Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි මගේ ඇස් පෑදුවා

යෙහෝවා දෙවි මගේ ඇස් පෑදුවා

යෙහෝවා දෙවි මගේ ඇස් පෑදුවා

පාට්‍රිස් ඔයාකා

දවසක් හැන්දෑවේ මට දැනිච්ච පාළුව නිසා මම එක දිගට රේඩියෝ එක අහගෙන හිටියා. එහෙම ඉද්දී මට හිතුණා දිවි නහගන්න. මම ගිහින් වතුර වීදුරුවකට වහ ටිකක් දාලා ඒක මේසෙ උඩින් තිබ්බා. මට ඕන වුණේ හොඳට නාගෙන ලස්සන ඇඳුමක් ඇඳලා ඒ වහ ටික බීලා මගේ ජීවිතේ නැති කරගන්න. මට එහෙම හිතුණේ ඇයි කියලා මම දැන් ඔයාලට කියන්නම්.

මම ඉපදුණේ 1958 පෙබරවාරි දෙවෙනිදා කොංගෝවලයි. මට අවුරුදු නවයක් වෙද්දී මගේ තාත්තා නැති වුණා. මාව බලාගත්තේ මගේ අයියා.

මම ඉස්කෝලේ ගිහින් ඉවර වුණාට පස්සේ රබර් ෆැක්ටරියක වැඩ කළා. මට අවුරුදු 31දී පුදුම දෙයක් සිද්ධ වුණා. එදා මම ඔෆිස් එකේ වැඩ කර කර ඉන්න කොට එකපාරටම මට කිසිම දෙයක් පේන්නේ නැතුව ගියා. ඒ නිසා මම හුඟක් භය වුණා. මම හිතුවේ ලයිට් ගියා කියලයි. හැබැයි එහෙම දෙයක් වෙලා තිබුණේ නැහැ.

ඉක්මනින්ම මම ළඟ හිටිය කෙනෙක්ට කතා කරලා අපේ ෆැක්ටරියේ ඩිස්පෙන්සරියට ගියා. මට ටවුමේ ඉන්න දොස්තර කෙනෙක්ව හම්බ වෙන්න කියලා එතැන හිටපු කෙනා කිව්වා. මම දොස්තරව හම්බ වුණාට පස්සේ එයා කිව්වා මගේ තත්වේ බරපතළ නිසා මට කින්ෂාසාවල තියෙන මහා ඉස්පිරිතාලෙට යන්න කියලා.

කින්ෂාසාවල ගත කළ ජීවිතය

කින්ෂාසාවලදී මම අක්ෂි වෛද්‍යවරුන් කිහිපදෙනෙක්ටම මගේ ඇස් පෙන්නුවා. ඒත් වැඩක් වුණේ නැහැ. ඉස්පිරිතාලේ දවස් 43ක් විතර හිටියට පස්සේ දොස්තරලා මට කිව්වා ආයේ කවදාවත් මට පෙනීම ලැබෙන එකක් නැහැ කියලා. කොහොමහරි මාව සනීප කරගන්න හිතාගෙන අපේ පවුලේ අය මාව එක එක පල්ලිවලට අරන් ගියා. හැබැයි ඒ කිසිම දෙයකින් පලක් වුණේ නැහැ.

අන්තිමේදී මම මගේ බලාපොරොත්තු අත්හැරගත්තා. මට දැනුණේ මගේ මුළු ජීවිතයම අඳුරු වුණා වගේ. මට පෙනීම නැති වුණා, මගේ රස්සාව නැති වුණා, අපිට තිබුණු හැමදේම අරගෙන මගේ නෝනත් මාව දාලා ගියා. ඒ නිසා මිනිසුන්ව ආශ්‍රය කරන්න මට ලැජ්ජා හිතුණා. මම ගෙයින් එළියටවත් බැස්සේ නැහැ. මට දැනුණේ මම කිසිම වටිනාකමක් නැති කෙනෙක් කියලා.

මම දෙපාරක්ම දිවි නහගන්න හැදුවා. දෙවෙනි පාර සිද්ධ වුණ දේ ගැන තමයි මම ඔයාලට මුලින්ම කිව්වේ. අපේ ගෙදර හිටිය පොඩි ළමයෙක් නිසයි මම බේරුණේ. මම නාන්න ගියාට පස්සේ මේසේ උඩ වහ දාලා තිබුණු වතුර වීදුරුව එයා දන්නෙම නැතුව විසි කරලා. හොඳ වෙලාවට එයා ඒක බීලා නැහැ. වීදුරුව මේසේ උඩ තිබුණේ නැති නිසා මම ඒක හැමතැනම හෙව්වා. ඒ නිසා මම කරන්න ගිය දේ ගැන ගෙදර අයට කියන්න සිද්ධ වුණා.

මගේ පවුලේ අය මාව හොඳින් බලාගත්ත එක ගැන මම දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. කොහොමවුණත් මට දිවි නහගන්න බැරි වුණා.

