Skip to content

පටුනට යන්න

පාඨකයන් අසයි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ශුභාරංචිය පවසමින් ගෙයින් ගෙට යන්නේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ශුභාරංචිය පවසමින් ගෙයින් ගෙට යන්නේ ඇයි?

▪ යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ පැවසුවා. “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න . . . ඔවුන්ට උගන්වන්න.” (මතෙව් 28:19, 20) යේසුස්ගේ මුල් අනුගාමිකයන් එම ආඥාවට කීකරු වුණා. “ජනයාට දේශනා කර, ඒ ගැන සම්පූර්ණ සාක්ෂියක් දරන්න යේසුස් අපට අණ කළා” කියා පේතෘස් පැවසුවේ ඒ නිසයි. (ක්‍රියා 10:42) පාවුල්ද ඒ ගැන මෙසේ පැවසුවා. “ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මම බැඳී සිටිමි. ඇත්තෙන්ම එසේ නොකළොත් එය මට මොන තරම් දුකක්ද!”—1 කොරින්ති 9:16.

මුල් සියවසේ සිටි සෑම ක්‍රිස්තියානියෙක්ම යේසුස් දුන් එම ආඥාව පිළිපදිමින් හැකි උපරිමයෙන් මිනිසුන්ට දේශනා කළා. (ක්‍රියා 5:28-32, 41, 42) අද සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද දෙවිගේ රාජ්‍යය ගැන මිනිසුන්ට දැනුම් දීමට තමන්ට හැකි උපරිමය කරනවා.—මතෙව් 10:7.

දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කළ යුත්තේ කාටද? යේසුස් තම අනුගාමිකයන්ට පැවසූ මේ දෙයින් ඊට පිළිතුර දැනගත හැකියි. ඔබ “පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.” (ක්‍රියා 1:8) අද පවතින මේ දුෂ්ට සමාජය විනාශ කිරීමට කලින් “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය . . . ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු” ලබන බවත් ඔහු පැවසුවා. (මතෙව් 24:14) ඒ නිසා මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් ආගම්, ජාති බේද නොබලා සියලුම මිනිසුන්ට ශුභාරංචිය පැවසුවා. (කොලොස්සි 1:23; 1 තිමෝති 2:3, 4) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද සියලුදෙනාටම ශුභාරංචිය දැනුම් දීමට උත්සාහ කරනවා. *

මිනිසුන්ට දේශනා කිරීම සඳහා වඩාත්ම ප්‍රායෝගික ක්‍රමය කුමක්ද? ඒ ගැන හොඳින්ම දැන සිටි යේසුස් ඔහුගේ අනුගාමිකයන්ව නගරවලටත් ගම්වලටත් ගෙයින් ගෙටත් ශුභාරංචිය දේශනා කිරීමට පිටත් කළා. (මතෙව් 10:7, 11, 12) යේසුස්ගේ මරණයෙන් පසුවත් ඔහුගේ අනුගාමිකයන් ශුභාරංචිය ප්‍රකාශ කරමින් “ගෙයින් ගෙට” ගියා. (ක්‍රියා 5:42) ඊට අමතරව ඔවුන් මිනිසුන්ව හමු වන ඕනෑම ස්ථානයකදී ඔවුන්ට ශුභාරංචිය දේශනා කළා. (යොහන් 4:7-26; 18:20; ක්‍රියා 17:17) සාක්ෂිකරුවන්ද දේශනා කිරීම සඳහා මුල් අනුගාමිකයන් යොදාගත් එම ක්‍රම අනුගමනය කරනවා.

කෙසේවෙතත් ශුභාරංචියට සවන් නොදෙන අයද සිටිය හැකි බව යේසුස් පැවසුවා. (මතෙව් 10:14; 24:37-39) එවැනි අය නිසා ක්‍රිස්තියානීන් දේශනා කිරීම නතර කළ යුතුද? මෙසේ සිතන්න. දරුණු භූමිකම්පාවක් සිදු වූ අවස්ථාවකදී අනතුරට ලක් වී සිටින මිනිසුන්ව ගලවා ගැනීමේ කණ්ඩායමක ඔබ සිටිනවා. පැය ගණනාවක් ගත වුණත් ඔබට සොයාගැනීමට හැකි වුණේ මිනිසුන් කිහිපදෙනෙකුව පමණක් නිසා ඔබ වෑයම අත්හරිනවාද? නැහැ. ඔබ උත්සාහ කරන්නේ හැකි තරම් දෙනෙකුගේ ජීවිත ගලවාගැනීමටයි. ශුභාරංචිය දේශනා කිරීම මගින් ඉදිරියේදී පැමිණෙන විනාශයෙන් මිනිසුන්ගේ ජීවිත ගලවාගැනීමට අවස්ථාව ලැබෙනවා. හැකි තරම් දෙනෙකුට ශුභාරංචිය ප්‍රකාශ කරන ලෙස යේසුස් පැවසුවේ ඒ නිසයි. (මතෙව් 10:23; 1 තිමෝති 4:16) සාක්ෂිකරුවන් ඔවුන්ට හැකි උපරිමයෙන් ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය දේශනා කරන්නේ හැකි තරම් දෙනෙකුගේ ජීවිත ගලවාගැනීමට තිබෙන ආශාව නිසයි. එසේ කිරීමෙන් ඔවුන් දෙවිටත් අසල්වාසීන්ටත් ප්‍රේම කරන බව පෙන්වනවා.—මතෙව් 22:37-39; 2 තෙසලෝනික 1:8.

බයිබලයේ සඳහන් ශුභාරංචිය ගැන මෙම සඟරාවේ සඳහන් වෙනවා. ඒ ගැන තවත් විස්තර දැනගැනීමට ඔබ කැමති නම් සාක්ෂිකරුවන් ඔබේ නිවසට පැමිණි විට ඔවුන් සමඟ ඒ ගැන කතා කරන්න. එසේත් නැත්නම් මෙම සඟරාවේ තිබෙන ලිපිනයට ලියන්න.

[පාදසටහන]

^ 5 ඡේ. මේ වන විට රටවල් 236ක විසිරී සිටින සාක්ෂිකරුවන් පසුගිය වසරේ දේශනා කිරීම සඳහා පැය බිලියන 1.7ක් වැය කර තිබෙන අතර බයිබල් පාඩම් මිලියන 8.5ක් පවත්වා තිබෙනවා.