Skip to content

පටුනට යන්න

යුග දිවිය දෙවිගෙන් ලද තෑග්ගක්

යුග දිවිය දෙවිගෙන් ලද තෑග්ගක්

යුග දිවිය දෙවිගෙන් ලද තෑග්ගක්

“යෙහෝවා දෙවිගේ ආශීර්වාදය වගේම ඔබ දෙදෙනාට නැවත සන්තෝෂවත් යුග දිවියක් ගත කරන්නත් හැකියාව ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.”—රූත් 1:9.

ඔබේ පිළිතුර මොකක්ද?

අතීතයේ සිටි දෙවිගේ සේවකයන් විවාහය නමැති තෑග්ග අගය කළේ කොහොමද?

ඔබ විවාහය සඳහා තෝරගන්නේ කාවද යන්න ගැන දෙවි සැලකිලිමත් වන බව දන්නේ කොහොමද?

ඔබේ යුග දිවියට අදාළ කරගන්න අදහස් කරන්නේ මොන බයිබල් ප්‍රතිපත්තිද?

1. බිරිඳව දුටු මොහොතේ ආදම්ට හැඟුණේ කොහොමද?

ආදම් තම බිරිඳව දුටු මොහොතේ මෙසේ කිව්වා. “මේ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය. ඇයට ස්ත්‍රියයයි කියනු ලබන්නේය. මන්ද ඇය මිනිසාගෙන් ගනු ලැබීය.” (උත්. 2:23) ඔහු එහෙම කිව්වේ යෙහෝවා දෙවි ඔහුට රූමත් පරිපූර්ණ බිරිඳක් ලබා දුන් විට හුඟක් සතුටු වූ නිසයි. දෙවි ආදම්ව තද නින්දකට වැටෙන්න සලස්වා ඔහුගේ ඉළ ඇටයක් ගෙන මේ රූමත් ස්ත්‍රියව නිර්මාණය කළා. පසුව ආදම් ඇයට ඒව යන නම තැබුවා. යෙහෝවා දෙවි ඔවුන්ව විවාහ කළා. ඒවව නිර්මාණය කර තිබූ ආකාරය නිසා ඔවුන් දෙදෙනා එක්කෙනෙකු මෙන් වුණා. ඒ නිසා අද විවාහක යුවළක් අතර තිබෙන බැඳීමට වඩා බැඳීමක් ඔවුන් අතර තිබුණා කියා කියන්න පුළුවන්.

2. ස්ත්‍රීන් හා පුරුෂයන් ආදරය කරන්නේ ඇයි?

2 මිනිසුන් තුළ ආදර හැඟීම් ඇති වෙන්නේ දෙවි ඒ හැඟීම් ඇතුව ඔවුන්ව නිර්මාණය කළ නිසයි. ස්ත්‍රියක් හා පුරුෂයෙක් එකිනෙකාට ආදරය කරන්නත් ඉතාම සමීප බැඳීමක් ඇති කරගන්නත් හේතුව එයයි. දෙදෙනෙක් විවාහ වන විට තමන් තුළ තිබෙන ආදරය හැමදාම තිබෙයි කියා බලාපොරොත්තු වෙනවා.

විවාහය නමැති තෑග්ග අගය කළ අය

3. ඊසාක්ට බිරිඳක් ලබා දීම සඳහා ආබ්‍රහම් කළේ මොකක්ද?

3 ආබ්‍රහම් දෙවි ඇති කළ විවාහ සැලැස්මට ගොඩක් ගරු කළා. ඒ නිසා ඊසාක්ට බිරිඳක් සෙවීම සඳහා ඔහු තම ප්‍රධාන සේවකයාව මෙසපොතේමියාවට යැව්වා. එම සේවකයාද විවාහ සැලැස්මට ගරු කළ නිසා දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කළා. දේවගරුබිය ඇති ළඳක් වූ රෙබෙකාව ඊසාක්ගේ බිරිඳ වීමට ඔහු තේරුවේ දෙවිගේ උපකාරය ඇතුවයි. දෙවි ආබ්‍රහම් මාර්ගයෙන් දුන් පොරොන්දුව ඉටු කිරීමට ඇයත් දායක වුණා. (උත්. 22:18; 24:12-14, 67) අද දින විවාහය සඳහා කෙනෙක් පෞද්ගලික තීරණයක් ගන්න ඉඩ තිබෙනවා. විවාහය සඳහා හොඳ තීරණයක් ගැනීමට දෙවිගේ උපකාරය ඉල්ලනවා නම් දෙවි ඔහුට හෝ ඇයට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙනවා. නමුත් අපි මතක තබාගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. සහකරුවෙකු හෝ සහකාරියක සොයා දෙන්න කියා කෙනෙක් අපෙන් ඉල්ලා නැත්නම් කපුකම් කිරීමෙන් අපි වැළකිය යුතුයි.—ගලා. 5:18, 25.

