Skip to content

පටුනට යන්න

දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියවුණු බයිබලය

දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියවුණු බයිබලය

දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියවුණු බයිබලය

“අනාවැකි පළ කරනු ලැබුවේ මිනිසුන්ගේ කැමැත්තට අනුව නොවේ. මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය.”—2 පේතෘ. 1:21.

මේ ගැන සිතන්න

ලියන්න ඕනෙ මොනවාද කියා දෙවි තම බලයෙන් බයිබල් ලේඛකයන්ට දැන්නුවේ කොහොමද?

බයිබලය දෙවිගෙන් ලැබුණු බවට තිබෙන සාක්ෂි මොනවාද?

බයිබලය කෙරෙහි ඇති ඔබේ අගය වැඩි කරගන්න ඔබට දිනපතා කරන්න පුළුවන් මොනවාද?

1. බයිබලය අපිට අවශ්‍ය ඇයි?

මිනිස්වර්ගයා බිහි වුණේ කොහොමද? ජීවිතයට අරමුණක් තියෙනවාද? අනාගතයේදී මොකද වෙන්නේ? මේ තරම් දුක් වේදනා තියෙන්නේ ඇයි? මැරුණාම අපිට මොකද වෙන්නේ? ලොව පුරා සිටින හැම කෙනෙක්ම වගේ මේ ප්‍රශ්නවලට උත්තර හොයනවා. මෙවැනි වැදගත් ප්‍රශ්නවලට උත්තර තිබෙන්නේ බයිබලයේ විතරයි. අපේම අද්දැකීමෙන් කවදාවත් ඒවාට නිවැරදි උත්තර හොයාගන්න බැහැ. බයිබලය නොතිබුණා නම් ගීතිකාකරු “යෙහෝවා දෙවිගේ නීතිය” ගැන පැවසූ දෙය අපිට කවදාවත් වටහාගන්න බැරි වෙනවා.—ගීතාවලිය 19:7 කියවන්න.

2. බයිබලය කෙරෙහි අපේ අගය වැඩි කරගන්න අපිට පුළුවන් කොහොමද?

2 බයිබලයේ ඇති ඉගැන්වීම්වලට කලින් ඇල්මක් දැක්වූ සමහර අය දැන් ඒ ඇල්ම නැති කරගෙන තිබීම කනගාටුවට කරුණක්. (එළි. 2:4) එවැනි අය තවදුරටත් දෙවිගේ කැමැත්ත කරන්නේ නැහැ. (යෙසා. 30:21) නමුත් අපි කැමති බයිබලය අගය කරමින් එහි ඇති ඉගැන්වීම්වලට ඇලී සිටින්නයි. ඇත්තටම බයිබලය අපිට අපේ නිර්මාතෘගෙන් ලැබී තිබෙන වටිනා තෑග්ගක්. (යාකො. 1:17) බයිබලය ලියූ අයට එය ලිවීමට මඟ පෙන්වීම් ලැබුණේ කොහොමද කියාත් බයිබලය විශ්වාස කිරීමට තිබෙන හේතු මොනවාද කියාත් අධ්‍යයනය කළොත් “දෙවිගේ වචනය” කෙරෙහි අපේ අගය වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම බයිබලය කියවන්නත් එහි ඇති උපදෙස් අදාළ කරගන්නත් අපි පෙලඹෙනවා.—හෙබ්‍රෙ. 4:12.

දෙවිගේ බලය ක්‍රියාත්මක වුණා

3. බයිබල් ලේඛකයන් තුළ ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වුණා’ කියා පැවසීමෙන් අදහස් කරන්නේ මොකක්ද?

