Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

කුඩා කාලයේ ආගම අත්හැර ගිය කෙනෙක් නැවත ඒ ආගම වැලඳගත්තේ ඇයි? පිය සෙනෙහස නොලැබූ කෙනෙකුට එය ලැබුණේ කොහොමද? ඒ ගැන ඔවුන්ම පවසන්නේ මොනවාද කියා බලන්න.

‘ආයෙත් දෙවිට ළං වෙන්න මට ඕන වුණා.’—එලී කලිල්

උපත ලැබූ වසර: 1976

රට: සයිප්‍රසය

අතීතයේදී: දඩබ්බර පුතෙක්

මගේ අතීතය: මම ඉපදුණේ සයිප්‍රස්වල. හැබැයි ජීවත් වුණේ ඕස්ට්‍රේලියාවේ. මගේ දෙමාපියන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. ඒ නිසා පොඩි කාලේ ඉඳලම යෙහෝවා දෙවි ගැනත් ඔහු දීලා තියෙන ප්‍රමිති ගැනත් මට උගන්වන්න ඒ දෙන්නා හුඟක් මහන්සි වුණා. ඒත් යෞවන වයසට ආවට පස්සේ මම දඩබ්බර වුණා. මම රෑට කාටත් හොරෙන් ගිහින් යාළුවන්ව හම්බ වුණා. අපි එකතු වෙලා වාහන හොරකම් කළා. තවත් වැරදි වැඩ හුඟක් කළා.

අම්මටයි තාත්තටයි තිබුණු භය නිසා මුලදී මම ඒ දේවල් හොරෙන් කළත් පස්සේ මට ඒ භය නැතුව ගියා. මම වැඩියෙන්ම ආශ්‍රය කළේ මට වඩා වැඩිමල් අයවයි. වැඩිකල් යන්න කලින් මම යෙහෝවා දෙවිට නමස්කාර කරන එක නතර කළා. අම්මගෙයි තාත්තගෙයි ආගමේ මට ඉන්න බැහැ කියලා මම එයාලට කිව්වා. ඒ දෙන්නා බොහොම ඉවසීමෙන් මට උදව් කරන්න උත්සාහ කළත් ඒ කිසිම දේකින් පලක් වුණේ නැහැ. අම්මයි තාත්තයි මං ගැන ගොඩක් දුක් වුණා.

ඊටපස්සේ මම ගෙදරින් ගියා. වැඩි කල් යන්න කලින් මම මත්ද්‍රව්‍ය ගන්න පටන්ගත්තා. මරිජුවානා වගා කරලා ඒවා විකුණුවා. මම ගත කළේ අනාචාර ජීවිතයක්. වැඩි කාලයක් මම හිටියේ රාත්‍රී සමාජ ශාලාවලයි. මට ඉක්මණින් කේන්තිත් යනවා. ඒ නිසා කවුරුහරි මම අකමැති දෙයක් කළොත් මිනිස්සු මැද්දේ වුණත් මම එයාට ගහනවා. ක්‍රිස්තියානියෙක් විදිහට කරන්න හොඳ නැති හැමදේම මම කළා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මත්ද්‍රව්‍ය ගත්ත මගේ යාළුවෙක්ව මම කිට්ටුවෙන් ආශ්‍රය කළා. හුඟක් වෙලාවට අපි රෑ වෙනකල් කතා කර කර ඉන්නවා. එයා පොඩි කාලෙදිම එයාගේ තාත්තා නැති වෙලා. දවසක් එයාගේ ජීවිතය ගැන මට කිය කිය ඉද්දී එයාගේ තාත්තා නැති අඩුව එයාට ගොඩක් දැනෙනවා කියලා එයා කිව්වා. මම පොඩි කාලේ නැවත නැඟිටීම ගැන ඉගෙනගෙන තිබුණු නිසා මැරිලා ඉන්න අයව යේසුස් ළඟදීම නැවත නැඟිටුවන බවට බයිබලයේ තියෙන පොරොන්දුව ගැන මම එයාට කිව්වා. (යොහන් 5:28, 29) ඒ විතරක් නෙමෙයි ළඟදීම එයාගේ තාත්තව ආයෙත් දකින්න පුළුවන් කියලත් අපි හැමෝටම අනාගතයේදී පාරාදීස පොළොවක සදහටම ජීවත් වෙන්න පුළුවන් කියලත් මම එයාට කිව්වා. ඒ ගැන දැනගත්තට පස්සේ එයා හුඟක් සතුටු වුණා.

