Skip to content

පටුනට යන්න

දහස් අවුරුදු පාලනයෙන් පසුවත් සාමය

දහස් අවුරුදු පාලනයෙන් පසුවත් සාමය

‘දෙවි සියලුදෙනාගේම එකම පාලකයාණන් ලෙස කටයුතු කරයි.’—1 කොරි. 15:28.

1. මහත් සමූහයට තිබෙන්නේ මොන වගේ බලාපොරොත්තුවක්ද?

කරුණාවන්ත හා සාධාරණ පාලකයෙකු යටතේ තිබෙන බලවත් ආණ්ඩුවකින් ජනයාට මොන තරම් යහපත් දේවල් ලැබෙයිද කියා ටිකක් සිතන්න. ‘මහත් පීඩාවෙන්’ බේරෙන ‘මහත් සමූහයට’ අවුරුදු දහසක් පුරා ඒ යහපත් දේවල් භුක්ති විඳීමට අවස්ථාව ලැබෙනවා.—එළි. 7:9, 14.

2. පසුගිය අවුරුදු 6,000 තුළ මිනිසා අද්දැක තිබෙන්නේ මොනවාද?

2 පසුගිය අවුරුදු 6,000 තුළ මිනිසා විසින් මිනිසාව පාලනය කර තිබෙනවා. එයින් මුළු මිනිස් වර්ගයාටම ඇති වී තිබෙන්නේ දුකක් පමණයි. ඒ ගැන බොහෝ කාලයකට පෙර බයිබලයේ සඳහන් වුණේ මෙහෙමයි. “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත.” (දේශ. 8:9) අද තත්වය මොකක්ද? යුද්ධ හා කැරලිගැසීම් එමටයි. දුප්පත්කම, අසනීප, පරිසර හානිය, දේශගුණික වෙනස් වීම් වැනි දේවල් එන්න එන්නම වැඩි වෙනවා. මිනිසුන් තම ආකල්ප වෙනස් කරගන්නෙවත් පොළොවට සිදු කරන හානිය නවත්වන්නෙවත් නැත්නම් ඉතා දරුණු ප්‍රතිඵල අද්දකින්න වෙයි කියා බලධාරීන් අනතුරු අඟවනවා.

3. දහස් අවුරුදු පාලනය තුළ සිදු වෙන්නේ මොනවාද?

3 දේවරාජ්‍යයේ රජු වන යේසුස් ළඟදීම මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඔහු හා ඔහුගේ හවුල් පාලකයන් වන 1,44,000දෙනා එක් වී පොළොවටත් මිනිසුන්ටත් සිදු වී ඇති හානිය ඉවත් කිරීමට පියවර ගන්නවා. “මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද සාදන්නෙමි. පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත” කියා යෙහෝවා දෙවි දුන් සැනසිලිදායක පොරොන්දුව දහස් අවුරුදු පාලන සමය තුළ ඉටු වීමට නියමිතයි. (යෙසා. 65:17) දැනට “නොපෙනෙන දේවල්” එනම් අනාගතයේදී සිදු වෙන දේවල් මොනවාද? එම පුදුමාකාර දේවල් ගැන බයිබලයේ ඇති අනාවැකි මගින් අවබෝධයක් ලබාගන්න අපිට පුළුවන්.—2 කොරි. 4:18.

ගෙවල් දොරවල් වතු පිටි

4. බොහෝදෙනෙකුට තිබෙන ගැටලුව මොකක්ද?

4 තමන්ගෙම කියලා ගෙයක් දොරක් ඇතුව සිටින්න කවුරුත් කැමතියි. පවුලේ අය සමඟ ආරක්ෂා සහිතව තමන්ගේම නිවසක ජීවත් වෙන්න අද බොහෝදෙනෙකුට අවස්ථාව නැහැ. බොහෝදෙනෙක් අද ජීවත් වෙන්නේ ඉතාම ජනාකීර්ණ නගරවලයි. තවත් බොහෝදෙනෙක් වාසය කරන්නේ මුඩුක්කුවලයි. ගරාවැටුණු පරණ ගොඩනැඟිලිවල ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. තමන්ටම කියා ගෙයක් දොරක් හදාගන්න එක ඔවුන්ට නම් සිහිනයක්ම විතරයි.

