Skip to content

පටුනට යන්න

පියාණන් ගැන එළිදරව් කරන්න පුත්‍රයා කැමතියි

පියාණන් ගැන එළිදරව් කරන්න පුත්‍රයා කැමතියි

පියාණන් ගැන එළිදරව් කරන්න පුත්‍රයා කැමතියි

‘පියාණන්ව හොඳින් හඳුනන්නේ පුත්‍රයා පමණයි. යමෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් පුත්‍රයා ඔහුට පියාණන් ගැන එළිදරව් කරයි.’—ලූක් 10:22.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

දෙවි ගැන එළිදරව් කිරීමට සුදුසුම තැනැත්තා යේසුස් කියා පැවසිය හැක්කේ ඇයි?

යේසුස් තම පියාණන්ව අන් අයට එළිදරව් කළේ කොහොමද?

දෙවිව අන් අයට හෙළි කිරීමේදී යේසුස්ව අනුකරණය කරන්න අපට පුළුවන් කොහොමද?

1, 2. බොහෝදෙනෙකුට තිබෙන්නේ මොන ප්‍රශ්නයද? ඊට හේතුව මොකක්ද?

අද සිටින බොහෝදෙනෙක් දෙවිව විශ්වාස කරනවා කියා පැවසුවත් ‘දෙවි මොන වගේ කෙනෙක්ද’ කියා දන්නේ නැහැ. උදාහරණයකට ත්‍රිත්වය යන ඉගැන්වීම විශ්වාස කරන අයට දෙවි ගැන හරි අවබෝධයක් නැහැ. ඒ ගැන එක් පූජකයෙක් මෙසේ පිළිගත්තා. “මිනිසුන්ට වටහාගන්න පුළුවන් දේවල් සීමිතයි. ත්‍රිත්වය තර්කානුකූලව අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ ඒ නිසයි.” අනික් අතට පරිණාමවාදය පිළිගන්නා බොහෝදෙනෙක් ‘දෙවි කෙනෙක් නැහැ. සියල්ල ඇති වුණේ අහම්බෙන්’ කියා පවසනවා. නමුත් චාල්ස් ඩාවින් පවා දෙවිකෙනෙක් නෑ කියා පැවසුවේ නැහැ. ඒ වෙනුවට ඔහු කිව්වේ “මට හිතෙන විදිහට මේ විෂය ගැන තේරුම්ගන්න තරම් බුද්ධියක් අපිට නැහැ” කියායි.

2 විවිධ ආගම්වල සිටින බොහෝදෙනෙක් දෙවි මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න උත්සාහ කරනවා. නමුත් පැහැදිලි පිළිතුරු සොයාගන්න බැරි නිසා ඔවුන් උත්සාහය අත්හරිනවා. ඊට හේතුව සාතන් ‘මිනිසුන්ගේ මනස් අන්ධ කර තිබීමයි.’ (2 කොරි. 4:4) ඒ නිසා අද බොහෝදෙනෙක් දෙවි ගැන ඇත්ත දන්නේ නැහැ.—යෙසා. 45:18.

3. (අ) දෙවි ගැන අපට එළිදරව් කළේ කවුද? (ආ) මේ ලිපියෙන් සලකා බලන්නේ මොන ප්‍රශ්නද?

3 ‘යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන’ බව බයිබලයේ පවසන නිසා දෙවි මොන වගේ කෙනෙක්ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීම අත්‍යවශ්‍යයි. (රෝම 10:13) දෙවි සැබෑ කෙනෙක් බවත් ඔහුට තිබෙන ගුණාංග ගැනත් අප දැනගත යුතුයි. යේසුස් තම ගෝලයන්ට දෙවි මොන වගේ කෙනෙක්ද කියා එළිදරව් කළා. (ලූක් 10:22 කියවන්න.) වෙන කිසි කෙනෙකුට වඩා දෙවි ගැන එළිදරව් කරන්න යේසුස්ට පුළුවන් වුණේ ඇයි? ඔහු එය කළේ කොහොමද? යේසුස් මෙන් අන් අයට දෙවි ගැන දැනගන්න උපකාර කරන්න අපිට පුළුවන් කොහොමද? දැන් අපි එම ප්‍රශ්නවලට පිළිතුරු සොයා බලමු.

