Skip to content

පටුනට යන්න

“ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ”

“ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ”

“එමනිසා සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ.”—මතෙ. 25:13.

1-3. (අ) යේසුස් කී උපමා දෙක වටහාගැනීමට මොන උදාහරණ දෙක පාවිච්චි කරන්න පුළුවන්ද? (ආ) අපි පිළිතුරු සොයාගත යුත්තේ මොන ප්‍රශ්නවලටද?

උසස් නිලධාරියෙකුට වැදගත් රැස්වීමකට යන්න අවශ්‍ය වී ඔහුව එහි රැගෙන යන්න කියා ඔබෙන් ඉල්ලනවායයි සිතන්න. ඔහුව ගන්න යන්න පිටත් වෙනවාත් එක්කම වාහනයේ ඉන්ධන මදි බව දකින ඔබ ඉන්ධන ගහන්න යනවා. ඒ අතරේ ඔබව හමු වෙන්න සැලසුම් කරගත් තැනට ඔහු එනවා. ඔබ එතැන නැති නිසාත් ඔබ එන තුරු රැඳී ඉන්න බැරි නිසාත් ඔහු වෙනත් කෙනෙක් එක්ක ඒ ගමන යනවා. ඔබ ඇවිත් ඒ බව දැනගත් විට ඔබට කොහොම හැඟෙයිද?

2 අනික් අතට ඒ නිලධාරියා ඔබයි කියා සිතන්න. ඉතා වැදගත් වැඩක් තුන්දෙනෙකුට පවරා ඔබ පිට රටකට යනවා. කළ යුතු දේ ගැන ඔබ ඔවුන්ට පැහැදිලි කළ විට ඔවුන් ඊට එකඟ වෙනවා. කලකට පසු ඔබ නැවත ආ විට එම වැඩය කර තිබෙන්නේ දෙන්නෙක් විතරයි කියා ඔබ දකිනවා. තුන්වෙනියා තමන්ට පැවරූ වැඩේ කරන්න උත්සාහ කරලාවත් නැහැ. ඒ මදිවට ඒ ගැන නිදහසට කරුණුත් කියනවා. දැන් ඔබට මොනවා හිතෙයිද?

3 මේ උදාහරණ දෙක කියවද්දී යේසුස් පැවසූ කන්‍යාවන් දසදෙනා හා තලෙන්ත පිළිබඳ උපමා ඔබේ මතකයට නැඟුණාද? ඒ උපමා දෙක අදාළ වෙන්නේ මේ අවසාන කාලයටයි. සමහර අභිෂේක ලත් අය විශ්වාසවන්තව හා නුවණ ඇතුව ක්‍රියා කරද්දී අනික් අභිෂේක ලත් අය එසේ කරන්නේ නැති බව එයින් පෙන්වනවා. * (මතෙ. 25:1-30) විනාශය හරියටම එන්නේ කොයි මොහොතේද කියා තම ගෝලයන් දන්නේ නැති බව යේසුස් එම උපමා දෙකෙන් කාවද්දන්න උත්සාහ කළා. “සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ” කියා තවදුරටත් පැවසුවේ ඒ නිසයි. (මතෙ. 25:13) ‘සෝදිසියෙන් සිටින්න’ යන උපදෙස අදටත් අදාළයි. එසේ සිටීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? සෝදිසියෙන් සිටි අය කවුද? සෝදිසියෙන් සිටීම සඳහා අපි කළ යුත්තේ මොනවාද?

දවස නොදැන සිටීම ප්‍රයෝජනවත්

4. සෝදිසියෙන් සිටීම සඳහා විනාශය එන දවස දැනගැනීම අත්‍යවශ්‍ය නැත්තේ ඇයි?

