Skip to content

පටුනට යන්න

ශුභාරංචිය ව්‍යාප්ත කිරීමට දැරූ වෙහෙස

ශුභාරංචිය ව්‍යාප්ත කිරීමට දැරූ වෙහෙස

ශුභාරංචිය ව්‍යාප්ත කිරීමට දැරූ වෙහෙස

ග්‍රීසියේ ඊසාන දෙසට වන්නට වරායක් සහිත සමෘද්ධිමත් නගරයක් පිහිටා තිබෙනවා. එම නගරය අද හඳුන්වන්නේ තෙසාලෝනිකි ලෙසයි. නමුත් පළමු ශතවර්ෂයේ එය හැඳින්නුවේ තෙසලෝනිකය ලෙසයි. පාවුල් ඇතුළු ඒ කාලයේ සිටි ක්‍රිස්තියානීන් එම නගරයේත් ශුභාරංචිය ප්‍රකාශ කළා.—ක්‍රියා 9:15; රෝම 11:13.

ක්‍රිස්තු වර්ෂ 50දී පමණ පාවුල් සහ සීලස් තෙසලෝනිකයට පැමිණියා. ඒ, ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා පාවුල් වෙනත් රටවලට යන දෙවන අවස්ථාවයි. එම සංචාරය නිසා යුරෝපයේ සිටින ජනයාටත් ශුභාරංචියට සවන් දීමට අවස්ථාව ලැබුණා.

ඔවුන් තෙසලෝනිකයට පැමිණීමට පෙර ශුභාරංචිය ප්‍රකාශ කළේ ෆිලිප්පියේයි. එහිදී ඔවුන්ට සෙනඟ පහර දුන් අතර සිරගත වීමටද සිදු වුණා. පාවුල් තෙසලෝනිකවරුන්ට ලියූ ලිපියේදී ඔවුන් “ෆිලිප්පියේ සිටි විට බොහෝ වධ වේදනාවලටත් නින්දාවන්ටත් ලක්” වූ බව සඳහන් කළේ ඒ නිසා විය හැකියි. (1 තෙසලෝනික 2:1, 2) තෙසලෝනිකයේ මිනිසුන් ශුභාරංචියට කෙසේ ප්‍රතිචාර දක්වයිද? පාවුල්ගේ ගමන සාර්ථක වෙයිද? ඒ ගැන දැනගැනීමට පෙර පුරාණ තෙසලෝනික නගරය ගැන තොරතුරු ටිකක් අපි සොයා බලමු.

කලබලකාරී නගරයක්

තෙසලෝනිකය යන වචනය රැගෙන තිබෙන ග්‍රීක වචන දෙකේ තේරුම වන්නේ පොර ඇල්ලීම හා සටන් කිරීමයි. ක්‍රිස්තු පූර්ව 352දී මහා ඇලෙක්සැන්ඩර් රජුගේ පියා වන දෙවන ෆිලිප් රජු ග්‍රීසියේ තෙසලි නගරය යටත් කරගත්තා. ඒ ජයග්‍රහණය සිහිවීම සඳහා ඔහු තම දියණියකට තෙසලෝනියස් යන නම තැබුවා. ඇලෙක්සැන්ඩර්ට පසු ග්‍රීසිය පාලනය කළ කැසැන්ඩර් සමඟ ඇය විවාහ වුණා. ක්‍රි.පූ. 315දී පමණ කැසැන්ඩර් චල්සිඩිස් අර්ධද්වීපයේ නගරයක් ගොඩනඟා එය තෙසලෝනියස් ලෙස නම් කළා. පසුව එය තෙසලෝනිකය ලෙස වෙනස් වුණා.

එය ඉතා සමෘද්ධිමත් නගරයක්. ඊජියන් මුහුද ආශ්‍රිතව ඇති ස්වභාවික වරායන් අතරින් ප්‍රධාන වරායක් එම නගරයට අයත් වුණා. රෝම පාලන කාලයේ එග්නාටියා හරහා වැටී තිබූ ප්‍රධාන මාර්ගයද තිබුණේ ඒ නගරය අසලයි. ඒ සියල්ල නිසා තෙසලෝනික නගරය රෝම අධිරාජ්‍යයේ ආනයන අපනයන හුවමාරු මධ්‍යස්ථානයක් වුණා. එම නගරයේ සමෘද්ධිය නිසා ගෝත්, ස්ලාව්, ෆ්‍රෑන්ක්ස්, වැනීසියානු සහ තුර්කි ජාතිකයන් විටින් විට එය අත්පත් කරගත්තා. පාවුල් එම නගරයට පැමිණ ශුභාරංචිය ප්‍රකාශ කළ විට සිදු වුණේ කුමක්ද කියා දැන් අපි බලමු.