සුදුසුම තැනැත්තා යේසුස්

4, 5. යෙහෝවා දෙවි ගැන එළිදරව් කිරීමට යේසුස් සුදුසුම තැනැත්තා වුණේ ඇයි?

4 දෙවි ගැන එළිදරව් කිරීමට සුදුසුම තැනැත්තා යේසුස් කියා පවසන්න පුළුවන් ඇයි? දේවදූතයන් හා මිනිසුන් ඇතුළු සියල්ල නිර්මාණය කිරීමට පෙර දෙවි නිර්මාණය කළේ ‘ඔහුගේ එකම පුත්‍රයා’ වන යේසුස්වයි. (යොහ. 1:14; 3:18) වෙන කිසිවෙකු නොසිටි අවුරුදු කෝටි ගණන පුරා සිටියේ ඔවුන් දෙදෙනා පමණයි. ඒ කාලය පුරා දෙදෙනා අතර මොන තරම් ළෙන්ගතුකමක් ඇති වෙන්න ඇද්ද! (යොහ. 5:20; 14:31) යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ ගතිගුණ ගැනත් යේසුස් ඒ කාලය තුළ හොඳින් ඉගෙනගත් බවට සැකයක් නැහැ.—කොලොස්සි 1:15-17 කියවන්න.

5 යෙහෝවා දෙවි යේසුස්ව පත් කළේ ඔහුගේ නියෝජිතයා ලෙස පෙනී සිටීමටයි. බයිබලයේ යේසුස්ව “දෙවිගේ වචනය” කියා හඳුන්වන්නේ ඒ නිසයි. (එළි. 19:13) “වචනය” වූ යේසුස්ව යොහන් හැඳින්නුවේ “පියාණන් සමීපයෙහිම සිටින” තැනැත්තා ලෙසයි. (යොහ. 1:1, 18) ඔහු යෙහෝවා දෙවි සමඟ මොන තරම් දේවල් කතාබහ කරන්න ඇද්ද! ඔවුන් අතර කොතරම් කිට්ටු බැඳීමක් තියෙන්න ඇද්ද! මේ සියලුම හේතු නිසා පියාණන් ගැන එළිදරව් කිරීමට සුදුසුම තැනැත්තා යේසුස් වූ බවට කිසි සැකයක් නැහැ.

6, 7. පිය පුතු බැඳීම දිනෙන් දින වැඩි වුණේ කොහොමද?

6 පිය පුතු බැඳීම එන්න එන්නම වැඩි වුණා. ‘දිනපතාම දෙවි විශේෂයෙන්ම පුතා ගැන ප්‍රීති වුණා.’ (හිතෝපදේශ 8:22, 23, 30, 31 කියවන්න.) පියා හා එකට වැඩ කරමින් සිටි පුතා පියාගේ ගුණාංග අනුකරණය කරන්න පෙලඹුණ බවට කිසිම සැකයක් නැහැ. දේවදූතයන්ව හා මිනිසුන්ව දෙවි නිර්මාණය කර ඔවුන් කෙරෙහි දැක්වූ සැලකිල්ල පුතා දුටු විට දෙවි කෙරෙහි ඔහුට තිබූ ප්‍රේමය හා ගෞරවය තවත් වැඩි වුණා.

7 සෑම දෙයක්ම පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය ගැන සාතන් චෝදනා කළ අවස්ථාවේදී යෙහෝවා දෙවි කටයුතු කළ ආකාරය ඔහු දැක්කා. එවැනි අසීරු තත්වයකදී පවා දෙවි ප්‍රේමය, යුක්තිය හා බලය වැනි ගුණාංග පෙන්වූ ආකාරය යේසුස්ට හොඳ ආදර්ශයක් වුණා. පොළොවේදී අසීරුතා අද්දකිද්දී ඒවාට සාර්ථකව මුහුණ දීමට පියාගේ ආදර්ශය ඔහුට උපකාර වූ බව නිසැකයි.—යොහ. 5:19.

8. දෙවිගේ ගුණාංග ගැන දැනගැනීමට යේසුස් ගැන බයිබලයේ සඳහන් දේ උපකාර වෙන්නේ කොහොමද?

