Skip to content

පටුනට යන්න

පාරාදීසයට ඇතුල් වීමට පෙර

පාරාදීසයට ඇතුල් වීමට පෙර

‘ඔබ අන්ධකාරයෙහි සිටින අය නොවෙයි. ඒ නිසා හිරු උදා වීමෙන් අවදානමකට ලක් වන සොරෙකු මෙන් ඔබ ඒ දවසේදී අවදානමකට ලක් වන්නේ නැහැ.’—1 තෙස. 5:4.

1. අභියෝග ජය ගන්න උදව් වෙන්නේ මොකක්ද?

ළඟදීම මුළු මිනිස් වර්ගයාටම කවදාවත් නොසිතූ සිදුවීම්වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒවා අනිවාර්යයෙන්ම සිදු වෙන බවට සාක්ෂි දැනටමත් ඉටු වී තිබෙන බයිබල් අනාවැකි මගින් සපයනවා. අනාගතයේ සිදු වන දේවල් ගැන කතා කරද්දී පාවුල් දිරිගැන්නුවේ ‘නොපෙනෙන දේවල් දෙස බලා සිටින්න’ කියායි. අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වීම වුණත් පොළොවේ ජීවත් වීම වුණත් අපි නිතරම සෝදිසියෙන් ඉන්න ඕනේ. විශ්වාසවන්තව සිටීමෙන් ලැබෙන ත්‍යාගය දෙස අපේ මනස යොමු කර තබාගැනීමෙන් පීඩා හා අභියෝග ජය ගන්න අපිට පුළුවන්.—2 කොරි. 4:8, 9, 16-18; 5:7.

2. (අ) බලාපොරොත්තුව ශක්තිමත් කරගැනීමට අප කළ යුත්තේ මොකක්ද? (ආ) මේ ලිපියෙන් හා අනික් ලිපියෙන් බලන්නේ මොනවාද?

2 පාවුල් කී එම දෙයින් වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. අපේ බලාපොරොත්තුව ශක්තිමත් කරගන්න නම් අපි පෙනෙන දෙයින් ඔබ්බට බලන්න අවශ්‍යයි. එනම් ඇසට නොපෙනෙන දේවල් ගැන අපි අවධානය දිය යුතුයි. (හෙබ්‍රෙ. 11:1; 12:1, 2) අපේ බලාපොරොත්තුව ශක්තිමත් කරවන හා ළඟදීම සිදු වන දේවල් දහයක් ගැන දැන් අපි සාකච්ඡා කරමු. *

අවසානයට පෙර සිදු වෙන්නේ මොනවාද?

3. (අ) පළවෙනි තෙසලෝනික 5:2, 3 සඳහන් අනාගත සිදුවීම මොකක්ද? (ආ) ඒ ගැන ලෝක නායකයන් කරන්නේ මොනවාද? ඔවුන් සමඟ එක් වීමට ඉඩ තිබෙන්නේ කවුද?

3 ළඟදීම සිදු වන දේවල් අතරින් එකක් ගැන පාවුල් තෙසලෝනිකවරුන්ට ලිව්වා. (1 තෙසලෝනික 5:2, 3 කියවන්න.) එහි සඳහන් කරන “යෙහෝවා දෙවිගේ දවස” ආරම්භ වෙන්නේ සියලුම අසත්‍ය ආගම් විනාශ කිරීමත් සමඟයි. ඒ දවස අවසන් වෙන්නේ හර්–මගෙදොන් යුද්ධයෙනුයි. එය ආරම්භ වීමට කලින් ලෝක නායකයන් “මෙන්න, සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියා පවසයි. එය එක් සිද්ධියක් හෝ සිද්ධීන් කිහිපයක් අළලා ලෝක ව්‍යාප්ත මට්ටමින් කරන ප්‍රකාශයක් විය හැකියි. උදා වෙයි කියා සිතන සාමය නිසා ජනයාගේ ප්‍රධාන ප්‍රශ්න රැසකට ළඟදීම විසඳුම් ලබා දෙන්න පුළුවන් කියාත් එම ලෝක නායකයන් සිතයි. ඒ සම්බන්ධයෙන් ආගමික නායකයන් මොනවා කරයිද? සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා කියා පැවසීමට ඒ අයත් ලෝක නායකයන් සමඟ එක් වීමට ඉඩ තිබෙනවා. (එළි. 17:1, 2) එම ආගමික නායකයන් කටයුතු කරන්නේ “සාමය නැති විටදී පවා, ‘දැන් සාමය පැමිණ ඇත! සාමය පැමිණ ඇත’ කියා පැවසූ යූදා දේශයේ සිටි බොරු අනාගතවක්තෘවරුන් වගෙයි.—යෙරෙ. 6:14; 23:16, 17.

