Skip to content

පටුනට යන්න

“රහස් හෙළි කරන” යෙහෝවා දෙවි

“රහස් හෙළි කරන” යෙහෝවා දෙවි

“රහස් හෙළි කරන” යෙහෝවා දෙවි

“ඇත්තටම ඔබේ දෙවි දෙවිවරුන්ගෙත් දෙවි! ඔහු රජවරුන්ගෙත් රජ! රහස් හෙළි කරන තැනැත්තා ඔහුයි.”—දානි. 2:47.

ඔබේ පිළිතුර මොකක්ද?

යෙහෝවා දෙවි අනාගතය ගැන හෙළි කර තිබෙන්නේ මොනවාද?

මෘගයාගේ මුල් හිස් හයෙන් නියෝජනය වෙන්නේ මොන අධිරාජ්‍යයන්ද?

එළිදරව් පොතේ සඳහන් මෘගයා හා නෙබුකද්නෙෂර් දුටු රූපය අතර තිබෙන සමානකම් මොනවාද?

1, 2. දෙවි හෙළි කර තිබෙන්නේ මොනවාද? එසේ කළේ ඇයි?

දෙවි මේ දුෂ්ට සමාජය විනාශ කරන බව අපි සියලුදෙනාම දන්නවා. නමුත් ඒ විනාශය පැමිණෙද්දී මේ පොළොව පාලනය කරමින් සිටින්නේ මොන ලෝක අධිරාජ්‍යයද? “රහස් හෙළි කරන තැනැත්තා” වන යෙහෝවා දෙවි ඒ ගැන හෙළි කර තිබෙනවා. ඒ බලවත් අධිරාජ්‍යය මොකක්ද කියා දානියෙල් හා යොහන් මාර්ගයෙන් දෙවි අපට දන්වා තිබෙනවා.

2 දෙවි දානියෙල්ට හා යොහන්ට විවිධ මෘගයන් සම්බන්ධ දර්ශන කිහිපයක් ලබා දුන්නා. ඒ වගේම නෙබුකද්නෙශර් රජ දුටු අතිවිශාල රූපය ගැනත් දෙවි දානියෙල් මගින් හෙළි කළා. මේ සෑම දෙයක්ම වාර්තා කර තිබෙන්නේ අපේ ප්‍රයෝජනයටයි. (රෝම 15:4) එසේ කළේ දෙවිගේ රාජ්‍යය ළඟදීම සියලු මිනිස් ආණ්ඩු විනාශ කරන බවට වූ අපේ බලාපොරොත්තුව ශක්තිමත් කරන්නයි.—දානි. 2:44.

3. බයිබලයේ සඳහන් අනාවැකි අවබෝධ කරගන්න නම් අපි තේරුම්ගත යුත්තේ මොකක්ද? ඒ ඇයි?

3 දානියෙල් හා යොහන් පැවසූ ඒ අනාවැකිවලින් අපිට රජවරුන් හෙවත් බලවත් රාජ්‍යයන් අටක නැඟීම හා වැටීම ගැනත් ඒවා පවතින අනුපිළිවෙළ ගැනත් දැනගන්න පුළුවන්. නමුත් ඒ අනාවැකි අවබෝධ කරගන්න නම් බයිබලයේ සඳහන් පළවෙනි අනාවැකිය තේරුම්ගන්න අවශ්‍යයි. ඊට හේතුව මුළු බයිබලයම හා එහි ඇති සියලුම අනාවැකි ඒ පළවෙනි අනාවැකියට සම්බන්ධ වී තිබීමයි.

සර්පයාගෙන් පැවතෙන්නන් සහ මෘගයා

4. පැවත එන තැනැත්තාට ඇතුළත් කවුද? යේසුස් හා අභිෂේක ලත් අය කරන්නේ මොකක්ද?