8 යේසුස් කළ කී දේවල් හොඳින් නිරීක්ෂණය කිරීමෙන් අපිට යෙහෝවා දෙවි ගැන බොහෝ දේවල් ඉගෙනගන්න පුළුවන්. උදාහරණයකට “දෙවි ප්‍රේමයයි” කියා බයිබලයේ පවසනවා. (1 යොහ. 4:8, 16) ප්‍රේමය යන වචනය ශබ්දකෝෂයකින් බැලූ පමණින් එහි සම්පූර්ණ අර්ථය වටහාගන්න බැහැ. නමුත් යේසුස් අනික් අයට සැලකිල්ල දැක්වූ විදිහ ගැන බයිබලයෙන් කියවන විට දෙවිගේ එම ගුණාංගය ගැන හොඳින් තේරුම්ගන්න පුළුවන්. එලෙසම යේසුස් ජීවත් වූ ආකාරයෙන් දෙවිගේ අනික් ගුණාංග ගැනත් හෙළි වෙනවා.

පියාණන්ව එළිදරව් කළ ආකාරය

9. (අ) යේසුස් තම පියාව එළිදරව් කළ ක්‍රම දෙක මොනවාද? (ආ) යේසුස් තම ඉගැන්වීම්වලින් පියා ගැන හෙළි කළ ආකාරය පිළිබඳ උදාහරණයක් දෙන්න.

9 යේසුස් යෙහෝවා දෙවි ගැන ක්‍රම දෙකකින් එළිදරව් කළා. ඒ ඔහුගේ ඉගැන්වීම්වලින් හා ක්‍රියාවලින්. මුලින්ම ඔහුගේ ඉගැන්වීම් ගැන බලමු. යේසුස්ගේ ඉගැන්වීම්වලින් යෙහෝවා දෙවි සිතන විදිහත් ඔහුට හැඟෙන විදිහත් තේරුම්ගන්න අපිට පුළුවන්. උදාහරණයකට ඔහු තම පියාව එඬේරෙකුට සමාන කළා. එක බැටළුවෙක් නැති වූ විට එඬේරා ඒ නැති වූ බැටළුවාව සොයාගෙන ගියා. ඌව සොයාගත් විට ‘අනික් අනූනවදෙනා ගැන ප්‍රීති වෙනවාට වඩා ඔහු සොයාගත් ඒ එක බැටළුවා ගැන ප්‍රීති වෙනවා’ කියා යේසුස් පැවසුවා. ඉන්පසුව “කුඩා දරුවන් හා සමාන මේ අයගෙන් එක් කෙනෙකුවත් විනාශ වෙනවාට ස්වර්ගයේ සිටින මගේ පියාණන් කැමති නැහැ” කියා යේසුස් ඒ උදාහරණය පැහැදිලි කළා. (මතෙ. 18:12-14) දෙවිට ‘මාව වටින්නෑ, මාව අමතක වෙලා’ කියා ඔබ හිතුවත් ඔහුට ඔබව වටිනවා. ඔහු ඔබව සලකන්නේ ‘කුඩා දරුවන්ගෙන් කෙනෙක්’ ලෙසයි.

10. යේසුස් ඔහුගේ ක්‍රියා මගින් තම පියාව එළිදරව් කළේ කොහොමද?

10 යේසුස් ක්‍රියා කළ ආකාරයෙන් ඔහුගේ පියා ක්‍රියා කරන ආකාරය එළිදරව් වීම දෙවෙනි ක්‍රමයයි. “අපට පියාණන්ව පෙන්නන්න” කියා ෆිලිප් යේසුස්ට පැවසූ විට “මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා” කියා යේසුස් කිව්වේ ඒ නිසයි. (යොහ. 14:8, 9) යේසුස්ගේ ක්‍රියාවලින් පියාව දැකගන්න පුළුවන් වූ අවස්ථා කිහිපයක් දැන් අපි සලකා බලමු. “මුළු ශරීරය පුරාම ලාදුරු රෝගය පැතිර තිබූ මිනිසෙක්” තමාව සුව කරන්න කියා යේසුස්ගෙන් ඉල්ලූ විට “ඔහු තම අත දිගු කර ඔහුව ස්පර්ශ කරමින් ‘මා කැමතියි. පවිත්‍ර වෙන්න’” කියා පැවසුවා. (ලූක් 5:12, 13) යේසුස් කළ දෙයින් සුව වූ ඒ රෝගියාට යෙහෝවා දෙවි ක්‍රියා කරන ආකාරය තේරුම්ගන්න පුළුවන් වුණා. ලාසරුස් මියගිය අවස්ථාවේදී ඔහුගේ පවුලේ අයට හා අන් අයට දැනුණු දුක යේසුස්ටත් දැනුණා. ලාසරුස්ව නැවත නැඟිටුවන්න හැකි බව දැන සිටියත් යේසුස්ට ඒ අවස්ථාවේදී ‘මහත් ශෝකයක් හා වේදනාවක්’ දැනුණා. ‘යේසුස්ගේ දෑස් කඳුළින් පිරී ගියා.’ (යොහ. 11:32-35, 40-43) යේසුස්ගේ ක්‍රියා ගැන සඳහන් වී ඇති මේ දේවල් මගින් යෙහෝවා දෙවි මොන තරම් දයාවන්ත දෙවි කෙනෙක්ද කියා ඔබට වැටහෙනවා ඇති.

