Skip to content

පටුනට යන්න

දේවරාජ්‍යයේ පුරවැසියෙක් වෙන්න ඔබ කැමතිද?

දේවරාජ්‍යයේ පුරවැසියෙක් වෙන්න ඔබ කැමතිද?

දේවරාජ්‍යයේ පුරවැසියෙක් වෙන්න ඔබ කැමතිද?

‘නිතරම ශුභාරංචියට ඔබින ආකාරයෙන් හැසිරෙන්න.’—ෆිලි. 1:27.

ඔබේ පිළිතුර මොකක්ද?

දේවරාජ්‍යයේ පුරවැසියන් වීමට අවස්ථාව ලැබෙන්නේ කාටද?

දේවරාජ්‍යයේ ඉතිහාසය, නීති රීති හා භාෂාව ඉගෙනගැනීමට ඇතුළත් වෙන්නේ මොනවාද?

දෙවිගේ නීතිවලට ඇලුම් කරන බව රාජ්‍යයේ පුරවැසියන් ඔප්පු කරන්නේ කොහොමද?

1, 2. පාවුල් ෆිලිප්පි සභාවේ සිටි අයට පැවසූ දේ ඔවුන්ට වැදගත් වුණේ ඇයි?

‘හැසිරෙන්න’ කියා කියද්දී පාවුල් අදහස් කළේ මොකක්ද? (ෆිලිප්පි 1:27 කියවන්න.) ඒ සඳහා පාවුල් යොදාගත් ග්‍රීක් වචනයෙන් ‘යහපත් පුරවැසියෙක් වෙන්න’ කියන අදහසත් දෙනවා. පාවුල්ගේ කාලයේ රෝමය විසින් පුරවැසිභාවය ලබා දුන්නේ තෝරාගත් අයටයි. තමන්ට රෝම පුරවැසිභාවය ලැබුණු විට ඒ ගැන ෆිලිප්පිවරුන් ආඩම්බර වුණා. ඒ විතරක් නෙමෙයි රෝම නීතිය මගින් එහි පුරවැසියන්ට ලොකු ආරක්ෂාවක් වගේම තවත් වාසි රැසක්ද ලබා දුන්නා. ෆිලිප්පිවරුන් රෝමයේ පුරවැසියන් වූ නිසා පාවුල් යොදාගත් ඒ වචනය ඔවුන්ට තේරුම්ගන්න එතරම් අමාරු වුණේ නැහැ.

2 නමුත් ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන්ට ආඩම්බර වෙන්න ඊට වඩා ලොකු හේතුවක් තිබුණා. ‘ඔවුන්ට ලැබී තිබෙන්නේ ස්වර්ගයෙහි පුරවැසිභාවයයි’ කියා පාවුල් ඔවුන්ට පැවසුවා. (ෆිලි. 3:20) කිසිම ආණ්ඩුවකට ලබා දීමට බැරි ආරක්ෂාවක් හා ප්‍රයෝජන රැසක් දේවරාජ්‍යයේ පුරවැසියන් වූ ඔවුන් භුක්ති වින්දා.—එෆී. 2:19-22.

3. (අ) දේවරාජ්‍යයේ පුරවැසියන් වෙන්න අවස්ථාව ලැබෙන්නේ කාටද? (ආ) මෙම ලිපියෙන් අපි සලකා බලන්නේ මොනවාද?

