Skip to content

පටුනට යන්න

සත්‍යය දැනගැනීම වැදගත්ද?

සත්‍යය දැනගැනීම වැදගත්ද?

සත්‍යය දැනගැනීම වැදගත්ද?

“ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.”—යොහන් 8:32.

යේසුස් ගැන සත්‍යය ඉගෙනගත හැක්කේ බයිබලයෙන් පමණයි. එය අධ්‍යයනය කිරීමෙන් අසත්‍ය ඉගැන්වීම්වලට හසු නොවී සිටීමට හැකි වෙනවා. දෙවිට සහ යේසුස්ට අවශ්‍ය වන්නේ අප යේසුස් ගැන නිවැරදි අවබෝධයක් ලබාගන්නවාටයි. එමගින් අපට බොහෝ ආශීර්වාද ලැබෙනවා.

යෙහෝවා දෙවි ඒ ගැන සැලකිලිමත් වන්නේ ඇයි? ඊට හේතුව දෙවි අපට බොහෝ සේ ප්‍රේම කිරීමයි. (1 යොහන් 4:8) අප සියලුදෙනාම සතුටින් සදහටම ජීවත් වෙනවා දකින්න ඔහු කැමතියි. යේසුස් ඒ ගැන මෙසේ පැවසුවා. ‘දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙකුටම සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.’ (යොහන් 3:16) අපව පාපයෙන් ගලවාගැනීම සඳහා දෙවි තම පුත්‍රයාව අප වෙනුවෙන් එව්වා. දෙවිගේ මුල් අරමුණ වුණේද මිනිසුන්ට පාරාදීස පොළොවක සදහටම ජීවත් වීමට සැලැස්වීමයි. (උත්පත්ති 1:28) යේසුස් ගැන සත්‍යය ඉගෙනගෙන ඔහුට කීකරු වන අයට සදාකාල ජීවනය නමැති ත්‍යාගය දීමට දෙවි ආශාවෙන් බලා සිටිනවා.—රෝම 6:23.

යේසුස් ඒ ගැන සැලකිලිමත් වන්නේ ඇයි? යේසුස්ද මිනිසුන්ට බොහෝ සෙයින් ප්‍රේම කරනවා. තම ජීවිතය ඔවුන් වෙනුවෙන් පූජා කිරීමෙන් ඔහු එය ඔප්පු කළා. (යොහන් 15:13) තම ජීවිත පූජාව නිසා මුළු මනුෂ්‍ය වර්ගයාටම ගැලවීම ලැබෙන බව ඔහු දැන සිටියා. (යොහන් 14:6) යෙහෝවා දෙවිගේ කැමැත්ත සහ ඔහුගේ අරමුණ ගැන ලොව පුරාම උගන්වන්න කියා යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවේ ඒ නිසයි.—මතෙව් 24:14; 28:19, 20.

අප ඒ ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි? අප අපේ සෞඛ්‍යය හා පවුලේ අය ගැන බොහෝ සේ සැලකිලිමත් වෙනවා. ඔබට සහ ඔබේ පවුලේ අයට සන්තෝෂවත් සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලැබෙනවාට ඔබ කැමතිද? දෙවි එවැනි ආශීර්වාද ඔබට ලබා දීමට ආශාවෙන් සිටිනවා. එසේ කිරීමට මඟ විවර වුණේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. (ගීතාවලිය 37:11, 29; එළිදරව් 21:3, 4) එම ආශීර්වාද භුක්ති විඳීමට නම් ඔබ කළ යුතු යමක් තිබෙනවා.

මේ ලිපියේ මුලින්ම සඳහන් කළ බයිබල් පදයේ මෙසේ පවසනවා. “ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.” යේසුස් ගැනත් දෙවිගේ අරමුණ ඉටු කිරීම සඳහා ඔහු කළ කාර්යය ගැනත් “සත්‍යය” අවබෝධ කරගත් විට පාපයෙන් සහ මරණයෙන් නිදහස් වීමට අපට අවස්ථාව ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු කියා දීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉතා ආශාවෙන් සිටිනවා.