Skip to content

පටුනට යන්න

පාඨකයන් අසයි

පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන් දේශපාලනයට සම්බන්ධ වුණාද?

පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන් දේශපාලනයට සම්බන්ධ වුණාද?

▪ යේසුස් ස්වර්ගයට යෑමට පෙර ඔහුගේ අනුගාමිකයන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීම ගැන උපදෙස් ලබා දුන්නත් දේශපාලනයට සම්බන්ධ වීම ගැන කිසි දෙයක් පැවසුවේ නැහැ. (මතෙව් 28:18-20) ඒ නිසා “සීසර්ට අයිති දේ සීසර්ටත් දෙවිට අයිති දේ දෙවිටත් දෙන්න” කියා යේසුස් කලින් පවසා තිබූ උපදෙසට අනුව ඔවුන් ජීවත් වුණා.—මාක් 12:17.

දෙවිට අයිති දේ කුමක්ද කියාත් සීසර්ට එනම්, ආණ්ඩුවලට දිය යුත්තේ කුමක්ද කියාත් ඔවුන් තීරණය කළේ කොහොමද?

දේශපාලනයට සම්බන්ධ වීම යේසුස් දුන් උපදෙසට පටහැනි බව පාවුල් අවබෝධ කරගෙන සිටියා. ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “පාවුල් තමන්ට ලැබූ රෝම පුරවැසිභාවයෙන් යම් ප්‍රයෝජන ලබාගත්තත් එවැනි සැලසුම් ඇති කරන ලෙස ආණ්ඩුවලට බල කළේ නැහැ.”—Beyond Good Intentions—A Biblical View of Politics.

පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට දුන් මඟ පෙන්වීම් මොනවාද? ඉහත සඳහන් කළ පොතේ ඒ ගැන මෙසේ පවසනවා. “කොරින්තිය, එෆීසය සහ රෝමය වැනි ප්‍රධාන නගරවල සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් ලිපි ලිව්වත් දේශපාලනයට සම්බන්ධ වීම ගැන ඔහු එහි කිසි දෙයක් සඳහන් කළේ නැහැ. නමුත් ආණ්ඩුවලට යටත් වන ලෙස ඔහු එහි අණ කර තිබෙනවා. පල්ලිය රජයට බලපෑම් කළ යුතුයි කියා ඔහු කිසි තැනක සඳහන් කර නැහැ.”—රෝම 12:18; 13:1, 5-7.

පාවුල්ගේ කාලයෙන් පසුව සිටි ක්‍රිස්තියානීන්ද ආණ්ඩුවලට දිය යුතු දේ හා දෙවිට දිය යුතු දේ ගැන හොඳින් අවබෝධ කරගෙන සිටියා. ඔවුන් ආණ්ඩුවලට ගරු කළත් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. ඒ කාලවල සිටි ක්‍රිස්තියානීන් ගැන ඉහත සඳහන් කළ පොතේ මෙසේ පවසනවා. “තමන් ආණ්ඩුවලට ගරු කළ යුතු බව එදා සිටි ක්‍රිස්තියානීන් අවබෝධ කරගෙන සිටියා. දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම වැරදි බවත් ඔවුන් දැන සිටියා.”

කෙසේවෙතත් යේසුස්ගේ මරණයෙන් වසර 300කට පමණ පසු එම තත්වය වෙනස් වුණා. ආගම පිළිබඳ හදාරන විද්වතෙක් වන චාල්ස් විලා විසෙන්චියෝ ඒ ගැන මෙසේ පවසනවා. “කොන්ස්ටන්ටයින් පාලනය කරන කාලය වන විට තත්වය වෙනස් වුණා. ක්‍රිස්තියානීන් සමාජ සේවා කටයුතුවලට, හමුදා කටයුතුවලට හා දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුණා.” එහි ප්‍රතිඵලයක් ලෙස හතරවන සියවස අගභාගය වන විට ආගම, දේශපාලනය සමඟ මිශ්‍ර වුණා.

වර්තමානයේදීද ක්‍රිස්තුස්ව අනුගමනය කරන බව කියා සිටින ආගම් ඔවුන්ගේ සාමාජිකයන්ට දිරිගන්වන්නේ දේශපාලනයට සම්බන්ධ වන්න කියායි. ඒ නිසා ඔවුන් යේසුස්ව හෝ ඔහුගේ මුල් අනුගාමිකයන්ව අනුගමනය කරනවා කියා පවසන්න බැහැ.