4 මුල් යුවළ දෙවිට විරුද්ධව කැරලිගැසුවාට පස්සේ යෙහෝවා දෙවි ‘ස්ත්‍රියක්’ හා ඇගෙන් ‘පැවත එන තැනැත්තෙක්’ ගැන අනාවැකියක් පැවසුවා. * (උත්පත්ති 3:15 කියවන්න.) එම පැවත එන තැනැත්තා සර්පයාගේ නැතහොත් සාතන්ගේ හිස පොඩි කරන බව එහි පවසා තිබෙනවා. එම තැනැත්තා ආබ්‍රහම්ගෙන් පැවත එන ඊශ්‍රායෙල් ජාතියෙන්, පසුව යූදා ගෝත්‍රයෙන් හා දාවිත්ගේ පවුලෙන් පැමිණෙන බවත් යෙහෝවා දෙවි හෙළි කළා. (උත්. 22:15-18; 49:10; ගීතා. 89:3, 4; ලූක් 1:30-33) එම ‘පැවත එන තැනැත්තාගෙන්’ මූලිකව නියෝජනය වෙන්නේ යේසුස්වයි. (ගලා. 3:16) ඊට අමතරව, අභිෂේක ලත් අය දෙවිගේ පුත්‍රයන් නිසාත් යේසුස් සමඟ එකට බැඳී සිටින නිසාත් ඔවුන්ද පැවත එන තැනැත්තාට අයිති වෙනවා. (ගලා. 3:26-29) යේසුස් හා අභිෂේක ලත් අයගෙන් සකස් වී ඇති දේවරාජ්‍යය මගින් යෙහෝවා දෙවි සාතන්ව විනාශ කර දමනවා.—ලූක් 12:32; රෝම 16:20.

5, 6. (අ) දානියෙල් හා යොහන් බලවත් පාලනයන් කීයක් ගැන සඳහන් කළාද? (ආ) එළිදරව් පොතේ සඳහන් මෘගයාගේ හිස්වලින් නියෝජනය වෙන්නේ මොනවාද?

5 සාතන්ටත් ‘පැවත එන්නන්’ සිටින බවත් ඔවුන් ස්ත්‍රියගෙන් පැවත එන්නාට වෛර කරන බවත් මුල් අනාවැකියේ සඳහන් වෙනවා. සර්පයාගෙන් පැවතෙන්නන්ට සාතන් මෙන් දෙවිට හා ඔහුගේ සෙනඟට වෛර කරන සියලුදෙනාම ඇතුළත්. ඊට ආගම් හා දේශපාලනයත් අයත් වෙනවා. (ලූක් 4:5, 6) සාතන්ගේ අණසක යටතේ ඉතිහාසය පුරා බලවත් ආණ්ඩු හා රාජ්‍යයන් බොහොමයක් පැවතුණත් දෙවිගේ සෙනඟ වූ පුරාණ ඊශ්‍රායෙල් ජාතියට හා පසුව අභිෂේක ලත් අයට විරුද්ධව කෙළින්ම සටන් කර තිබෙන්නේ ඒ රාජ්‍යයන්ගෙන් කීපයක් විතරයි. දානියෙල් හා යොහන් එවැනි බලවත් පාලනයන් අටක් ගැන විතරක් සඳහන් කරන්නේ ඒ නිසයි.

6 දැනට අවුරුදු 2,000කට විතර කලින් යේසුස් ක්‍රිස්තුස් යොහන්ට දර්ශන කීපයක් දකින්න සැලැස්සුවා. (එළි. 1:1) ඔහු මුලින්ම මුහුද අසල වැල්ලේ සිටි මකරෙක්ව දැක්කා. ඒ මකරා නම් යක්ෂයායි. (එළිදරව් 13:1, 2 කියවන්න.) ඒ වගේම ඔහු මුහුදෙන් මතු වූ මෘගයෙකුවත් දැක්කා. ඌට සාතන් මහත් බලයක් දී තිබුණා. පසුව ඔහු හිස් හතක් ඇති තද රතු පාට මෘගයෙක්වත් දැක්කා. නමුත් ඌ මුහුදෙන් මතු වූ මෘගයාගේම රූපයක්. දේවදූතයෙක් යොහන්ට පැවසුවේ ඒ තද රතු පාට මෘගයාගේ හිස් හතෙන් නියෝජනය වෙන්නේ “රජවරුන්” හෙවත් පාලනයන් ‘හතක්’ බවයි. (එළි. 13:1, 14, 15; 17:3, 9, 10) යොහන් එළිදරව් පොත ලියූ කාලය වන විට ඒ රජුන් හත්දෙනාගෙන් පස්දෙනෙකුගේම පාලනය අවසන් වී තිබූ අතර පාලනය කරමින් සිටියේ හයවෙනි රජයි. හත්වෙනි රජ ඒ වන විටත් ‘පැමිණ සිටියේ නැහැ.’ දැන් අපි එළිදරව් පොතේ සඳහන් මෘගයාගේ එක් එක් හිසෙන් නියෝජනය වෙන්නේ මොකක්ද කියා සලකා බලමු. ඊට අමතරව එම අධිරාජ්‍යයන් ගැන දානියෙල් පොතෙත් බොහෝ තොරතුරු සඳහන් වෙනවා. දානියෙල් එම අනාවැකි පැවසුවේ ඒ අධිරාජ්‍යයන් බලයට පැමිණීමටත් අවුරුදු සිය ගණනකට පෙරයි.

