Skip to content

පටුනට යන්න

අනාගත සැලසුම් ගැන රැස්වීමක්

අනාගත සැලසුම් ගැන රැස්වීමක්

වාර්ෂික රැස්වීම් වාර්තාව

අනාගත සැලසුම් ගැන රැස්වීමක්

වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා මගින් පවත්වන වාර්ෂික රැස්වීම කා තුළත් පුදුමාකාර උද්‍යෝගයක් හා ප්‍රීතියක් ඇති කරන රැස්වීමක්. එය 2011 ඔක්තෝබර් 1වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි නුවරේ පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීම් ශාලාවේදී 127වන වරටත් පැවැත්තුවා.

පාලක මණ්ඩලයේ සහෝදර ගෙරිට් ලොෂ් ලෝකෙ වටේ රටවල් 85කින් ඇවිත් සිටි ප්‍රීතිමත් අමුත්තන්ව සාදරෙන් පිළිගත්තා. විවිධ ජාතීන්ට අයිති වුණත් ඇවිත් සිටි අය අතර තිබෙන එකමුතුකම යෙහෝවා දෙවිට ප්‍රශංසාවක් වගේම හැමෝටම හොඳ සාක්ෂියක් බවත් ඔහු පැවසුවා.

මෙක්සිකෝවෙන් හොඳ ආරංචියක්!

වැඩසටහනේ මුල් කොටසින් කාවැද්දුවේ අපි අතර තිබෙන එකමුතුකම ගැනයි. සහෝදර බාල්තසාර් පර්ලා, මෙක්සිකෝවේ බෙතෙල් සාමාජිකයන් තුන්දෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳෙව්වා. ඔවුන් කතා කළේ මධ්‍යම ඇමරිකානු රටවල් හයක් මෙක්සිකෝවේ ශාඛා කාර්යාලයට සම්බන්ධ කිරීම ගැනයි. දැන් මෙක්සිකෝවේ බෙතෙල් පවුල විවිධ ජාතීන්ගෙන් හා සංස්කෘතිවලින් පිරුණු තැනක් වෙලා කියාත් එකිනෙකා අන්‍යෝන්‍ය වශයෙන් ලොකු දිරිගැන්වීමක් ලබනවා කියාත් ඔවුන් පැවසුවා. ශාඛා කාර්යාල කිහිපයක් එකතු කිරීම හරියට රටවල් කිහිපයක මායිම් යෙහෝවා දෙවි ලොකු මකනයකින් මකා දැමුවා වගෙයි.

නමුත් තමන්ගේ රටේ ශාඛා කාර්යාලයක් ක්‍රියාත්මක නොවීම නිසා තමන් තනි වෙලා යන හැඟීම සහෝදරයන් තුළ ඇති වීමට පාලක මණ්ඩලය ඉඩ තිබ්බේ නැහැ. ඒ වෙනුවට මෙක්සිකෝවේ ශාඛා කාර්යාලය සමඟ කෙළින්ම සම්බන්ධ වීමට හැකි වන ලෙස සෑම සභාවකටම වෙන වෙනම විද්‍යුත් තැපැල් සම්බන්ධයක් ලබා දුන්නා.

ජපානයෙන් අලුත්ම පුවත්

වර්ෂ 2011 මාර්තු මාසයේ සිදු වූ භූමිකම්පාව හා සුනාමිය ගැන ජපාන ශාඛාවේ සහෝදර ජේම්ස් ලින්ටන් වාර්තාවක් ඉදිරිපත් කළා. බොහෝ සාක්ෂිකරුවන්ට තමන් සතු වටිනා දේවල් විතරක් නෙවෙයි ඔවුන්ගේ නෑදෑ හිතවතුන් පවා අහිමි වුණා. විපතට පත් වූ අයට ඇවිත් නවාතැන් ගැනීමට අනික් සාක්ෂිකරුවන් තමන්ගේ නිවාස 3,100කට වැඩි ගණනක් විවෘත කළා. ඒ වගේම වාහන සිය ගණනකුත් තාවකාලික පාවිච්චිය සඳහා ඔවුන්ට ලබා දුන්නා. නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ කමිටුවලට සම්බන්ධ ස්වේච්ඡා සේවකයන් 1,700කට වඩා වැඩි පිරිසක් දිවා රෑ නොබලා සහෝදර සහෝදරියන්ගේ නිවෙස් අලුත්වැඩියා කළා. ඇමරිකාවෙන් පැමිණි ස්වේච්ඡා කණ්ඩායම ඇතුළුව 575දෙනෙක් නමස්කාර මධ්‍යස්ථාන අලුත්වැඩියා කිරීමේ යෙදුණා.

