Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි හා යේසුස් මෙන් ඉවසන්න

යෙහෝවා දෙවි හා යේසුස් මෙන් ඉවසන්න

“අපගේ ස්වාමීන්ගේ ඉවසිලිවන්තකම ඔබේ ගැලවීමට දායක වන බව සැලකිල්ලට ගන්න.”—2 පේතෘ. 3:15.

1. විශ්වාසවන්තව සිටින සමහර අය අහන ප්‍රශ්නය මොකක්ද?

විවිධ පීඩා ජය ගනිමින් දශක ගණනාවක් පුරා දෙවිට සේවය කරමින් සිටින එක සහෝදරියක් දවසක් මෙහෙම ඇහුවා. “මං මැරෙන්න කලින් විනාශය එයිද?” සමහරවිට අපිත් එහෙම හිතලා ඇති. විශේෂයෙන්ම අපි කාලයක් පුරා දෙවිට සේවය කරමින් සිටිනවා නම් දෙවි සියල්ල අලුත් කරන දා එන තුරු අපි බලා සිටිනවා. (එළි. 21:5) මේ දුෂ්ට සමාජය අවසන් වෙයි කියා විශ්වාස කිරීමට අපිට හොඳ හේතු තිබුණත් යෙහෝවා දෙවි එය ඉටු කරන තුරු ඉවසගෙන ඉන්න එක අපිට අමාරු වෙන්න පුළුවන්.

2. ඉවසීම සම්බන්ධයෙන් පිළිතුරු ලබාගන්න ඕනෙ මොන ප්‍රශ්න තුනටද?

2 ඉවසීමෙන් සිටීම පහසු දෙයක් නොවුණත් එසේ සිටීම අවශ්‍ය බව බයිබලයේ පවසනවා. අපිට කලින් හිටිය දෙවිගේ සේවකයන් වගේ දෙවි කෙරෙහි ලොකු විශ්වාසයකින් හා ඉවසීමෙන් බලා සිටිනවා නම් දෙවිගේ පොරොන්දු ඉටු වෙනවා දකින්න අපිට පුළුවන් වෙයි. (හෙබ්‍රෙව් 6:11, 12 කියවන්න.) යෙහෝවා දෙවිත් බොහෝ කාලයක් ඉවසා තිබෙනවා. ඕනෑම මොහොතක දුෂ්ටකම නැති කරන්න ඔහුට බලය තිබුණත් ඒ සඳහා සුදුසුම වෙලාව එන තුරු ඔහු ඉවසීමෙන් බලා සිටිනවා. (රෝම 9:20-24) ඔහු මෙතරම් ඉවසන්නේ ඇයි? ඉවසීම සම්බන්ධයෙන් යේසුස් අපිට කදිම ආදර්ශයක් වෙන්නේ කොහොමද? දෙවි මෙන් ඉවසනවා නම් අපිට ලැබෙන ආශීර්වාද මොනවාද? දෙවි ප්‍රමාදයි කියා අපිට හැඟුණත් එම ප්‍රශ්න තුනට පිළිතුරු ලබාගැනීමෙන් අපේ විශ්වාසය ශක්තිමත්ව තබාගන්නත් ඉවසීමෙන් ඉන්නත් අපිට පුළුවන්.

යෙහෝවා දෙවි ඉවසන්නේ ඇයි?

3, 4. (අ) යෙහෝවා දෙවි ඉවසා තිබෙන්නේ ඇයි? (ආ) ආදම් සහ ඒව කැරලිගැසූ විට දෙවි කළේ මොකක්ද?