ලෝක විනාශය, ත්‍රිත්වය වගේ දේවල් ගැනත් එයා මගෙන් ඇහුවා. ඒ නිසා මම එයාගේ බයිබලයෙන්ම යෙහෝවා දෙවි ගැන, යේසුස් ගැන සහ ලෝක විනාශය ළඟ බව දැනගන්න තියෙන ලකුණු ගැන එයාට පෙන්නුවා. (යොහන් 14:28; 2 තිමෝති 3:1-5) යාළුවට යෙහෝවා දෙවි ගැන කියලා දෙන තරමටම මමත් දෙවි ගැන කල්පනා කරන්න පටන්ගත්තා.

කාලයත් එක්කම බයිබලයේ ඇති ඉගැන්වීම් ගැන මගේ විශ්වාසය වැඩි වුණා. සමහර වෙලාවට මම මගේ යාළුවෝ එක්ක උත්සවවලදී මත්ද්‍රව්‍ය ගන්න කොට මට එකපාරටම යෙහෝවා දෙවිව මතක් වුණා. මට හිටිය හුඟක් යාළුවෝ දෙවිව අදහනවා කියලා කිව්වට ඒක එයාලා ජීවත් වෙන විදිහෙන් පෙනුණේ නැහැ. මට ඒ වගේ වෙන්න ඕන වුණේ නැහැ. ඒ නිසා මම ඉක්මනටම මගේ ජීවිතය වෙනස් කරගෙන ආයෙත් යෙහෝවා දෙවි එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න උත්සාහ කළා.

මම හරි දේ කරන්න තීරණය කළා. මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක නතර කළා. ඒක කරන්න මට එච්චර අමාරු වුණේ නැහැ. පස්සේ මගේ යාළුවන්ව ආශ්‍රය කරන එක නතර කරලා බයිබලය ඉගෙනගන්න පටන්ගත්තා.

හැබැයි ජීවිතේ සමහර දේවල් වෙනස් කරගන්න මට ලේසි වුණේ නැහැ. විශේෂයෙන්ම කේන්තිය පාලනය කරගන්න මට සමහර වෙලාවට අමාරු වුණා. ඒ හැම වතාවකදීම මම ඒ ගැන ගොඩක් දුක් වුණා. මම හිතුවේ කවදාවත් මට ඒකෙන් ගොඩ එන්න බැරි වෙයි කියලයි. ඒ ගැන මට බයිබල් පාඩම කරපු කෙනත් එක්ක මම කතා කළා. එයා හරිම කාරුණික, ඉවසිලිවන්ත කෙනෙක්. එයා මාව හුඟක් දිරිගැන්නුවා. දිගටම උත්සාහ කිරීමේ වැදගත්කම ගැන සඳහන් වුණු සඟරාවක් එයා මට දුන්නා. * කේන්තිය පාලනය කරගන්න මට කරන්න පුළුවන් මොනවාද කියලා අපි කතා කළා. සඟරාවේ තිබුණු තොරතුරු නිසාත් උපකාර ඉල්ලා යෙහෝවා දෙවිට යාච්ඤා කරපු නිසාත් කාලයක් යද්දී මගේ කේන්තිය පාලනය කරගන්න මට පුළුවන් වුණා. මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට 2000දී බව්තීස්ම වුණාම මගේ අම්මයි තාත්තයි හුඟක් සතුටු වුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: දැන් මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේවත් අනාචාර ජීවිතයක් ගත කරන්නේවත් නැති නිසා මගේ හිත මට දොස් කියන්නේ නැහැ. මම දැන් කරන හැම දෙයකින්ම සතුටක් ලබනවා. ජීවිතය සතුටින් ගත කරන්න මට දැන් ඕන තරම් හේතු තියෙනවා.