පළවෙනි හිස ඊජිප්තුව හා දෙවෙනි හිස ඇසිරියාව

7. මෘගයාගේ පළවෙනි හිසෙන් නියෝජනය වෙන්නේ කාවද? එසේ පවසන්නේ ඇයි?

7 දෙවිගේ සෙනඟට විරුද්ධව සතුරුකම් පෑ මුල්ම අධිරාජ්‍යය ඊජිප්තුව නිසා යොහන් සඳහන් කරන මෘගයාගේ පළවෙනි හිසෙන් නියෝජනය වෙන්නේ ඊජිප්තුවයි. ඊශ්‍රායෙල් ජාතිය ඊජිප්තුවේ සිටින කාලයේදී ගණනින් වැඩි වුණා. ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තා එනවාට සාතන් අකමැති වූ නිසා දෙවිගේ සෙනඟව විනාශ කර දැමීමට ඔහු උත්සාහ කළා. ඉපදෙන සියලුම පිරිමි දරුවන්ව මරා දැමීමට ඔහු පාරාවෝව පොලඹවාගත්තත් තම සෙනඟව විනාශ කිරීමට දෙවි ඔහුට ඉඩ දුන්නේ නැහැ. (නික්. 1:15-20; 14:13) ඒ වෙනුවට ඔවුන්ව නිදහස් කළ යෙහෝවා දෙවි ඔවුන්ට පොරොන්දු වූ දේශය උරුම කර දුන්නා.

8. දෙවෙනි හිසෙන් නියෝජනය වෙන්නේ කාවද? ඔවුන් උත්සාහ කළේ මොනවා කරන්නද?

8 මෘගයාගේ දෙවෙනි හිසෙන් නියෝජනය වෙන්නේ ඇසිරියාවයි. ඊශ්‍රායෙලයේ උතුරු ගෝත්‍ර දහයේ සිටි යෙහෝවා දෙවිගේ සෙනඟ ඔහුට අකීකරු වී රූප නමස්කාරයේ යෙදුණු අවස්ථාවේ ඔවුන්ට දඬුවම් කිරීමට දෙවි ඇසිරියානුවන්ව යොදාගත්තා. නමුත් ඔවුන් එතනින් නවතින්නේ නැතුව යෙරුසලමත් විනාශ කරන්න හැදුවා. සමහරවිට එමගින් සාතන් වෑයම් කළේ යේසුස් පැමිණීමට නියමිත වූ රජ පෙළපත විනාශ කිරීමට විය හැකියි. නමුත් දෙවි ඊට ඉඩ නොදී ඇසිරියානු හමුදාව විනාශ කර දැමුවා.—2 රාජා. 19:32-35; යෙසා. 10:5, 6, 12-15.

තුන්වෙනි හිස බැබිලෝනිය

9, 10. (අ) දෙවි බැබිලෝනිවරුන්ට ඉඩහැරියේ මොනවා කරන්නද? (ආ) සමහර අනාවැකි ඉටු වීමට පෙර සිදු වීමට නියමිතව තිබුණේ මොන වගේ දේවල්ද?