4, 5. ෂූලම්මීය ළඳ හා එඬේර තරුණයා එකිනෙකාට ආදරය කළ බව අපි දන්නේ කොහොමද?

4 රූමත් ෂූලම්මීය ළඳව විවාහ කරගැනීමට සලමොන් රජුට වුවමනා වුණා. නමුත් ඇය ඊට කැමති වුණේ නැහැ. එසේ කිරීමට තමන්ට බල කරන්න එපා කියා ඇය ඇගේ මිතුරියන්ට පැවසුවේ මේ ආකාරයටයි. “යෙරුසලමේ ළඳුනේ, මා තුළ ආදර හැඟීම් අවදි කිරීමට වෑයම් නොකරන්න. ඔබ එසේ නොකරන බවට මට දිවුරා පොරොන්දු වන්න.” (සල. 8:4) එසේ පැවසුවේ ඇය එඬේර තරුණයෙකුට ආදරය කරමින් සිටි නිසයි. ඇය ඔහුට පැවසුවේ “මම ෂාරොන්හි වැවෙන මලකි. තැනිතලාවේ වැවෙන ලිලී මලකි” කියායි. එඬේර තරුණයාද ආදරෙන් ‘මගේ පෙම්වතිය යුවතියන් අතරේ සිටින විට ඔබ කටු ගස් අතරේ පිපී ලෙළ දෙන ලස්සන ලිලී මලක් වැනිය’ කියා පැවසුවා. (සල. 2:1, 2) ඔවුන් දෙදෙනා එකිනෙකාට පණ මෙන් ආදරය කළා.

5 ෂූලම්මීය ළඳ හා එඬේර තරුණයා අතර එවැනි බැඳීමක් තිබුණේ ඔවුන් දෙදෙනාම වෙන කාටත් වඩා යෙහෝවා දෙවිට ආදරය කළ නිසයි. ෂූලම්මීය ළඳ තම එඬේර තරුණයා ගැන මෙසේද පැවසුවා. “මා හැර වෙන කිසිවෙකුට ඔබේ හදවත විවර නොකරන්න. මා හැර වෙන කිසිවෙකුව ඔබේ දෑතින් වැලඳ නොගන්න. ප්‍රේමය මරණය තරම්ම ප්‍රබලය. පෙම්වතුන් එකිනෙකාගෙන් අයැද සිටින විශ්වාසන්තකම, මිය ගිය අයව ඉල්ලා සිටින මිනී වළ තරම්ම බලවත්ය. ප්‍රේමය ගිනිදලු මෙන් ඇවිළෙන්නේය. ඒ ගින්න යෙහෝවා දෙවිගෙන්ය. මහා ජල කඳකින්වත් ප්‍රේමය නමැති ඒ ගින්න නිවාලිය නොහැක. මහා ගංවතුරකින්වත් එය නිවාලිය නොහැක. මිනිසෙකු තමා සතු වස්තු සම්භාරයම දුන්නත් ඔහුට ප්‍රේමය මිල දී ගත නොහැක.” (සල. 8:6, 7) ඒ හා සමානව අද සිටින දෙවිගේ සේවකයන්ද තම සැමියාට හා බිරිඳට විශ්වාසවන්තව සිටීම කොතරම් අවශ්‍යද?

ඔබේ තේරීම ගැන දෙවි සැලකිලිමත්

6, 7. ඔබ විවාහය සඳහා තෝරගන්නේ කාවද යන්න ගැන දෙවි සැලකිලිමත් වන බව දන්නේ කොහොමද?