පාවුල් තෙසලෝනිකයට පැමිණෙයි

අලුත් ප්‍රදේශයකට පැමිණි විට පාවුල් සාමාන්‍යයෙන් මුලින්ම ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ යුදෙව්වන්ටයි. ඔවුන්ට ශුද්ධ ලියවිලි ගැන දැනුමක් තිබෙන නිසා ශුද්ධ ලියවිලි යොදාගෙන ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔහුට හැකි වුණා. නමුත් විශාරදයෙක් පවසන්නේ පාවුල් එසේ කළේ ඔහු තම ජාතියේ අයට වැඩි අවධානයක් දීම නිසා හෝ වෙනත් ජාතීන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට එය හොඳ ආරම්භයක් නිසා බවයි.—ක්‍රියා 17:2-4.

පාවුල් තෙසලෝනිකයට පැමිණ සිනගෝගයට ගොස් ‘ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන කාරණා තර්කානුකූලව පහදා දුන්නා. ක්‍රිස්තුස් වධ විඳිය යුතු බව සහ මරණයෙන් නැඟිටිය යුතු බව කලින්ම ශුද්ධ ලියවිල්ලේ දක්වා තිබෙන ආකාරය ඔහු පැහැදිලිව පෙන්නුවා. ඔහු පැවසුවේ, “මම ඔබට කතා කරන්නේ මෙහි සඳහන් ක්‍රිස්තුස් ගැනයි. ඔහු තමයි යේසුස්” කියායි.’—ක්‍රියා 17:2, 3, 10.

ගැලවුම්කරු වන ක්‍රිස්තුස් ගැන පාවුල් පැවසූ දේ නිසා එය අසා සිටින අය තුළ ප්‍රශ්න මතු වුණා. ඔවුන් සිතාගෙන සිටියේ ගැලවුම්කරු පැමිණ තමන්ව රෝම පාලනයෙන් ගලවාගනියි කියායි. ඒ නිසා ගැලවුම්කරු දුක් විඳ මිය ගියා කියා පිළිගැනීමට ඔවුන් කැමති වුණේ නැහැ. නමුත් සත්‍යය අවබෝධ කර දීමට පාවුල් ‘ශුද්ධ ලියවිලි පදනම් කරගෙන කාරණා තර්කානුකූලව පහදා දුන්නා.’ සාමාන්‍යයෙන් හොඳ ගුරුවරයෙකුට එසේ කිරීමේ හැකියාව තිබෙනවා. * එවැනි සත්‍ය තොරතුරු පහදා දෙන විට අසා සිටි අය ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද?

ගැටලු මැද ලැබූ සාර්ථකත්වය

සමහර යුදෙව්වන් සහ යුදෙව් ආගමට හැරුණු ග්‍රීක ජාතිකයන් මෙන්ම “සමාජයේ ඉහළ පෙළේ ස්ත්‍රීන් බොහෝදෙනෙක්ද” ශුභාරංචිය පිළිගත්තා. එම ස්ත්‍රීන් යම් නිලතල දැරූ අතර ඔවුන්ට ඉඩකඩම්ද හිමි වී තිබුණා. එපමණක් නොව යම් අයිතිවාසිකම් භුක්ති විඳි ඔවුන් ව්‍යාපාරවලද නියැලුණා. එවැනි ස්ත්‍රීන්ට ගරු කිරීමක් වශයෙන් ස්මාරකද ගොඩනඟා තිබුණා. පාවුල් ෆිලිප්පියේ දේශනා කරද්දී ව්‍යාපාරයක් කළ ලිදියා ශුභාරංචිය පිළිගත්තා හා සමානව තෙසලෝනිකයේදීද සමාජයේ උසස් පෙළේ ස්ත්‍රීන් ශුභාරංචිය පිළිගත්තා.—ක්‍රියා 16:14, 15; 17:4.

