Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානීන් දේශපාලනයට සම්බන්ධ විය යුතුද?

ක්‍රිස්තියානීන් දේශපාලනයට සම්බන්ධ විය යුතුද?

ක්‍රිස්තියානීන් දේශපාලනයට සම්බන්ධ විය යුතුද?

ක්‍රිස්තියානීන් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන නිසා දේශපාලනයට සම්බන්ධ වන්නේ නැහැ. තමන් මෙන් තම අනුගාමිකයන්ද “මේ ලෝකයේ මිනිසුන්” හා සමානව ක්‍රියා නොකරන බව යේසුස් පැවසුවා. (යොහන් 15:19; 17:14) ක්‍රිස්තියානීන් දේශපාලනයට සම්බන්ධ නොවීමට තවත් හේතු කිහිපයක් අපි බලමු.

1. හැකියාවක් නොමැති වීම. මිනිසාව පාලනය කිරීමට මිනිසාට අයිතියක්වත් හැකියාවක්වත් නැති බව බයිබලයේ සඳහන් වෙනවා. දෙවිගේ සේවකයෙක් වන යෙරෙමියා ඒ ගැන මෙසේ පැවසුවා. ‘තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට [මිනිසාට] හැකියාවක් නැත.’—යෙරෙමියා 10:23.

මිනිසුන්ව නිර්මාණය කර තිබෙන්නේ මිනිසුන්ව පාලනය කිරීමේ හැකියාව ඇතුව නොවෙයි. පාලකයන්ට තිබෙන සීමාවන් ගැන ඉතිහාසඥයෙක් වන ඩේවිඩ් ෆ්‍රොම්කින් මෙසේ පැවසුවා. “මිනිසුන්ට වරදිනවා, අනාගතය ගැන නිවැරදිව කියන්න ඔවුන්ට බැහැ. ඔවුන්ට යම් බලයක් තිබුණත් ඒකට සීමාවක් තියෙනවා.” මිනිසුන්ව විශ්වාස නොකරන්න කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි.—ගීතාවලිය 146:3.

2. භූතයන්ගේ බලපෑම. ලෝකය පාලනය කිරීමේ අවස්ථාව යේසුස්ට ලබා දීමට යක්ෂයා උත්සාහ කළ බව අපි කලින් සඳහන් කළා. මේ ලෝකයේ පාලකයා යක්ෂයා බව ඉන් පැහැදිලියි. යේසුස්ද එය හොඳින් දැන සිටියා. ඔහු යක්ෂයාව මේ “ලෝකයේ පාලකයා” ලෙස හැඳින්නුවේ ඒ නිසයි. බොහෝ කාලයකට පසු යේසුස්ගේ අනුගාමිකයෙකු වූ පාවුල්ද “මේ සමාජයේ දෙවියා” යක්ෂයා කියා පැවසුවා. (යොහන් 14:30; 2 කොරින්ති 4:4) “අපට පොරබැදීමට සිදු වී තිබෙන්නේ මේ අන්ධකාර ලෝකයට අයත් . . . ලෝක පාලකයන්ට විරුද්ධවය. එනම් ස්වර්ගීය ස්ථානවල සිටින භූත සේනාවන්ට විරුද්ධවය” කියාත් ඔහු පැවසුවා. (එෆීස 6:12) මිනිසුන් නොදැන සිටියත් තිරය පිටුපස සිට මේ ලෝකය පාලනය කරන්නේ යක්ෂයා යටතේ සිටින භූතයන්. ක්‍රිස්තියානීන් දේශපාලනයට හවුල් නොවී සිටීමට එය බලපාන්නේ කොහොමද?

දැඩි මුහුදු රළ නිසා කුඩා බෝට්ටු මුහුදට ගසාගෙන යනවා හා සමානව භූතයන්ගේ බලපෑම්වලට ආණ්ඩුද හසු වී තිබෙනවා. මුහුදු රළ පාලනය කිරීමට නැවියන්ට හැකියාවක් නැහැ. ඒ හා සමානව භූතයන්ගේ බලපෑම් නැති කිරීමට දේශපාලනඥයන්ට බැහැ. භූතයන් උත්සාහ කරන්නේ මිනිසුන්ගේ මනස් විකෘති කර ‘දරුණු විපත්’ ඇති කිරීමටයි. (එළිදරව් 12:12) ඒ නිසා මේ ලෝකයේ සැබෑ වෙනසක් ඇති කිරීමට හැකි වන්නේ යක්ෂයාට සහ භූතයන්ට වඩා බලයක් තිබෙන කෙනෙකුට පමණයි. එවැනි බලයක් සතු එකම තැනැත්තා යෙහෝවා දෙවියි.—ගීතාවලිය 83:18; යෙරෙමියා 10:7, 10.

3. සැබෑ ක්‍රිස්තියානීන් පූර්ණ පක්ෂපාතකම දක්වන්නේ දේවරාජ්‍යයට පමණයි. දෙවි ස්වර්ගයේ ආණ්ඩුවක් පිහිටුවන බව යේසුස් සහ ඔහුගේ මුල් අනුගාමිකයන් දැන සිටියා. එම ආණ්ඩුවේ රජු යේසුස් ක්‍රිස්තුස්. (එළිදරව් 11:15) එමගින් සියලුම මිනිසුන්ට ආශීර්වාද ලැබීමට නියමිත නිසා යේසුස් එම “රාජ්‍යය ගැන ශුභාරංචිය” මිනිසුන්ට දැනුම් දුන්නා. (ලූක් 4:43) දෙවිගේ “රාජ්‍යය පැමිණේවා” කියා යාච්ඤා කරන ලෙසද ඔහු සිය අනුගාමිකයන්ට ඉගැන්නුවා. ඊට හේතුව දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේ සිදු වීමට සලස්වන්නේ එම රාජ්‍යය මගින් වීමයි.—මතෙව් 6:9, 10.

දේවරාජ්‍යය පොළොව පාලනය කරන විට මිනිස් ආණ්ඩුවලට සිදු වන්නේ කුමක්ද? බයිබලයේ සඳහන් වන්නේ දෙවිගේ රාජ්‍යය මගින් ඒ සෑම ආණ්ඩුවක්ම විනාශ කරන බවයි. (එළිදරව් 16:14; 19:19-21) එය පිළිගන්න කෙනෙක් දේශපාලනයට හවුල් වන්නේ නැහැ. ඊට හවුල් වීමෙන් පෙන්වන්නේ ඔහු දෙවිට විරුද්ධ වන බවයි.

සැබෑ ක්‍රිස්තියානීන් දේශපාලනයට සම්බන්ධ නොවන්නේ ඇයි කියා ඉහත තොරතුරුවලින් හොඳින්ම පැහැදිලියි. ඔවුන් සමාජයේ යහපත උදෙසා කිසිම දෙයක් නොකරන බව ඉන් අදහස් කරනවාද? ඊළඟ ලිපියෙන් ඊට පිළිතුරු දැනගනිමු.

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උද්ඝෝෂණවල හවුල් වෙනවා වෙනුවට දේවරාජ්‍යය ගැන ප්‍රකාශ කරනවා