6 ඔබ විවාහය සඳහා තෝරගන්නේ කාවද යන්න ගැන දෙවි සැලකිලිමත් වෙනවා. උදාහරණයකට කානාන් දේශයේ සිටි ජනයා ගැන දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ අනතුරු ඇඟෙව්වා. “ඔබ ඔවුන් සමඟ විවාහ සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඔබේ දූවරුන්ව ඔවුන්ගේ පුතුන්ට විවාහ කර දෙන්නවත් ඔබේ පුතුන්ව ඔවුන්ගේ දූවරුන්ට විවාහ කර දෙන්නවත් එපා. ඔබ එවැනි දෙයකට ඉඩ දුන්නොත් ඔබේ දූපුතුන් දෙවිගෙන් ඈත් වී වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කරන්න පටන්ගනියි. එවිට යෙහෝවා දෙවිගේ උදහස ඔබට විරුද්ධව ඇවිළී, ඔහු ඔබව වහාම විනාශ කර දමයි.” (ද්වි. 7:3, 4) අවුරුදු සිය ගණනකට පසු එස්රා ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබ දෙවිට අවිශ්වාසවන්තව කටයුතු කර තිබෙනවා. ඔබ විදේශ ස්ත්‍රීන්ව විවාහ කරගෙන ඊශ්‍රායෙල් සෙනඟගේ පාප තවත් වැඩි කළා.” (එස්රා 10:10) එමෙන්ම පාවුල්ද සෙසු ක්‍රිස්තියානීන්ට පැවසුවේ මෙයයි. “භාර්යාවක් තම ස්වාමිපුරුෂයා ජීවත්ව සිටින කාලය පුරා ඔහු හා බැඳී සිටියි. නමුත් ඇගේ ස්වාමිපුරුෂයා මිය ගියොත් තමන්ට කැමති කෙනෙකු සමඟ විවාහ වීමට ඇයට නිදහස තිබේ. නමුත් ඒ තැනැත්තා අනිවාර්යයෙන්ම ස්වාමීන්ගේ අනුගාමිකයෙකු විය යුතුයි.”1 කොරි. 7:39.

7 එස්රාගේ කාලයේ සිටි ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවිට අකීකරු වී ‘විදේශ ස්ත්‍රීන්ව විවාහ කරගත්තා.’ (එස්රා 10:10) අද සිටින දෙවිගේ කැප වූ සේවකයෙක් දෙවිට සේවය නොකරන කෙනෙක් සමඟ විවාහ වෙනවා නම් ඉන් අදහස් කරන්නේ යෙහෝවා දෙවිට අකීකරු වෙන බවයි. (2 කොරි. 6:14, 15) බව්තීස්ම ලත් කෙනෙක් බව්තීස්ම නොලත් කෙනෙකු සමඟ විවාහ වීම සඳහා නිදහසට කරුණු කීම සුදුසු නැහැ. එවැනි කෙනෙකුට සභාවේ තිබෙන සමහර වරප්‍රසාද පවා අහිමි වීමට ඉඩ තිබෙනවා. ඔබ එවැනි විවාහයක් කරගත්තොත් ඊට දෙවිගේ ආශීර්වාද ඉල්ලන්න පුළුවන්ද? එසේ කරනවා නම් එය හරියට ‘යෙහෝවා මම අකීකරු වුණේ හිතාමතාමයි. ඒ වුණත් මට ආශීර්වාද කරන්න’ කියනවා වගෙයි.

අපිට සුදුසුම දේ දෙවි දන්නවා

8. විවාහය පිළිබඳ දෙවිගේ උපදෙස් පිළිපදින්න අවශ්‍ය ඇයි?

8 යන්ත්‍රයක් ගැන හොඳින් දන්නේ ඒ යන්ත්‍රය නිපදවූ තැනැත්තායි. ඔහුගේ උපදෙස් අනුගමනය කළේ නැත්නම් ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ හා සමානව විවාහයේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිගේ උපදෙස් පිළිපැද්දේ නැත්නම් කල් පවතින සාර්ථක යුග දිවියක් ගත කරන්න බැරි වෙනවා.

9. දෙවි විවාහ සැලැස්ම ඇති කළේ ඇයි?

9 මිනිසා හා විවාහය සම්බන්ධයෙන් සෑම දෙයක්ම යෙහෝවා දෙවි දන්නවා. ඒවව නිර්මාණය කිරීමට පෙර දෙවි මෙසේ පැවසුවා. “මිනිසා තනිව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියකව සාදා දෙන්නෙමි.” (උත්. 2:18) ‘දරුවන් බිහි කර ගණනින් වැඩි වීම’ සඳහා දෙවි මිනිසුන් තුළ ලිංගික ආශාව ඇති කළා. (උත්. 1:28) ඒ වගේම දෙදෙනෙක් විවාහ වී සතුටින් සිටිනවා දකින්නත් දෙවි කැමතියි.—හිතෝපදේශ 5:15-18 කියවන්න.