කෙසේවෙතත් සමහර යුදෙව්වන් පාවුල් පැවසූ දේ නිසා කෝප වුණා. ඔවුන් “වෙළඳපොළට වී නිකරුණේ කාලය ගත කරමින් සිටි අය අතරින් මැර පිරිසක් එකතු කරගෙන නගරයේ කෝලහලයක් ඇති” කළා. (ක්‍රියා 17:5) එම මැර පිරිස ගැන විශාරදයෙක් මෙවැනි අදහසක් දැක්වුවා. “ඔවුන් අනාචාරයේ හැසිරෙන කිසිකමකට නැති පිරිසක්. ඔවුන් පාවුල්ට විරුද්ධ වුණේ පාවුල් පැවසූ දේට අකමැති වූ නිසා නොවෙයි. අන් මැර පිරිස් මෙන් ඔවුන්වද ඉක්මනින්ම කෝලාහලයකට ඇදගැනීමට හැකි වූ නිසයි.”

ඔවුන් ‘රැස්ව සිටි සමූහයා ඉදිරියට පාවුල්ව සහ සීලස්ව ගෙන ඒමේ අදහසින් ජේසන් නම් සහෝදරයාගේ නිවසට කඩාවැදුණා.’ පාවුල් එහි නොසිටි නිසා ඔවුන් ‘ජේසන්ව සහ සමහර සහෝදරයන්ව නුවරේ පාලකයන් ඉදිරියට ඇදගෙන ගොස් කෑගසමින් මෙසේ කිව්වා. “මුළු ලෝකයම පෙරළා දැමූ අර මිනිස්සු මෙහාටත් ඇවිල්ලා.”’—ක්‍රියා 17:5, 6.

රෝම පාලනය යටතේ තිබූ වෙනත් ප්‍රදේශ මෙන් නොව තෙසලෝනිකයට වැඩි නිදහසක් ලැබී තිබුණා. කෙසේවෙතත් තෙසලෝනිකයේ ප්‍රශ්න තිබෙනවා කියා රෝමයට ආරංචි වුණොත් එම නිදහස නැති වීමේ අවදානමක් තිබුණා. ඒ නිසා ප්‍රශ්න ගැටලු විසඳන්න තෙසලෝනිකයේ ජනයා කවුන්සලයක් පිහිටුවාගත්තා.

පාවුල් හා සීලස් ගැන ඔවුන් මෙම බරපතළ චෝදනාව කළා. “සියලුදෙනාම කියන්නේ යේසුස් නම් තවත් රජෙක් සිටිනවා කියායි. ඒ කියන්නේ ඔවුන් සීසර් අධිරාජ්‍යයාගේ නියෝගවලට විරුද්ධව කැරලිගසනවා.” (ක්‍රියා 17:7) එම චෝදනාව ගැන පොතක මෙසේ සඳහන් වුණා. “එය අධිරාජ්‍යයාට විරුද්ධව කැරලිගැසීමක් මෙන්ම රාජද්‍රෝහි ක්‍රියාවක් ලෙස සැලකුවා. තම අනුමැතිය නොමැතිව තම අධිරාජ්‍යයට අයත් ප්‍රදේශයක වෙනත් රජෙකුගේ නමක් පැවසීමටවත් ඔවුන් ඉඩ දුන්නේ නැහැ.” රෝම පාලකයන් යේසුස්ව මරා දැමුවේ ඔහු ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කළ නිසා බව කවුන්සලයේ සිටි අය දැන සිටියා. ඒ නිසා පාවුල් සහ සීලස් ගැන ජනයා නැගූ චෝදනා සත්‍යය බව ඔවුන් සිතුවා විය හැකියි.—ලූක් 23:2.

නගරයේ පාලකයන්ට එම චෝදනා ඇසුණු විට ඔවුන් කලබල වුණා. නමුත් එම චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නොතිබුණු අතර චෝදනාවට ලක් වූ අයද සොයාගැනීමට හැකි වුණේ නැහැ. ඒ නිසා ඔවුන් ‘ජේසන්ව සහ අනික් අයව ඇප මත නිදහස් කළා.’ (ක්‍රියා 17:8, 9) ජේසන් සහ අනික් සහෝදරයන් පාවුල් සහ සීලස්ව නගරයෙන් පිටත් කිරීමටත් නැවත ඔවුන් නිසා නගරයේ කලබලයක් ඇති නොවීමටත් වගබලා ගත්තා. තමන් නැවත නගරයට පැමිණීමට උත්සාහ කළ බවත් ‘සාතන් ඊට බාධා කළ’ බවත් පාවුල් පසු අවස්ථාවක තෙසලෝනිකවරුන්ට ලිව්වේ එම සිදුවීම ගැන විය හැකියි.—1 තෙසලෝනික 2:18.