5, 6. (අ) යෙසායා 65:21 හා මීකා 4:4 ඇති අනාවැකි ඉටු වෙන්නේ කොහොමද? (ආ) එම ආශීර්වාද ලබාගන්න අපිට පුළුවන් කොහොමද?

5 දේවරාජ්‍යය මගින් මේ පොළොව පාලනය කරද්දී ඒ සිහිනය සැබෑ වෙනවා. යෙසායා පැවසුවේ මෙසේයි. “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය.” (යෙසා. 65:21) සමහර අයට දැනටමත් තමන්ගෙම කියලා ගෙයක් තිබෙනවා. තවත් අයට විශාල ගෙවල්, වතුපිටි හා ධන සම්පත් තිබෙනවා. නමුත් ඒවා සැනසිල්ලෙන් භුක්ති විඳින්න ඔවුන්ට හැකියාවක් නැහැ. ඒවා නඩත්තු කිරීම ඔවුන්ට හිසරදයක් වෙලා! ඔවුන්ට ආර්ථික ප්‍රශ්න බලපාන්න ඉඩ තිබෙනවා. හොර හතුරන්ගෙන් දේපළ ආරක්ෂා කරගන්න සෑහෙන දුක් විඳින්න වෙනවා. නමුත් දේවරාජ්‍යය මගින් මේ පොළොව පාලනය කරද්දී ඒ දේවල් ගැන කරදර වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දේවරාජ්‍යයේදී කෙනෙකුට ගෙයක් දොරක් විතරක් නෙවෙයි හිතට සැනසීමකුත් ලැබෙනවා. මීකාත් මෙහෙම කිව්වා. “එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත. කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.”—මීකා 4:4.

6 දේවරාජ්‍යයේ පාලනය යටතේ එම ආශීර්වාද භුක්ති විඳින්න නම් අපි මොනවද කරන්න ඕනේ? අපි හැමෝටම ජීවත් වෙන්න නිවසක් අවශ්‍ය බව ඇත්තයි. නමුත් ණය වී තමන්ගේ සිහින මාලිගාව ගොඩනඟාගැනීමට උත්සාහ නොකළ යුතුයි. නැණවත්ම දෙය නම් අද අපි ජීවත් වෙන විදිහෙන් දෙවිගේ පොරොන්දු විශ්වාස කරන බව පෙන්වීමයි. ඒ සම්බන්ධයෙන් තමන් ක්‍රියා කළ ආකාරය ගැන යේසුස් කිව්වේ මෙසේයි. “හිවලුන්ට ගුහා තිබුණත් අහසේ කුරුල්ලන්ට ලගින්න තැන් තිබුණත් මනුෂ්‍ය පුත්‍රයාට තම හිස තබන්නවත් තැනක් නැහැ.” (ලූක් 9:58) ඕනෑ නම් මේ ලෝකයේ හොඳම ගෙය හදාගන්න හෝ මිල දී ගන්න යේසුස්ට හැකියාව තිබුණා. නමුත් ඔහු එහෙම නොකළේ ඇයි? දේවරාජ්‍යයට මුල් තැන දීම වැළැක්වීමට කිසිම දෙයකට ඉඩ දෙන්න ඔහු අකමැති වුණ නිසයි. අපිටත් පුළුවන්ද ඔහුගේ ආදර්ශය අනුගමනය කරමින් කනස්සලු වීමෙන් වැළකී සිටින්න?—මතෙ. 6:33, 34.

මිනිසුන් හා සතුන් අතර සාමය

7. මිනිසුන් හා සතුන් අතර තිබිය යුතු සම්බන්ධය ගැන දෙවි මිනිසාට දුන් අණ මොකක්ද?