4 සමහර අවස්ථාවලදී වෙලාව දැනගෙන වැඩ කරන එක වැදගත්. උදාහරණයකට, කෝච්චිය අල්ලගන්න, රස්සාවට යන්න හෝ වෛද්‍යවරයෙකුව හමු වෙන්න නිශ්චිත වෙලාවන් තිබෙනවා. අනික් අතට ගිනි නිවන භටයෙක් ගැන සිතන්න. ඔහු ගින්න නිවන අතරේ වැඩ ඉවර වෙන්නේ කොයි වෙලේද කියා සිතමින් ඔරලෝසුව බල බල හිටියොත් මොනවා වෙයිද? වැඩේ හරියට කෙරෙන්නේ නැහැ. තත්වය භයානක අතට හැරෙන්නත් ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවකදී වෙලාව බලනවාට වඩා වැඩේ ඉවර කරන එක කොතරම් වැදගත්ද! අපි ජීවත් වෙන්නෙත් ජීවිත ගලවාගත යුතු කාලයක නිසා විනාශය එන්නේ කවදාද කියලා හිත හිත ඉන්නවාට වඩා මිනිසුන්ට ගැලවෙන්න උදව් කරන එක කොතරම් වැදගත්ද! විනාශය එන දවස නොදැන සිටීම අඩුම තරමින් පැති පහකින්වත් අපිට ප්‍රයෝජනවත්.

5. විනාශය එන දවස නොදැන සිටීම මගින් අපේ සිතේ තිබෙන දෙය හෙළි වෙන්නේ කොහොමද?

5 මුල්ම ප්‍රයෝජනය නම් අපේ සිතේ තිබෙන දෙය එයින් හෙළි වීමයි. අපි දෙවිට විශ්වාසවන්තව ඉන්නේ කැමැත්තෙන්මද නැද්ද කියා ඔප්පු කරන්න දෙවි අපිට අවස්ථාවක් ලබා දෙනවා. අපි දෙවිට සේවය කරන්නේ විනාශයෙන් බේරිලා සදාකාල ජීවනය ලබන්න තිබෙන ආශාව නිසාම නෙවෙයි. අපි එසේ කරන්නේ ඔහුට තිබෙන ආදරේ නිසයි. (ගීතාවලිය 37:4 කියවන්න.) දෙවිගේ කැමැත්ත කිරීමෙන් අපි සතුටක් ලබන අතර එය අපේම යහපතට කියා අපි වටහාගෙන තිබෙනවා. (යෙසා. 48:17) ඒ නිසා ඔහුගේ නීති අපිට බරක් නෙවෙයි.—1 යොහ. 5:3.

6. කැමැත්තෙන්ම දෙවිට සේවය කරන විට දෙවිට හැඟෙන්නේ කොහොමද? ඔහුට එසේ හැඟෙන්නේ ඇයි?

6 දෙවෙනි එක නම් අපිට දෙවිව සතුටු කිරීමට අවස්ථාවක් ලැබීමයි. අපි සේවය කරන්නේ ඔහුට තිබෙන ප්‍රේමය නිසා මිස දිනයක් හෝ වාසියක් බලාගෙන නෙවෙයි. ඒ විදිහට සේවය කරන නිසා සාතන් බොරුකාරයෙක් බව ඔප්පු කරන්න අපි දෙවිට සහාය වෙනවා. (යෝබ් 2:4, 5; හිතෝපදේශ 27:11 කියවන්න.) දුක් වේදනාවලට හේතුව සාතන් කියා දන්නා නිසා අපි කැමැත්තෙන්ම දෙවිගේ පැත්ත ගෙන සාතන්ගේ පාලනය ප්‍රතික්ෂේප කරනවා.

7. දෙවි හා අන් අය වෙනුවෙන් කැප වෙන්න ඔබ කැමති ඇයි?