3 මේ මුළු විශ්වයේම යෙහෝවා දෙවි තරම් බලවත් කෙනෙක් නැහැ. මිනිස්සුන් කෙරෙහි ඉවසීමෙන් කටයුතු කරන්න ඔහු බැඳිලා නැහැ. නමුත් එහෙම කරන්න ඔහුට හොඳ හේතුවක් තිබෙනවා. ඒදන් උයනේදී කැරැල්ලක් ඇති වූ විට දේවදූතයන්ටත් මිනිසුන්ටත් බලපාන වැදගත් ප්‍රශ්න කිහිපයක් මතු වුණා. දෙවි දැනගෙන හිටියා මේ ප්‍රශ්නවලට නියම පිළිතුරු ලැබෙන්න නම් කාලයක් ගත වෙන්න ඕනෙ කියලා. ඒ නිසා දෙවි ඉවසුවා. මිනිසුන් ගැනත් දේවදූතයන් ගැනත් හොඳින්ම දන්නේ යෙහෝවා දෙවියි. ඒ නිසා යෙහෝවා දෙවි එහෙම කළේ අපේම යහපත ගැන හිතලයි.—හෙබ්‍රෙ. 4:13.

4 යෙහෝවා දෙවිගේ අරමුණ වුණේ ආදම් හා ඒවගෙන් පැවත එන අයගෙන් මේ පොළොව පූර්ණ කිරීමයි. ඒදන් උයනේදී ඒව සාතන්ට රැවටුණත් ආදම් දෙවිට අකීකරු වුණත් දෙවි කලබල වී ඉක්මන් තීරණයක් ගත්තේ නැහැ. ඒ වෙනුවට ඔහුගේ මුල් අරමුණ ඉටු කිරීම සඳහා ඔහු වැඩ පිළිවෙළක් දියත් කළා. (යෙසා. 55:11) තමාගේ අරමුණ ඉටු කරන්නත් විශ්වය පාලනය කරන්න සුදුසුම තැනැත්තා තමා බව ඔප්පු කරන්නත් දෙවි ඉතා ඉවසීමෙන් කටයුතු කරනවා. දෙවි තම අරමුණේ සමහර අංග ඉටු කිරීමට අවුරුදු දහස් ගණනක් ඉවසමින් සිටිනවා.

5. දෙවිගේ ඉවසීමෙන් ජනයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

5 යෙහෝවා දෙවි ඉවසීමෙන් කටයුතු කර තිබෙන්නේ බොහෝදෙනෙක් සදාකාල ජීවනය ලබාගන්නවාට කැමති නිසයි. ඔහු මේ වන විටත් මහත් සමූහයකට ගැලවීම ලබා දෙන්න අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. (එළි. 7:9, 14; 14:6) අපේ දේවසේවය මගින් දේවරාජ්‍යය ගැනත් දෙවිගේ උසස් ප්‍රමිති ගැනත් දැනගන්න යෙහෝවා දෙවි ජනයාට අවස්ථාව ලබා දෙනවා. ඒ අනුව බලන විට අපි මනුෂ්‍යයන් වෙත ගෙන යන්නේ ‘ශුභාරංචියක්.’ (මතෙ. 24:14) ඊට කීකරු වෙන අයට දෙවිගේ කැමැත්ත කරන ලෝක ව්‍යාප්ත පවුලක සාමාජිකයන් වීමටත් අවස්ථාව ලැබෙනවා. (යොහ. 6:44-47) තමාගේ අනුමැතිය ලබාගැනීමට දෙවි වුවමනාවෙන්ම මිනිසුන්ට උපකාර කරනවා. ඊට අමතරව දේවරාජ්‍යයේ පාලකයන් ලෙස කටයුතු කිරීමටත් මිනිසුන් අතරින් ඔහු පිරිසක් තෝරගෙන තිබෙනවා. එම පිරිස ස්වර්ගයට ගියායින් පසුව පොළොවේ සිටින කීකරු ජනයාට පරිපූර්ණත්වයට එන්නත් සදාකාල ජීවිතය අත් කරගන්නත් උපකාර කරයි. මේ සියල්ලෙන් අපිට පැහැදිලි වන්නේ දෙවි ඉවසමින් සිටියත් ඔහුගේ මුල් අරමුණ ඉටු කිරීමට ඔහු ක්‍රියා කරමින් සිටින බවයි.