3 පාවුල් පැවසූ දෙය මූලිකවම අදාළ වෙන්නේ යේසුස් සමඟ ස්වර්ගයේපාලනය කරන අභිෂේක ලත් අයටයි. නමුත් දේවරාජ්‍යයේ යටත්වැසියන් ලෙස පොළොව උරුම කරගැනීමට අපේක්ෂාවෙන් සිටින අයටත් එය අදාළ වෙනවා. (ෆිලි. 3:20) ඒකට හේතුව ඔවුන් දෙපිරිසම යටත් වන්නේ එකම රජෙකු වන යෙහෝවා දෙවිට වීමයි. ඔහුගේ ප්‍රතිපත්ති කාටත් එකයි. (එෆී. 4:4-6) බොහෝදෙනෙක් ධනවත් රටක පුරවැසියන් වෙන්න කැමතියි. දේවරාජ්‍යයේ පුරවැසියන් වීම ඊට වඩා කොයි තරම් වටිනවාද? සාමාන්‍යයෙන් යම් රටක පුරවැසියෙක් වෙන්න කැමති කෙනෙකුගෙන් එම රටේ ආණ්ඩුව යම් සුදුසුකම් බලාපොරොත්තු වෙනවා. දේවරාජ්‍යයේ පුරවැසියෙක් වෙන්නත් අපට සුදුසුකම් තිබෙන්න අවශ්‍යයි. ඉන් සුදුසුකම් තුනක් ගැන අපි මේ ලිපියෙන් සලකා බලමු.

අවශ්‍ය සුදුසුකම්

4. පවිත්‍ර භාෂාව මොකක්ද? අපි එය කතා කරන්නේ කොහොමද?

4 භාෂාව ඉගෙනගන්න. යම් රටක පුරවැසිභාවය ලබාගන්න නම් එම රටේ භාෂාව ඉගෙනගැනීම සමහර රටවල ආණ්ඩු මගින් බලාපොරොත්තු වෙනවා. එය ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. හෝඩිය විතරක් ඉගෙනගෙන මදි. සමහරවිට භාෂාවේ රීති ඉක්මනින් ඉගෙනගන්න පුළුවන් වුණත් එය හොඳින් කතා කරන්න කාලයක් ගත වෙනවා. දේවරාජ්‍යයටත් එය අදාළයි. දේවරාජ්‍යයේ පුරවැසියෙක් වීමට නම් “පවිත්‍ර භාෂාව” ඉගෙනගන්න අවශ්‍යයි. (ශෙපනියා 3:9 කියවන්න.) මේ පවිත්‍ර භාෂාව මොකක්ද? දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් බයිබලයේ තිබෙන සත්‍යයන් එම පවිත්‍ර භාෂාවයි. ඒ භාෂාව කතා කිරීමෙන් අදහස් කරන්නේ දෙවිගේ නීති හා ප්‍රතිපත්තිවලට කීකරු වීමයි. දේවරාජ්‍යයේ පුරවැසියෙක් වෙන්න කැමති කෙනෙකුට බයිබලයේ තිබෙන මූලික දැනුම ඉක්මනින් ලබාගෙන බව්තීස්ම වෙන්න පුළුවන්. නමුත් බව්තීස්මයෙන් පසුව පවා දැනුම වර්ධනය කරගන්න ඕනේ. ඒ වගේම බයිබලයේ තිබෙන නීති හා ප්‍රතිපත්ති එදිනෙදා ජීවිතයේදී අදාළ කරගන්නත් අවශ්‍යයි. පවිත්‍ර භාෂාව හොඳින් කතා කරනවා කියා කියන්න පුළුවන් වෙන්නේ එවිටයි.

5. දෙවිගේ සංවිධානයේ ඉතිහාසය ගැන අපි ඉගෙනගත යුත්තේ ඇයි?