4. ලෝකයේ සිටින බොහෝදෙනෙක් දන්නේ නැති වුණත් අපි දන්නේ මොකක් ගැනද?

4 “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියා ප්‍රකාශ කරන්න කවුරු සම්බන්ධ වුණත් එය දෙවිගේ මහත් දවසේ ආරම්භය ඔන්න මෙන්න බවට ලකුණක්. ඒ නිසයි පාවුල් මෙහෙම කිව්වේ. ‘සහෝදරයෙනි, ඔබ අන්ධකාරයෙහි සිටින අය නොවෙයි. ඒ නිසා හිරු උදා වීමෙන් අවදානමකට ලක් වන සොරෙකු මෙන් ඔබ ඒ දවසේදී අවදානමකට ලක් වන්නේ නැහැ. මන්ද ඔබ සියලුදෙනාම ආලෝකයේ දරුවෝය.’ (1 තෙස. 5:4, 5) අද සිදු වන දේවලට හේතුව මොකක්ද කියා ලෝකයේ සිටින බොහෝදෙනෙක් දන්නේ නැති වුණත් අපි ඒ ගැන බයිබලයෙන් ඉගෙනගෙන තිබෙනවා. “සාමය සහ සුරක්ෂිතභාවය” ගැන අනාවැකිය ඉටු වෙන්නේ කොහොමද කියා අපි උනන්දුවෙන් බලා සිටිමු. ඒ දක්වා අවදිව සිහි කල්පනාවෙන් සිටීමට අපි සියලුදෙනා අධිෂ්ඨාන කරගමු.—1 තෙස. 5:6; ශෙප. 3:8.

‘රැජිණකගේ’ වැටීම

5. (අ) “මහත් පීඩාව” ආරම්භ වෙන්නේ කොහොමද? (ආ) තමාට කවදාවත් හානියක් වෙන්නේ නැහැ කියා සිතන “රැජිණ” කවුද?

5 ඊළඟට සිදු වන දේ ගැන පාවුල් පවසන්නේ මෙයයි. ‘මෙන්න, සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා කියා පවසමින් සිටින විට නොදැනුවත්වම හදිසි විනාශයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වෙයි.’ මෙම හදිසි විනාශයේ මුල් අදියරේදී “ගණිකාව” ලෙසත් “මහ බැබිලෝනිය” ලෙසත් හඳුන්වන ලොව පුරා තිබෙන අසත්‍ය ආගම් විනාශයට පත් වෙනවා. (එළි. 17:5, 6, 15) තමන් ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම් ඇතුළු සියලුම අසත්‍ය ආගම් ඊට ඇතුළත්. ‘මහත් පීඩාවේ’ ආරම්භය එයයි. (මතෙ. 24:21; 2 තෙස. 2:8) එම විනාශය දකින බොහෝදෙනෙක් පුදුමයට පත් වෙයි. ඊට හේතුව වන්නේ එතෙක් එම ගණිකාව තමන් “රැජිණක්” කියා සිතමින් ‘තමන්ට කවදාවත් වැලපෙන්න සිදු වෙන්නේ නැහැ’ කියා සිතීමයි. නමුත් තමාට හොඳටම වැරදී ඇති බව තේරුම්ගන්නා විට ඇය ප්‍රමාද වැඩියි. ඇය මුහුණ දෙන පීඩා “එකම දවසේ” පැමිණෙනවා කියා කීමෙන් අදහස් වෙන්නේ ඇගේ විනාශය ඉතාම වේගයෙන් සිදු වන බවයි.—එළි. 18:7, 8.

6. අසත්‍ය ආගම් විනාශ වෙන්නේ කා අතින්ද?

