Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

සාක්ෂිකරුවෙක් කාමුක දර්ශන නැරඹීමේ පුරුද්දට වැටී තිබෙනවා නම් සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තරම් එය බරපතළ වරදක් වෙන්න පුළුවන්ද?

▪ පුළුවන්. ඒ නිසා චිත්‍රපටි, DVD දර්ශන හා අන්තර්ජාලය හරහා කාමුක දර්ශන නැරඹීම හා කාමුක හැඟීම් අවුස්සන පොත් හා සඟරා කියවීම සම්පූර්ණයෙන්ම හෙළාදැකීම කොතරම් අත්‍යවශ්‍යද කියා පැහැදිලි වෙනවා.

අන්තර්ජාලය නිසා වෙන කවරදාකටත් වඩා කාමුක දර්ශන අස්සක් මුල්ලක් නෑර ලොව පුරා පැතිර තිබෙනවා. බොහෝදෙනෙක් වයස සීමාවක් නැතුව එම උවදුරට ගොදුරු වී තිබෙනවා. සමහරු අහම්බෙන් වගේ කාමුක දර්ශන ඇතුළත් වෙබ් අඩවිවලට පිවිස තිබෙනවා. මෙවැනි දර්ශන කාටත් හොරා නරඹන්න හැකියාව තිබෙන නිසා තවත් අය හිතාමතාම එවැනි වෙබ් අඩවිවලට පිවිසෙනවා. නමුත් සාක්ෂිකරුවෙක් එය සැහැල්ලුවට නොගත යුත්තේ ඇයි?

යේසුස් අනතුරු ඇඟෙව්වේ “කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ අනාචාරයේ හැසිරී ඇති බවයි.” (මතෙ. 5:28) විවාහ වූ දෙදෙනෙක් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් ප්‍රීතියක් ලැබීම වැරදි නැහැ. (හිතෝ. 5:15-19; 1 කොරි. 7:2-5) නමුත් නුසුදුසු ලිංගික සම්බන්ධකම් පෙන්වන කාමුක දර්ශන එය නරඹන කෙනා තුළ පහත් ආශාවන් ඇති කරනවා. ඒ නිසා බයිබලයේ මෙසේ පවසනවා. “වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද වෙනත් හානිකර ආශාද රූප නමස්කාරයක් හා සමාන වන තණ්හාවද සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි.”—කොලො. 3:5.

කෙනෙක් හිතාමතාම වරක් හෝ දෙවරක් කාමුක දර්ශන නරඹා තිබෙනවා නම් තත්වය මොකක්ද? ඔහු සිටින තත්වය යම් දුරකට ආසාප් සිටි තත්වයට සමාන බව කියන්න පුළුවන්. “මාගේ පය ලිස්සීමට ආසන්නව තිබිණ. තව කෙටි කලක් ගත වූවා නම් මා නොමඟ යෑමට ඉඩ තිබිණ.” නිරුවත් ස්ත්‍රීන්ගේ හෝ පිරිමින්ගේ දර්ශන හෝ ලිංගික සම්බන්ධකම් පවත්වන දර්ශන නරඹන කෙනෙකුට දෙවිගේ මිතුරෙක් ලෙස පිරිසිදු සිතින් ඔහුට නමස්කාර කරන්න පුළුවන්ද? ආසාප්ට දැනුණු හිත් වේදනාව ඔහු විස්තර කළේ මෙසේයි. “මම දවස පුරාම බොහෝ වේදනාවෙන් සිටියෙමි. නමුත් සෑම උදෑසනකම ඔබ මාව නිවැරදි කළෙහිය.”—ගීතා. 73:2, 14.

එවැනි තත්වයක සිටින කෙනෙක් කළ යුත්තේ මොකක්ද? තමන්ට වැඩිමහල්ලන්ගේ උපකාර අවශ්‍ය බව ඔහු පිළිගත යුතුයි. බයිබලයේ පවසන්නේ මෙසේයි. “ඇතැම්විට යම් කෙනෙක් නොදැනුවත්ව යම් වැරදි පියවරක් ගත හැකිය. එවැනි අවස්ථාවලදී ශුද්ධ ලියවිල්ලට අනුව සුදුසුකම් ලබා ඇති ඔබ මෘදුකමින් එවැනි කෙනෙකුව නිවැරදි මාර්ගයට ගෙන ඒමට උත්සාහ කරන්න. එසේ කරද්දී . . . ඔබ ගැනත් සෝදිසියෙන් සිටින්න.” (ගලා. 6:1) ඉන් පෙනී යන්නේ වැඩිමහල්ලෙක් හෝ දෙදෙනෙක් ඒ පුද්ගලයාට අවශ්‍ය උපකාර ලබා දෙන අතර ඔහු වෙනුවෙන් ‘විශ්වාසයකින් යුතුව ඉදිරිපත් කරන යාච්ඤාව මගින් අසනීපයෙන් සිටින එම පුද්ගලයා සනීප වන අතර ඔහු යම් පාපයක් කර ඇත්නම් යෙහෝවා දෙවි ඒවාට සමාව දෙන’ බවයි. (යාකො. 5:13-15) කාමුක දර්ශන නැරඹීමේ පුරුද්දෙන් මිදීමට එසේ වෑයම් කළ අය අද්දැක තිබෙන්නේ ආසාප් මෙන් දෙවිට ළංව සිටීම තමන්ට ප්‍රයෝජනවත් බවයි.—ගීතා. 73:28.