නැවතත් ප්‍රීතියෙන්

වර්ෂ 1992 ඉරිදා දවසක මම සිගරට් එකක් බිබී ඉද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් අපේ ගෙදර ආවා. මම අන්ධයි කියලා දැනගත්තට පස්සේ එයාලා යෙසායා 35:5 තියෙන මේ අදහස මට ඇහෙන්න කියෙව්වා. “ඒ කාලයේදී අන්ධ අයගේ ඇස් පැහැදෙන්නේය. බිහිරි අයගේ කන් ඇරෙන්නේය.” ඒක ඇහුණට පස්සේ මට පුදුම සතුටක් දැනුණා. හැබැයි සාක්ෂිකරුවන් පල්ලිවල අය වගේ මාව ආශ්චර්යකින් සුව කරන්න හැදුවේ නැහැ. එයාලා කිව්වේ මම දෙවි ගැන ඉගෙනගත්තොත් මට දෙවි ලබා දෙන පාරාදීස පොළොවේදී ආයෙත් පෙනීම ලැබෙනවා කියලා. (යොහන් 17:3) පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක කියන පොතෙන් ඒ වෙලාවෙම බයිබල් පාඩමක් කරන්න මම කැමති වුණා. පස්සේ මම රැස්වීම්වලටත් යන්න පටන්ගත්තා. මම සිගරට් බොන එකත් නැවැත්වුවා.

සාක්ෂිකරුවන්ගේ පොත් පත් කියවන්න ඕනේ නිසා මම බ්‍රේල් ඉගෙනගන්න පටන්ගත්තා. ඒ නිසා මට ඉක්මනින්ම දියුණු වෙන්න පුළුවන් වුණා. මම ශුභාරංචිය ගැන කතා කළා. ඒක මගේ ජීවිතයට ලොකු ආලෝකයක් වුණා. මගේ ජීවිතේ යෙහෝවා දෙවිට කැප කරන්න ඕනේ කියලා මම හිතුවා. වර්ෂ 1994 මැයි හත්වෙනිදා මම බව්තීස්ම වුණා.

යෙහෝවා දෙවිට තියෙන මගේ ප්‍රේමය නිසාත් මිනිස්සු ගැන මට ලොකු දුකක් ඇති වුණ නිසාත් ජීවිත කාලයම දෙවිට සේවය කරන්න මට ඕන වුණා. ඒ නිසා 1995 දෙසැම්බර් පළවෙනිදා ඉඳලා මම පූර්ණ කාලීනව සේවය කරන්න පටන්ගත්තා. ස්ථාවර පුරෝගාමියෙක් විදිහටත් වැඩිමහල්ලෙක් විදිහටත් මම සේවය කරනවා. මම වැඩිමහල්ලෙක් වුණේ 2004 පෙබරවාරි මාසයේදී. සමහර දවස්වල මම කතා දෙන්න සාක්ෂිකරුවන්ගේ වෙනත් සභාවලටත් යනවා. ඒ වගේ දේවල් කරන්න ලැබුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. යෙහෝවා දෙවිට සේවය කරන්න කිසිම ආබාධයක් බාධාවක් නෙමෙයි. ඒක මොන තරම් සතුටක්ද!

මට ආයෙත් පෙනීම ලැබුණා

මම අන්ධ නිසා මගේ නෝනා මාව දාලා ගියත් මට තවත් ආශීර්වාදයක් ලැබුණා. ඒක හරියට මට ආයෙත් පෙනීම ලැබුණා වගෙයි. ඇනී මාවම්බු කියලා කෙනෙක් මාව විවාහ කරගන්න කැමති වුණා. මම ශුභාරංචිය ප්‍රකාශ කරන්න යන හැම වෙලාවෙම එයත් මාත් එක්ක එනවා. මගේ කතාවලට ඕන වෙන අමතර තොරතුරු එයා තමයි කියවන්නේ. එතකොට මම බ්‍රේල්වලින් ඒවා ලියාගන්නවා. එයත් මං වගේම පූර්ණ කාලීනව දෙවිට සේවය කරන නිසා ඒක මට ලොකු උදව්වක්. එයා නිසා හිතෝපදේශ 19:14 තියෙන මේ අදහස කොච්චර ඇත්තද කියලා මම තේරුම්ගත්තා. “නිවස හා වස්තුව පියෙකුගෙන් ලැබෙන උරුමයකි. එහෙත් බුද්ධිමත් බිරිඳක් ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය.”

අපි දෙන්නට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පාරාදීස පොළොවේදී එයාලගේ මූණ බලන්න මම ඉන්නේ හරිම ආසාවෙන්. මම නැවතිලා ඉන්නේ අපේ අයියගේ ඉඩමේ. එයත් බයිබලය ගැන ඉගෙනගෙන බව්තීස්ම වෙච්ච එක කොච්චර ලොකු දෙයක්ද. අපි හැමෝම යන්නේ එකම සභාවට.

මට කරන්න පුළුවන් දේවල්වල සීමා තිබුණත් යෙහෝවා දෙවි මං වෙනුවෙන් කරලා තියෙන දේවල් අගය කරනවා කියලා පෙන්නන්න ඕනම දෙයක් කරන්න මම කැමතියි. (මලාකි 3:10) දෙවිගේ රාජ්‍යය මේ පොළොවට එන්න කියලත් පොළොවෙන් හැම දුකක්ම නැති කරන්න කියලත් මම හැමදාම යාච්ඤා කරනවා. යෙහෝවා දෙවිව දැනගන්න ලැබුණට පස්සේ මේ බයිබල් පදය මොන තරම් ඇත්තද කියලා මම තේරුම්ගත්තා. “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි. ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි.”—හිතෝපදේශ 10:22.

[13වන පිටුවේ පින්තූර]

කතාවක් ඉදිරිපත් කරමින්; මගේ පවුලේ අය සහ මගේ අයියා එක්ක