5 ඉතිහාසය දැනගන්න. යම් රටක පුරවැසියෙක් වෙන්න කැමති කෙනෙකුට ඒ රට ගැනත් ඒ රටේ ඉතිහාසය ගැනත් ඉගෙනගන්න වෙනවා. දේවරාජ්‍යයේ පුරවැසියෙක් වෙන්න කැමති කෙනෙක් ඒ රාජ්‍යයේ ඉතිහාසය ගැන ඉගෙනගන්න අවශ්‍යයි. උදාහරණයකට අතීතයේ සිටි කෝරාගේ පුතුන් ගැන සිතන්න. ඔවුන් ආඩම්බරයෙන් කතා කළේ නගරයේ අලංකාරය ගැන නෙවෙයි නමුත් ‘ශ්‍රේෂ්ඨ රජු වන යෙහෝවා දෙවිගේ නුවර’ වන යෙරුසලමේ හා එහි තිබූ නමස්කාර මධ්‍යස්ථානය ගැනයි. එදා නිර්මල නමස්කාරයේ මූලස්ථානය වුණේ යෙරුසලමයි. දෙවිට ප්‍රේම කළ ජනයාට දෙවිගේ නීති ගැන ඉගෙනගන්න පුළුවන් වුණෙත් එහිදියි. (ගීතාවලිය 48:1, 2, 9, 12, 13 කියවන්න.) අප තුළත් දෙවිගේ සංවිධානයේ ඉතිහාසය ගැන දැනගන්න ආශාවක් තිබෙනවාද? දෙවි තම සේවකයන්ට උපකාර කර තිබෙන ආකාරය වැඩි වැඩියෙන් දැනගන්නා විට දේවරාජ්‍යය කෙරෙහි තිබෙන අපේ විශ්වාසය තවත් ශක්තිමත් වෙයි. ඒ විශ්වාසය ශක්තිමත් වෙද්දී ඒ රාජ්‍යය ගැන දේශනා කරන්න අපිට ලොකු ආශාවක් ඇති වෙයි.—යෙරෙ. 9:24; ලූක් 4:43.

6. තමා දී ඇති නීති හා ප්‍රතිපත්ති පිළිපැදීම දෙවි බලාපොරොත්තු වීම සාධාරණ ඇයි?

6 නීති රීති දැනගන්න. ඕනෑම රටක පුරවැසියන් රටේ නීති ගැන දැනුවත් වී ඒවාට කීකරු විය යුතුයි. එසේනම් තමා දී ඇති නීති හා ප්‍රතිපත්ති පිළිපැදීම දෙවි තම රාජ්‍යයේ යටත්වැසියන්ගෙන් බලාපොරොත්තු වෙන එක සාධාරණයි. (යෙසා. 2:3; යොහ. 15:10; 1 යොහ. 5:3) මිනිස් ආණ්ඩු මගින් පනවා තිබෙන නීතිවල දෝෂ තිබිය හැකි අතර නීතියෙන් සාධාරණය ඉටු නොවෙන්නත් ඉඩ තිබෙනවා. නමුත් යෙහෝවා දෙවිගේ නීතිය ඊට වඩා වෙනස්. ‘දෙවිගේ නීතිය පරිපූර්ණයි.’ (ගීතා. 19:7) දෙවිගේ නීති ඉගෙනගැනීම සඳහා අපි දිනපතා බයිබලය කියවනවාද? (ගීතා. 1:1, 2) බයිබලය අධ්‍යයනය කිරීම සඳහා වෙහෙස විය යුත්තේ අපිමයි. වෙන අයට අපි වෙනුවෙන් ඒ දේ කළ නොහැකියි.

දෙවිගේ ප්‍රමිතිවලට මුල් තැන දෙයි

7. දේවරාජ්‍යයේ පුරවැසියන් දෙවිගේ නීතිවලට කීකරු වෙන්නේ ඇයි?

7 නීති දැනගෙන සිටීම පමණක් ප්‍රමාණවත් නැහැ. නීති පිළිපැදීමට කැමැත්තක්ද තිබිය යුතුයි. සමහරු රටේ නීතියට ගරු කරනවා කියා කිව්වත් කවුරුවත් දකින්නේ නැහැ කියා සිතෙන විට නීති කඩනවා. ඒ වගේම අවස්ථාවක් ලැබුණු ගමන්ම නීතියේ හිදැස් අතරින් රිංගනවා. එවැනි අය උත්සාහ කරන්නේ ‘මිනිසුන්ව සතුටු කරන්නයි.’ (කොලො. 3:22) නමුත් දේවරාජ්‍යයේ පුරවැසියන් ඊට වෙනස්. ඔවුන් යෙහෝවා දෙවිට ප්‍රේම කරන නිසා මිනිස්සු බලාගෙන හිටියත් නැතත් දෙවිගේ නීති හා ප්‍රතිපත්ති රකිනවා.—යෙසා. 33:22; ලූක් 10:27 කියවන්න.