7 යෙහෝවා දෙවි මිහිපිට විවිධ නිර්මාණයන් සිදු කර අවසානයේදී නිර්මාණය කළේ මිනිසුන්වයි. එම නිර්මාණ කටයුතුවල ප්‍රධාන සේවකයා වූ යේසුස්ට දෙවි මෙසේ කිව්වා. “අප හා සමාන ගතිලක්ෂණ ඇතුව අපි මනුෂ්‍යයාව සාදමු. අපි මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද හීලෑ සතුන්වද ඔහු යටතේ තබමු. මුළු පොළොවද ඒ මත සිටින අන් සියලු සතුන්වද ඔහුට යටත් කර දෙමු.” (උත්. 1:26) සතුන්ව යටත් කරගෙන උන්ව රැකබලා ගන්න කියා ආදම් සහ ඒවට දෙවි අණ කළා. දෙවි බලාපොරොත්තු වුණේ අවසානයේදී මුළු මිනිස් වර්ගයාම එසේ කරයි කියායි.

8. සතුන් තුළ දකින්න තිබෙන්නේ මොන වගේ ගතිලක්ෂණද?

8 හැම සතෙකුවම යටත් කරගන්නා අතරේ උන් සමඟ ගැටුමක් ඇති කර නොගෙන සිටින්න මිනිසාට පුළුවන්ද? ගෙදරදොරේ ඇති කරන සුරතල් සතුන්ට මිනිසුන් ආදරේ නිසා උන්ට හොඳට සලකනවා. ඒත් වනසතුන්ට ඒ වගේ ආදරයක් සැලකිල්ලක් දක්වන්න ඔවුන්ට පුළුවන්ද? “හැම ක්ෂීරපායි සතෙකුටම හැඟීම් තිබෙන බව වනසතුන් පිළිබඳ අධ්‍යයනය කරන විශේෂඥයන් පවසනවා” කියා වාර්තාවක සඳහන් වෙනවා. සතුන් භය වෙන බවත් උන්ට කේන්ති යන බවත් අපි දන්නවා. නමුත් ආදරය වගේ හැඟීමක් පෙන්වන්න උන්ට හැකියාවක් තිබෙනවාද? “ක්ෂීරපායි සතුන් උන්ගේ පැටවුන්ට ඉමහත් සෙනෙහසක් පෙන්වනවා” කියාත් එම වාර්තාවේ සඳහන් වෙනවා.

9. සතුන් පිළිබඳ මොන වගේ වෙනස්කමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

9 මිනිසුන් හා සතුන් අතර සාමය පවතින කාලයක් එන බව බයිබලයේ පවසා තිබීම පුදුමයක් නෙවෙයි. (යෙසායා 11:6-9; 65:25 කියවන්න.) සතුන් තුළ මිනිසුන්ට භයක් ඇති වුණේ ජලගැල්මෙන් පසුවයි. නෝවා නැවෙන් එළියට ආ විට යෙහෝවා දෙවි ඔහුට මෙසේ පැවසුවා. ‘පොළොවේ ජීවත් වන සියලු සතුන් ඔබට මහත් බියකින් සිටිනු ඇත.’ (උත්. 9:2, 3) යෙහෝවා දෙවි සතුන් තුළ එවැනි බියක් ඇති කළේ උන්ගේම ආරක්ෂාවටයි. එම බිය යම් ප්‍රමාණයකට නැති කිරීමට යෙහෝවා දෙවිට පුළුවන්. එවිට මිනිසුන් හා සතුන් අතර තිබිය යුතු සාමකාමී වාතාවරණය සම්බන්ධ දෙවිගේ මුල් අරමුණ ඉටු වෙයි. (හොෂෙ. 2:18) එය මොන තරම් ප්‍රීතිමත් කාලයක් වේවිද?

කඳුළට නිමාවක්!

10. මිනිසාට කඳුළ උරුම වුණේ ඇයි?

10 ‘ඉර යට සිදු වන සියලු අසාධාරණකම් ගැන නැවත කල්පනා කර බැලූ’ සලමොන් මෙසේ පැවසුවා. “පීඩාවට ලක්වූවන්ගේ කඳුළු දුටිමි. එහෙත් ඔවුන්ව සනසන්න කිසිවෙක් සිටියේ නැත.” (දේශ. 4:1) අද තත්වය ඊටත් වඩා දරුණුයි. සමහරවිට සතුටු කඳුළු සැලුවත් අපි බොහෝවිට කඳුළු සලන්නේ වේදනාව නිසයි. මොකක් හෝ හේතුවක් නිසා අඬලා නැති කෙනෙක් අපි අතරේ නැහැ.

