Skip to content

පටුනට යන්න

සත්‍යය පිළිගන්න පමා වුණත් බලා සිටින්න

සත්‍යය පිළිගන්න පමා වුණත් බලා සිටින්න

සත්‍යය පිළිගන්න පමා වුණත් බලා සිටින්න

“සමහරවිට [තම ස්වාමිපුරුෂයාට හෝ තම භාර්යාවට] එමගින් ගැලවීමට අවස්ථාවක් ලැබේ.”—1 කොරි. 7:16.

ඔබට පිළිතුරු සොයාගන්න පුළුවන් වුණාද?

නිවසේ සාමකාමී වාතාවරණයක් ඇති කිරීම සඳහා කරන්න පුළුවන් මොනවාද?

තම සැමියාට හෝ බිරිඳට සත්‍යය පිළිගැනීමට උපකාර කරන්න පුළුවන් කොහොමද?

සත්‍යයේ නැති සැමියෙකු හෝ බිරිඳක සිටින පවුල්වලට සැලකිල්ල දක්වන්න සභාවේ අයට පුළුවන් කොහොමද?

1. සමහරු සත්‍යය පිළිගත්තත් ඔවුන්ගේ පවුල්වල අනික් අය ඊට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද?

“ස්වර්ග රාජ්‍යය ළං වී ඇත” කියා දේශනා කරන ලෙස යේසුස් තම ගෝලයන්ට පැවසුවා. (මතෙ. 10:1, 7) සමාදානය හා ප්‍රීතිය ගෙනෙන එම ශුභාරංචියට සමහරු කැමති වුණත් තවත් සමහරු ඊට විරෝධය පාන බව යේසුස් පැවසුවා. (මතෙ. 10:16-23) එම විරෝධය එන්නේ පවුලේම කෙනෙකුගෙන් නම් එය අභියෝගයක් වගේම මහත් වේදනාවක්.—මතෙව් 10:34-36 කියවන්න.

2. පවුලේ අනික් අය සත්‍යය පිළි නොගත්තත් සත්‍යයේ සිටින අයට සතුට පවත්වගන්න පුළුවන් කොහොමද?

2 පවුලේ අනික් අය සත්‍යය පිළි නොගත් පමණින් සත්‍යය පිළිගත් කෙනාගේ සතුට අහිමි වෙයිද? කොහෙත්ම නැහැ. සත්‍යය පිළිගත් සමහර අයට පවුලේ අයගෙන් දැඩි පීඩා පැමිණි අවස්ථා තිබෙන බව ඇත්තයි. නමුත් හැමෝටම එසේ වී නැහැ. අනික් අතට දරුණු ලෙස පීඩා කළ සමහර අය පසු කාලයේදී සත්‍යය පිළිගෙන තිබෙනවා. තත්වය කුමක් වුණත් අපේ සතුට රඳා පවතින්නේ අපි ඊට දක්වන ප්‍රතිචාරය මතයි. දෙවිට විශ්වාසවන්තව සිටින කෙනෙකුට ඕනෑම පීඩාවක් හමුවේ සතුටින් සිටීමට ඔහු උපකාර කරනවා. ක්‍රිස්තියානියෙක් (1) පවුලේ සාමය රැකගැනීමට වෑයම් කරන විට හා (2) පවුලේ අනික් අයට සත්‍යය පහදා දීමට අවංක උනන්දුවක් දක්වන විට ඔහුට හෝ ඇයට දිගටම සතුට පවත්වාගන්න පුළුවන්.

පවුලේ සාමය රැකගන්න

3. නිවසේ සාමකාමී වාතාවරණයක් තිබීම කොතරම් වැදගත්ද?

3 නිවසේ සාමකාමී වාතාවරණයක් තිබෙන විට සත්‍යය පිළිගැනීමට පවුලේ අය තුළ යම් පෙලඹීමක් ඇති විය හැකියි. (යාකොබ් 3:18 කියවන්න.) ඒ නිසා කෙනෙකුගේ පවුලේ අය තවමත් සත්‍යය පිළිගෙන නැත්නම් නිවසේ සාමය ඇති කිරීමට ඔහු හෝ ඇය උපරිමයෙන් උත්සාහ කළ යුතුයි. නමුත් එසේ කරන්නේ කොහොමද?