11. (අ) යේසුස් දේවමාලිගාව පිරිසිදු කළ විට තම පියා ගැන එළිදරව් කළේ මොකක්ද? (ආ) දේවමාලිගාව පිරිසිදු කිරීමේ සිද්ධිය අපිට වැදගත් ඇයි?

11 දැන් යේසුස් දේවමාලිගාව පිරිසිදු කළ අවස්ථාව ගැන සිතමු. ඔහු ලණුවලින් කසයක් සාදා බැටළුවන්ව හා ගවයන්ව විකුණමින් සිටි අයව දේවමාලිගාවෙන් එළවා දැමුවා. මුදල් මාරු කරන්නන්ගේ කාසි බිමට හළා ඔවුන්ගේ මේසද පෙරළා දැමුවා. (යොහ. 2:13-17) “ඔබේ ගෘහය කෙරෙහි මට තිබෙන ළැදියාව මොන තරම්ද” කියා දාවිත් කී වදන් යේසුස්ගේ ගෝලයන්ට ඒ අවස්ථාවේදී මතක් වෙන්න ඇති. (ගීතා. 69:9) යේසුස් කළ දෙයින් තමන් දුෂ්ට ක්‍රියා පිළිකුල් කරන බවත් සැබෑ නමස්කාරයට කොතරම් ඇලී සිටිනවාද කියාත් පෙන්නුම් කළා. එමගින් දෙවිගේ පෞද්ගලිකත්වයේ එක් පැත්තක් අපට දැකගත හැකියි. දුෂ්ටකම පොළොවෙන් තුරන් කිරීමට දෙවිට බලය තිබෙනවා වගේම එය කිරීමට ඔහුට ලොකු වුවමනාවකුත් තිබෙනවා. අද දින පවතින දුෂ්ටකම ගැන යෙහෝවා දෙවිට හැඟෙන විදිහත් යේසුස් කළ දෙයින් අපිට හිතාගන්න පුළුවන්. ඒ ගැන දැන සිටීම අසාධාරණකම්වලට මුහුණ දෙන විට අපිට සහනයක්.

12, 13. යේසුස් තම ගෝලයන්ව සැලකූ ආකාරයෙන් යෙහෝවා දෙවි ගැන අපට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

12 අපි දැන් තවත් උදාහරණයක් බලමු. තමන් අතරින් වඩා උතුම් තැනැත්තා කවුද කියා යේසුස්ගේ ගෝලයන් නිතරම වාද කළා. (මාක් 9:33-35; 10:43; ලූක් 9:46) උඩඟුකම ගැන දෙවිට හැඟෙන ආකාරය පිළිබඳව යේසුස් හොඳින් දැන සිටියේ ඔහු පියා සමඟ දිගු කාලයක් සිටි නිසයි. (2 සාමු. 22:28; ගීතා. 138:6) ඊට අමතරව උඩඟුකම නිසා සාතන් කටයුතු කළ ආකාරයත් යේසුස් දැක්කා. ඒ නිසා ඔහුගේ ගෝලයන් එකිනෙකාට වඩා උසස් වෙන්න උත්සාහ කරද්දී යේසුස්ට මොන තරම් දුකක් දැනෙන්න ඇද්ද! යේසුස් පොළොවේ සිටි අන්තිම රාත්‍රියේදී පවා ගෝලයන් ඒ ප්‍රශ්නය ගැන වාද කළා. (ලූක් 22:24-27) නමුත් යේසුස් ඔවුන්ට ප්‍රේමයෙන් හා කරුණාවෙන් උපදෙස් දුන්නා. කවදා හරි ගෝලයනුත් නිහතමානී ආකල්පයක් ඇති කරගනියි යන බලාපොරොත්තුව ඔහු අත්හැරියේ නැහැ.—ෆිලි. 2:5-8.