3 බයිබලය ලියන්න පටන්ගත්තේ ක්‍රිස්තු පූර්ව 1513දියි. එය ලියා අවසන් කිරීමට අවුරුදු 1610ක් ගත වුණා. එය ලියා අවසන් කළේ ක්‍රිස්තු වර්ෂ 98දියි. එය ලිවීමට පුරුෂයන් 40දෙනෙක් පමණ දායක වුණා. ඔවුන්ට එය ලියන්න පුළුවන් වුණේ ‘දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වූ’ නිසයි. (2 පේතෘස් 1:20, 21 කියවන්න.) ඉන් අදහස් කරන්නේ ලිවිය යුතු දේවල් ගැන යෙහෝවා දෙවි තම බලය මාර්ගයෙන් ඔවුන්ට මඟ පෙන්වීමක් ලබා දුන් බවයි. ඒ නිසා ඔවුන් වාර්තා කළේ තමන්ගේ පෞද්ගලික අදහස් නොව දෙවිගේ අදහස්. සමහර අවස්ථාවලදී ඔවුන් අනාගතය ගැන ලියූ දේවල් ඔවුන්ට පවා වටහාගන්න බැරි වුණා. (දානි. 12:8, 9) ඒ අනුව ‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළින්’ මිස එක් එක් කෙනාගේ හිතුමතේට නොවෙයි කියා කිසිම සැකයක් නැතුව පවසන්න පුළුවන්.—2 තිමෝ. 3:16.

4-6. ලියන්න ඕනෙ මොනවාද කියා දෙවි ලේඛකයන්ට දැන්නුවේ කොහොමද? උදාහරණයකින් එය විස්තර කරන්න.

4 බයිබල් ලේඛකයන්ට දෙවි මඟ පෙන්නුවේ කොහොමද කියා තේරුම්ගන්න අපි මේ උදාහරණය සලකා බලමු. ආයතනයක ප්‍රධානියෙකුට ලිපියක් ලියන්න අවශ්‍ය වෙනවා කියා සිතන්න. ඔහු එය කරන්නේ කොහොමද? ඔහුට එය යම් විශේෂ වචන යොදා නිශ්චිත ක්‍රමයකට ලියන්න අවශ්‍ය නම් සමහරවිට ඔහුම එම ලිපිය ලියයි. එසේත් නැත්නම් කියන විදිහටම ලියන්න කියා ඔහු තම ලේකම්වරියට පවසයි. ඉන්පසු ඔහු ඒ ලිපිය අත්සන් කරයි. තවත් අවස්ථාවකදී ඔහු මූලික අදහස් විතරක් ලේකම්වරියට පවසා ඒ අදහසින් බැහැර නොවී ඇය කැමති වචන යොදා කැමති ශෛලියකින් එය ලියන්න ඇයට ඉඩ දෙයි. ඔහු මෙම ලිපිය අත්සන් කිරීමට පෙර එය කියවා බලා අවශ්‍ය වෙනස්කම් කරයි. අවසානයේදී ලිපිය ලබන කෙනා එම ලිපිය සලකන්නේ ආයතනයේ ප්‍රධානියා එවූ ලිපියක් ලෙසයි.

5 ඒ හා සමානව බයිබලයේ සමහර කොටස් ලිව්වේ දෙවි විසින්මයි. (නික්. 31:18) තවත් අවස්ථාවලදී දෙවි පැවසූ දෙය ඒ විදිහටම ලියන්න කියා දෙවි අණ කළා. උදාහරණයකට දෙවි මෝසෙස්ට මෙසේ පැවසුවා. “මා ඔබට පැවසූ දේවල් ලියාගන්න. මම ඊශ්‍රායෙල් සෙනඟ හා ඔබ සමඟ ගිවිසුමක් ඇති කරගන්නේ ඒ වචනවලට එකඟවයි.” (නික්. 34:27) ඒ වගේම දෙවි යෙරෙමියාට පැවසුවේ “මා ඔබට පවසන සෑම දෙයක්ම ලියවිල්ලක සටහන් කරගන්න” කියායි.—යෙරෙ. 30:2.

