Skip to content

පටුනට යන්න

ගැලවීම සඳහා දෙවි අපව රැකගනියි

ගැලවීම සඳහා දෙවි අපව රැකගනියි

ගැලවීම සඳහා දෙවි අපව රැකගනියි

‘දෙවි තම බලයෙන් ඔබව ආරක්ෂා කරන්නේ ඔබ තුළ විශ්වාසයක් තිබෙන නිසාය. එසේ කරන්නේ අවසාන කාල පරිච්ඡේදයේදී හෙළි කිරීමට නියමිත ගැලවීම ඔබට ලබා දීමටය.’—1 පේතෘ. 1:4, 5.

ඔබේ පිළිතුර මොකක්ද?

සැබෑ නමස්කාරය සඳහා දෙවි අපේ සිත් පෙලඹුවේ කොහොමද?

අපට මඟ පෙන්වන්න අපි දෙවිට ඉඩ දෙන්නේ කොහොමද?

දෙවි අපට දිරිගැන්වීම් ලබා දෙන්නේ කොහොමද?

1, 2. (අ) අවසානය දක්වා විශ්වාසවන්තව සිටින්න දෙවි අපිට උපකාර කරන බව දන්නේ කොහොමද? (ආ) යෙහෝවා දෙවි අපි එක් එක් කෙනාව කොතරම් හොඳින් දන්නවාද?

“ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.” (මතෙ. 24:13) දෙවි ගෙනෙන විනාශයෙන් ගැලවෙන්න නම් අවසානය දක්වා විශ්වාසවන්තව සිටින්න අවශ්‍යයි. එය අපේම හැකියාවෙන් කරන්න බැරි බව දෙවි දන්නවා. ඒ නිසා බයිබලයේ ඔහු ගැන මෙවැනි සහතිකයක් දෙනවා. “දෙවි විශ්වාසවන්තය. එහෙයින් [වැරදි] පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යෑමට ඔහු ඉඩ දෙන්නේ නැත. මන්ද වැරදි දේවල් කිරීමට පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට එයින් ගොඩ ඒමට මඟක් ඔහු සලසා දෙයි. එමනිසා ඊට හොඳින් මුහුණ දීමට ඔබට හැකි වේ.” (1 කොරි. 10:13) ඒ වදන්වලින් අදහස් කරන්නේ මොකක්ද?

2 ‘වැරදි පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යෑමට දෙවි ඉඩ දෙන්නේ නැත’ කියා එහි සඳහන් වෙනවා. දෙවිට එසේ කරන්න හැකි වෙන්නේ ඔහු අපි එක් එක් කෙනා ගැන හොඳින් දන්නවා නම් පමණයි. දෙවි අපි ගැන කොතරම් හොඳට දන්නවාද? අපි මොන වගේ අයද, අපි මුහුණ දෙන ගැටලු හා අභියෝග මොනවාද, කොතරම් දුරට දරාගන්න අපිට පුළුවන්ද කියාත් ඔහු දන්නවා. දෙවි අපි ගැන සෑම තොරතුරක්ම, එනම් අපේ සිතේ තිබෙන දේවල් පවා දන්නවා.—ගීතාවලිය 139:1-6 කියවන්න.

3, 4. (අ) අපි එක් එක් කෙනා ගැන දෙවි සැලකිලිමත් බව දාවිත්ගේ අද්දැකීමෙන් පෙන්වන්නේ කොහොමද? (ආ) දෙවි අපි ගැන සැලකිලිමත් වෙන්නේ කොහොමද?

