Skip to content

පටුනට යන්න

බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්න!

බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්න!

බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්න!

‘කිසි බොරුවක් නොපවසන දෙවි බොහෝ කලකට පෙර පොරොන්දු වූ සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව අපට දී තිබෙනවා.’—තීතස් 1:2.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

අභිෂේක ලත් කෙනෙක් දිගටම විශ්වාසවන්තව සිටියොත් ස්වර්ගයේ සියල්ලෝ ප්‍රීති වන බව අපි දන්නේ කොහොමද?

අභිෂේක ලත් අයගේ හා වෙනත් බැටළුවන්ගේ බලාපොරොත්තු අතර ඇති සම්බන්ධය මොකක්ද?

බලාපොරොත්තුව ඉටු කරගැනීමට අපි මොන ආකාරයේ ‘හැසිරීමක’ හා ‘දේවභක්තික ක්‍රියාවල’ යෙදිය යුතුද?

1. පීඩා විඳදරාගැනීමට දෙවි දී තිබෙන බලාපොරොත්තුව උපකාර වෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවි අප සියලුදෙනාටම ‘බලාපොරොත්තුවක් දී තිබෙනවා.’ ‘දෙවිගේ බලය අප තුළ ප්‍රබලව ක්‍රියාත්මක වන විට ඒ බලාපොරොත්තුව ගැන ස්ථිර විශ්වාසයකින් සිටින්න අපට හැකියි.’ (රෝම 15:13) අප සැමට විවිධ අවස්ථාවලදී දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒවා කුණාටු හා සමානයි. නමුත් අපේ බලාපොරොත්තුව නැංගුරමක් වගෙයි. (හෙබ්‍රෙ. 6:18, 19) පීඩාවලදී නොසැලී ප්‍රීතියෙන් හා විශ්වාසයෙන් යුතුව ඒවාට මුහුණ දීමට එය උපකාරයක්. ඒ වගේම සත්‍ය ඉගැන්වීම්වලින් ඉවත්ව නොයෑමටත් එම බලාපොරොත්තුව අත්‍යවශ්‍යයි.—හෙබ්‍රෙව් 2:1; 6:11 කියවන්න.

2. කුඩා රැළට හා වෙනත් බැටළුවන්ට ඇති බලාපොරොත්තු මොනවාද? වෙනත් බැටළුවන් සදාකාල ජීවනය ලබන්න නම් කරන්න ඕන මොනවාද?

2 පොළොවේ ඉතිරි වී සිටින ‘කුඩා රැළට’ අයත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් බලාපොරොත්තු වෙන්නේ ස්වර්ගයේ අමරණීය ජීවිතයක් ලබා යේසුස් සමඟ රජවරුන් හා පූජකයන් ලෙස කටයුතු කරන්නයි. (ලූක් 12:32; එළි. 5:9, 10) ‘වෙනත් බැටළුවන්ට’ අයත් “මහත් සමූහය” බලාපොරොත්තු වෙන්නේ දේවරාජ්‍යයේ යටත් වැසියන් ලෙස පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වෙන්නයි. (එළි. 7:9, 10; යොහ. 10:16) සදාකාල ජීවනය ලබන්න නම් යේසුස්ගේ අභිෂේක ලත් ‘සහෝදරයන්ට’ පූර්ණ සහයෝගය දිය යුතු බව වෙනත් බැටළුවන් මතක තබාගත යුතුයි. (මතෙ. 25:34-40) කුඩා රැළේ වගේම වෙනත් බැටළුවන්ගේ බලාපොරොත්තුවත් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. (හෙබ්‍රෙව් 11:39, 40 කියවන්න.) අපි මුලින්ම අභිෂේක ලත් අයගේ බලාපොරොත්තුව ගැන ටිකක් කතා කරමු.

අභිෂේක ලත් අයට තිබෙන ‘ස්ථිර බලාපොරොත්තුව’

3, 4. අභිෂේක ලත් අයගේ ‘අලුත් උපත හා ඔවුන්ගේ ස්ථිර බලාපොරොත්තුව’ විස්තර කරන්න.