6 නමුත් බොහෝ අවස්ථාවලදී යෙහෝවා දෙවි ලිවීමට අවශ්‍ය අදහස් ඔහුගේ බලය මගින් ලේඛකයන්ට දැන්නුවා. එවිට තමන්ට කැමති වචන හා භාෂා ශෛලිය යොදාගෙන ඒ අදහස් වාර්තා කරන්න ඔවුන්ට පුළුවන් වුණා. සලමොන් ‘ප්‍රිය වදන් සෙවීමටත් සත්‍ය වචන නිසි ලෙස ලියා තැබීමටත් උත්සාහ කළා’ කියාත් ලූක් ‘මුල සිටම සෑම තොරතුරක්ම නිවැරදි බව සනාථ කරගෙන එම තොරතුරු තර්කානුකූලව පෙළගැස්වූ’ බවත් බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (දේශ. 12:10; ලූක් 1:3) නමුත් වැරදි මත බයිබලයට ඇතුල් කිරීමට දෙවි කිසිම ලේඛකයෙකුට ඉඩ දුන්නේ නැහැ.

7. බයිබලය ලිවීමට මිනිසුන්ව යොදාගැනීම ප්‍රඥාවන්ත දෙයක් වුණේ ඇයි?

7 බයිබලය ලිවීමට දෙවි මිනිසුන්ව යොදාගැනීමෙන් ඔහුගේ ඉමහත් ප්‍රඥාව අපිට දකින්න පුළුවන්. බයිබලය ලියන්න දේවදූතයන්ව පාවිච්චි කළා නම් දුක, භය, අධෛර්යය වීම වැනි මිනිසා සතු හැඟීම් විස්තර කරන්න ඔවුන්ට බැරි වෙනවා. නමුත් මිනිසුන්ව යොදාගැනීමෙන් ඒ හැඟීම් සියල්ල ඒ විදිහටම විස්තර කරන්න පුළුවන් වුණා. ඒ නිසයි බයිබලය කියවද්දී ඒ තොරතුරු අපේ හදවතට තදින් කාවදින්නේ.

බයිබලය දෙවිගෙන් ලැබුණු බවට සාක්ෂි

8. අන් සියලු ආගමික ග්‍රන්ථවලට වඩා බයිබලය වෙනස් කියා පවසන්න පුළුවන් ඇයි?

8 බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් බවට විශ්වාස කිරීමට හේතු රැසක් තිබෙනවා. එක් හේතුවක් නම් යෙහෝවා දෙවි ගැන සම්පූර්ණ අවබෝධයක් ලබාගන්න හැකිකම තිබෙන්නේ බයිබලයෙන් පමණක් වීමයි. උදාහරණයකට හින්දු ආගමේ රාමායණය, මහා භාරත සහ භගවත් ගීත යන ග්‍රන්ථවල ආගමික වත්පිළිවෙත්, දර්ශනවාදී අදහස්, ප්‍රබන්ධ කථා හා සදාචාර නීති ඇතුළත් කර තිබෙනවා. ත්‍රිපිටකයෙත් භික්ෂූන්ට අදාළ නීති, බුදුන්ගේ ඉගැන්වීම් හා බෞද්ධ දර්ශනය ගැන තොරතුරු තිබෙනවා. නමුත් තමන් දෙවි කෙනෙක් කියා බුදුන් පැවසුවේ නැහැ. ඔහු දෙවියන් ගැන යම් සඳහනක් කළා නම් ඒ ඉතාම ස්වල්ප වශයෙනුයි. ඒ වගේම ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ පොත වන කුරානයේ අනාගතය ගැන දන්නා, අනාගතය පාලනය කරන දෙවි කෙනෙක් ගැන සඳහන් වුණත් දෙවිගේ නම සඳහන් කර නැහැ. නමුත් බයිබලයේ දෙවිගේ නම දහස් වාර ගණනක් සඳහන් වෙනවා.