11. ඔබේ හිතට බලපෑවේ බයිබලයේ සඳහන් මොන දුක්බර සිද්ධියද?

11 කඳුළු සැලූ අවස්ථා සඳහන් සිද්ධීන් බොහොමයක් බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට, අවුරුදු 127ක්ව සිටි සාරා මිය ගිය විට ‘ආබ්‍රහම් හඬා වැලපුණා.’ (උත්. 23:1, 2) නායොමි ඇගේ වැන්දඹු ලේලියෝ දෙදෙනාට ඇගෙන් සමුගන්න කියා කියද්දී ඔවුන් ‘හඬා වැලපුණා.’ සමුගන්නා මොහොතේදී ඔවුන් ‘නැවතත් හයියෙන් ඇඬුවා.’ (රූත් 1:9, 14) හෙසකියා රජු හොඳටම අසනීප වී මරණාසන්නව සිටිද්දී ‘බොහෝ සෙයින් හඬමින්’ යාච්ඤා කළා. ඔහුගේ දුක දුටු යෙහෝවා දෙවි ඔහුව සුව කළා. (2 රාජා. 20:1-5) පේතෘස් යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පැවසූ පසු ඒ ගැන දැනුණු වේදනාව නිසා ‘පිටතට ගොස් මහත් ශෝකයෙන් හැඬුවා.’—මතෙ. 26:75.

12. දහස් අවුරුදු පාලනය තුළදී මිනිසුන් අද්දකින්නේ මොන වගේ සහනයක්ද?

12 අද මිනිසුන් බොහෝ දුක්බර සිදුවීම්වලට මුහුණ දෙන නිසා ඔවුන්ට සැනසීම හා අස්වැසිල්ල අවශ්‍යයි. දහස් අවුරුදු පාලනය තුළදී “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.” (එළි. 21:4) දුක හා වේදනාව නැති කාලයක් ගැන සිතා බලන්න. ඊටත් වඩා මරණය නැති කාලයක්!

නැවත නැඟිටියි!

13. මරණය මිනිසුන්ට බලපා ඇත්තේ කොහොමද?

13 කිසි කෙනෙකුට මරණය නමැති සතුරා සමඟ සටන් කර දිනන්න බැහැ. ආදම් පව් කළ දා සිට මරණය රජෙකු ලෙස මිනිසාව පාලනය කරනවා. මරණයෙන් හා වියෝ දුකෙන් මිදෙන්න කිසිම ජගතෙකුට බැහැ. (රෝම 5:12, 14) ඒ නිසා මිලියන ගණන් ජනයා ‘මරණයට බියෙන් තම ජීවිත කාලය පුරාම වහලුන් වී සිටිනවා’ කියා පැවසීම පුදුමයක් නෙවෙයි.—හෙබ්‍රෙ. 2:15.

14. මරණය නැති දා කොයි වගේද?

14 ‘අන්තිම සතුරා වන මරණය නැති කරනවා’ කියා බයිබලයේ පවසා තිබෙනවා. (1 කොරි. 15:26) එයින් කණ්ඩායම් දෙකක් ප්‍රයෝජන ලබනවා. ‘මහත් සමූහයකට’ නොමැරී පාරාදීස පොළොවට ඇතුල් වී සදහටම ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම මිය ගිය බිලියන ගණන්දෙනාව නැවත නැඟිටුවනවා. නැවත නැඟිටින අයව මහත් සමූහයට අයත් අය සාදරයෙන් පිළිගන්නා කාලය මොන තරම් සුන්දර වේවිද! කෙනෙක් නැවත නැඟිටින විට ජීවත්ව සිටින අයට කොහොම හැඟෙයිද කියා තේරුම්ගන්න බයිබලයේ සඳහන් නැවත නැඟිටීම් පිළිබඳ වාර්තා අධ්‍යයනය කිරීම ඔබට උපකාර වෙයි.—මාක් 5:38-42; ලූක් 7:11-17 කියවන්න.

15. ඔබ ආදරේ කළ කෙනෙක් නැවත නැඟිටිනවා දකිද්දී ඔබට කොහොම හැඟෙයිද?