3 පේතෘස් අභිෂේක ලත් අයව ඇමතුවේ “තෝරාගනු ලැබූ අය” ලෙසයි. (1 පේතෘ. 1:1) ඔහු ලියූ පළවෙනි ලිපියේ ඔවුන්ට ඇති බලාපොරොත්තුව ගැන මෙසේ ලිව්වා. “අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවිද පියාණන්ද වන තැනැත්තාණන්ට ප්‍රශංසා වේවා! මන්ද යේසුස් ක්‍රිස්තුස්ව මරණයෙන් නැවත නැඟිටුවීම මගින් ඔහු තම මහත් දයාවට එකඟව අපට අලුත් උපතක් දෙමින් අපට ස්ථිර බලාපොරොත්තුවක් දී ඇත. එම බලාපොරොත්තුවට අනුව අපට කිසිදා දිරා නොයන, කැළැල් රහිත, කිසිදා පරවී නොයන ජීවිතයකට උරුමකම් කීමට පුළුවන. ඒ උරුමය ඔබ වෙනුවෙන්ද ස්වර්ගයෙහි වෙන් කර තිබේ. දෙවි තම බලයෙන් ඔබව ආරක්ෂා කරන්නේ ඔබ තුළ විශ්වාසයක් තිබෙන නිසාය. ඔහු එසේ කරන්නේ අවසාන කාල පරිච්ඡේදයේදී හෙළි කිරීමට නියමිත ගැලවීම ඔබට ලබා දීම සඳහාය. ඒ ගැන ඔබ බොහෝ සෙයින් ප්‍රීති වෙනවාට සැකයක් නැත.”—1 පේතෘ. 1:3-6.

4 “අලුත් උපතක්” කීමෙන් පේතෘස් අදහස් කළේ මොකක්ද? දෙවි සීමිත පිරිසක් තෝරාගෙන තම බලයෙන් අභිෂේක කර ඔවුන්ව තම දරුවන් හැටියට පිළිගත්තා. ඒ වගේම ඔවුන්ව රජවරුන් හා පූජකයන් ලෙසත් අභිෂේක කළා. (එළි. 20:6) දෙවි ලබා දෙන “අලුත් උපත” එයයි. එම උපත නිසා ඔවුන්ට “ස්ථිර බලාපොරොත්තුවක්” ඇතුව සිටීමට හැකි වෙනවා. ඒ බලාපොරොත්තුව නම් ස්වර්ගයෙහි “කිසිදා දිරා නොයන, කැළැල් රහිත, කිසිදා පරවී නොයන ජීවිතයකට උරුමකම්” කීමයි. එම ස්ථිර බලාපොරොත්තුව ගැන අභිෂේක ලත් අය බොහෝ සේ සතුටු වෙනවා. නමුත් එහි ඉටු වීම අද්දකින්න ලැබෙන්නේ ඔවුන් විශ්වාසවන්තව හිටියොත් පමණයි.

5, 6. අභිෂේක ලත් අය තමන්ගේ බලාපොරොත්තුව ස්ථිර කරගැනීමට උපරිම උත්සාහයක් දැරිය යුත්තේ ඇයි?

5 පේතෘස් ලියූ දෙවන ලිපියේ ඔහු අභිෂේක ලත් අයට දිරිගැන්නුවේ “ඔබේ කැඳවීමත් තෝරාගැනීමත් ස්ථිර එකක් කරගැනීමට වැඩි වැඩියෙන් උත්සාහ කරන්න” කියායි. (2 පේතෘ. 1:10) ඒ සඳහා ඔවුන් විශ්වාසය, දේවභක්තිය, සහෝදර ස්නේහය හා ප්‍රේමය වැනි ගුණාංග වැඩි වර්ධනය කරගන්න මහන්සි විය යුතුයි. ‘ඒ දේවල් ඔබ තුළ ඇත්නම් ඇත්තෙන්ම ඒවා දිය උල්පතක් මෙන් ඔබ තුළ පිරී ඉතිරී යනවා නම් ඔබ අක්‍රියාශීලී හෝ පල නොදරන තත්වයකට පත් වන්නේ නැහැ’ කියා පේතෘස් පැවසුවා.—2 පේතෘස් 1:5-8 කියවන්න.

