Skip to content

පටුනට යන්න

අනුකරණය කිරීමට වටිනා ආදර්ශ

ආදර්ශවත් පියෙක්!

ආදර්ශවත් පියෙක්!

මුළු බෙත්ලෙහෙම් නගරයම අන්ධකාරයෙන් වැසී තිබියදී යෝසෙප් තම බූරුවා පිටේ බඩු පටවනවා. ඒ අතරතුර ඔහු නගරය දෙසත් බර දරා සිටින බූරුවා දෙසත් බලනවා. ඔහු මේ සූදානම් වන්නේ ඊජිප්තුවට යෑමටයි. එය ඉතා දුර ගමනක්. එහි සිටින මිනිසුන් කතා කරන භාෂාවත් ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍රත් වෙනස්. එවැනි තත්වයකට හුරු වෙන්න ඔහුගේ පවුලේ අයට හැකි වෙයිද කියා ඔහු කල්පනා කරන්න ඇති.

ඔහු ඊජිප්තුවට යෑමට තීරණය කළේ හෙරොද් රජ ඔහුගේ දරුවාව මරන්න සොයන නිසයි. ඒ බව මරියාට පැවසීම යෝසෙප්ට ලේසි දෙයක් නොවුණත් ඔහු ධෛර්යය උපදවාගෙන එය මරියාට පැවසුවා. යෝසෙප්ට එය දැනුම් දුන්නේ යෙහෝවා දෙවියි. තත්වය දරුණු වූ නිසා ඔවුන් ඒ අවස්ථාවේදීම පිටත් විය යුතු වුණා. (මතෙව් 2:13, 14) මරියා සිටියේ කනස්සල්ලෙන්. තම අහිංසක දරුවාව මරණයට පත් කිරීමට කෙනෙක් උත්සාහ කිරීම මරියාට සහ යෝසෙප්ට සිතාගැනීමටවත් නොහැකි දෙයක්. නමුත් දෙදෙනාම යෙහෝවා දෙවිට කීකරු වුණා.

බෙත්ලෙහෙමේ වැසියන් නිදා සිටින අතරතුර යෝසෙප් සහ මරියා යේසුස්ව රැගෙන පිට වෙනවා. ඔවුන් උතුරු දෙසට ගමන් කරද්දී නැඟෙනහිර දෙසින් හිරු නැග එනවා. කුමක් සිදු වෙයිද කියා යෝසෙප් දැන සිටියේ නැහැ. යෝසෙප් මෙන් අහිංසක වඩුවෙකු බලවත් රජෙකුගෙන් ගැලවෙන්නේ කොහොමද? දන්නා හඳුනන කිසිවෙකුවත් නැති දේශයකදී තම පවුලේ අයගේ අවශ්‍යතා සැපයීමට ඔහුට හැකි වෙයිද? යේසුස්ව රැකබලා ගැනීමට යෙහෝවා දෙවි තමාට දී තිබෙන පැවරුම දිගටම ඉටු කිරීමට ඔහුට හැකි වෙයිද? එවැනි අභියෝග රැසක් යෝසෙප් ඉදිරියේ තිබුණා. යෝසෙප් ඒ සෑම අභියෝගයකටම මුහුණ දුන් ආකාරය අපි දැන් බලමු. පියවරුන් ඇතුළු අප සියලුදෙනාටම යෝසෙප්ගේ ආදර්ශය අනුකරණය කළ හැකි ආකාරය එහිදී අපට ඉගෙනගත හැකියි.

