Skip to content

පටුනට යන්න

යේසුස් ක්‍රිස්තුස් ගැන සත්‍යය

යේසුස් ක්‍රිස්තුස් ගැන සත්‍යය

යේසුස් ක්‍රිස්තුස් ගැන සත්‍යය

“සමූහයා මම කවුරුන් කියලද කියන්නේ?”—ලූක් 9:18.

යේසුස් ගෝලයන්ගෙන් එම ප්‍රශ්නය ඇසුවේ ජනයා ඔහු ගැන විවිධ අදහස් දරන බව දැන සිටි නිසයි. නමුත් එකිනෙකට පරස්පර විරෝධී අදහස් දැරීමට ජනයාට කිසිම හේතුවක් තිබුණේ නැහැ. යේසුස් මිනිසුන්ගෙන් වෙන් වී ජීවත් වූ පුද්ගලයෙක් නොවෙයි. ඔහු ගම්වලත් නගරවලත් මිනිසුන් සමඟ ගැවසුණා. ඔහු ශුභාරංචිය ප්‍රකාශ කළේත් ජනයාට ඉගැන්නුවේත් ප්‍රසිද්ධියේයි. ඔහුට අවශ්‍ය වුණේ මිනිසුන් ඔහු ගැන සත්‍යය දැනගන්නවාටයි.—ලූක් 8:1.

යේසුස් පැවසූ දේවලින් හා ඔහු ක්‍රියා කළ ආකාරයෙන් ඔහු මොන වගේ පුද්ගලයෙක්ද කියා අවබෝධ කරගත හැකියි. ඔහු කළ කී දේවල් මතෙව්, මාක්, ලූක් සහ යොහන් යන සුවිශේෂ හතරෙහි වාර්තා වී තිබෙනවා. යේසුස් ගැන සත්‍යය දැනගත හැකි එකම ක්‍රමය දෙවිගේ බලයෙන් ලියැවුණු එම පොත් හතර අධ්‍යයනය කිරීමයි. *යොහන් 17:17.

ප්‍රශ්නය: යේසුස් කියා කෙනෙක් ඇත්තටම සිටියාද?

පිළිතුර: ඔව්. ඒ බව පළමු ශතවර්ෂයේ සිටි ඉතිහාසඥයන් වන ජොසීෆස් සහ ටැසිටස් යන දෙදෙනා වාර්තා කරනවා. ඔවුන් පමණක් නොව වෙනත් බොහෝ ඉතිහාසඥයන්ද එය පිළිගන්නවා. යේසුස් සැබෑ පුද්ගලයෙක් කියා බයිබලයේද සඳහන් වී තිබෙනවා. ඔහු ගිය ස්ථාන, කාලවල් ගැන නිශ්චිත තොරතුරු සුවිශේෂවල සඳහන් වෙනවා. උදාහරණයකට ඔහු දේවසේවය ආරම්භ කරන විට අවට ප්‍රදේශ පාලනය කරමින් සිටි නිලධාරීන් හත්දෙනෙකුගේ පමණ නම් ලූක් වාර්තා කරනවා. එම වාර්තාව සහ ඉතිහාස වාර්තා එකිනෙක මනාව ගැළපෙනවා.—ලූක් 3:1, 2, 23.

යේසුස් මේ පොළොවේ සිටි පුද්ගලයෙක් බවට තිබෙන සාක්ෂි සත්‍යයයි. ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “පළමු ශතවර්ෂයේදී යේසුස් කියා මිනිසෙක් නාසරෙත්වල ජීවත් වූ බව බොහෝ විශාරදයන් පිළිගන්නවා.”—Evidence for the Historical Jesus.

ප්‍රශ්නය: යේසුස් එකම සැබෑ දෙවිද?

පිළිතුර: නැහැ. තමන් එකම සැබෑ දෙවි බව යේසුස් කිසි දිනක සිතුවේ නැහැ. යෙහෝවා දෙවි තමන්ට වඩා උසස් කියා ඔහු පිළිගත්තා. * උදාහරණයකට ඔහු යෙහෝවා දෙවිව “මගේ දෙවියනි” සහ “එකම සැබෑ දෙවි” ලෙස හැඳින්නුවා.—මතෙව් 27:46; යොහන් 17:3.

තමා සහ දෙවි පුද්ගලයන් දෙදෙනෙක් බව යේසුස්ම සඳහන් කළා. * එක් අවස්ථාවක යේසුස් ඔහුගේ විරුද්ධවාදීන්ට මෙසේ පැවසුවා. “ඔබේම නීතියේ, ‘මිනිසුන් දෙදෙනෙකුගේ සාක්ෂිය අවශ්‍යයි’ කියා සඳහන් වී තිබෙනවා. මට මගේ සාක්ෂිය තිබෙනවා වගේම මාව එවූ පියාණන්ද මා ගැන සාක්ෂි දරනවා.”—යොහන් 8:17, 18.