7 දවස හා පැය නොදැන සිටීමෙන් ලැබෙන තුන්වෙනි ප්‍රයෝජනය නම් අපේම ආශාවන් පසුපස නොගොස් දෙවි හා අන් අය වෙනුවෙන් කැප වී සේවය කරන්න අපිට පහසු වීමයි. දෙවිගේ අරමුණු ගැන නොදන්නා අය පවා ලෝක විනාශයක් එයි කියා සිතනවා. ඒත් එයින් බේරෙන්න කළ යුතු දේ ගැන නොදන්නා නිසා ඔවුන් ජීවත් වෙන්නේ “අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු” කියන ආකල්පයෙන්. (1 කොරි. 15:32) නමුත් අපිට ඒ වගේ භයක් නැති නිසා අපි හිතන්නේ අපි ගැන විතරක් නෙවෙයි. (හිතෝ. 18:1) අපි කාලය, ශ්‍රමය හා මිල මුදල් වැය කරන්නේ දේවරාජ්‍ය පිළිබඳ ශුභාරංචිය දේශනා කරන්නයි. (මතෙව් 16:24 කියවන්න.) අනික් අයට දෙවි ගැන දැනගන්න උදව් කළාම එයින් අපිට පුදුමාකාර සතුටක් ලැබෙනවා.

8. අපි දෙවි මත රඳා සිටිය යුතු බව පෙන්වන බයිබල් සිද්ධිය මොකක්ද?

8 දෙවි මත රඳා සිටීමට හා ඔහුගේ උපදෙස් පිළිපැදීමට පෙලඹීම හතරවෙනි ප්‍රයෝජනයයි. සාමාන්‍යයෙන් අපේ අසම්පූර්ණකම නිසා නිතරම හිතෙන්නේ ‘මට කාගෙවත් උදව් ඕනෙ නෑ, හැම දෙයක්ම මට කරගන්න පුළුවන්’ කියායි. නමුත් පාවුල් ඒ ගැන මෙසේ අනතුරු ඇඟෙව්වා. “කෙනෙක් තමා ස්ථිරව සිටිනවා කියා සිතුවත් ඔහු වැටී යෑමට ඉඩ තිබේ. එමනිසා ඔහු සෝදිසියෙන් සිටිය යුතුයි.” පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියා සිටි ඊශ්‍රායෙල්වරුන් දෙවිගෙන් ඈත් වුණා. ඔවුන්ට දෙවිගේ අනුමැතිය නැති වූ නිසා 23,000දෙනෙකුව දෙවි විනාශ කළා. එවැනි සිදුවීම් ‘ලියනු ලැබුවේ මේ සමාජයේ අවසාන කාලයේ ජීවත් වන අපට අනතුරු ඇඟවීමක් ලෙසයි’ කියා පාවුල් පැවසුවා.—1 කොරි. 10:8, 11, 12.

9. පීඩා නිසා අපේ විශ්වාසය ශක්තිමත් වෙන්නේ කොහොමද?

9 විනාශය එන වේලාව නොදැන සිටීමෙන් ලැබෙන පස්වෙනි ප්‍රයෝජනය මෙයයි. එනම් පීඩාවලට මුහුණ දීමෙන් ලැබෙන පුහුණුව නිසා අපේ විශ්වාසය ශක්තිමත් වීමයි. (ගීතාවලිය 119:71 කියවන්න.) අපි ජීවත් වෙන්නේ ‘ඉතා අසීරු, අනතුරු සහිත කාලයකයි.’ (2 තිමෝ. 3:1-5) සාතන්ගේ ලෝකයේ සිටින බොහෝදෙනෙක් අපිට වෛර කරනවා. අපිට පීඩා කරනවා. (යොහ. 15:19; 16:2) නමුත් එවැනි පීඩා විඳදරාගෙන අපි දෙවිගේ මඟ පෙන්වීම් පතනවා නම් ගින්නෙන් රත්තරන් පිරිසිදු වෙනවා වගේ පීඩා විඳදරාගැනීමෙන් දෙවි කෙරෙහි තිබෙන අපේ විශ්වාසයත් ඔහු සමඟ තිබෙන අපේ බැඳීමත් තව ශක්තිමත් වෙනවා.—යාකො. 1:2-4; 4:8.

10. කාලය ඉගිළෙනවා කියා දැනෙන්නේ කොහොම කටයුතු කරද්දීද?