පවුල ආරක්ෂා කරයි

ඉහත සිදුවීම්වලට මාස ගණනාවකට පෙර සිදු වුණේ කුමක්ද කියා අපි බලමු. යෝසෙප් හේලිගේ දුව වූ මරියා සමඟ විවාහ ගිවිසගත්තා. ඇය අහිංසක මෙන්ම ගුණයහපත් කාන්තාවක් කියා යෝසෙප් දැන සිටියා. නමුත් ඇය ගැබ්ගෙන සිටින බව දැනගත් විට ඇයව දික්කසාද කිරීමට ඔහු තීරණය කළා. අන් අය එය දැනගැනීමෙන් ඇයට අපහාසයක් සිදු වෙයි කියා සිතූ ඔහු ඇයව රහසින් දික්කසාද කිරීමට සැලසුම් කළා. * නමුත් මරියා ගැබ්ගෙන සිටින්නේ දෙවිගේ බලය මාර්ගයෙන් බව දේවදූතයෙක් ඔහුට සිහිනයක් මාර්ගයෙන් දැනුම් දුන්නා. ඒ වගේම මරියා බිහි කරන දරුවා ‘ජනයාව ඔවුන්ගේ පාපවලින් ගලවාගන්නා’ බවත් දේවදූතයා ඔහුට පැවසුවා. ඒ නිසා ‘කිසි දෙයකට භය නොවී ඔබේ බිරිඳ වන මරියාව නිවසට කැන්දාගෙන යන්න’ කියා දේවදූතයා ඔහුට පැවසුවා.—මතෙව් 1:18-21.

ධර්මිෂ්ඨ මෙන්ම කීකරු මිනිසෙකු වූ යෝසෙප් තමන්ට ලැබුණු බරපතළ පැවරුම භාරගත්තා. යේසුස් තමන්ගේ දරුවෙකු නොවුණත් දෙවිට වටිනාම තැනැත්තා වූ ඔහුව රැකබලා ගැනීමේ වගකීම යෝසෙප් කරට ගත්තා. මරියා ගැබ්ගෙන සිටි කාලයේදී සංගණනයක් ගැනීමට ආණ්ඩුවෙන් නියෝගයක් නිකුත් කර තිබූ නිසා යෝසෙප් ඇයවත් රැගෙන බෙත්ලෙහෙම බලා පිටත් වුණා. ඇය දරුවා බිහි කළේ එහිදියි. *

නැවත නාසරෙත්වලට නොගොස් බෙත්ලෙහෙමේ නැවතී සිටින්න යෝසෙප් තීරණය කළා. ඔවුන් දුප්පත් අය වුණත් මරියාට සහ යේසුස්ට දුකක් නොදී රැකබලා ගැනීමට යෝසෙප් තමන්ට හැකි සෑම දෙයක්ම කළා. යේසුස්ට අවුරුදු දෙකකට ආසන්න වන විට ඔවුන්ට හදිසියේම බලාපොරොත්තු නොවූ දෙයකට මුහුණ දීමට සිදු වුණා.

නැඟෙනහිර පළාතෙන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් කිහිපදෙනෙක් ඔවුන්ගේ නිවසට පැමිණියා. ඔවුන් පැමිණියේ ඉතා දුරින් පිහිටි බැබිලෝනියෙන් විය හැකියි. ඔවුන්ට මඟ පෙන්නුවේ තරුවක්. ඔවුන්ට අවශ්‍ය වුණේ යුදෙව්වන්ගේ රජ බවට පත් වන දරුවාව දැක ගැනීමටයි.

ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් දැන සිටියත් නැතත් ඔවුන් කළේ යේසුස්ගේ ජීවිතය අනතුරේ හෙළීමයි. ඔවුන්ට මඟ පෙන්වූ තාරකාව ඔවුන්ව මුලින්ම රැගෙන ගියේ දුෂ්ට හෙරොද් රජු වෙතටයි. අනාගතයේ යුදෙව්වන්ගේ රජ වීමට නියමිත දරුවාව බැලීමට යන බව එහිදී ඔවුන් ඔහුට පැවසුවා. එය ඇසූ හෙරොද් රජුට මහත් කෝපයක් ඇති වුණා. කොහොමවුණත් දරුවා සිටින තැන තමන්ටද දැනුම් දෙන ලෙස රජ ඔවුන්ට පැවසුවා.—29වන පිටුවේ සඳහන් පාඨකයන් අසයි යන ලිපිය බලන්න.

