Skip to content

පටුනට යන්න

දෙවිට ළං වෙන්න

‘දෙවි මාගේ දුකට පිහිට වන බව මට ස්ථිරයි’

‘දෙවි මාගේ දුකට පිහිට වන බව මට ස්ථිරයි’

නිහතමානිකම කාගෙත් සිත් ඇදගන්නා ගුණාංගයක්. නමුත් කනගාටුදායක දෙය නම් අද ඉන්න බොහෝදෙනෙක් උඩඟු ලෙස හැසිරීමයි. විශේෂයෙන්ම යම් තනතුරු හොබවන අය ළඟ කිසිම නිහතමානිකමක් නැහැ. මුළු විශ්වයේම බලවත්ම තැනැත්තා වන යෙහෝවා දෙවි ගැන පවසන්න පුළුවන් කුමක්ද? ඔහු නිහතමානී කෙනෙක්ද? යෙරෙමියා පැවසූ දෙයකින් අපි ඊට පිළිතුරු දැනගමු.විලාප ගී 3:20, 21 කියවන්න.

යෙරෙමියා විලාප ගී පොත ලිව්වේ බැබිලෝනිවරුන් යෙරුසලම විනාශ කර ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් ලෙස ගෙන ගිය පසුවයි. ඔවුන්ට එසේ වුණේ ඔවුන්ගේම අකීකරුකම නිසා බව යෙරෙමියා හොඳින් දැන සිටියා. ඊශ්‍රායෙල්වරුන්ගේ අකීකරුකම නිසා වහල්භාවයේ දුක් විඳිමින් සිටි යෙරෙමියාට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැද්ද? පසුතැවිලි වන ඊශ්‍රායෙල්වරුන්ට සහනයක් දීම සඳහා දෙවි ඉදිරිපත් වෙයිද?

“ඔබ මාව සිහි කර, මා වෙතට පැමිණ මාගේ දුකට පිහිට වන බව මට ස්ථිරය” කියා යෙරෙමියා යෙහෝවා දෙවිට පැවසුවා. (විලාප ගී 3:20) තමන් අතින් සිදු වන පව් ගැන අවංකවම පසුතැවෙන අයව දෙවි අමතක කරන්නේ නැති බව යෙරෙමියා විශ්වාස කළා. ඔහුට ඒ ගැන කිසිම සැකයක් තිබුණේ නැහැ. කොහොමනමුත් සියලු බලැති දෙවි ඒ අකීකරු සෙනඟට සමාව දෙයිද?—එළිදරව් 15:3.

යෙරෙමියා පැවසුවේ දෙවි ‘තමන් වෙතට පැමිණ’ පිහිට වන බවයි. දෙවි මොන තරම් නිහතමානීද කියා ඉන් පැහැදිලි වෙනවා. ඔහු “මුළු පොළොවටම මහෝත්තම දෙවි” වුණත් තම සෙනඟට අවශ්‍ය උපකාර ලබා දී තමන් සමඟ මිත්‍රත්වය නැවත ඇති කරගැනීමට අවස්ථාව ලබා දෙනවා. (ගීතාවලිය 83:18) යෙරෙමියා එය අවබෝධ කරගෙන සිටි නිසා වේදනාකාරී අවස්ථාවේදී පවා ඔහු සහනය අද්දැක්කා. යෙහෝවා දෙවි තම සෙනඟව ගලවාගන්නා බව යෙරෙමියා විශ්වාස කළ නිසා ඒ සඳහා නියමිත කාලය පැමිණෙන තෙක් ඔහු ඉවසිලිවන්තව බලා සිටියා.—විලාප ගී 3:21.

යෙරෙමියා පැවසූ දෙයින් අපට යෙහෝවා දෙවි ගැන කරුණු දෙකක් ඉගෙනගන්න පුළුවන්. පළවෙනි කරුණ වන්නේ යෙහෝවා දෙවි කොතරම් නිහතමානී කෙනෙක්ද යන්නයි. (ගීතාවලිය 18:35) ඔහු “බලයෙන් ඉතා උසස්” වුණත් අපට අවශ්‍ය අවස්ථාවලදී උපකාර කිරීමට ඔහු සූදානමින් සිටිනවා. (යෝබ් 37:23; ගීතාවලිය 113:5-7) එය අපට මොන තරම් සහනයක්ද! දෙවෙනි කරුණ නම් ඔහු කොතරම් දයාන්විත කෙනෙක්ද යන්නයි. තමන් අතින් සිදු වූ වැරදි ගැන අවංකවම පසුතැවෙන අයට ඔහු ‘සමාව දීමට කැමැත්තෙන්’ සිටිනවා.—ගීතාවලිය 86:5.

කිසිම හැඟීමක් දැනීමක් නැති උඩඟු මිනිස් පාලකයන්ට වඩා යෙහෝවා දෙවි කොයි තරම් වෙනස්ද! අපට උපකාර කිරීමට කැමැත්තෙන් සිටින ඒ නිහතමානී දෙවි ගැන තවත් තොරතුරු දැනගන්න ඔබ කැමති නැද්ද?

ජූනි මාසයට නියමිත බයිබල් කියවීම:

යෙරෙමියා 51–52; විලාප ගී 1–5 සිට එසකියෙල් 1–5 දක්වා

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අපට අවශ්‍ය අවස්ථාවලදී උපකාර කිරීමට යෙහෝවා දෙවි සූදානම්