4. දෙවි ලබා දෙන සමාදානය අද්දකින්න පුළුවන් කොහොමද?

4 නිවසේ සාමකාමී වාතාවරණයක් ඇති කිරීමට නම් දෙවිට නමස්කාර කරන කෙනා සාමකාමී හා සන්සුන් කෙනෙක් විය යුතුයි. නිතරම යාච්ඤා කිරීම මගින් කිසි මිනිසෙකුට වටහාගත නොහැකි “දෙවි ලබා දෙන සමාදානය” අද්දකින්න ඔහුට හෝ ඇයට පුළුවන්. (ෆිලි. 4:6, 7) දෙවි ගැන ඉගෙනගනිමින් ඔහුගේ ප්‍රමිති අදාළ කරගන්නවා නම් එමගිනුත් සතුට හා සාමය අද්දකින්න පුළුවන්. (යෙසා. 54:13) උනන්දුවෙන් දේවසේවයේ යෑම හා රැස්වීම්වලට සහභාගි වීම සාමයට මඟ පාදන තවත් ක්‍රමයක්. පවුලේ අනික් අය සත්‍යයේ නොසිටියත් සත්‍යයේ සිටින කෙනාට ඉහත කී දේවල් කිරීමට අවස්ථා උදා කරගත හැකියි. එන්සාගේ අද්දැකීම එයයි. * ඇගේ ස්වාමිපුරුෂයා ඇයට බොහෝ සේ පීඩා කරන නිසා ඇය දේවසේවයේ යන්නේ නිවසේ වැඩකටයුතු නිම කළාට පසුවයි. ඇය මෙසේ කියනවා. “සේවේ යන්න මට ලොකු වෑයමක් දරන්න සිද්ධ වෙනවා. ඒත් එහෙම කරපු හැම වෙලාවෙම යෙහෝවා දෙවි මට ගොඩක් ආශීර්වාද කරලා තිබෙනවා.” ඒ නිසා සතුට වගේම සාමයක්ද දැනෙනවා.

5. සත්‍යයේ නැති පවුලේ අය නිසා සමහරු අද්දකින අභියෝග මොනවාද? ඔවුන්ට උපකාර ලබාගත හැක්කේ කොහෙන්ද?

5 සත්‍යයේ නැති පවුලේ අය සමඟ සමාදානයෙන් සිටීම සැමවිටම පහසු නැහැ. සමහරවිට බයිබල් ප්‍රමිතිවලට විරුද්ධ දේවල් කිරීමට ඔවුන් අපට පවසන අතර එසේ නොකළොත් ඔවුන් කෝප වීමට ඉඩ තිබෙනවා. නමුත් හරි දේ කිරීම නතර කරන්න එපා. පසු කාලයේදී සමහරවිට ඔවුන් ඔබව තේරුම්ගනියි. අනික් අතට ඔවුන් කිරීමට ඉල්ලා සිටින දේවල් බයිබල් ප්‍රමිතිවලට විරුද්ධ නැත්නම් ඒ දේවල් කිරීම පවුලේ සාමය පවත්වාගැනීමට දායක වෙයි. (හිතෝපදේශ 16:7 කියවන්න.) එවැනි අභියෝගවලට මුහුණ දෙන විට දාස පන්තිය විවිධ ප්‍රකාශනවලින් අපට දෙන මඟ පෙන්වීම් හා වැඩිමහල්ලන් බයිබලය පදනම් කරගෙන දෙන උපදෙස් බෙහෝ සේ ප්‍රයෝජනවත් වෙයි.—හිතෝ. 11:14.

6, 7. (අ) කෙනෙක් බයිබලය පාඩම් කරන්න පටන්ගත් විට සැමියා හෝ බිරිඳ විරුද්ධ වෙන්නේ ඇයි? (ආ) ඊට හොඳින් ප්‍රතිචාරය දක්වන්න පාඩම් කරන කෙනාට පුළුවන් කොහොමද?

