Skip to content

පටුනට යන්න

දේවසේවයට මුල් තැන දෙන්න

දේවසේවයට මුල් තැන දෙන්න

දේවසේවයට මුල් තැන දෙන්න

“මම දවස පුරාම ඔබේ ධර්මිෂ්ඨකම ගැන කතා කරමි. ඔබ ලබා දුන් ගැලවීම ගැන ප්‍රකාශ කරමි.”—ගීතා. 71:15.

ඔබේ පිළිතුර මොකක්ද?

නෝවා, මෝසෙස්, යෙරෙමියා හා පාවුල් දේවසේවයට මුල් තැන දුන්නේ ඇයි?

ඔබේ ජීවිතයට මුල් තැන දිය යුතු දේ තීරණය කරන්න උපකාර වෙන්නේ මොනවාද?

ඔබ දේවසේවයට මුල් තැන දෙන්නේ ඇයි?

1, 2. (අ) කෙනෙක් තම ජීවිතය දෙවිට කැප කරනවා කීමෙන් අදහස් කරන්නේ මොකක්ද? (ආ) නෝවා, මෝසෙස්, යෙරෙමියා හා පාවුල්ගේ ආදර්ශ උපකාරවත් වෙන්නේ කොහොමද?

කෙනෙක් යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වෙන්න තීරණය කරන විට ඔහු ගන්නේ ජීවිතයේ බැරෑරුම්ම තීරණයයි. කැප වෙද්දී ඔහු යෙහෝවා දෙවිට පොරොන්දු වෙන්නේ මේ වගේ දෙයක්. ‘යෙහෝවා දෙවියනි, මං ඔබේ දාසයෙක්. මගේ කාලය ඥානවන්තව පාවිච්චි කරන්නත් වැදගත්ම දේවලට මුල් තැන දෙන්නත් මට උදව් කරන්න. මගේ හැකියාවනුත් මා ළඟ තියෙන දේවලුත් පාවිච්චි කරන්න ඕන විදිහ මට කියලා දෙන්න. මං අයිති ඔබටයි.’

2 ඔබ දැනටමත් බව්තීස්ම වූ කෙනෙක් නම් ඔබත් දෙවිට එවැනි පොරොන්දුවක් දී තිබෙනවා. ඔබ ගත් තීරණය ඉතාම හොඳ එකක්. කෙනෙකුට ගන්න පුළුවන් ඥානවන්තම තීරණය ඒකයි. ජීවිතය දෙවිට කැප කර සිටින ඔබ ඔබේ කාලය පාවිච්චි කරන්නේ කොහොමද? නැණවත්ව කාලය පාවිච්චි කිරීම සඳහා නෝවා, මෝසෙස්, යෙරෙමියා හා පාවුල්ගේ ආදර්ශ සලකා බැලීම අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඔවුන් තමන්ට හැකි උපරිමයෙන් දෙවිට සේවය කළ අයයි. අප සිටින්නෙත් ඔවුන් සිටියා හා සමාන තත්වයක නිසා ඔවුන් ජීවිතයේ මුල් තැන දුන්නේ මොනවාටද කියා සලකා බැලීමෙන් අපිටත් හොඳ තීරණ ගන්න පුළුවන් වෙනවා.—මතෙ. 28:19, 20; 2 තිමෝ. 3:1.

ජලගැල්මට පෙර

3. අපි ජීවත් වන කාලය නෝවාගේ කාලයට සමාන වෙන්නේ කොහොමද?

3 අපි අද ජීවත් වන කාලය ගැන යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. ‘මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේ සිදු වන දේවල් නෝවාගේ කාලයේ සිදුවීම්වලට සමානයි. නෝවා නැවට ඇතුල් වූ දවස දක්වාම ඔවුන් කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියා. ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුන් සිදු වන දේ ගැන කිසි තැකීමක් කළේ නැහැ.’ (මතෙ. 24:37-39) අපි මිනිසුන්ට දෙන අනතුරු ඇඟවීම් බොහෝදෙනෙක් පිළිගන්නේ නැහැ. අපි ජීවත් වෙන්නේ විනාශය අද්දරයි කියා කියද්දී ඔවුන් එය ගණනකටවත් ගන්නේ නැහැ. එදා මෙන් අදත් මිනිසුන් සිතන්නේ දෙවියන් දුෂ්ට මිනිසුන්ව විනාශ කරන්නේ නැහැ කියායි. ඔවුන් ඒ ගැන සමච්චල් කරනවා. (2 පේතෘ. 3:3-7) මිනිසුන් තමන්ගේ පණිවිඩයට සවන් නොදුන්නත් නෝවා තම කාලය යෙදෙව්වේ මොනවා කරන්නද?

