Skip to content

පටුනට යන්න

මම ගත කළ හොඳම නිවාඩුව

මම ගත කළ හොඳම නිවාඩුව

අයර්ලන්තයෙන් ලිපියක්

මම ගත කළ හොඳම නිවාඩුව

මට අවුරුදු 17යි. මම ජීවත් වෙන්නේ ලන්ඩන්වල. දවසක් මගේ අම්මයි තාත්තයි මට මෙහෙම කිව්වා. “වෙනසකටත් එක්ක අපි කොහේහරි යමුද? අයර්ලන්තයට ගියොත් අපේ නෑදෑයන්ව හම්බ වෙන්නත් යෙහෝවා දෙවි ගැන අහලා නැති අයට දෙවි ගැන කියලා දෙන්නත් අපිට පුළුවන් වෙයි.”

හැබැයි මගේ විභාගෙත් ළඟ ළඟම එන නිසා ඒක හරියයි කියලා මම නං හිතුවේ නැහැ. මම කවදාවත් ප්ලේන් එකක ගිහිල්ලා තිබුණෙත් නැහැ. අයර්ලන්තයේ පුංචි ගම්මානයකට ගිහින් සතුටු වෙන්න පුළුවන් වෙයිද කියලත් මම කල්පනා කළා.

හැබැයි ප්ලේන් එකෙන් බැස්ස ගමන් මං හිතන් හිටපු විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අයර්ලන්තය හරිම ලස්සන රටක්. එයාර්පෝට් එකේ ඉඳලා අපි වාහනයකින් අපේ නෑදෑ ගෙදරට පිටත් වුණා. මහන්සි නිසා වාහනයට නැග්ග ගමන් මට නින්ද ගියා. හැබැයි සැරෙන් සැරේ ඇහැරුණාම අවට කොයි තරම් ලස්සනද කියලා මම දැක්කා.

අපි අපේ නෑදෑයෝ හිටිය ස්කිබරීන් නගරයට ගියාම වෙන පළාතක ඉඳලා මෙහෙට ඇවිත් හිටිය පවුලක්වත් අපිට මුණගැහුණා. ඒ අය ඇවිත් තිබුණේ මෙහෙ ඉන්න අයට යෙහෝවා දෙවි ගැන කියලා දෙන්න. එයාලව ආශ්‍රය කරන්න ලැබුණ එකෙන් අපි ගොඩක් සතුටු වුණා. අපි එකතු වෙලා බයිබල් චරිත රඟපෑවා.

ඊළඟ දවසේ අපි හැමෝම එකතු වෙලා පුංචි දූපතකට ගියා. එහේ හිටියේ මිනිස්සු 30දෙනෙක් විතරයි. මුළු පොළොව පුරාම දේශනා කරන්න කියලා යේසුස් කියපු දේ අපිට මතක් වුණා. එදා මුළු දවසෙම අපි එහෙ හිටිය අයට යෙහෝවා දෙවි ගැන කියලා දුන්නා. ඒ අය හරිම මිත්‍රශීලියි. ඒ විතරක් නෙමෙයි අපිට ආදරයෙන් සැලකුවා. දෙවි ගැන ඒ අයට කියලා දෙන්න ලැබුණ එක ගැනත් මේ ලස්සන ප්‍රදේශයට එන්න ලැබුණ එක ගැනත් අපි සතුටු වුණා.

එදා තිබුණේ පැහැබර කාලගුණයක්. මුළු අහසම නිල් පාටයි. හුළඟේ දැවටුණු මල්වල සුවඳත් අපිට දැනුණා. වසන්ත කාලය උදාවෙලා තියෙන නිසා හැම තැනම මල්වලින් වැහිලා. වැලි බිම් වගේම කඳුත් මේ පළාතේ තියෙනවා. දියකාවන්, සුලාවියන් වගේ කුරුල්ලන් උන්ගේ පැටව් එක්ක කූඩුවල ඉන්නවා අපි දැක්කා. ඈතින් පොඩි පොඩි දූපත් ගොඩක් තිබුණා. ඒත් ඒ දූපත්වල මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. යෙහෝවා දෙවිගේ ඒ නිර්මාණ කොයි තරම් ලස්සනද!

