Skip to content

පටුනට යන්න

පරිවර්තකයෙක් ගත් උත්සාහය

පරිවර්තකයෙක් ගත් උත්සාහය

පරිවර්තකයෙක් ගත් උත්සාහය

වර්ෂ 1535දී මයිල්ස් කවර්ඩේල් විසින් මුල්ම ඉංග්‍රීසි බයිබලය පරිවර්තනය කළත් ඔහුගේ නම එහි සඳහන් කළේ නැහැ. ඒ වන විට ඔහුගේ කිට්ටු මිත්‍රයෙක් වූ විලියම් ටින්ඩේල්ව සිරගත කර තිබුණා. ඊට හේතුව ටින්ඩේල් බයිබලය පරිවර්තනය කිරීමේ කටයුතුවල හවුල් වීමයි. ඊළඟ වසරේදී ඔහුව මරා දැමුවා.

කවර්ඩේල්ට තම පරිවර්තනය කරගෙන යෑමට ටින්ඩේල් පරිවර්තනය කර තිබූ තොරතුරු බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වුණා. ටින්ඩේල් වැනි පරිවර්තකයන්ව මරා දැමූ ඒ කාලයේදී කවර්ඩේල්ට ඉන් බේරීමට හැකි වුණේ කොහොමද?

භාරදූර කාර්යයක ආරම්භය

මයිල්ස් කවර්ඩේල් උපත ලැබුවේ එංගලන්තයේ. ඒ 1488දී විය හැකියි. ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව 1514දී රෝමානු කතෝලික පූජකයෙක් වුණා. ඔහුගේ ගුරුවරයෙක් වූ රොබට් බාන්ස් ආගමික ප්‍රතිසංස්කරණ ගැන ඔහු තුළ තිබූ ආශාව තවත් වැඩි කළා. බාන්ස් 1528දී එංගලන්තයෙන් පලා ගිය අතර වසර 12කට පසුව පල්ලියේ බලපෑම නිසා ඔහුව පිළිස්සුවා.

වර්ෂ 1528 වන විට රූප නමස්කාරය, පාපෝච්චාරණය සහ පූජා පැවැත්වීම වැනි දේවල් බයිබලයට පටහැනියි කියා කවර්ඩේල් පල්ලියේ සිටම කතා කිරීමට පටන්ගත්තා. නමුත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වූ නිසා ඔහු එංගලන්තයෙන් පලා ගියා.

ඔහු ජර්මනියේ හැම්බර්ග්වල සිටි කාලයේදී නවාතැන් ගත්තේ විලියම් ටින්ඩේල්ගේ නිවසෙයි. මිනිසුන්ට තේරෙන ආකාරයෙන් බයිබලය පරිවර්තනය කිරීමට ඔවුන් දෙදෙනා තුළම මහත් ආශාවක් තිබුණා. ඒ සඳහා ඔවුන් දෙදෙනාම වෙහෙසී වැඩ කළා. කවර්ඩේල්, ටින්ඩේල්ගෙන් පරිවර්තන කටයුතු ගැන බොහෝ දේ ඉගෙනගත්තේ මේ කාලයේදියි.

නොසිතූ වෙනසක්

වර්ෂ 1534 වන විට එංගලන්තය පාලනය කරමින් සිටි අටවන හෙන්රි රජු පාප්වරයාව ප්‍රසිද්ධියේ හෙළා දැක්කා. ඒ විතරක් නොවෙයි බයිබලය ඉංග්‍රීසි බසින් පරිවර්තනය කිරීමට ඔහු අවසර දුන්නා. එම කාර්යය කවර්ඩේල් භාරගත්තා. ඔහුට ඉංග්‍රීසි භාෂාව ගැන හොඳ දැනුමක් තිබුණත් එහි ව්‍යාකරණ ගැන ප්‍රමාණවත් දැනුමක් තිබුණේ නැහැ. නමුත් ටින්ඩේල්ට ග්‍රීක හා හෙබ්‍රෙව් භාෂාවල ව්‍යාකරණ ගැන හොඳ දැනුමක් තිබුණා. ලතින් සහ ජර්මන් බසින් ටින්ඩේල් පරිවර්තනය කළ බයිබල් භාවිත කර කවර්ඩේල් විසින් ඉංග්‍රීසි භාෂාවට බයිබලය පරිවර්තනය කළා.

වර්ෂ 1535දී කවර්ඩේල් විසින් පරිවර්තනය කළ බයිබලය මුද්‍රණය කළා. එහි මුල් පිටුවේ එය පරිවර්තනය කළේ හෙන්රි රජුට බව සඳහන් කර තිබුණා. පල්ලියේ ඉගැන්වීම් බයිබලයට පටහැනි බවට ටින්ඩේල් සඳහන් කර තිබූ පාද සටහන් තමා ඉවත් කළ බව කවර්ඩේල්, රජුට දැනුම් දී තිබුණා. ඒ නිසා එම බයිබලය බෙදාහැරීමට හෙන්රි රජ අවසර දුන්නා.

කවර්ඩේල්ගේ බයිබලය නැවතත් කොටස් දෙකකින් 1537දී මුද්‍රණය කළා. මැතිව්ගේ බයිබලය ලෙස හැඳින්වූ බයිබලය ඊට පසු වසරේදී මුද්‍රණය කිරීමට හෙන්රි රජ අවසර දුන්නා. එය ටින්ඩේල් සහ කවර්ඩේල් දැරූ වෙහෙසේ ප්‍රතිඵලයක් කියා පැවසිය හැකියි.

