Skip to content

පටුනට යන්න

දෙවිගේ සෙනඟට ප්‍රීතිමත් අවස්ථාවක් වන සමුළු

දෙවිගේ සෙනඟට ප්‍රීතිමත් අවස්ථාවක් වන සමුළු

‘සියලුම පුරුෂයන්, ස්ත්‍රීන්, කුඩා දරුවන් මෙන්ම විදේශිකයන්ද රැස් විය යුතුයි.’—ද්වි. 31:12.

1, 2. මේ ලිපියෙන් සමුළු ගැන අපි ඉගෙනගන්නේ මොනවාද?

ජාත්‍යන්තර සමුළු හා තුන්දින සමුළු අද සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාරයේ සුවිශේෂී අංගයක්. අපෙන් බෙහෝදෙනෙක් අවුරුදු ගාණක් තිස්සේ සමුළුවලට ගිහින් තිබෙනවා. ඒ අවස්ථාවලදී අපි මොන තරම් සතුටු වුණාද!

2 දෙවිගේ සෙනඟ සමූහයක් ලෙස රැස් වෙන්න පටන්ගත්තේ අද ඊයෙක ඉඳලා නෙවෙයි. ඔවුන් එසේ රැස් වූ අවස්ථා කීපයක් ගැනත් අද අපි සහභාගි වන සමුළුවලට ඒවා සමාන වෙන්නේ කොහොමද කියාත් දැන් අපි බලමු. සමුළුවලට සහභාගි වීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැනත් අපි සාකච්ඡා කරමු.—ගීතා. 44:1; රෝම 15:4.

අතීතයේ සිට පැවැත්වූ ඉතා වැදගත් සමුළු

3. (අ) දෙවි සීනයි කඳු පාමුලට සෙනඟව රැස් කළ අවස්ථාවේදී සිදු වුණේ මොකක්ද? (ආ) සෙනඟව රැස් කිරීම සඳහා යොදාගත් ක්‍රමය මොකක්ද?

3 ඊශ්‍රායෙල්වරුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීම සඳහා දෙවි ඔවුන්ව සීනයි කඳු පාමුලට රැස් කළා. දෙවි එතරම් විශාල සෙනඟක් එකට රැස් කළ මුල්ම වතාව එයයි. පවිත්‍ර නමස්කාරයේ විශේෂ අවස්ථාවක් වූ ඒ දවස ඔවුන්ට කවදාවත් අමතක නොවෙන්න ඇති. එදා දෙවි තම සෙනඟට නීතිය ලබා දුන් අතර ඔහුගේ බලය දකින්නත් සැලැස්සුවා. (නික්. 19:2-9, 16-19; නික්මයාම 20:18; ද්විතීය කතාව 4:9, 10 කියවන්න.) එදා ඔවුන් දෙවිගේ සෙනඟ බවට පත් වූ අතර ජනයා එකට රැස් වී දෙවිගෙන් මඟ පෙන්වීම් ලබාගැනීම නමස්කාරයේ අංගයක් වුණා. වැඩි කල් යන්න කලින් රැස් විය යුතු එවැනි අවස්ථා සෙනඟට දැනුම් දීම සඳහා රිදීයෙන් හොරණෑ දෙකක් සාදන්න කියා දෙවි මෝසෙස්ට කිව්වා. හොරණෑ දෙකේ හඬ ඇසෙද්දී ‘මුළු සෙනඟ සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයට’ පැමිණිය යුතුයි කියා මෝසෙස් සෙනඟට දැන්නුවා. (ගණන්. 10:1-4) එසේ රැස් වූ අවස්ථාවලදී සෙනඟ තුළ මොන වගේ හැඟීමක් ඇති වෙන්න ඇද්ද කියා ටිකක් සිතා බලන්න.

4, 5. මෝසෙස් හා යොෂුවා සෙනඟව රැස් කළ අවස්ථා එතරම් වැදගත් වුණේ ඇයි?

