Skip to content

පටුනට යන්න

ඔබ නිසි මඟ පෙන්වීම් පතන නැණවත් කෙනෙක්ද?

ඔබ නිසි මඟ පෙන්වීම් පතන නැණවත් කෙනෙක්ද?

ඔබ නිසි මඟ පෙන්වීම් පතන නැණවත් කෙනෙක්ද?

අපේ ජීවන ගමනත් හරියට මුහුදු ගමනක් වගෙයි. ගමන සාර්ථක කරගන්න නම් නිසි මඟ පෙන්වීම් පැතිය යුතුයි. නමුත් බොහෝ අය තමන්ගේ නුවණෙහි රඳා සිටීමෙන් ගමන අසාර්ථක කරගන්නවා. (ගීතා. 107:23, 27) එහෙමනම් අපේ ජීවන ගමන සාර්ථක කරගන්න අපිට පුළුවන් කොහොමද?

ඉස්සර කාලේ මුහුදු ගමන් එතරම් පහසු වුණේ නැති නිසා නැවකට දක්ෂ නියමුවෙක් අවශ්‍ය වුණා. නියමුවෙකුට දක්ෂ වීමට නම් අද්දැකීම් බහුල නියමුවෙකු යටතේ කාලයක් පුරා වැඩ කිරීමට සිදු වුණා. (ක්‍රියා 27:9-11) ඔහුගේ භාරදූර කාර්යය කාවැද්දීමට පැරණි චිත්‍රවල ඔහුව චිත්‍රයට නැඟුවේ නැවේ සිටි අනිත් අයට වඩා ටිකක් ලොකුවටයි. නැවක් දියත් කරන්න කලින් හුළං හමන දිශා ගැනත් තාරකා ගැනත් ඒවායේ පිහිටීම ආධාරයෙන් ගමන් මඟ සොයාගන්න ආකාරය ගැනත් නාවිකයෙකු දැනගත යුතු වුණා. එවැනි දැනුමක් තිබූ නාවිකයන්ව බයිබලයේ හඳුන්වන්නේ “දක්ෂයෝ” කියායි.—එස. 27:8.

එදා නැව් ගමන් වගේ අද ජීවන ගමනත් ඉතා දුෂ්කරයි. ජීවන ගමන සාර්ථක කරගන්න මඟ පෙන්වීම් ලබාගන්න පුළුවන් කොහොමද?

නිසි මඟ පෙන්වීම්” ලබාගන්න පුළුවන් කොහොමද?

බයිබලයේ මෙහෙම කියනවා. “ප්‍රඥාවන්ත කෙනෙක් උපදෙස්වලට සවන් දී තව තවත් ඉගෙනගනියි. හොඳ අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා සෑමවිටම නිසි මඟ පෙන්වීම් ලබාගනියි.” (හිතෝ. 1:5, 6) හෙබ්‍රෙව් භාෂාවට අනුව “නිසි මඟ පෙන්වීම්” කියද්දී කපිතාන්වරයෙකුට නැවක් දක්ෂ ලෙස යාත්‍රා කරවීමට තිබෙන හැකියාවත් අදහස් කරනවා.

ජීවන ගමන සාර්ථක කරගැනීම සඳහා අපි ‘ප්‍රඥාවන්තව,’ ‘අවබෝධයෙන්’ හා ‘වටහාගැනීමේ හැකියාව ඇතුව’ කටයුතු කළ යුතු බව බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝ. 1:2-6; 2:1-9) දුෂ්ට මිනිසුන් තම ජීවිතය හසුරුවාගෙන තමන්ගේ කපටි වැඩ ඉටු කරගැනීමට දන්නවා. (හිතෝ. 12:5) නමුත් අපි අපේ ජීවිතය හොඳින් හසුරුවාගන්න නම් දෙවිගේ උපදෙස් පැතිය යුතුයි.

දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමට අපි බයිබලය අධ්‍යයනය කළ යුතුයි. එවිට යෙහෝවා දෙවි ගැනත් ඔහුව හොඳින් අනුකරණය කළ යේසුස් ගැනත් දැනුම ලබාගන්න පුළුවන්. (යොහ. 14:9) ඊට අමතරව රැස්වීම් මගිනුත් අපේ දෙමාපියන් ඇතුළු අද්දැකීම් ලත් අයගෙනුත් නැණවත් උපදෙස් ලබාගන්න අපිට පුළුවන්.—හිතෝ. 23:22.

කල් ඇතුව සිතා බලා සැලසුම් යොදන්න

රළු මුහුදේ ගමන් කරන නියමුවා නිවැරදි තීරණ ගත්තේ නැත්නම් නැව මුහුදුබත් වීමට ඉඩ තිබෙනවා. ඒ හා සමානව අපේ ජීවිතයේ ප්‍රශ්න පැන නඟින අවස්ථාවලදී අපි හරි තීරණ ගත්තේ නැත්නම් අපේ ජීවන ගමන ඇණහිටින්න පුළුවන්.—යාකො. 1:5, 6.

“නිසි මඟ පෙන්වීම්” යන යෙදුම බයිබලයේ යුධ මෙහෙයුම් සඳහාත් භාවිත කර තිබෙනවා. එහි සඳහන් වෙන්නේ මෙහෙමයි. “යුද්ධ කරන විට අන් අයගෙන් නැණවත් උපදෙස් පතන්න. උපදේශකයන් රාශියක් සිටින තැන ගැලවීම ඇත.”—හිතෝ. 20:18; 24:6.