10 අපි කාර්ය බහුල නැත්නම් අපිට දැනෙන්නේ වෙලාව යන්නේ නෑ වගේ. නමුත් අපි යම් කාර්යයක උද්‍යෝගයෙන් යෙදිලා ඉන්නකොට අපිට දැනෙන්නේ වෙලාව ඉගිළෙනවා වගේ. ඒ නිසා යෙහෝවා දෙවි අපට පවරා තිබෙන දේශනා සේවය උද්‍යෝගයෙන් කරනවා නම් කාලය ගෙවෙන්නේ අපිටත් නොදැනීමයි. ඒ සම්බන්ධයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් අපිට හොඳ ආදර්ශයක්. දැන් අපි 1914දී යේසුස් රජ වූ පසු සිදු වූ දේවල් කීපයක් ගැනත් සමහර අභිෂේක ලත් අය සූදානම්ව සිටි ආකාරය හා සමහරු සූදානම්ව නොසිටි ආකාරය ගැනත් සලකා බලමු.

අභිෂේක ලත් අය සූදානම් බව පෙන්වයි

11. වර්ෂ 1914දී ස්වාමියා ප්‍රමාද වෙනවා කියා සමහර අභිෂේක ලත් අය සිතුවේ ඇයි?

11 අපි කන්‍යාවන් දසදෙනා හා තලෙන්ත පිළිබඳ උපමා ගැන නැවත සිතමු. එම කන්‍යාවන් හෝ දාසයන්, මනාලයා හෝ ස්වාමියා එන වෙලාව හරියටම දැන සිටියා නම් ඔවුන්ට දිගටම සෝදිසියෙන් සිටින්න අවශ්‍ය වෙන්නේ නැහැ. සූදානමින් ඉන්න ඔවුන්ට සිදු වුණේ මනාලයා හෝ ස්වාමියා එන වෙලාව නොදැන සිටි නිසයි. අභිෂේක ලත් ක්‍රිස්තියානීනුත් 1914 සුවිශේෂී වසරක් බව කාලයක් තිස්සේ දැනගෙන සිටියත් ඒ වසරේදී හරියටම වෙන්නේ මොකක්ද කියලා දැනගෙන සිටියේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වූ විදිහටම දේවල් සිදු නොවූ විට ඔවුන් සිතුවේ යේසුස් එන්න ප්‍රමාද වෙනවා කියායි. ඒ ගැන එක් අභිෂේක ලත් සහෝදරයෙක් පැවසුවේ මෙවැනි දෙයක්. “අපි ඇත්තටම හිතුවේ 1914 ඔක්තෝබර් මුල් සතිය තුළ අපේ ස්වාමීන් අපිව ස්වර්ගයට ගනියි කියලයි.”

12. අභිෂේක ලත් අය විශ්වාසවන්ත හා නුවණ ඇති අය බව ඔප්පු කළේ කොහොමද?

