Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

පාවුල් ඉගෙනගත්ත “රහස” අපිත් ඉගෙනගත්තා

පාවුල් ඉගෙනගත්ත “රහස” අපිත් ඉගෙනගත්තා

ඔලිවියේ රැන්ඩ්‍රියමෝරා

‘සුළු ප්‍රමාණයක් ඇතුවත් බොහෝ දේවල් ඇතුවත් ජීවත් වීමට මම දනිමි. මා කවර තත්වයක සිටියත් කුමන දෙයකට මුහුණ දුන්නත් එනම් මා තෘප්තිමත්ව සිටියත් කුසගින්නෙන් සිටියත් ඒ ඒ තත්වයන්ට අනුව හැඩගැසීමේ රහස ඉගෙනගෙන සිටිමි. මන්ද මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.’—ෆිලි. 4:12, 13.

පාවුල් කිව්ව ඒ දේ මටත් මගේ බිරිඳ වන ඌලිටත් ලොකු ශක්තියක් වුණේ අද ඊයේ නෙවෙයි. පාවුල් වගේ අපි දෙන්නත් මැඩගස්කර් දූපතේ සේවය කරද්දී යෙහෝවා දෙවි මත රඳා සිටීමේ “රහස” ඉගෙනගත්තා.

ඌලිගේ අම්මා 1982දී සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගන්නකොට මායි ඌලියි හිටියේ යාළු වෙලා. අපි දෙන්නත් පාඩම් කරන්න කැමති වුණා. අපි විවාහ වුණේ 1983දි. ඊට අවුරුදු දෙකකට පස්සේ බව්තීස්ම වෙලා උපකාරික පුරෝගාමි සේවය පටන් අරන් 1986 ජූලිවලදී ස්ථාවර පුරෝගාමීන් වුණා.

වර්ෂ 1987 සැප්තැම්බර්වලදී විශේෂ පුරෝගාමීන් හැටියට සේවය පටන්ගත්තා. මුලින්ම සේවය කළේ මැඩගස්කරයේ වයඹ ප්‍රදේශයේ පුංචි නගරයකයි. එහෙ එක සභාවක්වත් තිබුන්නෑ. මැඩගස්කරයේ ප්‍රධාන ජාතීන් 18කුත් විවිධ ගෝත්‍රිකයන් හුඟදෙනෙකුත් ඉන්න නිසා එකිනෙකට වෙනස් සිරිත් විරිත්, සම්ප්‍රදායන් ගොඩක් තියෙනවා. ප්‍රධාන භාෂාව මැලගසි වුණත් උප භාෂාවලත් අඩුවක් නැහැ. ඒ නිසා අපිටත් ඒ ප්‍රදේශයේ අය කතා කරපු උප භාෂාව ඉගෙනගන්න සිද්ධ වුණා. එයාලගෙම භාෂාවෙන් කතා කරද්දී අපිට සවන් දෙන්න එයාලා කැමති වුණා.

රැස්වීමට හිටියේ අපි දෙන්නා විතරක් වුණත් හැම ඉරිදම අපි රැස්වීම් පැවැත්තුවා. මං ප්‍රසිද්ධ කථාව දෙනවා! ඌලි අත්පුඩි ගහනවා! හැම සතියෙම ඌලි සේවා පාසැලේ කතා දුන්නේ නිවැසියා එයා ළඟ ඉන්නවා කියලා හිතාගෙනයි. හැබැයි චාරිකා සේවක ඇවිත් අපේ රැස්වීම් පවත්වන විදිහ වෙනස් කරන්න කිව්වම අපිට ලොකු සහනයක් දැනුණා.