මාව හරි මාර්ගයට ගන්න මගේ දෙමාපියන් ලොකු වෙහෙසක් දැරුවා. ඒ වගේ දෙන්නෙක්ව මට දුන්නට මම යෙහෝවා දෙවිට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. යොහන් 6:44 යේසුස් කිව්ව මේ දේ ගැනත් මම කල්පනා කරනවා. “කෙනෙක් මා ළඟට එන්නේ මාව එවූ මගේ පියාණන් ඔහු තුළ ඒ සඳහා ආශාවක් ඇති කළොත් පමණයි.” මට යෙහෝවා දෙවි එක්ක ආයෙත් මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන් වුණේ දෙවි මා තුළ ඒ සඳහා ආශාවක් ඇති කළ නිසයි කියලා හිතනකොටත් මට පුදුම හිතෙනවා.

‘මට පිය සෙනෙහස ලැබුණා.’—මාර්කො ඇන්ටෝනියෝ අල්වාරෙස් සොටො

උපත ලැබූ වසර: 1977

රට: චිලී

අතීතයේදී: ඝෝෂාකාරී සංගීතයට ප්‍රිය කළ කෙනෙක්

මගේ අතීතය: මම හැදී වැඩුණේ දකුණු ඇමරිකාවේ සුන්දර ගම්මානයක් වන පුන්ටා ඇරිනාස්වලයි. මට අවුරුදු පහක් වෙද්දී මගේ අම්මයි තාත්තයි වෙන් වුණා. ඊටපස්සේ මාව හදාවඩා ගත්තේ මගේ අම්මා. ඒත් තාත්තා නැති අඩුව මට තදින්ම දැනුණා.

අම්මා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කළා. ඒ නිසා එයාලගේ රැස්වීම්වලට මාවත් අරගෙන ගියා. හැබැයි එහෙ යන්න මට කිසිම ආසාවක් තිබුණේ නැහැ. මම පාර දිගේ අඬ අඬ තමයි රැස්වීම්වලට ගියේ. මට අවුරුදු 13දී මම ඒවට සහභාගි වෙන එක නතර කළා.

මම සංගීතයට හුඟක් ආස කළා. ඒ පැත්තෙන් මට හැකියාවකුත් තිබුණා. මට අවුරුදු 15ක් වෙද්දී මම හෙවි මෙට්ල් සහ ඩෙත් මෙට්ල් සංගීත (ප්‍රචණ්ඩකාරී, දරුණු ලෙස මිනිසුන්ව මරන ආකාරය කියාපාන සංගීතය) කණ්ඩායමකට බැඳුණා. අපි උත්සවවලත් අවන්හල්වලත් පුංචි පුංචි සාදවලත් සිංදු කිව්වා. සංගීතයට දක්ෂ අයත් එක්ක මම ආශ්‍රය කළා. ඒ නිසා ඒකට තිබුණු ආසාව තවත් වැඩි වුණා. ඒ සම්බන්ධයෙන් මම වැඩිදුර අධ්‍යාපනයකුත් ලැබුවා. මට අවුරුදු 20දී සංගීතය ගැන තවත් ඉගෙනගන්න මම සන්තියාගෝවලට ගියා. ඒ කාලයේදීත් මම හෙවි මෙට්ල් සහ ඩෙත් මෙට්ල් සංගීත කණ්ඩායමක හිටියා.

හැබැයි ඒ කිසිම දෙයකින් මට සතුටක් ලැබුණේ නැහැ. මට ලොකු තනිකමක් දැනුණා. ඒක නැති කරගන්න ඕන නිසා මම මගේ සංගීත කණ්ඩායමේ යාළුවෝ එක්ක එකතු වෙලා හොඳට බිව්වා. මත්ද්‍රව්‍යත් පාවිච්චි කළා. කලු ඇඳුම් ඇඳගෙන, කොණ්ඩේ ඉණ ළඟටම වවාගෙන, රැවුලත් වවාගෙනයි මම හිටියේ. ඒ නිසා හැමෝම මාව දැක්කේ දරුණු කෙනෙක් විදිහටයි.