12 තමන් බලාපොරොත්තු වූ දේ ඉටු නොවූ විට අභිෂේක ලත් අයට එය කොයි තරම් අමාරු වෙන්න ඇද්ද? ඊට අමතරව ඒ කාලයේදීම සිදු වූ පළවෙනි ලෝක මහා යුද්ධය නිසා තවත් දුෂ්කරතා රැසකට ඔවුන්ට මුහුණ දෙන්න සිදු වුණා. ඒ නිසා දේශනා සේවය සම්පූර්ණයෙන්ම වාගේ ඇණහිටියා. එය අභිෂේක ලත් ක්‍රිස්තියානීන් නින්දට ගියා හා සමාන තත්වයක්. නමුත් 1919දී තමන් ක්‍රිස්තියානියයි කියාගන්නා අයව පරීක්ෂා කරන්න යේසුස් පැමිණි අවස්ථාවේදී අභිෂේක ලත් අයගෙන් බොහෝදෙනෙක් නැවත නින්දෙන් අවදි වුණා. ඒත් සමහර අභිෂේක ලත් අය පැවරූ වැඩය කරමින් සිටියේ නැති නිසා ඔවුන් පරීක්ෂණයෙන් අසමත් වුණා. ඔවුන් ක්‍රියා කරමින් සිටියේ පහන්වලට තෙල් පුරවා නොගත් නුවණ නැති කන්‍යාවන් වගෙයි. ඒ වගේම ස්වාමියාට විශ්වාසවන්ත නොවූ කම්මැලි දාසයා වගේ ශුභාරංචිය වෙනුවෙන් කැප කිරීම් කරන්න ඔවුන් කැමති වුණේ නැහැ. අනික් අතට අභිෂේක ලත් අයගෙන් බොහෝදෙනෙක් කොයි තරම් දුෂ්කරතාවලට මුහුණ දුන්නත් යුද්දේ කාලයේදී දෙවිට පක්ෂපාතව සිටි අතර යේසුස් පැවරූ වැඩය මහත් උනන්දුවකින් කරමින් සිටියා. “තලෙන්ත පහ ලැබූ තැනැත්තා වහාම ගොස් ඒවායින් වෙළඳාම් කොට තව පහක් උපයාගත්තා.”—මතෙ. 25:16.

13. වර්ෂ 1914 සිටි අභිෂේක ලත් අයගේ බලාපොරොත්තු ඉටු නොවුණත් ඔවුන්ට තිබූ ආකල්පය මොකක්ද? දැන් සිටින අභිෂේක ලත් අය කටයුතු කරන්නේ කොහොමද?

13 ඒ කාලයේ සිටි අභිෂේක ලත් අයට තිබූ ආකල්පය ගැන 1914න් පසු පළ වූ වොච්ටවර් සඟරාවක සඳහන් වුණේ මෙහෙමයි. “හරි ආකල්පයෙන් හිටපු අය බලාපොරොත්තු සුන් කරගත්තේ නැහැ. වර්ෂ 1914 ඔක්තෝබර් මාසයේදී සිද්ධ වෙයි කියා අපි බලාපොරොත්තු වූ දේ ඉටු නොවූ විට අපි හිතුව විදිහ වැරදි බවත් ඒක දෙවිගේ කැමැත්ත නොවන බවත් අපි තේරුම්ගත්තා. දෙවි අපේ කැමැත්තට අනුව වැඩ නොකිරීම ගැන අපි සතුටු වුණා. අපිට ඇත්තටම ඕනෙ දෙවිගේ කැමැත්ත මොකක්ද කියා හොඳින් වටහාගන්නයි.” අද සිටින අභිෂේක ලත් අය ක්‍රියා කරන්නෙත් ඒ අභිෂේක ලත් අය වගේ නිහතමානී ආකල්පයකින්. දෙවි තමන් සමඟ කෙළින්ම කතා කරනවා කියා ඔවුන් කියන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් යේසුස් තමන්ට පැවරූ කාර්යය කරමින් සිටිනවා. වෙනත් බැටළුවන්ද ඔවුන්ගේ ආදර්ශය අනුකරණය කරනවා.—එළි. 7:9; යොහ. 10:16.