9 මෘගයාගේ තුන්වෙනි හිසෙන් නියෝජනය වෙන්නේ බැබිලෝනියයි. යෙරුසලම විනාශ කර යුදෙව්වන්ව වහලුන් ලෙස ගෙන යන්න දෙවි බැබිලෝනිවරුන්ට ඉඩ දුන්නා. තමන්ට කීකරු නොවුණොත් එසේ සිදු වන බව දෙවි යුදෙව්වන්ට කල් තියාම පවසා තිබුණා. (2 රාජා. 20:16-18) දාවිත්ගේ පෙළපතින් පැමිණීමට නියමිත “නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තා” එන තුරු යෙරුසලමේ පිහිටි “සිංහාසනයේ” ඉඳගැනීමට කිසිම යුදෙව් රජෙකුට ඉඩ දෙන්නේ නැති බවත් දෙවි පැවසුවා.—1 ලේක. 29:23; එස. 21:25-27.

10 තවත් අනාවැකියක සඳහන් වුණේ “නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තා” හෙවත් පොරොන්දු වූ ගැලවුම්කරු පැමිණෙන විට යුදෙව්වන් යෙරුසලමේ දේවමාලිගාවේ නමස්කාර කටයුතු සාමාන්‍ය පරිදි කරමින් සිටින බවයි. (දානි. 9:24-27) ඊටත් කලින් පැවසූ අනාවැකියක සඳහන් වුණේ එම තැනැත්තා බෙත්ලෙහෙමේ ඉපදෙන බවයි. (මීකා 5:2) එම අනාවැකි ඉටු වෙන්න නම් බැබිලෝනියේ වහල්භාවයේ සිටි යුදෙව්වන් තමන්ගේ මව්බිමට ගොස් දේවමාලිගාව නැවත ඉදි කර තිබිය යුතු වුණා. නමුත් බැබිලෝනිවරුන් තමන්ගේ වහලුන්ව නිදහස් කරන අය නෙවෙයි. එහෙමනම් යුදෙව්වන් නැවත මව්බිමට යන්නේ කොහොමද? යෙහෝවා දෙවි තම අනාගතවක්තෘ මාර්ගයෙන් ඒ ගැනත් හෙළි කළා.—ආමො. 3:7.

11. දානියෙල් හා යොහන් බැබිලෝනියේ අධිරාජ්‍යය ගැන විස්තර කර තිබෙන්නේ කොහොමද? (පාදසටහන බලන්න.)

11 බැබිලෝනියෙන් පසු පැමිණෙන ලෝක අධිරාජ්‍යය ගැන යෙහෝවා දෙවි දානියෙල් මාර්ගයෙන් හෙළි කළා. ඒ වන විට ඔහු සිටියේ බැබිලෝනියේ. (දානි. 1:1-6) දෙවි ඒ රාජ්‍යයන් ගැන හෙළි කිරීමට විවිධ සංකේත යොදාගත්තා. උදාහරණයකට නෙබුකද්නෙෂර් රජු සිහිනෙන් දුටු අතිවිශාල රූපය ඉන් එකක්. (දානියෙල් 2:1, 19, 31-38 කියවන්න.) එහි රන් හිසෙන් නියෝජනය වෙන්නේ බැබිලෝනිය කියා දෙවි පැවසුවා. * රිදී අත් සහ ළයෙන් නියෝජනය වෙන්නේ ඊළඟට පැමිණෙන අධිරාජ්‍යයයි. ඒ අධිරාජ්‍යය මොකක්ද? ඔවුන් දෙවිගේ සෙනඟට සැලකුවේ කොහොමද?

හතරවෙනි හිස මේදිය සහ පර්සියාව

12, 13. (අ) බැබිලෝනිය පරාජය කරන අධිරාජ්‍යය ගැන දෙවි හෙළි කළේ මොනවාද? (ආ) මෘගයාගේ හතරවෙනි හිසෙන් නියෝජනය වෙන්නේ මේදිය සහ පර්සියානු අධිරාජ්‍යය කියා පැවසිය හැක්කේ ඇයි?