15 නැවත නැඟිටීමක් දුටු අය ‘ඉමහත් ප්‍රීතියකින් ඉපිල ගියා,’ ‘දෙවිට ප්‍රශංසා කරන්න පටන්ගත්තා’ කියා බයිබලයේ වාර්තා වෙනවා. මළවුන් නැවත නැඟිටෙවූ අවස්ථාවක ඔබ සිටියා නම් ඔබටත් ඒ විදිහටම හැඟෙනවාට කිසිම සැකයක් නැහැ. මිය ගිය අපි ආදරේ කළ කෙනෙකු නැවත නැඟිටින විට අපිට දැනෙන නිම් හිම් නැති සතුට ගැන ටිකක් සිතා බලන්න. එය දකින ඔබ පුදුමයෙන් පුදුමයට පත් වේවි. ‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම තමාගේ හඬ ඇසෙන කාලය පැමිණෙනවා’ කියා යේසුස් පැවසුවා. (යොහ. 5:28, 29) එවැනි සිදුවීමක් අපි දැක නැතත් අපි අද්දකින්න යන “නොපෙනන දේවල්” අතරින් එය සුවිශේෂී සිද්ධියක්.

සියලුදෙනාගේ එකම පාලකයාණන්!

16. (අ) තවමත් නොදුටු ආශීර්වාද ගැන කතා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? (ආ) කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ව දිරිගැන්වීමට පාවුල් කිව්වේ මොනවද?

16 දෙවිට විශ්වාසවන්තව සිටින අයට තිබෙන්නේ මොන තරම් වටිනා අනාගතයක්ද! අනාගතයේදී සිදු වන දේවල් තවමත් අපේ ඇස් දෙකට දකින්න නොතිබුණත් ඒවා ගැන දිගටම සිතමු. එවිට වඩා වැදගත් දේ අපේ මනසේ රැඳී තිබෙයි. එසේ කරනවා නම් මේ දුෂ්ට සමාජයෙන් ඉදිරිපත් කරන තාවකාලික ආකර්ෂණීය දේවලට අපි රැවටෙන්නේ නැහැ. (ලූක් 21:34; 1 තිමෝ. 6:17-19) පවුලේ නමස්කාරයේදී, රැස්වීම්වලදී හා අපේ බයිබල් ශිෂ්‍යයන් සමඟ ඇසුරු කරද්දී අපේ අනර්ඝ බලාපොරොත්තුව ගැන නිතරම කතා කරමු. එවිට එය අපේ මනසෙන් කවදාවත් මැකී යන්නේ නැහැ. පාවුල් එසේ කළ කෙනෙක්. දහස් අවුරුදු පාලනය ගැනත් එහි අවසානය ගැනත් කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට මනසේ පින්තූරයක් මවාගන්න හැකි වුණේ පාවුල් ඔවුන්ට ඒ ගැන කතා කළ නිසයි. ඔහු ඔවුන්ට කී දේ ඔබේ මනසෙත් ඇඳගන්න උත්සාහ කරන්න.—1 කොරින්ති 15:24, 25, 28 කියවන්න.

17, 18. (අ) මුලදී දෙවි සියලුදෙනාගේ පාලකයා වී සිටියේ කොහොමද? (ආ) එක්සත්කම හා සාමය ඇති කිරීමට යේසුස් මොනවා කරයිද?

17 ඒදන් උයනේ තිබූ තත්වය ගැන ටිකක් සිතමු. ආදම් හා ඒව පරිපූර්ණව ඒදන් උයනේ සිටි කාලයේදී ඔවුන් මුළු විශ්වයේම පාලකයාණන් වන යෙහෝවා දෙවි යටතෙයි සිටියේ. ඒ කාලයේදී දේවදූතයන් හා මිනිසුන් එක්සත් පවුලක් ලෙස දෙවිට නමස්කාර කළා. එම පවුලේ සෑම කෙනෙකුටම දෙවි සමඟ අදහස් හුවමාරු කරන්නත් ඔහුගේ ආශීර්වාද ලබන්නත් පුළුවන්කම තිබුණා. ඇත්තටම ඒ කාලයේදී ‘දෙවි සියලුදෙනාගේම එකම පාලකයාණන්ව’ සිටියා.