එම සිදුවීමෙන් පසු පාවුල් සහ සීලස් බෙරීයයට ගියා. එහිදී පාවුල් කළ සේවයෙන් බොහෝ ප්‍රතිඵල ලැබුණු බව තෙසලෝනිකයේ සිටි කලහාකාරී පිරිසට ආරංචි වුණා. ඔවුන් කිලෝමීටර 80ක් පමණ දුර ගෙවා බෙරීයයට පැමිණ එහි සිටි ජනයාව පාවුල් සහ සීලස්ට විරුද්ධව උසිගැන්නුවා. ඒ නිසා පාවුල්ට ඇතන්ස්වලට යෑමට සිදු වුණා.—ක්‍රියා 17:10-14.

තවත් අභියෝග

ඒ සියලු බාධා මැද වුණත් තෙසලෝනිකයේ සභාවක් පිහිටවනු ලැබුවා. එම සභාවේ අයට මුහුණ දීමට සිදු වුණේ වෙනත් අයගෙන් පැමිණි විරුද්ධවාදිකම්වලට පමණක් නොවෙයි. ඔවුන් ජීවත් වුණේ බොරු නමස්කාරය සහ අනාචාරය බහුල ප්‍රදේශයක නිසා එම බලපෑමද ඔවුන්ට තිබුණා. ඒ නිසා පාවුල් ඔවුන් ගැන වැඩි අවධානයක් දුන්නා.—1 තෙසලෝනික 2:17; 3:1, 2, 5.

තමන් විවිධ චාරිත්‍ර වාරිත්‍රවලට සහ ආගමික උත්සවවලට සහභාගි නොවන විට මිත්‍රයන්ගෙන් විවිධ ප්‍රශ්න එල්ල විය හැකි බව තෙසලෝනිකයේ ක්‍රිස්තියානීන් දැන සිටියා. (යොහන් 17:14) එපමණක් නොව තෙසලෝනිකය පුරාම ග්‍රීක දෙවිවරුන් වන සියුස්, ආටේමිස් සහ ඇපලෝ මෙන්ම සමහර ඊජිප්තු දෙවිවරුන්ට තැනූ පූජනීය ස්ථාන බහුලව තිබුණු නිසා එහි බලපෑමද ඔවුන්ට තිබුණා. සීසර්ට නමස්කාර කිරීමද ජනප්‍රිය දෙයක් වූ අතර ඊට කීකරු වීම සියලු පුරවැසියන්ගෙන් බලාපොරොත්තු වුණා. ඊට විරුද්ධ වන අයව රෝමයට විරුද්ධව කැරලිගසන්නන් ලෙස සැලකුවා.

එහි රූප නමස්කාරයද බහුලව සිදු වුණා. ඊට බරපතළ අනාචාර ක්‍රියාද ඇතුළත් වුණා. තෙසලෝනිකයේ දෙවි කෙනෙක් වන කැබිරියස්, ඊජිප්තුවරුන් නමස්කාර කළ අයිසිස්, ඩයනයිසස් සහ ඇෆ්‍රෝඩයිට් යන දෙවිවරුන්ට නමස්කාර කිරීමේ වත්පිළිවෙත්වලට අනාචාරයේ හැසිරීම හා වෙරි වෙන තුරු මත්පැන් බීම ඇතුළත් වුණා. ඒ වගේම බොහෝ භාර්යාවන් තබාගැනීම සහ වේශ්‍යාකම එම නගරයේ පොදු දෙයක් වුණා. අනාචාරයේ හැසිරීම ඔවුන් පාපයක් ලෙස සැලකුවේ නැහැ. තෙසලෝනිකයට රෝම සංස්කෘතියේ බලපෑමද තිබුණා. මිනිසුන්ගේ ඕනෑම වැරදි ආශාවක් ඉටු කර දීමට කැමැත්තෙන් සිටි ස්ත්‍රීන් හා පුරුෂයන් එම නගරයේ සිටියා. තෙසලෝනිකයේ සිටි ක්‍රිස්තියානීන්ට “වේශ්‍යාකමින්” වළකින ලෙසත් “කාමාශාවෙන් දැවිදැවී” නොසිටින ලෙසත් ‘අපවිත්‍ර ලෙස නොහැසිරෙන’ ලෙසත් පාවුල් පැවසූ හේතුව අපට වටහාගත හැකියි.—1 තෙසලෝනික 4:3-8.