6 දෙවි කෙරෙහි විශ්වාසය ඇතුව සිටීම හා පවුලේ අයව හොඳින් තේරුම්ගැනීම පවුලේ සාමය ඇති කිරීමට දායක වෙනවා. (හිතෝ. 16:20) බයිබලය ගැන ඉගෙනගන්නා නවක අයට වුණත් මෙය කළ හැකියි. සමහර අය තම සැමියා හෝ බිරිඳ බයිබලය පාඩම් කරනවාට කිසි අකමැත්තක් නැහැ. මුළු පවුලටම ඉන් යහපතක් සිදු වෙනවා කියාත් ඒ අය සිතනවා. අනික් අතට තවත් සමහර අය තම සැමියා හෝ බිරිඳ බයිබලය පාඩම් කරන්න පටන්ගන්නා විට ඊට තදින් විරුද්ධ වෙනවා. එස්තර්ගේ සැමියා බයිබලය පාඩම් කළේ ඇයට පෙරයි. ඒ කාලයේදී ඇයට හැඟුණු ආකාරය ගැන ඇය කිව්වේ මෙසේයි. “එයා පාඩම් කරන්න ගත්තාම මට දරාගන්න බැරි කේන්තියක් ආවා. මං එයාගේ පොත් කුණු ගොඩට දැම්මා. සමහර ඒවා පිච්චුවා.” හවඩ්ගේ බිරිඳ බයිබලය පාඩම් කරන්න ගත් විට ඔහු එයට විරුද්ධ වුණා. ඔහු මෙසේ පැවසුවා. “හුඟක් ස්වාමිපුරුෂයෝ හිතන්නේ ආගම්වලින් තමන්ගේ භාර්යාවන්ව රවට්ටනවා කියලයි. ඒකෙන් භාර්යාවන්ව බේරගන්න ඕනෙ හින්දා එයාලා ගොඩක් තදින් ඉන්නවා.”

7 සැමියා හෝ බිරිඳ සත්‍යයට විරුද්ධ වූ පමණින් බයිබලය පාඩම් කිරීම නතර කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට කෝප නොවී, බයිබලය පාඩම් නොකරන කෙනාව තේරුම්ගන්න උත්සාහ කරන්න. (1 පේතෘ. 3:15) හවඩ් තම බිරිඳ ගැන කිව්වේ “මට කේන්ති ගියත් එයා කේන්ති ගන්නැතුව සන්සුන්ව කතා කළා. ඒක මගේ හිතට තදින් කාවැදුණා” කියායි. ඔහුගේ බිරිඳ මෙසේ පැවසුවා. “සාක්ෂිකාරයෝ ඔයාව රවට්ටලා. ඒ නිසා ඔය පාඩම නවත්තන්න කියලා හවඩ් මට තදින් කිව්වා. මම එකට එක කියන්නැතුව මෙහෙම කිව්වා. ‘රවට්ටන අයත් ඉන්නවා ඇති. ඒ වුණාට මම පාඩම් කරන පොත ඔයත් ටිකක් කියවලා බලන්නකො. එතකොට ඔයාට තේරෙයි මං මොනවද කරන්නෙ කියලා.’ එයා පොත කියෙව්වා. එතකොට එයාට තේරුණා මං රැවටිලා නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි, පොතේ තියෙන දේවල් එයාගේ හිතටත් ඇල්ලුවා.” බයිබලය පාඩම් කරන කෙනා රැස්වීම්වලට හෝ දේවසේවයේ ගියාම පාඩම් නොකරන කෙනාට පාළුවක් දැනෙන්න ඉඩ තිබෙනවා. එහෙම නැත්නම් ඔවුන්ගේ විවාහය තර්ජනයට ලක් වෙලා කියා සිතෙන්නත් ඉඩ තිබෙනවා. ඒ බව තේරුම්ගෙන ඔහුට හෝ ඇයට ආදරයෙන් කරුණු පහදා දෙන්න.

සත්‍යය පිළිගන්න උදව් කරන්න

8. සත්‍යයේ නැති සැමියෙකු හෝ බිරිඳක සිටින කෙනෙකුට පාවුල් දුන් උපදෙස මොකක්ද?