මම නිතර නිතර රණ්ඩුවලට පැටලුණා. නීති විරෝධී වැඩත් කළා. මටත් මගේ යාළුවන්ටත් වදයක් වෙලා හිටිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනෙක්ට මම දවසක් ගැහුවා. එදා මම මත් වෙනකල් බීලයි හිටියේ. අන්තිමට ඒ අයගෙන් මම හොඳටම ගුටි කෑවා.

මම ගොඩක් දුක් වින්දේ මම කිට්ටුවෙන්ම ආශ්‍රය කළ අය නිසයි. මම යාළුවෙලා හිටිය ගෑනු ළමයා මටත් හොරෙන් මගේම යාළුවෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වනවා කියලා මට දැනගන්න ලැබුණා. මගේ අනික් යාළුවෝ ඒ ගැන දැනගෙන හිටියත් මට ඒ ගැන කිව්වේ නැහැ. මම හොඳටම කලකිරිලයි හිටියේ.

මම ආයෙත් පුන්ටා ඇරිනාස්වලට ගියා. එහෙදී මම සංගීතය ඉගැන්නුවා. වයලීන් වාදකයෙක් විදිහටත් වැඩ කළා. ඒ වෙද්දීත් මම හෙවි මෙට්ල් සහ ඩෙත් මෙට්ල් සංගීත කණ්ඩායමක හිටියා. එහෙදී මට ලස්සන ගෑනු ළමයෙක්ව මුණගැහුණා. එයාගේ නම සූසන්. අපි දෙන්නා එකට ජීවත් වුණා. සූසන්ගේ අම්මා ත්‍රිත්වය විශ්වාස කළත් මම ඒක විශ්වාස කළේ නැති නිසා සූසන් මගෙන් ඇහුවා “කවුද හරි” කියලා. මම එයාට කිව්වා ත්‍රිත්වයක් නැහැ කියලා. ඒත් බයිබලයෙන් ඒක පෙන්වන්න මට පුළුවන් වුණේ නැහැ. ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ඒ ගැන අහන්න කියලා මම එයාට කිව්වා. අපිට උදව් කරන්න කියලා මම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. මම එදා දෙවිට යාච්ඤා කළේ අවුරුදු ගානකට පස්සෙයි.

ටික දවසකට පස්සේ හොඳට හුරුපුරුදු කෙනෙක්ව මම දැක්කා. මම එයාගෙන් ඇහුවා එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ද කියලා. මගේ පෙනුම දැකලා එයා කලබල වුණත් සාක්ෂිකරුවන් රැස්වීම් පවත්වන තැන ගැන මම ඇහුවාම එයා මට ඒ තැන කිව්වා. මගේ යාච්ඤාවට දෙවි උත්තර දුන්නා කියලා මට තේරුණා. සාක්ෂිකරුවන්ගේ රැස්වීමට මම ගියා. එදා මම ඉඳගත්තේ පිටිපස්සෙම තිබුණු පුටු පේළියේයි. මට ඕන වුණේ ටිකක් හැංගිලා වගේ ඉන්නයි. හැබැයි පොඩි කාලේ මාව දැකලා තිබුණ අය මාව අඳුරගෙන මාව ආදරයෙන් පිළිගත්තා. ඒ වෙලාවේ මට දැනුණේ පුදුම සහනයක්. මට දැනුණේ හරියට මගේ ගෙදර ආවා වගේ. මම පුංචි කාලෙදී මට බයිබලය ගැන කියලා දුන්න කෙනාත් එතන හිටියා. මම එයාට කිව්වා ආයෙත් මට බයිබලය ගැන උගන්වන්න කියලා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: දවසක් මම හිතෝපදේශ 27:11හි තියෙන ‘මාගේ පුත්‍රය, ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න’ යන පදය කියෙව්වා. අපි වගේ පව්කාරයන්ට විශ්වයේ නිර්මාතෘ වන දෙවිව සතුටු කරන්න පුළුවන් කියලා දැනගත්තාම මට පුදුමත් හිතුණා. මට අහිමි වුණ පිය සෙනෙහස යෙහෝවා දෙවිගෙන් ලබන්න පුළුවන් කියලා මම දැනගත්තා.