6. (අ) නෝවාගේ කාලයේ දෙවි ඉවසගෙන සිටියේ කොහොමද? (ආ) අපේ කාලයේ දෙවි ඉවසීමෙන් කටයුතු කරන්නේ කොහොමද?

6 ජලගැල්මට පෙර දෙවි ක්‍රියා කළ ආකාරයෙන් ඔහු කොතරම් ඉවසනවාද කියා අපිට තේරුම්ගන්න පුළුවන්. ඒ කාලයේ දුරාචාරයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් මුළු පොළොවම පිරී තිබුණා. මිනිසාගේ දුෂ්ටකම දුටු ‘යෙහෝවා දෙවිගේ සිතට මහත් වේදනාවක් දැනුණා.’ (උත්. 6:2-8) ඒ නිසා ජලගැල්මකින් දුෂ්ටයන්ව විනාශ කර දමන්න යෙහෝවා දෙවි තීරණය කළත් නෝවාවත් ඔහුගේ පවුලේ අයවත් බේරාගැනීමට ඕන නිසා ‘දෙවි ඉවසිල්ලෙන් බලා සිටියා.’ (1 පේතෘ. 3:20) ඒ වගේම දෙවි නියමිත වෙලාවේදී තම තීරණය ගැන නෝවාට පවසා නැවක් හදන්න කිව්වා. (උත්. 6:14-22) නැව හදනවාට අමතරව ‘ධර්මිෂ්ඨකම ගැන දේශනා කළ’ නෝවා විනාශය ගැන අසල්වාසීන්ට අනතුරු ඇඟෙව්වා. (2 පේතෘ. 2:5) යේසුස් කිව්වේ අපේ කාලයෙත් නෝවාගේ කාලේ වගේ වෙයි කියායි. වර්තමාන දුෂ්ට සමාජය විනාශ කරන දවස දැනටමත් දෙවි තීරණය කර හමාරයි. ඒත් ඒ “දවස හා වේලාව” අපි දන්නේ නැහැ. (මතෙ. 24:36) කොහොමවුණත් ඒ විනාශයෙන් බේරෙන්නේ කොහොමද කියා ජනයාව දැනුවත් කරන්න දෙවි අපට අණ කර තිබෙනවා.

7. දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වෙනවාද? පැහැදිලි කරන්න.

7 යෙහෝවා දෙවි ඉවසනවා කීමෙන් අදහස් කරන්නේ විනාශය ගෙනෙන තුරු ඔහේ බලාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. අපි ගැන ඔහු කිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියලා අපි නොසිතිය යුතුයි. අපි වයසට යද්දි මෙන්ම දුක් පීඩා එද්දි අපිට එහෙම හිතෙන්න පුළුවන්. එවිට අපි අධෛර්යයට පත් වී දෙවි තම පොරොන්දු ඉටු කරන්න ප්‍රමාද වෙනවා කියලා හැඟෙන්න පුළුවන්. (හෙබ්‍රෙ. 10:36) ඔහු ඉවසන්නේ හොඳ හේතුවක් ඇතුව බවත් ඒ කාලය භාවිත කරන්නේ ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ගේ ප්‍රයෝජනය සඳහා බවත් අමතක කරන්න එපා.—2 පේතෘ. 2:3; 3:9.

යේසුස් ඉවසූ ආකාරය

8. යේසුස්ට ඉවසන්න සිදු වූයේ මොන වගේ අවස්ථාවලදීද?