පසුව ඔවුන් යේසුස්ව බැලීමට ගොස් ඔහුට වටිනා දේවල් තෑගි කළා. හදිසියේම නාඳුනන පිරිසක් පැමිණ ‘රන්, කට්ටකුමංජල් සහ සුවඳ ලාටු’ වැනි වටිනා දේ දීම ගැන යෝසෙප් සහ මරියා පුදුම වුණා. ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට වෙනත් මාර්ගයකින් ගමරට බලා යන ලෙස දෙවි ඔවුන්ට දැනුම් දුන් නිසා ඔවුන් නැවත හෙරොද් රජු වෙතට ගියේ නැහැ. ඒ නිසා යේසුස්ගේ ජීවිතය බේරුණා.—මතෙව් 2:1-12.

ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් පිටව ගිය පසු දේවදූතයෙක් යෝසෙප්ට මෙසේ පැවසුවා. “නැඟිටින්න, කුඩා දරුවාද ඔහුගේ මවද රැගෙන ඊජිප්තුවට පලා යන්න. මා ඔබට කියන තුරු එහි නැවතී සිටින්න. මන්ද හෙරොද් කුඩා දරුවාව මරා දැමීමට සොයමින් සිටියි.” (මතෙව් 2:13) මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ ආකාරයට යෝසෙප් ඊට කීකරු වී තම පවුලත් රැගෙන ඊජිප්තුව බලා පිටත් වුණා. ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ගෙන් ඔවුන්ට ලැබුණු වටිනා වස්තුව ඊජිප්තුවේ ජීවත් වීමට ඔවුන්ට උපකාරවත් වුණා.

යේසුස්ගේ ජීවිත කතාව ගැන ලියැවුණු මිත්‍යා කතා හා පුරාවෘත්තවල යෝසෙප් සිය පවුල සමඟ ඊජිප්තුවට ගිය ගමන අතිශයෝක්තියෙන් විස්තර කර තිබෙනවා. යේසුස් ආශ්චර්යවත් ලෙස ගමන කෙටි කළ බවත් මංකොල්ලකරුවන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කළ බවත් මරියා ගමන් කරන විට මඟ දෙපස තිබූ රටඉඳි ගස් ඇය දෙසට නැමී ගෙඩි කඩාගැනීමට අවස්ථාව සලසා දුන් බවත් ඒවායේ විස්තර කරනවා. * නමුත් ඇත්තටම ඔවුන් ගියේ ඉතා දුෂ්කර දිගු ගමනක්.

දෙමාපියන්ට යෝසෙප්ගෙන් බොහෝ දේ ඉගෙනගත හැකියි. ඔහු තම පවුලේ යහපත වෙනුවෙන් ඔහුගේ විවේකය කැප කළ අතර ඔහු කරමින් සිටි වැඩකටයුතුද අතරමඟ නතර කළා. ඔහු පවුලේ වගකීම් සැලකුවේ යෙහෝවා දෙවි ඔහුට විශ්වාසයෙන් යුතුව භාර දුන් පරිශුද්ධ දෙයක් ලෙසයි. අද දින සිටින දෙමාපියන්ටද ඔවුන්ගේ දරුවන්ව හදා වඩා ගැනීමට සිදු වී තිබෙන්නේ ඉතා දූෂිත විනාශකාරී ලෝකයකයි. විශේෂයෙන්ම යෞවනයන් සිටින්නේ දැඩි අනතුරකයි. යෝසෙප් හා සමානව වර්තමානයේ සිටින මව්වරුන් හා පියවරුන්ද ඔවුන්ගේ දරුවන්ව නරක බලපෑම්වලින් ආරක්ෂා කිරීමට පියවර ගැනීම පැසසිය යුත්තක්.

පවුලේ අවශ්‍යතා පිරිමසයි

යෝසෙප් ඊජිප්තුවේ සිටියදී හෙරොද් මිය ගිය බව දේවදූතයෙක් ඔහුට දැනුම් දුන්නා. ඉන්පසු ඔහු සිය පවුල සමඟ නැවත තම රටට යෑමට තීරණය කළා. එම සිදුවීම නිසා “ඊජිප්තුවෙන් මාගේ පුත්‍රයාව මම කැඳවාගතිමි” කියා පවසා තිබූ අනාවැකිය ඉටු වුණා.—මතෙව් 2:15.