ඒ පළාතට ලියුම් වෙලාවට ආවෙ නැති හින්දා අපේ මාසික දීමනාව වෙලාවට ලැබුන්නෑ. ඒ හින්දා ‘සුළු ප්‍රමාණයක් ඇතුව’ ජීවත් වෙන්න අපි ඉගෙනගත්තා. දවසක් අපිට චාරිකා එක්රැස්වීමකට යන්න තිබුණා. ඒත් සල්ලි තිබුන්නෑ. කිලෝමීටර් 130ක් විතර බස් එකේ යන්න තිබුණා. සහෝදරයෙක් දුන්න හොඳ උපදෙසක් ඒ වෙලාවේ අපිට මතක් වුණා. “ඔයාලා සේවය කරන්නේ යෙහෝවටනේ. ඒ නිසා හැම ප්‍රශ්නයක්ම එයාටම කියන්න.” ඉතින් අපි යාච්ඤා කරලා පයින්ම යන්න තීරණය කළා. ඒත් යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී සහෝදරයෙක් ඇවිත් පුංචි තෑග්ගක් දුන්නා. ඒකෙ තිබුණේ සල්ලි වගයක්. පුදුමෙ කියන්නේ එතන තිබුණේ හරියටම බස් වියදම!

චාරිකා සේවය

මාව 1991 පෙබරවාරි මාසෙදී චාරිකා සේවකයෙක් හැටියට පත් කළා. ඒ වෙද්දී අපේ පුංචි කණ්ඩායමේ ප්‍රචාරකයන් නවදෙනෙක් හිටියා. බව්තීස්ම වෙලා හිටියේ තුන්දෙනෙයි. ඒත් රැස්වීම්වලට 50දෙනෙක් විතර ආවා. චාරිකා සේවයට පුහුණුව ලැබුණට පස්සේ මැඩගස්කරයේ අගනුවර වන ඇන්ටනානාරිවෝවල තිබුණු චාරිකාවක අපි සේවය කළා. ඊටපස්සේ 1993දී මැඩගස්කරයේ නැඟෙනහිර පැත්තේ සේවය කරන්න අපිට පැවරුමක් ලැබුණා. නාගරික පහසුකම් නම් ඒ ප්‍රදේශයේ තිබුණේ නැහැ.

ඒ පැත්තේ සමහර සභාවන්ටයි කණ්ඩායම්වලටයි යන්න වුණේ පයින්. කඳුකරේ ගන වනාන්තර මැදින් සමහර අවස්ථාවලදී කිලෝමීටර් 145ක් විතර ඒ විදිහට යන්න සිද්ධ වුණා. ගෙනිච්චේ අත්‍යවශ්‍යම දේවල් විතරයි. හැබැයි ඉතින් ස්ලයිඩ් දර්ශන පෙන්නපු දවස්වල නම් ගෙනියන්න තිබුණු බර හොඳටම වැඩි වුණා. ඌලි ප්‍රොජෙක්ටරෙත් මං ලොකු කාර් බැටරියත් අමාරුවෙන් අරං ගියා.

එක සභාවක ඉඳලා තව සභාවකට යන්න ගොඩාක් වෙලාවට කිලෝමීටර් 40ක් විතර පයින් යන්න සිද්ධ වුණා. කඳු නැඟගෙන බැහැගෙන මඩ ගොඩවල්වල එරීගෙන ගංගාවලින් අමාරුවෙන් එගොඩ වෙලා යන්න අපිට සිද්ධ වුණා. රෑ බෝ වුණාම නවතින්න තැනක් නැතිකොට පාර අයිනේ නිදාගත්තු අවස්ථාත් තිබුණා. සමහර අවස්ථාවලදී අපි අඳුරන්නේ නැති අයගේ ගෙවල්වලත් නැවතුණා. එතකොට කෑම උයාගත්තේ අපිමයි. ඌලි ඒ ගෙදර අයගෙන් මුට්ටියක් ඉල්ලගෙන ළඟපාතක තිබුණ ගඟකින් හරි වැවකින් හරි වතුර ගෙනාවා. ඒ අතරතුරේ මං පොරවක් ඉල්ලගෙන ගිහින් දර පලාගෙන ආවා. ඉඳලා හිටලා සල්ලිවලට කුකුළෙක්ව අරගෙන ඌව මරලා සුද්ධ කරලා උයාගෙන කෑවා. මේ ඔක්කොම ඉවර වෙද්දී සෑහෙන වෙලාවක් ගිහිල්ලා.