සියලු බාධා ජයගනියි

දෙවිට විශ්වාසවන්තව සිටීම සඳහා තෙසලෝනිකයේ සිටි ක්‍රිස්තියානීන්ට මහත් පොරබැදීමක් කිරීමට සිදු වුණා. විරුද්ධවාදිකම්, රූප නමස්කාරය, අනාචාරය වැනි දේවලින් පිරුණු සමාජයක සිටියත් දෙවි කෙරෙහි ඇති විශ්වාසය නිසා ඔවුන් කළ යහපත් ක්‍රියා, ඔවුන් දැරූ වෙහෙස හා ඔවුන්ගේ විඳදරාගැනීම සහ ශුභාරංචිය ව්‍යාප්ත කිරීමට ඔවුන් කළ කාර්යය ගැන පාවුල් ඔවුන්ට ප්‍රශංසා කළා.—1 තෙසලෝනික 1:3, 8.

ක්‍රිස්තු වර්ෂ 303දී රෝම අධිරාජ්‍යය පුරා සිටි ක්‍රිස්තියානීන්ට විරුද්ධව පීඩා රැල්ලක් ආරම්භ වුණා. එහි මූලිකත්වය ගත්තේ ගැලරියස් අධිරාජ්‍යයායි. ඔහු තෙසලෝනිකයේ ජීවත් වෙමින් එහි විශාල ගොඩනැඟිලි ඉදි කළා. එම ගොඩනැඟිලිවල නටබුන් තවමත් දැකගන්න තිබෙනවා.

වර්තමානයේද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එම නගරයේ ශුභාරංචිය ප්‍රකාශ කරනවා. ගැලරියස් අධිරාජ්‍යයා ඉදි කළ ගොඩනැඟිලි අසලත් ඔවුන් එය සිදු කරනවා. විසිවන සියවසේදීද සාක්ෂිකරුවන්ට එම නගරයේ ශුභාරංචිය ප්‍රකාශ කරන විට විවිධ හිරිහැරවලට මුහුණ දීමට සිදු වුණත් දැන් එහි සභා 60ක් පමණ තිබෙනවා. මීට ශතවර්ෂ ගණනාවකට කලින් ඇරඹුණු ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය පීඩා මැද සිදු වුණත් එදා මෙන්ම අදත් එහි වර්ධනය හොඳින් දැකගත හැකියි.

[පාදසටහන]

^ 11 ඡේ. සමහරවිට පාවුල් ගීතාවලිය 22:7; 69:21; යෙසායා 50:6; 53:2-7; දානියෙල් 9:26 යන පද යොදාගන්න ඇති.

[18වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

වියා එග්නාටියා

මැසිඩෝනියාව

ෆිලිප්පිය

අම්ෆිපොලිසය

තෙසලෝනිකය

බෙරීයය

තෙසලි

ඊජියන් මුහුද

ඇතන්ස්

[20, 21වන පිටුවේ පින්තූර]

අද දින තෙසාලෝනිකි නගරය (ඉහළ);

සාප්පු පෙළක් සහ නාන ස්ථානයක් (පහළ)

[හිමිකම් විස්තර]

Two bottom left images: 16th Ephorate of Prehistoric and Classical Antiquities, copyright Hellenic Ministry of Culture and Tourism

[21වන පිටුවේ පින්තූර]

ගැලරියස් අධිරාජ්‍යයා ඉදි කළ ගොඩනැඟිල්ල; ගැලරියස් අධිරාජ්‍යයාගේ රූපය; ගැලරියස් ආරුක්කුව අසල ශුභාරංචිය ප්‍රකාශ කිරීම

[හිමිකම් විස්තර]

Middle image: Thessalonica Archaeological Museum, copyright Hellenic Ministry of Culture and Tourism

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Head medallion: © Bibliothèque nationale de France; stone inscription: Thessalonica Archaeological Museum, copyright Hellenic Ministry of Culture and Tourism