යුධ උපා යෙදීමට පෙර සිදු විය හැකි අනතුරු ගැන කල් ඇතුව සිතන්න අවශ්‍යයි. ඒ හා සමානව තීරණයක් ගැනීමට පෙර දෙවි සමඟ තිබෙන අපේ බැඳීමට හානි විය හැකි දේවල් ගැන අපි කල් ඇතුව සිතන්න ඕනෙ. (හිතෝ. 22:3) උදාහරණයකට අලුත් රැකියාවක් හෝ රැකියාවේ උසස් වීමක් භාරගැනීමට පෙර අපි කල්පනා කර බලන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් කෙනෙක් සිතන්නේ පඩිය හා රැකියාවට යන්න එන්න ගත වන වෙලාව වැනි දේවල් ගැනයි. නමුත් ‘මේ රස්සාව නිසා බයිබල් ප්‍රතිපත්ති කැඩෙයිද? රස්සාව හෝ ෂිෆ්ට් එක නිසා මගේ නමස්කාර කටයුතුවලට බාධා වෙයිද’ කියා කල්පනා කිරීම ඊට වඩා වැදගත්.—ලූක් 14:28-30.

සාක්ෂිකාරියක් වන ලොරෙටා හොඳ රැකියාවක් කරමින් සිටියා. රැකියා ස්ථානය වෙනත් තැනකට මාරු කළාම එහිදී ඇයට උසස් වීමක් දෙන්න තීරණය කළ අධ්‍යක්ෂක මණ්ඩලය ඇයට කිව්වේ ‘මේ වගේ චාන්ස් එකක් නම් අත අරින්න එපා’ කියලයි. ‘ඔයාලගේ නමස්කාර මධ්‍යස්ථානයකුත් ඒ හරියෙම තියෙනවා’ කියාත් ඔවුන් ඇයට කිව්වා. නමුත් ජීවිතය සරල කරගෙන දෙවිට වැඩියෙන් සේවය කරන්න ලොරෙටාට ලොකු ඕනකමක් තිබුණා. අලුත් තැනට මාරු වුණොත් දේවසේවය සඳහා ගත කරන්න තිබෙන කාලය අඩු වන බව ඇය තේරුම්ගත්තා. අනිත් සේවකයන් අස් වුණත් රැකියා ස්ථානයට අවශ්‍ය කරන්නේ ඇයවයි කියා එක් අධ්‍යක්ෂකවරයෙක් පැවසුවත් ඇය අස් වෙන්න ගත් තීරණය වෙනස් කළේ නැහැ. මේ වන විට ඇය අවුරුදු 20ක් පුරා ස්ථාවර පුරෝගාමී සේවයේ යෙදෙමින් සිටිනවා. එදා ගත් තීරණය නිසා ඇයට බොහෝ ආශීර්වාද ලැබී තිබෙනවා. බයිබලයේ සඳහන් “නැණවත් උපදෙස්” පැතීම නිසා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයට හානිකර දේවල් කල් ඇතුව හඳුනාගෙන ඒ අනුව ජීවන ගමන සැලසුම් කරන්න ඇයට හැකි වුණා විතරක් නෙවෙයි දෙවිට ළං වීමට බොහෝදෙනෙකුට උපකාර කරන්නත් පුළුවන් වුණා.

දරුවන්ව දෙවිට ළං කිරීම සඳහා ගන්නා තීරණ පවුලේ අනාගතයට බලපාන නිසා එයත් “නැණවත් උපදෙස්” අවශ්‍ය කරවන තවත් පැත්තක්. (හිතෝ. 22:6) ඒ නිසා සාක්ෂිකාර දෙමාපියන් මේ ප්‍රශ්නවලට තමන්ගේ පිළිතුර මොකක්ද කියා සිතා බලන්න අවශ්‍යයි. ‘අපි කරන කියන දේවලින් දෙවිගේ ප්‍රමිති රකින්න අපේ දරුවන් ඉගෙනගනියිද? වැඩිහිටියන් වුණාම ඥානවන්ත තීරණ ගන්න අපි එයාලට උපකාර කරනවාද? තියෙන දේවලින් සෑහීමට පත් වෙලා සරල ජීවිතයක් ගත කරන්නත් දේවසේවයට මුල් තැන දෙන්නත් අපි ජීවත් වෙන විදිහෙන් එයාලට උගන්වනවද?’—1 තිමෝ. 6:6-10, 18, 19.

අපේ ජීවිතයේ සාර්ථකත්වය මනින්න පුළුවන් වෙන්නේ අපිට තිබෙන දේවලින් නෙවෙයි. ඒ බව තේරුම්ගත් සලමොන් රජ මෙසේ පැවසුවා. “පව්කාරයෙකු සිය වරක් දුෂ්ටකම් කර බොහෝ කල් සතුටින් ජීවත් වුණත් අවසානයේදී සැබෑ දෙවි කෙරෙහි ගරුබියක් ඇති අයට යහපතක් සිදු වන බව මට විශ්වාසය. ඔවුන්ට හොඳ ප්‍රතිඵල අත් වන්නේ දෙවි කෙරෙහි ඔවුන්ට ගරුබියක් ඇති නිසාය.” (දේශ. 8:12) දෙවිගේ වචනයේ ඇති “නැණවත් උපදෙස්” පැතීම කොතරම් ඥානවන්තද කියා එයින් ඔප්පු වෙනවා.—2 තිමෝ. 3:16, 17.

[30වන පිටුවේ පින්තූරය]

නියමුවෙකුගේ කාර්යය කාවැද්දීමට ඔහුව චිත්‍රයට නැඟුවේ අනිත් අයට වඩා ලොකුවටයි

[හිමිකම් විස්තර]

Su concessione del Ministero per i Beni e le Attività Culturali. It is forbidden to reproduce or duplicate this image in any way or by any means.