8, 9. අපි දෙවිගේ නීතිවලට ඇලුම් කරනවාද නැද්ද කියා දැනගන්නේ කොහොමද?

8 ඔබ දෙවිගේ නීතිවලට ඇලුම් කරන කෙනෙක්ද? පෞද්ගලික කාරණයක් කියා ඔබ සිතන දෙයක් ගැන ඔබට උපදෙසක් ලැබෙද්දී ඊට ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද? ඔබ කැමැත්තෙන්ම දෙවිගේ නීතිවලට කීකරු වෙන කෙනෙක්ද නැද්ද කියා එයින් පැහැදිලි වෙනවා. උදාහරණයකට, ඔබ සත්‍යය දැනගෙන දේවරාජ්‍යයේ පුරවැසියෙක් වෙන්න කලින් හිතුමතේට කොණ්ඩ මෝස්තර කරන්න ඇති. අනික් අය තුළ වැරදි හැඟීම් ඇති වන විදිහට ඇඳුම් අඳින්නත් ඇති. නමුත් ඔබ සත්‍යය ඉගෙනගත්තාම දෙවිට ගෞරවයක් ඇති වන ආකාරයට අඳින්න පළඳින්න පුරුදු වුණා. (1 තිමෝ. 2:9, 10; 1 පේතෘ. 3:3, 4) දැන් ඔබ විනීත ලෙස ඇඳ පැළඳ සිටිනවා කියා ඔබ සිතනවා ඇති. කොහොමවුණත් සභාවේ කිහිපදෙනෙක් ඔබ අඳින පළඳින විදිහ ගැන අපහසුතාවට පත් වී ඇති නිසා වැඩිමහල්ලෙක් ඔබට ඒ ගැන යම් උපදෙසක් දුන්නොත් ඔබ මොකද කරන්නේ? ඔබට කේන්ති යයිද? නිදහසට කරුණු කියයිද? වෙනසක් කරන්න අකමැති වෙයිද? ‘ක්‍රිස්තුස් පවා තමාගේම සතුට ගැන සිතුවේ නැහැ. අපේ උත්සාහය විය යුත්තේ අපේ අසල්වැසියාව සතුටු කිරීමයි’ කියා පාවුල් සඳහන් කළා. (රෝම 15:2, 3) දේවරාජ්‍යයේ පුරවැසියෙකුගේ ප්‍රධාන යුතුකම වන්නේ එහි රජු වන යේසුස්ව අනුගමනය කිරීමයි. (1 පේතෘ. 2:21) අපි අවබෝධයෙන් කටයුතු කරන අය නම් අනුන්ව අපහසුතාවට පත් නොකර සභාවේ සාමය පවත්වාගැනීමට වෙහෙසෙනවා.—රෝම 14:19-21.

9 ලිංගික කාරණා හා විවාහය සම්බන්ධයෙන් ඔබ දරන ආකල්පය දෙවිගේ ප්‍රමිතිවලට එකඟද? දේවරාජ්‍යයේ පුරවැසියන් නොවන අය සමලිංගික සේවනය, කාමුක දර්ශන බැලීම, දුරාචාරය හා දික්කසාදය වැනි දේවල් වරදක් නැහැ කියා සිතන්න ඉඩ තිබෙනවා. සමහර ක්‍රිස්තියානීන් කලින් ඒ විදිහට හැසිරී තිබුණත් එය තමන්ටත් අනිත් අයටත් නරක විදිහට බලපාන බව ඔවුන් වටහාගෙන තිබෙනවා. ලිංගික කාරණා හා විවාහය සම්බන්ධයෙන් දෙවිගේ ප්‍රමිති දන්නා ඔවුන් ඒවා කඩ කරන අයට රාජ්‍යයේ පුරවැසියන් වෙන්න බැහැ කියාත් ඉගෙනගෙන තිබෙනවා. (1 කොරි. 6:9-11) ඒ වගේම සිත රැවටිලිකාර නිසා වැරදි දෙයක් කිරීමට පෙලඹෙන්න ඉඩ තිබෙනවා කියාත් ඔවුන් දන්නවා. (යෙරෙ. 17:9) ඒ නිසා ආකල්ප නිවැරදි කරගන්න ලැබී තිබෙන නිශ්චිත අවවාද ඔවුන් ගොඩක් අගය කරනවා.