8 ඉවසීම සම්බන්ධයෙන් යේසුස් තම පියාව අනුකරණය කළා. එය අපිට හොඳ ආදර්ශයක්. ඔහු අවුරුදු දහස් ගණනක් පුරා ප්‍රීතියෙන් දෙවිගේ කැමැත්ත කරමින් සිටිනවා. සාතන් කැරලිගැසූ අවස්ථාවේ සිට යෙහෝවා දෙවි යේසුස්ව පොළොවට එවන තුරු අවුරුදු ගණනාවක් ඉවසීමෙන් බලා සිටීමට ඔහුට සිදු වුණා. (ගලාති 4:4 කියවන්න.) ඒ කාලය පුරා ඔහු නිකම් සිටියේ නැහැ. තම පියා පැවරූ අනිකුත් කාර්යයන්වල යෙදුණා. නියමිත කාලයේදී ඔහු පොළොවට පැමිණි විට සාතන් ඔහුව අමානුෂික ලෙස මරා දමන බව ඔහු දැන සිටියා. (උත්. 3:15; මතෙ. 16:21) ඔහු වේදනාව ඉවසා දරාගත්තේ එය දෙවිගේ කැමැත්තට එකඟ නිසයි. ඒ අවස්ථාවේදී යේසුස් තමා ගැනවත් තමාට තිබූ තත්වය ගැනවත් සිතුවේ නැහැ. විශ්වාසවන්ත වීම ගැනත් ඉවසීම ගැනත් යේසුස්ගෙන් අපිට බොහෝ දේවල් ඉගෙනගත හැකියි.—හෙබ්‍රෙ. 5:8, 9.

9, 10. (අ) නැවත නැඟිටීමෙන් පසුවත් යේසුස්ට ඉවසන්න සිදු වුණේ ඇයි? (ආ) අපි යේසුස්ව ආදර්ශයට ගන්නේ කොහොමද?

9 යේසුස්ව නැවත නැඟිටෙවූ පසු යෙහෝවා දෙවි ස්වර්ගයෙත් පොළොවෙත් සියලු බලය ඔහුට ලබා දුන්නා. (මතෙ. 28:18) යේසුස් එම බලතල යොදාගන්නේ දෙවි නියම කරන වෙලාවට දෙවිගේ අරමුණ ඉටු කරන්නයි. වර්ෂ 1914දී දෙවි සතුරන්ව තමන් අතට භාර දෙන තුරු යේසුස් ඉවසීමෙන් බලා සිටියෙත් ඒ නිසයි. (ගීතා. 110:1, 2; හෙබ්‍රෙ. 10:12, 13) ඔහු ළඟදීම සාතන්ගේ දුෂ්ට සමාජය විනාශ කරනවා. නමුත් ඊට නියමිත කාලය එන තෙක් ඔහු ඉවසීමෙන් යුතුව ජනයාව “ජීවන වතුර” ඇති උල්පත් වෙත යොමු කරනවා.—එළි. 7:17.

10 යේසුස් දෙවිගේ කැමැත්ත ඉටු කරන්න මහත් ආශාවෙන් සිටියත් දෙවි තීරණය කළ කාලය එන තුරු ඉවසීමෙන් බලා සිටියා. එය අපිට මොන තරම් ආදර්ශයක්ද! සාතන්ගේ දුෂ්ට සමාජය විනාශ වෙනවා දකින්න අපිත් ගොඩක් කැමතියි. එය දෙවි නියම කළ වෙලාවට සිදු වෙයි. එතෙක් අපි ඉවසීමෙන් බලා සිටිමු. දෙවිගේ සංවිධානයට ඉදිරියෙන් යන්න උත්සාහ නොකර අධෛර්යයට පත් නොවී සිටීමට අපි අධිෂ්ඨාන කරගනිමු. නමුත් එවැනි ඉවසීමක් අපි වර්ධනය කරගන්නේ කොහොමද?

දෙවි වගේ ඉවසමු

11. (අ) විශ්වාසය හා ඉවසීම අතර ඇති සම්බන්ධය මොකක්ද? (ආ) ශක්තිමත් විශ්වාසයක් තබාගැනීමට අපිට තිබෙන පදනම මොකක්ද?