හෙරොද්ගෙන් පසුව රජකම් කළේ ආකෙලාවුස්. ඔහුත් හෙරොද් මෙන් ඉතා දුෂ්ට හා දරුණු පුද්ගලයෙක්. ඒ නිසා යෝසෙප් යුදයට යෑමට බිය වුණා. යුදයට නොයන ලෙස දෙවිද ඔහුට දැනුම් දුන්නා. පසුව යෝසෙප් සිය පවුල සමඟ නාසරෙත්වලට පදිංචියට ගියා.—මතෙව් 2:19-23.

යෝසෙප් සහ මරියා ගත කළේ ඉතා සරල ජීවිතයක්. යෝසෙප් වඩුවෙක්. ඒ කාලයේ වඩුවෙක් ඔහුට අවශ්‍ය ලී ලබාගැනීමට ගස් කපා ඒවා රැගෙන ඇවිත් ලී ඉරා ඒවා පදම් කළා. එසේ සකසාගත් ලීවලින් නිවෙස්, බෝට්ටු, කුඩා පාලම්, කරත්ත, රෝද, වියගස් සහ ගොවි උපකරණ සෑදුවා. (මතෙව් 13:55) වඩුවෙකු ලෙස වැඩ කිරීම ඉතා වෙහෙසකර කාර්යයක්. පුරාණ කාලයේ වඩුවන් තම වඩුමඩුව සාදාගත්තේ තම නිවෙස් ආසන්නයේයි.

යෝසෙප් සතුව විවිධ ආයුධ තිබුණා. සමහර ඒවා ඔහුගේ පියාගෙන් ඔහුට ලැබුණා විය හැකියි. මුළු මට්ටමක්, කෙටේරියක්, කියතක්, මිටියක්, අතකොලුවක්, වෑයක්, බුරුමයක්, විවිධ මැලියම් වර්ග ඒ අතර වුණා. ඒ කාලයේදී ඇණ ඉතා මිල අධික වුණත් ඔහු ළඟ ඇණ කිහිපයක්ද තිබෙන්න ඇති.

යෝසෙප් වෙහෙසී වැඩ කරන විට කුඩා දරුවෙක්ව සිටි යේසුස් ඒ දෙස උනන්දුවෙන් බලා සිටින ආකාරය සිතින් මවාගන්න. ඔහු කරන සෑම කාර්යයක්ම යේසුස් හොඳින් නිරීක්ෂණය කරන්න ඇති. යෝසෙප් දක්ෂ ලෙස ලී බඩු සාදන ආකාරය ඔහු දකින්න ඇති. සමහරවිට යෝසෙප් ඔහු සෑදූ ලී බඩු සුමට කිරීම වැනි සුළු සුළු කාර්යයන් කරන ආකාරය යේසුස්ට උගන්වන්න ඇති. ලී සුමට කිරීමට ඔවුන් යොදාගත්තේ හොඳින් වියළන ලද මාළුන්ගේ හමයි. අත්තික්කා, ඕක් සහ ඔලීව වැනි ලීවල වෙනස හඳුනාගන්නා ආකාරයද ඔහු යේසුස්ට කියා දෙන්න ඇති.

යෝසෙප් වඩුවෙක් වූ නිසා ඔහුගේ අත් ගොරෝසු වී ඇති ආකාරය යේසුස් දකින්න ඇති. ඒ වුණත් යෝසෙප් තම පවුලේ අයව ආදරයෙන් වැලඳගනිද්දී දැනෙන සහනය යේසුස් අද්දකින්න ඇති. යේසුස්ට අමතරව යෝසෙප්ට සහ මරියාට තවත් දරුවන් හයදෙනෙක් සිටියා. (මතෙව් 13:55, 56) ඔවුන්ගේ අවශ්‍යතා සැපයීමට යෝසෙප් වෙහෙස මහන්සි වී වැඩ කළා.