හෙන්රි රජුගේ උපදේශක ලෙස ක්‍රියා කළ තෝමස් ක්‍රොම්වෙල් සහ කැන්ටබරියේ අග්‍ර බිෂොප්වරයා මැතිව්ගේ බයිබලය නැවත සංශෝධයන කළ යුතුයි කියා පැවසුවා. එම කාර්යය පැටවුණේ කවර්ඩේල් පිටයි. එම බයිබලයට හෙන්රි රජුගේ අනුග්‍රහය ලැබුණු අතර 1539දී එය මුද්‍රණය කළා. ප්‍රමාණයෙන් විශාල වූ නිසා එය මහා බයිබලය ලෙස හැඳින්වූ අතර සියලුදෙනාටම කියවිය හැකි ආකාරයෙන් එය පල්ලිවල තැබුවා. සියලුදෙනා එය ඉතා ආශාවෙන් කියවීමට පටන්ගත්තා.

කවර්ඩේල්ගේ සිහිනය

අටවන හෙන්රි රජුගේ මරණයෙන් පසු රජ ලෙස පත් වුණේ හයවන එඩ්වඩ් රජයි. වර්ෂ 1551දී කවර්ඩේල්ට බිෂොප් තනතුර ලැබුණා. නමුත් 1553දී මේරී රැජින පාලනය අතට ගත් පසු ඇය කවර්ඩේල්ව බලෙන්ම ඩෙන්මාර්කයට පිටුවහල් කළා. පසුව ඔහු ස්විට්සර්ලන්තයට ගොස් නැවතත් ඔහුගේ වැඩ කටයුතුවල නියැලුණා. ඊට “නව ගිවිසුමේ” සංස්කරණ තුනක් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කිරීමත් ඇතුළත් වුණා. පූජකයන්ගේ ප්‍රයෝජනය සඳහා ඔහු එහි ලතින් වචනද ඇතුළත් කළා.

ටින්ඩේල් හෙබ්‍රෙව් භාෂාවෙන් පරිවර්තනය කළ බයිබලයේ දෙවිගේ නාමය 20වතාවකටත් වඩා වැඩියෙන් යොදා තිබුණත් කවර්ඩේල් එම නාමය යෙදුවේ නැහැ. ඒ ගැන ජේ. එෆ්. මෝස්ලි මෙසේ සඳහන් කරනවා. “දෙවිව යෙහෝවා යන නමින් හඳුන්වනවාට කවර්ඩේල් කැමති වුණේ නැහැ.” නමුත් ඔහු මහා බයිබලයේ එම නාමය අවස්ථා තුනකදී යොදා තිබෙනවා.

කවර්ඩේල් පරිවර්තනය කළ බයිබලයේ මුල් පිටුවේ දෙවිගේ නාමයට අයත් හෙබ්‍රෙව් අක්ෂර හතර (ටෙට්‍රග්‍රැමටනය) යොදා තිබුණා. බයිබලයේ සම්මත පොත් අතර තිබූ අමතර පොත් සියල්ල ඔහු සම්මත ග්‍රන්ථවලින් පසුව වෙනමම ඇතුළත් කළා.

කවර්ඩේල් ඔහුගේ බයිබලයේ යොදා තිබූ ඇතැම් යෙදුම් පසු කාලයේදී වෙනත් පරිවර්තකයන්ද යොදාගත්තා. ගීතාවලිය 23:4හි සඳහන් “අඳුරු තැනිතලාවක” යන යෙදුම ඊට එක් උදාහරණයක්. එම ගීතිකාවෙම හයවෙනි පදයේ සඳහන් යෙදුමක් ගැන එස්. එල්. ග්‍රීන්ස්ලඩ් නමැති මහාචාර්යවරයා පවසන්නේ දෙවි මිනිසුන්ට පොදුවේ දක්වන ප්‍රේමයට වඩා ඔහු තම සෙනඟට දක්වන ප්‍රේමය කොතරම් වෙනස්ද කියා කාවැද්දවීමට කවර්ඩේල් ළැදි ප්‍රේමය යන යෙදුම යොදාගත් බවයි. සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර ඇති නව ලොව පරිවර්තනයේ එම යෙදුම පාද සටහනේ දක්වා තිබෙනවා.

කවර්ඩේල් පරිවර්තනය කළ මහා බයිබලය “නව ගිවිසුම පරිවර්තනය කිරීමට ටින්ඩේල් ගත් වෑයමේ අවසන් ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකි බව” එක් පොතක සඳහන් වෙනවා. එවකට සිටි ඉංග්‍රීසි භාෂාව කතා කළ අයට බයිබලය කියවීමට හැකි වුණේ කවර්ඩේල් කළ පරිවර්තනය නිසයි.—එම පොත The Bibles of England.

[11වන පිටුවේ පින්තූර]

වර්ෂ 1537දී මුද්‍රණය කළ බයිබලයක මුල් පිටුවේ ටෙට්‍රග්‍රැමටනය සඳහන් ආකාරය

[හිමිකම් විස්තර]

Photo source: From The Holy Scriptures of the Olde and Newe Testamente With the Apocripha by Myles Coverdale

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

From the book Our English Bible: Its Translations and Translators