4. දෙවිගෙන් පැවරුමක් ලැබුණු පසු නෝවා කාලය ගත කළේ මොකක් සඳහාද? ඒ ඇයි?

4 දෙවි ගෙනෙන විනාශය ගැනත් තමාට දුන් පැවරුම ගැනත් දැනගත් පසු නෝවා නැවක් සෑදුවා. එසේ කළේ මිනිසුන්වත් සතුන්වත් බේරාගැනීමටයි. (උත්. 6:13, 14, 22) ඔහු තම කාලය තවත් වැදගත් කාර්යයකට යෙදෙව්වා. ඒ නිසයි පේතෘස් නෝවාව “ධර්මිෂ්ඨකම ගැන දේශනා කළ” කෙනෙක් කියා හැඳින්නුවේ. (2 පේතෘස් 2:5 කියවන්න.) විනාශය පැමිණෙන බව දැන දැනම ව්‍යාපාරයක් අරඹා ඒක දියුණු කරගෙන, අනික් අයට වඩා ඉහළට ඒමට හා සැපපහසු ජීවිතයක් ගත කිරීමට නෝවාත් ඔහුගේ පවුලේ අයත් කාලය වැය කළා නම් එය ඥානවන්තයි කියා ඔබ සිතනවාද? කොහෙත්ම නැහැ. ඔවුන් ඒ සඳහා කාලය ගත කරනවා වෙනුවට විනාශය ගැන අනික් අයට කියන්න කාලය කැප කළා.

හොඳ තීරණයක් ගත් කුමාරයෙක්

5, 6. (අ) එවකට තිබුණු හොඳම අධ්‍යාපනය මෝසෙස්ට ලබා දුන්නේ ඇයි? (ආ) ඔහු ඊජිප්තුවේ කුමාරයෙක් ලෙස ජීවත් වීම ප්‍රතික්ෂේප කළේ ඇයි?

5 දැන් අපි මෝසෙස් ගැන බලමු. ඔහු හැදී වැඩුණේ පාරාවෝගේ රජමාලිගාවේ කුමාරයෙක් ලෙසයි. ඒ නිසා “ඊජිප්තුවරුන් ලැබූ දැනුම් සම්භාරය ලබාගන්න මෝසෙස්ටත් හැකි වුණා.” (ක්‍රියා 7:22; නික්. 2:9, 10) එවැනි අධ්‍යාපනයක් ලබා දුන්නේ කවදාහරි ඔහුට රාජකීය නිලයක් දීමේ අරමුණෙන්. ධනය, බලය, කීර්තිය යන හැම දේම ලබාගන්න ඔහුට අවස්ථාව තිබුණා. නමුත් ඔහු ඒ දේවල් වැදගත් කියා සැලකුවාද?

6 මෝසෙස්ගේ ළදරු කාලයේදී ඔහුගේ දෙමාපියන් යෙහෝවා දෙවි ගැන ඔහුට ඉගැන්නුවා. ඒ නිසා දෙවි ආබ්‍රහම්ට, ඊසාක්ට හා යාකොබ්ට දුන් පොරොන්දු ගැන ඔහු දැන සිටින්න ඇති. ඒ පොරොන්දු ගැන ගැඹුරෙන් කල්පනා කළ ඔහු ඒවා කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබුවා. ඊජිප්තුවේ කුමාරයෙක් ලෙස ජීවත් වෙනවාද ඊශ්‍රායෙල් ජාතිය සමඟ වහලෙක් ලෙස ජීවත් වෙනවාද කියා තීරණය කිරීමට සිදු වුණාම ඔහු තෝරාගත්තේ ‘තාවකාලික සැප භුක්ති විඳිනවා වෙනුවට දෙවිගේ සෙනඟ සමඟ හිංසා පීඩා විඳීමටයි.’ (හෙබ්‍රෙව් 11:24-26 කියවන්න.) ඉන්පසු ඔහු තම ජීවිතය ගත කළ යුතු ආකාරය ගැන සෑමවිටම දෙවිගේ මඟ පෙන්වීම පැතුවා. (නික්. 3:2, 6-10) ඔහු එවැනි තීරණයක් ගත්තේ ඇයි? තමන්ට ඊජිප්තුවේ භුක්ති විඳින්න තිබෙන සෑම දෙයක්ම තාවකාලික බවත් දෙවි තම සෙනඟට දෙන සෑම පොරොන්දුවක්ම ඉටු කරන බවත් ඔහු තේරුම්ගත් නිසයි. තමන් ගත් තීරණය නිවැරදි බව දෙවි පීඩා දහයක් ගෙනැවිත් ඊජිප්තු ජාතියට දඬුවම් කළ විට මෝසෙස් වටහාගත්තා. ඉන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? අපි ධනසම්පත් හා කීර්තිය පසුපස හඹා යනවා වෙනුවට දෙවිටත් ඔහුගේ සේවයටත් මුල් තැන දිය යුතු බවයි.