9, 10. දෙවි ගැන අපිට බයිබලයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 විවිධ ආගමික ග්‍රන්ථවල දෙවියන් ගැන සඳහන් කරන්නේ ඉතා කලාතුරකින්. එසේ කළත් දෙවිවරුන් ගැන කිසි විස්තරයක් දෙන්නේ නැහැ. අනික් අතට බයිබලයේ දෙවි කෙනෙක් ගැන පවසනවා විතරක් නෙවෙයි ඔහු මොන වගේ කෙනෙක්ද කියා හඳුනාගැනීමට ඕනෑ තරම් තොරතුරුත් දී තිබෙනවා. ඔහු ප්‍රේමණීය, යුක්තිගරුක, ප්‍රඥාවෙන් හා බලයෙන් පූර්ණ දෙවි කෙනෙක් කියා බයිබලයේ පවසනවා. (යොහන් 3:16; 1 යොහන් 4:19 කියවන්න.) ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බවත් කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නා’ බවත් එහි සඳහන් වෙනවා. (ක්‍රියා 10:34, 35) ඒ බව බයිබලය විවිධ භාෂාවලට පරිවර්තනය වී තිබෙන ආකාරයෙන් පැහැදිලි වෙනවා. භාෂා විශාරදයන් පවසන්නේ දැනට ලෝකයේ භාෂා 6,700ක් විතර තිබෙන බවයි. නමුත් ලෝක ජනගහනයෙන් සියයට 90ක්ම භාෂා 100ක් පමණ කතා කරනවා. කොහොමවුණත් බයිබලය සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් මේ වන විට භාෂා 2,400කට වඩා වැඩියෙන් පරිවර්තනය කර තිබෙනවා. ඉන් අදහස් වෙන්නේ ලෝකයේ සිටින සෑම කෙනෙකුටම වගේ තමාගේම භාෂාවෙන් බයිබලය කියවන්න අවස්ථාව තිබෙන බවයි.

10 යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. “මගේ පියාණන් මේ දක්වා වැඩ කරමින් සිටිනවා. මමත් දිගටම වැඩ කරනවා.” (යොහ. 5:17) “පටන්ගැන්මක්වත් අවසානයක්වත්” නැති දෙවි මේ වන විට සිතා ගැනීමටවත් බැරි තරම් පුදුමාකාර දේවල් කර තිබෙනවා. (ගීතා. 90:2) ඔහු අතීතයේදී කළ, වර්තමානයේදී කරන හා අනාගතයේදී කිරීමට යන දේවල් මොනවාද කියා අපිට පවසන්නේ බයිබලයේ පමණයි. ඒ වගේම ඔහු කැමති හා අකමැති දේවල් මොනවාද කියාත් ඔහුට ළං වීම සඳහා අපි කළ යුතු දේවල් ගැනත් සඳහන් වෙන්නේ බයිබලයේ විතරයි. (යාකො. 4:8) අපේම ආශාවන්ට මුල් තැන දීම නිසා දෙවිගෙන් ඈත් නොවීමට අපි අධිෂ්ඨාන කරගනිමු.

11. බයිබලයේ තිබෙන්නේ මොන වගේ නැණවත් උපදෙස්ද?