3 යෙහෝවා දෙවි මිනිසුන් ගැන බොහෝ සේ සැලකිලිමත් වන බව දාවිත් අද්දුටු දෙයින් පැහැදිලි වෙනවා. දෙවි දාවිත්ව සැලකුවේ ‘තමාගේ සිත සතුටු කළ කෙනෙකු’ ලෙසයි. (1 සාමු. 13:14) දාවිත් තරුණ එඬේරෙකු ලෙස ‘තණබිම්වල බැටළුවන් බලාගනිමින් සිටි කාලයේදී දෙවි ඔහුව ඊශ්‍රායෙල්වරුන්ගේ පාලකයා හැටියට පත් කළා.’ (2 සාමු. 7:8) “ඔබේ දෑත්වලින් නිම කළ අහස්තලය දෙසද ඔබ සෑදූ සඳ හා තාරකා දෙසද මා බලන විට ඔබ මිනිසාව සිහි කිරීමට තරම් ඔහු කවුද” කියා දාවිත් ඇසුවේ එම අද්දැකීම නිසා වෙන්න ඇති.—ගීතා. 8:3, 4.

4 තමාට නමස්කාර කරන අයව දෙවි සලකන්නේ “වටිනා වස්තු” ලෙසයි. (හග්. 2:7) දෙවි දාවිත්ගේ හිතේ තිබූ දේවල් ගැන සැලකිලිමත් වුණා වගේ අපේ හිතේ තිබෙන දේවල් ගැනත් සැලකිලිමත් වෙනවා. තම සේවකයන්ට දිගටම විශ්වාසවන්තව සිටින්න දෙවි උපකාර කරනවා. ඒ කොහොමද? ඊට පිළිතුරු දැනගැනීමට පෙර තමාට නමස්කාර කිරීමට දෙවි ජනයා තුළ ආශාවක් ඇති කරන්නේ කොහොමද කියා අපි බලමු.

දෙවි අප තුළ ආශාවක් ඇති කරයි

5. යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න කෙනෙකු තුළ දෙවි ආශාවක් ඇති කරන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න.

5 යේසුස් මෙසේ පැවසුවා. “කෙනෙක් මා ළඟට එන්නේ මාව එවූ මගේ පියාණන් ඔහු තුළ ඒ සඳහා ආශාවක් ඇති කළොත් පමණයි.” (යොහ. 6:44) ඉන් පැහැදිලි වන්නේ යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න නම් අපිට දෙවිගේ උපකාරය අවශ්‍ය බවයි. යේසුස්ගේ අනුගාමිකයෙක් වීමට කෙනෙක් තුළ දෙවි ආශාවක් ඇති කරන්නේ කොහොමද? ඒ සඳහා දේශනා සේවය හා ඔහුගේ බලය යොදාගන්නවා. උදාහරණයකට පාවුල් හා ඔහුගේ මිතුරන් ෆිලිප්පියේ දේශනා කරන විට ලිදියා නමැති ස්ත්‍රියව මුණගැසුණා. එවිට සිදු වූ දේ බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “පාවුල් පවසමින් සිටි දේ පිළිගැනීමට යෙහෝවා දෙවි ඇගේ හදවත තුළ මහත් පෙලඹීමක් ඇති කළේය.” දෙවි තම බලය යොදාගෙන පණිවිඩය තේරුම්ගැනීමට ලිදියාට උපකාර කළා. ප්‍රතිඵලයක් ලෙස ඇයත් ඇගේ නිවසේ අයත් බව්තීස්ම වුණා.—ක්‍රියා 16:13-15.

6. සැබෑ නමස්කාරය පිළිගන්න දෙවි ඔබ තුළ පෙලඹීමක් ඇති කළේ කොහොමද?

6 එවැනි දෙයක් අද්දැක්කේ ලිදියා විතරද? නැහැ. ඔබ කැප වූ ක්‍රිස්තියානියෙක් නම් ඔබත් එවැනිම දෙයක් අද්දැක තිබෙනවා. දෙවිගේ වචනයට සවන් දුන් විට ලිදියාට වගේ ඔබටත් එය තේරුම්ගැනීමට හැකි වුණේ දෙවි තම බලය ලබා දුන් නිසයි. (1 කොරි. 2:11, 12) ඉගෙනගත් දේ පිළිපදින්න උත්සාහ කරද්දී ඔබේ උත්සාහයට යෙහෝවා දෙවි ආශීර්වාද කළා. ඔබේ ජීවිතය දෙවිට කැප කළ විට දෙවි බොහෝ සේ සතුටු වුණා. එතැන් සිට සත්‍ය මාර්ගයේ විශ්වාසවන්තව ගමන් කරන්න මේ දක්වා දෙවි ඔබට උපකාර කර තිබෙනවා.