ඊට අමතරව වැඩිමහල්ලන් 400කට වැඩි දෙනෙක් එකතු වී සහෝදරයන්ට මානසික තත්වය ගොඩ නඟාගන්නත් දෙවි සමඟ ඇති බැඳීම ශක්තිමත් කරගන්නත් උපකාර කළා. ඒ වගේම පාලක මණ්ඩලය නියෝජනය කරමින් කලාපීය සේවකයන් දෙදෙනෙක්ද ලෝක මූලස්ථානයෙන් ඇවිත් ඔවුන්ව දිරිගැන්නුවා. ලොව පුරා සිටි සහෝදර සහෝදරියනුත් විපතට පත් අයව සැනසීම සඳහා නොයෙක් අයුරින් දායක වුණා.

නීතික ජයග්‍රහණ

බ්‍රිතාන්‍ය ශාඛා කාර්යාලයේ ස්ටීවන් හාඩි, ළඟදී ලැබූ නීතික ජයග්‍රහණ ගැන විස්තර සපයද්දී රැස් වී සිටි අය උනන්දුවෙන් සවන් දුන්නා. උදාහරණයකට ඩොලර් මිලියන 82ක බද්දක් ගෙවන්න කියා ප්‍රංශ රජය සාක්ෂිකරුවන්ට නියෝග කළා. නමුත් යුරෝපීය මානව හිමිකම් අධිකරණය සාක්ෂිකරුවන්ට පක්ෂව තීන්දුවක් දුන්නා. ඔවුන් පැවසුවේ ප්‍රංශ රජය යුරෝපීය මානව හිමිකම් කොමිසමේ නවවෙනි වගන්තියට විරුද්ධව කටයුතු කර තිබෙන බවයි. එම වගන්තියට අනුව “ආගමික සංවිධානයක් ප්‍රතික්ෂේප කිරීම, එය විසුරුවාහැරීමට රජය උත්සාහ කිරීම හා එවැනි සංවිධානයකට නින්දා කිරීම යන සියල්ල මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක්.”

ආර්මේනියාවේ නඩු විභාගයේදීත් අපිට පක්ෂව තීන්දුවක් ලැබුණා. හෘදය සාක්ෂියට එකඟව යුද්ධයට හවුල් නොවී සිටීමට කෙනෙකුට අයිතියක් තිබෙනවා. නමුත් යුරෝපීය මානව හිමිකම් කොමිසම 1965 සිට එම අයිතිවාසිකම රැක දී නැති බව යුරෝපීය මානව හිමිකම් අධිකරණය පැවසුවා. මානව හිමිකම් පිළිබඳ අධිකරණයේ මහා විනිසුරු මඩුල්ල නියෝග කළේ කෙනෙක් තම හෘදය සාක්ෂියට එකඟව යුධ හමුදාවට බැඳෙන්න අකමැති නම් ඒ අයිතිය යුරෝපීය මානව හිමිකම් කොමිසම මගින් රැක දිය යුතු බවයි. එම තීන්දුවට අනුව ආර්මේනියාව, අසර්බයිජානය හා තුර්කිය වැනි රටවල් එම අයිතිවාසිකමට ගරු කළ යුතුයි.

ඉදි කිරීමේ ව්‍යාපෘති

ඊළඟට කතා කළේ පාලක මණ්ඩලයේ සහෝදර ගයි පියර්ස්. ඔහු පැවසුවේ නිව් යෝර්ක්වල ඉදි කිරීමේ ව්‍යාපෘතියට සිදු වන දේ ගැන දැනගැනීමට සියලුදෙනාම කුතුහලයෙන් සිටින බවයි. වෝල්කිල් හා පැටර්සන් වගේම ළඟදී මිල දී ගත් වෝර්වික් හා ටක්සීඩෝ ඉඩම්වල සිදු වන දේ ගැන ඒ අවස්ථාවේදී විඩියෝ දර්ශන පෙන්නුවා. වෝල්කිල්වල කාමර 300කට වඩා වැඩි අලුත් නේවාසික ගොඩනැඟිල්ලක වැඩ 2014දී නිම කිරීමට බලාපොරොත්තු වෙනවා.