කෑමෙන් පස්සේ නාන්න වතුර ගේන්නත් සිද්ධ වුණා. සමහර ගෙවල්වල නිදාගන්න ලැබුණේ කුස්සියේ. වහිනකොට කුස්සිය තෙමෙන නිසා නිදාගත්තේ ඉඳගෙන බිත්තියට හේත්තු වෙලා. ඒත් නවාතැන් දුන්න අයට දේශනා කරන්න අපි අමතක කළේ නැහැ.

අමාරුකම් මැද අපි යන්න ඕන සභාවට ආවාම සහෝදරයෝ ආදරෙන් අපිව පිළි අරං අපිට ආගන්තුක සත්කාර කළා. ඒ වෙලාවට මඟ තොටේදී වින්ද කරදර, ගමන් මහන්සිය කොහෙන් ගියාද කියලා හිතාගන්නත් බැරි වෙනවා.

අපි සහෝදරයන්ගේ ගෙවල්වල නවතිද්දී එයාලගේ ගෙදරදෙරේ වැඩවලටත් උදව් කළා. ඒ නිසා එයාලටත් අපිත් එක්ක සේවේ යන්න පුළුවන් වුණා. අපි කවදාවත් සහෝදරයන්ගෙන් විශේෂ කෑම බීමවත් විශේෂ සැලකිල්ලවත් බලාපොරොත්තු වුණේ නෑ.

දුර බැහැර පිහිටි කණ්ඩායම්

අපි දුර බැහැර කණ්ඩායම්වලට ගිහින් සේවය කළේ හරිම කැමැත්තෙන්. අපි එනකං ඒ අය බලාගෙන හිටියේ එයාලගේ පාඩම්වලට අපිව එක්කං යන්න. අපිට ‘ටිකක් විවේක ගන්නවත්’ වෙලාවක් තිබුන්නෑ. (මාක් 6:31) දවසක්දා එක යුවළක් එයාලගේ බයිබල් පාඩම් 40ක් ගෙදරට එක්කගෙන ආවා. ඒ පාඩම් ටික කළේ කොහොමද කියලා දන්නවද? මායි සහෝදරයයි පාඩම් 20කුත් ඌලියි සහෝදරියි පාඩම් 20කුත් කළා. පාඩම් ටික කරලා ඉවර කරන්න අපිට එක පිට එක කරන්න සිද්ධ වුණා. හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් තිබුන්නෑ. හවස රැස්වීම තියන්න නතර කරලා ඊටපස්සේ ඉතුරු පාඩම් ටික කරගෙන ගියා. ඒ වගේ දවස්වලට සේවය ඉවර වුණේ රෑ අටත් පහු වෙලා!

අපි තවත් කණ්ඩායමක් එක්ක සේවය කරද්දී හැමෝම එකතු වෙලා ඈත ගම්මානෙකට ගියා. යන්න තිබුණේ මහ කැලෑවක් මැදින් හින්දා ඇඳං ගියේ පරණ ඇඳුම්. කොහොමහරි උදේ අටට එහෙට යන්න පටන්ගත්ත ගමන ඉවර වුණේ දවල් 12ට විතර. ඊටපස්සේ හොඳ ඇඳුම් ඇඳගෙන ගෙයින් ගෙට සේවේ ගියා. හැබැයි හිටපු සහෝදරයන්ගේ ගානට ගෙවල් තිබුන්නැති නිසා පැය භාගෙන් කරලා ඉවර වුණා. අපි ඊළඟ ගමටත් ගියා. එහෙදි වුණේ ඒ ටිකමයි. ආපහු ගෙදර යද්දී සෑහෙන දුරක් යන්න සිද්ධ වුණා. පැයකට සේවය කරන්න එච්චර දුරක් ඇවිදින්න වුණ එක ගැන අපි ටිකක් කලකිරුණත් ඒ තරං හරි සේවය කරන්න ලැබුණ එක ගැන කණ්ඩායමේ සහෝදරයෝ සතුටු වුණා.