ලැබෙන උපදෙස් අගය කරයි

10, 11. දෙවිගේ රාජ්‍යය මගින් දී තිබෙන්නේ මොන වගේ වැදගත් අනතුරු ඇඟවීම්ද?

10 ප්‍රමිතියෙන් බාල ආහාර හෝ කල් ඉකුත් වූ බෙහෙත් වැනි දේවල් ගැන ආණ්ඩුව මගින් මහජනයාට අනතුරු අඟවනවා. මහජන ආරක්ෂාව සඳහා එසේ කිරීම ආණ්ඩුවේ වගකීමක්. දෙවිගේ නීතිවලට අකීකරු වීම නිසා ඔහු සමඟ තිබෙන බැඳීමට සිදු වන හානිදායක දේවල් ගැන දෙවිගේ රාජ්‍යය මගිනුත් එහි පුරවැසියන්ට අනතුරු අඟවනවා. උදාහරණයකට අධ්‍යාපනය, අදහස් හුවමාරුව හා විනෝදය වැනි දේවල් සඳහා අන්තර්ජාලය ප්‍රයෝජනවත් මාධ්‍යයක්. දෙවිගේ සංවිධානයත් ඉන් බොහෝ ප්‍රයෝජන ලබනවා. නමුත් කාමුක දර්ශන අඩංගු වෙබ් අඩවි බැලීමෙන් කෙනෙක් දෙවිගෙන් ඈත් වන අතර එවැනි වෙබ් අඩවි ගැන විශ්වාසවන්ත නුවණ ඇති දාසයා අවුරුදු ගණනාවක් තිස්සේ අනතුරු අඟවා තිබෙනවා. අපි ඒ ගැන කොතරම් ස්තුතිවන්ත විය යුතුද!

11 මෑතක සිට තවත් දෙයක් කාගෙත් අවධානයට ලක් වී තිබෙනවා. ඒ මිතුරු සමාජ වෙබ් අඩවියි. බොහෝදෙනෙක් අතර එය ගොඩක් ජනප්‍රියයි. එයින් යම් ප්‍රයෝජන ලැබුණත් පරෙස්සම් වුණේ නැත්නම් එමගින් අපිව නරක ආශ්‍රයට වුණත් වැටෙන්න පුළුවන්. (1 කොරි. 15:33) මෙම වෙබ් අඩවි ගැන නිවැරදි අවබෝධයක් ලබා දීමට දාසයා වෙහෙසෙන්නේ ඒවායේ අනතුරු තිබෙන නිසයි. පසුගිය කාලය පුරා මිතුරු සමාජ වෙබ් අඩවි ගැන අපේ සඟරාවල පළ කළ සෑම ලිපියක්ම ඔබ කියෙව්වාද? එම ලිපිවල ඇති උපදෙස් කියවන්නේ නැතුව එම වෙබ් අඩවි භාවිත කිරීම ඇත්තටම මෝඩකමක්! * එහෙම කරන එක හරියට ලේබලය නොකියවා සැර බෙහෙතක් බොනවා වගේ වැඩක්.

12. අනතුරු ඇඟවීම් නොසලකාහැරීම මෝඩකමක් වෙන්නේ ඇයි?