ප්‍රශ්නය: යේසුස් නිකම්ම යහපත් මිනිසෙක් පමණද?

පිළිතුර: නැහැ. ඔහු දෙවිගේ අරමුණ ඉටු කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ තැනැත්තෙක්. ඔහු කළ කාර්යයන් අනුව ඔහුව හඳුන්වා ඇති ආකාර කිහිපයක් පහත සඳහන් වෙනවා.

“දෙවිගේ එකම පුත්‍රයා.” (යොහන් 3:18) යේසුස් පොළොවට පැමිණීමට පෙර බොහෝ කාලයක් ස්වර්ගයේ ජීවත් වී තිබෙනවා. ‘මම ආවේ ස්වර්ගයෙන්’ කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (යොහන් 6:38) දෙවි මුලින්ම නිර්මාණය කළේ යේසුස්වයි. අනිකුත් සියලු දේවල් නිර්මාණය කිරීමට දෙවි, යේසුස්ව හවුල් කරගත්තා. ඔහුව “දෙවිගේ එකම පුත්‍රයා” ලෙස හඳුන්වා තිබෙන්නේ දෙවි තනිවම නිර්මාණය කළ එකම තැනැත්තා ඔහු නිසයි.—යොහන් 1:3, 14; කොලොස්සි 1:15, 16.

“මනුෂ්‍ය පුත්‍රයා.” (මතෙව් 8:20) යේසුස් තමන්ව “මනුෂ්‍ය පුත්‍රයා” ලෙස බොහෝ අවස්ථාවලදී හැඳින්නුවා. එවැනි අවස්ථා 80ක් පමණ සුවිශේෂ පොත්වල සඳහන් කර තිබෙනවා. යේසුස් පොළොවේ ජීවත් වුණේ මනුෂ්‍යයෙකු ලෙස මිස මිනිස් වෙස්ගත් දෙවි කෙනෙකු ලෙස නොවන බව ඉන් ඔප්පු වෙනවා. ස්වර්ගයේ සිටි යේසුස් පොළොවට පැමිණියේ කොහොමද? යෙහෝවා දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් යේසුස්ව මරියා නමැති කන්‍යාවගේ කුස තුළ වැඩෙන්න සැලැස්සුවා. ඒ නිසා ඔහුට පාපය උරුම වුණේ නැහැ.—මතෙව් 1:18; ලූක් 1:35; යොහන් 8:46.

“ගුරුතුමා.” (යොහන් 13:13) දෙවි තමන්ට දුන් පැවරුම වන්නේ ‘රාජ්‍යයේ ශුභාරංචිය ගැන දේශනා කිරීම’ සහ ‘ඉගැන්වීම’ බව යේසුස් පැහැදිලිවම සඳහන් කළා. (මතෙව් 4:23; ලූක් 4:43) දේවරාජ්‍යය කියන්නේ කුමක්ද සහ ඉන් දෙවිගේ කැමැත්ත ඉටු වන ආකාරය ගැන යේසුස් ඉතා පැහැදිලිව සහ සරලව ජනයාට ඉගැන්නුවා.—මතෙව් 6:9, 10.

“‘වචනය’ නමැති තැනැත්තා.” (යොහන් 1:1) යේසුස්ව එලෙස හඳුන්වන්නේ දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කළ ප්‍රධානතම තැනැත්තා ඔහු නිසයි. දේවදූතයන්ටත් මිනිසුන්ටත් ඔහු එම පණිවිඩය දැනුම් දුන්නා.—යොහන් 7:16, 17.

ප්‍රශ්නය: යේසුස් පොරොන්දු වූ ගැලවුම්කරුද?

පිළිතුර: ඔව්. ක්‍රිස්තුස් නමැති ගැලවුම්කරුගේ පැමිණීම ගැන බයිබලයේ අනාවැකි පවසා තිබෙනවා. දෙවිගේ අරමුණ ඉටු කිරීමට ප්‍රධාන වශයෙන් දායක වන්නේ ඔහුයි. එක් අවස්ථාවක සමරිතානු ස්ත්‍රියක් යේසුස්ට මෙසේ පැවසුවා. “ක්‍රිස්තුස්, ඒ කියන්නේ මෙසියස් අනිවාර්යයෙන්ම පැමිණෙන බව මම දන්නවා.” එවිට යේසුස් ඇයට මෙසේ පැවසුවා. “දැන් ඔබත් සමඟ කතා කරමින් සිටින මමයි ඒ තැනැත්තා.”—යොහන් 4:25, 26.