8 ඔබේ සැමියා හෝ බිරිඳ සාක්ෂිකරුවෙක් නොවුණත් එය ඔහුව හෝ ඇයව අත්හැරීමට හේතුවක් නොවන බව පාවුල් සඳහන් කළා. * (1 කොරින්ති 7:12-16 කියවන්න.) ඔහු හෝ ඇය කවදා හෝ සාක්ෂිකරුවෙක් වෙයි කියා ඔබ බලාපොරොත්තුවෙන් සිටිනවා නම් දිගටම ඔබේ සතුට පවත්වාගන්න හැකි වෙයි. නමුත් ඔහුට හෝ ඇයට සත්‍යය ගැන කතා කරන විට පරිස්සම් විය යුතු පැත්තක්ද තිබෙනවා. ඒ ගැන අපි දැන් සලකා බලමු.

9. බයිබලය ගැන සැමියාට හෝ බිරිඳට පහදා දෙන විට මතක තබාගත යුත්තේ මොකක්ද?

9 බොහෝදුරට බයිබලයේ තිබෙන සත්‍යය ඉගෙනගනිද්දී කෙනෙකුට ලොකු සතුටක් දැනෙනවා. ඒ නිසා ඔහු කතා කරන්නේ ඒ ගැනමයි. සමහරවිට තමා ඒ දේවල් පිළිගත් විදිහටම සැමියා හෝ බිරිඳ ඒ දේවල් පිළිගනියි කියා සිතෙන්න ඉඩ තිබෙනවා. නමුත් සැමවිටම එසේ වන්නේ නැහැ. ජේසන්ගේ අද්දැකීම සලකා බලන්න. සත්‍යය ඉගෙනගත් මුල් කාලයේදී “ඉගෙනගත්තු දේවල්, දන්න කියන හැමෝටම කියන්න ඕනෙ වුණා” කියා ඔහු කියනවා. නමුත් ඔහුගේ බිරිඳ කිව්වේ “ඒවා අහං ඉඳලා මට එපා වුණා” කියලයි. තවත් ස්ත්‍රියක් සත්‍යය පිළිගත්තේ සැමියා සාක්ෂිකාරයෙක් වෙලා අවුරුදු 18කට පසුවයි. ඇය කිව්වේ “මට බයිබලය ගැන ඉගෙනගන්න කල් ඕනෙ වුණා” කියායි. ඔබ සමඟ පාඩම් කරන කෙනාගේ සැමියා හෝ බිරිඳ පාඩම් කරන්න කැමති නැහැ කියා සිතන්න. එසේනම් ඔහුගේ හෝ ඇගේ සිත නොරිද්දා සුදුසු අවස්ථාවලදී ඥානවන්තව කාරණා පහදා දීමට හැකි ආකාර ගැන විටින් විට ඒ ශිෂ්‍යයා සමඟ පෙරහුරු කරන්න. ඒ සඳහා මෝසෙස් කී මේ දේ ප්‍රයෝජනවත් වෙනවා. ‘මා දෙන උපදෙස් පොළොව තෙමන වැසි මෙනි. මාගේ වචන පිනි බිඳු මෙනි. ඒවා තණකොළ සිපගන්නා පොද වැසි මෙන්ද වන්නේය.’ (ද්වි. 32:2) හැදෙන පුංචි පැළෑටියකට ධාරානිපාත වරුසාවකින් ලැබෙන ප්‍රයෝජනයට වඩා පොද වැස්සකින් ලැබෙන ප්‍රයෝජනය වැඩියි. සත්‍යය ගැන සැමියාට හෝ බිරිඳට පහදා දෙන විට එම ප්‍රතිපත්තිය මතක තබාගන්න.

10-12. (අ) සත්‍යයේ නැති සැමියෙකු හෝ බිරිඳක සිටින කෙනෙකුට පේතෘස් දුන් උපදෙස මොකක්ද? (ආ) එක් බිරිඳක් 1 පේතෘස් 3:1, 2හි තිබෙන උපදෙස් අදාළ කරගත්තේ කොහොමද?