12 දානියෙල් ඉපදෙන්න අවුරුදු 100කට විතර කලින් යෙහෝවා දෙවි යෙසායා ලවා බැබිලෝනිය පරාජය කරන රාජ්‍යය ගැන හෙළි කළා. එය පරාජය කරන ආකාරය විතරක් නෙවෙයි එසේ කරන රජුගේ නමත් දෙවි කලින්ම දැන්නුවා. ඔහු මේදිය සහ පර්සියානු අධිරාජ්‍යයේ රජු වූ සයිරස්. (යෙසා. 44:28–45:2) මේ ලෝක අධිරාජ්‍යය ගැන දෙවි දානියෙල්ට දර්ශන දෙකකින් තොරතුරු හෙළි කළා. ඉන් එකක එම රාජ්‍යය දක්වා තිබුණේ කකුලක් ඔසවාගෙන සිටි වලසෙක් ලෙසයි. ඌට ‘බොහෝ මස් කන්න’ කියා අණ කර තිබුණා. (දානි. 7:5) අනික් දර්ශනයේ මේදිය සහ පර්සියාව නියෝජනය කර තිබුණේ අං දෙකක් තිබූ බැටළුවෙකුගෙනුයි.—දානි. 8:3, 20.

13 බැබිලෝනිය පරාජය කර ඊශ්‍රායෙල්වරුන්ව ඔවුන්ගේ මව්බිමට යැවීම සඳහා යෙහෝවා දෙවි මේදිය සහ පර්සියානු අධිරාජ්‍යය යොදාගත්තා. (2 ලේක. 36:22, 23) නමුත් පසු කලකදී ඔවුන් දෙවිගේ සෙනඟව සහමුලින්ම නැති කර දැමීමට උත්සාහ කළා. පර්සියානු අධිරාජ්‍යයේ උසස් නිලධාරියෙක් වූ හාමාන් රාජධානිය පුරා විසිර සිටි සියලුම යුදෙව්වන්ව එක දිනක් තුළ මරා දැමීමට කුමන්ත්‍රණය කිරීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. (එස්ත. 1:1-3; 3:8, 9; 8:3, 9-14) නමුත් දෙවි ඒ වතාවේදිත් සාතන්ගෙන් පැවත එන අයගේ සතුරුවාදිකම්වලින් තම සෙනඟව ආරක්ෂා කළා. ඒ අනුව එළිදරව් පොතේ සඳහන් හතරවෙනි මෘගයාගෙන් නියෝජනය වෙන්නේ මේදිය හා පර්සියානු අධිරාජ්‍යයයි.

පස්වෙනි හිස ග්‍රීසිය

14, 15. ග්‍රීසිය අධිරාජ්‍යය ගැන යෙහෝවා දෙවි හෙළි කළේ මොනවාද?

14 මෘගයාගේ පස්වෙනි හිසෙන් නියෝජනය වෙන්නේ ග්‍රීසිය අධිරාජ්‍යයි. දානියෙල් විස්තර කළ අතිවිශාල රූපයේ තඹවලින් සෑදී ඇති බඩ හා කළවාවලින් නියෝජනය වෙන්නෙත් එම රාජ්‍යයමයි. එම ලෝක අධිරාජ්‍යය ගැනත් එහි බලවත්ම පාලකයා ගැනත් දෙවි දානියෙල්ට දර්ශන දෙකක් මගින් හෙළි කළා.