මෙහේ ඉන්න සාක්ෂිකරුවන් හුඟදෙනෙක් දැන් මගේ යාළුවෝ. මම මෙහේ ආවට පස්සේ කලින් කරලා තිබුණේ නැති හුඟක් දේවල් කළා. කැයැක් කියන පුංචි බෝට්ටුව පදින්න ලැබුණ එක මට අලුත්ම අද්දැකීමක්. වෙරළට ළඟින් තිබුණු ලස්සන ප්‍රදේශ බලන්න මම ඒ බෝට්ටුව පැදගෙන ගියා. එදා රෑ කෑමට ගන්න හිතාගෙන අපි මාළු අල්ලන්න ගියත් අපිට ඉස්සරහින් ගිය සීල් මාළුවෝ අපිට කලින් උන්ව අල්ලගත්තා. එදා අපි මුහුදු වෙරළේ ගොඩක් සෙල්ලම් කළා. මේ රටේ නැටුමකුත් මම පුරුදු වුණා.

මේ ප්‍රදේශය ගැන තවත් තොරතුරු දැනගන්න අපිට ඕන වුණා. අවුරුදු ගාණකට කලින් ඒ කියන්නේ 1840දී අයර්ලන්තයේ අර්තාපල් හිඟයක් නිසා සාගතයක් ඇති වෙලා තියෙනවා. ඒකෙන් වැඩියෙන්ම දුක් විඳලා තියෙන්නේ මේ පළාතේ අය. දහස් ගණනක් සාගතය නිසා මැරිලා. මළ මිනී 9,000ක් විතර වළලලා තියෙන්නේ එකම තැනක. කොහොමවුණත් ළඟදීම යෙහෝවා දෙවි මුළු පොළොවම පාරාදීසයක් කරන නිසා ඒ කාලයේදී හැමෝටම ඇති තරම් කෑම ලැබෙනවා කියලත් මැරිලා ඉන්න අයව දෙවි නැඟිටුවනවා කියලත් දැනගෙන හිටිය එක අපිට සහනයක් වුණා.

අපි මේ පළාතේ ඉන්න සාක්ෂිකරුවන් එක්ක එකතු වෙලා මිනිසුන්ට යෙහෝවා දෙවි ගැන කියලා දුන්නා. කඳු බෑවුම් දිගේ පටු පාරක තිබුණු ගෙවල්වලට අපි ගියා. එහේ හිටිය මිනිස්සු අපිත් එක්ක හොඳට කතා කළා. අපි මේ පළාතට ආවේ නිවාඩුවක් ගත කරන්න වගේම යෙහෝවා දෙවි ගැන මිනිසුන්ට කියලා දෙන්න කියලා අපි ඒ අයට කිව්වා.

අපේ අම්මට මුණගැහුණ කෙනෙක් හරිම ආසාවෙන් අපි ළඟ තිබුණ මුරටැඹ, පිබිදෙව් සඟරා ඉල්ලගත්තා. ටික දවසකට පස්සේ අපිට එයාව ආයෙත් මුණගැහුණා. එදා එයා කිව්වා අපෙන් ඉල්ලගත්ත සඟරාවල ගොඩක් වටිනා තොරතුරු තියෙනවා කියලා.

ඒ නිසා “කොහොමහරි ආයෙත් දවසක ඇවිල්ලා තව සඟරා දෙන්න පුළුවන්ද” කියලා එයා අපෙන් ඇහුවා. ඒත් අපි තව ටික දවසකින් මේ ප්‍රදේශයෙන් යන නිසා වෙන කාවහරි එයාගේ ගෙදරට එවන්නම් කියලා අපි කිව්වා.

එතකොට එයා අපිට මෙහෙම කිව්වා. “මට ඔයාලව කවදාවත් අමතක වෙන්නේ නැහැ. ආයෙත් කවදා හරි දවසක ඔයාලා මෙහෙට ආවොත් මාව බලන්න එන්න.”

අපි මෙහේ හිටිය අන්තිම දවසේ මෙහේ ඉන්න සාක්ෂිකරුවන් එක්ක මුහුදු වෙරළට ගියා. අපි බෙල්ලන්ව අල්ලගෙන ඇවිත් උයාගෙන කෑවා. මෙහේ හිටිය හැම මොහොතක්ම ගෙවුණේ හරිම සතුටින්.

ඇත්තටම ඒක තමයි මම ගත කරපු හොඳම නිවාඩුව. අපි විනෝද වුණා විතරක් නෙමෙයි, මිනිසුන්ට යෙහෝවා දෙවි ගැන කියලා දුන්නා. දෙවිට සේවය කරන්න මම හුඟක් ආසයි. පවුලේ අය එක්කත් යාළුවෝ එක්කත් එකතු වෙලා දෙවිට සේවය කරද්දී ලොකු සතුටක් දැනෙනවා. දෙවිට සේවය කරන යාළුවන්ව ආශ්‍රය කරන්න ලැබුණු එක ගැනත් සුන්දර නිවාඩුවක් ගත කරන්න ලැබුණු එක ගැනත් මම යෙහෝවා දෙවිට ස්තුති කරනවා.

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

An Post, Ireland