6 ඇයට පහර දෙන්නේ “අං දසයක්” ඇති ‘රතු පැහැති මෘගයෙක්’ බව බයිබලයේ සඳහන් වෙනවා. * මෙම මෘගයාගෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අං දසයෙන් එක්සත් ජාතීන්ට සහයෝගය දෙන සියලුම ආණ්ඩුත් නියෝජනය වන බව එළිදරව් පොත අධ්‍යයනය කරද්දී දැනගන්න පුළුවන්. (එළි. 17:3, 5, 11, 12) එම පහර දීම කොයි තරම් විනාශකාරී වෙයිද? එක්සත් ජාතීන්ට අයත් ආණ්ඩු ගණිකාව සතු සියලුම ධනසම්පත් අත් පත් කරගෙන ඇගේ පව්කාර ක්‍රියාවන් හෙළි කර අවසානයේදී ඇයව ‘සහමුලින්ම ගින්නෙන් දවා දමයි.’ එවිට කිසිම අසත්‍ය ආගමක් ඉතුරු වෙන්නේ නැහැ.—එළිදරව් 17:16 කියවන්න.

7. ගණිකාවට පහර දෙන්න “මෘගයා” පෙලඹෙන්නේ ඇයි?

7 මේ පහර දීම සිදු වෙන්නේ කොහොමද? “දෙවි තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට” යම් ආකාරයකින් පාලකයන්ව පොලඹවන බව බයිබල් අනාවැකිවල සඳහන් වෙනවා. දෙවිගේ අරමුණ වෙන්නේ ගණිකාව විනාශ කිරීමයි. (එළි. 17:17) යුද්ධවලට අනුබල දෙන ආගම්, පාලකයන්ට අභියෝගයක්. ඒ නිසා එම ආගම් විනාශ කිරීමෙන් ලෝකයට සෙතක් සැලසෙයි කියා ඔවුන් සිතනවා. මේ ආකාරයට ආගම්වලට පහර දෙන්නේ තමන්ගේ කැමැත්ත පරිදියි කියා ඔවුන් සිතුවත් ඇත්තටම එසේ කිරීමට ඔවුන්ව පාවිච්චි කරන්නේ යෙහෝවා දෙවියි. ඔහු සාතන්ගේ ලෝකයේ එක් කොටසක් යොදාගෙන තවත් කොටසක් විනාශ කර දමයි. එය නවත්වන්න සාතන්ට කොහෙත්ම බැහැ. ඔහුට සිදු වෙන්නේ බලා ඉන්න විතරයි.—මතෙ. 12:25, 26.

දෙවිගේ සෙනඟට ප්‍රහාරයක්!

8. මාගොග් දේශයේ ගොග්ගේ ප්‍රහාරය ලෙස හඳුන්වන්නේ මොකක්ද?

8 අසත්‍ය උගන්වන ආගම් සියල්ලම විනාශ කළ පසු දෙවිගේ සෙනඟ ‘සුරක්ෂිතව වාසය කරන බවත් ඔවුන් වටා පවුරක් නැති’ බවත් දකින්න ලැබෙයි. (එස. 38:11, 14) බැලූ බැල්මට ආරක්ෂාවක් නැහැ වගේ පෙනෙන මේ සෙනඟට සිදු වෙන්නේ මොකක්ද? ‘අතිවිශාල හමුදාවක්’ දෙවිගේ සෙනඟට විරුද්ධව නැඟී සිටිනවා. එය සිදු වන්නේ කොයි විදිහටද කියා අපි දන්නේ නැහැ. කොහොමවුණත් ඒ අවස්ථාව බයිබලයේ විස්තර කර තිබෙන්නේ ‘මාගොග් දේශයේ ගොග්ගේ’ ප්‍රහාරය ලෙසයි.—එසකියෙල් 38:2, 15, 16 කියවන්න.

9. (අ) අපි වැදගත්ම දේ ලෙස සැලකිය යුත්තේ මොකක්ද? (ආ) විශ්වාසය ශක්තිමත් කරගැනීමට අපි දැන් සිටම කළ යුත්තේ මොනවාද?