10 සාක්ෂිකරුවන් නොවන පුරුෂයන් සිටින භාර්යාවන්ට පේතෘස් මෙම උපදෙස දුන්නා. “ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. එවිට ඔවුන්ගෙන් සමහරෙකු දෙවිගේ පණිවිඩයට කීකරු වී නොසිටියත් ඔවුන්ට ඒ ගැන වචනයක්වත් නොපවසා ඔබේ ආදර්ශයෙන් ඔවුන්ව දිනාගැනීමට හැකි වේ. මන්ද ඔවුහු ඔබේ නිර්මල හැසිරීම සහ ඔබ දක්වන ගැඹුරු ගෞරවය දකිනු ඇත.” (1 පේතෘ. 3:1, 2) සමහරවිට තම සැමියා දැඩි ලෙස විරුද්ධ වුණත් ඔහුට ගෞරව කිරීමෙන් හා යටත් වීමෙන් පසු කාලයේදී ඔහු සත්‍යය පිළිගැනීමට ඉඩ තිබෙනවා. ඒ වගේම භාර්යාවන් සත්‍යයේ නැති පුරුෂයන්ට අදාළ කරගත හැකි උපදෙසක් 1 පේතෘස් 3:7-9හි තිබෙනවා.

11 පේතෘස්ගේ උපදෙස් අදාළ කරගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන සෙල්මාගේ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා. ඇගේ පුරුෂයා වන ස්ටීව් මෙසේ පැවසුවා. “සෙල්මා බයිබලය පාඩම් කරන්න ගත්තාම මට හොඳටම කේන්ති ගියා. එයා රැස්වීම්වලටයි දේවසේවයේ යන එකටයි මං කොහොමටවත් කැමති වුණේ නැහැ. අපේ පවුල කැඩිලා ඉහිරිලා යයි කියලා මං හිතුවා.” සෙල්මා කිව්වේ මෙයයි. “මම පාඩම් කරන්න කලින් වුණත් ස්ටීව්ට පොඩ්ඩ බැරි වෙද්දී කේන්ති ගියා. හැබැයි පාඩම් කරන්න ගත්තට පස්සේ ඒක තවත් වැඩි වුණා.”

12 එක දවසක් වුණු සිද්ධියක් සෙල්මා මතක් කළා. “දවසක් බයිබලය ගැන ස්ටීව්ට කියන්න ගිහිල්ලා එයා මට ගැහුවා. මාත් එක්ක පාඩම් කරපු සහෝදරී ඊළඟ දවසේ ආවාම මම එයාට කිව්වා ‘මට දැන් ඔක්කොම එපා වෙලා තියෙන්නේ, අපි පාඩම නවත්තමු’ කියලා. ඒ වෙලාවේ ඒ සහෝදරී මට කිව්වා 1 කොරින්ති 13:4 ඉඳලා 7ට කියවන්න කියලා. මම ඒක කියවලා එයාට කිව්වා ‘හැබැයි ස්ටීව් කවදාවත් මේ විදිහට මට සලකලා නැහැ’ කියලා. එතකොට එයා මගෙන් ඇහුවා ‘ඔයා ස්ටීව්ට සලකන්නේ එතන තියෙන විදිහටද’ කියලා. ‘එයත් එක්ක ඉන්න හරිම අමාරුයි’ කියලා මම කිව්වා. එතකොට ඒ සහෝදරී මගේ මුහුණ දිහා බලලා මෙහෙම ඇහුවා. ‘සෙල්මා, බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න ඕනෙ ස්ටීව්ද නැත්නම් ඔයාද?’ ඒ ගැන මම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ටිකෙන් ටික මම ස්ටීව්ට ආදරෙන් සලකන්න පටන්ගත්තා. ඒකට කාලයක් ගිය බව ඇත්තයි. ඒත් අපි දෙන්නා අතර තිබුණ බැඳීම ගොඩක් ශක්තිමත් වුණා. අවුරුදු 17කට පස්සේ ස්ටීව් සත්‍යය පිළිගත්තා.”

සභාවේ අයගෙන් ලැබෙන උපකාර

13, 14. සත්‍යයේ නැති පුරුෂයෙක් හෝ භාර්යාවක් සිටින පවුල්වලට සැලකිල්ල දක්වන්න සභාවේ අයට පුළුවන් කොහොමද?