4 ඊශ්‍රායෙල්වරුන් අවුරුදු 40ක් පුරා පාළුකරයේ ගමන් කර පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියා තිබෙද්දී මෝසෙස් සෙනඟව රැස් කෙරුවා. දෙවි ඔවුන් වෙනුවෙන් කළ දේවල් ගැනත් ඉදිරියේදී කරන දේවල් ගැනත් සෙනඟට මතක් කර දෙන්න මෝසෙස් ඒ තීරණාත්මක අවස්ථාව යොදාගත්තා.—ද්වි. 29:1-15; 30:15-20; 31:30.

5 ඉදිරියේදී සෙනඟ නොකඩවා එක්රැස් විය යුතු විශේෂ අවස්ථාවක් ගැනත් මෝසෙස් ජනයාව දැනුවත් කළා. ඒ අවස්ථාව නම් හත්වෙනි අවුරුද්දේ පැවැත්විය යුතු වූ පැල් උත්සවයයි. එම උත්සවය අවුරුදුපතා පැවැත්තුවත් හත්වෙනි අවුරුද්දේ එය පවත්වන විට ඊශ්‍රායෙලයේ සියලුම පුරුෂයන්, ස්ත්‍රීන්, කුඩා දරුවන් වගේම ඔවුන් අතරේ ජීවත් වූ විදේශිකයන්ද දෙවි තෝරාගත් ස්ථානයකට රැස් වී ‘ඔහුට ගරුබිය දක්වන්නත් නීතියේ සඳහන් සියලු දේ හොඳින් පිළිපදින්නත් ඉගෙනගත යුතු වුණා.’ (ද්විතීය කතාව 31:1, 10-12 කියවන්න.) ඉන් පැහැදිලි වුණේ තම සෙනඟ එකට රැස් වී ඔහුගේ නීති ඉගෙනගෙන ඒවා පිළිපදිනවා දකින්න දෙවි කැමති වූ බවයි. ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට ඇතුල් වූ පසු යොෂුවාද සෙනඟව කැඳෙව්වා. බොරු දෙවිවරුන්ට නමස්කාර කළ ජාතීන්ගෙන් ඊශ්‍රායෙල් සෙනඟ වට වී සිටි නිසා දෙවිට පක්ෂපාතව සිටින්න නම් ඔවුන්ව දිරිගැන්විය යුතු බව ඔහු දැන සිටියා. යෙහෝවා දෙවිට මිස වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ කියා සෙනඟ එදා පොරොන්දු වුණා.—යොෂු. 23:1, 2; 24:1, 15, 21-24.

6, 7. අපේ කාලයේ පවත්වා ඇති විශේෂ සමුළු මොනවාද?

