Skip to content

පටුනට යන්න

නිවැරදි අනාවැකි ඇතුළත් පොතක්

නිවැරදි අනාවැකි ඇතුළත් පොතක්

“යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ.”—යොෂුවා 23:14.

බයිබලය අද්විතීය වන්නේ ඇයි? පුරාණයේ සිටි සමහර අය අනාගතය ගැන පැවසීමට පුරුදු වී සිටියා. නමුත් ඔවුන් පැවසූ තොරතුරු පැහැදිලි නැහැ. ඒවා විශ්වාස කිරීමට සාක්ෂි තිබුණේද නැහැ. අද සිටින කේන්දර බලන අය පවසන දේවල්ද ඒ හා සමානයි. සමහරුන් වර්තමාන සිදුවීම් අධ්‍යයනය කර අනාගතය ගැන පවසනවා. නමුත් ඔවුන් ශතවර්ෂ ගණනාවකින් පසුව සිදු වීමට නියමිත දේවල් ගැන පවසන්නේ නැහැ. කොහොමවුණත් බයිබලයේ ඇති අනාවැකි ඊට වඩා වෙනස්. ඒවා සවිස්තරාත්මකව වාර්තා කර තිබෙනවා. ඒ සෑම අනාවැකියක්ම අකුරටම ඉටු වුණේ ඒවා පවසා ශතවර්ෂ ගණනාවක් ගත වු පසුවයි.—යෙසායා 46:10.

උදාහරණයක්: ක්‍රිස්තු පූර්ව හයවන සියවසේදී දානියෙල් නමැති තැනැත්තා දර්ශනයක් දුටු බව බයිබලයේ සඳහන් වෙනවා. ඔහු දුටුවේ ග්‍රීසිය විසින් මේද පර්සියාව යටත් කරගන්නා ආකාරයයි. ග්‍රීසියේ රජු ‘බලවත් වුණත්’ ඔහුගේ බලය නැති වන බව දානියෙල් පැවසුවා. ඔහුගේ රාජ්‍යය බිඳ වැටුණු පසු තවත් රජ්‍යයන් හතරක් බිහි වන බවත් ඒවා ඔහුගේ රාජ්‍යය තරම් බලවත් වන්නේ නැති බවත් දානියෙල් වාර්තා කළා.—දානියෙල් 8:5-8, 20-22.

එම අනාවැකිය ඉටු වුණාද? එම අනාවැකිය පවසා වසර 200කට පමණ පසු මහා ඇලෙක්සැන්ඩර් ග්‍රීසියේ පාලකයා බවට පත් වුණා. වසර 10ක් ඇතුළත ඔහු මේද පර්සියාව යටත් කරගත්තා. ඔහුගේ අධිරාජ්‍යය ඉන්දු ගඟ දක්වා ව්‍යාප්ත වුණා. නමුත් වයස අවුරුදු 32දී ඔහු හදිසියේම මිය ගියා. ඉන්පසු ඉප්සස් නම් ප්‍රදේශයේ සිදු වූ යුද්ධයෙන් අනතුරුව එම අධිරාජ්‍යයේ බලය ග්‍රීසියේ සෙන්පතීන් හතරදෙනෙක් අතරේ බෙදී ගියා. නමුත් ඒ කිසිවෙකුට ඇලෙක්සැන්ඩර්ට තරම් බලයක් හිමි වුණේ නැහැ.

ඔබ සිතන්නේ කුමක්ද? ඉටු වූ අනාවැකි ඇතුළත් බයිබලය හා සමාන තවත් පොතක් තිබෙනවාද?

‘බයිබලයේ ඇති අනාවැකි හුඟක් ඉටු වී තිබෙනවා. ඒ නිසා ඒ හැම අනාවැකියක්ම අහම්බෙන් ඉටු වුණා කියා පවසන්න බැහැ.’—A Lawyer Examines the Bible යන පොත