15 ඉන් එකක ග්‍රීසිය අධිරාජ්‍යය දක්වා තිබුණේ වේගවත් ලෙස අනික් රාජ්‍යයන් යටපත් කරන “පක්ෂියෙකුගේ පියාපත් හතරක් තිබුණු දිවියෙකු” ලෙසයි. (දානි. 7:6) අනික් දර්ශනයේදී දානියෙල් දැක්කේ විශාල අඟක් තිබූ එළුවෙකුවයි. ඒ එළුවා මේදිය සහ පර්සියානු අධිරාජ්‍යය නියෝජනය කළ අං දෙකක් තිබූ බැටළුවාව මරා දමනවාත් ඔහු දැක්කා. එළුවාගෙන් ග්‍රීසියත් විශාල අඟෙන් ග්‍රීසියේ බලවත්ම රජුවත් නියෝජනය වුණා. පසුව ඒ විශාල අඟ කැඩී ඒ වෙනුවට අං හතරක් මතු වෙනවා ඔහු දැක්කා. දානියෙල් මේ අනාවැකිය වාර්තා කළේ ග්‍රීසිය අධිරාජ්‍යයක් බවට පත් වෙන්න අවුරුදු සිය ගණනකට කලින් වුණත් දෙවි කී දේ ඒ විදිහටම ඉටු වුණා. ග්‍රීසියේ සිටි බලවත්ම රජු වූ මහා ඇලෙක්සැන්ඩර් මේදිය සහ පර්සියානු හමුදාව පරාජය කළා. නමුත් ඒ විශාල අඟ හදිස්සියේම කැඩී ගියා. එනම් ඇලෙක්සැන්ඩර් මරණයට පත් වුණා. එවිට ඔහුට වයස අවුරුදු 32යි. ඔහු වෙනුවට ඔහුගේම සේනාධිපතීන් හතරදෙනෙක් අතරේ අධිරාජ්‍යයේ පාලනය බෙදී ගියා.—දානියෙල් 8:20-22 කියවන්න.

16. හතරවෙනි අන්තියෝකස් කළේ මොකක්ද?

16 ග්‍රීසිය අධිරාජ්‍යය ඊශ්‍රායෙල් දේශයත් යටත් කරගෙන සිටියා. ඒ වන විට ඊශ්‍රායෙල්වරු දේවමාලිගාව නැවත ඉදි කර තිබුණා. ඒ වගේම දෙවි යුදෙව්වන්ව දිගටම තම සෙනඟ ලෙසත් දේවමාලිගාව ශුද්ධ නමස්කාරයේ මධ්‍යස්ථානය ලෙසත් සැලකුවා. නමුත් ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේදී ග්‍රීසියේ පාලකයෙක් වූ හතරවෙනි අන්තියෝකස් යෙරුසලමේ දේවමාලිගාවේ පූජාසනයක් ඉදි කර බොරු දෙවිවරුන්ට නමස්කාර කළා. ඔහු යුදෙව් ආගමට අයත් අයව මරා දමන්නත් අණ කළා. එය සාතන්ගෙන් පැවතෙන්නන් නැවතත් දෙවිගේ සෙනඟට විරුද්ධව සටන් කිරීමක්. නමුත් වෙනත් අධිරාජ්‍යයක් ග්‍රීසිය පරාජයට පත් කළා. ඒ අධිරාජ්‍යය මොකක්ද?

හයවෙනි හිස රෝමය

17. උත්පත්ති 3:15 ඉටු වීම සඳහා රෝමය සම්බන්ධ වුණේ කොහොමද?

17 මෘගයාගේ හයවෙනි හිසෙන් නියෝජනය වෙන්නේ රෝම අධිරාජ්‍යයයි. යොහන්ට මෘගයා ගැන දර්ශනය ලැබෙද්දී ලෝකය පාලනය කරමින් සිටියේ එම අධිරාජ්‍යයයි. (එළි. 17:10) පැවත එන තැනැත්තා සම්බන්ධයෙන් උත්පත්ති 3:15 සඳහන් අනාවැකියේ කොටසක් රෝම අධිරාජ්‍යය විසින් ඉටු කළා. ඒ ‘විලුඹ පොඩි කිරීමයි.’ සාතන් රෝම නිලධාරීන්ව යොදාගෙන අසාධාරණ ලෙස යේසුස්ව මරා දැමූ විට එය ඉටු වුණා. (මතෙ. 27:26) නමුත් යෙහෝවා දෙවි යේසුස්ව නැවත නැඟිටුවීම මගින් විලුඹ සුව කළා.

18. (අ) යෙහෝවා දෙවි තෝරාගත් අලුත් ජාතිය මොකක්ද? එය තෝරාගත්තේ ඇයි? (ආ) සර්පයාගෙන් පැවතෙන්නන් දිගටම ස්ත්‍රියගෙන් පැවතෙන්නන්ට විරුද්ධ වුණේ කොහොමද?