7. දිගටම විශ්වාසවන්තව සිටීමට දෙවි අපට උපකාර කරන බව අපි දන්නේ කොහොමද?

7 අපි සත්‍යයට ආවෙත් සත්‍යය තුළ ඉන්නෙත් අපේම හැකියාවෙන් නෙවෙයි. සැබෑ නමස්කාරය පිළිගන්න අපට උපකාර කළේ දෙවියි. ඒ නිසා දිගටම විශ්වාසවන්තව ඉන්න ඔහු අපිට උපකාර කරයි කියා නිසැක වෙන්න පුළුවන්. පේතෘස් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට කිව්වේ දිගටම විශ්වාසවන්තව සිටීමට ‘දෙවි තම බලයෙන් ඔවුන්ව ආරක්ෂා කරනවා’ කියායි. (1 පේතෘ. 1:4, 5) ඔහු පැවසූ දේ හැම ක්‍රිස්තියානියෙකුටම අදාළයි. දිගටම විශ්වාසවන්තව සිටීමට අපි සැමට දෙවිගේ උපකාර අත්‍යවශ්‍යයි. දෙවි එය ලබා දෙන්නේ කොහොමද? දැන් අපි ඒ ගැන බලමු.

වරදක් කිරීමෙන් අපව වළක්වන්න දෙවිට පුළුවන්

8. අපේ අතින් බරපතළ වරදක් සිදු වීමට ඉඩ තිබෙන්නේ ඇයි?

8 අපි අසම්පූර්ණ නිසාත් අපි අද්දකින ප්‍රශ්න ගැටලු නිසාත් අපිට සැමවිටම දෙවි සිතන ආකාරයට සිතන්න බැහැ. ඒ නිසා අපි නොදැනුවත්වම යම් බරපතළ වරදක් කිරීමට ඉඩ තිබෙනවා. (ගලාති 6:1 කියවන්න.) දාවිත්ට සිදු වූ දෙයකින් ඒ කාරණය වටහාගන්න පුළුවන්.

9, 10. බරපතළ වරදක් කිරීමෙන් දාවිත්ව වැළැක්වීමට දෙවි කළේ මොකක්ද? අප වෙනුවෙන් මොකක් කරයිද?

9 සාවුල් රජු තමාව මැරීමට ලුහුබඳිමින් සිටියත් දාවිත් එකට එක නොකර තමාව පාලනය කරගත්තා. සාවුල්ගෙන් පළිගන්න අවස්ථාව තිබුණත් එසේ කළේ නැහැ. (1 සාමු. 24:2-7) නමුත් වෙනත් අවස්ථාවකදී තමාව පාලනය කරගන්න දාවිත්ට හැකි වුණේ නැහැ. තමාටත් තම සේවකයන්ටත් ආහාර පාන අවශ්‍ය වූ විට දාවිත් නාබල්ගෙන් ඉල්ලීමක් කළා. නාබල් දාවිත්ට උදව් නොකර ඔහුට අපහාස කරමින් බැණවැදුණා. ඉන් මහත් සේ කෝපයට පත් දාවිත් නාබල්වත් ඔහුගේ නිවසේ සිටි සියලු පිරිමින්වත් මරා දැමීමට තීරණය කළා. අහිංසක මිනිසුන්ව මරා දැමුවොත් දෙවි තමාට දඬුවම් කරන බව දාවිත් කල්පනා කළේ නැහැ. නමුත් නාබල්ගේ බිරිඳ වූ අබිගායිල් බරපතළ පාපයක් කිරීමෙන් දාවිත්ව වැළැක්වුවා. තමාව ආරක්ෂා කිරීමට අබිගායිල්ව එව්වේ යෙහෝවා දෙවි බව වටහාගත් දාවිත් මෙසේ පැවසුවා. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා! අද ඔබව මා වෙතට එව්වේ ඔහුයි. ඔබ සිහිනුවණින් ක්‍රියා කළ නිසා ඔබට ආශීර්වාද ලැබේවා! යුක්තිය ඉටු කිරීම මගේ අතට ගෙන ක්‍රියා කිරීමෙන් මාව වැළැක්වූ නිසාත් ලේ වැගිරවීමෙන් මාව වැළැක්වූ නිසාත් ඔබට ආශීර්වාද ලැබේවා!”—1 සාමු. 25:9-13, 21, 22, 32, 33.