6 මුල් සියවසේ ෆිලදෙල්ෆියාවෙහි පිහිටි සභාවේ අභිෂේක ලත් වැඩිමහල්ලන්ට යේසුස් මෙසේ පැවසුවා. “මා විඳදරාගත් ආකාරය ගැන ඔබ අසා ඇති දේට අනුව ඔබ විඳදරාගෙන තිබෙන නිසා ඔබව සෝදිසියට ලක් කරන පැයේදී මම ඔබව රැකබලා ගන්නෙමි. පොළොවෙහි සිටින සියලුදෙනාව සෝදිසියට ලක් කිරීම සඳහා ඒ පැය මුළු මහත් පොළොවටම බලපානු ඇත. මම ඉක්මනින් එන්නෙමි. ඔබ සතු දේ දිගටම අල්ලාගෙන සිටින්න. එවිට ඔබේ ඔටුන්න ඔබෙන් පැහැරගැනීමට කිසිවෙකුටත් හැකි වන්නේ නැත.” (එළි. 3:10, 11) අභිෂේක ලත් කෙනෙක් මරණය දක්වා විශ්වාසවන්තව සිටියොත් ඔහුට “කිසිදා දිරා නොයන ඔටුන්න” ලැබෙනවා. නමුත් එවැනි කෙනෙක් දෙවිට පිටුපෑවොත් ඒ ඔටුන්න අහිමි වෙනවා.—1 පේතෘ. 5:4; එළි. 2:10.

තේජසෙන් රාජ්‍යයට ඇතුල් වීම

7. අභිෂේක ලත් අයට ඇති බලාපොරොත්තුව ගැන යූද් පැවසුවේ මොකක්ද?

7 යූද් සෙසු අභිෂේක ලත් අයව ඇමතුවේ “කැඳවනු ලැබූ අය” ලෙසයි. (යූද් 1; හෙබ්‍රෙ. 3:1ද බලන්න.) ඔවුන්ට ‘පොදුවේ ලැබෙන්න තිබූ ගැලවීම’ ගැන ලිවීමට ඔහු ආශාවෙන් සිටියත් වෙනත් වැදගත් කාරණා ගැනත් ලියන්න ඔහුට සිදු වුණා. (යූද් 3) නමුත් ඔහු තම ලිපිය අවසන් කළේ ඔවුන්ට හිමි පුදුමාකාර බලාපොරොත්තුව ගැන මෙසේ සඳහන් කරමින්. “එහෙයින් පව් කිරීමෙන් ඔබව ආරක්ෂා කළ හැකි, තම තේජස ඉදිරියේ මහත් ප්‍රීතියක් ඇතුව නිකැළැල් කෙනෙකු ලෙස පෙනී සිටීමට ඔබට උපකාර කළ හැකි තැනැත්තාද වන, අපට ගැලවීම සලසා දෙන දෙවිට, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් සියලු තේජසද ගෞරවයද ශ්‍රේෂ්ඨත්වයද බලයද පෙර මෙන් දැනුත් සදහටත් ලැබේවා!”—යූද් 24, 25.

8. අභිෂේක ලත් කෙනෙක් මරණය දක්වා විශ්වාසවන්තව සිටියොත් ස්වර්ගයේ සියල්ලෝ මහත් ප්‍රීතියක් ලබන බව අපි දන්නේ කොහොමද?

8 අභිෂේක ලත් අයට පව් කිරීමෙන් වැළකී සිටීම සඳහා දෙවිගේ ආරක්ෂාව අවශ්‍යයි. ඔවුන් මරණය දක්වා විශ්වාසවන්තව සිටියොත් යේසුස් ඔවුන්ව ස්වර්ගයේ ජීවත් වීමට හැකි පරිපූර්ණ අය ලෙස නැවත නැඟිටුවනවා. ස්වර්ගයේදී ඔවුන්ට යෙහෝවා දෙවිව දැකීමේ අවස්ථාවත් ලැබෙනවා. ඔවුන්ව ‘ස්වර්ගයේ ජීවත් වීමට හැකි පුද්ගලයන් ලෙස නැවත නැඟිටුවන’ විට ‘කිසිදා දිරා යන්නේ නැති’ අමරණීය ජීවිතයක් හා ‘ස්වර්ගීය තේජසක් ඔවුන්ට හිමි වෙයි.’ (1 කොරි. 15:42-44) ‘එක පව්කාරයෙක් ගැන ස්වර්ගයේ සිටින දේවදූතයන් කොතරම් ප්‍රීති වෙනවාද’ කියා බයිබලයේ පවසනවා. (ලූක් 15:7) එසේනම් අභිෂේක ලත් කෙනෙක් මරණය දක්වා විශ්වාසවන්තව සිටියොත් යෙහෝවා දෙවි ඇතුළු ස්වර්ගයේ සියල්ලෝ “මහත් ප්‍රීතියක්” ලබන බව කිව යුතු නැහැ.—1 යොහන් 3:2 කියවන්න.