11 බයිබලයේ තිබෙන කිසිවකට සම කරන්න බැරි ප්‍රඥාවන්ත උපදෙස්වලින් පැහැදිලි වෙන්නේ එය දෙවිගෙන් ලැබී ඇති පොතක් බවයි. වරක් යෙසායා සෙනඟගෙන් මෙසේ ඇසුවා. “යෙහෝවා දෙවිගේ බලය මැනිය හැක්කේ කාටද? දෙවිට උපදෙස් දෙන්නවත් ඔහුට යමක් උගන්වන්නවත් කිසිවෙකුට හැකිද?” (යෙසා. 40:13) පසු කාලයක පාවුල්ද ඒ හා සමාන ප්‍රශ්නයක් ඇසුවා. “යෙහෝවා දෙවිගේ මනස තේරුම්ගෙන ඔහුට උගන්වන්න තරම් හැකියාවක් ඇති කෙනෙක් සිටියිද?” (1 කොරි. 2:16) යෙහෝවා දෙවි තරම් ප්‍රඥාවන්ත කෙනෙක් කොහේවත් නැහැ. සැමවිටම ප්‍රායෝගික උපදෙස් දෙන්න තරම් ප්‍රඥාවක් මිනිසුන්ට නැහැ. (යෙරෙ. 10:23) ඔවුන් දෙන උපදෙස් සාර්ථක නොවන විට ඔවුන් ඒවා වෙනස් කරනවා. (ගීතා. 94:11) නමුත් වෙහෙසී වැඩ කිරීම, විවාහය, දරුවන් ඇති දැඩි කිරීම, විනෝද වීම, අවංක වීම, සාරධර්ම වගේම මිතුරන් තෝරාගැනීම වැනි දේවල් ගැන බයිබලයේ තිබෙන උපදෙස් කවදාවත් වරදින්නේ නැහැ. ඒවා පිළිපදිනවා නම් අපේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්.

12. බයිබලය විනාශ කිරීමට මිනිසුන් දැරුවේ මොන වගේ වෑයමක්ද?

12 අතීතයේ සිදු වූ සමහර දේවලිනුත් අපිට පෙනෙන්නේ බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් බවයි. ඉතිහාසය පුරාම විවිධ අය බයිබලය විනාශ කරන්න උත්සාහ කර තිබුණත් ඔවුන් සාර්ථක වී නැහැ. සිරියාවේ රජු වූ හතරවෙනි ඇන්ටියෝකස් ක්‍රි.පූ. 168දී ශුද්ධ ලියවිලි පිටපත් පුලුස්සා දැමීමට උත්සාහ කළා. ක්‍රිස්තු වර්ෂ 303දී රෝම අධිරාජ්‍යයා වූ ඩයොක්ලීෂන්ද ක්‍රිස්තියානීන් රැස් වූ ස්ථාන විනාශ කර ශුද්ධ ලියවිලි ගිනි තබා විනාශ කිරීමට නියෝග කළා. එම පීඩාව අවුරුදු 10ක පමණ කාලයක් පුරා පැවතුණා. ඒ වගේම බයිබලය වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීම වැළැක්වීම සඳහා පාප්වරු අවුරුදු 100 ගණනක් පුරා කළ හැකි සෑම දෙයක්ම කළා. එසේ කළේ සාමාන්‍ය ජනයා බයිබලයේ ඇති ඉගැන්වීම් ගැන දැනගන්නවාට ඔවුන් අකමැති වූ නිසයි. සාතන් හා ඔහුට සහයෝගය දුන් මිනිස්සු බයිබලය විනාශ කිරීමට වෑයම් කළත් අදටත් අපේ අතේ බයිබලය තිබෙනවා. ඊට හේතුව තමා මිනිසාට දුන් තෑග්ග විනාශ කිරීමට දෙවි කිසිවෙකුට ඉඩ නොදීමයි.

තවත් සාක්ෂි

13. බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් බව පැවසීමට තිබෙන වෙනත් සාක්ෂි මොනවාද?

13 බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් බව පැවසීමට තිබෙන වෙනත් සාක්ෂි සලකා බලන්න. එහි ඇති අදහස් එකඟතාවකින් යුක්තයි. බයිබලයේ ඇති තොරතුරු විද්‍යාත්මකව නිවැරදියි. ඉතිහාසය ගැන සඳහන් තොරතුරුත් නිවැරදියි. එහි ඇති අනාවැකි ඉටු වී තිබෙනවා. එහි ලේඛකයන් තමන්ගේ වැරදි සඟවන්න උත්සාහ කළේ නැහැ. ජීවිත හරි මඟට ගෙන එන්න හැකියාවක් බයිබලයට තිබෙනවා. ඒ වගේම මුල් ඡේදයේ තිබූ හැම ප්‍රශ්නයකටම උත්තර බයිබලයේ සඳහන් වෙනවා.