අනික් අතට සමහර අය ‘අපවිත්‍ර දේවල, වේශ්‍යාකමේ හා නින්දිත හැසිරීමේ’ පුරුද්දක් ලෙස යෙදෙන අතර ඒවා අත්හරින්නේ හෝ ඒවා ගැන පසුතැවෙන්නේ හෝ නැති බව පාවුල් පැවසුවා. * (2 කොරි. 12:21) අපවිත්‍ර දේවල් සඳහා ග්‍රීක භාෂාවෙන් යොදා තිබෙන වචනයෙන් අදහස් කරන දේ ගැන එක් මහාචාර්යවරයෙක් පැවසුවේ “අන්තිම පහත්, ඉතාම පිළිකුල් දේවල් ඊට ඇතුළත්” බවයි. බොහෝදුරට කාමුක දර්ශනවලට ඇතුළත් වන්නේ නිරුවත් දර්ශන හෝ වේශ්‍යාකමේ යෙදෙන දර්ශන පමණක් නෙවෙයි. සමලිංගික ක්‍රියාවල, පිරිසක් එක්ව එකිනෙකාව මාරු කරගනිමින් ලිංගික ක්‍රියාවල යෙදීම, සතුන් සමඟ ලිංගිකව හැසිරීම, ළමුන් ඇතුළත් කාමුක දර්ශන, කිහිපදෙනෙක් එක්ව එක පිට එක කෙනෙකුව දූෂණය කිරීම, ස්ත්‍රීන්ට ලිංගිකව වධ හිංසා කිරීම, ලිංගික ක්‍රියාවල යෙදීම සඳහා කෙනෙකුව බැඳ තැබීම හෝ පහත් ලිංගික වින්දනයක් ලබාගැනීමට කෲර ලෙස වධ හිංසා කිරීම යන සියල්ල ඊට ඇතුළත්. පාවුල්ගේ කාලයේ සිටි සමහරුන්ගේ ‘මනස් අන්ධකාරයෙන් වැසී තිබුණා.’ ඔවුන් ‘කිසිම හැඟීමක් දැනීමක් නැතුව නින්දිත ක්‍රියාකලාපයකට සම්පූර්ණයෙන්ම වහල් වී සිටි අතර කෑදරකමින් යුතුව සියලු ආකාරයේ අපවිත්‍ර ක්‍රියාවල නිරත වුණා.’එෆී. 4:18, 19.

පාවුල් ගලාති 5:19හි “අපවිත්‍රකම” ගැන සඳහන් කළා. එක් විශාරදයෙක් පැවසුවේ එම අපවිත්‍රකමට “පහත් පිළිකුල්සහගත ලිංගික ආශාවන්” ඇතුළත් විය හැකි බවයි. මිනිසුන් ඉහත සඳහන් වූ ක්‍රියාවන්වල යෙදෙන්නේ ඔවුන්ට ඉතාම “පහත් පිළිකුල්සහගත ලිංගික ආශාවන්” ඇති නිසා බව ඕනෑම ක්‍රිස්තියානියෙක් පිළිගන්නවා. “එවැනි දේවල් කරන අයට දෙවිගේ රාජ්‍යය උරුම නොවන බව” පාවුල් පැවසුවා. (ගලා. 5:19-21) ඒ නිසා කෙනෙක් එතරම් පහත් පිළිකුල්සහගත කාමුක දර්ශන පුරුද්දක් ලෙස බලනවා නම්, සමහරවිට කාලයක් පුරා එසේ කර තිබෙනවා නම් හා ඒ ගැන පසුතැවිලි වී වරද හදාගන්නේ නැත්නම් සභාව පවිත්‍රව තබාගැනීම සඳහා ඒ පුද්ගලයාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරනවා.—1 කොරි. 5:5, 11.

සතුටට කරුණක් වන්නේ මෙම පිළිකුල්සහගත පුරුද්දට ඇබ්බැහි වී සිටි සමහර අය වැඩිමහල්ලන්ගේ උපකාරය ලබාගෙන ඒ නරක පුරුදු අත්හැර ඔවුන්ගේ ජීවිත වෙනස් කරගෙන තිබීමයි. යේසුස් සාදිස්හි පිහිටි සභාවේ සිටි ක්‍රිස්තියානීන්ට පැවසුවේ මෙසේයි. ‘මරණාසන්නව සිටින ඉතුරු අයව ශක්තිමත් කරන්න. ඔබට ලබා දුන් දේද ඔබ ඇසූ දේද දිගටම සිහියේ තබාගෙන, එය නොකඩවා පිළිපදිමින්, පසුතැවිලි වන්න. ඇත්තෙන්ම ඔබ අවදි වන්නේ නැත්නම් මා ඔබ වෙතට පැමිණෙන්නේ කුමන පැයේද කියා කිසි ලෙසකින්වත් දැනගැනීමට ඔබට හැකි වන්නේ නැත.’ (එළි. 3:2, 3) ඔබ එම පුරුද්දට වැටී සිටිනවා නම් පසුතැවිලි වී විනාශය නමැති ගින්නෙන් ගැලවෙන්න.—යූද් 22, 23.

අපි කවුරුත් දෙවිගේ අනුමැතිය නැති කරගැනීමට කැමති නැහැ. ඒ නිසා පහත් පිළිකුල්සහගත කාමුක දර්ශන නැරඹීමෙන් වැළකී සිටීමට අපි සියලුදෙනාම අදිටන් කරගනිමු!

[පාදසටහන]

^ 8 ඡේ. ‘අපවිත්‍ර ක්‍රියාවන්, වේශ්‍යාකම හා නින්දිත හැසිරීම’ යන ක්‍රියාවන් අතර තිබෙන වෙනස දැනගනීම සඳහා 2006 ජූලි 15 මුරටැඹ කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” නමැති ලිපිය බලන්න.

[30වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

එම නරක පුරුද්දට වැටී ඇති කෙනෙක් තමාට වැඩිමහල්ලන්ගේ උපකාර අවශ්‍ය බව පිළිගත යුතුයි