13 යේසුස් ඉවසිලිවන්තව තම ගෝලයන්ව නිවැරදි කළ ආකාරයෙන් යෙහෝවා දෙවි ගැන අප තේරුම්ගන්නේ මොකක්ද? දෙවිගේ සේවකයෙක් නිතරම වැරදි කළත් ඔහු පසුතැවිලි වෙනවා නම් දෙවි ඔහුව අත්හරින්නේ නැති බවයි. දෙවි එවැනි කෙනෙක් බව දැන සිටින නිසා අපේ අතින් වරදක් වුණ විට ඒ ගැන පසුතැවිලි වී දෙවිගෙන් සමාව ඉල්ලීමට අපි පෙලඹෙන්නේ නැද්ද?

පියාණන් ගැන පුත්‍රයා එළිදරව් කළේ කැමැත්තෙන්මයි

14. යේසුස් දෙවි ගැන තොරතුරු එළිදරව් කළේ කැමැත්තෙන්ම බව අපි දන්නේ කොහොමද?

14 බොහෝ පාලකයන් තම යටත් වැසියන්ට තොරතුරු එළිදරව් කිරීමට කැමති නැහැ. නමුත් දේවරාජ්‍යයේ රජු වන යේසුස් ඊට වඩා කොතරම් වෙනස්ද! ඔහු දෙවි ගැන තොරතුරු එළිදරව් කළේ කැමැත්තෙන්මයි. (මතෙව් 11:27 කියවන්න.) යේසුස් ‘සැබෑ වූ තැනැත්තාණන් වන යෙහෝවා දෙවි ගැන දැනුම ලබාගැනීමට ඔහුගේ ගෝලයන්ට වටහාගැනීමේ හැකියාව ලබා දීමෙන්’ ඒ බව පැහැදිලියි. (1 යොහ. 5:20) ඊට අමතරව යේසුස් තම ගෝලයන්ට දෙවි ගැන කියා දුන්නා පමණක් නොව ඔහු කළ කී දේ තේරුම්ගන්නත් ඔවුන්ට උපකාර කළා. දෙවි ත්‍රිත්වයේ කොටසක් කියා හෝ තේරුම්ගත නොහැකි අභිරහසක් කියා හෝ කිසිවිටක ඔහු ඉගැන්නුවේ නැහැ.

15. පියාණන් පිළිබඳ සෑම තොරතුරක්ම යේසුස් හෙළි නොකළේ ඇයි?

15 අනික් අතට පියාණන් පිළිබඳව දන්න සෑම තොරතුරක්ම යේසුස් තම ගෝලයන්ට හෙළි කළේ නැහැ. (යොහන් 16:12 කියවන්න.) ඊට හේතුව තම ගෝලයන්ට ඒ සෑම තොරතුරක්ම ‘දරාගන්න ඒ වන විට’ බැරි වීමයි. නමුත් යේසුස් ඔවුන්ට පොරොන්දු වුණේ දෙවිගේ බලයේ “උපකාරය” ලැබෙන විට ‘සත්‍යය ගැන පූර්ණ අවබෝධයක් ලැබෙයි’ කියායි. (යොහ. 16:7, 13) නැණවත් දෙමාපියන් දරුවන් නිසි වයසකට පැමිණෙන තුරු දරුවන්ට අවබෝධ කරගන්න බැරි සමහර දේවල් පවසන්නේ නැහැ. ඒ හා සමානව යේසුස්ද තම ගෝලයන්ට වටහාගැනීමට ශක්තිය හා හැකියාව ලැබෙන තුරු සෑම තොරතුරක්ම හෙළි කළේ නැහැ. ඔහු ගෝලයන්ගේ සීමාවන් හොඳින් තේරුම්ගෙන සිටීම ඊට හේතුවයි.

යේසුස් මෙන් අපිත් දෙවි ගැන හෙළි කරමු

16, 17. අන් අයට පියාණන් ගැන හෙළි කිරීමට අපට සුදුසුකම හා හැකියාව තිබෙන්නේ ඇයි?