එදා ඉඳලා මම උත්සාහ කළා දෙවිව සතුටු කරන්න. හැබැයි ඒ වෙන කොට මම මත්පැන්වලටත් මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වෙලයි හිටියේ. කාලයක් යන කොට මට තේරුණා මතෙව් 6:24 තියෙන විදිහට ‘ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න බැහැ’ කියලා. ඒ නිසා මගේ ජීවිතයේ වෙනස්කම් කරන්න මම ලොකු වෑයමක් දැරුවා. ඒ දේවල් කරන්න නම් 1 කොරින්ති 15:33 කියන විදිහට නරක ආශ්‍රයෙන් අයින් වෙන්න ඕනේ කියලා මට තේරුණා. ඒ නිසා මගේ පරණ යාළුවන්ව ආශ්‍රය කරන එක මම නතර කළා. බයිබලයේ තියෙන විදිහට දෙවිව සතුටු කරන්න නම් මට බාධාවක් වෙන හැමදේම ඉවත් කරන්න ඕනේ කියලා මම තේරුම්ගත්තා.—මතෙව් 5:30.

මම සංගීතයට හුඟක් ප්‍රිය කළ නිසා හෙවි මෙට්ල් සංගීතය වාදනය කරන එක නතර කරන්න ලේසි වුණේ නැහැ. ඒත් ඒක නතර කරන්න සාක්ෂිකරුවන් අතරේ හිටිය යාළුවෝ මට උදව් කළා. සීමාව ඉක්මවලා මත්පැන් ගන්න එකත් මත්ද්‍රව්‍ය බොන එකත් මම නතර කළා. මම කොණ්ඩේ කොටට කපලා රැවුලත් කැපුවා. කලු පාට ඇඳුම් විතරක් අඳින එකත් නතර කළා. මේ වෙනස්කම්වලට හේතුව දැනගන්න සූසන්ට ඕන වුණා. ඒ නිසා එයා කිව්වා “සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලදී මොනවද වෙන්නේ කියලා බලන්න මමත් එනවා” කියලා. එතැනට ගියාම එයා හුඟක් සතුටු වුණා. එදා ඉඳලා එයත් බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තා. ඊටපස්සේ අපි දෙන්නා නීත්‍යනුකූලව විවාහ වුණා. අපි දෙන්නා 2008දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට බව්තීස්ම වුණා. දැන් අපි දෙන්නා මගේ අම්මත් එක්ක සතුටින් දෙවිට සේවය කරනවා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: කලින් ජීවිතය ගත කරපු විදිහෙන් මට කිසිම සතුටක් ලැබුණේ නැහැ. මම තාමත් සංගීතයට ආසයි. හැබැයි මම දැන් තෝරලා බේරලයි සංගීතයට සවන් දෙන්නේ. සභාවේ අයට විශේෂයෙන්ම සභාවේ ඉන්න යෞවනයන්ට උගන්වන්න මම මගේ අද්දැකීම පාවිච්චි කරනවා. මේ ලෝකයේ ලස්සනයි කියලා පේන්න තියෙන දේවලින් සැබෑ සතුට ලබන්න බැහැ කියලත් ඒ දේවල් “කුණු ගොඩක්” විතරයි කියලත් මම ඒ අයට කියනවා.—ෆිලිප්පි 3:8.

දැන් මට සාක්ෂිකරුවන් අතරේ සැබෑ මිත්‍රයන් ඉන්නවා. ඒක මට ලොකු සතුටක්. මට අහිමි වුණ පිය සෙනෙහස යෙහෝවා දෙවිගෙන් මට දැන් ලැබෙනවා.

[පාදසටහන]

^ 14 ඡේ. වර්ෂ 2000 පෙබරවාරි 1 මුරටැඹ කලාපයේ 4වන පිටුවේ සඳහන් “නොපසුබස්නා උත්සාහයෙන් ජයගන්න” නමැති ලිපිය බලන්න.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘මට යෙහෝවා දෙවිට ළං වෙන්න පුළුවන් වුණේ දෙවි මා තුළ ඒ සඳහා ආශාවක් ඇති කළ නිසයි’