10. විවාහ ජීවිතයේදී දෙවිව සතුටු කිරීමට යුවළකට පුළුවන් කොහොමද?

10 මිනිසුන් අසම්පූර්ණයි. ඒ නිසා විවාහකයන් දෙදෙනෙක් අතර විටින් විට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් දෙදෙනා දෙවිගේ උපදෙස් පිළිපදිනවා නම් පවුල් ජීවිතය තුළ නියම සතුට භුක්ති විඳින්න පුළුවන්. උදාහරණයකට විවාහක යුවළයන්ට ලිංගික කාරණ ගැන පැහැදිලි උපදෙස් දී තිබෙනවා. (1 කොරින්ති 7:1-5 කියවන්න.) විවාහක යුවළක් ලිංගික සබඳතා පැවැත්විය යුත්තේ දරුවන් බිහි කිරීමට පමණක් කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. විවාහය මගින් ස්ත්‍රියකට හා පුරුෂයෙකුට තිබෙන ස්වාභාවික ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීමටත් පුළුවන් වෙනවා. නමුත් විවාහය තුළ වුණත් පිළිකුල්සහගත ලිංගික ක්‍රියාවල යෙදීම දෙවි අනුමත කරන්නේ නැහැ. ක්‍රිස්තියානි සැමියෙක් හා බිරිඳක් එකිනෙකාට මුදු මොළොක් ලෙස හා මහත් සෙනෙහසින් සලකන විට ඒ ගැන දෙවි සතුටු වෙනවා.

11. දෙවිට විශ්වාසවන්තව සිටීම නිසා රූත් ලැබූ ආශීර්වාද මොනවාද?

11 ‘මොනවා කරන්නද ඉතිං, බැඳගත්තු බෙරේ ගහන්න එපායැ’ කියන සිතුවිල්ල විවාහකයන් තුළ ඇති නොවිය යුතුයි. ඒ වෙනුවට විවාහ ජීවිතයක් සමඟියෙන් හා සතුටින් පිරී තිබීම දෙවිගේ ආශාවයි. අවුරුදු 3,000කට පමණ පෙර සිදු වූ දෙයක් ගැන අපි දැන් සලකා බලමු. මහලු නායොමි තමා මෙන් වැන්දඹුවන්ව සිටි තමාගේ මෝවබ් ජාතික ලේලියන් දෙදෙනා වූ ඕපා සහ රූත් සමඟ මෝවබ් දේශයේ සිට යූදා වෙත එන්න පිටත් වුණා. නැවත තම නෑදෑයන් වෙත යන්න කියා ලේලියන්ගෙන් නායොමි ඉල්ලූ විට ඕපා හැරිලා ගියා. නමුත් රූත් දිගටම නායොමි සමඟ සිටියා. යෙහෝවා දෙවිව අත් නොහැර ‘ඔහුගේ පියාපත් සෙවණේ රැකවරණය සෙවූ නිසා ඇයට ඔහුගෙන් බොහෝ ආශීර්වාද ලැබුණා.’ (රූත් 1:9; 2:12) රූත්ට හොඳ ස්වාමිපුරුෂයෙක් ලැබුණා. ඇය බෝවස් සමඟ විවාහ වුණා. ඔහු වයසින් වැඩි ඉතා කාරුණික දෙවිට විශ්වාසවන්තව සිටි කෙනෙක්. ඊට අමතරව නැවත නැඟිටින විට තමා යේසුස්ගේ මිත්තනියක් වූ බව දැනගනිද්දී ඇය මොන තරම් සතුටු වෙයිද! (මතෙ. 1:1, 5, 6; ලූක් 3:23, 32) ඇයට දෙවිගේ ආශීර්වාද ලැබුණේ දෙවිට විශ්වාසවන්ත වෙමින් විවාහය නමැති තෑග්ග අගය කළ නිසයි.

ප්‍රීතිමත් යුග දිවියකට හොඳම උපදෙස්

12. සාර්ථක යුග දිවියකට හොඳම උපදෙස් ලබාගන්න පුළුවන් කොහෙන්ද?