16 හොඳ ගතිගුණ ඇති කෙනෙකුව හිතට ඇල්ලුවාම ඒ කෙනා ගැන අන් අයට පවසන්න අපි තුළ නිරායාසයෙන්ම පෙලඹීමක් ඇති වෙනවා. දෙවි ගැන පූර්ණ දැනුමක් තිබූ යේසුස් මේ පොළොවේ සිටියදී තම පියා ගැන හෙළි කළේ කැමැත්තෙන්මයි. (යොහ. 17:25, 26) අපිත් දෙවිව හොඳින් හඳුනනවා. ඔහුගේ යහපත් ගුණාංග ගැනත් හොඳින් දන්නවා. ඒ නිසා යේසුස් මෙන් අන් අයට යෙහෝවා දෙවි ගැන කියා දෙන්න අපිට පුළුවන්.

17 වෙන කාටත් වඩා දෙවිව හොඳින් හඳුනාගෙන සිටියේ යේසුස්. යෙහෝවා දෙවි ගැන දැන සිටි දේ තම අනුගාමිකයන් සමඟ බෙදාගන්න ඔහු කැමති වුණා විතරක් නෙවෙයි ඔවුන්ට ඒ ගැන අවබෝධ කරගැනීමටත් උපකාර කළා. යේසුස් පියා ගැන එළිදරව් කළ නිසා අපට පියා ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. අපි ගොඩක් සතුටෙන් ඉන්නේ එම අවබෝධය නිසයි. (යෙරෙ. 9:24; 1 කොරි. 1:31) ඒ වගේම අපි දෙවිට ළං වෙන්න උත්සාහ කරන විට දෙවිත් අපට ළං වෙනවා. (යාකො. 4:8) නමුත් අද සිටින බොහෝදෙනෙක් යෙහෝවා දෙවි ගැන දන්නේ නැහැ. ජනයාව දැනුවත් කිරීමට අපට සුදුසුකමත් හැකියාවත් තිබෙනවා.

18, 19. දෙවි ගැන අන් අයට දැනගන්න සලස්වන්න පුළුවන් ක්‍රම මොනවාද? විස්තර කරන්න.

18 යේසුස් මෙන් අපිත් අපේ වචනයෙන් හා ක්‍රියාවෙන් දෙවි ගැන එළිදරව් කළ යුතුයි. බොරු ඉගැන්වීම් නිසා අද සිටින බොහෝදෙනෙකුට නිර්මාතෘ දෙවියන් ගැන තිබෙන්නේ වැරදි අවබෝධයක්. ඒ නිසා දෙවිගේ නම, ඔහුගේ අරමුණු හා ඔහු මොන වගේ කෙනෙක්ද කියා බයිබලයේ තිබෙන තොරතුරු අපි අනික් අයට දන්වන්න අවශ්‍යයි. විවිධ බයිබල් සිද්ධීන් යොදාගෙන දෙවි සිතන ආකාරය හා ඔහු කටයුතු කරන ආකාරය ගැන අපි ඔවුන්ට කියා දෙන විට ඒ අයටත් ඉන් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා.

19 අපේ ක්‍රියාවෙන් දෙවි ගැන දැනගැනීමට අන් අයට උපකාර කරන්නේ කොහොමද? යේසුස් මෙන් අපිත් ප්‍රේමයෙන් කටයුතු කරන ආකාරය අන් අය දකින විට ඒ අය දෙවි හා යේසුස් වෙතට ඇදී එයි. (එෆී. 5:1, 2) පාවුල් අපිට මෙසේ දිරිගැන්නුවා. “මා ක්‍රිස්තුස්ව අනුකරණය කරන ආකාරයටම ඔබත් මාව අනුකරණය කරන්න.” (1 කොරි. 11:1) අපි ක්‍රියා කරන ආකාරයෙන් මිනිසුන්ව දෙවිට ළං කිරීමට ලැබී තිබෙන ප්‍රස්තාව මොන තරම් වටිනවාද! ඒ නිසා දිගටම යේසුස්ව අනුකරණය කරමින් අන් අයට යෙහෝවා දෙවි ගැන එළිදරව් කරමු!

[පාඩම් ලිපියේ ප්‍රශ්න]