11 පුරාණ විශ්වාසවන්ත සේවකයන් අසම්පූර්ණ අය වුණත් ඉවසීමෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් අපිට හොඳ ආදර්ශයක් තැබුවා. ඔවුන්ගේ ඉවසීම හා විශ්වාසවන්තකම අතර පැහැදිලි සම්බන්ධයක් තිබුණා. (යාකොබ් 5:10, 11 කියවන්න.) දෙවි තම පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරනවා යන දැඩි විශ්වාසය ඔවුන්ට නොතිබුණා නම් ඒවා ඉටු වන තුරු ඉවසීමෙන් බලා සිටින්න ඔවුන්ට බැරි වෙනවා. ඒවා බොරු නොවන බව ඔවුන් විශ්වාස කළ නිසයි ඉතාම දුෂ්කර හා බිහිසුණු අවස්ථාවලදී පවා ඉවසගෙන ඉන්න ඔවුන්ට හැකි වුණේ. (හෙබ්‍රෙ. 11:13, 35-40) යේසුස් ‘අපේ විශ්වාසය පූර්ණ තත්වයට ගෙනෙන තැනැත්තා’ බව අපි දන්නා නිසා අපට ශක්තිමත් විශ්වාසයක් තබාගන්න පුළුවන්. (හෙබ්‍රෙ. 12:2) යේසුස් බොහෝ අනාවැකි ඉටු කිරීමට දායක වූ නිසාත් දෙවිගේ අරමුණු ගැන අපිට පැහැදිලි කර තිබෙන නිසාත් ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟා ගැනීමට අපිට හොඳ අඩිතාලමක් සැපයුවා.

12. අපේ විශ්වාසය ශක්තිමත් කරගැනීමට අපි මොකක් කළ යුතුද?

12 අපේ විශ්වාසය ශක්තිමත් කරගන්නත් එහි ප්‍රතිඵලයක් ලෙස ඉවසීම වැඩි කරගන්නත් අපිට කරන්න පුළුවන් මොනවාද? එක් දෙයක් නම් දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වීමයි. උදාහරණයකට දේවරාජ්‍යයට මුල් තැන දෙන්න කියා මතෙව් 6:33හි දෙවි අපිට කියා තිබෙනවා. ඒ අණට කීකරු වෙන්න ඔබට පුළුවන් කොහොමද? දේවසේවයේ වැඩිපුර හවුල් වෙන්න හෝ ජීවිතය සරල කරගන්න ඔබට පුළුවන්ද? ඔබ දැනටමත් දරා තිබෙන වෑයම්වලට දෙවි ආශීර්වාද කර තිබෙනවා. අලුතෙන් බයිබල් පාඩමක් කරන්න හෝ ‘කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයක්’ අද්දකින්න දෙවි ඔබට අවස්ථාව ලබා දී ඇති. (ෆිලිප්පි 4:7 කියවන්න.) ඔබ දැනටමත් අද්දකින එවැනි ආශීර්වාද ගැන සිතන විට දෙවි අනාගතයේදී ඉටු කරන පොරොන්දු දෙස ඉවසීමෙන් බලාසිටීම කොතරම් හොඳද කියා ඔබට තේරෙයි.—ගීතා. 34:8.

13. ඉවසීම වැඩි කරගැනීමට විශ්වාසය දායක වන හැටි උදාහරණයකින් පැහැදිලි කරන්න.