නමුත් වඩාත් වැදගත් දේ වන්නේ තම පවුලේ අයට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට උපකාර කිරීම බව යෝසෙප් හොඳින් දැන සිටියා. ඒ නිසා දෙවි ගැනත් ඔහුගේ නීති ගැනත් තම පවුලේ අයට උගන්වන්න ඔහු කාලය වැය කළා. දෙවිගේ නීතිය කියවා එය තේරුම් කර දෙන ස්ථානය වන සිනගෝගයට තම දරුවන් රැගෙන යෑමට යෝසෙප් සහ මරියා අමතක කළේ නැහැ. එසේ සිනගෝගයට ගොස් පැමිණි පසු යේසුස්ට අසන්න ප්‍රශ්න රාශියක් තිබූ බව ස්ථිරයි. යෝසෙප් ඒවාට ඔහුගේ දැනුමට අනුව පිළිතුරු සපයන්න ඇති. වාර්ෂිකව යෙරුසලමේ පවත්වන උත්සවවලටද යෝසෙප් තම පවුලේ අයව රැගෙන ගියා. පාස්කු උත්සවයට සහභාගි වීමට ඔවුන්ට සති දෙකක පමණ කාලයක් වැය කරන්න සිදු වුණා. ඒ සඳහා යෙරුසලමට ගොස් නැවත පැමිණෙන්න ඔවුන් කිලෝමීටර 112ක පමණ දුරක් ගමන් කළා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින පියවරුන්ද යෝසෙප්ගේ ආදර්ශය අනුගමනය කරනවා. ඔවුන් තම පවුලේ අයට දෙවි ගැන උගන්වන්න අවශ්‍ය සෑම දෙයක්ම කරනවා. එය පවුලේ එදිනෙදා අවශ්‍යතා සහ අනිකුත් දේවල් සැපයීමට වඩා වැදගත් බව පියවරුන් වටහාගෙන සිටිනවා. තම දරුවන්ව රැස්වීම් හා එක්රැස්වීම්වලට රැගෙන යෑමට ඔවුන් උපරිමයෙන් වෑයම් කරනවා. දරුවන් වෙනුවෙන් දෙමාපියන්ට කළ හැකි වටිනාම දේ එය බව ඔවුන් වටහාගෙන සිටිනවා.

“අපි හිටියේ ලොකු භයකින්”

අවුරුදු 12දීත් යෝසෙප් යේසුස්ව පාස්කු උත්සවයට රැගෙන ගියා. සරුසාරව තිබුණු ගොවි බිම් හරහා ගැල් පටවාගෙන විශාල පිරිසක් එකට ගමන් කළා. ඔවුන් යෙරුසලමට ළං වූ විට සියලුදෙනාම ගීතිකා ගායනා කළා. (ගීතාවලිය 120-134) ඒ කාලයේදී නගරය ජනයාගෙන් පිරී තිබෙන්න ඇති. උත්සවයෙන් පසු ඔවුන් නැවත තම ගම්බිම් බලා පිටත් වුණා. මේ අතර සිටි යෝසෙප් සහ මරියා සිතුවේ යේසුස් තම නෑදෑයන් සමඟ පැමිණෙනවා ඇති කියලයි. නමුත් යේසුස් නැති වී ඇති බව යෝසෙප් සහ මරියා දැනගත්තේ දවසක් පමණ ගමන් කළ පසුයි.—ලූක් 2:41-44.

ඔවුන් යේසුස්ව සොයා විගස යෙරුසලම බලා පිටත් වුණා. පාළුවට ගිය ප්‍රදේශය හරහා තම පුතාගේ නම කියා කෑගසමින් ඔවුන් යේසුස්ව සෑම තැනකම සොයන ආකාරය සිතින් මවාගන්න. දින තුනක් පුරා සෙව්වත් යේසුස්ව සොයාගැනීමට නොහැකි වූ නිසා යෙහෝවා දෙවි තමන්ට විශ්වාසයෙන් භාර දුන් කාර්යය ඉටු කිරීමට තමන්ට නොහැකි වුණාද කියා යෝසෙප් සිතන්න ඇති. අවසානයේදී ඔවුන් දේවමාලිගාවට ගියා. දේවමාලිගාවේ සෑම තැනම යේසුස්ව සෙවූ ඔවුන් අන්තිමට නීතිය ගැන දැනුමක් ඇති පිරිසක් මැද යේසුස් සිටින ආකාරය දුටුවා. එවිට යෝසෙප්ට සහ මරියාට මොන තරම් සහනයක් දැනෙන්න ඇද්ද!—ලූක් 2:45, 46.