14-16. (අ) විවිධ ආගමික පසුබිම් ඇති අයට බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් බව පිළිගන්න හේතු වුණේ මොනවාද? (ආ) බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් කියා ඔප්පු කිරීමට ඔබ ඉදිරිපත් කරන්න කැමති මොන වගේ සාක්ෂිද?

14 මැද පෙරදිග රටක හැදී වැඩුණු අන්වර් * මුස්ලිම් ජාතිකයෙක්. ඔහු ටික කාලයකට උතුරු ඇමෙරිකාවේ ජීවත් වුණා. දිනක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔහුගේ නිවසට පැමිණි විට ඔහු ඔවුන්ට මෙසේ කිව්වා. ‘ක්‍රිස්තියානි ආගම්වල අය ගොඩක් අපරාධ කරලා තියෙන හින්දා මම ඔය ආගම්වලට කැමති නැහැ.’ හැබැයි බයිබලය ගැන දැනගන්න කැමැත්තක් තිබුණු හින්දා බයිබල් පාඩමක් කරන්න ඔහු කැමති වුණා. ටික දවසකට පස්සේ ඔහු නැවත ඔහුගේ රටට ගියා. ඔහුට එහෙදී සාක්ෂිකරුවන්ව සොයාගන්න බැරි වුණා. අවුරුදු ගණනාවකට පස්සේ ඔහු යුරෝපයේ රටකට පදිංචියට ගියා. එහෙදී ඔහුට නැවත බයිබල් පාඩම පටන්ගන්න පුළුවන් වුණා. ඒ ගැන ඔහු පැවසුවේ මෙසේයි. ‘බයිබලයේ ඇති අනාවැකි ඉටු වෙලා තියෙන විදිහ, ඒකෙ තියෙන අදහස්වල කිසිම පරස්පර විරෝධිකමක් නැති එක, සාක්ෂිකාරයන් අතර තියෙන ප්‍රේමය වගේ දේවල් දැක්කම මට තේරුණා බයිබලය ඇත්තටම දෙවිගෙන් ලැබුණු පොතක් කියලා.’ අන්වර් 1998දී බව්තීස්ම වුණා.

15 ආශාට වයස 16යි. ඇගේ පවුලේ අය හින්දු භක්තිකයන්. ඇගේ අද්දැකීම මෙයයි. ‘මම සාමාන්‍යයෙන් යාච්ඤා කළේ කෝවිලට ගියාම නැත්නම් ප්‍රශ්නයක් තිබුණොත් විතරයි. කිසි ප්‍රශ්නයක් නැති වෙලාවට දෙවියන්ව මතක් වුණේවත් නැහැ. ඒත් දවසක් සාක්ෂිකරුවන් අපේ ගෙදරට ආවා. එදා ඉඳලා මගේ ජීවිතේ සම්පූර්ණෙන්ම වෙනස් වෙන්න පටන්ගත්තා. මගේ හිතේ තිබුණු හැම ප්‍රශ්නෙකටම බයිබලයෙන් උත්තර හම්බුණා. යාච්ඤා කරන්න දැන් මට කෝවිලට හරි පිළිමයක් ගාවට හරි යන්න ඕනෙ නෑ. යෙහෝවා දෙවිව පේන්නේ නැති වුණත් ඔහුට ළං වෙන්න බයිබලය මට උපකාර කළා.’ මේ හේතු නිසා බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් කියා ඇය විශ්වාස කරනවා.