18 එදා සිටි යුදෙව්වන්ගෙන් බොහෝදෙනෙක් යේසුස්ව ප්‍රතික්ෂේප කළා විතරක් නෙවෙයි යුදෙව් ආගමික නායකයන් යේසුස්ව මරා දැමීමටත් රෝම පාලකයන්ට උපකාර කළා. ඒ නිසා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජාතියව ප්‍රතික්ෂේප කළා. (මතෙ. 23:38; ක්‍රියා 2:22, 23) ඒ වෙනුවට ඔහු අලුත් ජාතියක් වන “දෙවිගේ ඊශ්‍රායෙලය” තෝරාගත්තා. (ගලා. 3:26-29; 6:16) ඊට අයත් වුණේ යුදෙව් හා යුදෙව් නොවන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්. (එෆී. 2:11-18) යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පසුවත් ස්ත්‍රියගෙන් පැවතෙන්නන්ට විරුද්ධව සර්පයාගෙන් පැවතෙන්නන් දිගටම සටන් කළා. රෝමය ලවා අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව විනාශ කර දමන්න සාතන් කිහිපවිටක්ම උත්සාහ කිරීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. *

19. (අ) හයවෙනි අධිරාජ්‍යය ගැන දානියෙල් විස්තර කරන්නේ කොහොමද? (ආ) ඊළඟට අපි සලකා බලන්නේ මොනවාද?

19 නෙබුකද්නෙෂර් දුටු රූපයේ යකඩ කෙණ්ඩාවලින් නියෝජනය වුණේ රෝමයයි. (දානි. 2:33) දානියෙල්ද රෝමයෙන් මතු වන තවත් අධිරාජ්‍යයක් දර්ශනයකින් දැක්කා. (දානියෙල් 7:7, 8 කියවන්න.) සියවස් ගණනාවක් පුරා රෝමය කටයුතු කළේ ‘භයානක පෙනුමක් ඇති ඉතා රෞද්‍ර මෘගයෙක්’ විදිහටයි. නමුත් ඌට “අං දහයක්” තිබෙන බවත් තව පොඩි අඟක් ඒවා අතරේ හටගෙන අනික් ඒවාට වඩා උඩට මතු වෙනවාත් ඔහු දැක්කා. අං දහයෙන් නියෝජනය වෙන්නේ මොකක්ද? පොඩි අඟෙන් නියෝජනය වෙන්නේ මොකක්ද? නෙබුකද්නෙෂර් දුටු අතිවිශාල රූපය හා ඒ පොඩි අඟ අතර ඇති සම්බන්ධය මොකක්ද? ඒ ගැන 14වෙනි පිටුවේ ඇති ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන්වල]

^ 4 ඡේ. මෙම ස්ත්‍රියගෙන් මුළු ස්වර්ගික සංවිධානයම නියෝජනය වෙනවා. එම සංවිධානය දෙවිගේ භාර්යාව ලෙසත් හඳුන්වනවා.—යෙසා. 54:1; ගලා. 4:26; එළි. 12:1, 2.

^ 11 ඡේ. යොහන් දුටු මෘගයාගේ තුන්වෙනි හිස හා දානියෙල් විස්තර කළ අතිවිශාල මිනිස් රූපයේ රන් හිස යන දෙකෙන්ම නියෝජනය වෙන්නේ බැබිලෝනියේ අධිරාජ්‍යයි. මෙහි 12-13වෙනි පිටුවල ඇති රූප සටහන බලන්න.

^ 18 ඡේ. ක්‍රිස්තු වර්ෂ 70දී රෝමය විසින් යෙරුසලම විනාශ කළා. ඒ වෙද්දී ඊශ්‍රායෙල්වරු දෙවි තෝරාගත් සෙනඟව සිටියේ නැහැ. ඒ නිසා එම විනාශය උත්පත්ති 3:15 සඳහන් සාතන්ගෙන් පැවතෙන්නන් ස්ත්‍රියගෙන් පැවතෙන්නන්ට කළ සතුරුවාදිකමක් ලෙස සැලකෙන්නේ නැහැ.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]