ගැලවුම්කරු යේසුස් කියා පැවසීමට සාක්ෂි තිබෙනවාද? ඔව්. ඒ සඳහා ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා. ඒ සෑම සාක්ෂියක්ම සියයට සියයක්ම ගැළපෙන්නේ යේසුස්ටයි. ඉන් කිහිපයක් ගැන අපි බලමු.

පෙළපත. ගැලවුම්කරු ආබ්‍රහම්ගේ සහ දාවිත්ගේ රජ පෙළපතින් පැමිණෙන බව බයිබලයේ කලින්ම සඳහන් වුණා. (උත්පත්ති 22:18; ගීතාවලිය 132:11, 12 ) ඒ අනාවැකි යේසුස් තුළින් එලෙසම ඉටු වුණා.—මතෙව් 1:1-16; ලූක් 3:23-38.

ඉටු වූ අනාවැකි. ගැලවුම්කරුගේ උපත සහ මරණය ඇතුළු ඔහු ගැන පැවසූ අනාවැකි බොහොමයක් බයිබලයේ සඳහන් වෙනවා. ඒ සෑම අනාවැකියක්ම ඉටු වුණේ යේසුස් තුළිනුයි. ඒ අනාවැකි අතරට ඔහු බෙත්ලෙහෙමේ උපත ලබන බව (මීකා 5:2; ලූක් 2:4-11), ඔහුව ඊජිප්තුවෙන් කැඳවාගන්නා බව (හොෂෙයා 11:1; මතෙව් 2:15) සහ ඔහුගේ එක ඇටකටුවක්වත් බිඳෙන්න ඉඩ නොදෙන බවට වූ අනාවැකි ඇතුළත් වුණා. (ගීතාවලිය 34:20; යොහන් 19:33, 36) ගැලවුම්කරු පිළිබඳ පවසා තිබූ සෑම අනාවැකියක්ම තමා තුළින් ඉටු වන ආකාරයට කාරණා සැලසුම් කිරීමට යේසුස්ට හැකියාවක් තිබුණේ නැහැ. * නමුත් ඒ සෑම අනාවැකියක්ම යේසුස් තුළින් ඉටු වුණා.

දෙවිම පැවසූ දේ. යේසුස් ඉපදුණු විට එම ආරංචිය එඬේරුන්ට දැනුම් දීමට දෙවි දේවදූතයන්ව යැව්වා. (ලූක් 2:10-14) යේසුස් පොළොව මත සේවය කරන කාලයේ ඔහුට තම අනුමැතිය තිබෙන බව දෙවි අවස්ථා කිහිපයකදී පැවසුවා. (මතෙව් 3:16, 17; 17:1-5) පොරොන්දු වූ ගැලවුම්කරු යේසුස් බවට සාක්ෂියක් ලෙස යෙහෝවා දෙවි යේසුස්ට ආශ්චර්යයන් කිරීමට බලය දුන්නා.—ක්‍රියා 10:38.

ප්‍රශ්නය: යේසුස්ට දුක් විඳ මිය යෑමට සිදු වුණේ ඇයි?

පිළිතුර: යේසුස්ට පව්කාරකම උරුම වී නොතිබුණු නිසා ඔහුට දුක් විඳීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ විතරක් නොවෙයි අපරාධකරුවෙක් ලෙස වධ කණුවක මිය යෑමට අවශ්‍ය වුණේද නැහැ. නමුත් ඒ සෑම දෙයකටම යේසුස් කැමැත්තෙන්ම මුහුණ දුන්නා.—මතෙව් 20:17-19; 1 පේතෘස් 2:21-23.

මිනිසුන්ගේ පාප වෙනුවෙන් ගැලවුම්කරු දුක් විඳ මිය යා යුතු බව ඔහු ගැන සඳහන් වූ අනාවැකිවල පවසා තිබුණා. (යෙසායා 53:5; දානියෙල් 9:24, 26) තමා “පැමිණියේ සේවය කරන්න හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි” කියා යේසුස්ම පැවසුවා. (මතෙව් 20:28) යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබන අයට පාපයෙන් හා මරණයෙන් තොර පාරාදීස පොළොවක සදහටම ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා. *යොහන් 3:16; 1 යොහන් 4:9, 10.

ප්‍රශ්නය: යේසුස් මරණයෙන් නැවත නැඟිට්ට බව විශ්වාස කරන්න පුළුවන්ද?