9 එම ප්‍රහාරය අප සැලකිය යුත්තේ කොහොමද? ඒ ප්‍රහාරය ගැන අපි දැනුවත්ව සිටින නිසා අනවශ්‍ය ලෙස කලබල වෙන්න ඕන නැහැ. අපේ ගැලවීම ගැන සිතනවාට වඩා අපිට වැදගත් වෙන්නේ යෙහෝවා දෙවිගේ නාමයට ඇති වී තිබෙන කළැල ඉවත් කර විශ්වය පාලනය කිරීමට ඔහුට ඇති අයිතිය තහවුරු කරනවා දැකීමයි. “මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා” කියා බයිබලයේ 60 වතාවකට වඩා සඳහන් කර තිබෙන්නේ ඒ නිසයි. (එස. 6:7) එහි ඉටු වීම අපි බලා සිටින්නේ මහත් ඕනෑකමින්. ඒ වගේම යෙහෝවා දෙවි ‘තමාට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නා’ බවත් අපි තදින් විශ්වාස කරනවා. (2 පේතෘ. 2:9) අපිට මොන තත්වයකට මුහුණ දෙන්න සිදු වුණත් දෙවිට පක්ෂපාතව සිටීම සඳහා අපේ විශ්වාසය ශක්තිමත් කරගැනීමට කළ හැකි සෑම දෙයක්ම කරමු. ඊට ඇතුළත් වෙන්නේ මොනවාද? යාච්ඤා කිරීම, බයිබලය අධ්‍යයනය කර ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීම හා දේවරාජ්‍යය ගැන අන් අයට දේශනා කිරීමයි. එසේ කරද්දී සදාකාල ජීවනය පිළිබඳ අපේ බලාපොරොත්තුව ශක්තිමත් වෙනවා. ඒ බලාපොරොත්තුව නොසැලී දෙවිට විශ්වාසවන්තව සිටීමට “නැංගුරමක්” වගෙයි.—හෙබ්‍රෙ. 6:19; ගීතා. 25:21.

යෙහෝවා කවුද කියා ජාතීන් දැනගනියි

10, 11. හර්–මගෙදොන් යුද්ධය පටන්ගන්නේ මොන සිද්ධියෙන්ද? යුද්ධය අතරතුරේ සිදු වෙන්නේ මොකක්ද?

10 දෙවිගේ සෙනඟට පහර දෙන්න හදනකොටම සිදු වන දේ ගැන සිතා බලන්න. තම සෙනඟට උපකාර කිරීමට යෙහෝවා දෙවි යේසුස්ව හා ස්වර්ගයේ සේනාව එවනවා. (එළි. 19:11-16) දෙවි එසේ මැදිහත් වීම හර්–මගෙදොන් හෙවත් ‘දෙවිගේ මහත් දවසේ යුද්ධය’ ලෙස හඳුන්වනවා.—එළි. 16:14, 16.

11 ගොග්ට විරුද්ධව කරන යුද්ධය ගැන දෙවි පැවසුවේ මෙහෙමයි. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මම ගොග්ට විරුද්ධව කඩුවක් එවන්නෙමි. ඒ කඩුව මාගේ දේශයේ සියලු කඳු වෙතට ගොස් ගොග්ගේ සෙනඟට පහර දෙන්නේය. එවිට එක් එක් කෙනා තම තමාගේ සහෝදරයාට කඩුවෙන් පහර දෙනු ඇත.” එවිට සාතන්ගේ පැත්තේ ඉන්න අය භයින් වියවුල් වී ඔවුනොවුන්ව මරාගැනීමට පටන්ගනියි. දෙවි මෙහෙමත් කිව්වා. “ගින්නෙන් හා ගෙන්දගම්වලින් මම ඔවුන්ට පහර දෙන්නෙමි.” (එස. 38:21, 22) දෙවිගේ මේ මැදිහත් වීමෙන් ඇති වන ප්‍රතිඵලය මොකක්ද?

12. ජාතීන්ට අනිවාර්යයෙන්ම පිළිගන්න සිදු වෙන්නේ මොකක්ද?

12 සාතන්ගේ පැත්තේ ඉන්න අය තමන්ව විනාශ කරන්නේ යෙහෝවා දෙවි බව දැනගන්නවා. රතු මුහුද දක්වා ඊශ්‍රායෙල්වරුන්ව ලුහුබැන්ද ඊජිප්තු හමුදාව මෙන් ඔවුන් මෙසේ කියන්න ඉඩ තිබෙනවා. “යෙහෝවා දෙවි සැබවින්ම ඔවුන් වෙනුවෙන් සටන් කරනවා.” (නික්. 14:25) යෙහෝවා කවුද කියා එදාට සියලු ජාතීන් දැනගනියි. (එසකියෙල් 38:23 කියවන්න.) ඒ දවස කොතරම් ළඟද?

මිනිස් පාලනය අවසන් වෙයි!

13. දානියෙල් විස්තර කළ රූපයේ පස්වෙනි කොටස ගැන අපි දන්නේ මොනවාද?