6 අපේ කාලයේදී දෙවිගේ සෙනඟ එකට එක්රැස් වූ විශේෂ අවස්ථා තිබෙනවා. අපි ඒවා හඳුන්වන්නේ සමුළු කියායි. දෙවිගේ සංවිධානයේ වැඩකටයුතුවල සිදු කරන යම් යම් වෙනස්කම් ගැන දැනුවත් කිරීමටත් බයිබල් ඉගැන්වීම් පිළිබඳ අපේ අවබෝධය පුළුල් කිරීමටත් මේ සමුළු ඉවහල් වෙනවා. (හිතෝ. 4:18) පළමුවන ලෝක මහා යුද්ධයෙන් පසු බයිබල් ශිෂ්‍යයන් පැවැත්වූ මුල්ම විශාල සමුළුවට 7,000දෙනෙක් විතර පැමිණියා. එය පැවැත්තුවේ 1919දී ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ සීඩා පොයින්ට්හිදියි. මුළු ලෝකය පුරා දේශනා කිරීමට විශේෂ වෑයමක් දරන්න කියා එහිදී දැනුම් දුන්නා. එම ස්ථානයේදීම 1922දී දවස් නවයක සමුළුවක් පැවැත්තුවා. මහා බැබිලෝනියේ විනාශය පැමිණෙන තුරු අස්සක් මුල්ලක් නෑර සැම තැනම දේශනා කරන්න කියා සහෝදර ජෝසෆ් එෆ්. රදෆර්ඩ් දුන් කතාවෙන් සහෝදරයන්ව දිරිගැන්නුවා. ඔහු පැවසුවේ මෙසේයි. “යෙහෝවා, දෙවි බවත් යේසුස්, රජුන්ගේ රජු සහ ස්වාමිවරුන්ගේ ස්වාමියා බවත් මුළු ලෝකෙම දැනගන්න ඕනෙ. මෙය අතිවිශිෂ්ට කාලයක්. යේසුස් රජ ලෙස පාලනය කරනවා. ඔබ ඔහුගේ නියෝජිතයෝ. ඒ නිසා රජු සහ ඔහුගේ රාජ්‍යය ගැන ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න!” එහි ප්‍රතිඵලය වුණේ පැමිණ සිටි අයත් ලොව පුරා සිටි දෙවිගේ සෙනඟත් කලින්ට වඩා උද්‍යෝගයෙන් දේශනා කරන්න පටන්ගැනීමයි.

7 වර්ෂ 1931දී ඔහියෝ ප්‍රාන්තයේ කොලම්බස් නගරයේ පැවැත්වූ සමුළුවේදී තමන්ව මින් ඉදිරියට හඳුන්වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෙසයි කියා දැනගත්තාම බයිබල් ශිෂ්‍යයන් මොන තරම් සතුටු වුණාද! ඒ වගේම 1935 ඇමරිකාවේ වොෂින්ටන් ඩී. සී. නගරයේදී පැවැත්වූ සමුළුවේදී ‘සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් සිටගෙන සිටි මහත් සමූහය’ කවුද කියා සහෝදර රදෆර්ඩ් පැහැදිලි කළා. (එළි. 7:9-17) පසුව 1942දී එනම් දෙවෙනි ලෝක මහා යුද්දෙ පැවති කාලයේ පැවැත්වූ සමුළුවකදී “සාමය දිගටම පවතීද” යන මාතෘකාවෙන් යුත් හද දනවන කතාවක් සහෝදර නේදන් එච්. නෝර් ඉදිරිපත් කළා. එළිදරව් 17වෙනි පරිච්ඡේදයේ සඳහන් ‘තද රතු පාට මෘගයාගෙන්’ නියෝජනය වන දේ පැහැදිලි කළ ඔහු යුද්ධයෙන් පසුවත් දිගටම දේශනා කළ යුතු බව පැවසුවා.

8, 9. සමහර සමුළු දෙවිගේ සෙනඟට හැඟීම්බර අවස්ථා වුණේ ඇයි?

8 වර්ෂ 1946 පැවැත්වූ “ප්‍රීතිමත් ජාතීන්” නම් සමුළුවේදී සහෝදර නෝර් “ගොඩනැඟිලි ඉදි කිරීමට හා පුළුල් කිරීමට තිබෙන අභියෝග” නමැති තේමාවෙන් යුත් කතාවක් දුන්නා. ඊට හවුල් වෙමින් වේදිකාවේ සිටි සහෝදරයෙක් සබයේ සිටි අයගේ ප්‍රතිචාරය ගැන මෙසේ ලිව්වා. “බෘක්ලින්හි බෙතෙල් නිවස හා මුද්‍රණාල පහසුකම් පුළුල් කිරීම ගැන සහෝදර නෝර් කියද්දී පැමිණ සිටි අය එක දිගට අත්පුඩි ගැහුවා. එයාලා කොච්චර සතුටු වුණාද කියලා ඈතට වුණත් හොඳට පෙනුණා.” වර්ෂ 1950දී නිව් යෝර්ක් නගරයේ පැවැත්වූ ජාත්‍යන්තර සමුළුව තවත් ඓතිහාසික සමුළුවක් වුණා. දෙවිගේ නාමය නියමිත ස්ථානවලට ඇතුළත් කර පරිවර්තනය කළ නව ලොව පරිවර්තනයේ ග්‍රීක ලියවිල්ල ඉංග්‍රීසි භාෂාවෙන් එළිදැක්වූයේ ඒ සමුළුවේදියි.—යෙරෙ. 16:21.