10 එයින් අප ඉගෙනගන්නේ මොකක්ද? බරපතළ වරදක් කිරීමෙන් දාවිත්ව වැළැක්වුවේ දෙවියි. දෙවි අදත් එසේම කරනවා. නමුත් හැමවිටම එහෙම කරයි කියා බලාපොරොත්තු වෙන්න බැරි බව මතක තබාගත යුතුයි. දෙවි කටයුතු කරන ආකාරය සැමවිටම අපිට තේරුම්ගන්න බැහැ. (දේශ. 11:5) ඒ වගේම තම අරමුණු ඉටු කිරීමට දෙවි සමහර අවස්ථාවලදී යම් දේවලට ඉඩහරිනවා. කොහොමවුණත් අපේ තත්වයන් හොඳින් දන්නා දෙවි දිගටම විශ්වාසවන්තව ඉන්න අපිට උපකාර කරනවා. ඔහු මෙසේ පොරොන්දු වෙනවා. “ඔබ යා යුතු මාර්ගය ගැන මම ඔබට කියා දෙන්නෙමි. වටහාගැනීමේ හැකියාවද මම ඔබට ලබා දෙන්නෙමි. මම ඔබ දෙස හොඳින් බලා ඔබට අවවාද කරන්නෙමි.” (ගීතා. 32:8) යෙහෝවා දෙවි අපිට උපදෙස් හා අවවාද දෙන්නේ කොහොමද? අපිට ඉන් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? අද දින තම සෙනඟට දෙවි මඟ පෙන්වන බවට ස්ථිර වෙන්න පුළුවන් කොහොමද? මේ ප්‍රශ්නවලට පිළිතුරු එළිදරව් පොතෙන් ලබාගත හැකියි.

උපදෙස්වලින් ලැබෙන ආරක්ෂාව

11. සභාවල සිදු වන දේවල් යෙහෝවා දෙවි කොතරම් දුරට දන්නවාද?

11 කුඩා ආසියාවේ සභා හත යේසුස් නිරීක්ෂණය කළ ආකාරය යොහන් දර්ශනයකින් දැක්කා. එය එළිදරව් දෙවන හා තුන්වන පරිච්ඡේදවල සඳහන් වෙනවා. යේසුස් එක් එක් සභාව උඩින් පල්ලෙන් නිරීක්ෂණය කරනවා වෙනුවට ඒ සභාවල සිදු වෙමින් තිබූ දේවල් ගැනත් සමහර අවස්ථාවලදී පුද්ගලයන් ගැනත් නිශ්චිතව සඳහන් කළා. එම දර්ශනය අපට අදාළ වෙන්නේ කොහොමද? සභා හතෙන් නියෝජනය වෙන්නේ 1914න් පසුව සිටින සියලුම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වයි. එම සභාවලට දුන් උපදෙස්වල ප්‍රතිපත්තිය සභාවේ සෑම සාමාජිකයෙකුටම ප්‍රයෝජනවත්. ඉන් පැහැදිලි වෙන්නේ දෙවි තම පුත්‍රයා මගින් ඔහුගේ සේවකයන්ට මඟ පෙන්වන බවයි. ඒ මඟ පෙන්වීම්වලින් අපි ප්‍රයෝජන ගන්නේ කොහොමද?

12. දෙවි අපිට මඟ පෙන්වන එක් ආකාරයක් මොකක්ද?