13 අපි සිටින්නේ මහත් පීඩාවට කොතරම් ආසන්නවද කියා දානියෙල් කිවූ අනාවැකියකින් තේරුම්ගන්න පුළුවන්. විවිධ ලෝහවලින් සෑදූ මිනිස් රූපයක් ගැන දානියෙල් පැවසුවා. (දානි. 2:28, 31-33) ඈත අතීතයේ සිට මේ වන තෙක් දෙවිගේ සෙනඟට විශාල බලපෑමක් කළ හා කරන ලෝක බලයන් ඉන් නියෝජනය වෙනවා. බැබිලෝනිය, මේදිය සහ පර්සියාව, ග්‍රීසිය, රෝමය වගේම මේ කාලයේ පවතින අවසාන ලෝක බලයත් ඊට ඇතුළත්. දානියෙල්ගේ අනාවැකියට අනුව රූපයේ පාද සහ ඇඟිලිවලින් නියෝජනය වෙන්නේ අවසාන ලෝක බලයයි. පළවෙනි ලෝක මහා යුද්ධය කාලයේදී ඇමරිකා එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය විශේෂ දේශපාලනික බැඳීමක් ඇති කරගෙන ලෝක අධිරාජ්‍යයක් ලෙස මතු වුණා. රූපයේ පස්වෙනි කොටසින් නියෝජනය වෙන්නේ එම බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු අධිරාජ්‍යයයි. රූපයේ පාදවලින් පසුව තවත් කොටසක් නැති නිසා ඉන් පෙනී යන්නේ ඉන් එහාට තවත් ලෝක බලයක් මතු වෙන්නේ නැති බවයි. එහි පාදයේ අග කොටස සෑදී තිබෙන්නේ යකඩ සහ මැටි කළවම් වීමෙන් නිසා බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු අධිරාජ්‍යයේ බලය දුර්වල වී ඇති බව ඉන් අදහස් වෙනවා.

14. හර්–මගෙදොන් යුද්ධය සිදු වන විට මේ ලෝකය පාලනය කරමින් සිටින්නේ මොන ලෝක බලයද?

14 දානියෙල් පැවසූ අනාවැකියේ කන්දක් හා ඉන් ගැලවී එන ගලක් ගැන සඳහන් වෙනවා. එම කන්දෙන්, පාලනය කිරීමට දෙවිට ඇති අයිතියත් කන්දෙන් ගැලවී එන විශාල ගලෙන් දේවරාජ්‍යයත් නියෝජනය වෙනවා. එම ගල කන්දෙන් ගැලවී ආවේ, එනම් දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටෙව්වේ 1914දියි. ඉතාම ළඟදී එම ගල රූපයේ පාදවලට වැදීමට නියමිතයි. හර්–මගෙදොන් යුද්ධයේදී එම පාද හා රූපයේ ඉතුරු කොටස් සම්පූර්ණයෙන්ම සුනුවිසුනු කර දමනවා. (දානියෙල් 2:44, 45 කියවන්න.) ඒ අනුව හර්–මගෙදොන් යුද්ධය සිදු වන විට මේ පොළොව පාලනය කරමින් සිටින්නේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු අධිරාජ්‍යය බව පැහැදිලියි. එම අනාවැකිය ඉටු වන තුරු අප බලා සිටින්නේ මහත් ආශාවෙන්. * නමුත් සාතන්ට සිදු වෙන්නේ මොකක්ද?

සිංහයාගේ ගෙරවිල්ල නවතියි!

15. හර්–මගෙදොන් යුද්ධය අවසන් වෙනවාත් සමඟම සාතන්ටත් භූතයන්ටත් සිදු වෙන්නේ මොකක්ද?

15 සාතන්ට සිද්ධ වෙන්නේ තමාගේ ඇස් ඉදිරිපිටම තම සංවිධානය විනාශ වෙන හැටි බලා ඉන්නයි. ඉන්පසු ඔහුට සිදු වෙන දේ යොහන් වාර්තා කරනවා. (එළිදරව් 20:1-3 කියවන්න.) ‘අගාධයේ යතුර අතැතිව ස්වර්ගයෙන් බැස එන දේවදූතයා’ වන යේසුස් සාතන්වත් ඔහුගේ භූතයන්වත් අවුරුදු 1,000කට අගාධයට හෙළනවා. (ලූක් 8:30, 31; 1 යොහ. 3:8) එම සිද්ධියත් සමඟ සර්පයාගේ හිස පොඩි කිරීම ආරම්භ වෙනවා. *උත්. 3:15.

16. සාතන්ව අගාධයට හෙළනවා කීමෙන් අදහස් කරන්නේ මොකක්ද?

