයෙක් වෙන්න ලැබුණු එක ගැන මම හුඟක් සතුටු වෙනවා.—1 පේතෘස් 5:9.

‘අක්කා මං ගැන ගොඩක් ඉවසුවා’—යෙලෙනා ව්ලාඩිමිරොව්නල් සයෝමිනා

උපත ලැබූ වසර: 1952

රට: රුසියාව

අතීතයේදී: මත්පැන්වලට ඇබ්බැහි වී සිටි කෙනෙක්

මගේ අතීතය: මම ඉපදුණේ මොස්කව්වල තියෙන පුංචි නගරයකයි. අපේ පවුලේ හැමෝම ගුරුවරුන්. මමත් පොඩි කාලේ ඉඳලා ඉගෙනගන්න හරිම දක්ෂයි. මම සංගීතයත් ඉගෙනගත්තා. ඒ නිසා අනාගතය ගැන මට කිසිම භයක් තිබුණේ නැහැ.

මම විවාහ වුණාට පස්සේ මගේ ස්වාමිපුරුෂයා එක්ක වෙන ප්‍රදේශයක පදිංචියට ගියා. මත්පැන් බොන අය, සිගරට් බොන අය වගේම නරක වචන කියන අය ඒ පළාතේ පිරිලා හිටියා. ඒ අයව ඇසුරු කරන එක මගේ ජීවිතයට හානියක් වෙයි කියලා මම හිතුවේ නැහැ. මම ඒ අයගේ උත්සවවලට ගිහිල්ලා සිංදු කිව්වා, ගිටාර් ගැහුවා. සිගරට් බොන්න, මත්පැන් බොන්න එන්න කියලා එයාලා මට කතා කළා. වැඩි කල් යන්න කලින් මම මත්පැන්වලට ඇබ්බැහි වුණා.

ඒ නිසා මගේ ජීවිතය නාස්ති වුණා. කිසිම කෑමක් කන්න බැරි තත්වයට මම පත් වුණා. මට ජීවත් වෙන්න කිසිම ආසාවක් තිබුණෙත් නැහැ. ඒ නිසා මගේ ජීවිතය නැති කරගන්න මම උත්සාහ කළා.

මොන දේ සිද්ධ වුණත් වෙනදා වගේම මගේ අක්කා දිගටම මාව බලන්න ආවා. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. ඒ නිසා බයිබලයේ ඇති වටිනා තොරතුරු එයා මට කියලා දුන්නා. ඒත් මට බයිබලය ගැන කිසිම උනන්දුවක් තිබුණේ නැති නිසා එයා මාව බලන්න එන එකත් මට වධයක් වුණා. හැබැයි එයා මාව බලන්න එන එක නතර කළේ නැහැ. එයා මට හරිම ආදරයෙන් සැලකුවා. මං ගැන ගොඩක් ඉවසුවා. අන්තිමේදී බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න මම කැමති වුණා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: ඊට පස්සේ මත්පැන් බොන එක නතර කරන්න ඕනේ කියලා මම හිතුවා. ඒ කාලේදීම වගේ බීලා වෙරි වෙලා හිටිය මනුෂ්‍යයෙක් මට හොඳටම ගැහුවා. ඒ නිසා මාව ඉස්පිරිතාලෙට අරගෙන ගියා. මගේ ඇටකටු කැඩිලා ඇහැකුත් තුවාල වෙලා තිබුණා. ඉස්පිරිතාලේ හිටිය ඒ කාලේදී මත්පැන් බොන එක නතර කරන්න මට පුළුවන් වුණ එක ගැන මම සතුටු වෙනවා.

ඒ කාලේදී මම යෙහෝවා දෙවිට හුඟක් යාච්ඤා කළා. බයිබලයේ විලාප ගී 3:55, 56හි ඇති මේ අදහස මට ලොකු දිරිගැන්වීමක් වුණා. “යෙහෝවා දෙවියනි, ගැඹුරු වළේ සිටියදී ඔබේ නාමය කියා මම ඔබට හඬගැසුවෙමි. ඔබේ උපකාරය ඉල්ලා මා ඔබට අයැදින විට ඔබේ දෙසවන් වසා නොගන්න. ඔබ මාගේ කන්නලව්වට ඇහුම්කන් දෙන බව ස්ථිරය.”

යෙහෝවා දෙවි මගේ යාච්ඤාවලට උත්තර දුන්නා. ඒ නිසා අතීතයේදී මගේ අතින් වුණ වැරදි ආයෙත් නොකර ඉන්න මට පුළුවන් වුණා. සමහර අවස්ථාවලදී මත්පැන් ටිකක් බොන්න ඕනේ කියලා මට හිතුණත් මම කවදාවත් මත්පැන් බිව්වේ නැහැ.

බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න කොට මට තේරුණා පවුලේ මූලිකයා වන ස්වාමිපුරුෂයාට මගේ සම්පූර්ණ සහයෝගය දෙන්න ඕනේ කියලා. (1 පේතෘස් 3:1, 2) හැබැයි ඒක කරන එක ලේසි වුණේ නැහැ. මට නිතරම ඕන වුණේ ස්වාමිපුරුෂයා මම කියන දේ කරනවා දකින්නයි. ඒ නිසා මට උපකාර කරන්න කියලා මම යෙහෝවා දෙවිට කිව්වා. දවසෙන් දෙකෙන් ඒ වෙනස කරන්න මට පුළුවන් වුණේ නැහැ. හැබැයි කාලයත් එක්කම මගේ ස්වාමිපුරුෂයාට සහයෝගය දෙන කීකරු බිරිඳක් වෙන්න මට පුළුවන් වුණා.

මගේ වෙනස්කම දැක්කම මගේ ස්වාමිපුරුෂයා පුදුම වුණා. ඒ නිසා බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න එයත් උනන්දු වුණා. දවසක් මම එයාට කිව්වා මම සිගරට් බොන එක නතර කරනවා කියලා. එතකොට එයා මට කිව්වා “ඔයා ඒක කළොත් මම දිගටම බයිබලය ගැන ඉගෙනගන්නවා” කියලා. එදා ඉඳලා අපි දෙන්නම සිගරට් බොන එක නතර කළා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: කිව්වා වගේම මගේ ස්වාමිපුරුෂයා බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. දැන් අපි දෙන්නා එකතු වෙලා හැමදාම බයිබලය කියවලා ඒ ගැන කල්පනා කරනවා. ඊට පස්සේ ඒකේ තියෙන දේවල් ආදාළ කරගන්න උත්සාහ කරනවා.

දැන් අපි ඉන්නේ හරිම සතුටින්. යෙහෝවා දෙවි ගැන දැනගන්න මට ලැබුණු අවස්ථාව ගැන මම දෙවිට හුඟක් ස්තුතිවන්ත වෙනවා. (යොහන් 6:44) ඒ වගේම මට මේ තත්වෙට එන්න මගේ අක්කත් මට ගොඩක් උදව් කළා. බයිබලයේ තියෙන දේවල් ඉගෙනගනිද්දී ජීවිතය වෙනස් කරගන්න පුළුවන් බව මට ස්ථිරවම කියන්න පුළුවන්.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බයිබලයේ තියෙන තොරතුරු අදාළ කරගන්න මම තීරණය කළා

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මම බයිබලය ගැන ඉගෙනගන්න කැමති වුණේ අක්කගේ ඉවසීමත් ආදරයත් නිසයි