9 සාක්ෂිකරුවන්ට කලින් පීඩා කළ හා ඔවුන්ගේ සේවයට තහංචි පනවා තිබූ සමහර රටවල පවා සමුළු පැවැත්තුවා. උදාහරණයකට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ජර්මනියෙන් අතු ගා දමනවා කියා හිට්ලර් නියුරම්බර්ග් නගරයේදී පැවසුවා. ඔහුත් ඔහුගේ සගයනුත් රැස් වී එසේ පැවසූ ස්ථානයේදීම 1955දී සාක්ෂිකරුවන් විශාල සමුළුවක් පැවැත්තුවා. ඊට 1,07,000ක් පැමිණියා. එතැනට රැස් වූ අය කොතරම් හැඟීම්බර වුණාද කියනවා නම් එදා ඔවුන් සතුටු කඳුළු හෙළුවා. “දිව්‍ය භක්තිය” නමැති සමුළුව 1989දී පෝලන්තයේ ස්ථාන තුනක පැවැත්තුවා. ඊට සහභාගි වූ 1,66,518දෙනාගෙන් වැඩිදෙනෙක් පැමිණ සිටියේ සෝවියට් සංගමයෙන්, චෙකොස්ලොවේකියාවෙන් හා නැඟෙනහිර යුරෝපයේ වෙනත් රටවලින්. එහි සිටි සමහර අය ඊට කලින් 15ක් හෝ 20ක් වැනි සුළු පිරිසක් සමඟ නමස්කාරය සඳහා රැස් වී තිබුණත් මෙතරම් විශාල සෙනඟක් සිටි සමුළුවකට සහභාගි වූ මුල්ම වතාව මෙයයි. යුක්රේනයේ කීව් නගරයේ 1993දී පැවැත්වූ “දිව්‍ය ඉගැන්වීම්” ජාත්‍යන්තර සමුළුවට පැමිණි අයට ඒ දවස කිසිදාක අමතක වෙන්නේ නැහැ. එහිදී බව්තීස්ම වූ සංඛ්‍යාව 7,402ක්! එක දවසකදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එතරම් සංඛ්‍යාවක් බව්තීස්ම වූ බවට වාර්තා වූ අවස්ථාව එයයි.—යෙසා. 60:22; හග්. 2:7.

10. ඔබේ මතකයේ රැඳුණු සමුළු මොනවාද? ඊට හේතුව මොකක්ද?

10 සමහරවිට ඔබෙත් සිත්ගත් ජාත්‍යන්තර හා තුන්දින සමුළු ඇති. ඔබ ගිය මුල්ම සමුළුව හෝ ඔබ බව්තීස්ම වූ සමුළුව ඔබට මතකද? ඒ සොඳුරු මතකයන් කිසිදාක අමතක කරන්න එපා. (ගීතා. 42:4) ඒවා ඔබ යෙහෝවා දෙවිට පුදන නමස්කාරයේ වැදගත් අවස්ථා!

ප්‍රීති වීමට විශේෂ අවස්ථා

11. දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවැත්වීමට නියම කළ උත්සව මොනවාද?