12 දාසයාගේ අනතුරු ඇඟවීම් නොසලකාහරින අය තමන්ටත් තමන් ප්‍රේම කරන අයටත් හානි කරනවා. කාමුක දර්ශන නැරඹීමට ඇබ්බැහි වූ අය හා අනාචාරයේ යෙදෙන අය සිතන්නේ තමන් කරන දේ දෙවි දකින්නේ නැහැ කියායි. එය මොන තරම් මෝඩ සිතුවිල්ලක්ද! දෙවිගෙන් කිසිවක් සඟවන්න බැහැ. (හිතෝ. 15:3; හෙබ්‍රෙව් 4:13 කියවන්න.) යම් රටක පුරවැසිභාවය ලැබූ කෙනෙක් අපරාධයක් කළ විට ඔහුගේ පුරවැසිභාවය අහෝසි කිරීමට එහි ආණ්ඩුවට හැකියි. ඒ හා සමානව දිගටම දෙවිගේ ප්‍රමිති කඩ කරන අයට දේවරාජ්‍යයේ පුරවැසිකම පවා අහිමි වෙයි. * (1 කොරි. 5:11-13) නමුත් යෙහෝවා දයාන්විත දෙවි කෙනෙක් නිසා එවැනි අයව නිවැරදි මගට ගෙන එන්න වැඩිමහල්ලන්ව යොදාගන්නවා. (ගලා. 6:1) ප්‍රමිති කැඩූ කෙනා පසුතැවිලි වී තමන්ගේ වැරදි හදාගන්නවා නම් දෙවි ඔහුට සමාව දී පුරවැසියෙක් ලෙස දිගටම සිටීමට ඉඩ දෙනවා. (2 කොරි. 2:5-8) එවැනි ප්‍රේමණීය රජෙකුගේ යටත් වැසියෙක් වෙන්න ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද!

අධ්‍යාපනය අගය කරයි

13. තමන්ට ලැබෙන අධ්‍යාපනය අගය කරන බව රාජ්‍යයේ පුරවැසියන් පෙන්වන්නේ කොහොමද?

13 ආණ්ඩුවක් තම රට වැසියන්ට අධ්‍යාපනය සඳහා පාසැල් ඉදි කර විවිධ පාඨමාලා සැලසුම් කරන අතර ක්‍රිස්තියානීන් පවා එම අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගන්නවා. නමුත් ඔවුන්ට ඊටත් වඩා වටින්නේ දේවරාජ්‍යය මගින් ලබා දෙන අධ්‍යාපනයයි. උදාහරණයකට දෙවිගේ සංවිධානයෙන් ඔවුන්ට ලියන්න හා කියවන්න උනන්දු කරනවා. දෙමාපියන්ටත් උනන්දු කරන්නේ තම කුඩා දරුවන්ට ඇසෙන සේ කියවීමටයි. ඒ සඳහා සෑම මාසයකම සංවිධානයෙන් මුරටැඹ හා පිබිදෙව් සඟරා ලබා දෙනවා. ඔබ දවසට පිටුවක් දෙකක් කියෙව්වොත් මාසයකින් සඟරා තුනම කියවන්න පුළුවන්. ඒ ආකාරයට දෙවිගෙන් දිගටම ඉගෙනගන්න ඔබට හැකියි.

14. (අ) අපිට ලැබෙන්නේ මොන වගේ පුහුණුවක්ද? (ආ) පවුලේ නමස්කාරය සඳහා දී ඇති යෝජනාවලින් ඔබ අත්හදා බලා තිබෙන්නේ මොනවාද?

14 දේවරාජ්‍යයේ පුරවැසියන්ට සෑම සතියකම තමන්ගේ සභාවෙන් පුහුණුවක් ලැබෙනවා. උදාහරණයකට වසර 60කට වඩා වැඩි කාලයකට පෙර සේවා පාසැල ආරම්භ කළා. එයට ඇතුළත් වූ ශිෂ්‍යයන්ට දේවවචනය දක්ෂ ලෙස උගන්වන ගුරුවරුන් වීමට හැකි වී තිබෙනවා. ඔබ එම පාසැලට ඇතුළත් වී තිබෙනවාද? ඊට අමතරව සෑම සතියකම පවුලේ නමස්කාරය සඳහා කාලය වෙන් කිරීමේ වැදගත්කම ගැනත් දාසයා මෑත අවුරුදු කිහිපය තුළ කාවද්දා තිබෙනවා. එම නමස්කාරය පවුලේ එක්සත්කමට දායක වෙනවා. ඒ සඳහා ප්‍රකාශනවල දී ඇති යෝජනා ඔබ අත්හදා බලා තිබෙනවාද? *

15. අපිට තිබෙන ලොකුම වරප්‍රසාදය මොකක්ද?