13 ඉවසීම වැඩි කරගැනීමට විශ්වාසය දායක වන හැටි මේ උදාහරණයෙන් පැහැදිලි වෙනවා. ගොවියෙක් බීජ වපුරා අස්වැන්න නෙළාගන්නවා. ඔහුට හොඳ අස්වැන්නක් ලැබෙන හැම වාරයකදීම ඊළඟ කන්නයේදී වගා කරන්න පෙලඹීමක් වගේම විශ්වාසයක් ඇති වෙනවා. සමහරවිට ඔහු කලින්ට වඩා විශාල ප්‍රදේශයක බීජ වපුරන්නත් ඉඩ තිබෙනවා. අස්වැන්න කපන තුරු මහන්සි වෙන්නත් ඉවසීමෙන් බලා සිටින්නත් අවශ්‍ය බව දන්නවා වුණත් ඔහු බීජ වපුරනවා. ඒ හා සමානව දෙවිගේ මඟ පෙන්වීම් ලබාගෙන ඒවා අනුගමනය කිරීමෙන් ලැබෙන ආශීර්වාද නිසා දෙවි කෙරෙහි ඇති අපේ විශ්වාසය තවත් වැඩි වෙනවා. ආශීර්වාද ලැබෙන බව දන්න නිසා ඉවසීමෙන් බලා සිටින්න අපිට ලේසි වෙනවා.—යාකොබ් 5:7, 8 කියවන්න.

14, 15. මිනිසා විඳින දුක් ගැහැට ගැන අපිට තිබිය යුතු ආකල්පය මොකක්ද?

14 අපේ ඉවසීම වැඩි කරගන්න තවත් හොඳ විදිහක් නම් අපි මුහුණ දෙන ප්‍රශ්න දිහා යෙහෝවා දෙවි බලන විදිහට බලන්න පුරුදු වීමයි. උදාහරණයකට අපි අද්දකින දුක් වේදනා ගැන දෙවිට දැනෙන්නේ කොහොමද? සියවස් ගණනාවක් පුරා මිනිසා විඳ ඇති දුක්වේදනා ගැන දෙවිත් දුක් වෙනවා. නමුත් හරි දේ කිරීම නතර කරන්න දෙවි එය හේතුවක් කරගෙන නැහැ. ඒ වෙනුවට ‘යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කර දැමීමට දෙවි තම පුත්‍රයාව’ එව්වා. (1 යොහ. 3:8) දෙවි ලබා දෙන විසඳුම සදාකාලික බවත් දුක් වේදනා තාවකාලික බවත් තේරුම්ගන්න. ඒ නිසා දුක් වේදනාවලින් යටපත් වෙන්න එපා. විනාශය කවදා එයිද කිය කිය කනස්සලු වෙනවා වෙනුවට දෙවිගේ පොරොන්දු ගැන විශ්වාසයෙන් සිටින්න. ඒ පොරොන්දු ඉටු කිරීමට දෙවි කාලයක් නියම කර තිබෙනවා. අපි ප්‍රමාදයි කියා සිතුවත් ප්‍රමාද නොවී දෙවි ඒවා ඉටු කරයි.—යෙසා. 46:13; නාහු. 1:9.

15 මේ අන්තිම කාලයේදී අපේ විශ්වාසයට විවිධ තර්ජන එල්ල වෙන්න පුළුවන්. අපේ පවුලේ කෙනෙකුට ප්‍රශ්නයක් වුණොත් අනවශ්‍ය ලෙස කලබල නොවෙමු. ඒ වගේම යම් අසාධාරණයක් හෝ සැහැසික දෙයක් වුණොත් දිගටම කෝපයෙන් නොසිටිමු. අපි අසම්පූර්ණ නිසා එය ලෙහෙසි දෙයක් නොවුණත් යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයකින් සිටිමු. ඒ වගේම මතෙව් 26:39 සඳහන් ලෙස යේසුස් කළ දේ අපිත් කරමු.—කියවන්න.

16. ඉතුරු වී තිබෙන මේ කාලය තුළ අපි වැළකෙන්න ඕන මොන වගේ ආකල්පයකින්ද?