වෝර්වික්වල අක්කර 248 ඉඩම ගැන සහෝදර පියස් කිව්වේ මෙසේයි. “දැනට ඉඩම සංවර්ධනය කරමින් පවතිනවා. යෙහෝවා දෙවි කැමති නම් අපේ ලෝක මූලස්ථානය එතන්ට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා.” ඊට කිලෝමීටර් 10කට උතුරින් තිබෙන අක්කර 50ක ඉඩම වෙන් කර තිබෙන්නේ ඉදි කිරීම් යන්ත්‍ර හා ගොඩනැඟිලි ද්‍රව්‍ය ගබඩා කිරීමටයි. “වෝර්වික්වල වැඩ පටන්ගන්න අවසර ලැබුණට පස්සේ අවුරුදු හතරක් ඇතුළත ඒ කටයුතු ඉවර කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊටපස්සේ බෘක්ලින්වල තියෙන ගොඩනැඟිලි ටික විකුණන්න අපිට පුළුවන්” කියාත් ඔහු කිව්වා.

ඔහු මේ වගේ දෙයකුත් ඇසුවා. “මේ සැලසුම්වලින් අදහස් වෙන්නේ මහත් පීඩාව එන්න තව ගොඩක් කල් තියෙනවා කියලා පාලක මණ්ඩලය හිතනවා කියන එකද?” ඔහුම ඒකට උත්තරය දුන්නේ “කොහෙත්ම නැහැ. ඉදි කරන ගමන්ම මහත් පීඩාව ආවොත් නියමයිනේ” කියලයි.

ගොරවන සිංහයාගෙන් පරෙස්සම් වෙන්න

පාලක මණ්ඩලයේ තවත් සහෝදරයෙකු වූ ස්ටීවන් ලෙට් කතාව පටන්ගත්තේ “සිහිකල්පනාව ඇතුව සිටින්න. සෝදිසියෙන් සිටින්න. ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින් ඔබ මොබ ඇවිදියි” කියා 1 පේතෘස් 5:8 සඳහන් වන කාරණය පැහැදිලි කරමිනුයි. ඔහු සාතන්ගේ ගතිලක්ෂණ සිංහයාගේ සමහර ගතිලක්ෂණ සමඟ සැසඳුවා.

අපේම ශක්තියෙන් සාතන් සමඟ සටන් කිරීමට නොහැකි නිසා යෙහෝවා දෙවිගේ උපකාරය අවශ්‍යයි. (යෙසා. 40:31) සිංහයෙක් හොර රහසේ පැමිණ සතෙකුව ගොදුරු කරගන්නවා වගේ දෙවිගෙන් ඈත්ව සිටියොත් සාතන් අපිවත් ලේසියෙන් ගොදුරු කරගන්නවා. සිංහයා අහිංසක සතුන්ව මරා දමනවා හා සමානව සාතන් අපිව දෙවිගෙන් ඈත් කර සදාකාල ජීවනය නැති කරන්න උත්සාහ කරයි. සිංහයෙක් සතෙකුව ඉරාගෙන කෑවට පස්සේ ඒ සතා මොකෙක්ද කියා හඳුනාගන්න බැහැ. ඒ වගේම සාතන්ට ගොදුරු වූ කෙනෙකුගේ ‘අවසන් තත්වයත් මුලින් සිටි තත්වයට වඩා ඉතා භයානකයි.’ (2 පේතෘ. 2:20) ඒ නිසා අපි බයිබල් ප්‍රමිතිවලට ඇලී සිටිමින් සාතන්ට විරුද්ධව සිටීමට දැඩි අධිෂ්ඨානයක් ගත යුතුයි.—1 පේතෘ. 5:9.

ඔබට හිමි තැන අගය කරන්න

“දෙවිගේ ගෘහයේ අපි සැමට නිශ්චිත තැනක් තිබෙනවා” කියා පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන සැමුවෙල් හර්ඩ් පැවසුවා. යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන දෙවි පිළිගන්නා ආකාරයට නමස්කාර කරන්න අපි සැමට පුළුවන්. එය මොන තරම් වරප්‍රසාදයක්ද! ඒ නිසා දාවිත් මෙන් අපිත් ‘අපේ ජීවිතයේ සියලු දවස්වලදී යෙහෝවා දෙවිගේ ගෘහයේ සිටින්න’ කැමති වෙමු.—ගීතා. 27:4.