සිදු වීමට නියමිත දේ ගැන යෙරෙමියා දැන සිටියා

7. අපි සිටින්නේ යෙරෙමියා සිටියා හා සමාන තත්වයක කියා පවසන්න පුළුවන් ඇයි?

7 යෙරෙමියා දේවසේවයට මුල් තැන දුන් තවත් කෙනෙක්. දෙවි ඔහුව තෝරාගත්තේ යෙරුසලමටත් යූදා දේශයටත් විනිශ්චය පණිවිඩයක් ප්‍රකාශ කරන්නයි. තමන් ජීවත් වන්නේ ‘අවසාන කාලයක’ බවත් එදා තිබූ සමාජය වැඩි කල් පවතින්නේ නැති බවත් යෙරෙමියා හොඳින් තේරුම්ගත්තා.—යෙරෙ. 23:19, 20.

8, 9. (අ) බාරුක්ට තමන් සිතූ ආකාරය නිවැරදි කරගැනීමට සිදු වුණේ ඇයි? (ආ) අනාගතය ගැන සැලසුම් කරන විට අපි මතක තබාගත යුත්තේ මොනවාද?

8 එවකට පැවති සමාජය විනාශයට නියම කර තිබූ බව යෙරෙමියා දැන සිටි නිසා ඒ සමාජයේ යම් තැනකට එන්න උත්සාහ කිරීම නිෂ්ඵල බව ඔහු වටහාගත්තා. නමුත් යෙරෙමියාගේ ලේකම් වූ බාරුක් එසේ සිතුවේ නැහැ. ඒ නිසයි යෙරෙමියා මාර්ගයෙන් දෙවි බාරුක්ට මෙසේ පැවසුවේ. ‘මා දේශයේ ගොඩනැඟූ දේවල් මම කඩා බිඳ දමන්නෙමි. මා සිටෙවූ දේවල් උදුරා දමන්නෙමි. නමුත් ඔබ, ඔබ ගැනම සිතමින් ඔබටම බොහෝ දේවල් ලබාගැනීමට උත්සාහ කරමින් සිටින්නෙහිය. බාරුක්, තවදුරටත් එසේ නොකරන්න. මන්ද සියලුදෙනා පිටට මම මහත් විපතක් ගෙනෙන්නෙමි. නමුත් ඔබේ ජීවිතය ආරක්ෂා කරන්නෙමි.’—යෙරෙ. 45:4, 5.

9 බාරුක් සොයමින් සිටි ‘බොහෝ දේවල්’ මොනවාද කියා අපි දන්නේ නැහැ. * නමුත් ඒ දේවල් තාවකාලික බව පැහැදිලියි. ක්‍රිස්තු පූර්ව 607දී බැබිලෝනිවරුන් යෙරුසලම හා එහි තිබූ දේවල් විනාශ කර දැමුවා. එයින් අපි ඉගෙනගන්නේ මොකක්ද? ජීවිතයේ මූලික අවශ්‍යතා ලබාගැනීමට නම් අනාගතය ගැන යම් දේවල් සැලසුම් කරන්න අවශ්‍ය බව ඇත්තයි. (හිතෝ. 6:6-11) නමුත් තාවකාලික දේවල් එක් රැස් කිරීමට අපේ මුළු කාලය හා ශ්‍රමය වැය කිරීමෙන් පලක් වෙන්නේ නැහැ. දෙවිගේ සංවිධානය මගින් අලුත් නමස්කාර මධ්‍යස්ථාන, ශාඛා කාර්යාල පහසුකම් හා වෙනත් ගොඩනැඟිලි ඉදි කිරීමේ ව්‍යාපෘති සැලසුම් කරන්න සිදු වුණත් ඒ සියලු දේවල් සැලසුම් කර තිබෙන්නේ දෙවිගේ රාජ්‍යයට මුල් තැන දීමටයි. ඒ නිසා අපි අනාගතය ගැන සැලසුම් කරන විට අපිත් ‘දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙනවාද’ කියා කල්පනා කළ යුතුයි.—මතෙ. 6:33.