13 සාක්ෂිකරුවෙක් නොවන බිරිඳක් හෝ සැමියෙක් සිටින කෙනෙකුට තම සතුට රඳවාගැනීමට උපකාර කරන්න සභාවේ සිටින අයට හැකියි. බ්‍රසීලයේ එල්විනා මෙසේ පවසනවා. “සත්‍යය තුළ ස්ථිරව ඉන්න මට පුළුවන් වෙලා තියෙන්නේ සහෝදර සහෝදරියන්ගේ ආදරයයි සැලකිල්ලයි නිසා.”

14 ඒ විතරක් නෙවෙයි සත්‍යයේ නැති සැමියා හෝ බිරිඳටත් සභාවේ අය දක්වන ප්‍රේමය නිසා ඔවුන්ගේ සිත් වෙනස් වීමට ඉඩ තිබෙනවා. නයිජීරියාවේ සහෝදරයෙක් මෙසේ පවසනවා. “මං සත්‍යයට එන්න කලින් දවසක් සාක්ෂිකරුවෙක් එක්ක යද්දී ඔහුගේ වාහනය කැඩුණා. අපිට යන්න විදිහක් තිබුණේ නැති හින්දා සාක්ෂිකරුවා ඒ පළාතේ හිටිය සාක්ෂිකරුවන්ව හොයාගෙන ගියා. ඒ අය අපිව ආදරෙන් පිළි අරං අපිට නවාතැන් දුන්නා. එයාලා අපිව දැක්කේ එදාමයි. ඒත් අපිට සැලකුවේ එයාලගෙම පවුලේ අයට වගෙයි. සාක්ෂිකරුවන් අතර තියෙන ප්‍රේමය ගැන මගේ භාර්යාව නිතරම කිව්වත් එදා තමයි මට ඒක තේරුණේ.” ඔහු සාක්ෂිකරුවෙක් වුණේ ඔහුගේ බිරිඳ සාක්ෂිකාරියක් වී අවුරුදු 13කට පසුවයි. එංගලන්තයේ සිටින සහෝදරියක් සත්‍යය පිළිගත්තේ ඇගේ පුරුෂයා බව්තීස්ම වී අවුරුදු 18කට පසුවයි. ඇය පැවසුවේ මෙසේයි. “මම සාක්ෂිකාරියක් වෙන්න කලින් ඉඳලම සභාවේ අය අපි දෙන්නටම කෑමට ආරාධනා කරනවා. එයාලා මාවත් ආදරෙන් පිළිගත්තා.” * පසු කාලෙක සාක්ෂිකරුවෙක් වූ තවත් ස්වාමිපුරුෂයෙක් මෙසේ පවසනවා. “සභාවේ අය නිතරම අපේ ගෙදරට ආවා ගියා. අපිටත් එයාලගේ ගෙවල්වලට ආරාධනා කළා. එයාලා මං ගැනත් හුඟක් සැලකිලිමත් වුණා. මං ඉස්පිරිතාලේ හිටපු දවස්වල එයාලා මාව බලන්න ආව එක මට අමතක වෙන්නේ නෑ.” සත්‍යය පිළිගන්න පමා වෙන එවැනි අය ගැන සැලකිලිමත් වෙන්න ඔබටත් පුළුවන්ද?

15, 16. පවුලේ අය සත්‍යය පිළිගත්තේ නැතත් සත්‍යයේ සිටින කෙනාට සතුටෙන් සිටීමට උපකාර වෙන්නේ මොනවාද?

15 සමහර අවස්ථාවලදී වසර ගණනාවක් පුරා එවැනි සැලකිල්ලක් දක්වමින් කාරුණිකව සාක්ෂි දැරුවත් සමහර අය සත්‍යය පිළි නොගන්න ඉඩ තිබෙනවා. තවත් සමහරු දිගටම විරුද්ධ වෙන්නත් ඉඩ තිබෙනවා. (මතෙ. 10:35-37) ඒ වුණත් අපි දිගටම එවැනි අයට ආදරය හා සැලකිල්ල දක්වන්න අවශ්‍යයි. පසු කලක සාක්ෂිකරුවෙක් වූ සැමියෙක් මෙසේ පැවසුවා. “මගේ බිරිඳ මට ආදරෙන් සැලකුව විදිහ මගේ හිතට කොච්චර කාවැදුණද කියලා එයාවත් දන්නේ නැහැ. ඒ නිසා සැමියා හරි බිරිඳ හරි සත්‍යය පිළිගන්න පමා වුණත් උත්සාහය නම් අතඅරින්න එපා.”