12 දෙවිගේ මඟ පෙන්වීම්වලින් ප්‍රයෝජන ගත හැකි එක් ආකාරයක් නම් පෞද්ගලික අධ්‍යයනයයි. ඔහු විශ්වාසවන්ත දාසයා මාර්ගයෙන් අපිට ඇති තරම් උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දී තිබෙනවා. (මතෙ. 24:45) ඉන් ප්‍රයෝජන ගන්න නම් ඒවා අධ්‍යයනය කරන්නත් ඒවා අදාළ කරගන්නත් අවශ්‍යයි. පෞද්ගලික අධ්‍යයනයේ යෙදෙද්දී අපි කරන්නේ ‘පව් කිරීමෙන් අපව අරක්ෂා කරන්න’ දෙවිට ඉඩ දීමයි. (යූද් 24) අපේ ප්‍රකාශනයක් අධ්‍යයනය කරද්දී ‘මේක නම් ලියලා තියෙන්නේ මටමයි’ කියලා ඔබට සිතිලා ඇති. අපි වරදක් කරන්න යද්දී හොඳ මිතුරෙක් අපට වරද පෙන්වා දී අපව නිවැරදි කරනවා වගේ දෙවිත් අපේ දුර්වල පැති හඳුනාගෙන අවශ්‍ය සකස් වීම් කරගන්න ඔහුගේ බලය මගින් අපිව පොලඹවනවා. අපි ඒ මඟ පෙන්වීම් පිළිගන්නවාද? (ගීතාවලිය 139:23, 24 කියවන්න.) අධ්‍යයනය කරන විට දෙවි ඔහුගේ බලය මගින් අපිට අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දෙනවා. ඒ නිසා අධ්‍යයනය කරන්න කොතරම් වෙහෙසක් දරනවාද කියා අපි සිතා බැලිය යුතුයි.

13. අධ්‍යයනයේ යෙදෙන ආකාරය ගැන සැලකිලිමත් වීම අවශ්‍ය ඇයි?

13 විනෝදය සඳහා කිරීමට තෝරාගන්නා සමහර දේවල් පෞද්ගලික අධ්‍යයනයට බාධාවක් විය හැකියි. එක සහෝදරයෙක් මෙසේ කිව්වා. “අද කාලේ විනෝද වෙන්න ඕන තරම් දේවල් තියෙනවා. ටීවී එක, කම්පියුටරේ, ෆෝන් එක. ඒවයින් විනෝද වෙන්න වැඩි වියදමක් යන්නෙත් නැහැ. ඒ නිසා පෞද්ගලික පාඩම ලේසියෙන් අතපහු වෙන්න පුළුවන්.” අපි සැලකිලිමත් නොවුණොත් අධ්‍යයනය කිරීමට තිබෙන කාලය පහසුවෙන් මඟහැරෙන්න ඉඩ තිබෙනවා. (එෆී. 5:15-17) මේ ගැන සිතා බලන්න. ‘බයිබලයේ ඇති ගැඹුරු කාරණා අධ්‍යයනය කරන්නත් ඒ ගැන ගැඹුරින් සිතා බලන්නත් මම කොච්චර කාලයක් ගන්නවාද?’ ‘මම අධ්‍යයනය කරන්නේ කතාවක් හරි රැස්වීමේ කොටසක් හරි තියෙනවා නම් විතරද?’ යෙහෝවා දෙවි දෙන ප්‍රඥාව අපිට ආරක්ෂාවක්. ඒ නිසා පවුලේ නමස්කාරයට හෝ පෞද්ගලික අධ්‍යයනයට වෙන් කරන කාලයෙන් නියම ප්‍රයෝජන ගන්න.—හිතෝ. 2:1-5.

දිරිගැන්වීම් අපිට ආරක්ෂාවක්

14. දෙවි අපේ තත්වය වටහාගෙන අපිට සහනයක් ලබා දෙන බව අපි දන්නේ කොහොමද?