12 සාර්ථක යුග දිවියක් ගත කිරීම සඳහා හොඳම උපදෙස් ලබාගන්න පුළුවන් කොහෙන්ද? විවාහයේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිගෙන් පමණයි. විවාහය සම්බන්ධයෙන් හොඳම උපදෙස් තිබෙන්නේ බයිබලයෙයි. නමුත් කිහිප විටක් දික්කසාද වූ කෙනෙකුට බොහෝ අද්දැකීම් තිබෙනවා කියා සිතමින් ඔහුගෙන් හෝ ඇගෙන් උපදෙස් ගැනීම නුවණට හුරු නැහැ. බයිබලයේ අපිට මෙවැනි උපදෙසක් දෙනවා. “ඔබ එකිනෙකා තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි. එලෙසම භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි.” (එෆී. 5:33) විවාහ සැලැස්මට ගරු කරන හා එය අගය කරන කෙනෙකුට එම උපදෙස පිළිපදින එක අමාරු දෙයක් නෙවෙයි. *

13. පළවෙනි පේතෘස් 3:7 ඇති මඟ පෙන්වීමට යටත් නොවුණොත් මොකක් වෙන්න පුළුවන්ද?

13 සැමියෙක් තම බිරිඳට ආදරෙන් සැලකිය යුතු බව පේතෘස් මෙසේ කාවැද්දුවා. “ස්වාමිපුරුෂයෙනි, ඔබත් ඔබේ භාර්යාවන්ව හොඳින් තේරුම්ගෙන ඔවුන් සමඟ ජීවත් වන්න. කාන්තාවන් වන ඔවුන් ඔබට වඩා දුර්වල අය වන නිසාත් ඔවුන් ඔබ සමඟ ජීවනය නමැති මහත් වරප්‍රසාදයට උරුමකම් කියන නිසාත් ඔවුන්ට ගෞරවය දිය යුතුයි. එසේ කිරීමෙන් ඔබේ යාච්ඤාවලට කිසි බාධාවක් ඇති නොවේ.” (1 පේතෘ. 3:7) සැමියෙක් දෙවිගේ එම මඟ පෙන්වීමට යටත් වෙන්නේ නැත්නම් දෙවි ඔහුගේ යාච්ඤාවලට සවන් දෙන්නේ නැහැ. දෙදෙනා වාදවිවාද ඇති කරගන්නත් සැරපරුෂ ලෙස කටයුතු කරන්නත් ඉඩ තිබෙනවා. අවසානයේදී දෙවි සමඟ ඇති ඔවුන්ගේ මිත්‍රත්වයට හානියක් වෙන්න පුළුවන්.

14. බිරිඳක් ප්‍රේමණීයව කටයුතු කරන විට ඉන් මුළු පවුලටම ලැබෙන ප්‍රයෝජන මොනවාද?

14 දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව කටයුතු කරන විට පවුලේ සාමය හා ප්‍රීතිය රැකගන්න බිරිඳකට පුළුවන්. සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි සැමියෙක් තම බිරිඳට ආදරය කරමින් ඇයව රැකබලා ගන්න පෙලඹෙනවා. අනික් අතට බිරිඳක් යහපත් ගුණාංග විදහාපාන්න උත්සාහ කරන විට ඔහුගේ ආදරය තවත් වැඩි වෙනවා. “ප්‍රඥාවන්ත ස්ත්‍රියක් ඇගේ පවුල ගොඩනඟා ගන්නීය. නමුත් අඥාන තැනැත්තිය තම දෑතින්ම එය බිඳ දමන්නීය.” (හිතෝ. 14:1) ප්‍රඥාවන්ත හා ප්‍රේමණීය බිරිඳක් මුළු පවුලටම ආශීර්වාදයක්. ඇගේ ක්‍රියාවලින් ඇය පෙන්වන්නේ විවාහය නමැති දීමනාව අගය කරන බවයි.

15. එෆීස 5:22-25 තිබෙන මඟ පෙන්වීම මොකක්ද?