16 පවුලේ කෙනෙක් සත්‍යය පිළිගත්තේ නැතත් සත්‍යයේ සිටින කෙනාට සතුටෙන් සිටිය හැකියි. එක් සහෝදරියක් අවුරුදු 21ක් පුරා තම පුරුෂයාට සත්‍යය ඒත්තුගන්වන්න උත්සාහ කළත් ඔහු සාක්ෂිකරුවෙක් වුණේ නැහැ. ඇය පවසන්නේ මෙසේයි. “මම සතුටෙන් ඉන්නෙ දෙවිට විශ්වාසවන්තව ඉන්න නිසයි. පෞද්ගලික පාඩම, රැස්වීම්, දේවසේවය වගේ දේවල් නිසාත් සභාවේ අයට උදව් කරන නිසාත් දෙවිට තව ළං වෙන්නත් ස්ථිරව ඉන්නත් මට පුළුවන් වෙලා තියෙනවා.”—හිතෝ. 4:23.

උත්සාහය අත්හරින්න එපා!

17, 18. පවුලේ සමහර අය සත්‍යයේ නොසිටියත් සත්‍යයේ සිටින අයට බලාපොරොත්තු තබාගන්න පුළුවන් මොකක් ගැනද?

17 සත්‍යය පිළිගන්නේ නැති අය ඔබේ පවුලෙත් සිටිනවා නම් ඔවුන් ගැන තිබෙන බලාපොරොත්තුව අත්හරින්න එපා. යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව අමතක කරන්නේ නැති බව මතක තබාගන්න. (1 සාමු. 12:22) ඔබ ඔහුට ළංව සිටින තාක් කල් ඔහුද ඔබට ළංව සිටිනවා. (2 ලේකම් 15:2 කියවන්න.) ඔහු ගැන ඉගෙනගැනීමෙන් ප්‍රීතියක් ලබමින් “ඔහු මත රඳා සිටින්න.” (ගීතා. 37:4, 5) ඕනෑම දුෂ්කරතාවක් විඳදරාගැනීමට අපට උපකාර කරන්න දෙවි පියාණන්ට හැකි බව මතක තබාගෙන “නොකඩවාම යාච්ඤා කරන්න.”—රෝම 12:12.

18 නිවස තුළ සාමකාමී වාතාවරණයක් පවත්වාගැනීමට ඔබ උත්සාහ කරන විට දෙවිගේ බලය ඉල්ලන්න. (හෙබ්‍රෙ. 12:14) ඔබ එසේ කරනවා නම් සමහරවිට පවුලේ අය පසු කාලයකදී සත්‍යය පිළිගැනීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ඔබ කරන “සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන්” කරන විට ඔබට සතුට හා සහනය ලැබෙයි. (1 කොරි. 10:31) ඊට අමතරව සභාවේ සිටින ඔබේ සහෝදර සහෝදරියන් ඔබට පූර්ණ සහයෝගය දෙන බව දැන සිටීම මොන තරම් ශක්තියක්ද!

[පාදසටහන්වල]

^ 4 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 8 ඡේ. සමහර අවස්ථාවලදී විවාහ යුවළකට වෙන් වීමට හේතු මතු විය හැකියි. එය බැරෑරුම් පෞද්ගලික තීරණයක්. වැඩි විස්තර සඳහා “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න” නමැති පොතේ 252-253 පිටු බලන්න.

^ 14 ඡේ. සාක්ෂිකරුවන් නොවන අය සමඟ කෑම ගැනීම බයිබලයේ තහනම් කර නැහැ.—1 කොරි. 10:27

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[28වන පිටුවේ පින්තූරය]

සුදුසු වේලාවලදී පමණක් සත්‍යය ගැන කියා දෙන්න

[29වන පිටුවේ පින්තූරය]

සාක්ෂිකරුවන් නොවන ස්වාමිපුරුෂයන්ට හෝ භාර්යාවන්ට ආදරය හා සැලකිල්ල දක්වන්න