14 දාවිත් කටුක සිදුවීම් රැසකට මුහුණ දුන්නා. (1 සාමු. 30:3-6) ඔහුට හැඟුණු ආකාරය දෙවි හොඳින් තේරුම්ගත් බව දාවිත්ම පැවසුවා. (ගීතාවලිය 34:18; 56:8 කියවන්න.) ඒ හා සමානව අපේ ‘සිත බිඳෙන හෝ තැළෙන’ අවස්ථාවන් දෙවිට හොඳින් තේරෙනවා. එවැනි අවස්ථාවලදී දෙවි අපිට ගොඩාක් ළං වෙනවා. එය අපට සහනයක්. යෙහෝවා දෙවි දාවිත්ට ළං වී සිටි නිසා ඔහු මෙවැනි ගීතිකාවක් රචනා කළා. “මම ප්‍රීති වෙමි. ඔබ මට පෙන්වන මහත් ප්‍රේමය ගැන මම ප්‍රීතියෙන් ඉපිල යන්නෙමි. මන්ද මා විඳින දුක ඔබ දුටුවෙහිය. මා මේ ජීවිතය තුළ මුහුණ දෙන සියලු කරදර ඔබ දන්නෙහිය.” (ගීතා. 31:7) අපි ජීවිතයේ දුක් කරදරවලින් මිරිකී සිටින විට අපේ සභා රැස්වීම් මගින් දෙවි අපිට අවශ්‍ය සහනය හා දිරිගැන්වීම ලබා දෙනවා.

15. ආසාෆ්ගේ අද්දැකීමෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

15 රැස්වීම්වලට යෑමේ ඇති ප්‍රයෝජන ගැන ආසාෆ්ගෙන් ඉගෙනගන්න පුළුවන්. විවිධ අසාධාරණකම් දුටු විට දෙවිට සේවය කිරීමෙන් පලක් නැහැ කියා ඔහු සිතන්න පටන්ගත්තා. ඔහු අධෛර්යය වූ අවස්ථාවේදී ඔහුට හැඟුණු දේ මෙසේ විස්තර කළා. ‘මාගේ සිතේ තරහක් ඇති වුණා. මගේ ඇතුළාන්තය වේදනාවෙන් පිරුණා.’ ඔහු සිටි තත්වයෙන් ඔහු ගොඩ ආවේ කොහොමද? “මම දෙවිගේ ශුද්ධස්ථානය වෙතට ගියෙමි” කියා ඔහු පැවසුවා. සෙසු නමස්කාරකයන් සමඟ ඇසුරු කළ නිසා නිවැරදිව සිතන්න ඔහුට හැකි වුණා. දුෂ්ටයන්ගේ සතුට තාවකාලික බවත් නිසි කාලයේදී දෙවි සාධාරණය ඉටු කරන බවත් ඔහු තේරුම්ගත්තා. (ගීතා. 73:2, 13-22) අපිත් සිටින්නේ එවැනි තත්වයකයි. දුෂ්ට සමාජයේ තිබෙන අසාධාරණකම් නිසා අපිත් අධෛර්යයට පත් වෙන්න ඉඩ තිබෙනවා. නමුත් රැස්වීම්වලට ගොස් සහෝදර සහෝදරියන් සමඟ ඇසුරු කරන විට එයින් අපි ප්‍රබෝධවත් වන අතර අපේ සතුට පවත්වාගැනීමටත් එය උපකාර වෙනවා.