15 යේසුස් ආදරයෙන් හා ගෞරවයෙන් සභාව රැකබලා ගත් ආකාරය සැමියෙක් හා බිරිඳක් ආදර්ශයට ගන්නවා නම් ඔවුන් පෙන්වන්නේ විවාහ සැලැස්ම අගය කරන බවයි. (එෆීස 5:22-25 කියවන්න.) එවැනි යුවළක් අතර ප්‍රශ්නයක් ඇති වූ විට එකිනෙකා කතා නොකර සිටිනවා වෙනුවට නිහතමානීව කතාබහ කර එම ප්‍රශ්නය විසඳගන්නවා. තම විවාහ බැඳීමට හානියක් කිරීමට ඔවුන් කිසිම දෙයකට ඉඩ දෙන්නේ නැහැ. එවැනි යුවළකට දෙවි බොහෝ සේ ආශීර්වාද කරනවා.

වෙන් නොකළ යුතු බැඳීමක්

16. සමහරු තනිකඩව සිටින්නේ ඇයි?

16 බොහෝදෙනෙක් විවාහ වෙන්න කැමතියි. නමුත් සමහරු තනිකඩව සිටින්නේ තමන්ට ගැළපෙන වගේම යෙහෝවා දෙවිට සේවය කරන කෙනෙක්ව සොයාගන්න බැරි නිසයි. තවත් සමහරුන් දිගටම තනිකඩව ඉන්න තීරණය කරනවා. කොහොමවුණත් තනිකඩව සිටින කෙනෙකුට දෙවිගේ සේවය වෙනුවෙන් පූර්ණ අවධානයක් දීමටත් වැඩි කාලයක් ගත කිරීමටත් පුළුවන් වෙනවා. එවැනි තනිකඩ අයට තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි අතර යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කරනවා.—මතෙ. 19:10-12; 1 කොරි. 7:1, 6, 7, 17.

17. (අ) විවාහය ගැන යේසුස් පැවසුවේ මොකක්ද? (ආ) තව කෙනෙකුගේ සැමියෙකු හෝ බිරිඳක ගැන ආශාවක් ඇති වෙයි නම් කළ යුතු වෙන්නේ මොකක්ද?

17 අපි තනිකඩයන් වුණත් විවාහකයන් වුණත් යේසුස්ගේ මෙම වදන් මතක තබාගත යුතුයි. “ඔබ ඒ ගැන කලින් කියවා නැද්ද? දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා. ‘ඒ නිසා මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී තම බිරිඳට ඇලුම් වන්නේය කියාද ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය’ කියාද ලියා තිබෙනවා. එසේ ඔවුන් එතැන් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙකු මෙන් වෙනවා. දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.” (මතෙ. 19:4-6) තව කෙනෙකුගේ සැමියෙකු ගැන හෝ බිරිඳක ගැන ආශාවක් ඇති කරගැනීම පාපයක්. (ද්වි. 5:21) කෙනෙක් තුළ එවැනි ආශාවක් ඇති වුණොත් වහාම එය ඉවත් කරගත යුතුයි. එම නරක ආශාව කාලයක් පුරා සිතේ පෝෂණය වීමට ඉඩහැරියොත් එය නැති කර දැමීම පහසු නැහැ. නමුත් එය අනිවාර්යයෙන්ම කළ යුතුයි. (මතෙ. 5:27-30) සිතන ආකාරය වෙනස් කර තමන්ගේ රැවටිලිකාර සිත පාලනය කරගත යුතුයි.—යෙරෙ. 17:9.

18. අපි විවාහය නමැති තෑග්ග ගැන සිතන්න ඕන කොහොමද?

18 යෙහෝවා දෙවිට නමස්කාර නොකරන අය අතර පවා විවාහ සැලැස්මට ගරු කරන අය සිටිනවා. එසේනම් දෙවිගේ කැප වූ සේවකයන් වන අපි යුග දිවිය ගත කරන ආකාරයෙන් ඊටත් වඩා විවාහය නමැති තෑග්ග අගය කරන බවත් ඊට ගරු කරන බවත් පෙන්විය යුතු නැද්ද!—1 තිමෝ. 1:11.

[පාදසටහන]

^ 12 ඡේ. විවාහය ගැන වැඩි විස්තර සඳහා “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න” නමැති පොතේ 10වෙනි සහ 11වෙනි පරිච්ඡේද බලන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සාර්ථක යුග දිවියකින් මුළු පවුලටම සතුටක් වගේම දෙවිට ගෞරවයත් ලැබෙනවා

[5වන පිටුවේ පින්තූරය]

රූත් විවාහය නමැති තෑග්ග අගය කළා

[7වන පිටුවේ පින්තූරය]

දෙවි ඇති කළ විවාහ සැලැස්ම ඔබ අගය කරනවාද?