ගීතාවලිය 92:12-14ට යොමු දක්වමින් යෙහෝවා දෙවි තම නමස්කාරය තුළ අපිට වැඩෙන්න සලස්වන ආකාරය ඔහු මෙසේ විස්තර කළා. “දෙවි අපිව ආදරෙන් රැකබලා ගන්නවා. අපිට සත්‍යය අවබෝධ කර දෙනවා. ඒ නිසා ටික කලකට නොව සදහටම දෙවිගේ ගෘහය එනම් දෙවිගේ නමස්කාරය තුළ රැඳී ඉන්න අපි අධිෂ්ඨාන කරගනිමු.”

සැබෑ ක්‍රිස්තියානීන් දේවවචනයට ගරු කරනවා

පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන ඩේවිඩ් ස්ප්ලේන් පැවසුවේ සැබෑ ක්‍රිස්තියානීන් දේවවචනයට නිරතුරුවම ගරු කරනවා කියායි. මුල් සියවසේදී ඔවුන් චර්මච්ඡේදනය සම්බන්ධ ප්‍රශ්නය විසඳුවේ දේවවචනය මත රඳා සිටීමෙන්. (ක්‍රියා 15:16, 17) දෙවෙනි සියවසේදී ක්‍රිස්තියානීන්යයි කියාගත් සමහරුන් බයිබලයට වඩා උසස් කොට සැලකුවේ ග්‍රීක දර්ශනවාදයයි. පසු කාලයක පල්ලිවල උගන්වන්න පටන්ගත්තේ රෝම අධිරාජ්‍යයන්ගේ හෝ පල්ලි නායකයන්ගේ ඉගැන්වීම් මිස බයිබලයේ තිබෙන ඉගැන්වීම් නෙවෙයි.

යේසුස් දුන් උපමාවකින් පැහැදිලි වුණේ මුල් සියවසේ සිට සෑම කාලයකම සත්‍යය වෙනුවෙන් නිර්භීතව නැඟී සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සිට ඇති බවයි කියා සහෝදර ස්ප්ලේන් පැවසුවා. (මතෙ. 13:24-30) ඔවුන් කවුද කියා නිශ්චිතව කියන්න අපිට බැහැ. නමුත් ඔවුන් පල්ලියේ බොරු ඉගැන්වීම් හා වත්පිළිවෙත්වලට විරුද්ධව නිර්භීතව කතා කළා. නවවන සියවසේ ප්‍රංශයේ ජීවත් වූ අගරදගුරු ඇගොබාඩ්, 12වන සියවසේදී ප්‍රංශයේ බ්‍රී නගරයේ ජීවත් වූ පීටර් හා ලෝසන් නගරයේ ජීවත් වූ හෙන්රි එසේ කළ අයයි. ඒ සියවසේම සිටි වොල්ඩෝ තවත් එවැනි කෙනෙක්. දහහතරවෙනි සියවසේ සිටි ජෝන් වයික්ලිෆ්, 16වන සියවසේ සිටි විලියම් ටින්ඩේල්, 19වන සියවසේ සිටි හෙන්රි ගෲ සහ ජෝර්ජ් ස්ටෝර්ස් වැනි අයද බයිබලයේ සඳහන් සත්‍යය වෙනුවෙන් නිර්භීතව කතා කළා. අද සිටින සාක්ෂිකරුවන්ද සත්‍ය ඉගැන්වීම්වල පදනම බයිබලය ලෙස විශ්වාස කරනවා. පාලක මණ්ඩලය 2012 වාර්ෂික පදය ලෙස “ඔබ පවසන දේ සත්‍යයයි” යන යේසුස්ගේ වචන යොදාගෙන තිබෙන්නේ ඒ නිසයි.—යොහ. 17:17.