කඳුකර ප්‍රදේශයක තවත් කණ්ඩායමක් තිබුණා. ඒ කණ්ඩායමේ එක පවුලක් හිටියේ කඳු මුදුනට කිට්ටුව පුංචි ගේක. ගේ ළඟම තිබුණ පොඩි මඩුවෙයි එයාලා රැස්වීම් පැවැත්තුවේ. අපි ඒ ගෙදරට ගියාම ඒ සහෝදරයා කඳු මුදුනට ගිහින් “සහෝදරයෙනි” කියලා හයියෙන් කෑගැහුවා. අනිත් කඳු මුදුනෙන් “මොකෝ” කියලා අහන හඬක් අපිට ඇහුණා. එතකොට මේ සහෝදරයා “චාරිකා සේවක ඇවිල්ලෝ” කියලා කිව්වා. එතකොට ඒ පැත්තෙන් “අපි එනෝ” කියලා කිව්වා. ඒ විදිහට පණිවිඩේ කටින් කටට ගියා. රැස්වීම පටන්ගන්නකොට 100කටත් වැඩිදෙනෙක් ඇවිල්ලා හිටියා.

ගමන් බිමන් දුෂ්කරයි

අගනුවරට කිට්ටු කඳුකර ප්‍රදේශයක සේවය කරන්න 1996දී අපිට අවස්ථාව ලැබුණා. ඒ ප්‍රදේශයේ ප්‍රවාහණ පහසුකම් නැති තරම්. දවසක් අපිට සේවය කරන්න තිබුණ ප්‍රදේශයට කිලෝමීටර් 240ක විතර දුරක් යන්න තිබුණා. බස් සේවයක් තිබුන්නැති හින්දා ඒ පැත්තට යන පුංචි ලොරියක රියදුරෙක් එක්ක ගානක් කතා කරගෙන අපි ඒකට නැග්ගා. ඒ වෙනකොටත් ඒකට 30දෙනෙක් විතර නැඟලා හිටියා. සමහරු ලොරියේ එල්ලිලා! තවත් අය වහලේ උඩ!

වැඩි දුරක් ගියේ නෑ වාහනේ කැඩුණා. ඒක අපිට නුහුරු දෙයක් නෙවෙයි. ඊටපස්සේ අපි පයින් යන්න පටන්ගත්තා. සෑහෙන දුරක් ගියාට පස්සේ ලොකු ට්‍රක් එකක් ආවා. ඒකෙ බඩුත් පටවලා මිනිස්සුත් පිරිලා හිටියා. අමාරුවෙන් අපිත් රිංගගත්තා. වැඩි දුරක් ගියේ නෑ, පාළමක් කැඩිලා හින්දා ගමන නැවතුණා. ඒ නිසා ඒ හරියේ තියෙන ගමකට ගිහින් එහෙ හිටිය විශේෂ පුරෝගාමීන්ව හම්බෙලා පාළම හදනකං එයාලා එක්ක නැවතිලා සේවයේ ගියා.

ටික දවසකින් පාළම හදලා තිබුණත් වෙන වාහනයක් එනකම් අපිට සතියක්ම එහෙ ඉන්න වුණා. වාහනේ රියදුරා එක්ක කතා කරගෙන අපේ ගමන ආපහු පටන්ගත්තා. පාර නම් අන්තිමයි. පත වළවල් හැම තැනම. ඒ නිසා නිතරම වාහනෙන් බැහැලා වතුරේ නැත්නම් මඩේ එරීගෙන වාහනේ තල්ලු කරන්න වුණා. වැටිලා මඩ නාපු අවස්ථාත් වුණා. අන්තිමට අපිට යන්න තිබුණ තැනට යද්දී පාන්දර වෙලා තිබුණා.