යේසුස් එම උගතුන් පවසන දේට ඇහුම්කන් දෙමින් ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින් සිටියා. යේසුස්ගේ දැනුම සහ තමන් ඇසූ ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරු ගැන ඔවුන් පුදුම වුණා. නමුත් මරියා සහ යෝසෙප් ඒ මොහොතේ සිටියේ හරිම කනස්සල්ලෙන්. ඒ අවස්ථාවේදී යෝසෙප් යේසුස්ගෙන් යමක් ඇසූ බව බයිබලයේ වාර්තා වන්නේ නැහැ. නමුත් මරියා යේසුස්ගෙන් මෙසේ ඇසුවා. “පුතේ, ඇයි ඔයා අපිට මේ වගේ දෙයක් කළේ? තාත්තයි මමයි ඔයාව හොයන්න කොයි තරම් මහන්සි වුණාද! අපි හිටියේ ලොකු භයකින්.”—ලූක් 2:47, 48.

දෙමාපියන්ට තිබෙන්නේ මොන තරම් බරපතළ වගකීමක්ද කියා එම සිද්ධියෙන් පැහැදිලියි. දරුවා පරිපූර්ණ කෙනෙක් වුණත් ඒ දෙමාපියන්ට දැඩි මානසික පීඩනයක් දැනුණා. මේ දුෂ්ට ලෝකයේ සිටින දෙමාපියන්ටත් ඔවුන්ගේ දරුවන්ව හදා වඩා ගැනීමේදී මානසික පීඩනයක් දැනෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට මුහුණ දීමට සිදු වන අභියෝග ගැන දෙවිට හොඳ අවබෝධයක් තිබෙන බව දැන සිටීම මව්වරුන්ට සහ පියවරුන්ට මහත් සහනයක්!

යේසුස් ඒ අවස්ථාවේදී සිටියේ ඔහු සිටිය යුතු සුදුසුම ස්ථානයේයි. දේවමාලිගාවේ සිටියදී දෙවි තමන්ට කොතරම් සමීපද කියා ඔහුට දැනෙන්න ඇති. දෙවි ගැන සෑම දෙයක්ම ඉගෙනගැනීමට ඔහුට දැඩි උනන්දුවක් තිබුණා. ඔහු තම දෙමාපියන්ට මෙසේ පිළිතුරු දුන්නේ ඒ නිසයි. “මාව හොයන්න මේ තරම් මහන්සි වුණේ ඇයි? මගේ පියාණන්ගේ ගෘහයේ මා සිටිය යුතුයි කියා ඔබ දැනගෙන සිටියේ නැද්ද?”—ලූක් 2:49.

යේසුස් පැවසූ එම වචන ගැන යෝසෙප් නිතර නිතර කල්පනා කරන්න ඇති. එම වචනවල අර්ථය කාලයත් සමඟ ඔහුට අවබෝධ වූ බවට කිසිම සැකයක් නැහැ. යෙහෝවා දෙවි ගැන යේසුස් තුළ තිබූ එම ආකල්පය දිගටම තබාගැනීමට යෝසෙප් ඔහුට උපකාර කළ බව ස්ථිරයි. යේසුස් කුඩා දරුවෙකුව සිටි කාලයේදීත් පිය සෙනෙහස කොයි වගේද කියා හොඳින් දැන සිටියා. ඒ සඳහා ඔහුට බොහෝ සෙයින් උපකාරවත් වුණේ යෝසෙප් ඔහු කෙරෙහි දැක්වූ සැලකිල්ලයි.

