Skip to content

පටුනට යන්න

දෙවිට ළං වෙන්න

සමාව දුන් පසු දෙවි ඒවා නැවත මතක් කරනවාද?

සමාව දුන් පසු දෙවි ඒවා නැවත මතක් කරනවාද?

යෙහෝවා දෙවි තම සේවකයන්ට මෙසේ පොරොන්දු වී තිබෙනවා. ‘මම ඔබේ වැරදිවලට සමාව දෙන්නෙමි. ඔබ කළ පව් නැවත කිසිදාක සිහි නොකරන්නෙමි.’ (යෙරෙමියා 31:34) තමන් අතින් සිදු වූ වැරදි ගැන අවංකවම පසුතැවෙන අයට දෙවි සමාව දුන් පසු ඔහු නැවත ඒවා මතක් කරමින් දඬුවම් කරන්නේ නැහැ. විශ්වයේ නිර්මාතෘ වන දෙවිට මිනිසුන් කරන වැරදි මතකයේ තබාගැනීමට හැකියාවක් නැහැ කියා ඉන් අදහස් කරනවාද? එසකියෙල් පොතේ සඳහන් තොරතුරුවලින් ඊට පිළිතුර සොයාගත හැකියි.එසකියෙල් 18:19-22 කියවන්න.

ඊශ්‍රායෙල් සෙනඟ තමන්ට අකීකරු වූ නිසා ඔවුන්ව බැබිලෝනිවරුන් අතට පත් වීමට ඉඩහරිනවා කියා දෙවි කලින්ම අනතුරු ඇඟෙව්වා. ඒ සමඟම යම් බලාපොරොත්තුවක්ද දෙවි ඔවුන්ට ලබා දුන්නා. දෙවිට කීකරු වෙනවාද නැද්ද කියා ඔවුන් එක් එක් කෙනා තීරණය කළ යුතු වුණා.—එසකියෙල් 18:19, 20.

තමන් කළ වැරදි ගැන අවංකවම පසුතැවිලි වන අයට කුමක් සිදු වෙයිද? ඒ ගැන යෙහෝවා දෙවිම මෙසේ පැවසුවා. “දුෂ්ටයෙක් තමා කළ සියලු පාප ගැන පසුතැවී මාගේ සියලු අණපනත් රකිමින් යුක්තියෙන් හා ධර්මිෂ්ඨකමින් ක්‍රියා කරන්න පටන්ගන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම ජීවත් වන්නේය. ඔහු මිය යන්නේ නැත.” (එසකියෙල් 18:21) පසුතැවෙන අයට දෙවි “සමාව දීමට කැමති” බව ඉන් පැහැදිලියි.—ගීතාවලිය 86:5.

පසුතැවිලි වූ අය අතින් සිදු වූ ‘කිසිම වරදක් නැවත නැවත මතක් කරන්නේ නැහැ’ කියා දෙවි පවසනවා. (එසකියෙල් 18:22) ඉන් අදහස් කරන්නේ කුමක්ද?

තමන් කළ වැරදි ගැන අවංකව පසුතැවුණු කෙනෙකුට දෙවි සමාව දුන් පසු නැවත අවස්ථාවක ඒ වැරදි සිහි කර ඔහුට දඬුවම් නොකරන බව ඉන් අදහස් කරනවා. *

යෙහෝවා දෙවි සමාව දීමට කැමැත්තෙන් සිටින බව එසකියෙල් 18:21, 22 යන පදවලින් පැහැදිලි වෙනවා. දෙවි යම් කෙනෙකුට සමාව දුන් පසු ඔහු කළ වැරදි යළි සිහි කරන්නේ නැහැ. (යෙසායා 38:17) එය දැන සිටීම කොයි තරම් සහනයක්ද!—ක්‍රියා 3:19.

අප අතින් නිතර නිතර වැරදි සිදු වන නිසා යෙහෝවා දෙවිගේ සමාව අපට අත්‍යවශ්‍යයි. (රෝම 3:23) අපේ වැරදි ගැන අප අවංකවම පසුතැවිලි වුණොත් ඒවාට සමාව දෙන්න දෙවි කැමැත්තෙන් සිටිනවා. ඔහු වැරදිවලට සමාව දුන් පසු ඒ වැරදි යළි සිහි කරමින් අපට දඬුවම් කරන්නේ නැහැ. සමාව දීමට සූදානමින් සිටින එවැනි දෙවි කෙනෙකුට ළං වෙන්න ඔබ කැමති නැද්ද?

ජූලි මාසයට නියමිත බයිබල් කියවීම:

එසකියෙල් 6 සිට 20 දක්වා

[පාදසටහන]

^ 5 ඡේ. කෙනෙකුගේ වැරදි සිහි කර දෙවි ඔහුට දඬුවම් කළ අවස්ථා ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. ඉන් අදහස් කරන්නේ තමන් කළ වැරදි ගැන පසුතැවිලි නොවී දිගින් දිගටම වැරදි කරන අයට දෙවි දඬුවම් කරන බවයි.—යෙරෙමියා 14:10.