9. අභිෂේක ලත් අය ලබන තෑග්ග ගැන පේතෘස් පැවසුවේ මොකක්ද? එය දැන් පොළොවේ සිටින අභිෂේක ලත් අයට මහත් රුකුලක් වෙන්නේ කොහොමද?

9 විශ්වාසවන්තව සිටියොත් අභිෂේක ලත් අයට ලැබෙන තෑග්ග ගැන පේතෘස්ද සඳහන් කළා. “අපගේ ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගේ සදාකාලික රාජ්‍යයට තේජසකින් ඇතුල් වීමේ අවස්ථාව ඔබට උදා වනු ඇත.” (2 පේතෘ. 1:10, 11) එය සඳහන් කරද්දී ස්වර්ගයට ගිය පසු අභිෂේක ලත් අය ලබන බොහෝ ආශීර්වාද ගැන පේතෘස්ගේ මනසේ තිබෙන්න ඇති. අවසානයේදී අභිෂේක ලත් අයට ඒ තෑග්ග ලැබෙන විට තමන් දිගටම විශ්වාසවන්තව සිටීම ගැන ඔවුන් මොන තරම් සතුටු වෙයිද! පොළොවේ සිටින අභිෂේක ලත් අයට ‘වෙහෙස මහන්සි වී සේවය කිරීමට මනස සූදානම් කරගැනීමටත්’ දිගටම විශ්වාසවන්තව සිටීමටත් එය මහත් රුකුලක්.—1 පේතෘ. 1:13.

වෙනත් බැටළුවන්ට දෙවි දී ඇති බලාපොරොත්තුව

10, 11. (අ) වෙනත් බැටළුවන්ට දෙවි දී ඇති බලාපොරොත්තුව මොකක්ද? (ආ) එය ඉටු කිරීමට යේසුස් හා අභිෂේක ලත් අය සම්බන්ධ වෙන්නේ කොහොමද?

10 දෙවිගේ අභිෂේක ලත් පුත්‍රයන්ව පාවුල් හැඳින්නුවේ ‘ක්‍රිස්තුස් සමඟ එකම උරුමයට හිමිකම් කියන’ අය ලෙසයි. එවැනි අයට තිබෙන බලාපොරොත්තුව ගැන පැවසුවාට පසු ගණන් කළ නොහැකි වෙනත් බැටළුවන්ට දෙවි දී ඇති බලාපොරොත්තුව ගැනත් පැවසුවා. ඔහු පැවසුවේ මෙසේයි. “දෙවි සෑදූ සියල්ල [මිනිස් වර්ගයා] මහත් ආශාවකින් බලා සිටින්නේ දෙවිගේ පුත්‍රයන් [අභිෂේක ලත් අය] ස්වර්ගීය තේජසින් එළිදරව් වීමට නියමිත අවස්ථාව පැමිණෙන තුරුය. මිනිස් වර්ගයාට නිෂ්ඵල ජීවිතයක් උරුම වුණේ ඔවුන්ගේම කැමැත්ත නිසා නොව එය දෙවිගේ කැමැත්ත වූ නිසාය. නමුත් ඒ සමඟම ඔවුන්ට බලාපොරොත්තුවක්ද දෙන ලදි. ඒ අනුව පාපය හා මරණය නිසා දිරාපත් වී යන මිනිස් වර්ගයාට එම ග්‍රහණයෙන් නිදහස් වී, දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව උදා වනු ඇත.”—රෝම 8:14-21.

11 පාපයෙන් හා මරණයෙන් මිදීම සඳහා දෙවි මිනිස් වර්ගයාට ‘බලාපොරොත්තුවක් දුන්නා.’ “පැවත එන තැනැත්තා” මාර්ගයෙන් සාතන්ව විනාශ කරන බවට දෙවි පොරොන්දු වුණා. (එළි. 12:9; උත්. 3:15) ‘පැවත එන තැනැත්තාගෙන්’ මූලිකවම යොමු දක්වන්නේ යේසුස්වයි. (ගලා. 3:16) යේසුස්ගේ මරණය හා නැවත නැඟිටීම මගින් එම බලාපොරොත්තුව ස්ථිර වුණා. අභිෂේක ලත් අය ඊට සම්බන්ධ වෙන්නේ කොහොමද? ‘පැවත එන තැනැත්තාගෙන්’ දෙවනුව යොමු දක්වන්නේ ස්වර්ගීය ජීවනය ලැබූ අභිෂේක ලත් අයවයි. අභිෂේක ලත් අය හෙවත් “දෙවිගේ පුත්‍රයන් ස්වර්ගීය තේජසින් එළිදරව් වීම” ගැන පාවුල් පැවසුවා. එසේ එළිදරව් වන එක් අවස්ථාවක් වන්නේ සාතන්ගේ දුෂ්ට සමාජය විනාශ කිරීමට අභිෂේක ලත් අය යේසුස් සමඟ එකතු වී රජවරුන් ලෙස ක්‍රියා කරන විටයි. (එළි. 2:26, 27) එහි ප්‍රතිඵලයක් ලෙස මහත් පීඩාවෙන් බේරෙන අයට ගැලවීම ලැබෙයි.—එළි. 7:9, 10, 14.