සේවයට පුහුණු කිරීම

පාලක මණ්ඩලයේ සහෝදර ඇන්තනි මොරිස් මිෂනාරිවරුන්ව හා විශේෂ පුරෝගාමීන්ව පුහුණු කිරීම සඳහා කළ අලුත් වෙනස ගැන නිවේදනය කළා. වර්ෂ 2012 සැප්තැම්බර් සිට රටවල් කිහිපයක විවාහක යුවළයන් සඳහා බයිබල් පාසැල පැවැත්වීමට නියමිතයි. ඊට අමතරව ගිලියද් පාසැලෙත් යම් වෙනස්කම් කර තිබෙනවා. ගිය අවුරුද්දේ ඔක්තෝබර් සිට ගිලියද් පාසැලට ආරාධනා කළේ ඒ වන තෙක් විශේෂ පූර්ණකාලීන සේවයේ යෙදී සිටි විශේෂ පුරෝගාමීන්, සංචාරක සේවකයන් හා බෙතෙල් සේවකයන් යන අයයි. පුහුණුව ලැබුවායින් පසු එවැනි අයට ශාඛා කාර්යාලවල සේවය කරමින් හෝ සංචාරක සේවයේ යෙදෙමින් දෙවිගේ සෙනඟව ශක්තිමත් කළ හැකියි. එසේත් නැත්නම් ජනයා බහුලව සිටින ප්‍රදේශවල ඇති සභා සමඟ දේශනා සේවයේ පෙරමුණ ගැනීමට ඔවුන්ට හැකි වෙයි.

ඊට අමතරව අලුත් පුරෝගාමීන්ව පත් කර සභා නැති ප්‍රදේශවලට යවනවා. වර්ෂ 2012 ජනවාරි මාසයේ 1වෙනිදා සිට තනිකඩ සහෝදරයන් සඳහා බයිබල් පාසැලෙන් හා විවාහක යුවළයන් සඳහා බයිබල් පාසැලෙන් පුහුණුව ලැබූ අයව සභාවන් නැති ප්‍රදේශවලට ගොස් සේවය ආරම්භ කිරීමට තාවකාලික විශේෂ පුරෝගාමීන් ලෙස පත් කරනවා. පැවරුම ලැබෙන්නේ අවුරුද්දකටයි. සමහරවිට අවුරුදු තුනක් දක්වා එම පැවරුමේ සිටින්න ඔවුන්ට අවස්ථාව ලැබෙයි. සාර්ථක පල ලබන අයගේ පැවරුම ස්ථිර කිරීමටත් ඉඩ තිබෙනවා.

වර්ෂ 2011 වාර්ෂික රැස්වීම ප්‍රීතිමත් අවස්ථාවක් වුණා. අපේ දේශනා සේවය වැඩි කිරීමටත් අපේ එක්සත්කම වර්ධනය කිරීමටත් අපි දරන වෑයමට යෙහෝවා දෙවි ආශීර්වාද කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සියල්ලෙන් දෙවිට ගෞරවය හා ප්‍රශංසාව ලැබෙයි.

[18, 19වන පිටුවේ පින්තූර/කොටුව]

ඔවුන්ව දැන හඳුනා ගත්තා

මරීනා සිඩ්ලික්, ඊඩිත් සූටර්, මෙලිටා ජැරස්, මෙල්බා බැරි හා සිඩ්නි බාබ. ඔවුන් පාලක මණ්ඩලයේ මියගිය සහෝදරයන් පස්දෙනෙකුගේ භාර්යාවන්. වාර්ෂික රැස්වීමේදී එම සහෝදරියන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. සත්‍යය ඉගෙනගත් ආකාරයත් පූර්ණකාලීන සේවය ආරම්භ කළේ කොහොමද කියාත් එහිදී ඔවුන් විස්තර කළා. ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් සමඟ ගත කළ ප්‍රීතිමත් කාලය ගැනත් ලැබූ ආශීර්වාද ගැනත් එක් එක් කෙනා පැවසුවා. එම සම්මුඛ සාකච්ඡාව අවසන් කළේ “ගුණ යහපත් සහෝදරියන්” නමැති ගීතිකා අංක 86 ගායනා කිරීමෙන්.

[පින්තූර]

(ඉහළ) ඩැනියල් සිඩ්ලික් හා මරීනා සිඩ්ලික්; ග්‍රාන්ට් සහ ඊඩිත් සූටර්; තියඩෝර් හා මෙලීටා ජැරස්

(පහළ) ලොයිඩ් හා මෙල්බා බැරි; කේරි හා සිඩ්නි බාබර්

[16වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

මෙක්සිකෝ ශාඛා කාර්යාලයට තවත් ශාඛා කාර්යාල හයක් එකතු කළා

මෙක්සිකෝ

ග්වාතමාලාව

හොන්ඩ්‍යුරාස්

එල් සැල්වඩෝර්

නිකරගුවාව

කොස්ටාරිකා

පැනමා

[17වන පිටුවේ පින්තූරය]

නිව් යෝර්ක් වෝර්වික්හි සෑදීමට යන ලෝක මූලස්ථානය