වාහනෙන් බැහැලා කුඹුරු මැද්දෙන් තමයි එතනට යන්න තිබුණේ. අපි ඒ ප්‍රදේශයට ගිය මුල් වතාව ඒක නිසා අපි හිතුවා කුඹුරේ වැඩ කරන අයට සාක්ෂි දරලා එයාලගෙන්ම පාර අහගන්නවා කියලා. බැලින්නං එයාලත් අපේම සහෝදරයෝ!

පූර්ණකාලීන සේවයට දිරිගැන්නුවා

හුඟදෙනෙකුව පූර්ණකාලීන සේවයට දිරිගන්වන්නත් අපිට පුළුවන් වුණා. උදාහරණෙකට අපි එක සභාවකට ගිය වෙලේ එහේ ස්ථාවර පුරෝගාමීන් නවදෙනෙක් හිටියා. ඒ හැම පුරෝගාමියෙකුටම දිරිගැන්නුවා තව ප්‍රචාරකයෙක්ව පුරෝගාමි සේවයට දිරිගන්වන්න කියලා. මාස හයකට පස්සේ ආපහු එහෙ යද්දී ස්ථාවර පුරෝගාමීන් 22ක් හිටියා. මොකද වෙලා තිබුණේ? ස්ථාවර පුරෝගාමි සහෝදරියන් දෙන්නෙක් සභාවේ වැඩිමහල්ලන්ව හිටපු එයාලගේ තාත්තලාව දිරිගන්වලා එයාලත් පුරෝගාමීන් වෙලා! ඒ වැඩිමහල්ලෝ දෙන්නා සභාවේ අනිත් වැඩිමහල්ලවත් පුරෝගාමි සේවයට දිරිගන්වලා. ටික කාලෙකට පස්සේ එයා විශේෂ පුරෝගාමියෙක් වුණා. පස්සේ එයත් එයාගේ බිරිඳත් චාරිකා සේවයේ ගියා. අනිත් වැඩිමහල්ලන් දෙන්නගෙන් එක්කෙනෙක් චාරිකා සේවකයෙකුත් අනිත් එක්කෙනා නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ ස්වේච්ඡා සේවකයෙකුත් වුණා.

සමහර වෙලාවට අපිට මහන්සිය දැනෙනවා. අසනීපත් වෙනවා. හැබැයි මේ දක්වා කරන්න පුළුවන් වුණු හැම දේකටම අපි යෙහෝවා දෙවිට හැමදාම ස්තුතිවන්ත වෙනවා. ඒ කිසි දෙයක් අපේ හයියෙන් කරන්න බැහැ කියලා අපි දන්නවා. අපි දැන් විශේෂ පුරෝගාමීන් විදිහට සේවය කරනවා. යෙහෝවා දෙවිගේ සේවයට සුළුවෙන් හරි දායක වෙන්න ලැබුණ එක ගැන අපි සතුටු වෙනවා. පාවුල් ඉගෙනගත්ත “රහස” අපිත් ඉගෙනගත්තා. ඒ “රහස” තමයි හැම අවස්ථාවකදීම ‘අපිට බලය දෙන තැනැත්තා’ වන යෙහෝවා දෙවි කෙරෙහි රඳා සිටීම!

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යෙහෝවා දෙවි කෙරෙහි රඳා සිටීම නමැති “රහස” අපි ඉගෙනගත්තා

[4වන පිටුවේ සිතියම⁄පින්තූර]

මැඩගස්කරය, ලෝකයේ තිබෙන හතරවෙනියට ලොකුම දූපතයි. ජීවි විශේෂ රැසක් ඒ දූපතට ආවේණිකයි. එහි පස රතු පැහැති නිසා සමහරු එයට රතු දූපත කියාත් කියනවා

[5වන පිටුවේ පින්තූරය]

ගමන් බිමන් දුෂ්කර වීම තමයි මුහුණ දුන්න ලොකුම අභියෝගය

[5වන පිටුවේ පින්තූර]

බයිබල් පාඩම්වලට හවුල් වීමෙන් අපි සතුටක් ලබනවා