පිළිතුර: ඔව්. තමන් මරණයෙන් නැවත නැඟිටින බව යේසුස් දැන සිටියා. (මතෙව් 16:21) නමුත් යේසුස්ගේ නැවත නැඟිටීම ඉබේ සිදු වන බව යේසුස්වත් ඔහුගේ අනුගාමිකයන්වත් කිසිම අවස්ථාවක පැවසුවේ නැහැ. බයිබලයේ සඳහන් වන්නේ “දෙවි ඔහුව මරණයේ ග්‍රහණයෙන් මුදාගෙන ඔහුව නැවත නැඟිට්ටෙව්වා” කියායි. (ක්‍රියා 2:24) දෙවි කෙනෙක් සිටින බවත් ඔහු සියල්ල නිර්මාණය කළ බවත් අප පිළිගන්නවා නම් ඔහු තම පුත්‍රයාව මරණයෙන් නැඟිටුවයි කියා විශ්වාස නොකිරීමට කිසිදු හේතුවක් නැහැ.—හෙබ්‍රෙව් 3:4.

යේසුස් මළවුන්ගෙන් නැවත නැඟිටෙවූ බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා. ඉන් කිහිපයක් ගැන දැන් අපි බලමු.

ඇසින් දුටු සාක්ෂිකරුවන්. නැවත නැඟිටුවනු ලැබූ යේසුස් 500දෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉදිරියේ පෙනී සිටි බව යේසුස්ගේ මරණයෙන් වසර 22කට පමණ පසු පාවුල් ලිව්වා. ඒ වන විටත් එම සිද්ධිය දුටු බොහෝදෙනෙක් ජීවතුන් අතර සිටියා. (1 කොරින්ති 15:6) යේසුස් නැවත නැඟිට්ට බව එක් කෙනෙක් දෙන්නෙක් නොව 500කට වැඩි පිරිසක් දැකීම ඇත්තෙන්ම ප්‍රබල සාක්ෂියක්.

තවත් සාක්ෂි. යේසුස් නැවත නැඟිට්ට බව හොඳින්ම දන්නේ ඔහුගේ මුල් අනුගාමිකයනුයි. ඔවුන් ඉතා නිර්භීතව පැවසුවේ යේසුස්ව නැවත නැඟිටුවා ඇති බවයි. (ක්‍රියා 2:29-32; 3:13-15) යේසුස්ගේ නැවත නැඟිටීම ක්‍රිස්තියානීන් විශ්වාසය තැබිය යුතුම දෙයක් බව ඔහුගේ මුල් අනුගාමිකයන් පිළිගත්තා. (1 කොරින්ති 15:12-19) මරණයට මුහුණ දීමට සිදු වුණත් යේසුස් කෙරෙහි තමන්ට තිබෙන විශ්වාසය නැති කරගැනීමට ඔහුගේ මුල් අනුගාමිකයන් කැමති වුණේ නැහැ. (ක්‍රියා 7:51-60; 12:1, 2) ඔහුගේ නැවත නැඟිටීම බොරුවක් නම් ඔහු වෙනුවෙන් මිය යෑමට වෙනත් අය කැමති වෙයිද?

යේසුස් ගැන මතු වන ප්‍රශ්න හයකට බයිබලයේ සඳහන් පිළිතුරු අප මෙම ලිපියෙන් සාකච්ඡා කළා. යේසුස් කවුද කියා එමගින් හොඳින්ම පැහැදිලි වුණා. ඔබ යේසුස් ගැන මෙතෙක් දැන සිටි තොරතුරු සහ මෙම ලිපියේ සාකච්ඡා කළ තොරතුරු අතර වෙනසක් තිබෙනවාද?

[පාදසටහන්වල]

^ 4 ඡේ. යේසුස්ගේ චරිතය ගැන බයිබලයේ ඇති පොත් හතර හා ඉන්පසු ලියා ඇති පැරණි ලියවිලි අතර වෙනස දැනගැනීමට මෙම කලාපයේ 18වන පිටුවේ ඇති “ඉතිහාසය වෙනස් වෙයිද?” යන ලිපිය බලන්න.

^ 9 ඡේ. දෙවිගේ නම යෙහෝවා කියා බයිබලයේ සඳහන් වෙනවා.

^ 10 ඡේ. වැඩි විස්තර සඳහා මෙම කලාපයේ 20වෙනි පිටුවේ සඳහන් “ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්” යන ලිපිය බලන්න.

^ 21 ඡේ. යේසුස් තුළින් ඉටු වූ තවත් අනාවැකි ගැන දැනගැනීම සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 200වන පිටුව බලන්න.