Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානීන් සමාජයට යහපතක් කරන්නේ කොහොමද?

ක්‍රිස්තියානීන් සමාජයට යහපතක් කරන්නේ කොහොමද?

ක්‍රිස්තියානීන් සමාජයට යහපතක් කරන්නේ කොහොමද?

ක්‍රිස්තියානීන් සමාජයේ යහපත වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව යේසුස් පැවසුවා. එය කළ හැකි එක් ආකාරයක් වන්නේ ඔහු දුන් මෙම ආඥාව පිළිපැදීමයි. “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.”—මතෙව් 28:19, 20.

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ව ලුණුවලට සහ ආලෝකයට සමාන කළ බව මුල්ම ලිපියෙන් අපි දැනගත්තා. ඉන් අදහස් කළ දේ සහ ඉහත සඳහන් යේසුස්ගේ ආඥාව අතර සම්බන්ධයක් තිබෙනවා. (මතෙව් 5:13, 14) ඒ කුමක්ද? එය සමාජයේ යහපතට බලපාන්නේ කොහොමද?

සමාජයට සිදු වන යහපත

ආහාරයකට ලුණු එකතු කිරීමෙන් එය රසවත් වෙනවා පමණක් නොව එය නරක් නොවී ආරක්ෂා කරගැනීමටද හැකියි. ඒ හා සමානව යේසුස්ගේ අනුගාමිකයන් ප්‍රකාශ කරන පණිවිඩය නිසා ජනයාගේ ජීවිත ආරක්ෂා වෙනවා. යේසුස්ගේ ඉගැන්වීම් පිළිගෙන ඒවා තම ජීවිතවලට අදාළ කරගන්නා අය සදාචාර සම්පන්න ජීවිත ගත කරනවා. උදාහරණයකට දුම් බීම වැනි නරක පුරුදුවලින් මිදෙන ආකාරය එවැනි අය ඉගෙනගන්නවා. එපමණක් නොව ප්‍රේමය, සමාදානය, ඉවසීම, කරුණාවන්තකම සහ යහපත්කම වැනි ගතිගුණද ඔවුන් වර්ධනය කරගන්නවා. (ගලාති 5:22, 23) එම ගතිගුණ ඇති පුද්ගලයන්ගෙන් සමාජයට විශාල සේවයක් සිදු වෙනවා. මිනිසුන්ගේ ජීවිතවලට යහපත් බලපෑමක් ඇති කරන තොරතුරු අඩංගු පණිවිඩයක් ක්‍රිස්තියානීන් සියලුදෙනාටම ප්‍රකාශ කරන නිසා සමාජයේ යහපත උදෙසා ඔවුන්ද දායක වන බව පැවසිය හැකියි.

සැබෑ ක්‍රිස්තියානීන් ප්‍රකාශ කරන පණිවිඩය සහ ඔවුන්ගේ යහපත් ක්‍රියා නිසා තවත් දෙයක් සිදු වෙනවා. එය නම් යෙහෝවා දෙවිට ගෞරවය ලැබීමයි. (1 පේතෘස් 2:12) ඒ කොහොමද?

යේසුස් ඒ ගැන මෙසේ පැවසුවා. “මිනිසුන් පහනක් දල්වා පහන් රුකක් මත තබනවා මිස බඳුනකින් එය වසා තබන්නේ නැහැ. එමගින් ගෙයි සිටින සියල්ලන්ටම ආලෝකය විහිදෙයි. එලෙසම ඔබත් ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න.” දැල්වූ පහනක් උස් ස්ථානයකින් තැබූ විට එහි ආලෝකය දසත පැතිරෙනවා. ඒ හා සමානව සැබෑ ක්‍රිස්තියානීන් ශුභාරංචිය ප්‍රකාශ කරන විටත් යහපත් ක්‍රියා කරන විටත් එය අන් අයගේ අවධානයට ලක් වෙනවා. එවිට ඔවුන් සැබෑ දෙවිව ගෞරවයට පත් කරනවා.—මතෙව් 5:14-16.

සාමූහික වගකීමක්

“ලෝකයේ ආලෝකය ඔබයි” කියා යේසුස් පැවසුවේ ඔහුගේ සියලුම අනුගාමිකයන්ටයි. විවිධ ආගම්වල සිටින යහපත් ක්‍රියා කරන කිහිපදෙනෙකුට පමණක් එම කාර්යය කරන්න බැහැ. යේසුස්ගේ සියලුම අනුගාමිකයන් ලෝකයේ ආලෝකය විය යුතුයි. රටවල් 235ක විසිරී සිටින මිලියන හතක් පමණ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පිරිසක් ආලෝකය විහිදුවනවා. ඔවුන් එය කරන්නේ අන් අයට ශුභාරංචිය දේශනා කිරීමෙනුයි. එම කාර්යය තමන්ට ලැබී තිබෙන පැවරුමක් ලෙස ඔවුන් සලකනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශ කරන පණිවිඩය කුමක්ද? ශුභාරංචිය ප්‍රකාශ කරන ලෙස යේසුස් තම අනුගාමිකයන්ට උපදෙස් දුන් අවස්ථාවේ දේශපාලන වෙනසක් ගැන දේශනා කරන්න කියා පැවසුවේ නැහැ. ආගම දේශපාලනයට සම්බන්ධ විය යුතුයි කියාවත් වෙනත් දර්ශනයක් ප්‍රචලිත කළ යුතුයි කියාවත් යේසුස් පැවසුවේ නැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා” කරන්න කියායි. (මතෙව් 24:14) එම ආඥාවට කීකරු වන සැබෑ ක්‍රිස්තියානීන් සියලුදෙනාම දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ජනයාට ප්‍රකාශ කරනවා. යක්ෂයාගේ දුෂ්ට පාලනය නැති කර ධර්මිෂ්ඨ සමාජයක් බිහි කිරීමට හැකියාව තිබෙන්නේ එම රාජ්‍යයට පමණයි.

සැබෑ ක්‍රිස්තියානීන් තම ජීවිතවලට අදාළ කරගත යුතු පැති දෙකක් ගැන යේසුස්ගෙන් අපට ඉගෙනගත හැකියි. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ශුභාරංචිය ලුණුවලට සමාන වන්නේ කොහොමද?

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ශුභාරංචිය අඳුරු තැනක දැල්වෙන පහනක් හා සමාන වන්නේ කොහොමද?