පියෙක් තම දරුවන්ට මොන තරම් ප්‍රේමයක් දක්වනවාද, ඔවුන්ව ආරක්ෂා කිරීමට කොයි තරම් වෙහෙසෙනවාද යන කාරණය ඔබේ දරුවන්ට අවබෝධ කර දීම වරප්‍රසාදයක් බව ඔබ තේරුම්ගෙන සිටිනවාද? ඔබ හදා වඩා ගන්නේ ඔබේම දරුවන් නොවුණත් යෝසෙප්ගේ ආදර්ශය අනුකරණය කරමින් ඔවුන් එක් එක් කෙනා වටිනා අය ලෙස සලකන්න. ඔවුන්ට ඔවුන්ගේ ස්වර්ගික පියා වන යෙහෝවා දෙවි සමඟ සමීප බැඳීමක් ඇති කරගැනීමට උපකාර කරන්න.

උත්සාහය අත්හැරියේ නැහැ

යේසුස් “දිගටම [දෙමාපියන්ට] කීකරු වී සිටි” බවත් ඔහු ‘ප්‍රඥාවෙන් සහ උස මහතින්ද දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි හොඳ නමක් දිනාගනිමින්ද වැඩුණු’ බවත් බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 2:51, 52) ඉන් යෝසෙප් ගැන කාරණා කිහිපයක් ඉගෙනගත හැකියි. යෝසෙප් පවුලේ මූලිකයා ලෙස දිගටම තම කාර්යය හොඳින් ඉටු කළ බව ඉන් පැහැදිලි වෙනවා. පරිපූර්ණ පුද්ගලයෙකු වූ යේසුස් පවා ඔහුගේ මූලිකත්වයට ගරු කරමින් ඔහුට යටත්ව සිටියේ ඒ නිසයි.

යේසුස් ප්‍රඥාවෙන් වැඩුණු බව ඉහත බයිබල් පදයේ සඳහන් වෙනවා. ඒ සඳහා යෝසෙප් ඔහුට උපකාර කළ බව ස්ථිරයි. නමුත් වඩුවන්, ගොවීන්, කම්මල්කරුවන් වැනි අය ප්‍රඥාවන්තයන් නොවන බවත් ඔවුන්ට යුක්තිය හා විනිශ්චය කිරීමේ හැකියාව නොමැති බවත් එවැනි හැකියාවක් තිබෙන්නේ උගත් හා බුද්ධිමත් අය තුළ පමණක් බවත් ඒ කාලයේ සිටි යුදෙව්වන් සිතුවා. නමුත් යේසුස් එම අදහස වැරදි බව ඔප්පු කළා. ඔහු දරුවෙකුව සිටි කාලයේදී යෝසෙප් යෙහෝවා දෙවිගේ යුක්තිය හා නීති ප්‍රතිපත්ති ගැන ඔහුට ඉගැන්නුවා.

යේසුස්ව ශක්තිමත්, සෞඛ්‍ය සම්පන්න දරුවෙක් ලෙස ඇතිදැඩි කිරීමට යෝසෙප් වෙහෙසී වැඩ කරන්න ඇති. ඒ වගේම යේසුස්ට දෑතේ වැඩ පුහුණු කිරීමට යෝසෙප් උනන්දු වී ක්‍රියා කළා. යේසුස්ව වඩුවාගේ පුත්‍රයා ලෙස පමණක් නොව “වඩුවෙක්” කියා සඳහන් කර තිබීමෙන් එය පැහැදිලියි. (මාක් 6:3) අද දින සිටින පවුල් මූලිකයන්ද යෝසෙප්ගේ ආදර්ශය අනුගමනය කරමින් තම දරුවන්ට ඔවුන්ටම කියා ආදායම් මාර්ගයක් ලබාගැනීමට හැකි වන ලෙස යම් පුහුණුවක් ලබා දීමට පියවර ගන්නවා.

යේසුස් අවුරුදු 30දී බව්තීස්ම වී දෙවිට සේවය කිරීම ආරම්භ කරන විට යෝසෙප් මිය ගොස් සිටියා විය හැකියි. (“යෝසෙප් මිය ගියේ කවදාද” යන කොටුව බලන්න.) තම පවුලේ අයව ආරක්ෂා කළ, ඔවුන්ට අවශ්‍ය දේ සැපයූ, උත්සාහය අත් නොහැරිය පියෙකු ලෙස යෝසෙප් හොඳ ආදර්ශයක් තැබුවා. පවුල් මූලිකයන්, පියවරුන් සහ ක්‍රිස්තියානීන් සියලුදෙනාටම ඔහු ඉතා වටිනා ආදර්ශයක්!