16. හන්නාගේ ආදර්ශයෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

16 සමහර අවස්ථාවලදී රැස්වීම් යන්න ‘හිත දෙන්නෑ’ කියා ඔබට සිතෙන්න ඉඩ තිබෙනවා. උදාහරණයකට ඔබ කලින් වැඩිමහල්ලෙක් හෝ සහායක සේවකයෙකුව සිටියත් දැන් එම වගකීම් දරන්නේ නැති නිසා සභාවට මුහුණ දෙන්න අමාරුයි කියා ඔබට දැනෙනවා ඇති. එහෙම නැත්නම් සහෝදරයෙක් හෝ සහෝදරියක් සමඟ අමනාපයෙන් සිටින නිසා එහෙම සිතෙනවා ඇති. ඔබ සිටින්නේ එවැනි තත්වයක නම් හන්නාගේ අද්දැකීම ඔබට ප්‍රයෝජනවත් වෙයි. (1 සාමුවෙල් 1:4-8 කියවන්න.) හන්නාගේ පුරුෂයා වූ එල්කානාගේ අනික් බිරිඳ වූ පෙනින්නා කළ නින්දා අපහාස නිසා හන්නා සිටියේ මහත් දුකකින් හා අමනාපයකින්. හැම අවුරුද්දකම මුළු පවුලම නමස්කාරය සඳහා ෂීලෝ වෙත ගිය විට තත්වය තවත් උග්‍ර වුණා. හන්නා කොතරම් වේදනාවකින් සිටියාද කියනවා නම් ඇය ‘අඬමින් නොකා නොබී සිටියා.’ හන්නා මෙතරම් දුකින් සිටියත් ෂීලෝ නුවරට නොගොස් ගෙදර නැවතුණේ නැහැ. දෙවිට කරන නමස්කාරය අත්හැරියේ නැහැ. ඇගේ දුක වගේම ඇගේ විශ්වාසයත් දෙවි දුටුවා. ඒ නිසා දෙවි ඇයට ආශීර්වාද කළා.—1 සාමු. 1:11, 20.

17, 18. (අ) රැස්වීම්වලදී අපට දිරිගැන්වීම් ලැබෙන්නේ මොන ආකාරවලින්ද? (ආ) ගැලවීම ලබා දීමට යෙහෝවා දෙවි ඔබව ආරක්ෂා කිරීම ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

17 හන්නාගේ ආදර්ශය සිතට ගෙන නොකඩවා රැස්වීම් යන්න අදිටන් කරගන්න. රැස්වීම්වලින් මහත් දිරිගැන්වීමක් ලැබෙන බව අපි හොඳින් දන්නවා. (හෙබ්‍රෙ. 10:24, 25) අපේ ප්‍රේමණීය සහෝදර සහෝදරියන් සමඟ ඇසුරු කිරීම අපිට සහනයක්. කතාවක තිබූ කරුණකින්, කෙනෙක් දුන් පිළිතුරකින් මෙන්ම සහෝදරයෙක් හෝ සහෝදරියක් ආදරයෙන් අපිට පැවසූ දෙයකින් අපි හැමෝම දිරිගැන්වී තිබෙනවා. (හිතෝ. 15:23; 17:17) ඊට අමතරව රැස්වීම්වලදී අපි එකතු වී දෙවිට ප්‍රශංසා ගී ගායනා කරන විට අපේ සිතට නව පණක් ලැබෙනවා. විවිධ හේතු නිසා අපේ ‘සිත නොසන්සුන් වන’ බව ඇත්තයි. ඒත් රැස්වීම්වලින් ‘දෙවිගේ ඉමහත් ප්‍රේමය හා සැනසීම’ අපිට ලැබෙනවා.—ගීතා. 94:18, 19.

18 දෙවිගේ ආදරය හා සෙනෙහස දැනෙන විට ‘ඔබ මාගේ දකුණතින් අල්ලාගෙන සිටිනවා. ඔබ උපදෙස් දෙමින් මට මඟ පෙන්වනවා’ කියා ආසාෆ් පැවසූ වදන් මුළු හදවතින්ම පවසන්න අපිටත් හැකි වන බව නිසැකයි. (ගීතා. 73:23, 24) එසේනම් ගැලවීම ලබා දීමට යෙහෝවා දෙවි අපව ආරක්ෂා කිරීම ගැන අපි දෙවිට මොන තරම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද!

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[28වන පිටුවේ පින්තූරය]

ඔබේ සිත පෙලඹුවේ දෙවියි

[30වන පිටුවේ පින්තූර]

දෙවිගේ උපදෙස් පිළිපැදීම අපිට ආරක්ෂාවක්

[31වන පිටුවේ පින්තූරය]

දිරිගැන්වීම් විඳදරාගැනීමට උපකාරයක්