11 අවුරුද්දට තුන් වතාවක් උත්සව පැවැත්වීමට යෙරුසලමට පැමිණෙන්න කියා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවා. මුහුන් නොදැමූ රොටි උත්සවය, සති උත්සවය (පසුව පෙන්තකොස්ත උත්සවය) හා පැල් උත්සවය ඒ උත්සව තුනයි. ඒ ගැන දෙවි සෙනඟට පැවසුවේ මෙසේයි. ‘ඔබේ සෙනඟ අතරේ සිටින පුරුෂයන් වසරකට තුන් වරක් යෙහෝවා දෙවි ඉදිරියේ පෙනී සිටිය යුතුයි.’ (ද්වි. 16:16; නික්. 23:14-17) ඒවායින් තම විශ්වාසය කොතරම් ශක්තිමත් වෙනවාද කියා දැන සිටි පුරුෂයන් තමන්ගේ පවුල්වල අයවත් ඒවාට රැගෙන ආවා.—1 සාමු. 1:1-7; ලූක් 2:41, 42.

12, 13. සෑම අවුරුද්දකම උත්සවවලට එන්න ඊශ්‍රායෙල්වරුන් කළේ මොන වගේ කැප කිරීම්ද?

12 උත්සව සඳහා යෙරුසලමට යන පවුලකට මොන තරම් කැප කිරීම් කරන්න සිදු වුණාද කියා සිතන්න. උදාහරණයකට, නාසරෙත් නුවර සිට කිලෝමීටර් 100ක පමණ දුරක් ගෙවාගෙන යෙරුසලමට යන්න යෝසෙප්ට සහ මරියාට සිදු වුණා. පුංචි දරුවන්වත් කරපින්නා ගෙන ඒ ගමන යන්න ඔබට සිදු වුණා නම් කොතරම් කාලයක් ගත වෙයිද කියා සිතා බලන්න. යේසුස්ට වයස අවුරුදු 12ක් වූ විට පවුලේ අය එක්ක යෙරුසලමට යද්දී ඔහුගේ නෑදෑ හිත මිතුරනුත් ඒ ගමනට හවුල් වූ බව බයිබලේ සඳහන්. එම ගමනේදී හැමෝටම කෑම පිළියෙල කරන්න, නන්නාඳුනන අය සිටින ප්‍රදේශවල පවා සුදුසු නවාතැන් සොයාගන්න මොන තරම් වෙහෙසක් දැරීමට සිදු වෙන්න ඇද්ද කියා සිතා බලන්න. යේසුස් බාල වයසේ සිටියත් ඔහුට යම් නිදහසක් දී තිබීමෙන් පැහැදිලි වන්නේ ඒ ගමන සෑහෙන දුරට ආරක්ෂාකාරී එකක් වූ බවයි. ඒ ගමන විශේෂයෙන්ම බාල දරුවන් ඇතුළු කොයි කාගෙත් මතකයේ රැඳුණු බව නම් සහතිකයි.—ලූක් 2:44-46.

13 ඊශ්‍රායෙල්වරුන් විවිධ රටවලට විසිරී ගියාට පසුව පවා ඔවුන් ජීවත් වූ තැන්වල සිට එම උත්සව සඳහා යෙරුසලමට ආවා. උදාහරණයකට, ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු අය ඒ උත්සව අගය කළ බව පෙනී ගියේ ඉතාලිය, ලිබියාව, ක්‍රීට්, කුඩා ආසියාව හා මෙසපොතේමියාව වැනි දුර ඈත දේශවලින් පවා පැමිණ සිටි නිසයි.—ක්‍රියා 2:5-11; 20:16.

14. ඊශ්‍රායෙල්වරුන් ඒ උත්සවවලට හවුල් වීමෙන් ප්‍රයෝජන ලැබුවේ කොහොමද?