15 බොහෝ රටවල පුරවැසියන් තම තමන්ගේ දේශපාලන පක්ෂවලට මනාප ලබාගන්න ගෙයින් ගෙට යනවා. දේවරාජ්‍යයේ පුරවැසියනුත් දේවරාජ්‍යය ගැන ප්‍රචාරය කිරීමට ලොව පුරා ගෙයින් ගෙට යනවා. ඔවුන් පළ කරන මුරටැඹ සඟරාවේ අරමුණ වන්නේ දේවරාජ්‍යය ගැන ප්‍රචාරය කිරීමයි. එය දැනට ලෝකයේ වැඩියෙන්ම බෙදාහරින සඟරාවයි. අපිට තිබෙන ලොකුම වරප්‍රසාදය නම් දෙවිගේ රාජ්‍යය ගැන අන් අයට කියා දීමයි. ඔබත් උද්‍යෝගයෙන් එසේ කරනවාද?—මතෙ. 28:19, 20.

16. දේවරාජ්‍යයේ යහපත් පුරවැසියෙක් බව ඔප්පු කරන්න ඔබට පුළුවන් කොහොමද?

16 ළඟදීම මුළු පොළොවම පාලනය කරන්නේ එක රාජ්‍යයක් මගින්. ඒ දේවරාජ්‍යයි. නමස්කාර කටයුතු සම්බන්ධයෙන් වේවා ජීවත් වන ආකාරය සම්බන්ධයෙන් වේවා ඒ සෑම කාරණයකදීම මඟ පෙන්වීම් ලබා දෙන්නේ එම රාජ්‍යය මගිනුයි. එදාට ඔබ දේවරාජ්‍යයේ යහපත් පුරවැසියෙක් වෙයිද? දැන් සිටම ඒ සඳහා පුහුණු වෙන්න. දෙවිට ගෞරව ගෙනෙන ආකාරයට සෑම තීරණයක්ම ගන්න. ඒ විදිහට දේවරාජ්‍යයේ යහපත් පුරවැසියෙක් ලෙස ජීවත් වන බව ඔප්පු කරන්න.—1 කොරි. 10:31.

[පාදසටහන්වල]

^ 11 ඡේ. උදාහරණයකට, 2011 ජූලි පිබිදෙව් සඟරාවේ 24-27 පිටු, 2011 අගෝස්තු පිබිදෙව් සඟරාවේ 10-13 පිටු හා 2012 පෙබරවාරි පිබිදෙව් සඟරාවේ 3-9 පිටු බලන්න.

^ 14 ඡේ. වර්ෂ 2011 අගෝස්තු 15 මුරටැඹ සඟරාවේ 6-7 දක්වා පිටු හා 2011 ජනවාරි රාජ්‍ය සේවාවේ 3-6 දක්වා පිටු බලන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අන්තර්ජාලය ගැන ලබා දෙන අනතුරු ඇඟවීම් ඔබ පිළිගන්නවාද?

[12වන පිටුවේ පින්තූරය]

කෝරාගේ පුතුන් වගේ සැබෑ නමස්කාරය හා එහි ඉතිහාසය ගැන ඔබ ආඩම්බර වෙනවාද?

[15වන පිටුවේ පින්තූරය]

දේවරාජ්‍යයේ යහපත් පුරවැසියන් වීමට පවුලේ නමස්කාරය පවුලේ සැමට උපකාරයක්