Skip to content

පටුනට යන්න

යේසුස්ගේ ඉගැන්වීම් පිළිපදිනවා

යේසුස්ගේ ඉගැන්වීම් පිළිපදිනවා

යේසුස්ගේ ඉගැන්වීම් පිළිපදිනවා

“ඔබ මා උගන්වන දේවල් පිළිපදිනවා නම් ඇත්තෙන්ම ඔබ මගේ ගෝලයෝ වෙනවා. ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.”—යොහන් 8:31, 32.

ඉන් අදහස් කරන්නේ කුමක්ද? “මාව එවූ පියාණන් මා කිව යුතු දේ මට පැහැදිලිවම අණ කර තිබෙනවා” කියා යේසුස් පැවසුවා. ඉන් පැහැදිලි වන්නේ යේසුස් ඉගැන්නුවේ තම පියාගේ අදහස් බවයි. (යොහන් 12:49) යේසුස් ඔහුගේ ස්වර්ගික පියාට යාච්ඤා කරන විට මෙසේ පැවසුවා. “ඔබ පවසන දේ සත්‍යයයි.” ඔහු උගන්වන විට නිතරම දෙවිගේ වචනයේ සඳහන් දේවල් උපුටා දැක්වුවා. (යොහන් 17:17; මතෙව් 4:4, 7, 10) ඒ නිසා සැබෑ ක්‍රිස්තියානීන්ද යේසුස් ඉගැන්වූ දේවල් පිළිපදිනවා. එනම් ඔවුන් දෙවිගේ වචනය වන බයිබලයේ සඳහන් දේ විශ්වාස කරන අතර එහි සඳහන් දේවලට අනුව ජීවත් වෙනවා.

මුල් ක්‍රිස්තියානීන් ඊට එකඟව ජීවත් වුණේ කොහොමද? බයිබල් ලේඛකයෙක් වන පාවුල්ටද තිබුණේ දෙවිගේ වචනය ගැන යේසුස්ට තිබූ ආකල්පයමයි. දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු මුළු ශුද්ධ ලියවිල්ලම ප්‍රයෝජනවත් කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (2 තිමෝති 3:16) පළමු ශතවර්ෂයේ සිටි දෙවිගේ වචනය ඉගැන්වූ ගුරුවරුන් “සත්‍ය පණිවිඩයට තදින් ඇලී සිටිය” යුතු වුණා. (තීතස් 1:7, 9) ‘දර්ශන සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තරවලට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්‍රදායන් හා මිනිස් සමාජයේ මූලධර්මයන් නිසාත් ඒවා ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනි’ නිසාත් එවැනි දේවල් යේසුස්ගේ මුල් අනුගාමිකයන් ප්‍රතික්ෂේප කළා.—කොලොස්සි 2:8.

අද දින එය පිළිපදින්නේ කවුද? වතිකානුව විසින් 1965දී ගත් තීරණයක් ගැන කතෝලික පල්ලියේ පොතක මෙසේ සඳහන් වුණා. “ක්‍රිස්තියානි පල්ලිය ඔවුන්ගේ ඉගැන්වීම් පදනම් කරගෙන තිබෙන්නේ ශුද්ධ ලියවිලි මත පමණක් නොවෙයි. ඔවුන් සම්ප්‍රදායන්ද ඊට පදනම් කරගෙන තිබෙනවා. ඒ නිසා ශුද්ධ ලියවිලි සහ සම්ප්‍රදායන් යන දෙකම පිළිගත යුතු අතර ඒවාට එක හා සමාන ලෙස ගෞරව කළ යුතුයි.” (Catechism of the Catholic Church) ටොරොන්ටෝවල දේවගැතිවරියක්ද මෙසේ පැවසූ බව එක් සඟරාවක වාර්තා වුණා. “අපි ළඟ විශිෂ්ට අදහස් තියෙද්දී පරණ පොතකින් අපි මඟ පෙන්වීම් බලාපොරොත්තු වෙන්නේ ඇයි? අපේ අදහස් බයිබලයේ සහ යේසුස්ගේ ඉගැන්වීම් එක්ක සම්බන්ධ කරන්න ගියාම අපේ අදහස්වල වටිනාකම නැති වෙනවා.”—Maclean’s සඟරාව.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන කතෝලික විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “ඔවුන් තම විශ්වාසයන් සම්පූර්ණයෙන්ම පදනම් කරගෙන තිබෙන්නේ බයිබලය මතයි. ඔවුන් ජීවිත ගත කරන්නේත් ඊට එකඟවයි.” යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් කැනඩාවේ පුද්ගලයෙකුට තමන්ව හඳුන්වා දීමට උත්සාහ කළ විට ඔහු ඇයට පැවසූ මේ දෙයින්ද එය පැහැදිලියි. “ඔයා ගාව බයිබලයක් තියෙන නිසා ඔයා කවුද කියලා මම දන්නවා.”—එම විශ්වකෝෂය New Catholic Encyclopedia.