16 පෝලා කලින් කතෝලික ආගමේ කෙනෙක්. තරුණ කාලයේදී ඇය සිතුවේ දෙවියන් ඇය ගැන බලන්නේ නැහැ කියායි. දෙවි කෙනෙක් ඉන්නවාද කියාත් ඇය සැක කළා. ඒ කාලයේදී හුඟක් තරුණ තරුණියෝ ගත කළේ හිපි ජීවිතයක්. තමන්ට ඕන ඕන විදිහට කොණ්ඩෙ වවාගෙන ඉන්න එකත් මත්ද්‍රව්‍ය ගන්න එකත් ඔවුන්ට සාමාන්‍ය දෙයක් වී තිබුණා. දවසක් කාලෙකින් දැක්කේ නැති යාළුවෙක්ව ඇයට හමු වුණා. ඇය මෙසේ පැවසුවා. ‘යාළුවා ගොඩක් වෙනස් වෙලයි හිටියේ. කොණ්ඩෙ කොටට කපලා, රැවුළත් කපලා පිළිවෙළකට ඇඳගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි එයා සතුටෙනුත් හිටියා. මොකක්ද වෙනසට හේතුව කියලා ඇහුවම එයා කිව්වේ මං දැන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෙක් එක්ක බයිබලේ පාඩම් කරනවා කියලයි. එයා මටත් බයිබලේ තියෙන පණිවිඩේ කිව්වා.’ කෙනෙකුගේ ජීවිතයේ මෙච්චර වෙනසක් කරන්න බයිබලයට පුළුවන් වුණා නම් එය අනිවාර්යයෙන්ම දෙවිගෙන් ලැබුණු දෙයක් කියා ඇය පිළිගත්තා.

“ඔබේ වදන් මාගේ පාදවලට පහනක්”

17. දිනපතා බයිබලය කියවීමෙන් හා ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

17 බයිබලය දෙවිගෙන් ලැබී තිබෙන වටිනා තෑග්ගක්. එය දිනපතා කියවනවා නම් දෙවි කෙරෙහිත් බයිබලය කෙරෙහිත් ඔබට තිබෙන අගය වැඩි වෙයි. (ගීතා. 1:1, 2) එය කියවීමට පෙර කියවන්න යන දේ හොඳින් තේරුම්ගැනීමට යාච්ඤා කර දෙවිගේ උපකාරය ඉල්ලන්න. (ලූක් 11:13) බයිබලයේ තිබෙන්නේ දෙවිගේ අදහස්. ඒවා ගැන ගැඹුරින් කල්පනා කරන විට දෙවි සිතන විදිහට සිතන්න ඔබත් පුරුදු වෙනවා.

18. බයිබලය ගැන දිගටම ඉගෙනගන්න අපි කැමති විය යුත්තේ ඇයි?

18 බයිබලය ගැන වැඩි වැඩියෙන් ඉගෙනගන්න තරමටම ඒවා අදාළ කරගන්නත් උත්සාහ කරන්න. (ගීතාවලිය 119:105 කියවන්න.) බයිබලය කියවීම කැඩපතකින් මුහුණ බැලීමට සමාන කර තිබෙනවා. බයිබලය කියවද්දී ඔබේ ජීවිතයේ යම් වෙනස්කම් කරන්න අවශ්‍යයි කියා ඔබට දැනෙනවා නම් කල් නොදමා ඒ වෙනස්කම් කරගන්න. (යාකො. 1:23-25) බයිබලය කඩුවකටත් සමාන කර තිබෙනවා. එය දක්ෂ ලෙස භාවිත කර බොරු ඉගැන්වීම්වලින් මිදෙන්න මිනිසුන්ට උපකාර කරන්න අපිට පුළුවන්. (එෆී. 6:17) බයිබලය ලිවීමට ඒ අනාගතවක්තෲන් හා ලේඛකයන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීම ගැන අපි කොයි තරම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද!

[පාදසටහන්වල]

^ 14 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දිනපතා බයිබලය කියවීමෙන් දෙවි කෙරෙහි ඔබට ඇති ආදරය වැඩි වෙයි

[26වන පිටුවේ පින්තූරය]

ලියුමක් ලැබෙන්නේ එය අත්සන් කළ පුද්ගලයාගෙන්