ඔහු ඒවා සැලකුවේ කුණු ගොඩක් ලෙසයි

10, 11. (අ) ක්‍රිස්තියානියෙක් වීමට පෙර පාවුල් ඉහළින් සැලකුවේ මොනවාද? (ආ) ඔහු සිතූ ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ මොන හේතුව නිසාද?

10 දේවසේවයට මුල් තැන දුන් තවත් කෙනෙක් වුණේ පාවුල්. නමුත් ඔහු ක්‍රිස්තියානියෙක් වීමට පෙර ඔහුට සමාජයේ හිනි පෙත්තටම නැඟීමේ අවස්ථාව තිබුණා. එදා සිටි ප්‍රසිද්ධම ගුරුවරයෙකුගෙන් ඔහු යුදෙව් නීතිය ගැන හැදෑරුවා. පසුව උත්තම පූජකයා ඔහුව විශ්වාස කර ඔහුට බාරදූර වගකීමක් දුන්නා. ඔහුගේ වයසේ සිටි බොහෝදෙනෙකුට වඩා ඔහු යුදෙව් ආගම තුළ මහත් දියුණුවක් ලැබුවා. (ක්‍රියා 9:1, 2; 22:3; 26:10; ගලා. 1:13, 14) නමුත් යෙහෝවා දෙවි තමා තෝරාගත් යුදෙව් ජාතිය ප්‍රතික්ෂේප කළ බව පාවුල් දැනගත් විට ඔහු සිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තා.

11 ඔහු එදා පැවති යුදෙව් සමාජයේ කොතරම් ඉහළ තැනකට ගියත් එම සමාජයත් ඔහුගේ තනතුරුත් දෙවි ඉදිරියේ නොවටිනා තාවකාලික ඒවා බව තේරුම්ගත්තා. (මතෙ. 24:2) ඒ වගේම දෙවිගේ අරමුණ වටහාගත් පසු දේවසේවයේ යෙදීමේ වරප්‍රසාදයත් ඔහු බොහෝ සේ අගය කළා. කලින් ඉහළින් සැලකූ දේවල් පසුව ඔහු සැලකුවේ “කුණු ගොඩක්” ලෙසයි. පාවුල් යුදෙව් ආගමේ තනතුරු අත්හැර දේවසේවයේ යෙදීමට ඔහුගේ කාලයත් ශ්‍රමයත් වැය කළා.—ෆිලිප්පි 3:4-8, 15 කියවන්න; ක්‍රියා 9:15.

මුල් තැන දිය යුතු දේවල් ගැන සිතන්න

12. බව්තීස්ම වූ පසු යේසුස් මූලික අවධානය දුන්නේ මොකටද?

12 නෝවා, මෝසෙස්, යෙරෙමියා, පාවුල් හා තවත් බොහෝදෙනෙක් ඔවුන්ගේ කාලය හා ශ්‍රමය දේවසේවය වෙනුවෙන් කැප කළා. එවැනි අය අපිට හොඳ ආදර්ශයක්. නමුත් අපිට හොඳම ආදර්ශය සැපයුවේ යේසුස්. (1 පේතෘ. 2:21) ඔහු බව්තීස්ම වුණාට පසු ඔහුගේ ජීවිත කාලයම කැප කළේ දේශනා සේවය හා දෙවිට ගෞරවය ගෙනෙන දේවල් කිරීමටයි. දෙවිගේ සේවකයෙක් හා යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න උත්සාහ කරන සෑම කෙනෙක්ම දේවසේවයට මුල් තැන දිය යුතුයි. ඔබේ ජීවිතයේ ඔබ මුල් තැන දෙන්නේ දේවසේවයටද? දේවසේවයට මුල් තැන දෙන ගමන් අනිකුත් වගකීම් සමබර කරගන්න පුළුවන් කොහොමද?—ගීතාවලිය 71:15; 145:2 කියවන්න.

13, 14. (අ) සෑම බව්තීස්ම ලත් ප්‍රචාරකයෙකුටම දිරිගන්වන්නේ මොකක් කරන්නද? (ආ) දෙවිගේ සේවකයෙකුට සතුටු වෙන්න තිබෙන අවස්ථාව මොකක්ද?