සූදානම් බව අපිත් පෙන්වමු

14. දාසයාට කීකරු වීම අපිට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

14 තම වචනයෙන් හා බලයෙන් ප්‍රයෝජන ගන්න තම සෙනඟට ඉගැන්වීමට දෙවි පත් කර තිබෙන්නේ විශ්වාසවන්ත නුවණ ඇති දාසයාවයි. වෙනත් බැටළුවන් තමන් සූදානමින් සිටින බව පෙන්වන්නේ එම දාසයා උගන්වන දේවලට කීකරු වීමෙන්. ඔවුන් එසේ ඉගෙනගන්නා විට ඔවුන් කරන්නේ හරියට උපමාවේ සඳහන් නුවණ ඇති කන්‍යාවන් වගේ තමන්ගේ පහන්වලට තෙල් පුරවාගැනීමයි. (ගීතාවලිය 119:130; යොහන් 16:13 කියවන්න.) එහි ප්‍රතිඵලයක් ලෙස ඉතාම දරුණු තත්වයන්ට පවා මුහුණ දී විනාශය පැමිණෙන තුරු දිගටම විශ්වාසවන්තව හා අවදිව සිටින්න ඔවුන්ට හැකි වෙනවා. උදාහරණයකට නාට්සි සිරකඳවුරක සිටි සහෝදරයන් ගැන සිතන්න. ඒ හැමෝටම තිබුණේ එක බයිබලයයි. ඒ නිසා තව පොත් පත් ලබා දෙන්න කියා ඔවුන් දෙවිට කන්නලව් කළා. කඳවුරට පැමිණි ආබාධිත සහෝදරයෙක් අලුත්ම මුරටැඹ සඟරා කීපයක් තම බොරු කකුලේ සඟවාගෙන ආ බව වැඩි කල් යන්න කලින් ඔවුන්ට ආරංචි වුණා. එම කඳවුරේ සිටි එක් අභිෂේක ලත් සහෝදරයෙක් වන අර්න්ස්ට් වවර් පසු කලෙක පැවසුවේ මෙසේයි. “සඟරාවල තිබුණු දිරිගන්වනසුලු අදහස් මතක තියාගන්න යෙහෝවා දෙවි පුදුම විදිහට අපිට උදව් කළා. දැන් නං අපිට ඇති වෙන්න පොත් පත් ලැබෙන හින්දා සමහර වෙලාවට අපි ඒවා එච්චර අගේ කරන්නෑ. ඒත් එදා අපිට එක සඟරාවක් ලැබුණත් අපි ඒක සැලකුවේ මසුරන් වගේ. යෙහෝවා දෙවිව විශ්වාස කරමින් ඔහුට පක්ෂපාතව සිටින අයට ඒවායින් හිඟයක් වෙන්නෑ කියලා මම තදින් විශ්වාස කරනවා.”

15, 16. උද්‍යෝගයෙන් සේවය කළ යුවළක් ආශීර්වාද ලැබුවේ කොහොමද? එවැනි අද්දැකීම්වලින් ඔබට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

15 වෙනත් බැටළුවන් අභිෂේක ලත් අයට සහයෝගය දක්වන්නේ ශුභාරංචිය උද්‍යෝගයෙන් දේශනා කිරීමෙනුයි. (මතෙ. 25:40) ඔවුන් ක්‍රියා කරන්නේ උපමාවේ සඳහන් දුෂ්ට අලස දාසයා වගේ නෙවෙයි. ඒ වෙනුවට දේවරාජ්‍යයට මුල් තැන දෙමින් බොහෝ කැප කිරීම් කිරීමට ඔවුන් කැමැත්තෙන් සිටිනවා. ජොන් හා මසාකෝගේ අද්දැකීම බලන්න. කෙන්යාවේ සිටින චීන ජාතිකයන්ට දේශනා කිරීමට ඔවුන්ට ආරාධනාවක් ලැබුණා. ඔවුන් යන්නද නොයන්නද කියා දෙගිඩියාවෙන් සිටියත් හැම පැත්තක් ගැනම කල්පනා කර දෙවිට යාච්ඤා කළාට පසු කෙන්යාවට යන්න ඔවුන් තීරණය කළා.