16 සමහරවිට කෙනෙකුට මෙවැනි වැරදි සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන්. ‘බලමුකෝ යෙහෝවා දෙවි කියන විදිහටම කරයිද කියලා.’ එසේ සිතීමෙන් පෙනී යන්නේ ඔහුට ඉවසීම විතරක් නෙවෙයි දෙවි කෙරෙහි විශ්වාසයත් නැති බවයි. එවැනි ආකල්පයක් තිබෙන කෙනෙක් දේවරාජ්‍යයට මුල් තැන නොදී ධනය, කීර්තිය හා උසස් අධ්‍යාපනය පසුපස හඹා යන්නත් ඉඩ තිබෙනවා. පාවුල් අපිට උනන්දු කළේ ‘විශ්වාසයකින් හා ඉවසීමකින් කටයුතු කළ’ දෙවිගේ අතීත සේවකයන්ව අනුකරණය කරන්න කියායි. (හෙබ්‍රෙ. 6:12) මේ දුෂ්ට සමාජය විනාශ කිරීමට දෙවි නියම කළ කාලය එක තත්පරයකින්වත් ප්‍රමාද වෙන්නේ නැහැ. (හබ. 2:3) ඒ අතරතුර කාලයේදී දේවසේවය කරන්නන් වාලේ කරනවා වෙනුවට උද්‍යෝගයෙන් කරමු. එසේ කරනවා නම් දුෂ්ට සමාජයක ජීවත් වුණත් එයින් අපිට තෘප්තියක් ලැබෙයි.—ලූක් 21:36.

ඉවසීමෙන් සැනසීම ලැබෙයි

17, 18. (අ) ඉවසීමෙන් සිටින අතරේ අපිට අවස්ථාව ලැබෙන්නේ මොනවා කරන්නද? (ආ) ඉවසීමෙන් කටයුතු කරන අයට ලැබෙන ආශීර්වාද මොනවද?

17 අපි බයිබලය පාඩම් කරන්න පටන්ගත්තේ ළඟකදී වුණත් දශක ගණනාවකට කලින් වුණත් අපේ එකම ආශාව වන්නේ සදහටම යෙහෝවා දෙවිට සේවය කිරීමයි. තව කොපමණ කාලයක් බලා සිටීමට සිදු වුණත් අවසානය දක්වා විඳදරාගන්න ඉවසිලිවන්තකම අපිට උදව් වෙනවා. අපි දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබන බවත් ඔහුගේ නාමය වෙනුවෙන් ඕනෑම දෙයකට මුහුණ දෙන්න සූදානම් බවත් ඔප්පු කරන්න දෙවි අපිට දැන් අවස්ථාව දී තිබෙනවා. (1 පේතෘ. 4:13, 14) ඒ අතරතුරේදී ගැලවීම ලබාගැනීමට අවශ්‍ය ඉවසීම තවත් වැඩි කරගැනීමට දෙවි අපිව පුහුණු කරනවා.—1 පේතෘ. 5:10.

18 ස්වර්ගයෙත් පොළොවෙත් සියලුම බලය දැන් යේසුස්ට භාර දී තිබෙනවා. දෙවි ඔහු මාර්ගයෙන් අපිව ආරක්ෂා කරනවා. අපි ඒ රැකවරණය ප්‍රතික්ෂේප කළොත් මිස එය නැති කරන්න වෙන කිසි කෙනෙකුට බැහැ. (යොහ. 10:28, 29) අනාගතය ගැනවත් මරණය ගැනවත් අපි භය වෙන්න අවශ්‍ය නැහැ. අවසානය දක්වා ඉවසීමෙන් යුතුව විඳදරාගන්නා අයට ගැලවීම ලැබෙයි. සාතන්ට අපිව රවටන්න ඉඩ නොදෙමු. යෙහෝවා දෙවිගෙන් ඈත් නොවී සිටිමු. දෙවි අපිට දී තිබෙන කෙටි කාලය තුළ විශ්වාසයෙන් හා ඉවසීමෙන් ක්‍රියා කරමු.—මතෙ. 24:13; 2 පේතෘස් 3:17, 18 කියවන්න.