Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

යුදෙව්වන් පෙළපත් වාර්තා ඉතා වටිනා ලෙස සැලකුවේ ඇයි?

ගෝත්‍රවල සහ පවුල්වල විස්තර දැනගැනීම සඳහා පෙළපත් වාර්තා ඉතා වැදගත් දෙයක් ලෙස සැලකුවා. යුදෙව්වන්ට හිමි වෙන උරුමයන් ගැන දැනගැනීමටත් එය අවශ්‍ය වුණා. ගැලවුම්කරු පැමිණෙන්නේ දාවිත්ගේ පෙළපතින් බව යුදෙව්වන් දැන සිටි නිසා ඔහුව හඳුනාගැනීමටත් එය අත්‍යවශ්‍ය වුණා.—යොහන් 7:42.

විශාරදයෙක් වන ජෝකිම් ජෙරමියස් පැවසූ මේ දේ බලන්න. “පූජකයන් ලෙස සේවය කිරීමට හැකි වුණේ අදාළ පෙළපතින් පැවත ආ අයට පමණයි. ඒ නිසා ඔවුන්ගේ පෙළපතට වෙනත් කෙනෙකුව සම්බන්ධ කර නොගැනීමට ඔවුන් වගබලා ගත්තා.” පූජක පන්තියට අයත් කෙනෙකුව විවාහ කරගැනීමට පෙර ඊශ්‍රායෙල් කාන්තාවකට තම නිවැරදි පෙළපත් වාර්තා ඉදිරිපත් කිරීමට සිදු වුණා. ඊට හේතුව පූජක පන්තියට කිසිම කැළැලක් නොවීමට අවශ්‍ය වීමයි. නෙහෙමියාගේ කාලයේ සිටි සමහර ලෙවීවරුන්ට “තම පෙළපත කුමක්ද කියා ඔප්පු කිරීමට . . . නොහැකි වූ නිසා ඔවුන් පූජකයන් ලෙස සේවය කිරීමට නුසුදුසු අය බව තීරණය” වුණා.—නෙහෙමියා 7:61-65.

“අනාචාරයේ යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස උපන් පුත්‍රයෙකුට” හෝ “අම්මොන් ජාතිකයෙකුට හෝ මෝවබ් ජාතිකයෙකුට යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වෙන්න අවසර නැහැ” කියා ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතියේ සඳහන් වුණා. (ද්විතීය කතාව 23:2, 3) අයිතිවාසිකම් ගැන කතා කිරීමට ඔවුන්ට හැකි වුණේ පෙළපත ගැන නිවැරදි තොරතුරු ඉදිරිපත් කළොත් පමණයි. සෑම ඊශ්‍රායෙලිතයෙකුම පාහේ ඔවුන් අයත් වන ගෝත්‍රය හා තම මුතුන්මිත්තන් කවුද කියා දැන සිටි බව ජෝකිම් ජෙරමියස් පැවසුවා.

යුදෙව්වන් පෙළපත් වාර්තා ආරක්ෂා කළේ කොහොමද?

මතෙව් සහ ලූක් යේසුස්ගේ පෙළපත ගැන වාර්තා කළා. (මතෙව් 1:1-16; ලූක් 3:23-38) ඊට අමතරව වෙනත් පෙළපත් වාර්තාද සුරැකී තිබෙනවා. උදාහරණයකට යේසුස්ගේ කාලයේ සිටි ගුරුවරයෙක් වූ හෙලිල් “දාවිත්ගේ පෙළපතින් පැමිණි කෙනෙක් බව සඳහන් පෙළපත් වාර්තා යෙරුසලමෙන් සොයාගෙන තිබෙන” බව එක් පොතක සඳහන් වුණා. ඉතිහාසඥයෙක් වන ෆ්ලේවියස් ජොසිෆස් තම මුතුන්මිත්තන් පූජක පන්තියට අයත් බවත් තම මව පැමිණෙන්නේ රජ පෙළපතකින් බවත් ඔහු ලියූ පොතක සඳහන් කළා. (The Life) ඔහු එම තොරතුරු සොයාගත්තේ පෙළපත් වාර්තා ඇතුළත් ලියවිල්ලකින් බව ඔහු සඳහන් කරනවා.

පූජක පන්තියට අයත් අය ඔවුන්ගේ පෙළපත් වාර්තා ආරක්ෂා කිරීමට “දැන උගත් මිනිසුන්ට” භාර දුන් බව ජොසිෆස් ඔහු ලියූ තවත් පොතක සඳහන් කළා. (Against Apion) යුදෙව් විශ්වකෝෂයේ මෙසේ සඳහන් වෙනවා. “පෙළපත් වාර්තා ආරක්ෂා කිරීමට නිලධාරියෙක්ව පත් කර තිබූ බවත් පෙළපත් ගැන ප්‍රශ්න තිබෙනවා නම් ඒවා නිරාකරණය කිරීමට උසාවියක් තිබූ බවත් සිතිය හැකියි.” පූජක පන්තියට අයත් නොවන අයගේ පෙළපත් වාර්තා තිබුණේ ඔවුන්ගේ පියවරුන් ඉපදුණ ප්‍රදේශවලයි. (ලූක් 2:1-5) සුවිශේෂ වාර්තා ලිවීමේදී එවැනි මූලාශ්‍රවලින් ඔවුන් තොරතුරු සොයා බැලූ බවට සැකයක් නැහැ. පවුල්වල අයද තම තමන්ගේ පෙළපත් ගැන තොරතුරු පෞද්ගලිකවම ආරක්ෂා කළා.