16 සාතන් හා ඔහුගේ භූතයන්ව හෙළන ‘අගාධය’ මොකක්ද? අගාධය කියද්දී මනසේ ඇඳෙන්නේ පතුලක් නොපෙනෙන ඉතාම ගැඹුරු වළක්. සාතන්ව එම අගාධයට දැමූ පසු යෙහෝවා දෙවිට හා යේසුස්ට හැර වෙන කිසිවෙකුට ඔහුව ඉන් නිදහස් කරන්න බැහැ. එම අගාධය ඇත්ත වළක් නෙවෙයි. නමුත් ‘ජාතීන්ව තවදුරටත් නොමඟ යැවීමට බැරි’ වන ලෙස සාතන්ව කිසිවක් කර කියාගත නොහැකි අක්‍රියාශීලී තත්වයකට පත් කිරීම අගාධයට හෙළනවා කීමෙන් අදහස් කරනවා. එවිට ‘සිංහයාගේ ගෙරවිල්ල’ නවතියි!—1 පේතෘ. 5:8.

පාරාදීසයට ඇතුල් වීමට පෙර . . .

17, 18. (අ) අපි සාකච්ඡා කළේ ඉදිරියේදී සිදු වීමට නියමිත මොන දේවල් පහද? (ආ) ඉන්පසුව ආරම්භ වෙන්නේ මොකක්ද?

17 ළඟදීම මිනිස් ඉතිහාසයේ ලොකු පෙරළියක් සිදු වීමට නියමිතයි. “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියා ප්‍රකාශ කිරීම! අසත්‍ය ආගම්වල විනාශය! මාගොග් දේශයේ ගොග්ගේ ප්‍රහාරය! හර්–මගෙදොන් යුද්ධය! සාතන්ව හා භූතයන්ව අගාධයට හෙළීම! මේ දේවල් සිදු වෙන්නේ කොහොමද කියා අපි ආශාවෙන් බලා සිටිනවා. මේ සිදුවීම් සියල්ලෙන් පසු උදා වෙන්නේ දුෂ්ටකම් නැති යේසුස්ගේ දහස් අවුරුදු පාලනයයි. ඒ කාලයේදී ‘දසත පැතිරී තිබෙන සාමය නිසා අපිට මහත් සේ ප්‍රීති වෙන්න පුළුවන්.’ (ගීතා. 37:10, 11) මිනිස් ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළෙන ඒ කාලයේදී අපේ ජීවිතවල මොන තරම් වෙනසක් සිදු වෙයිද!

18 අපේ ඇසට ‘නොපෙනෙන දේවල්’ එනම් ඉදිරියේදී සිදු වීමට නියමිත දේවල් පහක් අපි මේ ලිපියෙන් සාකච්ඡා කළා. තවත් දේවල් සිදු වීමට නියමිතයි. ඒවා ගැන ඊළඟ ලිපියෙන් බලමු.

^ 2 ඡේ. සිදුවීම් පහක් මේ ලිපියෙත් ඉතුරු පහ ඊළඟ ලිපියෙත් සඳහන් වෙයි.

^ 6 ඡේ. එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි! යන පොතේ 251-258 දක්වා පිටු බලන්න.

^ 14 ඡේ. “ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි” කියා දානියෙල් 2:44 සඳහන් වෙනවා. ‘ඒ රාජ්‍යයන්වලට’ රූපයේ සඳහන් සියලුම ලෝක අධිරාජ්‍යයන් ඇතුළත්. තවත් අනාවැකියක අවසාන කාලයේදී ‘මුළු ලොව පුරාම සිටින රජුන් සියලු බලැති දෙවිගේ මහත් දවසේ සිදු වන යුද්ධයේදී’ දෙවිට විරුද්ධව සටන් කිරීමට රැස් වෙන බව සඳහන් වෙනවා. (එළි. 16:14; 19:19-21) ඒ අනුව හර්–මගෙදොන් යුද්ධයේදී රූපයේ සඳහන් ලෝක බලයන් පමණක් නොව ලොව පුරා තිබෙන අනික් ආණ්ඩුත් විනාශ වෙනවා.

^ 15 ඡේ. අවුරුදු 1,000 අවසානයේදී සාතන්වත් භූතයන්වත් ‘ගින්නෙන් සහ ගෙන්දගමින් දැවෙන විලට හෙළනු ලබනවා.’ (එළි. 20:7-10) සර්පයාගේ හිස සම්පූර්ණයෙන්ම පොඩි කර දමන්නේ ඒ අවස්ථාවේදියි.—එළි. 20:7-10; මතෙ. 25:41.