12. දෙවිගේ පුත්‍රයන් ස්වර්ගීය තේජසින් එළිදරව් වීම නිසා මිනිස් වර්ගයා ලබන ආශීර්වාද මොනවාද?

12 ‘දෙවිගේ පුත්‍රයන් ස්වර්ගීය තේජසින් එළිදරව් වන’ තවත් අවස්ථාවක් තිබෙනවා. ඒ ඔවුන් දහස් අවුරුදු පාලනයේදී යේසුස් සමඟ පූජකයන් ලෙස ක්‍රියා කරන විටයි. යේසුස්ගේ ජීවිත පූජාවේ නියම ප්‍රයෝජන අත් කරගැනීමට එදාට ඔවුන් මිනිසුන්ට උපකාර කරයි. අවුරුදු 1,000 අවසන් වන විට සියලුදෙනා ‘පාපයෙන් හා මරණයෙන් නිදහස් වී’ පරිපූර්ණ අය බවට පත් වී සිටියි. දහස් අවුරුදු පාලනය තුළ විශ්වාසවන්තව සිටින හා අවසානයේදී සාතන්ව ටික කලකට නිදහස් කරන විට ඊට සාර්ථකව මුහුණ දෙන අයගේ නම් ජීවන ලියවිල්ලේ සදහටම සටහන් වෙයි. (එළි. 20:7, 8, 11, 12) එවිට ‘දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට ඔවුන්ට අවස්ථාව උදා වෙයි.’ එය මොන තරම් විශිෂ්ට බලාපොරොත්තුවක්ද!

ඔබේ බලාපොරොත්තුව කොතරම් ස්ථිරද?

13. අපිට බලාපොරොත්තුවක් තබාගන්න පුළුවන් කුමක් නිසාද? යේසුස් ක්‍රිස්තුස් එළිදරව් වෙන්නේ මොන අවස්ථාවේදීද?

13 පේතෘස් ලියූ ලිපි දෙකේදීම අභිෂේක ලත් අයටත් වෙනත් බැටළුවන්ටත් ඔවුන්ගේ බලාපොරොත්තුව ස්ථිරව තබාගන්න කියා දිරිගැන්නුවා. ඔවුන්ට එවැනි බලාපොරොත්තුවක් තබාගත හැක්කේ ඔවුන්ගේ හැකියාව නිසා නොව දෙවිගේ මහත් කරුණාව නිසයි. ඔහු මෙසේ ලිව්වා. “ඔබ හොඳ සිහිකල්පනාවෙන් සිටිය යුතුයි. එලෙසම යේසුස් ක්‍රිස්තුස් එළිදරව් වන අවස්ථාවේදී ඔබට පෙන්වීමට නියමිත මහත් කරුණාව කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්න.” (1 පේතෘ. 1:13) ‘ක්‍රිස්තුස් එළිදරව් වන්නේ’ දුෂ්ටයන්ව විනාශ කර තම විශ්වාසවන්ත අනුගාමිකයන්ට ආශීර්වාද කරන අවස්ථාවේදියි.—2 තෙසලෝනික 1:6-10 කියවන්න.

14, 15. (අ) අපේ බලාපොරොත්තුව ස්ථිරව තබාගැනීමට කුමක් මතක තබාගත යුතුද? (ආ) පේතෘස් අපට දුන්නේ මොන උපදෙසද?