13 අපිට පුරෝගාමී සේවය කරන්න පුළුවන්ද කියා යාච්ඤාපූර්වකව සිතා බලන්න දෙවිගේ සංවිධානය නිතරම අපිට උනන්දු කරනවා. සෑම සාක්ෂිකරුවෙකුටම මාසයකට පැය 70ක් දේශනා සේවයේ ගත කරන ස්ථාවර පුරෝගාමියෙක් වීමට බැරි බව ඇත්තයි. ඒ ගැන ඔවුන් දුක් වෙන්න අවශ්‍ය නැහැ. (1 තිමෝ. 5:8) නමුත් ඔබ ගැන ටිකක් සිතා බලන්න. ඔබට පුරෝගාමී සේවය කරන්න බැරි හේතුවක් තිබෙනවාද?

14 මේ අවුරුද්දේ මාර්තු මාසයේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් ලැබූ ප්‍රීතිය ගැන ටිකක් සිතන්න. යේසුස්ගේ මරණය සිහි කිරීමට මාසයකට කලින් උපකාරික පුරෝගාමීන්ට අවස්ථාවක් ලැබුණා පැය 30ක් හෝ 50ක් සේවය සඳහා ගත කරන්න. (ගීතා. 110:3) මේ ප්‍රස්තාව නිසා මිලියන ගණනක් සහෝදර සහෝදරියන් උපකාරික පුරෝගාමී සේවයේ යෙදුණා. ලොව පුරා තිබෙන සෑම සභාවකම මේ ආකාරයට පුරෝගාමී සේවය කළ අය සිටියා. ඔබත් ඒ ප්‍රීතිය අද්දැක්කාද? නැවත ඒ ප්‍රීතිය අද්දකින්න සැලසුම් කරන්න ඔබට පුළුවන්ද? කෙනෙක් පුරෝගාමී සේවයේ යෙදෙන විට සෑම දවසකම “යෙහෝවා දෙවියෙනි, අද දවසේදී මම මගේ උපරිමයෙන් ඔබට සේවය කළා” කියා දෙවිට පවසන්න අවස්ථාව ලැබෙනවා.

15. අධ්‍යාපනය ගැන යෞවනයෙකුට තිබිය යුතු ආකල්පය මොකක්ද?

15 ඔබ පාසැල් ජීවිතය අවසන් කළ යෞවනයෙක් හෝ යෞවනියක් නම් බොහෝවිට ඔබට හොඳ සෞඛ්‍ය තත්වයක් තිබෙන අතර වගකීම්ද අඩුයි. එසේනම් ස්ථාවර පුරෝගාමී සේවයේ යෙදෙන්න ඔබට පුළුවන්ද? විශ්ව විද්‍යාලයට යන්න කියා හෝ ඒ හා සමාන උසස් අධ්‍යාපනයක් ලබාගෙන හොඳ රැකියාවක් කර ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න කියා හෝ ගුරුවරුන් හා වෙනත් අය දිරිගැන්නුවත් ඒ සියල්ල තාවකාලික බව මතක තබාගන්න. නමුත් ඔබ දෙවිට පූර්ණකාලීනව සේවය කරන්න තෝරගන්නවා නම් එය ඔබට ආරක්ෂාවක් වන අතර ඔබට ඉන් සදාකාලික සතුටක්ද ලැබෙයි. එවැනි තේරීමක් කිරීමෙන් ඔබ අනුකරණය කරන්නේ යේසුස්ගේ ආදර්ශයයි. ඉන් ඔප්පු වෙන්නේ ඔබ දෙවිට කැප වූ අවස්ථාවේදී දුන් පොරොන්දුවට අනුව ජීවත් වෙන බවයි.—මතෙ. 6:19-21; 1 තිමෝ. 6:9-12.

16, 17. දේවසේවය ගැන අපි සිතා බලන්න ඕනෙ මොන වගේ ප්‍රශ්නද?