14 විශ්වාසවන්ත ඊශ්‍රායෙල්වරුන් ඒ උත්සවවලට හවුල් වීමෙන් ප්‍රයෝජන ලැබුවේ කොහොමද? දෙවිට ප්‍රේම කළ දහස් ගණනක් සමඟ එක් වී නමස්කාර කරන්න ලැබුණු ඒ අවස්ථා ඔවුන්ට ඉතා වැදගත් හා ප්‍රීතිමත් අද්දැකීමක් වුණා. “මේ උත්සවයේදී ඔබේ දූපුතුන්ද ඔබේ දාසදාසීන්ද ඔබේ නුවරේ ජීවත් වන ලෙවීවරුන්ද විදේශිකයන්ද පියා නැති දරුවන්ද වැන්දඹුවන්ද ඔබ සමඟ එක්ව ප්‍රීති විය යුතුයි. යෙහෝවා දෙවිට ගෞරවය දීම සඳහා ඔබ පවත්වන මෙම උත්සවය දවස් හතක් පුරා පවත්වන්න. එය පැවැත්විය යුත්තේ යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයේදියි. ඔබේ අස්වැන්නට මෙන්ම ඔබ කළ සෑම දෙයකටම යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබී තිබෙන නිසා ඔබ ඇත්තෙන්ම ප්‍රීතියෙන් ඉපිල යා යුතුයි” කියා දෙවි පැවසූ දෙය ඔවුන් අද්දැක්කා.—ද්වි. 16:14, 15; මතෙව් 5:3 කියවන්න.

අපේ සමුළු අගේ කරමු

15, 16. සමුළුවලට සහභාගි වීමට ඔබ කරන්නේ මොන වගේ කැප කිරීම්ද? එසේ කිරීමෙන් පාඩුවක් නොවන්නේ ඇයි?

15 එදා යෙරුසලමේ පැවැත්වූ උත්සවවලින් අද අපිට බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්. එදා පැවැත්වූ උත්සව හා අපේ සමුළු අතර සමානකම් රැසක් තිබෙනවා. ඔවුන් මෙන් අපිත් සමුළුවලට සහභාගි වෙන්න හුඟක් කැප කිරීම් කරනවා. එසේ කිරීමෙන් කිසිම පාඩුවක් නොවන්නේ සමුළුවෙන් ප්‍රයෝජන ලැබෙන නිසයි. තවත් සමානකමක් නම් එදා සිටි සෙනඟගේ විශ්වාසය ශක්තිමත් වුණා වගේ අපේ විශ්වාසයත් ශක්තිමත් වීමයි. උදාහරණයකට සමුළු මගින් දෙවි සමඟ තිබෙන අපේ බැඳීම ශක්තිමත් කරගැනීමට අවශ්‍ය දැනුම හා අවබෝධය ලැබෙනවා. බයිබලයෙන් ඉගෙනගන්නා දේ අදාළ කරගන්නත් අනවශ්‍ය ගැටලුවලින් වළකින්නත් සමුළු මගින් අපි පෙලඹෙනවා. කනස්සල්ලට හේතු වන දේවල් පසෙක දමා සරල, ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නත් අපි දිරිගැන්වෙනවා.—ගීතා. 122:1-4.

16 සමුළුවලට සහභාගි වෙන අය එයින් ලබන්නේ ඉමහත් ප්‍රීතියක්! වර්ෂ 1946දී පැවැත්වූ විශාල සමුළුවක් ගැන එක් වාර්තාවක සඳහන් වුණේ මෙසේයි. “සහභාගි වූ දහස් ගණනක් එකට රැස් වී සතුටින් සිටියා. සංගීත කණ්ඩායමක් ගීතිකා වාදනය කරද්දී රැස්ව සිටි අය එක හඬින් දෙවිට ප්‍රශංසා ගී ගැයුවා. බොහෝදෙනෙක් විවිධ අංශවල ස්වේච්ඡාවෙන් සේවය කළේ අන් අය වෙනුවෙන් සේවය කිරීමට තිබූ කැමැත්ත නිසාමයි.” තුන්දින සමුළු හා ජාත්‍යන්තර සමුළුවලට සහභාගි වීමෙන් ඔබත් එවැනිම සතුටක් ලබා තිබෙනවාද?—ගීතා. 110:3; යෙසා. 42:10-12.