18 සාතන් දෙවිගේ පාලනයට විරුද්ධව කැරලිගසා මිනිසුන්ව තමන්ගේ පැත්තට ඇදගත් පසු ඒ එක්සත් පවුල විසිරී ගියා. නමුත් එම එක්සත්කම හා සාමය නැවත ඇති කිරීමට 1914 සිට දේවරාජ්‍යය මගින් පියවර ගෙන තිබෙනවා. (එෆී. 1:9, 10) දහස් අවුරුදු පාලනය තුළදී දැනට ‘නොපෙනෙන දේවල්’ ඉටු වෙනවා අපේ දෑසින් දැකගන්න පුළුවන්. දහස් අවුරුදු පාලනය අවසන් වූ විට මොකක් සිදු වෙයිද? ‘ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය’ යේසුස්ට දුන්නත් යෙහෝවා දෙවිගේ තැන ගන්න ඔහුට කිසි වුවමනාවක් නැහැ. ඒ වෙනුවට ඔහු දහස් අවුරුදු පාලනය අවසන් වූ විට ‘රාජ්‍යය තම දෙවි හා පියාණන් වන තැනැත්තාණන්ට භාර දෙයි.’ යේසුස් තම රාජකීය තනතුර හා අධිකාරිය හොබවන්නේ “දෙවිට සියලු ප්‍රශංසා සහ ගෞරවය” දීම සඳහායි.—මතෙ. 28:18; ෆිලි. 2:9-11.

19, 20. (අ) දේවරාජ්‍යයේ යටත්වැසියන් දෙවිගේ පාලනය පිළිගන්න බව පෙන්වන්නේ කොහොමද? (ආ) අපට තිබෙන අනගි බලාපොරොත්තුව මොකක්ද?

19 දහස් අවුරුදු පාලනය අවසන් වන විට පොළොවේ සිටින සියලුදෙනාම පරිපූර්ණත්වයට පැමිණ සිටියි. යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන ඔවුන් යටහත්පහත්ව හා කැමැත්තෙන් යෙහෝවා දෙවිගේ පාලනය පිළිගනියි. අවසාන පරීක්ෂණයෙන් ජය ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන අතර දෙවිට කීකරු බව පෙන්වන්නත් එමගින් ඔවුන්ට අවස්ථාව ලැබෙයි. (එළි. 20:7-10) ඉන්පසුව සාතන් හා ඔහුගේ භූතයන් වගේම දෙවිට විරුද්ධව කැරලිගසන මිනිසුන්වත් විනාශ කර දමනවා. එය මොන තරම් ප්‍රීතිමත් අවස්ථාවක් වෙයිද! ස්වර්ගයේ හා පොළොවේ සිටින සියලුදෙනාම එකම පවුලක් ලෙස නැවතත් එක්සත් වෙයි. ඔවුන් එකමුතුව හා සාමයෙන් එකම පාලකයාණන් වන යෙහෝවා දෙවිට ප්‍රශංසා කරයි.—ගීතාවලිය 99:1-3 කියවන්න.

20 ඉතාමත්ම ළඟදී දේවරාජ්‍යය මගින් ඉටු කරන දේවල් ගැන ගැඹුරින් සිතන්න. දිගටම දෙවිගේ කැමැත්ත කිරීමට එය ඔබව පොලඹවන්නේ නැද්ද? සාතන්ගේ ලෝකය ඉදිරිපත් කරන බොරු බලාපොරොත්තුවලට නොරැවටී ඉන්න ඔබට පුළුවන්ද? යෙහෝවා දෙවිගේ පාලනයට සහයෝගය දෙන්න ඔබ ගෙන තිබෙන අධිෂ්ඨානය දිගටම තබාගන්න ඔබට පුළුවන් වෙයිද? ඔබේ ක්‍රියාවලින් එහෙම කරන බව පෙන්වන්න. එවිට සාමකාමී හා සමෘද්ධිමත් ජීවිතයක් අවුරුදු දාහකට පමණක් නොව ඉන් එහාටත් භුක්ති විඳින්න ඔබට හැකි වෙයි.