16 තම පවුලේ මූලික අවශ්‍යතා සපුරාගැනීමට අද දින බොහෝ සාක්ෂිකරුවන්ට සෑහෙන කාලයක් වැය කරන්න සිදු වී තිබෙනවා. නමුත් සමහර සාක්ෂිකරුවන් රැකියාව සඳහා ඕනෑවට වඩා කාලය වැය කරනවා. (1 තිමෝ. 6:8) ව්‍යාපාරිකයන් අපිව පොලඹවන්නේ වෙළඳපොළට එන සෑම අලුත් භාණ්ඩයක්ම මිල දී ගන්නයි. ඒ දේවල් නැතුවම බැරි දේවල් කියලා පෙන්වන්න ඔවුන් උත්සාහ කරනවා. නමුත් අපේ ජීවිතයේ මුල් තැන දිය යුතු දේ තීරණය කිරීමට අපි සාතන්ටවත් මේ ලෝකයටවත් ඉඩ දෙන්නේ නැහැ. (1 යොහ. 2:15-17) විශ්‍රාම ගෙන සිටින සාක්ෂිකරුවන්ට කරන්න පුළුවන් මොනවාද? දෙවිට මුල් තැන දෙමින් පුරෝගාමී සේවයේ යෙදීම ඔබේ කාලය පාවිච්චි කරන්න පුළුවන් හොඳම විදිහයි.

17 ඔබ යෙහෝවා දෙවිට කැප වූ සාක්ෂිකරුවෙකු නම් මෙසේ සිතා බලන්න. මගේ ජීවිතයේ වැදගත්ම දේ මොකක්ද? මම දේවසේවයට මුල් තැන දෙනවාද? මගේ ආශාවන් පසුපස යන්නැතුව යේසුස් වගේ කාලයත් ශ්‍රමයත් දේවසේවයට යොදවන්න මම කැමතිද? දෙවිගේ නමස්කාරයට සම්බන්ධ ඕනෑම කටයුත්තක හවුල් වෙන්න පුළුවන් විදිහට මගේ කාලසටහන වෙනස් කරගන්න මට පුළුවන්ද? දැනට මට දේවසේවය සඳහා වැඩි කාලයක් යොදවන්න බැරි වුණත් පුළුවන් උපරිමය කිරීමේ ආශාව මට තියෙනවාද?

‘ආශාව හා පෙලඹීම’

18, 19. අපිට යාච්ඤා කරන්න පුළුවන් මොකක් ගැනද? එම යාච්ඤාව ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද?

18 සමහර අයට පුළුවන්කම තිබුණත් පුරෝගාමී සේවය කරන්න ආශාවක් නැහැ. තවත් අය පුළුවන්කම තිබුණත් තමන් දක්ෂ නැහැ කියා සිතනවා. (නික්. 4:10; යෙරෙ. 1:6) ඔබත් සිටින්නේ එවැනි තත්වයක නම් ඔබේ සේවය වැඩි කිරීමට ‘ඔබ තුළ ආශාවක් හා පෙලඹීමක්’ ඇති කරන්න කියාත් දක්ෂ ලෙස සේවය කිරීමට උපකාර කරන්න කියාත් දෙවිට යාච්ඤා කරන්න.—ෆිලි. 2:13; 2 පේතෘ. 3:9, 11.

19 නෝවා, මෝසෙස්, යෙරෙමියා, පාවුල් හා යේසුස් දෙවිට කැප වී දේවසේවයට මුල් තැන දුන් අයයි. දෙවිගේ විනිශ්චය පණිවිඩය පැවසීමට ඔවුන් තම කාලය හා ශ්‍රමය වැය කළා. තම අවධානය වෙනතකට යොමු කරන්න කිසිම දෙයකට ඔවුන් ඉඩ දුන්නේ නැහැ. අද පවතින දුෂ්ට සමාජයේ අවසානය අත ළඟයි. ඒ නිසා දෙවිට කැප වූ සේවකයන් වන අපි ඒ අයගේ ආදර්ශ අනුගමනය කිරීමට පූර්ණ උත්සාහයක් දැරිය යුතුයි. (මතෙ. 24:42; 2 තිමෝ. 2:15) අපි එහෙම කරනවා නම් යෙහෝවා දෙවි සතුටු වන අතර අපිට ගොඩක් ආශීර්වාද කරනවා.—මලාකි 3:10 කියවන්න.

[පාදසටහන]

^ 9 ඡේ. යෙරෙමියා තුළින් දෙවි අපිට කතා කරයි යන පොතේ 138-141වන පිටු බලන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

මිනිස්සු නෝවා දුන් අනතුරු ඇඟවීම් ගණන් ගත්තේ නැහැ

[24වන පිටුවේ පින්තූරය]

ස්ථාවර පුරෝගාමී සේවය කරන්න ඔබට පුළුවන්ද?