17. සමුළු පවත්වන ආකාරයේ සිදු වී තිබෙන වෙනස්කම් මොනවාද?

17 දැන් සමුළු පවත්වන්නේ ඉස්සර විදිහට නෙවෙයි. ඒ කාලේ දවස් අටක් තිස්සේ සමුළු පැවැත්තුවා. උදෑසන, දහවල් හා සවස් සැසිවාර ඊට ඇතුළත් වුණා. ක්ෂේත්‍ර සේවය සමුළුවේ අනිවාර්යය අංගයක්ව තිබුණා. සමහර අවස්ථාවල උදේ නවයට පටන්ගත්ත වැඩසටහන අවසන් වුණේ රෑ නවයටයි. පැමිණෙන හැමෝටම උදේ, දහවල් හා රාත්‍රී ආහාර පිළියෙල කරන්න ස්වේච්ඡා සේවකයන් හුඟදෙනෙක් පැය ගාණක් වෙහෙසුණා. දැන් සමුළු එදා වගේ දිගු කාලයක් පුරා පවත්වන්නේ නැහැ. කෑම බීම ගෙදරින් ගෙනෙන නිසා සහෝදර සහෝදරියන්ට වැඩසටහනට වැඩි අවධානයක් දෙන්න හැකි වී තිබෙනවා.

18, 19. සමුළුවේ ඔබ කැමතිම විශේෂාංගය මොකක්ද? ඒ ඇයි?

18 බොහෝ කාලයක් පුරා සමුළුවල අනිවාර්යය අංගයන්ව තිබෙන සමහර දේවල් නිසා ඊට සහභාගි වෙන්න අපි තුළ ලොකු ආශාවක් ඇති වෙනවා. උදාහරණයකට ‘නියම වෙලාවට’ පෝෂණය ලබා දෙන කතා වගේම බයිබල් අනාවැකි සහ ඉගැන්වීම් පැහැදිලි කර දෙන අලුත් ප්‍රකාශන සමුළුවලදී අපිට ලැබෙනවා. (මතෙ. 24:45) අන් අයට දෙවි ගැන කියා දීමට එම ප්‍රකාශන අපිට උදව් වෙනවා. ඒ වගේම සාතන්ගේ ලෝකයෙන් ආරක්ෂා වෙන්නත් යෙහෝවා දෙවිට නිවැරදි චේතනාවක් ඇතුව සේවය කරන්නත් බයිබලය මත පදනම් නාට්‍යය ලොකු පොඩි සැමට උදව් වෙනවා. බව්තීස්ම කතාව අපි ජීවිතේ ගත්ත වැදගත්ම තීරණය ගැන නැවත මතක් කර දෙනවා. ඒ වගේම දෙවිට කැප වූ අය බව්තීස්ම වෙනවා දකින්නත් අපි හරි ආසයි.

19 දෙවිගේ සෙනඟ එකට රැස් වී දෙවිගෙන් ඉගෙනගැනීම අවුරුදු දහස් ගණනක් පුරා සැබෑ නමස්කාරයේ කොටසක් වී තිබෙනවා. මේ දුෂ්කර අවසාන කාලයේදී සතුටින් ඉන්නත් දෙවිට විශ්වාසවන්තව ඉන්නත් උද්‍යෝගයෙන් සේවය කරන්නත් සමුළු මගින් දෙවි අපිව දිරිගන්වනවා. අලුත් මිතුරන් ඇති කරගන්න වගේම අපි හැමෝම ලෝක ව්‍යාප්ත පවුලක සාමාජිකයන් බව මතක් කරගන්නත් සමුළු උදව් වෙනවා. මේ සමුළු දෙවි තම සෙනඟව රැකබලා ගෙන ආශීර්වාද කරන එක ක්‍රමයක්. ඒ නිසා සමුළුවේ එක සැසිවාරයක්වත් අතපසු නොකිරීමට අපි හැමෝම අදිටන් කරගනිමු.—හිතෝ. 10:22.