14 අපේ බලාපොරොත්තුව ස්ථිරව තබාගන්න නම් “දෙවිගේ දවස” ළඟ බව අපි නිතරම මතකයේ තබාගත යුතුයි. පේතෘස් අපිට මෙසේ දිරිගැන්නුවා. ‘ඔබ කවර ආකාරයේ පුද්ගලයන්ද කියා සිතා බලන්න. යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන කාලය බලා සිටිමින් එය ඔබේ මනසෙහි ප්‍රමුඛව තබාගන්න. ඒ දවසේදී අහස ගින්නෙන් දැවී නැති වී යන්නේය. අහසෙහි සහ පොළොවෙහි ඇති දේවල්ද අධික උෂ්ණත්වය නිසා උණු වී යන්නේය.’ (2 පේතෘ. 3:10-12) අහස කීමෙන් අදහස් කරන්නේ මිනිස් පාලනයන් වන අතර පොළොවෙන් අදහස් වෙන්නේ දෙවිගෙන් ඈත් වූ සමාජයයි. දෙවි ඒ සියල්ල විනාශ කරයි.

15 එම විනාශයෙන් පසු “අලුත් අහසක්” එනම් යේසුස්ගේ පාලනය සහ “අලුත් පොළොවක්” එනම් ධර්මිෂ්ඨ මිනිස් සමාජයක් පිහිටු වීමට නියමිතයි. (2 පේතෘ. 3:13) එය සිදු වන තුරු අපි ‘බලා සිටින’ නිසා පේතෘස් අපිට මෙම උපදෙස ලබා දුන්නා. “එහෙයින් ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබ ඒ දේවල් ගැන බලාපොරොත්තුවෙන් සිටින නිසා අවසානය දක්වාම නොකිලිටිව, නිකැළැල්ව හා සමාදානයෙන් යුතුව ඔහු ඉදිරියෙහි පෙනී සිටීමට උපරිම උත්සාහයක් දරන්න.”—2 පේතෘ. 3:14.

බලාපොරොත්තුව ස්ථිර බව පෙන්වන්න

16, 17. (අ) ‘ශුද්ධ හැසිරීමට’ හා ‘දේවභක්තික ක්‍රියාවලට’ ඇතුළත් වෙන්නේ මොනවාද? (ආ) අපේ බලාපොරොත්තුව ඉටු වෙන්නේ කොහොමද?

16 අප ජීවත් වන ආකාරයෙන් අපේ බලාපොරොත්තුව අප තුළ ස්ථිරව තිබෙනවාද නැද්ද කියා ඔප්පු වෙයි. අපි දෙවිගේ අනුමැතිය ලැබීමට සුදුසු අය විය යුතුයි. පේතෘස් සඳහන් කළ ‘ශුද්ධ හැසිරීමෙන්’ අදහස් කරන්නේ ‘මේ සමාජයේ සිටින ජනයා අතරෙහි දිගටම යහපත් ලෙස හැසිරෙමින්’ දෙවි අනුමත කරන දේවල් කිරීමයි. (2 පේතෘ. 3:11; 1 පේතෘ. 2:12) සහෝදරයන් අතරේ “ප්‍රේමය” තිබෙන විට එය සභාවේ එක්සත්කමට දායක වෙනවා. (යොහ. 13:35) “දෙවි සඳහා ඔබට තිබෙන භක්තිය ඔබේ ක්‍රියාවලින් පිළිබිඹු” කරන්න කියද්දී ඉන් අදහස් කරන්නේ දෙවි සමඟ ඇති බැඳීම ශක්තිමත්ව තබාගැනීම සඳහා කළ යුතු දේවල් කිරීමයි. ඊට අයත් වෙන්නේ යාච්ඤාව, දිනපතා බයිබලය කියවීම, පර්යේෂණය කරමින් අධ්‍යයනය කිරීම, පවුලේ නමස්කාරයට වෙන් කළ රාත්‍රියෙන් ප්‍රයෝජන ගැනීම හා ‘ශුභාරංචිය දේශනා කිරීමයි.’—මතෙ. 24:14.

17 “කිසි බොරුවක් නොපවසන දෙවි විසින් බොහෝ කලකට පෙර පොරොන්දු වූ සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව” අපට තිබෙනවා. (තීත. 1:2) ඒ බලාපොරොත්තුව ඉටු කරගැනීම සඳහා අපි දෙවිගේ අනුමැතිය ලැබීමට උපරිම උත්සාහයක් දරමු.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[22වන පිටුවේ පින්තූරය]

අභිෂේක ලත් අයට ‘අලුත් උපතක් හා ස්ථිර බලාපොරොත්තුවක්’ ලැබෙනවා

[24වන පිටුවේ පින්තූරය]

ඔබේ පවුලේ අයගේ බලාපොරොත්තුව ශක්තිමත් කරන්න