[පාදසටහන්වල]

^ 7 ඡේ. ඒ කාලයේදී විවාහ ගිවිසගැනීම සැලකුවේ විවාහ වීම හා සමාන දෙයක් ලෙසයි.

^ 8 ඡේ. වර්ෂ 2008 ඔක්තෝබර් 1 මුරටැඹ කලාපයේ “ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරමු—ඇය ගැඹුරින් කල්පනා කළා” යන ලිපිය බලන්න.

^ 14 ඡේ. යේසුස් තම පළමු ආශ්චර්යය සිදු කළේ ඔහුගේ බව්තීස්මයෙන් පසුව බව බයිබලයේ සඳහන් වෙනවා. (යොහන් 2:1-11) යේසුස් ගැන ලියැවුණු මිත්‍යා කතා ගැන දැනගැනීමට 18වන පිටුවේ සඳහන් “ඉතිහාසය වෙනස් වෙයිද?” යන ලිපිය බලන්න.

[27වන පිටුවේ පින්තූරය]

යෝසෙප් මිය ගියේ කවදාද?

යේසුස්ට අවුරුදු 12දී යෝසෙප් ජීවතුන් අතර සිටියා. ඒ වයසේදී බොහෝ යුදෙව් දරුවන් ඔවුන්ගේ පියවරුන්ගේ රැකියාව ඉගෙනගන්නවා. අවුරුදු 15 පමණ වන විට ඔවුන් ආධුනිකයන් ලෙස වැඩ කරනවා. යෝසෙප්ද යේසුස්ට කුඩා කාලයේ සිට වඩු වැඩ ඉගැන්නුවා. නමුත් යේසුස් අවුරුදු 30දී බව්තීස්ම වන විට යෝසෙප් ජීවතුන් අතර සිටියාද? යේසුස්ගේ බව්තීස්මයෙන් පසුව බයිබලයේ සඳහන් වන්නේ ඔහුගේ මව සහ සහෝදර සහෝදරියන් ගැන පමණයි. ඒ කාලයේදී යේසුස්ව හැඳින්නුවේ “මරියාගේ පුතා” ලෙසයි. (මාක් 6:3) මරියා තනිවම තීරණයක් ගත් අවස්ථාවක් ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. (යොහන් 2:1-5) ඒ වන විට යෝසෙප් ජීවතුන් අතර සිටියා නම් ඇය එවැනි දෙයක් කරයිද? ඒ විතරක් නොවෙයි යේසුස් මිය යන්න පෙර තම මවව රැකබලා ගැනීමේ වගකීම යොහන්ට භාර දුන්නා. (යොහන් 19:26, 27) ඒ වන විට යෝසෙප් ජීවතුන් අතර සිටියා නම් යේසුස් එසේ කරයිද? ඒ තොරතුරුවලින් පැහැදිලි වන්නේ යේසුස් යෞවනයෙක්ව සිටියදී යෝසෙප් මිය ගොස් ඇති බවයි. යේසුස් බව්තීස්ම වන තෙක් යෝසෙප්ගේ වඩු කර්මාන්තය දිගටම කරගෙන යමින් පවුලේ වැඩිමලා ලෙස පවුල නඩත්තු කළ බවට කිසිම සැකයක් නැහැ.

[24වන පිටුවේ පින්තූරය]

යෝසෙප් තමන් ගැන නොසිතා තම දරුවාව ආරක්ෂා කළා

[25වන පිටුවේ පින්තූරය]

පවුල රැකබලා ගැනීමට යෝසෙප් වෙහෙසී වැඩ කළා

[26වන පිටුවේ පින්තූරය]

යෝසෙප් නිතිපතා තම පවුලේ අයව දේවමාලිගාවට රැගෙන ගියා

[28වන පිටුවේ පින්තූරය]

යෝසෙප්, යේසුස්ට වඩු වැඩ ඉගැන්නුවා