16 සේවයට ඔවුන් තුළ තිබෙන උද්‍යෝගය නිසා යෙහෝවා දෙවි ඔවුන්ට ගොඩක් ආශීර්වාද කර තිබෙනවා. ඔවුන් විගස බයිබල් පාඩම් හතක් පටන්ගත්තා. ප්‍රීතිමත් අද්දැකීම් බොහොමයක් ලබන්නත් ඔවුන්ට අවස්ථාව උදා වුණා. ඒ ගැන ඔවුන් කියන්නේ මෙහෙමයි. “මෙහෙ සේවය නම් නියමයි! මෙහෙ ඇවිත් යෙහෝවා දෙවිට සේවය කරන්න අවස්ථාව දුන්න එක ගැන අපි යෙහෝවා දෙවිට ස්තුති නොකරන දවසක් නැහැ.” විනාශය කවදා ආවත් ඒ දවස දක්වාම කැපවීමෙන් සේවය කරන්න තමන් කැමති බව බොහෝ සහෝදර සහෝදරියන් පෙන්වා තිබෙනවා. ගිලියද් පාසැලට සහභාගි වූ හා මිෂනාරි සේවයේ යෙදෙන දහස් ගණන් සහෝදර සහෝදරියන් ගැන සිතන්න. මිෂනාරි සේවය ගැන වැඩි විස්තර 2001 ඔක්තෝබර් 15 මුරටැඹ සඟරාවේ “අපේ උපරිමය අපි කරනවා” යන ලිපියෙන් දැනගන්න පුළුවන්. මිෂනාරිවරයෙක්ගේ දවසේ වැඩ ගැන සඳහන් එම ලිපිය කියවද්දී ඔබේ සේවයත් වැඩි කරගන්න පුළුවන් කොහොමද කියා සිතා බලන්න. උද්‍යෝගයෙන් සේවය කිරීමෙන් යෙහෝවා දෙවිට ප්‍රශංසාවක් ලැබෙන අතර ඔබේ සතුටද වැඩි කරගන්න පුළුවන්.

ඔබත් සෝදිසියෙන් සිටින්න

17. විනාශය එන දවස හා වේලාව නොදැන සිටීම ආශීර්වාදයක් වෙන්නේ කොහොමද?

17 විනාශය එන දවස හා වේලාව අපි දන්නේ නැහැ. නමුත් ඒක කනස්සල්ලට හේතුවක් නෙවෙයි. එය නොදැන සිටීම ආශීර්වාදයක්! දෙවිගේ කැමැත්ත උද්‍යෝගයෙන් කරන්නත් අපේ ආදරණීය පියා සමඟ තිබෙන මිත්‍රත්වය තවත් ශක්තිමත් කරගන්නත් එමගින් අපිට අවස්ථාවක් ලැබී තිබෙනවා. වෙනත් දේවලට අවධානය දෙනවා වෙනුවට යේසුස් අණ කළ කාර්යය කෙරෙහි අපි අවධානය දෙන නිසා දැන් පවා අපි තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා.—ලූක් 9:62.

18. විශ්වාසවන්තව දිගටම සේවය කරන්න අපිට උවමනා ඇයි?

18 දුෂ්ට සමාජයේ විනාශය අත ළඟ නිසා දෙවිට විශ්වාසවන්තව දිගටම සේවය කිරීම අපේ කැමැත්තයි. යෙහෝවා දෙවි හා යේසුස් දේවසේවය නමැති පැවරුම මහත් විශ්වාසයකින් අපිට භාර දී තිබෙනවා. ඒ විශ්වාසය බිඳින්න අපිට කිසිම උවමනාවක් නැහැ.—1 තිමෝති 1:12 කියවන්න.

19. අපි සූදානම්ව සිටින බව පෙන්වන්නේ කොහොමද?

19 අපි අනාගතයේදී ජීවත් වීමට බලාපොරොත්තු වෙන්නේ ස්වර්ගයේ වුණත් පොළොවේ වුණත් දේශනා කරන්න හා ගෝලයන් වීමට ජනයාට උදව් කරන්න කියා දී ඇති අණට අපි දිගටම කීකරු වෙනවා. දෙවිගේ මහත් දවස එන දිනය හා වේලාව දැනගන්න අපිට අවශ්‍ය නැහැ. එය කවදා ආවත් අපි එදාට අනිවාර්යයෙන්ම සූදානම්ව සිටිනවා. (මතෙ. 24:36, 44) යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබමින් දේවරාජ්‍යයට මුල් තැන දෙන තාක් කල් අපේ බලාපොරොත්තුව කිසිදාක කඩ නොවන බව සහතිකයි!—රෝම 10:11.